Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
පරිසර නීතිය කියලා විෂයයක් අවශ්‍යව තිබෙන්නේ මිනිස්සු පරිසරය විනාශ කරන නිසා. පරිසර නීතිය කියන්නේ ඇත්තටම ප්‍රතික්‍රියාවක්. සමාජයේ අයහපතත් සමග පසුකාලීනව ඇති වූ ප්‍රතික්‍රියාවක් ලෙසයි මම එය දකින්නේ. පරිසර නීතියට කළ හැකි වන්නේ පරිසරය සම්බන්ධයෙන් ජනතාව නොකළ යුතු දේ සහ කළ යුතු දේ මොනවාද යන්න දැක්වීමයි.
එනම් නොකළ යුතු දේ කරන පුද්ගලයාට දඬුවම් කරන එකත්, කළ යුතු දේ නොකර පැහැර හරින පුද්ගලයාට යම්කිසි දණ්ඩන මාලාවක් පැනවීමෙන් එය සමාජගත කරන එකත් තමයි නීතියෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් පරිසර නීතියේ 03 වැනි සාධකයක් තිබෙනවා. ඒ තමයි ජනතාවගේ යුතුකම් හා වගකීම් නොකෙරෙන තැන දඬුවමකට යටත් කර, ඒ දේ ජනතාව ලවා කරවනවා වෙනුවට ඇතැම් අවස්ථා තිබෙනවා රජය මැදිහත් වී කඩිනම් කරවන. එය තමයි පරිසර නීතියේ ඇති විශේෂත්වය.
සෑම පොදු නීතියකම වගේම පරිසර නීතියේදිත් වරදවල් අපරාධ නීතිය වෙනවා. පරිසරයට කෙරෙන අපරාධ රටට හා සමාජයට එරෙහිව කරන අපරාධ ලෙස සැලකෙනවා.
උදාහරණයක් ලෙස ගතහොත් පාංශු සංරක්ෂණ පනතට අනුව, පාංශු ඛාදනයට ලක්විය හැකි ඉඩමක් සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට පුළුවන් ලිඛිතව දැනුම් දෙන්න කළ යුතු දේ මොකක්ද කියලා. එහිදී ඒ දෙය නොකරන පුද්ගලයාට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමක් පනතේ නෑ. ඊළඟ පියවර වන්නේ අධ්යක්ෂ ජනරාල්වරයා තමන් විසින් බලය පවරනු ලබන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අවශ්‍ය දෙය ඒ අයගේ වියදමෙන් සිදු කර අනතුරුව ඉඩමේ හිමිකරුගෙන් වියදම ඉල්ලා සිටීමයි. හිමිකරු වියදම නොපියවුවහොත් පමණයි උසාවියට යන්නේ. මෙතැනදි සිදු වන්නේ කඩිනම් ක්‍රියාමාර්ගයක් ගැනීමේ තුන්වැනි ක්‍රමයක්.
එය සාමාන්‍ය අපරාධ නීතිවල දක්නට පුරුදු ක්‍රමයක් නොවෙයි. ශාක ආරක්ෂක පනතේ පළිබෝධකයෙක් සිටින ඉඩමක් සම්බන්ධයෙනුත් මීට සමාන්තරව කටයුතු සිදු වෙනවා.
ඒ අනුව පරිසර නීතිය මෙම අංග 03න් සමන්විතයි.
01. නොකළ යුතු දේ කරන පුද්ගලයන්ට දඬුවම් කිරීමෙන් වැළැක්වීම.
02. කළ යුතු දේ පැහැර හරින පුද්ගලයන්ට දඬුවම් කිරීමෙන් එය කිරීමට සැලැස්වීම.
03. කළ යුතු දෙයක් නොකර සිටින අවස්ථාවකදී රජයේ මැදිහත්වීමකින් අවශ්‍ය දෙය කිරීම තුළ පරිසරය ආරක්ෂා කරගැනීමට කඩිනම් ක්‍රියා මාර්ග ගැනීම.
ලංකාවේ පරිසර නීතිවලින් මම දකින විදියට පළමු වැනි පරිසර නීතිය තමයි මහජන පීඩා වැළැක්වීමට තිබූ 1862 පීඩාකාරී ආඥා පනත. ඊළඟට දණ්ඩ නීති සංග්‍රහයේ පරිසරය රකින්න ඇති නීති. නමුත් ඒවාත් සමාජය රකින්න තිබෙන නීති. දුම්රිය ආඥා පනත වැනි පනත් හරහාත් සුළු සුළු කොටස් පැමිණුනා. මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ගම් සභා ආඥා පනත හරහා තමන්ගේ ප්‍ර‘දේශ තුළ පරිසරය ආරක්ෂා කිරීමට ප්‍රතිපාදන පැමිණුනා.
නමුත් පරිසරයක් වෙනුවෙන් ඍජුවම නීතියක් පැමිණුනේ 1885දී. ඒ වන සංරක්ෂණ ආඥා පනත. අනතුරුව දැනට තිබෙන 1907 පනත පැමිණුනා. 1937 වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත තමයි මම දකින විදියට ලංකාවේ හරි සංරක්ෂණ නීතිවලින් ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීමට ස්ථාපිත වූ පළමු වැනි නීතිය.
පරිසර නීති කියන එක ඇත්තටම ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයක් පෙන්නුම් කළේ 80 දශකයේදී. 1980 අංක 47 ජාතික පාරිසරික පනත, සමුද්‍ර පරිසරය ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත වූ 1981 සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත, 1981 වෙරළ සංරක්ෂණ පනත යන පනත් තුනම එක් වූ විට පරිසර ආරක්ෂණය සඳහා විශාල ශක්තියක් ලැබුණා. මේ පනත් තුන තමයි මං දකින විදිහට සන්ධිස්ථාන.
ලංකාවේ නිදහස් වෙළෙඳ කලාප පිහිටුවීමට මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනත ස්ථාපිත කරලා නිදහස් වෙළෙඳ කලාප තුළ කර්මාන්ත ශාලා ඉදිකරන විට පරිසර පනත් නොතිබුණා නම් මීටත් වඩා විශාල හානියක් සිදුවන්න ඉඩ තිබුණා. ඒ නිසා යම්තාක් දුරකට හෝ ගැටලු සමනය කරගනිමින් පාලනය කර ගැනීමට ඉවහල් වූ යාන්ත්‍රණයක් ලෙස මේ පනත් දැක්විය හැකියි.
මම හැමදාම කියන දෙයක් තමයි සෑම පනතක්ම ක්‍රියාත්මක වීම පිළිබඳ සාධක 03ක් තිබිය යුතුයි.
01. ශක්තිමත් නීති රාමුවක් තිබිය යුතුයි.
02. හොඳ ශක්තිමත් ආයතනික ව්‍යුහයක් තිබිය යුතුයි.
03.මේ පිළිබඳ අවදියෙන් හා උනන්දුවෙන් සිටින ජනතාවක් සිටිය යුතුයි.
මෙය තෙපාවක පාද 03ක් ලෙස දැක්වුවත් මම දකින්නේ ජනතාව කියන පාදය තමයි ප්‍රධාන වන්නේ.
ශ්‍රී ලංකාව තුළ පරිසර නීතිවල නීතිරීති පද්ධතිය බොහෝ දුරට හොඳයි. නමුත් නීතිරීති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය හරිම දුර්වලයි. ඒ වගේම ජනතාවගේ පාර්ශ්වයෙන් මැදිහත් වීම් ඉතාම දුර්වලයි සහ අල්ප මාත්රිකයි. ඒ නිසා මේ යාන්ත්‍රණය ශක්තිමත් වන්නේ නැහැ.
මම දකින විදිහට මේ ත්‍රි‘කෝණය තුළ ජනතාව කියන පාදය එහෙමත් නැත්නම් ජනතාව කියන කොණ තමයි ශක්තිමත් වෙන්නම අවශ්‍ය. එය ශක්තිමත් වුවහොත් ඉතිරි පාද 02ම අපට හදාගන්න පුළුවන්.
ප්රජාතන්ත්රවාදී රටක ජනතාව කියන දේ සියයට ගණනක් කියවෙන කොට ආණ්ඩුවක් අහනවා. ජනතාවගේ පාර්ශ්වයෙන් පරිසරය ආරක්ෂා කර ගැනීමට සිදු කරන ඉල්ලීම් ප්‍රමාණය වැඩි වනවිට එය සිදු වෙනවා. හැබැයි එය සිද්ධි මත විරෝධ වී සිද්ධියක් මත කලබල වීමෙන් නොවෙයි, දිගට යන කතාවක් විය යුතුයි.
සතුන්ගේ මට්ටමේ සිට ඉහළට යනවිට අපේ මොළයේ ඇති නොදියුණු කොටසින් අපට ආවේග 02ක් දනවනවා. එකක් තමයි යම්කිසි වේලාවකදී සටන් කිරීම හෝ පලා යාම.
දෙවන ආවේගය නම් යම්යම් දේවල් අල්ලා තබාගත යුතුයි කියන එක. මේ 02 තමයි අපේ මොළයේ අනගි නොදියුණුම ආවේගයන් 02 වන්නේ.
පරිසර විනාශය පසුපස තියෙන මූලිකම දෙය තමයි තණ්හාව. තණ්හාව නොදියුණු ආවේගයක්. ඒ අනුව මේවාට එරෙහි වන හෝ ගැටලුවට මැදිහත් වන පුද්ගලයන්ට දියුණු මනසක් තිබේ නම් මේ ආවේගයන් 02 නොවෙයි සිදු විය යුත්තේ. ශාරීරිකව සටන් කිරීම විරෝධතා දැක්වීමේ එක් නොදියුණු කොණක්. නිශ්ශබ්දව සිටීම අනෙක් නොදියුණු කොණයි. මේ දෙක මැද තමයි අපි යා යුතු වන්නේ. එතනයි දියුණු මිනිහෙක් ඔළුව පාවිච්චි කළ යුතු තැන.
හැංගිලා ඉන්න ඔළුවක් අවශ්‍ය නැහැ. ඇඟේ හයිය පෙන්වන්න, විරෝධතා කරන්න, මාර්ග බාධක දාගන්න මොළයක් අවශ්‍ය නෑ. මොළය අවශ්‍ය වන්නේ මැදට.
නීතියත් අවශ්‍යයි. නීතියත් මැද මට්ටමේ එක මෙවලමක්. නීතිය කියන්නේ මැද මට්ටමට ගොස් සටන් කිරීමට ක්‍රමානුකූලව ශිෂ්ට සම්පන්නව යම්කිසි පිළිවෙළකට සිදු කරන්න යොදාගන්නා තවත් මෙවලමක්. යුද ශාස්ත්‍රය, ධර්මය කියන්නෙත් මේ මැද තැන ඇති මෙවලමක්.
මම දකින විදියට මැද තැන තිබෙන මෙවලම් භාවිත නොකර දෙපැත්තෙන් එකකට යනවා කියන්නේ ආපසු පසුගාමී මට්ටමකට යනවා කියන එකයි. පරිසර සටන් කියන දේ යම් උපායමාර්ග මාලාවකට, නැත්නම් ක්රමෝපායකට සිදුකළ යුතුයි. එතනදි අපි දැනගත යුතුයි කරන්නේ කුමක්ද යන්න සහ යම් නම්‍යශීලීභාවයක් සමග ගමන් කිරීමට.
අන්තයකට යන්නේ මැද තැන අසාර්ථක වුවහොත් පමණයි. නමුත් මැද තැන තුළ ගොඩාක් දේවල් අපට හිතලා කරන්න පුළුවන්. අන්ත දෙකේදී හිතන්න දෙයක් නැහැ.
පොදුවේ එහෙම කියන්න බැහැ. හැම ආකාරයකම අය මෙතෙන්ට එනවනේ. අපේ ශක්තිය තිබෙන්නේ මැද තැන. මම අදහස් කරන්නේ මැදින් පිළිවෙත කියන එක නොවෙයි. %මැද^ කියන්නේ අපි සිතුවිලිවලින් ඉදිරියට යෑමයි. සිතුවිලිවලින් ඉදිරියට ගොස් ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමයි.
උදාහරණයක් ලෙස යම් අවස්ථාවක තීරණ ගැනීම ඒ මත ඇති සාධක මත බලපානවා. සාධක වෙනස් වෙනවා නම් අපේ තීරණත් වෙනස් කරගන්න තරම් අපි විචල්‍ය, නම්‍යශීලී සහ ශක්තිමත් විය යුතුයි. ඊළඟට අප සතුව ඇති සියලු ක්‍රමවේදයන්ගෙන් වඩා සුදුසු ක්‍රමවේදයක් ප්‍රථමයෙන් අනුගමනය කළ යුතුයි. ඒ වගේම ක්‍රමානුකූලව එය සිදුකළ යුතුයි.
ඒකට තමයි අපට බුද්ධියක් දී තිබෙන්නේ. නිර්මාණශීලීත්වය දී තිබෙන්නේ. පරිසරවේදියෙකු වනවිට එක් අතකින් නිර්මාණශීලීභාවයක් තිබිය යුතුයි. එකම ආකාරයකට ප්‍රශ්න 02කට මැදිහත් වෙන්න බෑ. මොකද ප්‍රතිවාදියා බලා සිටිනවා.
මානසික තත්ත්වය වෙනස් කරන එක හරිම අමාරුයි. මෙය පරිසරවේදීන්ට හෝ නීතියට සිදුකළ නොහැකියි. ඒකට අපේ චිත්තනය විශාල පරිවර්තනයකට යා යුතුයි. බලාපොරොත්තුවක් ඇති පුද්ගලයෙකුට පමණයි හොඳ සාධනීය ආකල්ප මාලාවක් ඇති වන්නේ. අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවෙන් පෙළෙන, බලාපොරොත්තු රහිත පුද්ගලයෙකු හොඳ ආකල්පවලින් කටයුතු කරන්නේ නැහැ. අපේ ජීවිතයේ ඉදිරිය පිළිබඳ විශ්වාසයක් බලාපොරොත්තුවක් ඇත්නම් පමණයි ඊළඟ පරපුර ගැන විශ්වාසයක් ඇති වෙන්නේ. තමන් පිළිබඳ හොඳ විශ්වාසයක් ඇති කෙනා ඊළඟ පරපුරට උරුම කරදෙන ලෝකය පිළිබඳ සිතනවා.
ලෝකයට ආදරය කරන පුද්ගලයෙකු ගැන ඇති හොඳම නිර්ණායකය තමයි ඔහු ඔහුගේ ශරීරයට කෙසේ සලකනවාද යන කාරණය. තමන්ගේ ශරීරයට හතුරෙකු ලෙස සලකන පුද්ගලයෙකුගෙන් පරිසරයට මිතුරෙකු හදා ගන්න බෑ.
අල්පේච්ඡ ජීවිතයක් ගත කරන ස්වාමීන් වහන්සේලා තමයි තමන්ගේ ශරීරයට හොඳින්ම සලකන්නේ. ඒ තෘෂ්ණාව නිසා නොවෙයි. සිත දියුණු කරගන්න හැකි වන්නේ එය රැඳී ඇති කය රැකගත හොත් පමණයි කියලා උන්වහන්සේලා දන්නවා. ඒ නිසා මත්ද්‍රව්‍ය භාවිත කරන, ශරීරය විනාශ කර ගන්න පුද්ගලයෙකු පරිසරයට සලකාවි කියලා හිතන්න බෑ.
තමන්ගේ ශරීරයට තමන් සලකන ආකාරයෙන් ආරම්භව ආකල්ප වර්ධනයට යා යුතුයි. නැතිව පරිසරය පිළිබඳ කුමන ආකාරයේ පණිවුඩ දුන්නත් ඒවා ඉවතට යනවා. මෙය ගැඹුරු ප්‍රශ්නයක්. පරිසරවේදීන්ට විසඳීය හැකි ප්‍රශ්නයක් නොවෙයි. නමුත් රාජ්‍ය ප්රතිපත්තිවලින් යම් තල්ලුවක් දෙනවා නම් සමාජය විසින් යාන්ත්‍රණයක් සකස් කර ගනීවි.
උපතේ සිට මරණය දක්වා අපි යන්නෙ රසායනික ද්‍රව්‍ය පිරුණු ලෝකයක. මෘත දේහ එම්බාම් කරන්නේ සැර රසායනික ද්‍රව්‍යවලින්. ආදාහනය නොකර භූමදානය කරන මෘත දේහවලින් ඒ දේවල් පසට එකතු වෙනවා. අපි කවදාවත් ගණන් බැලුවද වසරකදී පසට එකතු වන රසායනික ප්‍රමාණය කොතරම්ද කියලා. ඒකයි කියන්නේ අපට මොළයක් දී තිබෙන්නේ සිතන්න.
පරිසර සංරක්ෂණය පිළිබඳ නීතියට විශාල කාර්යයක් තිබෙනවා. නමුත් නීතියට සෑම දෙයක්ම සිදුකළ නොහැකියි. නීතිය කියන්නේ සදාචාර ධර්ම පද්ධතියක්. බහුතරයක් නිරායාසයෙන් නීතියට පක්ෂපාතී වෙනවා. කඩ කරන හොඳ නීතියකට වඩා නරක නීතියක් වුණත් සැමට පොදුවේ ක්‍රියාත්මක කරන්න පෙළඹෙනවා. ඒ නිසා රජය දැනගත යුතුයි හැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට.
දෙවැන්න නීතිය විහිළුවක් නොවිය යුතුයි. නීති පැනවිය යුත්තේ ක්‍රියාත්මක කළ හැකි ආකාරයට. තෙවැන්න ජනතාවගේ සහයෝගයෙන් ඉදිරියට ගෙනයන්න අවශ්‍ය දෙයක් දණ්ඩනය හරහා සිදු කරන්න උත්සාහ කිරීම තුළ ජනතාව එම නීතියට වෛර කරන්න, පිළිකුල් කරන්න ගන්නවා. ඊට හොඳම උදාහරණ ඩෙංගු මර්දනය හා මාර්ග නීති ක්‍රියාත්මක වීමේ ආකාරය.
මම ඩෙංගුවලදි දැක්කා ඒ අවදානම් ලක්ෂය පනිනවා. වෙනත් අවස්ථාවලදී එවැනි තත්ත්වයන් සිදු වී නැහැ. එය නීතියේ වරදක් නොවෙයි. ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ මානසික තත්ත්වයේ වරදක්. අනෙකුත් පරිසර නීති වාසනාවකට එහෙම වෙලා නෑ. අත්තනෝමතික නීතිය තවත් දැඩි වෙනවා කියන්නේ අත්තනෝමතිකභාවය තවත් දැඩි වෙනවා විනා යහපත් තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. පරිසර නීතිවලට වැරදි ගමන් යෑම වැළැක්වීමට අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් සමත් වෙලාත්, උත්සහ කරලාත් තිබෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd