Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 27 වන බදාදා
2024 නොවැම්බර් මස 27 වන බදාදා
නව වර්ෂයේ එදිනෙදා ජීවිතය සාර්ථක කරගැනීමට නින්ද හා නිදන කාමරය ජ්‍යෝතිෂවිද්‍යානුකූලව තබාගන්නා ආකාරය පිළිබඳව ටොලමියානු ජෝතිර්වේදය පිළිබඳ ප්‍රවීණයෙකු වන ජෝතිර්වේදී කේ.සී.ජේ.රත්නායක මහතා ගෙනෙන කරුණු ඉදිරිපත් කිරීමකි.
ජීවිතය සාර්ථක කරන දවස ආරම්භය
ස්වභාව ධර්මයත් අපේ ශරීරයත් නිර්මාණය වෙලා තියෙන්නේ එකම ශක්ති පදාර්ථවලින්. ඒ වගේම සොබාදහමත් අපේ ශරීරයත් ක්‍රියාත්මක වෙන්නේ එකම නියාම පද්ධතියක් අනුවයි. ජ්‍යෝතිෂය තරම් මේ ස්වභාවික නියාමය මත පදනම් වූ වෙනත් දැනුම් පද්ධතියක් නැති තරම්. කෙනෙක් මගෙන් අහනව ජ්‍යෝතිෂය අනුව උදේ අවදි වෙන්න තියෙන හොඳම වෙලාව මොකක්ද කියලා. මෙන්න ඒකට පිළිතුර. නිරෝගී ක්‍රියාශීලී ජීවිතයක් අපේක්ෂා කරන ඕනෑම කෙනෙකුට නින්දෙන් අවදි වෙන්න තියෙන හොඳම කාලය බ්‍රහ්ම මුහූර්තයයි. උදේ පාන්දර 4 ත් 6ත් අතර දෙපැයක කාලයේදී තමා බ්‍රහ්ම මුහූර්තය උදා වෙන්නේ. විශේෂයෙන්ම පාඩම් අධ්‍යයන කටයුතු කරන ශිෂ්‍යයන්ටත්, ලිපිලේඛන සහ නිර්මාණාත්මක ගද්‍ය පද්‍ය රචනා කරන අයටත්, භාවනා ආගමික ආදී කටයුතුවල යෙදීමටත්, ශාරීරික අභ්‍යාසවල යෙදෙන අයටත් මේ කාලය ඉතා උචිතයි. ඒ හැරෙන්න අනෙක් සෑම පුද්ගලයෙකුටම ප්‍රබෝධමත් ක්‍රියාශීලී දවසක් ආරම්භ කිරීමට නම් මේ බ්‍රහ්ම මුහූර්තයෙන් අවදිවීම ඉතා ඵලදායක වෙනවා. දවසේ අනෙක් සෑම හෝරාවකටම වඩා මේ බ්‍රහ්ම මුහූර්තය ඉතා බලවත්. ඒ වගේම ඕනෑම කටයුත්තක් ඉතා පහසුවෙන් සහ නිවැරදිව ඉටු කරගන්නත් මේ මොහොත ඉතා වටිනවා. අනෙක් සෑම හෝරාවකටම වඩා මේ කාලයේදී මනසේ ශක්තියත් ඉතාම ප්‍රබලයි. බොහෝ දුෂ්කර ගණිත අභ්‍යාස හෝ එවැනි මනස වෙහෙසවා කරන ඕනෑම කටයුත්තකට ඔන්න ඔය බ්‍රහ්ම මුහූර්තය හරිම වටිනවා. නිරෝගී දීර්ඝායුෂ විඳීමේ රහසක් හැටියටත් ඔය කාලය සඳහන් වෙනවා. ඉස්සර අපේ කියමනක් තිබුණා දහසක් බුදුන් බුදුවන හිමිදිරි පාන්දර කියලා. ඒ බලවත් සුබ මොහොත තමා මේ බ්‍රහ්ම මුහූර්තය කියා කියන්නේ. මේවා කියන පලියට පිළිගන්න ඕන නෑ. ඇත්ත නැත්ත ඔබටම පුළුවන් අත්හදා බලන්න. යම් සිද්ධාන්තයක් මට ප්රත්යක්ෂ නොවෙනවා නම් මම ඒක තව කෙනෙකුට කරන්න කියා කියන්නේ නෑ. මගේ පෞද්ගලික අත්දැකීම් ගණනාවක් ඔය සම්බන්ධයෙන් තිබෙන බවත් කියන්න කැමතියි.
නින්ද සහ ජ්‍යෝතිෂය අතර පවතින සම්බන්ධය
නින්ද සහ ජ්‍යෝතිෂය අතර ඉතා සමීප සම්බන්ධයක් තියෙනවා. විශේෂයෙන්ම ඒකට අදාළ වෙන්නේ ජ්‍යෝතිෂ වාස්තු විද්‍යාවයි. ඔය නින්ද ගැන ටොලමියානු ජ්‍යෝතිෂයේ එන රහසක් කියන්නම්. විවාහක ස්ත්‍රී පුරුෂ දෙදෙනකුගේ මංගල යහන නිවේදනය කරන්නේ කේන්දරයේ 12 වැන්නෙන්. ජන්ම කේන්දරයේ 12 වැන්නේ යුරේනස්, කුජ, රාහු, ප්ලුටෝ යන ග්‍රහයෙක් පිහිටා සිටිනව නම් ඔහුට හෝ ඇයට සුව නින්දකට වගේම යුග දිවියේ සතුට ලැබීමටත් ස්වභාවයෙන්ම සාපේක්ෂව බාධා මතුවෙනවා. එවැනි ග්‍රහයකු ගෝචරයෙන් කේන්දරයේ ගමන් කරන අවස්ථාවේත් එවැනිම දුෂ්කරතා හටගන්නවා. දෙවැනි කාරණය ඊටත් වඩා වැදගත්. ගෙදරක තිබෙන ඊසාන සහ ගිනිකොන දිශාවේ කාමරවල සයනය කිරීම හිතකර නැහැ. නිදන කාමර කොහොමටත් ඊසානට ගිනිකොනට සුදුසු නැහැ. ඒ වගේම උතුර, ඊසාන සහ ගිනිකොන කියන දිශා තුනට හිස යොමුවන ලෙස සයනය කිරීම ඉතා අහිතකරයි. ඔය ගැන අපි කලකට පෙර 'අද' පුවත්පතින්ම කරුණු කිහිපයක් කියා තියෙනවා. අන්න එයින් කිහිපයක් නැවත උපුටා දක්වමු.
'ඇඳ සහ සඳ අතර මෙලෝ සම්බන්ධයක් නැත. එහෙත් %චන්දන මල් අතුරා ඇති යහනට - කන්ද කපා පායන් රන් පුන් සඳ ...^ යැයි අමරදේව සූරීන් ගයයි. මින්දද හී සර වැදී ඇති මුත් සිහින කුමරිය පේන තෙක් මානයක නැත. මෙහි සඳ යැයි කියන්නේ අනාගත බිරිඳටය. ඇය තවම හමු නොවූ නිසා සොවින් තැවෙන මානවකයෙක් තනි යහනේ හිඳිමින් හූල්ලයි. ඒ කතාව එහෙමය.
තවත් කෙනෙක් ඇඳේ පැත්තක තම බිරිඳ වැතිර සිටියදීත් වහලේ පරාල ගණන් කරමින් යට ලීයෙන් නාරිලතා මල් පූදින තුරු අසහනයෙන් රැය පහන් කරයි. අර තනිකඩ තරුණයාටත් වඩා මේ විවාහකයා අතෘප්තිමත්ය. මෙහෙම වෙන්නේ ඇයි? නිකමට ඇඳ යටට එබිලා බලන්න. හට්ටි මුට්ටි පෙට්ටි කළගෙඩි පිරිලා නේද? ඇඳ යට තියෙන ලට්ට ලොට්ට පුස් කනවා වගේම එවැනි ඇඳක් උඩ නිදා ගන්නා කෙනෙකුගේ ජීවිතයද පුස් බැඳුණු දර කොටයක් හා සමාන වන්නේ යැයි ජ්‍යෝතිෂයේ ඉගැන්වෙයි.
ඇඳේ උඩ හා සමානව ඇඳ යටද ඉතා පිරිසුදු විය යුතුයි. ඒ කෙතරම්ද කිවහොත් කඩදාසි කැබැල්ලක්වත් නොතිබිය යුතුයි. මේ ජ්‍යෝතිෂ - වාස්තු නියමය කඩ කෙරෙන විට රෝගී බව, අසහනය, අකලට මහලු වීම, අවාසනාව, අපේක්ෂා භංගත්වය, ගෘහ ජීවිතයේ ගැටුම් සහ විවාහකයන්ට නීරසභාවයත්, අවිවාහකයන්ට දිගින් දිගටම විවාහ ප්‍රමාදයත් ඇති කෙරේ. මේ තරම් බරපතළ උපද්‍රව ඇති කිරීමට ඇඳ යට තියෙන ලට්ට ලොට්ට ටිකකට පුළුවන්ද කියා ඔබ මවිත වූවා නම් ඒ මවිතය තවත් වැඩි කරමින් කියන්නට සිදුවන්නේ කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන් කාලකණ්ණි කිරීමට සහ දිවි තොර කිරීමට පවා නිදන ඇඳ හේතු වන බවයි.
නිවසේ අන් බොහෝ තැන්වලට වඩා නිදන ඇඳ යට පොළොවේ තෙතමනය සහ අඳුරු ස්වභාවය අධිකයි. අන් තැන්වලට වඩා හිරු එළිය සහ වාතාශ්‍රය ඇඳේ යටට ලැබෙන්නේ අඩුවෙන්. එසේ තිබියදී එම ප්‍රදේශය ලට්ට ලොට්ට ආදියෙන් තවත් අවහිර කළොත් හිරු එළියට සහ නැවුම් වාතයට ඒ හරහා ගමන් කිරීමට හැකි වන්නේ නැහැ. ප්‍රතිඵලය වන්නේ ඇඳ යට නරකාදියක් නිර්මාණය වීමයි. මිලියන සංඛ්‍යාත බැක්ටීරියා, දිලීර (පුස්) වර්ග අධිවේගයෙන් වැඩෙන්නට ගන්නවා. ඒ මත විෂකුරු කෘමීන් පෝෂණය වෙනවා. පියවි ඇසට නොපෙනෙන නමුත් මේ විෂ ඇඳේ කකුල්වල සිට ඉහළට සෑම තැනකම බෝවෙනවා. කොතරම් පිරිසුදු ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට දැමුවත් පැය දෙක තුනකින් ඒ සියල්ල ආක්‍රමණය කර ඒවා කිළිටි කිරීමට මේ ක්ෂුද්‍ර ජීවින් යුහුසුළු වෙනවා. කෙනෙකු අඩුම තරමින් පැය 6ක් වත් අඛණ්ඩව නිදන ඇඳ මත කාලය ගෙවන නිසා ඒ මුළු කාලයේදීම ඔහු ශ්වසනය කරන්නේ රෝගකාරක සහිත වායුවයි. එහි විපාක කායික සහ මානසික යන දෙඅංශයෙන්ම කෙටිකාලීනව සහ දිගුකාලීනව බලපෑම් කරනවා. නිදන ඇඳ යට කඩදාසි කැබැල්ලක්වත් නොතිබිය යුතු යැයි ඉහත සඳහන් කළේ රුපියලේ කාසියක තරම් ඉතා සුළු ඉඩක පවා නරකාදියක් නිර්මාණය වන නිසයි. නරකාදිය නැමති වචනයේ තේරුම මේ අවස්ථාවේම වටහා ගැනීම වැදගත්. අර්ක යනු සූර්යයා හඳුන්වනු ලබන සම්භාවනීය ජ්‍යෝතිෂ යෙදුමක්. ප්‍රඥාව සහ යහපත් ජීවිතය හටගන්නේ මේ අර්ක හෙවත් සූර්යයා නිසායි. න + අර්ක යනු සූර්යයා නැති තැනයි. එනම් ප්‍රඥාව සහ යහපත නැති තැනයි. මේ න+ අර්ක සිංහලෙන් නරකය හෙවත් නරකාදිය වී තිබෙනවා. අපායට හිරු පායන්නේ නැහැ. දැන් බලන්න, ඔබේ නිදන ඇඳ යටට හිරු එළිය නොවැටෙන්නේ නම් ඔබ ජීවත් වන්නේ අපායක නේද?
දිවිය සාර්ථක කර ගැනීමට නිදන කාමරය පවත්වා ගැනීම
නිදන ඇඳ පමණක් නෙවෙයි ගෘහ භාණ්ඩ තබා ඇති ආකාරය අනුව හිරු එළිය නොවැටෙන අඳුරු අහුමුළු නිවෙසේ තවත් තැන්වල නිර්මාණය වී තිබෙනවා නම් ඒ සෑම තැනක්ම අපායක්. ඇතැම් අය කෝටි ගණන් වැය කරලා නිවාස හදනවා. මිලියන ගණන් ගෙවලා ගෘහභාණ්ඩ ගෙනෙනවා. හැබැයි ඒවා නිසි ලෙස ස්ථානගත කිරීමේ ශාස්ත්‍රය දන්නෙ නැහැ. අල්මාරියක දොර පියන් විවෘත වන දිසාවන් ගැන පවා වාස්තු නීති තිබෙනවා. නිවසක් තැනීමේදී පමණක් නෙවෙයි ගෘහභාණ්ඩ ස්ථානගත කිරීමේදීත් වාස්තු නීති පිළිපැදීම ඉතා වැදගත්. නිවස ඇතුළත ඊසාන දිශාවේ මාළු ටැංකියක් හෝ ජලය සහිත මල් පෝච්චියක් හෝ වැනි දෙයක් තිබෙනවා නම් එය එතැනින් ඉවත් කරන්න. එවිට නිවස පුරා මෙතෙක් නොපැවති සහනශීලී වාතාවරණයක් ගොඩනැගෙන අයුරු ඔබටම අත්හදා බලන්න පුළුවන්. මෙවැනි ඉතා සුළු වෙනස්කම්වලින් ලැබෙන ප්‍රතිඵලය සුළුපටු නැහැ.
නිදන ඇඳ යට සම්පූර්ණයෙන්ම නිදහස්ව සහ වියළිව තිබීම අත්‍යවශ්‍ය වන්නා සේම නිදන කාමරයේ දොර ජනේල විවෘත කර ඉතා හොඳින් හිරු කිරණ වැටෙන්නට සැලැස්විය යුතුයි. එමගින් සිදුවන්නේ විෂබීජ විනාශ කිරීම වැනි සරල දෙයක් පමණක් නෙවෙයි. හිරු හැමවිටම අපට ගෙන එන්නේ ප්‍රතිජීවනය. හිරු රැස් දෝතක ඇති බලය සහ සංඝටක ප්‍රමාණය අතිමහත්. ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට යනාදිය ඉතා ආශාවෙන් හිරුගේ ශක්තිය උරාගෙන ප්‍රබෝධමත් වෙනවා. ඒ මත වැතිරෙන ඔබත් ප්‍රබෝධයෙන් නිදාගන්නවා පමණක් නොවෙයි, ඊටත් වඩා සුවපහසුවෙන් අවදි වෙනවා. මේ වෙනස අත්දකින්නට එක් ක්‍රමයක් තිබෙනවා. කොට්ට උර දෙකක් අරගෙන ඉන් එකක් රෙදි සෝදන මැෂිමට දමා එයින්ම වියළා ගන්න. අනෙක් උරය සෝදා අව්වේ දමා වියළා ගන්න. ඔබ නිදාගන්නා විට වැඩිම සුවපහසුවක් සහ ප්රබෝධයක් ගෙන දෙන්නේ අව්වේ දමා වියළා ගත් කොට්ට උරයෙන්. ඒ වෙනස ඇති වූයේ හිරු කිරණ සතු ප්රතිජීවන ශක්තිය නිසායි. කොට්ට මෙට්ට, ඇඳ ඇතිරිලි යනාදිය අව්වේ දමා වියළා ගැනීම හුදු පිරිසුදු කිරීමක් පමණක් නොවන බව දැන් පැහැදිලි වන්නට ඇති.
ආහාර, ජලය, වාතය යන මේ තුනෙන් නරක් වූ විට වැඩිම විපත ගෙන එන්නේ වාතයයි. එමෙන්ම නොකෑවොත් නොබීවොත් නරක් වූ ආහාරයට හෝ ජලයට හෝ අපට විපත් පැමිණවිය නොහැකියි. එහෙත් වාතය නරක් වුවහොත් නිරායාසයෙන් ඒවා අපේ සිරුරට ඇතුළු වෙනවා. ඇඳ යට හෝ නිවසේ අහුමුළුවල රැඳෙන වාතය පල් වෙනවා. පුස් ගඳ ලෙස දැනෙන්නේ එයයි. වාස්තු විද්‍යාවේදී බරපතළම දෝෂ ලෙස සැලකෙන්නේද නිවෙසේ ජීව ශක්ති සංසරණයට බාධා පමුණුවන මෙවැනි කරුණුයි. නිවෙසේ සෑම තැනකටම හිරුඑළිය සහ වාතය ගමන් කළ යුතුයි. හිරුරැස් හොඳින් පතිත වන කිසිම තැනෙක වාතය පල්වන්නේ නැහැ. සූර්ය තාපය නිසා රත්වන වායුවේ අණු පරමාණු ඒවායේ බන්ධන ලිහිල්කොට ගෙන ඉහළට නගින නිසා නිතරම නිවස පිරිසුදු කෙරෙනවා පමණක් නෙවෙයි, එය යළි යළි ප්රතිජීවනයට ලක්වෙනවා. නිවසේ අන් තැනෙකට වඩා මේ ක්‍රියාවලිය වඩාත්ම උවමනා වන්නේ නිදන කාමරයටයි.
ඇඳ යට පමණක් නෙවෙයි මෙට්ටය යට පවා කිසිවක්ම නොතිබිය යුතුයි. ඇතැම් අය තනි ඇඳවල් දෙකක් එකට යාකරල යුගල ඇඳක් හදා ගන්නවා. මෙය කිසිසේත්ම නොකළ යුත්තක්. සිංගල් දෙකක් ඩබල් එකක් නොවන්නා සේම එයින් හටගන්නා එකම සන්තෑසිය නම් කරදර ඩබල් වීම පමණයි. සමහරුන් වැඩි සුවපහසුව පිණිස හෝ පරණ මෙට්ටය විසි කිරීමට ලෝබකම නිසා හෝ පරණ මෙට්ටය උඩට අලුත් මෙට්ටයක් දමා ගන්නවා. මෙයත් නොකළ යුතුම දෙයක්. කොට්ට දෙකක් එකපිට එක දමා නිදාගැනීමත් අහිතකර පුරුද්දක්.
ඇඳ ඇතිරිලි ඉතා බර සහ ගොරෝසු ඒවා නොවිය යුතුවාක් මෙන්ම හැකිතාක් ඒවා සුදු හෝ සුදු පැහැයට සමීප වර්ණයන්ගෙන් යුක්ත විය යුතුයි. තද වර්ණ, කළු, රතු, දුඹුරු, තද නිල් යනාදිය නිදන ඇඳට ඉතා අහිතකරයි. නිදන කාමරයේ බිත්තිවලටත් එකී වර්ණ යෝග්‍ය නොවෙයි. මීට හේතු වන්නේ ආලෝක වර්ණාවලිය, එහි පරාවර්තනය සහ මිනිස් සිරුර අතර හටගන්නා සංකීර්ණ සම්බන්ධයයි. සුදු ඇඳ ඇතිරිල්ලක් මතට මදුරුවෙක්වත් සමීප වන්නේ නැහැ. නමුත් කළු හෝ තද පැහැති ඇඳ ඇතිරිල්ලක් දමා බලන්න. මදුරුවන් එහි රොද බඳින හැටි ඔබටම දකින්න පුළුවන්.
ඔබේ නිදන ඇඳේ හිසට කෙළින් හෝ ඒ හරහා හෝ දැව කොන්ක්‍රීට් ලෝහ යන බේදයක් නැතිව පරාලයක්, කුරුපාවක්, යට ලීයක්, කණුවක්, පියගැටපෙළක් වැනි දෙයක් තිබෙනවා නම් එම බාධකය පන්නා ඇඳ ස්ථානගත කළ යුතුයි. මෙහි සරල නියමය නම් නිවසේ බර දරා සිටින කිසිවක් යට නිදා නොගත යුතු බවයි. ඊට හේතුව දැන ගැනීමට උවමනා වන්නේ ඉතාම සරල සාමාන්‍ය භෞතික විද්‍යා දැනුමක් පමණයි. එවැනි බාධකයක් යට නිදාගන්නා හැමවිටම ඔබේ සිරුර හරහා අසාමාන්‍ය බරක් ගමන් කරනවා. එය විපත් රැසකට මුලපිරීමක්. ඕනෑම නිදන කාමරයක කන්නාඩි මේසයක් වරදින්නේ නැහැ. නමුත් නිදන ඇඳ මත සිටින විට එම කැඩපතින් ඔබේ රුව පෙනෙනවා නම් නොවරදවාම එහි කෝණය වෙනස් කරන්න. නිදන ඇදේ සිටින්නාට තම රුව කැඩපතින් නොපෙනෙන ලෙස එය සකස් කළ යුතුයි. දොර සහ ජනේලයකට ලම්බකව නිදන ඇඳ කිසිසේත්ම ස්ථානගත නොකිරීමටත් මතක තබාගත යුතුයි.
නිදන ඇඳ ඕනෑම කෙනෙකුගේ චරිතය සහ පෞරුෂය විදහාපාන කැඩපතක්. ඒ දෙකම මනින්නේ ඇගේ මස් මාංස, බර සහ උස මහත අනුව නොවෙයි, මනසේ ශක්තිය සහ ඇවතුම් පැවතුම් අනුවයි. උදේ අවදි වන පුද්ගලයා ඇඳ ඇතිරිලි ගසා දමා එය නැවත පිළිවෙළට සකස් කරන්නේ නම් ඔහු පරාර්ථකාමියෙක්, කෙලෙහිගුණ දත්තෙක්. අභ්‍යන්තර චිත්ත ශක්තියෙන් පොහොසත් තැනැත්තෙක්. ලස්සන ඇඳක් ඇති තැනැත්තාට ලස්සන හිතක් තිබේ යැයි චීන කියමනක්ද තිබෙනවා. එවැනි කෙනෙකුට කන්ද කපාගෙන හඳ පායනතුරු හූල්ලන්නටද සිදුනොවෙයි.
ඉතිරිය ලබන සතියට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd