Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
අඟහරුවාදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති වැඩසටහනට සහභාගිවීමෙන් අනතුරුව ඇමති අකිල පිටවෙලා යන්න හදද්දිම මාධ්‍යවේදීහු ඇමති අකිලව නවත්තගෙන එකින් එක ප්‍රශ්න අහන්න පටන් ගත්හ. ‘‘ඇමතිතුමා, සුරක්ෂා රක්ෂණ ප්රතිලාභ ලබාගැනීමට ඇතැම් පාසල්වලට තාම රක්ෂණ කාඩ්පතවත් ලැබිලා නැහැනේ...‘‘ ඔවුහු එහිදී අසා සිටියහ. ඇමති අකිල උත්තර දෙන්න පටන් ගත්තේ මඳක් කල්පනා කරමින්ය.
‘ඇත්තටම මේ රක්ෂණය, රටේ රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ රටේ පිරිවෙන් ඇතුළු රටේ ලක්ෂ 45ක් ජනතාවට වලංගුයි. පාසල් විශාල ප්‍රමාණයකට අපි මේ සුරක්ෂා රක්ෂණ කාඩ්පත ලබාදීමේ කටයුත්ත සිදුකර අවසන් කර තියෙනවා. එය ලබාදී නැති පාසලුත් තියෙනවා. ලක්ෂ ගාණක් කාඩ්පත් මුද්‍රණය කරද්දි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට යම් කාලයක් යනවා. හැබැයි රක්ෂණ කාඩ්පත නොතිබීම, සුරක්ෂා රක්ෂණයේ ප්රතිලාභ නොලැබීමට කිසිසේත් හේතුවක් නෙවෙයි. පාසලේ විදුහල්පතිවරයාගේ ලිපියක් තියෙනවා නම්, එය ඉදිරිපත් කර සුරක්ෂා රක්ෂණයේ ප්රතිලාභ ලබාගන්න පුළුවන්. ඒ වගේම රක්ෂණ කාඩ්පත් ලබාදීමේ කාර්යයත් මේ වනවිට අවසන් කරගෙන යනවා.’ මේ ප්‍රශ්නෙට උත්තර ලබාදීමෙන් අනතුරුව ඔවුහු ඇමති අකිලගෙන් පක්ෂ මාරු කිරීම්, 2020 ජනාධිපතිවරණය, බැඳුම්කර සිද්ධිය ගැන
වගේම තවත් කාරණා කිහිපයක් ගැන වනවිෂය පරිබාහිර ප්‍රශ්න කිහිපයක්ද දිගින් දිගටම විමසා සිටියහ.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න අවසන් වුවද අකිලගෙන් හරි උත්තරයක් ලබා ගැනීමට නොහැකි විය. ’ඔයගොල්ලො හැමදාම එකම ප්රශ්නවමනෙ අහන්නේ. අලුත් දෙයක් අහන්නේම නෑනේ’ යන්නෙන් ඇමති අකිල මාධ්‍යවේදීන්ට පැවසීමෙන් පසු පුංචි විහිළුවකුත් කර එතනින් පිටව ගියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ වාර්ෂික සම්මේලනය බ්‍රහස්පතින්දා නෙළුම් මාවතේදී පැවැත්විණි. ගාමිණී ලොකුගේ, බැසිල් රාජපක්ෂ, රංජිත් ද සොයිසා සහ වෘත්තීය සමිති නායකයන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ. මෙහිදී බැසිල් රාජපක්ෂ 16 දෙනා අදාළ කරගනිමින් පැවසුවේ අමුතු කතාවකි.
“1861දී වහල් සේවයට විරුද්ධව සහ පක්ෂව ඇමෙරිකාවේ සිවිල් යුද්ධයක් ඇතිවුණා. යුද්ධය ආරම්භයට පෙර මේ යුද්ධයේදී තමන් සහාය දක්වන්නේ කුමන පාර්ශ්වයටද යන වග සතියක් ඇතුළත තමන්ට දන්වා එවන්න කියලා ජනාධිපති ලින්කන් සියලු ප්‍රාන්ත ප්‍රධානීන්ට පණිවුඩයක් යැව්වා. ඒ වෙලාවේ කෙන්ටකි ප්‍රාන්ත ප්‍රධානියා ජනාධිපති ලින්කන්ට කිව්වා මේ යුද්දෙදි මතයක් ප්‍රකාශ නොකිරීමට තමන් තීරණය කළා කියලා.
ඒ පණිවුඩය ලැබුණු ගමන් ජනාධිපති ලින්කන් කෙන්ටකි ප්‍රාන්ත ප්‍රධානියාට මෙහෙම කිව්වා. මේ යුද්දෙදි තමන් සහාය දෙන්නේ උතුරටද, නැතිනම් දකුණටද යන්න තීරණය කිරීමට මම හැම ප්‍රාන්තයකටම සතියක් කල් දුන්නා. ඒත් මම ඔබට දෙන්නේ තව පැය 24යි. පැය 24කට කලින් මට කියන්න ඔබ කාගෙ පැත්තෙද කියලා.’
මෙම කතාව අවසන් කරමින් බැසිල් සඳහන් කළේ 16 දෙනා කාගෙ පැත්තෙද කියා ඉක්මනින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම වැදගත් බවයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය විවෘත කෙරුණේ පසුගිය සතියේදීය. ජනාධිපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේ වැඩකටයුතු පිළිබඳ සොයා බලමින් ඩිජිටල් ඇමැති හරීන් ඊට පෙර දිනම බදුල්ලට ගියේය. නියෝජ්‍ය ඇමති මනූෂ කොළඹ සිට බදුල්ලට යාමට සුදානමින් සිටියේ ජනපති මෛත්‍රී සමගය. මෛත්‍රී හෙලිකොප්ටරයෙන් බදුල්ල බලා යාමට නියමිතව තිබුණද අයහපත් කාලගුණය හේතුවෙන් හෙලිකොප්ටරයෙන් යාමට හැකියාවක් තිබුණේ නැත. ඒ අනුව මහා මාර්ගයෙන්ම බදුල්ල බලා යාමට පෙර දින රාත්‍රියේ තීරණය විය. රාත්‍රියේ මනූෂට දුරකථන ඇමතුමක් දුන් මෛත්‍රී කීවේ උදේ පහට බදුල්ලට යාමට තම නිවසට එන ලෙසය.
පසුදින උදේ හරියටම පහට මෛත්‍රී නිවසින් පිටත්ව ගියේ මනූෂද තම මෝටර් රථයේ නංවා ගනිමිනි. කොළඹ සිට බණ්ඩාරවෙලට ගිය මෛත්‍රී පාසලක උත්සවයකට සම්බන්ධ වූයේ බදුල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු සමගය. එතැන් සිට දිවා ආහාරය ගැනීමට ඉහළ ඇල්ලේ පිහිටි මහ ඇමති චාමර සම්පත්ට අයත් හෝටලයකට ගියේය. අනතුරුව හාලිඇළ බලා පිටත්වූයේ ඌව පළාත් කාර්යාලය විවෘත කිරීමටය.
මෛත්‍රී එහි යනවිටත් මන්ත්‍රී ඩිලාන් එහි පැමිණ සිටියේය. ඒ එම මධ්‍යස්ථානයට මුල්ගල් තබන විට විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස ඩිලාන් කටයුතු කළ බැවිනි.
මෛත්‍රී පීත්ත පටිය කපන විට ඩිලාන් එහි කොනක් අල්ලා ගත්තේ හරීන්ගේ ඇගේ වදින නොවදින ගානටය. පසුව සමරුඵලකය විවෘත කෙරිණි.
“සර් අතන තවත් එකක් තියෙනවා...’ මනූෂ මෛත්‍රීගේ කනට කර කීවේ තවත් සමරුඵලකයක් ගැනය. එය ඩිලාන් ඇමතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී ගොඩනැගිල්ලට මුල්ගල තැබූ බව සඳහන් වන සමරුඵලකයකි.
“කොතැනද ඒක තියෙන්නේ?’
මෛත්‍රී වටපිට බැලුවේය.
“ඔය අය පොඩ්ඩක් ඈතට වෙන්න’ එම සමරුඵලකය අසල සිටි අය ඈත්මෑත් කළේ මනූෂය.
“හොද වැඩක්නේ... මේකට තමයි කළගුණ සලකනවා කියන්නේ. මේකෙත් පිංතූරයක් ගන්න’ මෛත්‍රී කීවේ හරීන්ගේ හා මනූෂගේ කළගුණ සැලකීම් ගැන කියමිනි.
එතැන සිට පිරිස උත්සවය පැවැත්වෙන ශ්රවණාගාරයට ගිය අතර, මනූෂ එක් කෙළවරක අසුන් ගත්තේය. මෛත්‍රී හා හරීන් මැදිකරගෙන ඩිලාන් අනෙක් කෙළවරේ සිටියේය.
“කවදාවත් මේ යුගයේ නොදකින දෙයක් මම දැක්කා. ඒක තමයි කෙළෙහිගුණ සැලකීම කියන එක. ඒක හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමා ප්‍රගුණ කිරීම ගැන ස්තුතිය පුදකරන්න ඕන’ ඩිලාන් කීවේ සමරුඵලකය ගැනත්, තමන්ට ආරාධනා කිරීම ගැනත් සිහිපත් කරමිනි.
“අපි ඉතින් ඩිලාන් ඇමතිතුමා එක්ක දේශපාලන වේදිකාවේ රණ්ඩු කරනවා. ඒත් ඉතින් හොඳ වැඩවලට අපි හොඳයි කියන්න ඕනනේ’ හරීන් කීවේ සිනාසෙමිනි.
ඒ අතර මනූෂ ගැනත් කතාවක් ඇදී ආවේය.
“මම වගකීම් රාශියක් මනූෂ නියෝජ්‍ය ඇමතිතුමාට දීලා තියෙන්නේ ලොකු විශ්වාසයකින්. ඒවා හරියට ඉටුකරනවාය කියන බලාපොරොත්තුව මට තියෙනවා’ හරීන් කීවේය.
කතාව තවත් දිග්ගැස්විණි.
“මට නම් ඕන හැමෝම ජයග්‍රහණය කරන විදියේ වැඩපිළිවෙළක්. ඒ ගැන බලලා තමයි මම වැඩ කරන්නේ’ මනූෂ කීවේ මෛත්‍රී දෙසත්, හරීන් දෙසත් බලමිනි.
මහින්ද පසුගිය සෙනසුරාදා ගම්පහ බලා ගියේ ඉඹුල්ගොඩ වීරයා යැයි විරුදාවලිය ලත් එස්.ඩී. බණ්ඩාරනායකගේ පිළිරුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය. පිළිරුව ඉදිකර තිබුණේ ඉඹුල්ගොඩය. එස්.ඩී. බණ්ඩාරනායකගේ පුත් පණ්ඩු බණ්ඩාරනායක පසුගිය කාලයේ මෛත්‍රී පාර්ශ්වයට සහාය දක්වමින් සිටියද, ඔහු දැරූ ආසන සංවිධායකකම සති කිහිපයකට පෙර මෛත්‍රී විසින්ම ඉවත් කර තිබිණි.
මෙම උත්සවයට සහභාගි වීම සඳහා ප්‍රසන්න රණතුංග කලින්ම පැමිණ සිටි අතර, ඒකාබද්ධයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ ඇතුළු පිරිසක්ද ප්‍රසන්න සමග වූහ.
ප්‍රසන්න දුටු එක් ව්‍යාපාරිකයෙකු ’ආ මන්ත්‍රීතුමා එන්න ඉස්සරහට, දැන් ඉතින් යහපාලනේ කට්ටිය ඉස්සරහට එන කාලෙනේ’ යැයි පවසද්දී, ‘එයාලට දැන් තමයි අපිව මතක් වෙලා තියෙන්නේ’ යැයි කීවේ ප්‍රසන්නට පිටුපසින් සිටි සුදර්ශනී දෙසද බලමිනි. ව්‍යාපාරිකයාගේ කතාව ඇසුණු පණ්ඩු ප්‍රසන්නට සුදර්ශනීව ඇහෙන් පෙන්වීය.
‘ඕවා ගණන් ගන්න එපා. අපි එයාලා එන එකට අකැමැති නැහැ. නොමග ගිය අය යහමගට එනවා දකින්න තමයි අපිත් කැමැති. හැබැයි එන අය කෙළින් එන්න ඕන වංගු ගහන්නේ නැතුව’ ප්‍රසන්න ඇඟට පතට නොදැනී කීවේය.
මේ අතර, උත්සව භූමියට පැමිණි මහින්ද පිළිරුව විවෘත නොකරම සොයා බැලුවේ ප්‍රසන්න කොහෙද කියාය. ඒ වන විටත් බොහෝ පිරිස් මහින්දව වට කරගෙන සිටි නිසා ප්‍රසන්න සිටියේ මඳක් පසුපසට වන්නටය. ප්‍රසන්නව සොයා ගෙන පැමිණි මහින්දගේ ආරක්ෂක නිලධාරියෙකු ‘මන්ත්‍රීතුමාව සර් හොයනවා’ යැයි කීවේය. එහෙත් තදබදය නිසා ප්‍රසන්නට ඒ අසලට යන්නට නොහැකි විය. උත්සවයෙන් පසු මහින්ද සහ ප්‍රසන්න අතර දේශපාලන කතාබහක් පැවැතිණි. ඒ වන විටත් පැවැති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, රණවීරද එම සාකච්ඡාවට සහභාගි විය.
ඉරිදා සවස මහින්ද කරන්දෙණිය බලා ගියේ ඝාතනයට ලක්වූ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයාට අවසන් ගෞරව දැක්වීමටය. මේ දිනවල රට පුරා යහමින් පැතිර යමින් තිබෙන පාතාලයේ ගොදුරක් බවට උපසභාපතිවරයා පත්ව තිබිණි.
රමේෂ් පතිරණ සහ මොහාන් සිල්වා යන මන්ත්‍රීවරුද සමග සම්පත් අතුකෝරළද මෙම අවස්ථාවට සහභාගිව සිටි අතර, මහින්ද ඇතුළු පිරිස සාකච්ඡා කළේ පාතාල ලෝකයේ හිස එසවීම සම්බන්ධයෙනි.
‘අපේ ආණ්ඩුව තිබුණු කාලෙ නම් සර්ලට පින්සිද්ධ වෙන්න පාතාල ලෝකය මර්දනය වෙලා තිබුණා. අද චණ්ඩි පාට් දාන පාතාලයෝ සේරම හිටියේ මර බයේ රටින් පැනලා. හැබැයි මේ ආණ්ඩුව ආවා විතරයි සේරම ටික ආපහු ලංකාවට ඇවිත් වැඩ පෙන්වන්න පටන්ගෙන’ සම්පත් පැවසීය.
‘ඒක ඇත්ත. යහපාලන ආණ්ඩුව ඇවිත් ගෙවුණු අවුරුදු තුනට දකුණේ පාතාලයේ ශීඝ්‍ර ලෙස වර්ධනයක් වුණා. දැන් හැමතැනම මිනීමරුම්. දකුණේ මිනිසුන්නට නිදහසේ ජීවත් වෙන්න තිබුණු ඉඩත් යහපාලන ආණ්ඩුව නිසා නැති වුණා’ රමේෂ් පැවසීය.
‘පාතාලය මර්දනය කරන්න බැරි වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ ඉන්න ලොකු ලොක්කො සේරම පාතාලයට යටින් උදව් කරන නිසයි. මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ගේ හොඳම යාළුවෝ ටික තමයි ඔය පාතාලයේ රජවෙලා ඉන්නේ. ඒ හින්දා පොලීසියටත් වෙලා තියෙන්නේ සද්ද නැතුව ඉන්නයි’ මහින්ද පැහැදිලි කළේය.
‘සර්ගේ කතාව හරි. පොල් ගෙඩියක් ඇහිලුවත් ජීප් එකෙන් ඇවිත් ගහලා, බැණලා රිමාන්ඩ් කරවන පොලීසිය පාතාලයෝ ඉස්සරහා පුදුම විදියට නිශ්ශබ්දයි. පාතාලේ අයත් දන්නවා පොලීසියෙන් කිසිම කරදයක් නැහැ කියලා. ඒ හින්දා හිතුමනාපෙට මිනිස්සුන්ට වෙඩි තියනවා’
මොහාන් පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ විජිත හේරත් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සංශෝධනය පිළිබඳ විවිධ මත පළවෙමින් තිබේ. මේ පිළිබඳව ඇතැම් පිරිස් ව්‍යාජ මත පතුරවමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරමින් තිබේ. මේ නිසාම ඇතැම් පිරිස් 20 වැනි සංශෝධනය පිළිබඳව යම් සැකයකින් කතාබහ කරමින් සිටියි. මේ හේතුව නිසාම ජවිපෙ නායකයන් මේ දිනවල විද්වත් පිරිස් සමග සංශෝධනය පිළිබඳව කරුණු සාකච්ඡා කරමින් සිටියි. පසුගියදා 20 පිළිබඳව තිබූ එවැනි සාකච්ඡාවකදී නීතිඥවරයෙක් විජිත හේරත්ගෙන් මෙවැනි කරුණක් ගැන විමසා සිටියේය. ‘මන්ත්‍රීතුමා මොකක්ද මේ රනිල්ගේ වුවමනාවට මේ සංශෝධනය ගෙනාවා කියන්නේ. මාසයක් රනිල්ට බලය ලැබෙනවා කියලත් කතාවක් යනවා” නීතිඥයා විමසා සිටියේය.
‘අපි යෝජනාව දැම්මට පස්සේ ඊට කලින් මවපු බිල්ලෝ මවන්න සමහර ඔඩොක්කු කුක්කන්ට බැහැ. ඒ නිසා දැන් පරණ පුරුද්දට රනිල් පටලවා ගන්නවා. විස්ස ක්‍රියාත්මක වෙන්නේ 2020 ජනවාරි 08න් පස්සේ. විස්ස ක්‍රියාත්මක වීමත් සමග 2020 පෙබරවාරි මාසේ 08 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා අපි යෝජනා කරනවා. නමුත් දැන් තියෙන ආණ්ඩුව 2020 සැප්තැම්බර් වෙනකල් තියෙනවා. විස්ස නිසා 2020 පෙබරවාරි පාර්ලිමේන්තුව විසුරුවනවා. ඇත්තටම වෙන්නේ මාස 7ක් කලින් රනිල්ගේ ආණ්ඩුව අවසන් වෙන එකයි. ඒක රනිල්ට පාඩුයි. එතකොට කියනවා රනිල්ට ජනවාරි සිට පෙබරවාරි දක්වා මාසයක බලයක් යනවලු. මාසයකින් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න යෝජනා කරන්නේ රටේ අස්ථාවරත්වයක් ඇතිවෙයි කියලා. නමුත් කවුරු හරි යෝජනා කරනවා නම් 2020 ජනවාරි 09 වැනිදම විසුරුවා හරින්න කියලා අපි ඒකටත් කැමතියි.” විජිත හේරත් කියා සිටියේය.
අඟහරුවාදා සවස පහට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡාවට ලක් වූයේ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම, සුදර්ශනීගේ පරාජය සහ ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි. බැසිල්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.
‘මේ දවස්වල ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් ගැන මතවාදයක් වපුරන්නට උත්සාහ ගනිමින් සිටිනවා. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ පක්ෂ කිහිපයක එකතුවෙන් හැදුණු දෙයක්. ඒ පක්ෂ අතර විවිධ මතවාද තියෙනවා. ඒ මතවාද කලින් ප්‍රකාශයට පත්වුණාම තමයි ඒකාබද්ධය බෙදිලා කියලා ආණ්ඩුව දේශපාලන වාසියක් ගන්න හදන්නේ.
ඒ නිසා අපි කවුරුත් අපේ මතවාද ප්‍රකාශ කරන කොට ප්‍රවේසම් වෙන්න ඕන. මොන මතවාද තිබුණත් අපි හැමදාම තීන්දු ගත්තේ හැමදෙනාම එකතු වෙලා සාකච්ඡා කරලයි. ඒ නිසා අපි මේ කාරණය ගැන මීට වඩා කල්පනාකාරී විය යුතුයි’ මහින්ද පැහැදිලි කළේය.
‘ආණ්ඩුවෙන් එළියට බැස්ස 16 දෙනාගේ කණ්ඩායම විවිධ මත ප්‍රකාශ කරමින් යනවා. සමහරු කියනවා මහින්ද මහත්තයට උදව් කරනවා කියලා. තවත් සමහරු කියනවා පොහොට්ටුවේ ඡන්ද ටිකත් අරන් මෛත්‍රී ගාවට යනවා කියලා. අපි අවුරුදු ගාණක් දුක්විඳලා හදාගත් මේ බලවේගය විනාශ වෙන්න දෙන්න බැහැ.
අපි ඒ අය එනවාට විරුද්ධ නැහැ. හැබැයි එනවා නම් සියලු දෙනාම එක මතයක් ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. විපක්ෂයට එනවා කියලා ඇවිත් මෛත්‍රී එක්ක දේශපාලනයක් කරන්න උත්සාහ ගන්නවා නම් අපට ඒකට ඉඩ තියන්න බැහැ.
අපට හිතෙන්නේ මේ සමහරු උත්සාහ කරන්නේ මහින්ද මහත්තයාගේ කරේ එල්ලිලා ආයෙත් වතාවක් පාර්ලිමේන්තුවට රිංගන්න ගත්තු උත්සාහයක් විදියටයි. ඒ හින්දා ඒ ගැන පැහැදිලි කිරීමක් කෙරෙනවා නම් හොඳයි කියන එකයි මගේ මතය’ රෝහිත පැවසීය.
‘ඒ කතාව නම් ඇත්ත. කවුරු වුණත් එනවා නම් ඒකාබද්ධ සමග එකතු වෙන්න ඕන’ වෙල්ගම ද පොහොර දැම්මේය.
‘16 දෙනාගේ කණ්ඩායම ඇතුළෙත් ඔය ප්රශ්නය සාකච්ඡා කෙරෙමින් තියෙනවා’ මහින්ද පැවසීය.
‘16 දෙනාගේ කණ්ඩායමෙන් හතර පස්දෙනෙක් අපට එකතු වෙන්න සාකච්ඡා කරමින් ඉන්නවා. අපේ පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්න ඕන කෙනෙකුට අපිත් එක්ක ඉන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ’ බැසිල් කීවේය.
‘අපි කටයුතු කරමින් ඉන්නේ මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් රටේ හදලා නැවත වතාවක් රට දියුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන්නයි. අපේ නායකයා විදියට අපි පිළිගන්නේ මහින්ද මහත්තයාවයි. ඒ නිසා අපට එකතු වෙන අයත් ඒක පිළිගන්න ඕන. එහෙම නැතුව මෙතැනට ඇවිත් මෛත්‍රීගේ නායකත්වයෙන් ගමනක් යන්න හදන අයට අපි ළඟ ඉඩක් නැහැ’ ජී.එල්. පැවසීය.
‘මහින්ද මහත්තයා දේශපාලන වශයෙන් පරාජයට පත් වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එළියට බැහැපු ප්‍රසන්න ඇතුළු පිරිස ගැනත් අපි මතක් කරන්න ඕන. මොකද එයාලත් විශාල කැපකිරීමක් කළා. අපි ඒක අමතක කරන්න හොඳ නැහැ’ බැසිල් පෙන්වා දුන්නේය.
‘දැන් කියන්නේ අපි 16 දෙනා පිළිනොගත යුතු බවද?’ විමල් ඇසුවේය.
‘අපි එහෙම කියන්නේ නැහැ. එනවා නම් අපේ කණ්ඩායම එක්ක ඉන්න ඕන. හොරෙන් ඩීල් දාගෙන දෙපැත්තේ කකුල් තියන් ඉන්න බැහැ. මේ හදන්නේ ආණ්ඩු විරෝධය දෙකට බෙදන්නයි. එහෙම වුණොත් වාසිය යන්නේ මෛත්‍රීටයි, රනිල්ටයි’ වෙල්ගම පැවසීය.
‘අපි හැමෝටම ඕන ආණ්ඩුව පෙරළන්න. ඒකට අනෙක් අයත් එකතු කර ගන්න ඕන. හැබැයි අපි එකතු කර ගන්න ඕනේ සැබෑ වුවමනාවක් ඇතුව අපිත් එක්ක එකතු වෙන අය විතරයි’ මහින්ද ද එය අනුමත කළේය.
ඒ අනුව ඉදිරියේදී පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය වශයෙන් කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් විය. ඒ අනුව තීන්දු කෙරුණේ උද්ඝෝෂණ සහ ජනරැලි මාලා දෙකක් පැවැත්වීමටය. උද්ඝෝෂණ පැවැත්වීම පොදුජන පෙරමුණටත්, ජනරැලි පැවැත්වීම ඒකාබද්ධයටත් බාර කෙරිණි.
‘එතකොට මන්ත්‍රීතුමා මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයට සහ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට මොකද වෙන්නේ?” විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විමසා සිටියේය. ‘මූලික වශයෙන් අපි පුද්ගල සාධක ගැන හිතලා සංශෝධනය හැදුවේ නැහැ. නමුත් මේකෙන් මෛත්‍රී ජනාධිපතිතුමාට වාසියක් තියෙනවා කියල තර්කයක් හදන්න පුළුවන්. විස්ස ක්‍රියාත්මක වෙලා ඊළඟ පාර්ලිමේන්තුව මගින් ජනාධිපති පත් වෙනකල් මෛත්‍රීට විස්සේ ප්‍රතිපාදන අනුව ජනාධිපති පුටුවේ ඉන්න පුළුවන්. නැත්නම් මෛත්‍රී 2020 ජනවාරි 09 වැනිදා ගෙදර යන්න ඕනෑ. ඒ නිසා කවුරු හරි කියනවා නම් මේක මෛත්‍රීගේ වුවමනාවට කරනවා කියලා ඒකට තර්කයක් තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ පැත්තෙන් බැලුවොත් දැන් තියෙන ව්‍යවස්ථාව අනුව මහින්දට රටේ නායකයා වෙන්නත් බැහැ, ආණ්ඩුවේ නායකයා වෙන්නත් බැහැ. මොකද රටේ නායකයාත් ආණ්ඩුවේ නායකයාත් ජනාධිපති නිසා. නමුත් විස්සට අනුව මහින්දට ආණ්ඩුවේ නායකයා වෙන්න පුළුවන්. මොකද 20 වැනි සංශෝධනය අනුව ආණ්ඩුවේ නායකයා වෙන්නේ අගමැතිවරයායි. ඒ නිසා කාට හරි කියන්න පුළුවන් මේක මහින්දගේ වුවමනාවක් කියලත්.’
‘එතකොට මන්ත්‍රීතුමා මේක සම්මත කර ගන්නේ කොහොමද? පළමු වටයේ මේ සංශෝධනයට 2/3ක් ඕනෑ. ඒ කියන්නේ මන්ත්‍රීවරු 150ක්” සාකච්ඡාවට සම්බන්ධ වූ ස්වාමීන්වහන්සේනමක් විමසා සිටියහ. ඊට පිළිතුරු දුන්නේ අනුර දිසානායක මන්ත්‍රීවරයාය.
‘අපිට ඉන්නේ මන්ත්‍රීවරු 06යි. අපිට අභියෝගයක් තියෙනවා. අපිට 2001 මන්ත්‍රීවරු හිටියේ 10යි. ඒ වෙලාවේ 17 වැනි සංශෝධනය සම්මත කරගත්තා. එදා මන්ත්‍රීවරු 223ක් 17ට එකඟ වුණා. මොකද එදා පාර්ලිමේන්තුවේ වෙනත් අරාජික තත්ත්වයක් තිබුණා. ඒක අපි ප්‍රයෝජනයට ගත්තා. අද පාර්ලිමේන්තුවේ සංයුතිය කොහොමද? එජාපයේ 106යි. මහින්දගේ 54යි. ටී.එන්.ඒ. 16යි. මෛත්‍රීගේ 23යි. දොරකඩ 16යි. දේවානන්ද ළඟ 01යි. මේ තත්ත්වය අපිට පාවිච්චි කරගන්න පුළුවන්. මොකද ආණ්ඩුවට 2/3ක් තිබුණ වෙලාවේ සම්මත කරගත්ත සංශෝධන ප්රජාතන්ත්ර විරෝධී ඒවා. 17 සහ 19 පමණයි ප්රජාතන්ත්රවාදයට හිතකර වුණේ. ඒවා සම්මත කරගත්තේ පාර්ලිමේන්තුවේ පොදු සම්මුතියෙන්. අදත් පාර්ලිමේන්තුවේ තිබෙන සංයුතිය හොඳයි. මහින්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න එකඟයි. මෛත්‍රීපාල සිරිසේන අවස්ථා ගණනාවකදී ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිව්වා. රනිල් වික්‍රමසිංහ අවස්ථා ගණනාවකදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟවෙලා තිබෙනවා. මේ තිදෙනාම අහෝසි කරන්න එකඟතාවයක් තිබෙනවා. ඒ නිසා අපිට යම් විභවයක් තිබෙනවා විස්ස සම්මත කර ගැනීමට. ඒ වගේම වෙල්ගම, බන්දුල, ප්‍රසන්න රණතුංග, වාසුදේව වගේ ඒකාබද්ධයේ පිරිස් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ මූලික එකඟතාවයේ ඉන්නවා.” අනුර දිසානායක පැහැදිලි කළේය.
කොළඹ නගරාධිපති පුටුවට රෝසි සේනානායක පැමිණි දා සිට පුවත් මවන්නියකි. රුපියල් ලක්ෂ 57ක් වැයකර නගරාධිපති නිල නිවසේ වැසිකිළිය අලුත්වැඩියා කිරීමට සභාවේ අනුමැතිය ගැනීම ඉන් එක් අවස්ථාවකි. වසර හතරකට පෙර නවීන උපකරණ සහිතව එහි ඉදිකර තිබූ වැසිකිළි පද්ධතිය ඉකුත් දිනකදී කඩාදැම්මේය. එම අවස්ථාවට නගර සභාවේ කම්කරුවෝද එක්ව සිටියහ. ලක්ෂ ගණනක් වැයකර ඉදිකර තිබූ මෙම වැසිකිළි පද්ධතිය කඩා දැමීමේ අවස්ථාව කම්කරුවෝ ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කළහ. ඒ ආකාරයට මුල සිට අග දක්වා සියලු අවස්ථා ඡායාරූප ගතවිය. අනතුරුව ඉහළින් ලැබුණු අණක් අනුව නිලධාරීහු පිරිසක් පැමිණ කම්කරුවන්ගේ දුරකථන පරීක්ෂා කළහ. වැසිකිළි කඩන ඡායාරූප සියල්ල මකා දැමූ එම නිලධාරීන් සේවකයන්ට දඬුවම් ලබාදෙන බව දැනුම් දුන්නේය.
මේ අතර, සතිපතා බදාදා පැවැත්වෙන නගර සභාවේ මහජන දිනයට රෝසි නොපැමිණෙන බවට නගර වැසියන්ගෙන් චෝදනා එල්ල වෙමින් තිබිණි. ඉහළින් පවා රෝසිගෙන් මේ ගැන විමසා තිබූ අතර, මාධ්‍යවලද පුවත් පළවිය. ඒ අනුව මේ සතියේ බදාදා දිනයේදී මහජන දිනයට පැමිණෙන බව රෝසි නිලධාරීන්ට දැනුම් දුන්නාය. පණිවුඩය අනුව නගරවැසියෝද තම ගැටලු ඉදිරිපත් කර විසඳුම් ලබා ගැනීම සඳහා නගර සභාව වෙත පැමිණෙන්ට වූහ. ඒ වනවිටත් සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියහ. මහජන හමුව පැවැත්වෙන ස්ථානයට රෝසි පැමිණියේ සුපුරුදු කලබල ගතිය පෙන්වමිනි. ඒ වන විට කැමරාකරුවෝද පැමිණ සිටියහ. ඒ කලින් කළ දැනුම් දීමකට අනුවය. ඡායාරූපවලට හසුවන ආකාරයට ඇය රාජකාරිය ආරම්භ කළාය. මහජනතාවගෙන් ප්‍රශ්න අසන ආකාරය, ඊට විසඳුම් දෙන ආකාරය දිස්විය. විවිධ ඉරියව්වලින් කැමරා ක්‍රියාත්මක විය. මහජනතාවද පෝලිමේ සිටියේ අද නම් තමන්ගේ ගැටලුව කෙසේ විසඳා ගන්නවා යන අරමුණින් යුතුවය. එහෙත් මහජන දිනය ආරම්භ වී ගත වූයේ විනාඩි 10ක් පමණ කාලයකි. රෝසි පුටුවෙන් නැගිට ගියේ රැස්වීමකට යන බව පවසමිනි. ඒ වන විට පෝලිමේ සිටි ජනතාව මුහුණට මුහුණ බලාගත්හ. නගරාධිපතිවරියගෙන් විසඳුම් බලාපොරොත්තුවෙන් උදය වරුවම නගර සභා ගොඩනැගිල්ලේ ගත කළ ජනතාවට හිස් අතින්ම යෑමට සිදු වූහ. මේ සම්බන්ධව සභාවේ සේවකයන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළවී තිබේ. මීළඟ සභා වාරයේදී රෝසිගෙන් මේ ගැන ප්‍රශ්න කිරීමට මන්ත්‍රීවරු පිරිසක් සූදානමින් සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd