Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා
2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා
ධනයත් බලයක් පසුපස හඹා ගිය ලෝක සත්ත්වයා, සිහින ලෝකයන්හි මංමුළාව අතරමං වුණ ලෝක සත්ත්වයා, අහස් මාලිගයෙන් මොහොතින් බිමට ඇද දැමූ ‘කොරෝනා’, ලෝකයක් දණ ගැස්සූ නමකි. කුඩා දරුවාගේ පටන් මහල්ලාද, දිළින්ඳාගේ පටන් රාජ රාජ මහාමාත්‍යාදීන්ද අන්ත අසරණ කරමින් ලක්ෂ ගණනකට මරු කැඳවමින්, ලක්ෂ ගණනක් ජනයා රෝගීන් බවට පත් කරමින් ලෝකය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ‘කොරෝනා’ වසංගතය, මේ වන විටත් මේ දශකයේ දරුණුම ඛේදවාචකය බවට පත්ව ඇත.
ධනයත් බලයත් පසුපස හැල්මේ දුව ගිය මිනිසා, නවීන විද්‍යාවෙන් සන්නද්ධව ඉර හඳ තාරකා පවා ජය ගත්තා යැයි පුරසාරම් දෙඩූ මිනිසා, අවසන පියවි ඇසටවත් නොපෙනෙන කුඩා වෛරසයක් විසින් අන්ත පරාජිතයින් පිරිසක් බවට පත් කර ඇත.
‘බුදු ඇසින් කොරෝනා’ යන මේ ලිපියේ අරමුණ කොරෝනා වෛරසයෙන් පමණක් නොව, සත්ත්වයාට උපතින්ම උරුම වූ ජාති ජරා ව්‍යාධි මරණයන් ඉදිරියේදී පවා ඉන්ද්‍රඛීලයක් සේ නොසෙල්වී කටයුතු කරන ශක්තිමත් තරුණ පරපුරක් උදෙසා තුන් ලෝකාග්‍ර වූ අමාමෑණී ශාන්තිනායකයාණන් වහන්සේගේ මුවින් දෙසූ ශ්‍රී සද්ධර්මය ඇසුරින් මග පෙන්වීමය.
මනුෂ්‍ය ජීවිතයේ වැදගත්ම කාලය තමයි තරුණ අවධිය. කතාවටත් කියන්නෙත් ”කොල්ල කාලෙ තමයි හො`දම කාලෙ” කියල. එහෙම කියන්න බොහෝ කාරණාවන් තියෙනවා. මිනිසෙකුගේ කායික වගේම මානසික ශක්තියත් සමබරව පවතින අවධිය තමයි තරුණ අවධිය. විශේෂයෙන්ම මේ කාලයේදී කෙනෙක් මානසිකව ගන්න තීන්දු තීරණ බොහොම වැදගත් වෙනවා. ඒ වගේම ඒ තීරණයන් මත තමයි එතනින් එහාට ඒ කෙනාගෙ මුළු ජීවිතයම රඳා පවතින්නේ.
තරුණ තරුණියන් හැමෝගෙම බලාපොරොත්තුව තමයි සැපවත් ජීවිතයක් ගත කිරීම. ඒ සඳහා බොහෝ දෙනා කුඩා අවධියේ පටන් විවිධාකාරයේ සිහින ඉලක්කයන් තබා ගන්නවා. එම ඉලක්කයන් සපුරා ගන්නා තුරු ඒවා සිහින යැයි හැඳින්වීමද වරදක් නැත. විශේෂයෙන්ම මේ සිහින අතරට උසස් අධ්‍යාපනය, ඉහළ පෙළේ රැකියාවක්, වටිනා නිවසක් සහ තමන්ගේම වාහනයක් වගේම සාර්ථක විවාහ ජීවිතයක්ද අනිවාර්යය අංග වෙනවා.
නමුත්, ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටක මේ සියල්ලම සපුරා ගන්නවා කියන්නෙත් එක්තරා ආකාරයක සිහිනයක්ම තමයි. ඒ නිසා තමන්ගෙ සිහින ඉලක්කයක් විදියට දියුණු රටකට (උදාහරණයට යුරෝපීය රටකට) ගිහින් තමන්ගේ සිහින සැබෑ කරගන්න තරුණ තරුණියන්ට තියෙන්නේ පුදුමාකාරයේ උනන්දුවක්. අන්තර්ජාලයෙන් හෝ විදෙස්ගත වෙලා ඉන්න තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ගෙන් දියුණු රටවල තියෙන සැප පහසුකම් ගැන විස්තර දැනගෙන තමන්ගෙ මනසේ යුරෝපය පිළිබඳව ගොඩනගාගත් සංකල්පවලට අනුව නීතිමය අයුරින් හෝ නීතිවිරෝධී අයුරින් හෝ විදෙස්ගත වෙන්න දෙපාරක් හිතන්නෙ නැති තරම්. නමුත් තරුණ තරුණියන්ගේ සිහින රාජ්‍යයන් බවට පත්ව තිබූ, විද්‍යාවෙන් තාක්ෂණයෙන් ධනයෙන් බලයෙන් ආඩ්‍යව තිබූ දියුණු යැයි සම්මත ලෝකයේ රටවල් සියල්ලෙහිම අද තත්ත්වය කෙබඳුද? ඔවුනුත් අපේ තරුණ පරපුර මෙන්ම සිහින ඉලක්ක පසුපස හඹා ගිය පිරිසක් නොවේද?
අපේ තරුණ පරපුරට සිහිනයන් වූ බොහොමයක් සැප සම්පත් ඔවුනට උපතින්ම උරුමයි. එනමුත් තමන්ට උපතින්ම උරුම වූ ජරාවත් මරණයත් පැමිණෙන විට හඬමින් වැලපෙමින් ජීවිතය යදින්නේ කිරට හඬනා දරුවන් මෙනි. මේ තාක් කාලයක් පුරාවට එකිනෙකා පරයමින් හැල්මේ දුවමින් ගොඩගසා ගත් මිල මුදල් මහපාරට විසිකර දමන්නේ, ජරා මරණ ඉදිරියේ තනතුරු තාන්න මාන්න මිල මුදලට කිසිවක් කළ නොහැකි බව, ධනය බලය පසුපස හඹා යන අනෙකුත් ලෝක සත්ත්වයාට පසක් කර දෙන්නට මෙනි. අද ඔවුන්ට විද්‍යාවෙන් තබා දෙවියන්ගෙන්වත් පිහිටක් නැති තරම්.
තිරිසන් සතෙකුට කරදරයක් වූ විට ගුවන් යානා යොදා ගනිමින් පිහිට වූ රටවල්වල අද මිනිසෙකු මිය ගිය පසු ආදාහනය කිරීමට දින ගණන් ගත වේ. මිහිපිට සුරපුරයන් වූ රටවල් අද අමුසොහොන් වී අවසන්. සුමිහිරි ශබ්දයන්ගෙන් දෙසවන් පිනවූ මංමාවත්වල අද එකම අඳෝනාවක්.
මොහොතක් කොරෝනා වෛරසය ලොව පුරා පැතිරෙන්නට පෙර තත්ත්වය ගැන සිතා බලන්න. තරුණ ඔබ මෙන්ම අනෙකුත් මිනිසුන්ද අනාගත සැපය විඳීම උදෙසා, අද දවසේ කළ යුතු වැඩ කොටස ආරම්භ කිරීමට ලහි ලහියේ සූදානම් වෙන්නට ඇති. කෙනෙකු සැපය උදෙසා උසස් අධ්‍යාපනය හදාරන්නට යන අතර, තවකෙකු රැකියාවට පිටත් වෙන්නට ඇති. දුවා දරුවන්ගේ වැඩ රාජකාරි මධ්‍යයේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් කාර්යබහුල වෙන්න ඇති. එමෙන්ම විවේකයක් ලද සියලුදෙනා සාප්පු සවාරිවල යෙදෙමින්, රසවත් ආහාරපානවලින් සන්තර්පනය වෙමින්, මියුරු සංගීතයන්ගෙන් මත් වෙමින්, විනෝද චාරිකාවල යෙදෙන්නට ඇති. වියැකී යන රූපය රැකගැනීම උදෙසා රූපලාවණ්‍ය මධ්‍යස්ථාන තුළ කල්මරන්නට ඇති.
තරුණ ඔබ මෙන්ම ඒ කිසිවෙකුත් හෙට දිනයේ තමන්ට සිදුවීමට යන භයානක සිදුවීම පිළිබඳව දැන සිටියේ නෑ. ලෝකයේ කොතැනින් හෝ වෛරසය විශ්වයට මුදාහැරුණා. කාටවත් ප්‍රශ්නයක් වුණේ නෑ. පළමු ආසාදිතයා හොයාගත්තා. ඒත් තාමත් කාටවත් ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. රෝගීන් එකිනෙකා වැඩිවෙමින් ශීඝ්‍රයෙන් රෝගය ව්‍යාප්ත වුණත් වෛරසය නිසා මිය ගිය අය ඒ අය මිය යන තුරුම හිතාගෙන හිටියේ තමන්ට වෛරසය ආසාදනය වෙන එකක් නෑ කියලයි.
හරියට තරුණ ඔබ මේ මොහොතෙත් හිතාගෙන ඉන්නව වගේමයි. ඒත විශ්වීය ධර්මතාවයට ඔබ හිතන අයුරු වැදගත් වෙන්නෙ නෑ. ඔබේ තනතුරු තාන්න මාන්න වැදගත් වෙන්නෙ නෑ.
‘කම්මස්ස කෝම්හී කම්ම දායාදෝ’ යන්න විශ්වීය ධර්මතාවයක් බව මොනවට පැහැදිලි කළේ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහනසේගේ දේශනාවයි. එහි සරල අර්ථය වෙන්නේ සත්ත්වයා කර්මය ස්වකීය කරගෙන පුණ්‍ය හෝ පාප විපාක දායාද කරගෙන සසර සැරිසරන බවයි. සුගත තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළවුණ අවධියේ විවිධාකාරයේ ශාස්තෘවරු විසින් ආගම් වාද හැට දෙකක් ලෝකයට ඉදිරිපත් කරල තිබුණා. තථාගතයන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත්වෙලා දෙවියෙකුට, මාරයෙකුට, ශ්‍රමණ බ්රාහ්මණයෙකුට බිඳින්න බැරි, බොරු කරන්න බැරි ලොව්තුරා බුදු කෙනෙකුට පමණක් සර්වප්රකාරයෙන් ස්වයංභූත ඥාණයෙන් අවබෝධ වෙන හේතු ඵල වාදය ලෝක සත්ත්වයාට ඉදිරිපත් කළා.
‘හේතු ඵල’ - ඒ තමයි මේ ලෝකයේ සදාතනික සත්‍යය, එහෙම නැත්නම් විශ්වීය ධර්මතාවය. හේතු ඵල දහමට අනුකූලනොවන කිසිවක් මේ ලෝකයේ නෑ. ලෝකය සහ ලෝකයේ යමක් ඇත්ද ඒ සියල්ල හේතූන්ගේ ඵලයි. හේතු ඵල දහමට අනුව එහෙම නැත්නම් ‘කර්මය ස්වකීයයි’ යන ශ්‍රේෂ්ඨ බුද්ධ වචනය අනුව මේ වන විට ලෝකයට උද්ගත වෙලා තියෙන තත්ත්වය පැහැදිලි කරගන්න පුළුවන් නම්, කොරෝනා වෛරසය පමණක් නොවෙයි මින් ඉදිරියට මොන ආකාරයේ ගැටලුවක් මතු වුවත් බිය ශෝකය දුරු කරගෙන, නිවැරදිව ගැටලුවලට විසඳුම් ලබාගන්න පුළුවන් වෙනව වගේම, සියලු දුක්ඛයන්ගෙන් අත මිදෙන මාර්ගයද අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා.
සමස්තයක් විදිහට මේ වෛරසය නිසා බොහෝ කොට පීඩාවට පත් වුණ මිනිසුන් හා ලෝකය දෙස බැලීමේදී පෙනී යන එක් පොදු කාරණාවක් තියෙනවා. වෛරසයෙන් පීඩාවට පත් වන්නට පෙර ඔවුන්ගේ ජීවන ක්‍රියාකාරකම් බොහෝදුරට සමානයි. අධික ලෙස පංච කාමයට නැඹුරු වෙලා කටයුතු කළ පිරිස් වගේම, බහුතරයකගේ දිවි පැවැත්ම දස වස්තුක මිථ්‍යාදෘෂ්ටියට අනුව ගත වුණ බව පෙනී යනවා.
අධික ලෙස පංචකාමය පසුපස හඹා යන ඔවුන්ගෙන් විශ්වයට මුදා හැරුණු කළු කිරණ ශක්තිය නම් සුළුපටු නෑ. ධනයෙන් බලයෙන් මත් වී සියල්ල මුදල් මත තීරණය වෙනවා යැයි සිතා කටයුතු කරන විට ගුණයෙන් හීන දීන වීමද අරුමයක් නොවේ. මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අවබෝධ කර නොගන්නා නිසා, කල්ප කෝටි සත සහස්රයක් අපමණ දුකක් විඳ ලබාගත් මනුසත් බව කිසිදා තෘප්තිමත් විය නොහැකි කාම වස්තූන් ලබා ගැනීම උදෙසා දියකර හරින්නේ අනෙකුත් ලෝක සත්ත්වයන්ද තව තවත් අඳුරට ඇද දමමිනි.
තමන්ගේ මන දොළ සපුරු ගැනීම පිණිස සුගති සත්ත්වයා තුළ නිරන්තරයෙන් වෛරය ක්‍රෝධය පතුරවමින්, ධනයත් බලයත් උපයෝගී කර ගනිමින්, අනෙකුත් ලෝක සත්ත්වයන් තුළද තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා මිසදිටු අදහස් පතුරවා හැරීමට ඔවුන් කිසිවිටෙකත් පසුබට වෙන්නේ නෑ.
ඒ සඳහා ඔවුන් විවිධාකාරයේ උපක්‍රම භාවිතා කරන්නේ නොපැකිලිවයි. විටෙක මිතුරු වෙසින්ද, විටෙක සතුරු වෙසින්ද ඔවුන් ඒ සඳහා කටයුතු කරනවා. මිනිසා නිරතුරුව සංවේදී වන ආගමික පරිසරයද ඔවුන්ගේ මිථ්‍යා මතිමතාන්තර ලෝකයට ගෙන යන තවත් ක්‍රමවේදයක්. මානසික අසහනයෙන් පීඩාවට පත් මිනිසා එයින් නිදහස් වීමට යැයි කියා භාවිතා කරන කලාවද ඔවුන්ගේ තවත් එක් ආයුධයක්.
කිසිදු අයුරකින් අවිශ්වාසයක් ගොඩ නොනැගෙන පරිදි ලෝකයේ බොහෝ මිනිසුන් පිරිසක් ඉලක්ක කර, ඔවුන්ගේ මිථ්‍යා මතිමතාන්තර ඉතා සියුම් ලෙස මිනිසුන්ගේ සිත් තුළට කා වද්දන රූපවාහිනිය හා වෙළෙඳ දැන්වීම්ද මේ මිසදිටුවන්ට අපූරු තෝතැන්නක්. ඒවා තුළින් ඉතා නිර්මාණශීලී අයුරින් තමන්ගේ මිථ්‍යා මත ලෝකයට ඉදිරිපත් කිරීමට හැකිවීමේ අමතර වාසියක්ද වෙනවා.
බොහෝ විට ඔවුන්ගේ ඉලක්කය වන්නේ තරුණ ඔබේ ජීවිතයයි. ඒ සඳහා තරුණ ඔබේ විප්ලවීය අදහස් ඔවුන්ට හොඳ අත්වැලක් වෙනවා. රටක තරුණ පරපුර අතර මේ මිථ්‍යා අදහස් ගැබ්වීම තුළින් ඔවුන් බලාපොරොත්තු වෙන අරමුණ කරා බොහොම පහසුවෙන් ගමන් කළ හැකි වෙනව. නිදහස් මානසිකත්වයකින් තරුණ ඔබේ ජීවිතය ගැන පසු විපරමක් කර බැලුවා නම් ඉතා කෙටි කලක් තුළ සිදු වී ඇති චින්තන වෙනස පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන් වේවි.
අද මෙන් මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගන්නට දියුණු යන්ත්‍රෝපකරණ හා තමන්ගේ මන දොල සතුටු කරන්නට අසීමිත කාම වස්තූන් නොතිබුණද, අපේ පැරැන්නෝ අපටත් වඩා සියදහස් ගුණයක් සතුටින් හා නිදහසින් යුතුව දිවි පැවැත්ම ගත කළා. ඔවුන්ගේ සරල දිවි පැවැත්මෙන් ලෝක සත්ත්වයන්ට හා විශ්වයට මහා යහපතක් මිස කිසිවිටෙක අයහපතක් වුණේ නෑ.
උත්තරීතර අරිහතුන් වහන්සේලා ඇසුරු කළ පරපුරකින් පැවත ආ නිසා අපේ පැරැන්නන් තුළද ඒ ශ්‍රේෂ්ඨ සීහෙළ ගති පැවතුණා. තමන් කන බත් පත පවා තමන්ගෙ අතට පත් වනතුරු ඈත අතීතයේ ඉඳල ඊට සහසම්බන්ධ වෙලා, උදවු උපකාර කළ ඇත්තන්ව කෘතඥපූර්වකව සිහිපත් කරන්නට තරම් ඔවුන් මහා ගුණවතුන් බවට පත් වුණා.
නිරන්තරයෙන් ආර්යයන් වහන්සේලා ඇසුරු කරමින් දහමට අනුව දිවි පැවැත්ම ගත කළ ඔවුන්, අනුන්ගේ සෙම් සොටු, මල මූත්‍රා ආහාරයට ගනිමින් කල්ප ගණනින් අප්‍රමාණ දුක් විඳිමින් ප්‍රේත යෝනිවල, ගන්ධබ්බ අවධීන්වල දුක් විඳි තමන්ව වියළී ගිය මරු කතරින් ක්ෂේම භූමියට ඔසවා තැබූ මවුපියන්ට ගරු බුහුමන් කළේ තමන්ගේ ඉටු දෙවියන්ට මෙන්.
සාධාරණ ලෙස දැහැමින් උපයා ගත් මිල මුදලින් නිරන්තරයෙන් ආර්යය උත්තමයන් වෙනුවෙනුත්, දුගී මගී යාචකයන් වෙනුවෙනුත් දන් පැන් පිළිගන්වමින්, ඇප උපස්ථාන කරමින් රැස් කර ගත් අප්‍රමාණ පුණ්‍ය ශක්තිය දිව්‍ය බ්රහ්මාදීන්ටත්, සසර ගමනේ තමන්ගෙන් අවැඩ අසාධාරණ වූවන්ට වගේම තමන්ට අල්ප මාත්‍රයකින් හෝ උදවු උපකාර කළ පිරිසටත් අනුමෝදන් කළේ හදපිරි සතුටින්.
සුගත තථාගතයන් වහන්සේ දේශනා කළ පරිදිම ඔවුන්ගේ පිනෙන් සතුටු වුණ දිව්‍ය බ්‍රහ්මාදීන් වගේම අමනුෂ්‍ය කොට්ඨාසත් තමන්ගේම දරුවන් වගේ ඔවුන්ව රැකබලා ගත්තා. අවැඩ අසාධාරණයන්ට ලක් වෙලා පළිගන්න බලාගෙන හිටපු දරුණු ගති තිබුණු අමනුෂ්‍ය කොටස් පවා වැරැදිවලට සමාව දීල ඒ ඇත්තන්ට ආශිර්වාද කළා.
කුඩා කල පටන්ම ආර්යය ගති පිහිටා තිබුණු නිසා ඔවුන් කිසි විටෙක අසීමිත කාම දාහයෙන් පීඩාවට පත් වුණේ නෑ. රට පාලනය කළ මහ රජතුමාගේ පටන් සියලු රටවැසියන්ම දැහැමිව කටයුතු කළ නිසාම ඔවුන්ගේ සිතෙන්, කයෙන්, වචනයෙන් විශ්වයට පිට වුණ සංඛාර ශක්තිය ලෝකය සමබරව පවතින්නට මාහැඟි පිටුවහලක් වුණා. දස අකුසලයෙන් වෙන් වුණ පිරිසක් විදිහට ඔවුන් නිරතුරුවම විශ්වයට මුදා හැරියේ අප්‍රමාණ සුදු කිරණ ශක්තියක්. සමේ වර්ණයෙන් තලෙළු පිරිසක් වුණත්, අප්‍රමාණ මෙත්තාවකින් සියලු ලෝක සත්ත්වයන්ටම හිතසුව පිණිස කටයුතු කළ ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘සුදු මිනිසුන්’ බවට පත් වුණා.
ආර්යයන් වහන්සේලාගෙන් සද්ධර්මය ශ්‍රවණය කරපු නිසාම විඳින දුකට එහා ගිය දුකක් තමන්ට අත්විඳින්නට වෙලා තියෙනවා, නැතිනම් සැපේ දුක දකින විදිහ ඔවුන් අවබෝධ කරගත් නිසාම ඔවුන්ගේ ජීවිත වඩ වඩාත් සරල වූවා. නමුත් ආර්යය උත්තමයන්ගේ ඇසුර නොලැබුණු අනෙකුත් ලෝක සත්ත්වයන්ගේ දිවි පැවැත්ම මීට හාත්පසින්ම වෙනස් වුණා. ඔවුන්ද අනෙකුත් ලෝක සත්ත්වයන් මෙන්ම විඳින දුක නිසා පීඩාවට පත්වුණා. දුක්ඛ ආර්යය සත්‍යය නැතිනම් සැපේ දුක දකින ක්‍රමවේදය අවබෝධ කර ගැනීමට නොහැකි වූ බැවින්, විඳින දුකෙන් නිදහස්වීමට වඩ වඩාත් කාම වස්තූන් ඇසුරු කරන්නට පටන් ගත්තා. නමුත් දුකෙන් නිදහස් වීම උදෙසා කාම වස්තූන් ඇසුරු කිරීම තුළින් සිදුවූයේ කබලෙන් ලිපට වැටුනාක් මෙන් තව තවත් දුක තුළම ගිලී යෑම පමණයි.
අද තරුණ ඔබ වඩාත් දියුණු යැයි සිතනා රටවල් සියල්ලම පාහේ අධික ලෙස දුක්ඛ වේදනාවෙන් පීඩාවට පත් වූවන් වෙසෙන තැන් පමණි. වෙනස නම් ඔවුන් අද වන විට දුක්ඛ වේදනාවට පත් වන විට එයින් නිදහස් වීම උදෙසා ඉක්මන් හා සරල ක්‍රම අනුගමනය කිරීමයි. නවීන විද්‍යාවේ දියුණුව යැයි උදම් අනනා, සරල යන්ත්‍ර සූත්‍ර හා ආහාර පාන ඇතුළු මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා ක්‍රම සියල්ලම, දුක්ඛ ආර්යය සත්‍ය අවබෝධ කර ගැනීමට නොහැකි වූ ලෝක සත්ත්වයාගේ අසරණකම කියාපෑම නොවේද? කණගාටුවට කරුණ නම් ඉක්මනින් දුකෙන් නිදහස් වීමට කටයුතු කරනා විට ඊට සරලම හා පහසුම මග ලෙස දස අකුසලයට නැඹුරුව කටයුතු කිරීමට සිදු වීමයි.
අනෙක් අතට යුතුකම් වගකීම් සියල්ලම පැහැර හරිමින් තමන්ව කවා පොවා ඇති දැඩි කළ මවු දෙමවුපියන්ට පවා, විවිධාකාරයේ අඩන්තේට්ටම් සිදු කරමින් තමන්ගේ බඩ වියත ගැන පමණක් සිතනා මිනිසුන් සිටින ලොවකට මෙවැනි ව්‍යසනයන් පැමිණීම අරුමයක් නොවන්නේමැයි.
අන්‍යයන් තුළ වෛරයේ ක්‍රෝධයේ ගිනිදැල් පතුරවමින්, රාගයෙන්, ද්වේෂයෙන් කටයුතු කරනා විට මිනිසාගෙන් විශ්වයට මුදා හැරෙන්නේ දූෂ්‍ය කළු කිරණ ශක්තීන්. තථාගතයන් වහන්සේ දේශනා කළ අයුරින්ම දුන්නොත් ලැබෙන න්‍යායට අනුව ඔබ ලෝකයට දෙන්නේ යම් දෙයක්ද ඊට අනුකූල ඵලයක් ඔබට ලැබෙනවාමයි. මිනිසුන්ගේ සිත් දූෂ්‍ය වන විට විශ්වයට ඔරොත්තු නොදෙන තරමට කළු කිරණ ශක්තීන් නිකුත් වීමෙන් මෙවැනි ආකාරයේ ව්‍යසනයන් ඇති වීම බොහෝ කොට සිදු වන්නක්.
බුද්ධ කාලයේදී පවා මෙවැනි ආකාරයේ ව්‍යසන ලෝකයට ඇති වුණ බව පොතපත සාක්ෂි දරනවා. බුද්ධ කාලයේ ඇතිවූ අහිවාතක හා ශේ තට්ඨිකා වැනි රෝග මීට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. ඒ වාගේම විශාලා මහනුවර තුන් බිය මේ හා සමාන දෙයක් වෙන්න ඇති කියලා හිතන්නත් පුළුවන්. ඒ රෝග දරුණු වන විට මිය ගිය අයගේ අවසන් කටයුතු සිදු කරගන්නට පවා නොහැකිව දින සති ගණන් මළකුණු, ගෙවල් තුළ තබාගෙන ඉන්නට සිදු වූ බව පැවසෙනවා.
මෙවැනි අවස්ථාවන්,දූෂ්‍ය පරිසර තුළ ජීවත් වෙන අමනුෂ්‍ය කොටස්වලටද හොඳ අවස්ථාවක් වෙනවා. එයින් රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම නතර කර ගැනීමටද නොහැකි වෙනවා. අද වන විට කොරෝනා වෛරසය නිසා ඇති වෙලා තියෙන තත්ත්වයද මීට යම්තාක් දුරට සමානයි කියල හිතන්න පුළුවන්. නමුත් වඩාත් බරපතල කාරණය නම්, මිනිසාගේ දූෂිත ක්‍රියා හා සිතුම් පැතුම් නිසා ඇති වුණ මෙවැනි තත්ත්වයකදී එයින් ආරක්ෂා වීම පිණිස ඔවුන් තම නිවෙස්වලට කොටුවීමයි. එහිදී රෝගයට හේතු කාරක නොදන්නා ඔවුන් ලැබුණු අසීමිත නිදහස භාවිතා කරමින් තව තවත් කාම සම්භෝගයේ යෙදීමයි. ඊට නවීන විද්‍යාව තුළින් නිපදවූ යන්ත්‍ර සූත්‍රද භාවිතා කරන අතරම, ඔවුන්ටත් නොදැනීම රෝගය ව්‍යාප්ත වීම උදෙසා තව තවත් හේතු කාරකද සැකසීමයි.
හේතු ඵල දහම නොදන්නා නිසා මෙවැනි රෝග සහමුලින්ම තුරන් කිරීමද ලෙහෙසි පහසු වන්නේ නෑ. එදා විශාලා මහනුවර තුන් බිය පැවති විට සුගත තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටි බැවින් නියමාකාරයෙන් ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වුණා. රෝග, දුර්භික්ෂ අමනුශ්ය යන තුන් බිය දුරු කිරීම උදෙසා සුගත තථාගතයන් වහන්සේ රතන සූත්‍රය දේශනා කළ සේක. ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් ශ්‍රී මුඛ බුද්ධ දේශනාව දේශනා කරමින් ගෙයක් ගෙයක් පාසා යමින් පිරිත් පැන් ඉස අවසන් වනවාත් සමගම, එතෙක් නුවරට අරක් ගෙන සිටි අමනුෂ්‍ය කොටස් පලා ගිය බවත්, දූෂ්‍ය පරිසරවල සිටිය නොහැකිව පලාගොස් සිටි ඉෂ්ටකාමී හිතකාමී දෙවි දේවතාවුන් වහන්සේලා නැවතත් විශාලා මහනුවරට පැමිණි බවත්, ධර්මයේ සඳහන් වෙනවා. අද දිනයේත් ලංකාව පුරාවට රතන සූත්‍රය සජ්ඣායනා කරන අයුරු දැකබලාගන්න හැකියාව තියෙනවා.
නමුත් තරුණ ඔබ අවබෝධ කර ගත යුතු වැදගත් කරුණක් තියෙනවා. එදා තථාගතයන් වහන්සේ විශාලා මහනුවරදී රතන සූත්‍රය දේශනා කළේ රෝග, දුර්භීක්ෂ හා අමනුෂ්‍ය කරදරවලින් අසීමිතව දුකට පීඩාවට පත්ව සිටි මිනිසුන්ගේ සිත් තුළ තිබූ බිය දුරු කිරීමටයි. තථාගතයන් වහන්සේ දෙසූ රතන සූත්‍ර ධර්මය අවබෝධ කරගත් මිනිසුන්ගේ සිත් සතන්වල පෙර තිබූ ළාමක පංච කාමාශාවන් ඇති තණ්හාව සහ එකිනෙකා කෙරෙහි තිබූ වෛරය, ක්‍රෝධය, භය වැනි අදහස් දුරු වී යන්නට විය.
මනුෂ්‍ය සිත කාමයෙන් සහ ද්වේෂයෙන් ආතුර වන විට එයින් නැගෙන කළු දූෂ්‍ය කිරණ ශක්තිය ආහාරයක් කර ගන්නා අමනුෂ්‍යයින්ට තවදුරටත් එය නොලැබී යෑම නිසා විශාලා නුවර එම අමනුෂ්‍යයින්ට වාසයට නුසුදුසු තැනක් බවට පත් විය. ‘තණ්හාය ජායතී සෝකෝ - තණ්හාය ජායතී භයං තණ්හාය විප්පමුත්තස්ස - නත්ථි සෝකෝ කුතෝ භයං’ යන බුද්ධ දේශනාව මෙම කතාව තුළින් හොඳාකාරවම විද්‍යමාන වේ.
බිය, ශෝකය යන දුකෙහි ප්‍රභේද හට ගන්නේ තණ්හාව නිසා බවත්, තණ්හාව නිරෝධයෙන් දුක නිරෝධ වන බවත් තථාගතයන් වහන්සේ දේශනා කළහ. දෙවියන් රූපෙන් අග්‍ර වන අතර, මිනිසුන් ප්‍රඥාවෙන් අග්‍ර වන බව බුදු පියාණන් වහන්සේ දේශනා කළ සේක. සතර පද ගාථාවක් අහල නිවන පූර්ණය කර ගන්න තරම් මහා ප්‍රඥාවන්තයින් හිටපු ඒ යුගයේදී ශ්‍රී මුඛ බුද්ධ දේශනාව ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් විශාලාවේ ගෙයක් ගෙයක් පාසා පිරිත් පැන් ඉසිමින් යන අතරේදී ප්‍රඥාවන්ත මිනිසුන් විදියට, විශාලාවේ මිනිසුන් විසින් රතන සූත්‍රයේ තිබුණු කරුණු තේරුම් අරගෙන තමන්ගේ හිත්වල තිබූ වැරදි අවබෝධ කර ගත්තා. ඒ තාක් කාලයක් ඔවුන් තුළ තිබූ බිය පහ වෙලා යනකොට, අඳුරු කළු කිරණ දවා හරිමින් ඔවුන්ගෙන් විශ්වයට මහා සුදු කිරණ ශක්තීන් නිකුත් වුණා. දස අකුසල් සිතිවිලි දුරු වෙලා පාපයට බර වෙලා තිබුණු හිත් සුවපත් වුණා. එහෙමයි එදා විශාලාවේ තුන් බිය දුරු වුණේ.
තරුණ ඔබත් රතන සූත්‍රයේ තිබෙන සැඟවුණු ආර්යය අර්ථයන් අවබෝධ කර ගනිමින් ඒවා තුළ පිහිටලා කටයුතු කරන්නට පටන් ගත්තොත්, මෙලොව වගේම පරලොව අභිවෘද්ධියටත් මහෝපකාරී වන බව නම් නොඅනුමානයි. එයින් තමන් සුවපත් වෙනව වගේම මේ විශ්ව ධාතුවත් සුවපත් වේවි. අමතක කරන්න එපා මේ තාක් කාලයක් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කළ කටයුතු නිසා ඔබ වටා මහා ශාපයක් ගොඩනැගිල තියෙන බව. ඒ වගේම තමයි කොරෝනා වෛරසයෙන් බියට පත්වෙලා ඉන්න අතරම පිළිකාවක්, හදවත් අමාරුවක් ආදී නොයෙකුත් ලෙඩ රෝග නිසාත් ඔබ මියැදෙන්නට පුළුවන්.
වෛරසයෙන් සිදුවූයේ මැරෙන්න හේතු දහස් ගණනක් තිබූ ඔබේ ගිණුමට තවත් එක හේතුවක් එකතුවීම විතරයි. කාම සම්භෝගයේ යෙදෙන්න ඔය තරම් වීර්යයෝ වගේ කටයුතු කරන බොහෝ දෙනා මරණාසන්න මොහොත එනකොට හැසිරෙන්නේ පොඩි දරුවෝ වගේ.
මරණය ඉදිරියේ වීරයෝ වෙන්නෙ ආර්යය උතුමෝ විතරයි. තමන්ගෙ ඇඟේ ඇට කෑලි කැඩෙනකම් ගැහුවත් තමන්ගෙ අවසන් හුස්ම පොද යන තුරාවට, ලෝක සත්ත්වයන්ට අප්‍රමාණ මෙත් ශාන්තිය පතුරුවන ආර්යය උතුමෝ තමයි මේ ලෝකයේ හැබෑම වීරයෝ. තරුණ ඔබටත් වීරයෙක් වෙන්න ඕනෙනම් ආර්යය ගති තමන් තුළ පිහිටවා ගන්න. ඔබේ බර දරාගෙන ඉන්න මහ පොළොවට පවා, එවැනි උතුම් තරුණයෙකු දරාගෙන හිඳීම ආඩම්බරයට කරුණක් වේවි.
“ලිිප ගිනි මොලවන තෙක් දිය සැලියේ
සැපයක් යැයි කකුළුව දිය කෙළියේ
එපවත් තොප සිතතොත් නො හැකිලියේ
සැපයක් නම් නැත කම් රස කෙළියේ”
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...!
Ajith D.L Friday, 08 May 2020 11:20 AM
සාදු සාදු ..... සාදු....
Reply : 0 6
රුවන් සමරසිංහ Saturday, 09 May 2020 03:27 AM
සාදු..සාදු! ඉතා අගනා පැහැදිලි කිරීමකි.
Reply : 0 5
nilanga kulawansha Saturday, 09 May 2020 07:32 AM
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන්ම සුකිතතර වෙත්වා ...
Reply : 0 4
Asanka sandaruwan Saturday, 09 May 2020 08:07 AM
කොරෝන පිළිබද බුදු දහමෙන් කරුණු අලලා සකස් කල ආර්ය් මහා සංඝරත්නය කෙරෙහි පලමුකොටම අමා මහා නිර්වාණ ශාන්තියම උදාවේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
Reply : 0 7
තරිඳු එරන්දිත Saturday, 09 May 2020 09:17 AM
විශ්වය ජයගන්නට සිතා සඳ තරණය කළා යැයි උදම්අනමින් සිටි මනුෂ්‍ය සංහතිය ඇසට නොපෙනන වෛරසයක් හමුවේ අද අන්ත අසරණව කල්මරමින් සිටියි. මේ ව්‍යසනයට ද තව කලකින් විසදුමක් හෙවත් ප්‍රතිකාරයක් සොයගනු ඇත. එහෙත් තවත් කලෙකින් මෙවැනිම වසංගතයක් ලෝකය වෙලාගනු ඇත. ඉතින් කෙසේ නම් මේ භියකරු සසර අප සැනසිල්ලේ ගතකරන්නද? එකන විසදුම තරුණකම වියැකෙන්නට පෙර දහම අවබෝධ කරගැනීමයි. ඒ උදෙසා අප හට මග පෙන්වන පිංවත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේ උතුම්වූ නිවනින්ම සැනසීම ලබත්වා. අප හට තව තවත් දහම් කරුණු පෙන්වා දෙත්වා..තෙරුවන් සරණයි.
Reply : 0 10
නයෝමි Saturday, 09 May 2020 01:27 PM
මෙම බුදු ඇසින් කොරෝනා ලිපිය බොහෝම වටිනා අදහසක් ඉදිරිපත් කරන අද රටේ පවතින තත්වය සමග ගිනි ගන්නා සිත් සතන් සනහන ආකාරයේ නිර්මාණයකි.තව තවත් මෙවන් ලිපි පලකල හැකිනම් බොහෝම වටී.
Reply : 0 5
Thanuja Perera Saturday, 09 May 2020 01:31 PM
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. මේ ලිපිය කියවන සියලු දෙනාටම පිවිතුරු බුද්ධ ධර්මය තව තවත් අහන්න හේතු වාසනාව ලැබේවා, මේ උතුම් දහම් අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්න ලැබේවා. සාදු... සාදු
Reply : 0 7
ධම්මිකා නිශ්ශංක Saturday, 09 May 2020 03:34 PM
තෙරුවන් සරණයි. නිවනම නාථයි නිවනම වෙත්වා.
Reply : 0 5
jayantha Saturday, 09 May 2020 03:43 PM
තෙරුවන් සරණයි "බුදු ඇසින් කොරොනා" ලිපිය කයෙව්වා. බොහොම වැදගත් ලිපියක්.එම ලිපිය පලකිරීමට දායක වූ ඔබටත්, ස්වාමින්වහන්සේලාටත් උතුම් නිවනින් සැනසීම ලබත්වා.
Reply : 0 5
ධනංජය Saturday, 09 May 2020 06:13 PM
ගොඩක් වටින ලිපියක්. අපේ ජනතාව නොදත් නමුත් යථාර්ථය තේරුම් ගෙන ඉදිරියේදී පැමිණීමට නියමිත ගැටළු වලින්ද රට වැසියාට බේරීමට මහත් රුකුලක් වන ලිපියක් වනු නොඅනුමානය. මෙවැනි යථාර්ථවත් ලිපි ඉදිරියටත් ගෙන එන්න ada.lk තවදුරටත් ශක්තමත් වේවා....
Reply : 0 5
J.A S Kumar Saturday, 09 May 2020 07:16 PM
සාදු , සාදු , සාදු , සියල්ල අවබෝද වන විස්තර විග්‍රහයක් . අවිද්‍යා , තණ්හා දුරු කල විට සියල්ල හිස්වූ , බෝල්වූ, අසාර බවත් එම වැටහීම තරුණයන්ගේ තරුණ මනසට පමණක් නොව මැදිවියේ පසුවන මගේ තරුණ මනසේත් රාග ,ද්වේශ ,මෝහ ප්රහාණය කිරීමට ඉවහල් වන බවත් මෙම ලිපියෙන් දැන ගතිමි. නිවනම වෙත්වා .
Reply : 0 7
Umanda Saturday, 09 May 2020 09:09 PM
'"බුදු ඇසින් කොරොනා "කාලොචිත වටිනා දහම් ලිපියකි. ඉතා මැනවින් දැනට ඇතිවී තිබෙන වියසනකාරි තත්වය දහම් ඇසින් පහදා දී තිබේ. ඉතා සරල ලෙස චතුරාර්ය සත්‍යය ධර්ම විග්‍රහය දැනගනීමට ලැබීමත් අපගේ මහත් භාගයයක් . මිනිස් ක්‍රියාකාරිත්වය මත පිටවන කලු කිරණ ශක්තින් ඇතිකර තිබෙන අහිතකර ප්‍රථිපල පෙන්වා දී තිබෙන අතර සුදු කිරන ශක්තින් විශ්වයට මුදා හැරිමට රතන සුත්‍රය උපයොගි කරගන්නා ආකාරය පෙන්වා දී තිබිමත් ඉතා වැදගත් කරනාවක්.මෙවන් ලිපි මෙම මාධයය හි අගය වැඩිකිරිමට ඉමහත් පිටිවහලක් වන බව මාගේ හැගිමයි.
Reply : 0 5
Nadeesha Karunarathna Saturday, 09 May 2020 09:11 PM
ඉතා වැදගත් විග්‍රහයක්.
Reply : 0 4
බුලත්සිංහල ඤාණරතන හිමි Sunday, 29 August 2021 11:28 PM
ඉතාමත් අගනා කාලෝචිත සටහනක්...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd