Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
මහින්ද රාජපක්ෂ මහතා දින 50ක් දැරූ අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබෙන පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳ දැන ගැනීමට එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සම්බන්ධ කර ගැනීමට අද අපි සිතුවෙමු. මේ ඒ මහතා දැක්වූ අදහස්ය.
මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු කොහොමද?
දේශපාලන පක්ෂයක් විදියට බොහොම ඉහළ තැනක මේ වෙලාවේ ඉන්නවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී රටේ ඉහළම ප්රථිඵලය පෙන්වූ පක්ෂය විදියට දෙවැනි වර්ෂයට අදාළ සාමාජික ප්‍රවර්ධන කටයුතු මේ වනවිට කරගෙන යනවා. පළාත් පාලන මැතිවරණය වනවිට ශාඛා සමිති පිහිටුවීමට නොහැකිවූ ස්ථානවල සහ උතුර සහ නැගෙනහිර මුල් කරගෙන සංවිධාන කටයුතු මේ වනවිට කරගෙන යනවා.
පක්ෂයක් විදියට ඕනම අවස්ථාවක මැතිවරණයකට මුහුණදීමට සූදානම් බලවත් තැනක අපි ඉන්නවා. ජනවාරි මුල් සතියේ හෝ දෙවැනි සතියේ අපේ ජාතික සමුළුව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් ඉන්න අවස්ථාවේදී තමයි හදිසියේ දේශපාලන පරිවර්තනය සිදුවුණේ. පසුගිය අර්බුදකාරී තත්ත්වය තුළ වුණත් අපේ පක්ෂයේ සංවිධාන කටයුතු සහ සංවර්ධන කටයුතු එකක්වත් අඩාල කළේ නැහැ. දිස්ත්‍රික් නායකයන් ගෙන්වා දැනුවත් කිරීම, සූදානම් කිරීම නිසි ආකාරයෙන් සිදුවුණා. අපි දේශපාලන පක්ෂයක් විදිහට ලංකාවේ අනෙකුත් පක්ෂවලට වඩා ප්‍රබල ස්ථානයක ඉන්නවා. හෙට වුණත් ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් හෝ පළාත් සභා මැතිවරණයක් පවත්වනවා නම් තරග කර ජයග්‍රහණය කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා. සමුළුව පැවැත්වීම සම්බන්ධව නැවත සාකච්ඡා කරන්න වෙනවා. අදත්(18දා) විශේෂ සාකච්ඡාවක් කැඳවලා තිබෙනවා. උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සියලුම ග්‍රාමසේවා කොට්ඨාස සඳහා නියෝජිතයන් පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිහිවුණේ මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරන බවටත්,රාජ්‍ය දේපොළ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරන බවටත්, රට සුරක්ෂිත කරන බවටත්,නව දේශපාලන සංස්කෘතියක් මත මේ රට ඉදිරියට ගෙන යන බවටත්,පොරොන්දු ලබාදෙමින්.
පොහොට්ටුව වටා තරුණ කොටස් එකතුවෙමින් තිබෙනවා. තරුණයන්ගේ හෙට දවස රැකී තිබෙන්නේ මෙම පක්ෂය සමග බව ඔවුන්ට වැටහී තිබෙනවා. ජනතාව බලාපොරොත්තු වූ අරමුණු ඉටුකරමින් අපි ඉදිරියට යමින් තිබෙනවා.
ඔක්තෝබර් 26 වැනිදා ඇතිවූ සිද්ධිය පක්ෂයට කොයි ආකාරයටද බලපෑවේ?
පක්ෂයක් විදියට එම සිදුවීම දේශපාලනිකව බැලුවොත් ඔක්තෝබර් 26න් පස්සේ අපිට ඉතාම සුභදායී තත්ත්වයක් උදා වුණා. පාර්ලිමේන්තුවේ විපක්ෂයට හැටියට අපිට මෙතෙක් කල් ලබාගැනීමට නොහැකිව තිබූ නිල අයිතිය ලබාගැනීමට මේ මගින් අවස්ථාව ලැබුණා. පසුගිය ජනාධිපතිවරණයේ සිට රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ සන්ධානය අතර අශුද්ධ වූ ගිවිසුමක් සම්බන්ධයෙන් විවිධ මත පළ වුණා. දැන් රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රථම වතාවට ද්‍රවිඩ සන්ධානයේ උදවු අරගෙන ඉදිරියට යන්න අවස්ථාව ලැබුණා. ඒකෙන් මුළු රටටම නිරාවරණය වුණා එහි සත්‍ය තත්ත්වය පිළිබඳව. ප්ලොට්,ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්, අයිටැක් කියන ද්‍රවිඩ දේශපාලන පක්ෂ 4ක් එකතු වෙලා නිර්මාණය වුණු ද්‍රවිඩ සන්ධානයට අයත් පක්ෂ දෙකක නායකයන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා රනිල් වික්‍රමසිංහ සමග ගිවිසුමකට එළඹුණු බව. එම ගිවිසුම අනුව ලබාදුන් පොරොන්දු අනුව පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට උදවු කරන බව සිද්ධාර්ථන් සහ අඩෙයිකලනාදන් යන අය ප්‍රකාශ කර තිබෙනවා. ඉතා භයානක තත්ත්වයක් නිර්මාණය වීමේ අවස්ථාවක් දැන් ඇතිවෙලා.
උතුරු නැගෙනහිර ඉඩම් හා පොලිස් බලතල ලබාදීම,උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම,ත්රස්තවාදීන් දේශපාලන සිරකරුවන් සේ සලකා නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර ගැනීම,නව ව්‍යවස්ථාවක් ගෙන ඒම යන කරුණුවලට මෙම දෙපාර්ශ්වය අතර එකඟතා ඇතිවී තිබෙනවා. පසුගිය දවස්වල ද්‍රවිඩ සන්ධානයේ සුමන්තිරන් මහතාගේ හැසිරීම අපි දැක්කා. පාර්ලිමේන්තුවේ ප්‍රබල යැයි කියා ගන්නා එක්සත් ජාතික පක්ෂය හැසිරෙව්වේ තනිකරම සුමන්තිරන් විසින්. මම පසුගිය දිනවල අධිකරණ නඩුවලට පෙනී සිටියා. එහිදී අනෙක් නීතිඥයන් දේශන පවත්වන අවස්ථාවන්වලදී සුමන්තිරන් මහතා නුසුදුසු අන්දමේ මැදිහත්වීමක් සිදුකළා. මේ සම්පුර්ණ මෙහෙයුම භාර අරගෙන වැඩ කළේ ද්‍රවිඩ සන්ධානය. ඔක්තෝබර් 26 සිද්ධිය රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂයේ නිරුවත හෙළිදරව් වීමට හොඳ අවස්ථාවක් වුණා. මේ රටේ වාමවාදී තුන්වැනි බලවේගය හැටියට තවදුරටත් ජනතා විමුක්ති පෙරමුණ පිළිගත හැකිද කියන කාරණය අවබෝධ කරගන්න පුළුවන් වුණා. ඔවුන් කිසිම ලැජ්ජාවකින්, හිරිකිතයකින් තොරව රනිල් වික්‍රමසිංහ මහතා රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටියා. ඒ අනුව දේශපාලනික වශයෙන් අපිට දීර්ඝකාලීනව ඉතා වාසිදායක තත්ත්වයක් අත්කරදෙන කටයුතු සිදුවුණා.
රට පැත්තෙන් ගතහොත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා හැටියට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, මත්තල ගුවන්තොටුපළ, ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලින් කොටසක්, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපොළ ආදී රාජ්‍ය දේපොළ රාශියක් විදේශිකයන්ට විකුණන්න සැලසුම් කර තිබුණා. එක්සත් ජාතික පක්ෂය කවදාවත් හෙටක් ගැන මතු පරපුරක් ගැන හිතන කොට්ඨාසයක් නෙමෙයි. රාජ්‍ය සම්පත් විකුණලා මැතිවරණය ළං වෙද්දී ජනතාවට ලොසිංජර දෙන්න එක්සත් ජාතික පක්ෂයේ සැලසුම වී තිබුණා. රටට බොරු කරලා නැවත බලය ගැනීමේ එජාපයේ උත්සහය ඔක්තෝබර් 26 සිද්ධියෙන් පසුව සමාජගත වුණා. රටට අහිතකර එජාප වැඩපිළිවෙළට විරුද්ධය සෘජුව හිටගන්න ඉන් ජනාධිපතිවරයාට අවස්ථාව ලැබුණා.
පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ ඉරණම ඉදිරියේදී කුමක් වේවිද?
ඔවුන්ට කිසිදු ප්‍රශ්නයක් ඇතිවෙන්නෑ. අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වන නීතිමය පසුබිම හොයලා බලලා සියලු සොයා බැලීම් කරලා තමයි සාමාජිකත්වය ලබාගැනීම සිදුකළේ. ඒ නිසා නීතිමය වශයෙන් කිසිදු ප්‍රශ්නයක් ඇතිවෙන්න විදිහක් නැහැ. එවැනි ප්‍රශ්නයක් ඇතිවුණොත් ඊට මුහුණදෙන්න ,ඒ සඳහා අධිකරණයට යන්න අපි සූදානම්. ඒ සම්බන්ධව ප්‍රශ්නයක් ඇතිවෙනවා නම් ප්‍රශ්නයක් ඇතිවිය යුත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට.
නමුත් මේ සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රශ්නයක් ඇතිවේවි කියන ස්ථාවරයේ අපි නැහැ. මේ වනවිට ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය තුළ පක්ෂය හැටියට අපි බොහොම සුහදව කටයුතු කරගෙන යනවා.ඒ නිසා ප්‍රශ්නයක් ඇතිවෙන්න හේතුවක් නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් මන්ත්‍රීවරු එක මතයක ඉන්නවා මේ අවස්ථාවේදී රට වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න.
පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බවට ඔබගේ පාර්ශ්වයෙන් අදහස් ඉදිරිපත් කර තිබුණා. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විපක්ෂනායක ධුරය ලබාගැනීමේ හැකියාව තිබෙනවාද?
අපේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තරග කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙමෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. එම සන්ධානය දේශපාලන පක්ෂ හා ප්රගතිශීලී අදහස් තිබෙන කණ්ඩායම්වලින් සැදුම්ලත් එකමුතුවක්. ඒ සන්ධානය තුළ රැඳී සිටීමට හා නිදහස් සන්ධානය ලෙස කටයුතු කිරීමට අපිට නීතිමය වශයෙන් හෝ වෙනත් ආකාරයකින් කිසිදු බාධාවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්ද, මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයෙක්ද, කියන එක ප්‍රශ්නයක් නැහැ.
පසුගිය මාස දෙකක කාලයේදී ගත් තීන්දු තීරණ ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් සමග සාකච්ඡාවක් සිදුවුණාද?
අපිට හැම කෙනෙක්ම දැනුවත් කරන්න බැහැ. දිස්ත්‍රික්කයක් ආසනවලට බෙදලා,ආසන ප්‍රාදේශීය සභාවලට බෙදලා, ප්‍රදේශීය සභාවක් කොට්ඨාසවලට බෙදලා සංවිධාන කටයුතු සිදුවන්නේ. කොට්ඨාසයකට නියෝජිතයෙක් ඉන්නවා. මේ හැම කොටසක්ම කොළඹට කැඳවලා දැනුවත් කරලා තමයි හැම තීරණයක්ම ගත්තේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය මාස තුනේදී සියලුම දිස්ත්‍රික්කවල සියලුම සංවිධානවල සාමාජිකයන් තුන් වතාවක් කොළඹට කැඳවූවා. ඔවුන් දැනුවත් කර ඔවුන්ගේ අදහස් විමසීමෙන් පසුව තමයි මේ තීන්දු තීරණවලට එළඹුණේ. මෙතැනදී අපිට රැල්ල නැතිවුණා කියනවනේ. රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය මේ රටට කරන හානිය දැකලා ලැජ්ජා වුණු එක්සත් ජාතික පාක්ෂිකයෝ පිරිසක් පසුගිය කාලයේ හිටියා. ඔවුන් එළියේ ස්වාධීන පුද්ගලයන් වශයෙන් පෙනී සිටියා.
මෙවර ඔවුන් නැවත එජාපය වෙනුවෙන් කතාකරන්න පටන් ගෙන තිබෙනවා. ඉහළ මධ්‍යම පාන්තික පිරිසක් අතරේ මේ දෙය සිදුවෙලා තිබෙනවා. ඉහළ මධ්‍යම පාන්තිකයන්ගේ ක්‍රියාකාරීත්වය සමාජයේ වැඩිපුර කැපී පෙනෙනවා. ඔවුන් සමාජයේ මතයක් හදන්න ගත්තා මහින්ද මහත්තයාට තුනෙන් දෙකකින් දිනන්න තිබුණු අවස්ථාව නැති කරගත්තා කියලා. අපි ඉතා හොඳින් සංවිධානය වුණු දේශපාලන පක්ෂයක්. ලොකු අරමුණක් සහ නව දර්ශනයක් සහිතව මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අලුත් දේශපාලන ගමනක් යන්න ඉදිරියට ආපු දේශපාලන පක්ෂයක්. අපේ දැක්ම නිසා ප්රගතිශීලී ජනතාව සහ තරුණ කොටස් පොහොට්ටුව වැලඳ ගැනීම නිසා තමයි අපිට මෙච්චර දුරක් යන්න පුළුවන් වුණේ.
දැනට සති දෙකකට කලින් විශ්වවිද්‍යාල කණ්ඩායම් කිහිපයක් හා පුද්ගලික කණ්ඩායම් යවලා ලංකාව පුරා අපි සමීක්ෂණයක් සිදුකළා. අපේ ඡන්ද පදනම කිසිම තැනක අඩුවීමක් වෙලා නැති බව ඉන් පෙනී ගියා. සමහර තැන්වල ඡන්ද පදනම වැඩිවීමක් වෙලා තිබෙන පෙනෙන්නට තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා කෙටි කලක් ඇතුළත අගමැති ධුරය භාරගෙන නැවත අත්හැරීමේ සිද්ධියේදී ඔහු ගැන තිබුණු ජනතා විශ්වාසය පලුදුවීමක් සිදුවුණා නේද?
මහින්ද මහත්තයා අගමැති ධුරය භාරගන්න තීරණයක් ගත්තේ ඇයිද කියන එක තමයි වඩා වැදගත් වෙන්නේ. නීතිවිරෝධී සිංගප්පූරු ගිවිසුම අත්සන් කරලා, රටට හානිකර එට්කා ගිවිසුම අත්සන් කරන්න අවශ්‍ය පිඹුරුපත් සකස් කරලා ,කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්න කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා,නැගෙනහිර තෙල් ටැංකි සහ ඉඩම් අක්කර දහස් ගණනක් විකිණීම සඳහා අවශ්‍ය කරන මූලික බෙදීම් සහිත සිතියම් ඇඳලා ,මත්තල ඇතුළු ගුවන්තොටුපොළවල් විකිණීමට සූදානම් කර තිබියදී තමයි හිටපු ජනාධිපතිතුමා අගමැති ධුරය භාරගත්තේ.
තව අවුරුදු එකහමාරක් එක්සත් ජාතික පක්ෂය මේ රට අරගෙන ගිහින් මේ ටික විකුණලා තිබියදී අපි රට බාරගත්තා නම් ඉන්දියාව, චීනය, ඇමෙරිකාව ඇතුළු රටවල කොළණියක් විදියට මේ රට පාලනය කරන්න සිදුවෙනවා. මේ රටේ බෙදුම් වාදයට අවශ්‍ය මාර්ගය පහසුවෙන් ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථාව ලබාදී තිබියදී තමයි අපිට රට භාරගන්න වෙන්නේ. ඒ තත්ත්වය නතර කරගැනීමට අවස්ථාව ලැබුණා මහින්ද රාජපක්ෂ මහතා ඔක්තෝබර් 26 වැනිදා අගමැති ධුරය භාරගැනීම නිසාවෙන්.
නමුත් නැවත අගමැති ධුරය ලබාදුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාටමයි?
ඒ වුණාට රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලසුම අද රටට හෙළිවී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වීම මත සමාජ විපර්යාසයක් සිදුවුණා. මේ රටේ ප්‍රථම වතාවට මල්වතු අස්ගිරි ඇතුළු සියලුම නිකායන්වල මහාසංඝරත්නය එකතැනකට රැස්වෙලා මහින්ද රාජපක්ෂ මහතා ගත් මහ මැතිවරණයකට යා යුතුය කියන මතය අනුමත කළා. සියලු නිකායන්වල මහානායක හිමිවරුන් මේ විදියට රට වෙනුවෙන් එක මතයකට එළඹියේ අවුරුදු ගාණකට පස්සේ. කාදිනල්තුමා පැහැදිලි ප්‍රකාශයක් කළා රට වෙනුවෙන්. මහින්ද රාජපක්ෂ මහතාගේ ආගමනය මත දේශප්‍රේමී බලවේගවල එකමුතුවක් ඇතිවුණා. මින් ඉදිරියට රනිල් වික්‍රමසිංහට ඕන විදියට මේ රට කඩන්න,බෙදන්න,විකුණන්න ඉඩ ලැබෙන්නෑ.
හම්බන්තොට වරාය විකුණන අවස්ථාවේදී අපිට ඒ බලවේගයක් ටික එකතු කරගන්න බැරි වුණා. නමුත් අද මේ රටට ආදරය කරන සියලු බලගවේග අපි සමග එකතුවී තිබෙනවා. හෙට දවසේදීත් රනිල් වික්‍රමසිංහ මහතා රටට අහිතකර තීන්දු ගතහොත් එය නතර කර ගැනීමට දේශපාලන බලය අපිට මේ වනවිට තිබෙනවා.
ඔක්තෝබර් 26න් පස්සේ මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට නීති විශාරදයන්ගෙන් ලැබුණු නීති උපදෙස් ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ කරුණේදී කලින් තිබුණේ ජනාධිපතිවරයාට වසරකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න හැකියාව තිබුණා. නමුත් 19 වැනි සංශෝධනයෙන් එය අවුරුදු හතරහමාරක් දක්වා දීර්ඝ කළා. ජනාධිපතිවරයාගේ බලතල අඩුකරන්න බැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබුණු කරුණ පදනම් කරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල තිබෙන බවට වගන්තියක් ගෙනවිත් තිබෙනවා. ඒ අනුව ව්‍යවස්තාවේ ස්ථාන දෙකක ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධව දෙයාකාරයකින් සඳහන් වෙනවා.
මෙවැනි තත්ත්වයකදී අපිට ලැබුණු නීති උපදේශ වැරදි බව කියන්න බැහැ. ව්‍යවස්ථාවෙන් ඇතිවී තිබුණු තත්ත්වයක් ඒක. ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවස්ථාව තිබෙන බව කියන ස්ථාවරයේ ඉඳන් අපි කටයුතු කළේ. මේ විදියට ව්‍යවස්ථාවේ ස්ථාන දෙකක ගැටීමක් ඇතිවන අවස්ථාවේදී අවසන් තීන්දුව දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අපිට පිළිගන්න සිදුවෙනවා. එහිදී අපිට ලැබුණු නීති උපදෙස්වල අඩුවක් තිබුණේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවැරදියි කියන මතය සම්බන්ධව සාධාරණ සහ ඉතා ප්‍රබල තර්ක අධිකරණයේදී මතුවුණා.
225 අත්සන් කළත් රනිල්ට අගමැති ධුරය දෙන්නෑ, රනිල් අගමැති වුණොත් මම එක පැයක්වත් ජනාධිපති පුටුවේ ඉන්නෑ කියපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්රජාතන්ත්රවාදයට ගරු කරන බව පවසමින්
අවසානයේදී රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබාදුන්නා.ජනාධිපතිවරයාගේ මේ හැසිරීම ඔබ දකින්නේ කෙසේද?
225ම අත්සන් කළොත් අගමැති ධුරය නොදී ඉන්න බැහැ. ජනාධිපතිවරයාගේ මතය අනුව වැඩිම පිරිසකගේ සහය දිනාගන්නා පුද්ගලයා අගමැති කළ යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. එහිදී ඔහුගේ මතයට ඉඩක් දීලා තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් 225ම කියනවා නම් එතන තවදුරටත් මතයකට ඉඩක් ඉතුරු වෙන්නෑ. අනිවාර්යයෙන් ඒ පුද්ගලයා පත්කරන්න වෙනවා.
එච්චර දෙයක් නොතේරෙන කෙනෙක් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. ජනාධිපතිතුමා අදහස් කළේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධුරයට පත් කිරීම සම්බන්ධව ප්‍රසාදයක් නැහැ කියන එකයි. නමුත් ඒක බොහොම කාවදිනසුලු විදියට කියන්න ඕන නිසා එහෙම කිව්වේ. ඒ අවස්ථාවේදී ඔහු ද්‍රවිඩ සන්ධානයට සහ මුස්ලිම් පක්ෂවලටත්,අනෙක් කණ්ඩායම්වලටත් යම් කිසි පණිවිඩයක් දෙන්න උත්සහ කළා. මේ රටට වින නොකරන අගමැතිවරයෙක් අරන් එන්න ,එවිට මම පත්කරන් නම් කියන අදහස ඉන් ලබාදෙන්න උත්සහ කළේ. නමුත් මේ වෙලාවේ බෙදුම්වාදී කල්ලි ශක්තිමත් වුණා. ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අවශ්‍ය හොඳම පුද්ගලයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතාව තෝරා ගත්තා.
අමිත් මධුරංග/ඡායාරූපය - ඒශාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd