Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
දුම්කොළ මද්‍යසාරයේ සිට අන්තරායකර මත්ද්‍රව්‍ය දක්වා සියලුම ආකාරයේ මත්ද්‍රව්‍යවලින් රටේ අනාගත පරපුර ගලවා ගැනීම සිදුවිය යුත්තකි. නමුත් දශක ගණනාවක සිට මේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ කටයුත්ත වචනයකට පමණක් සීමා වන තත්ත්වයක් පවතින බැවින්, මේ වන විට පාසල් අබියසටම ඒවා පැමිණ ඇති ස්වභාවයක් පෙනෙන්නට විය. මේ ඒ තත්ත්වයේ ඇත්ත නැත්ත පිළිබඳ වගකිවයුතු විශේෂඥ දැනුම ඇති අය දැක්වූ අදහස්ය.
ඊයේ (26දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත් වික්‍රමසිංහ මහතා විසින් ළමයාට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කුතුහලයක් ඇති වූ විට සිදුවන ඛේදාන්තය මෙලෙස පැහැදිලි කළේය.
“ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස ප්‍රධාන වශයෙන්ම ළමා සෞඛ්‍යය පිළිබඳව අවධානය යොමු කරමින් මත්ද්‍රව්‍යවල බලපෑම ගැන සාකච්ඡා කිරීම සිදුකළ යුතුයි. ළමයා කියන පුද්ගලයා විග්රහ කිරීමේදී ළමා ප්රඥ්ඥප්තියට අනුව උපතේ සිට අවුරුදු 18 වෙනකන්ම දරුවෙක් ළමයෙක් ලෙස අර්ථ දක්වනවා. එය අපි හොඳින් මතක තබා ගත යුතු දෙයක්. එලෙස අවුරුදු 18ට අඩු අය ළමයෙක් ලෙස අර්ථ ගන්වන්න හේතුව වන්නේ මුහුකුරා ගිය දැනුමක් හා සමාජයේ වෙන යම් යම් දේ ගැන ගැඹුරු අත්දැකීමක් නැති, ඒවා විග්රහ කිරීමේ හැකියාව අවම මට්ටමක තිබෙන පුද්ගලයෙක් නිසයි.
මේ වගේ කොටසක මනසේ මූලිකව වැඩ කරන දෙයක් වන්නේ කුතුහලයයි. මේ කුතුහලය තුළින් අත්හදා බැලීමකට යෑමක් ඔවුන් සිදුකරනවා. අපිට හැමදෙයක්ම අධ්‍යාපනය තුළින් ලබාදෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නමුත් කුතුහලයක් ඇතිවන ආකාරයට වැඩිහිටියන් කටයුතු කළොත්, කුතුහලය පිටුපස හඹායෑමක් සිදුකරන්නට මානසික තත්ත්වයක් තිබෙන කොටසක් තමයි මේ ළමයා කියලා හඳුන්වන්නේ. ඒ අනුව අපි දැනගන්න ඕන මේ ළමයා කියන පුද්ගලයාගේ කුතුහලය දනවන්න අවශ්‍ය වෙන්නේ හරි මාර්ගයේ යන්න පමණක් මිස වැරදි මාර්ගයේ යන්න නොවන බව.
ඒ අනුව අපි දරුවෙක්ව යම්කිසි වැරදි දේකට පොලඹවනවා නම් එයින් මුළුමහත් සමාජයටම වෙන්නේ හානියක් වගේම භයංකාර තත්ත්වයක්. මත්ද්‍රව්‍යයක් ගැන ගත්තාම අපි දන්නවා මේවා ඉතාමත්ම ඉහළ සාන්ද්රණයකට පත්කරපු රසායනික ද්‍රව්‍ය බව. මේවායෙන් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා, ශරීර අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් වෙනස් වීමකට ලක්කරනවා. මේවා භාවිතය පටන් ගත්තාම මනසේ පමණක් නොවෙයි හෘදවස්තුව, වකුගඩු හා අනෙක් ඉන්ද්‍රියයන්ට විශාල බලපෑමක් සිදුවෙන්න පුළුවන්.
මුලින්ම කියන්න අවශ්‍යයි ඕනෑම මත් බවට පත්වන ද්‍රව්‍යයක් එනම් දුම්කොළ, දුම්වැටි, මද්‍යසාර සිට ඕනෑම දේකින් සිදුවන හානිය ගැන අපි දැනුවත්.
ඒ වගේම අධිසාන්ද්‍රණයෙන් තිබෙන අනෙකුත් නම සඳහන් නොකළ විෂ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඉහත කී මත්ද්‍රව්‍යවලින් සිදුවන හානියට වඩා වැඩි හානියක් සිදුකරනවා. මේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා මානසික වශයෙන් අවපාතයන්ට ලක්වීමක් සිදුවෙනවා. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ හරියාකාරව අධ්‍යාපන කටයුතුවල නිරත නොවීම මගින් පාසල් අතහැර ගිය කණ්ඩායමක් ලෙස අධ්‍යාපනයෙන් බැහැර වීම. මොවුන් යම් දිනක රැකියාවකට ගියාම රැකියාව නැතිවෙලා සමාජයෙන් කොන්වීමකට ලක්වෙනවා.
මේවා එන්න එන්න වැඩිවෙලා බරපතළ සමාජයීය හා පුද්ගල සමාජීය ගැටලුවකට මෙය පත්වෙනවා. අපේ රටේ ජනතාවට දුම්වැටි හා මත්ද්‍රව්‍යවල ආදීනව නැවත නැවත කිවයුතු වන්නේ නැහැ. මොකද ඔවුන් ඒ සම්බන්ධව හොඳාකාරවම දැනුවත්. මේ වෙලාවේ අපි යොමු විය යුත්තේ නිවාරණය කරන්නේ කොහොමද කියන දේ සම්බන්ධවයි. මත්ද්‍රව්‍ය පාලනයක්වත්, අඩු වැඩි කිරීමක්වත් නොවෙයි නැවතීමේ තිත තබන්නයි අවශ්‍ය. ඒ අනුව එය සිදුකිරීමට සෑම පුද්ගලයෙක්ටම තනි තනිව වගකීමක් තිබෙනවා.
නමුත් ගෝලීය වශයෙන් පෙන්වා දී ඇති දෙයක් තමයි දරුවෙක්ට දැනුම දීලාම මේකට විසඳුම් හොයන්න බැරි බව. ඒ අනුව අනිවාර්යෙන් ගෙදර පරිසරය ඉතාමත්ම ආදර්ශවත් විය යුතුයි. ගෙදර පරිසරය ආදර්ශවත් වෙන්න නම් වැඩිහිටියන් හා සහෝදර සහෝදරියන්ගේ ලොකු වගකීමක් තිබිය යුතුයි. මොකද පවුල තුළ ඇතිවන ඝට්ටන තුළින් හා දුර්වල තැන්වලින් තමයි රිංගා යෑමේ උත්සාහයක් ඇතිවෙලා දරුවන් වැරදි මාර්ගයේ ගමන් කරන්නේ.
මීළඟට දරුවෙක්ගේ ප්‍රධාන සමාජ මට්ටම වන්නේ පාසලයි. පාසලේදී ඉතාම සියුම්ව මේ දේවල් හඳුනාගෙන අදාළ ප්‍රතිකර්ම සිදුකිරීමයි සිදුවිය යුත්තේ. නමුත් වෙලා තිබෙන්නේ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධව බලධාරීන් මේ දේවල් හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමේදී යම් යම් අඩුපාඩු සිදුවී ඇති බවක් පේනවා. මෙයින් එහාට ගිහින් දරුවන් කියන්නේ කුතුහලයක් දන්වන දෙයක් ලැබුණාම ඒක පිටුපස හඹා ගිහින් අත්හදා බලන්න උත්සාහ කරන පිරිසක් වීම.
ඒ අනුව දෙමාපියන්ට යුතුකමක් තියෙනවා දරුවා කොහෙද යන්නේ? දරුවාගේ හැසිරීම වෙනස් වී තිබෙනවාද? දරුවාගේ යහළු යෙහෙළියන්ගේ තරාතිරම් මොන වගේද? ආදිය පිළිබඳව ඉතාමත්ම ඕනෑකමකින්, විපරමකින් කටයුතු කිරීම ඉතා වැදගත්. මීළඟට පාසල් පද්ධතිය තුළ හැම දරුවෙක්ටම එක හා සමානව අවධානය යොමු කිරීමට ගුරුවරුන්ට හැකියාවක් තිබීම තුළින් මේ දේ වළක්වා ගන්න පුළුවන්. එයින් ඔබ්බට ගිහින් විවිධ මත්ද්‍රව්‍ය පිළිබඳව සමාජයේ කථිකාවක් දැන් ඇති වී තිබෙනවා.
නමුත් නාමිකව මිනිස්සු මත්ද්‍රව්‍ය හඳුනාගත්තත් ඒවා සම්බන්ධයෙන් නිසි අවබෝධයක් මිනිස්සුන්ට නැහැ. ඒ අනුව කාලෙන් කාලෙට එන මෝස්තරයක් විදිහට මත්ද්‍රව්‍ය වල නම් වෙනස් කිරීමෙන් අනවශ්‍ය අවධානයක් මේවට යොමු වෙනවා. ඉතාම වැදගත් දෙයක් තමයි ඒ අනුව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වලින් අනවශ්‍ය ප්‍රචාර ලබා දීම නතර කිරීම. ප්රවෘත්ති විකාශයන් කරන්න අවශ්‍ය නම් අනවශ්‍ය රූප රාමු ඉවත් කරන්න පුළුවන්. අනවශ්‍ය ප්‍රචාර ලබාදීම තුළින් දරුවන් මේවා අත්හදා බලන්න පෙළඹෙන එක නවත්වන්න අපිට අපහසු වෙනවා.
ප්රවෘත්තියක රූප රාමු දාද්දි මත්ද්‍රව්‍ය පමණක් නොවෙයි, අපරාධ සම්බන්ධයෙන් වුණත් ප්‍රචාරය කරද්දී දරුවන්ගේ ඔළුවේ විශාල පරිවර්තනයක් සිදුවෙනවා. මෑතකදී මම දැක්කා වැඩිහිටියන්ට පමණයි ලෙස ප්රවෘත්ති පෙන්වන්න සිදුවෙන අවස්ථාවක්. ප්රවෘත්ති කියන්නේ දරුවන්ට දැනුම ලබාගන්න පුළුවන් ක්‍රමවේදයක්. මේවායෙත් වාරණයක් දාන්න වෙනවා නම් එය හොඳ තත්ත්වයක් නොවෙයි. ප්රවෘත්ති වාර්තාකරණය ඉතා වැදගත්.
නමුත් ඒවා ප්‍රචාරණය වීම නිසා කුතුහලය ඇතිකරන දේවල් වෙන්න පුළුවන්. ඒ කුතුහලය අත්හදා බලන්න යෑම නිසා අද දරුවන් පාසල් යෑම අතහැර දමන තත්ත්වයට පත්වෙලා. බොහෝ සාමාන්‍ය පෙළ, උසස් පෙළ දරුවන් පාසලේ නොවෙයි වෙනත් දේශන ශාලාවලයි දැන් ඉන්නවා දකින්නේ. මේ වගේ තැන්වලදී තමන්ගේ සම වයසේ අය වගේම වැඩිහිටි දරුවනුත් ආශ්‍රය කරන්න පටන් ගන්නවා.
දරුවෙක් කියන්නේ මුහුකුරා නොගිය පුද්ගලයෙක් වගේම අනික් අය කියන දේ ඔළුවට දාගෙන ඒවා අත්හදා බලන්න උත්සාහ කරන අය. ඒ නිසා මේවගේ දරුවන් වයසින් වැඩි අයව ආශ්‍රය කරද්දී පෙළඹීම වැඩියි. ඒ අනුව සමාජයට විශාල වගකීමක් තිබෙනවා මත්ද්‍රව්‍ය වලින් දරුවන් මුදවා ගන්න.
මෙරට මත්ද්‍රව්‍ය භාවිත කරන ළමුන් සම්බන්ධයෙන් මෑතකාලීනව කරපු සමීක්ෂණයක් මම දන්න තරමින් නැහැ . දත්ත පාවිච්චි කරද්දී පිළිගත් ආයතනයකින් ලබාදෙන දත්ත පාවිච්චි කළ යුතුයි. මේ වෙද්දී රට ඇතුළේ තිබෙන තත්ත්වයට වඩා ලොකු ප්‍රචාරයක් මේ ගැන ලැබී තිබෙන බවක් තමයි අපට පෙනී යන්නේ. ළමයාගේ මනස සැමවිටම කුතුහලයෙන් පුරවන්න එපා. කුතුහලය වැඩි වුණාම වෙන්නේ අත්දැකීම් ලබන්න පෙලඹෙන තැනට පෙලඹිලා ළමයාගේ ජීවිතයම අගාධයකට වැටීමයි.”
මෙහිදී දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා රටේ නීතිය හා නීතිය ආරක්ෂා කරන අයගෙන් සිය වගකීම් ගිලිහී යන තැන සිදුවී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව මෙලෙස අදහස් දැක්වූයේ, මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයක් වෙනුවෙන් පිළිතුරු ලබාදෙමිනි.
“අපිට තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධ වී සිදුකළ අවසාන සංඛ්‍යාලේඛනය හා මේ කාරණය ආශ්‍රිතව පිළිගත් රජයේ ආයතන විසින්, එනම් 2020 වර්ෂයේ සිදුකළ සමීක්ෂණ වල දත්තයි. ඒ අනුව දුම්කොළ සම්බන්ධයෙන් අපි දුම්බීම 9.1% දක්වා අඩු වෙලා, දුම් කොළ හැපීමත් 13.3% දක්වා අඩු වීමක් අපි දකිනවා. පසුගිය වර්ෂ තුනේ මද්‍යසාර භාවිතයේ අඩු වීමක් අපිට දකින්න ලැබෙනවා.
මොළය කළඳක් හෝ තිබෙන අයට තේරෙනවා මේ ප්රශ්නය දේශපාලනික අරමුණක් ඇතිවයි සිදුකරන්නේ කියන එක. හැබැයි මේ පාර අත තියපු තැන අපි හැමෝගෙම අත පිච්චෙන තැනක්. ඒ තමයි පාසල් ළමුන් ඉලක්ක කරගෙන කරපු වැඩේ. මේ වැඩේට අත තිබ්බ කාටවත් අත පිච්චෙන්නේ නැතිව අත ගලව ගන්න බැහැ. ඒ නිසා ළමයා චූදිතයෙක්, සැකකාරයෙක් බවට පත්කරලා කරන දේවල් අපි පිළිකුල් කරනවා. මේ පාසල් වටේ තිබෙන මත්ද්‍රව්‍ය කොහෙද තියෙන්නේ, කවුද ගේන්නේ කියන එක පොලිස් බල්ලෝ නෙමෙයි කවුරුහරි දාගෙන කළත් අපිට කමක් නැහැ.
හැබැයි පාසල ඇතුළට යන්න එපා. අපි කවුරුත් කැමති ලේසි තැනට ගිහින් මුදුනෝ වගේ වෙන්න. අමාරු කාර්යය කරන්න අමාරුයි. පාසල් ඇතුළෙ දේ කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දෙන්න. මේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයට පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙනවා. චක්‍රලේඛ තිබෙනවා. එයාලා පාසලේ ඇතුළෙ දේවල් බලා ගනීවි. මේවා අපි කියන්නේ නිකන් නෙවෙයි. උදාහරණ තිබෙනවා. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය 2018 වර්ෂයේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා තවත් විද්වත් අන්තර්ජාතික ආයතන කහිපයක් සමග එක්ව සමීක්ෂණයක් කළා.
එහිදී පාසල් හා අධ්‍යාපන ආයතනවලට දුම්කොළ හා මද්‍යසාර ඇතුළු මත්ද්‍රව්‍ය එන්නේ කොහොමද, ඒවා වළක්වන්නේ කොහොමද කියන දේ ගැන සමීක්ෂණය කළා. ඒ අනුව දැන් අපි ඉන්නේ 2022 වර්ෂයේ. මේ අධ්‍යයනයේදී අපි පෙන්නුවා විකුණන තැන ප්‍රචාරණය නැවැත්විය යුතු බව. නමුත් තවමත් එය සිදුවෙනවා.
ඒ වගේම අධ්‍යාපන ආයතනයේ සිට මීටර 500ක් තුළ මේවා අලෙවිය, ළඟ තබා ගැනීම හා භාවිතය තහනම් කළ යුතුයි කිව්වා. මීළඟට සිල්ලරයට සිගරට් අලෙවිය තහනම් කළ යුතුයි කියලා අපි කිව්වා. මේ නිර්දේශ මේ වෙනකන් ක්‍රියාත්මක නැහැ. විද්වත් මණ්ඩලයක් හා විශේෂඥයන් විසින් ඉදිරිපත් කළ මේ දේවල් ඊටත් වඩා විද්වතුන් යැයි හිතාගෙන ඉන්න කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණාම මොකද වුණේ. මීටර් 500 මීටර් 100 වුණා. ලෝක විද්වතුන් හදපු මේ නිර්දේශය වෙනස් කළ මීටර් 100වත් තාම ක්‍රියාත්මක නැහැ.
අවසානයේ දැන් පාසල් දොරටුව ළඟටම මේවා ඇවිත්. අපි දන්නවා 1948 නිදහසින් පසු සියලුම දේශපාලන පක්ෂ හා ආණ්ඩු මතට තිත තියන්න සෑහෙන උත්සහ කළා. තාමත් ඒකට කටයුතු කරනවා. නමුත් කවුරුවත් තිබ්බ තිතක් නෑ. ඒ නිසා මෙය දේශපාලන දෙයක්ද කියලා අහන්න දෙයක් ඒ අනුව තිබෙනවාද?
අපේ රටේ මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්න පිළිගත් ආයතන තිබෙනවා. නමුත් බොහෝවිට මාධ්‍ය වලින් තොරතුරු විමසලා තොරතුරු ලබාගෙන තිබෙන්නේ මේ ආයතන වලින් නොවෙයි. ඒ නිසා මේ ගැනත් අවධානය යොමු කළ යුතුයි.
ලෝක ඉතිහාසයේ සිදුවූ බරපතළම වැරැද්ද මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් මට කියන්න තිබෙන්නේ දුම්කොළ හා මද්‍යසාර නීතිගත කරන්න අදහස ගෙන ඒවා නීති ගතකරන තත්ත්වයට පෙළඹූ වැරැද්දයි.
නීතිගත කරපු නිසයි අපි එහි ආදීනව දශක ගණන් පුරා දකිනවා. අපේ රටේ අනෙකුත් මත්ද්‍රව්‍ය නීතිගත නොකළ මත්ද්‍රව්‍යයි. කංසාවල ඉඳන් ඉතිරි සියල්ල නීතිවිරෝධී මත්ද්‍රව්‍යයි. දැන් මේ රටේ 225 දෙනෙක් ඉන්න පාර්ලිමේන්තුවේ මොළය අඩු එක් අයෙක් කෑගහනවා කංසා නීතිගත කරන්න කියලා.
දැන් බැලුවාම මානව සංහතියේ සිදුවූ ලොකුම වැරැද්ද නැවත සිදුකරන්න අත උස්සන්න කියලා ඔවුන් කටයුතු කරන්න යනවා. ඒ අනුව අපි ඉතා ඕනෑකමින් බලාගෙන ඉන්නවා කවුද මේකට අත උස්සන මහජන නියෝජිතයෝ කියලා. අපේ රටේ කඩාවැටුණු ආර්ථිකය ගොඩගන්න, ඩොලර් ගේන්න කංසාවලින් විතරයි පුළුවන් කියන පහත් යැපුම් මානසිකත්වයක් තියෙන්නේ. මේ රටේ මුදුන් මුල් නැති අය කියන දේවල්වලට අපි යට වෙනවාද?
නැත්නම් හරියටම විද්‍යානුකූලව සාක්ෂි තිබෙන දේවල් අනුව අපි වැඩ කරනවාද? කියන එක අපි සතු වගකීමක්. කංසා හා අනෙක් මත්ද්‍රව්‍ය කියන්නේ නීතිගත නොවන මත්ද්‍රව්‍ය. මේවා රටේ පවතින්නේ ඇයි ගත්තොත් පැහැදිලිවම කියන්න පුළුවන් දේ තමයි මේවා සම්බන්ධ නීතිය ක්‍රියාත්මක නොවීමයි හේතුව කියලා. එහෙම නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ පැහැදිලි ආශිර්වාදයක් මේවාට තිබෙනවා. ඒ අනුව ජනාධිපති,අගමැති, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඉහළ නිලධාරීන්, පොලිස්පති, නීතිය ක්‍රියාත්මක කරන සියලු නිලධාරීන් ආදී සියලුදෙනා මේවාට වගකිව යුතුයි. අපිට හා අධ්‍යාපන අමාත්‍යාංශය සතු වගකීම වන්නේ මේ මත්ද්‍රව්‍යවලට තිබෙන ඉල්ලුම අඩු කිරීම. එසේ නැතිව අපිට හෝ මාධ්‍යයට මේ රටට මත්ද්‍රව්‍ය ඇතුළු වීම නවත්වන්න නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ.”
මෙරට විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා මෙහිදී අන්තරායකර මත්ද්‍රව්‍ය වල ගොදුරු බවට ළමුන් පත්වීමේ තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූයේය.
“ළමුන්ව මේවාට ඉලක්ක කිරීම ලෝකයේ අලුත් දෙයක් නොවෙයි. ලංකාවේ දුම්වැටි මද්‍යසාර ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයෙන් වසරකට 40,000ක් පමණ මිය යනවා. මේ මිය යන්නේ දුම්වැටි, මත්ද්‍රව්‍ය ජාවාරම්වල හොඳම පාරිභෝගිකයන් ටිකයි. ඒ අනුව මේ ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න නම් සෑම වර්ෂයකම අලුතින් 40,000ක්වත් මේකට බඳවාගත යුතුයි.
මේ බඳවාගැනීම අද ඊයේ සිට නොව අතීතයේ සිට සිදුකරගෙන ආපු දෙයක්. හැබැයි පාසල්වල මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. මේක දැනෙන එක සාධාරණයි. පසුගිය වර්ෂ තුන ගැන අහලා අපෙන් කවුරු හරි පාසල්වල මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලු තිබෙනවාද කියලා ඇහුවොත් අපිට තිබ්බ උත්තරය වුණේ නෑ කියන එක.
එයට හේතුව තමයි පාසල් නිවාඩු තිබුණ එක. එකපාරටම කෝවිඩ් ප්‍රශ්නයත්, ප්‍රවාහන ගැටලුත් අවසන් වෙලා අවුරුදු තුනකට විතර පස්සේ ළමයි පාසල් ආවම දැන් අර 40,000හේ ඉලක්කයට දැන් හැම පැත්තකටම යනවා. දුම්වැටිද, මද්යසාරද, හෙරොයින්ද, අයිස්ද, ගංජාද කියලා නෑ හැමදෙයක්ම පෙර සේ වැඩ. අපිට පසුගිය වර්ෂ තුනේ පාසල පෙනුණෙ නැතිව තිබිලා දැන් ඒ අනුව පේන්න පටන් අරන් තිබෙනවා. සමහර මාධ්‍ය මේවට වැඩිපුර සංවේදී වෙලා තිබෙනවා. මොකද එකපාරට මේක වැඩි වෙලා වගේ පේන නිසා. නමුත් අපි මේ දිහා පුළුල් දෘෂ්ටියකින් බලන්න සිදුවෙලා තිබෙනවා.
අපේ ළමයි ගෙදර ඉඳන් ආව නිසා ළමුන්ගේ මානසික මට්ටම ගැනත් අපිට බලන්න සිද්ධ වෙලා තිබෙනවා. ලෝකයම කෝවිඩ්වලින් පස්සේ මේ තත්ත්වයට මුහුණ දෙද්දී අපේ ප්‍රශ්නේ තව ටිකක් වැඩි වුණා. මොකද ප්‍රවාහන ප්‍රශ්නේ මතු වුණ නිසා තවදුරටත් ළමයින්ව නිවසට කොටුකරන්න වුණ නිසා. මේ නිසා හිතන්නකෝ අවුරුදු 13ක ළමයෙක් නැවත පාසලට යද්දී අවුරුදු 16ක් හෝ 17ක් වෙලා. මේ ළමයි මේ කාලය තුළ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ කිසිදු දැනුම්වත් වීමක් ලබා නැහැ. ඒ අනුව මේ කිසිදු දැනුම්වත් කිරීමක් නැති ළමයෙක් පාසලට ආවම අවදානම්. ලංකාවේ දුම්පානය ක්‍රමයෙන් අඩු වුණා.
පසුගිය වර්ෂ තුනේ මත්පැන් භාවිතයේ යම් අඩුවීමක් සිදු වුණා. මේ දෙකේ යම් අඩු වීමක් දක්නට ලැබෙනවා කියලා කියන්නේම ඊට එහා තිබෙන විෂ මත්ද්‍රව්‍යවලට පෙලඹීමේ අඩුවක් අනිවාර්යෙන් දක්නට ලැබෙනවා කියන එක. ඒ මොකද කියනවානම් දුම්කොළ හා මත්පැන්වලින් තමයි මේ මත්ද්‍රව්‍ය භාවිතය ආරම්භ කරන්නේම.
නමුත් අපි දකිනවා 2020-2021 දත්ත බැලුවාම අපේ රටේ මෙතම්ෆටමයින් නැත්නම් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් යම් වැඩිවීමක් තිබෙන බව. විශේෂයෙන් වැටලීම් මගින් සොයාගන්නා ප්‍රමාණ, පුද්ගල අත්අඩංගුවට ගැනීම්, බන්ධනාගාරගත කිරීම් හා මේ සම්බන්ධ නඩුවල වැඩි වීමක් අපිට දකින්නට ලැබෙනවා. ඒ අනුව මේ අයිස් කියන දෙක වීථි අලෙවිය වැඩි වෙලා කියලා අපිට පෙනී ගියත් පාසල් තුළට මේක ගියා කියලා කියන්න තිබෙන සාක්ෂි ඉතා විරලයි. අපි ඇහුවාම කියන දෙයක් තමයි මත්ද්‍රව්‍ය ගත්තාම හප හප ඉන්නවා කියන එක. මේ මෙතම්ෆටමයින් කියන්නේ හප හප ඉන්න පුළුවන් මත්ද්‍රව්‍යයක් නොවෙයි.
මීළඟට ලොසිංජර් ගැන දාලා තිබෙනවා කියනවා. මෙතම්ෆටමයින් කියන්නේ ලොසිංජර්වල දාන්න පුළුවන් දෙයකුත් නොවෙයි. අපි ඔය කියන දේවල් ගෙනත් අපේ රසායනාගාරවල පරික්ෂා කරලා බැලුවාම බොහෝ වෙලාවට කිසිදු මත්ද්‍රව්‍ය සම්බන්ධ රසායනිකයක් අසුවෙන්නේ නැහැ. බොහෝ වෙලාවට අපිට හසුවෙන්නේ කැනබීස්වල තිබෙන යම් යම් දේවල් පමණයි. අයිස් සම්බන්ධ මෙතම්ෆටමයින් අපිට මේ නිෂ්පාදනවල දකින්න ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් අපි පාසල් පද්ධතිය ගැන අවධානයෙන් ඉන්න එක හොඳයි.
අයිස් කියලා කියන්නේ රසායනාගාරයක හදන මත්ද්‍රව්‍යයක්. අනෙක් සියලු මත්ද්‍රව්‍ය ශාක කොටස්වලින් නිස්සාරණය කරගන්නා මත්ද්‍රව්‍යයි. මෙතම්ෆටමයින් නැත්නම් අයිස් කියන්නේ රසායනාගාරයක කෘත්‍රිමව නිෂ්පාදනය කරන දෙයක්. මේ තාක්ෂණයේ දියුණුව කරණ කොටගෙන මිල අඩුවීමේ යම් ප්‍රවණතාවක් ඇතිවී තිබෙනවා. ඒ අනුව වීථියේ අයිස් අලෙවි වීමේ වැඩි වීමක් දක්නට තිබෙනවා. ඉස්සර අයිස් කියන දේ තරුණයන්ට හෝ ළමයින්ට වීථීයේදී මිලදී ගන්න හැකියාවක් තිබුණෙ නැහැ. අද මිල අඩුවීම කියන දේ නිසා යම් ආකාරයකට සමාජය තුළට මේවා ඇවිත් තිබෙනවා. නමුත් අපි හොයලා බැලුවාම අපිට පේන දේ තමයි සාන්ද්‍රණය අඩු වෙලා තිබෙනවා. අයිස් කියලා කිව්වට අයිස් නොවෙයි ඇතැම්විට අන්තර්ගත වෙලා තිබෙන්නේ.
නමුත් අපි සැලකිලිමත් වෙන්න අවශ්‍ය දේ තමයි අර වාර්ෂිකව මිය යන 40,000ක පිරිස නැවත එකතු කරගන්න අවශ්‍ය නිසා අපේ දරුවොන්ව ඉලක්ක කර ගන්න එක. ඒ නිසා දුම්කොළ,මත්පැන් හා මත්ද්‍රව්‍යවලින් අපේ ළමයින්ව බේරගන්න හැම දෙමවුපියෙක්ම කටයුතු කළ යුතුයි. ඒ අනුව එය කරන්නේ කොහොමද කියන දේ ගැන දෙමවුපියන්ට වැඩිහිටියන්ට පණිවුඩයක් ලබා දීමයි සිදුකළ යුත්තේ. ”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd