බස් ගාස්තු ගෙවීමේදී මගී ජනතාවට ඉතුරු මුදල් ලබා නොදීම, බස් රථ තුළදී කාන්තා හිංසන සිදුවීම් සිදුවීම පිළිබඳව මේ වන විට රටතුළ කතාබහක් ඇතිවී තිබේ. මීට අමතරව සේවකයන්ට ගැටලු තිබෙන බවට පවසමින් ප්‍රවාහන සේවක සංගම්ද යම් යම් විරෝධතාවල නිරතව සිටිති.මෙම විරෝධතාවලට අමතරව රථවාහන වැරදි සම්බන්ධයෙන් වූ දඩ මුදල් ඉහළ දැමීම නිසා බස් රථ රියදුරන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව තිබෙන බවද සේවක සංගම් පෙන්වා දෙති. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් සුමිත්‍ර කුමාරදාස කුලියාපිටිය මහතා සමග අද කතාබහක නිරත විය.
සේවක සුබසාධනය
බස් රථ සේවකයන් වෙනුවෙන් අර්ථසාධක අරමුදලේ හා භාරකාර අරමුදලේ දායකත්වය ලබාදිය යුතුයි. හැබැයි දැනට ඉන්න සේවකයන්ගෙන් 3෴ කට වගේ තමයි මෙම වරප්‍රසාදය තාම තියෙන්නේ. මෙතැනදී සේවක වැටුප් වර්තමානයට ගැළපෙන ලෙස සකස් කිරීමට මුලින්ම කටයුතු කළ යුතුයි. දැනට තියෙන ක්‍රමයට අනුව බස් රථ කොන්දොස්තරවරයෙකුගේ මාසික වැටුප රුපියල් 9700යි. රියදුරෙකුගේ වැටුප 17,000යි. 2002 වසරේ හදපු පඩිපාලක චක්‍ර ලේඛය තමයි තාමත් ක්‍රියාත්මක වන්නේ. අපි කියන්නේ ස්ථිර කොන්දොස්තරවරයෙකුට පැය 08කට 1450ක වැටුපක් හා රියදුරෙකුට රුපියල් 1750ක වැටුපක් ලැබෙන ලෙස සහ පැය අටකට පසු අතිකාල ලැබෙන ආකාරයට වැටුප් ක්‍රම වේදය සකස් කළ යුතුයි.
ඉතිරි මුදල් ලබා නොදීම
මේක විශාල ගැටලුවක්. මොකද මගී ජනතාවට ඉතුරු මුදල් නිවැරදි ලෙස ලබා නොදෙන බවට චෝදනාවක් තියෙනවා. මෙතැනදී ප්‍රධානම කාරණය තමයි රටතුළ තිබෙන සිල්ලර කාසි හිඟය. රුපියලේ කාසියක් සොයාගන්න නැති තරම්. රුපියල් දෙක වුණත් දැන් ගොඩාක් හිඟයි.
ජනතාවට නිවැරදි ලෙස ඉතුරු මුදල් ලබාදීම සඳහා බස්හිමියන් උදේට බස් රථ කොන්දොස්තරවරයාට රුපියල් 400කවත් සිල්ලර කාසි ලබාදිය යුතුයි. එහෙත් බොහෝ බස් හිමියන් එම කටයුත්ත සිදුකරන්නේ නැහැ. මේ නිසා සේවය පටන් අරගෙන ටික වෙලාවක් ගතවනතෙක් කොස්දොස්තරවරයාට ඉතුරු මුදල් නිවැරදිව ලබා දීමට මාරුකාසි නැහැ.
ගැටලුවට විසඳුම් සෙවීම
කාරණා දෙක තුනක් කරන්න පුළුවන්. ඉන් පළමු එක තමයි පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වා දීම. කාඩ්පතක් හඳුන්වා දෙන්න යම් යම් අවස්ථාවල උත්සහ ගත්තා. ඒත් නිවැරදිවම එම කටයුත්ත සිදු නොවීම නිසා එය කඩාකප්පල් වෙලා ගියා. කාඩ්පතක් හඳුන්වා දෙනවා නම් එය ඉතාමත් ශක්තිමත් ආකාරයට හඳුන්වා දෙන්න ඕන. දෙවැනි කාරණය තමයි බස් හිමියා විසින් කොන්දොස්තරවරයාට නිශ්චිත මාරුකාසි මුදල් ප්‍රමාණයක් දවසේ ගමන්වාර ආරම්භ කිරීමට පෙර ලබාදීම. ඒක නීතියක් ලෙස ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා.
ඒ වගේම මගී ජනතාවත් සෑමවිටම තමන් සතුව තිබෙනා මාරුකාසි ලබාදීලා කොන්දොස්තරවරයාට සහයෝගය දැක්විය යුතුයි.
බස් රථ කොට කොටා යෑම
මෙයත් මෙම කර්මාන්තය තුළ බරපතළ ගැටලුවක් ලෙස තියෙනවා. මේ සඳහා කරුණු ගණනාවක් බලපානවා. එකක් මාර්ග තදබදය. අනෙක් එක තමයි තවමත් ඒකාබද්ධ කාල සටහන් හඳුන්වා දෙන්න බැරිවෙලා තියෙනවා. ඒ වගේම බස් හිමියන් විසින් විශාල වශයෙන් බස් රථ සේවකයන්ට බස් රථ බදු ලබාදෙනවා.
බස් රථ කොට කොටා යෑමට මෙම තත්ත්වයන් බලපාල තියෙනවා. මේ නිසා ගුණාත්මක බස් රථ සේවාවක් ඇති කරන්න මුලින්ම ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය ඇතිකළ යුතුයි. එවැනි දෙයක් කෙරුවම බස් රථයක් ගමන් ආරම්භ කරන වෙලාව වගේම අවසන් කළයුතු වෙලාවකුත් තියෙනවා.
දෙවැනි කාරණය තමයි බස් රථ බදු ලබාදීම නවතා දැමීම. දෛනික කුලියට බස් රථය බදු දුන්නාම බදුගන්න අය සෑම විටම අධික ලාභයක් ලබාගැනීමට බස් රථය හෙමින් ධාවනය කරමින් වැඩි මුදලක් සොයා ගැනීමට උත්සහ කරනවා. මාර්ග තදබදයටත් වහාම විසඳුම් ලබාදිය යුතුයි.
මෙම කරුණු ඉටුකිරීමට බස් සේවාවට අදාළව කටයුතු කරන බලධාරීන් පෙරමුණ ගන්න වෙනවා. මොකද මේවා බස් රථ සේවකයන්ට සිදුකරන්න බැහැ.
සේවකයන්ගේ අශීලාචාර හැසිරීම්
ඔය චෝදනාවත් බොහෝවිට සේවකයන්ට එල්ල වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි කර්මාන්තය තුළ ස්ථිර සේවකයන් නොමැති වීම. බස් රථ හිමියන් උදේට කරන්නේ දෛනික ආදායම වැඩියෙන් ලබාදෙන බව පවසන රියදුරෙකුට හෝ පුද්ගලයෙකුට බස් රථය ලබාදීම. සමහර බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වාර්තා වෙනවා. අනිත් එක තමයි දවසේ වැඩකරන පිරිස් ස්ථිර සේවකයන් නොවීම නිසා මගීන් එක්ක කටයුතු කළයුතු ආකාරය පිළිබඳව දැනුමක් නැතිවීම.
මේ නිසා සුළු දේවල්වලට පවා සමහර අවස්ථාවල මගී ජනතාවට සමහර සේවකයන් අනුමත කළ නොහැකි ආකාරයට කතකරන බව වාර්තා වෙනවා. මෙම තත්ත්වය පුහුණුව ලැබූ බස් රථ සේවකයන්ටත් අසාධාරණයක්. මේවා නැති කිරීමට බලධාරීන් කටයුතු කරන්න ඕන.
ලබාගත් මුදලට ටිකට්පතක් ලබා නොදීම
ලබාගන්නා මුදලට අනිවාර්යයෙන්ම ටිකට් පතක් ලබාදිය යුතුයි. අදාළ ටිකට්පත් නිකුත් කිරීමට මේ වන විට අත්මැෂින් තියෙනවා. එහෙත් බොහෝ බස් රථ හිමියන් ටිකට් නිකුත් කිරීමේ යන්ත්‍ර සේවකයන්ට ලබාදෙන්නේ නැහැ.
දුර ගමන්සේවා බස් රථවල ටිකට් නිකුත් කරන මැෂින් තිබුණත් පළාත් සභා බස් රථවලින් 75෴ කට විතර ටිකට් නිකුත් කරන මැෂින් නැහැ. මේ නිසා බස් රථ හිමියන් හරහා ටිකට් නිකුත් කරන මැෂින් ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතුයි.
බස් රථ ව්‍යාප්තිය
ජාතික ගමනාගමන කොමිසම යටතේ ලියාපදිංචි වී ධාවනය කරන බස් රථ ප්‍රමාණය 3472 ක්. මීට අමතරව පළාත් සභා 09 යටතේ බස් රථ 25100ක් ලියාපදිංචි වෙලා තියෙනවා.
මෙහිදී උතුරු පළාත තුළ බස් රථ 1801ක්, දකුණු පළාත තුළ බස් රථ 4303ක්, වයඹ පළාත තුළ බස් රථ 3103ක්, බස්නාහිර පළාත තුළ බස් රථ 5710ක්, සබරගමු පළාත තුළ බස් රථ 2210 ක්, උතුරු මැද පළාත තුළ බස් රථ 2110ක්, නැගෙනහිර පළාත තුළ බස් රථ 2212ක්, වයඹ පළාත තුළ බස් රථ 2970ක්, ඌව පළාත තුළ බස් රථ 2460ක් තියෙනවා.
සේවකයන් ලෙස උතුර 3600ක්, දකුණ 6600ක්, වයඹ 8200ක්, බස්නාහිර 11420ක්, සබරගමුව 4400ක්, උතුරුමැද සේවකයන් 4220ක්, නැගෙනහිර 4202ක්, මධ්‍යම පළාත තුළ 5800ක්, ඌව පළාත තුළ 4050ක් ඉන්නවා.
ස්ථිර සේවකයන්
කොන්දොස්තරවරුන්, තමන්ගේ රාජකාරිය පිළිබඳව පුහුණුවක් ලබා තිබිය යුතුයි. රියදුරන්ද සේවාව පිළිබඳව පුහුණුවක් ලබාගෙන මනා ශරීර සෞඛ්‍ය තත්ත්වයකින් හෙබි බවට වෛද්‍ය වාර්තාවක් ලබාගත යුතුයි.
මේ ආකාරයට සේවකයන්ගේ ප්‍රමාණය ගණනය කළොත් මෙම සුදුසුකම් සම්පූර්ණ කළ සේවකයන් උතුරු පළාතේ ඉන්නේ 13%යි, දකුණු පළාත තුළ 42% යි, වයඹ 32%ක්, බස්නාහිර 12%යි, සබරගමුවේ 28%, උතුරුමැද 11%, යි නැගෙනහිර 22%යි, මධ්‍යම 22%, ඌව 26% යි.
බදු ක්‍රමය නිසා මෙම තත්ත්වය ඇතිවෙලා තියෙනවා. සෑම කොන්දොස්තරවරයෙකුම පළාත් සභාව යටතේ කරන පුහුණු පාඨමාලාවට හෝ ජාතික ගමනාගමන කොමිසම යටතේ කරන පුහුණුවලට සහභාගි විය යුතුයි.
මේ නිසා මාර්ග බලපත්‍ර ලබාගැනීමේදී බොහෝ බස් රථ හිමියන් මෙවැනි පුද්ගලයන්ගේ නම් ඉදිරිපත් කරනවා. පස්සේ කාටහරි බස් එක බදු දෙනවා.
බස් රථ බදු ලබාදීමේ ක්‍රමය
උදේට බස් හිමියා ඔහුගේ ගෙදරදී හරි, බස් ආරම්භ වන ස්ථානයට ඇවිත් ඔවුන්ගේ දෛනික මුදල ප්‍රකාශ කරනවා. එම මුදල දෙන්න පුළුවන් පිරිස් බස් රථය ලබාගන්නවා. පසුව දවසේ මුදලත් එක්ක බස් රථයේ ටැංකිය පිරෙන්න තෙල් ගහලා හවසට බස් එක භාර දෙනවා.
ඊට පසුදා වෙන්නෙත් මෙම ක්‍රමයයි. බස් රථය බදු ලබාදීම නිසා බස් හිමියන් මගීන්ට වගකියන් නෑ. සේවකයන් හැම විටම කරන්නේ බල්ලෝ මරලා හරි සල්ලි හොයාගන්නා ක්‍රමයකින් සල්ලි හොයා ගැනීම.
බස් රථ පරීක්ෂකවරුන්ගේ සේවාව
දැනට ක්‍රියාත්මක කරන ක්‍රමය ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. මොකද දැන් කරන්නේ ටිකට්පතක් ලබා නොදුන්නොත් කොන්දොස්තරවරයාට දඩ ගැසීමයි. හැබැයි බස් හිමියා ටිකට් මැෂින් දීලා තියෙනවද නැද්ද කියලා හොයන්නේ නැහැ. නිවැරදි ක්‍රමය නම් මැෂින් දීලා නැත්නම් බස් හිමියාට දඩ ගැසීමයි.
අනිත් එක තමයි රාජකාරිය හරියට කරනවා නම් බස් රථය තුළට ඇතුළත් වෙලා රියදුරුගේ රිය බලපත්‍රය, පුහුණු බලපත්‍රය පරීක්ෂා කිරීම. ඉන් පසුව කොන්දොස්තරවරයාගේ බලපත්‍රය පරීක්ෂා කිරීම, ධාවනපත වගේම මාර්ග බලපත්‍ර පරීක්ෂා කළ යුතුයි.
ඉන් පසුව මගීන් ටිකට් ලබාගෙන නැත්නම් ඔවුන්ටත් දඩ ගැසිය යුතුයි. දැන් බොහෝවිට වෙන්නේ බස් රථවලින් සංතෝසම ලබා ගැනීමයි. මේ වගේ දේවල් තුළින් කර්මාන්තය දියුණු කරන්න බැහැ. වැටුප සකස්කළ යුතුයි. වැඩිපුර වැඩ කරන සෑම පැයකටම අතිකාල ගෙවීමට නීතියක්ද සකස් කළ යුතුයි.
මේ දේවල් සිදු කෙරුවොත් විතරයි බස් කර්මාන්තය දියුණු කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිව දේශපාලන වේදිකාවල කතා කිරීමෙන් බස් කර්මාන්තය දියුණු කරන්න බැහැ.
රථවාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල්.
දඩමුදල් ඉහළ දැමීම සඳහා ආණ්ඩුව ගෙන ආ පනත වහාම ඉවත් කළ යුතුයි. මොකද මෙරටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කරන්නේ නැතිව මාර්ග දෙපස සංඥා පුවරු සවි නොකර නිවැරදි ලෙස කහඉරි ලකුණු නොකර දඩමුදල් ඉහළ දැමීම වැරදියි. නීතියක් ක්‍රියාත්මක වනවා නම් යටිතල පහසුකම් දියුණු කළ යුතුයි. එහෙම නොකර ආණ්ඩුවට ආදායම් ලබාගන්න දඩ ගහන්න බැහැ.
මොකද බස් රථ සේවකයෝ කියන්නේ අහිංසක මිනිස්සු. ඒ මිනිස්සු හම්බ කරන සුළු මුදල ආණ්ඩුවට ගත්තම රියදුරා කොහොමද ජීවත් වෙන්නේ. මේ ගැන හිතලා දඩ මුදල් ඉහළ දැමීමට ගත් තීරණය වහාම අවලංගු කළ යුතුයි. අනිත් එක තමයි වේග සීමා පුවරු නැතිව හයියෙන් ගියා කියලා දඩ කොළ දෙනවා. රියදුරා කොහොමද දන්නේ වේග සීමා නැතිව ගමන් කළ යුතු වේගය. මේවා සර්ව සම්පූර්ණ කරලා දඩ මුදල් ඉහළ දැම්මට අපිට කමක් නැහැ.
බස් රථ තුළ සිදුවන කාන්තා හිංසනය
මේ චෝදනාවත් බරපතළ කාරණයක්. බස් රථයක් බදු ගත්තම වියදම හොයාගන්න, ලාභය වැඩිකර ගන්න මගීන් පොල් පටවන ගානට පටවනවා. ඒකෙන් වෙන්නේ අසහනකාරී පුද්ගලයෙකු හිටියොත් කාන්තාවන්ට හිංසනයක් සිදුවීමයි. මේ සඳහා නව ක්‍රම‘වේද සකස් කළ යුතුයි. මොකද යටිතල පහසුකම් දියුණු කරලා බස් රථ සේවය විධිමත් කරනවා වගේම බස් රථයක සිටගෙන යෑමට හැකි සංඛ්‍යාවක් තියෙනවා. ඒක නිසා එම නීතිය ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතුයි. ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට අප සූදානම්.
සේවක ගැටලු විසඳා ගැනීමට අර්ථසාධක අරමුදලේ හා භාරකාර අරමුදලේ දායකත්වය ලබා ගැනීම වෙනුවෙන් හා බස් රථ බදු ලබාදීම නවතාගැනීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අගෝස්තු 15 වැනි දින සේවක වැඩ වර්ජනයක් දියත් කළා.
ඒකට බලධාරීන්ගෙන් ප්‍රතිචාර තාම ලැබිලා නැහැ. මේ නිසා ගැටලු විසඳා ගන්න මේ මාසේ 23 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 සිට සේවයෙන් ඉවත්වෙන්න තීරණය කරලා තියෙන්නේ. මෙතනදී සිදුකරන ඉල්ලීම් අතර දඩ මුදල් පහළ දමන්න කියන කාරණයත් තියෙනවා.