වසරක් ගත වූ තැන තොරතුරු පනත යටතේ තොරතුරු අයදුම්කර ඇති පිරිස 38ක් යැයි එම කොමිසම පසුගිය සතියකදී අනාවරණය කළේය. එයින්ද වැඩි පිරිස බස්නාහිර පළාතෙනි. රාජ්‍ය ආයතන පිළිබඳ තොරතුරු ඉල්ලා ඇත්තේ 8%ක පිරිසක් බවද කොමිසම පවසයි.
ජනතාව තොරතුරු පනත වැළඳ ගත යුතු වුවද ඒ තැනට යොමු නොවන්නේ ඇයිද යන්න සියුම්ව හැදෑරිය යුතු කාරණයකි. කොමිසම මතුපිටින් දකින දෙයට වඩා ඇතුළත ඇති සියුම් ගැඹුර ඔවුන් සොයා යායුතු යැයි තොරතුරු සන්නිවේදකයෝද අවධාරණය කරති.
ජනතාවට රජයේ කටයුතුවල විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීමට තොරතුරු පනත මනා අනුබලයක් කරගත හැකිය. නමුත් ජනතාවට පොදුවේ රාජ්‍ය ආයතන කෙරෙහි පවතින කලකිරීම හේතුවෙන් මෙයත් එවැනි එක් ආයතනයක්ය යන සැකය ගම සහ නගරයෙන් අසන්නට ලැබෙන එක් කතාවකි.
පසුගියදා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ලාල් විජේනායක මහතා රාජ්‍ය සේවා කොමිසම සහ පොලිස් කොමිසම උපුටා දක්වමින් පැවසුවේද ජනතාව අපේක්ෂා කළ තරමින් ඒවායෙන් ප්‍රතිඵල ලබා ගැනීමට ඇති නොහැකියාව පිළිබඳව පුවතකි.
එනිසා තොරතුරු පනත වැනි අලුත් පනතක් ජනගත කිරීමේදී එය තෘණමූල මට්ටමේ සිට ජනතාවට සමීප කරවීමේ ප්‍රායෝගික ක්රියකාරකමක් පවතින්නේද යන දැනුම අදටත් ජනතාවට නොමැත.
ජනතාවට තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ ප්රවේශයන් ගණනාවක් මෙම පනත අනුව දක්වා ඇත. වාචිකව හෝ ලිපියකින් හෝ ඊ-මේල් යටතේ වශයෙන් හෝ එය ඉතා සරල ක්රමයකි. කෙසේ හෝ එක් අයදුම්කරුවෙකු තමන්ට සිදු වූ එවැනි අපහසුතාවක් වෙනුවෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ඔහු ඒ වන විට දැන අසා තිබූ තොරතුරු මත යැපෙමින් අභියාචනයක් සිදුකළේය. ලිපිය යවා දින 32ක් ගතවීමෙන් පසු අධ්යක්ෂ ජනරාල්වරයා විසින් එවූ ලිපිය සද්භාවයෙන්ම පාඨකයන්ටද දැනුම්වත්වීම වෙනුවෙන් මෙහිලා උපුටා දක්වීම වඩාත් අගනේ යැයි අප සිතමු.
(උපුටා ගැනීම)
2016 අංක 12 දරන තොරතුරු පනත යටතේ ඉදිරිපත් කරනු ලබන අභියාචනයයි.
ඉහත කරුණට අදාළව ඔබ විසින් මෙම කොමිෂන් සභාව වෙත එවා ඇති ලිපිය හා බැඳේ.
02. එම ඔබ ලිපියේ කරුණු අනුව පෙනී යනුයේ ඔබ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන නිවැරදිව අනුගමනය කර නොමැති බවයි.
03. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන අනුව ඔබ විසින් මෙම කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි වනුයේ 2017 පෙබරවාරි 03 දිනැති අංක 2004/66 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ දක්වා ඇති පරිදි පළමුව අදාළ ආයතනයේ තොරතුරු නිලධාරී වෙත අයදුම්පතක් ඉදිරිපත් කරනු ලැබ ඔබේ ඉල්ලීම ඉටු නොවන්නේ නම් හා දෙවනුව එම ආයතනයේ %නම් කළ නිලධාරී^ වෙත ඒ සම්බන්ධ අභියාචනයක් ඉදිරිපත් කර එමගින්ද ඔබේ ඉල්ලීම ඉටු නොවුණහොත් එයින් අනතුරුව බව ඔබට කරුණාවෙන් පෙන්වා දෙනු කැමැත්තෙමි.
04. මෙම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති ඉහත කී ලිපිය අනුව ඔබේ අභියාචනය සමග පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කර නැත.
(1). තොරතුරු නිලධාරියාට කළ ඉල්ලීමේ පිටපතක්
(2). තොරතුරු නිලධාරියාගෙන් ලැබුණු පිළිතුරෙහි පිටපතක්
(3). නම් කළ නිලධාරියාට යැවූ අභියාචනයේ පිටපතක්
(4). නම් කළ නිලධාරියා එවූ තීරණයේ පිටපත
05 . ඉහත 03 ඡේදයේ දක්වා ඇති පරිදි විධිමත් ලෙස ක්‍රියා කිරීමෙන් අනතුරුව ඔබේ ඉල්ලීම ඉටු නොවන්නේ නම් පමණක් මෙම කොමිෂන් සභාව වෙත අදාළ ලිපි ලේඛනවල පිටපතද සමග විධිමත් අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔබට හැකි බවද දන්වමි.
මෙයට-විශ්වාසී
පියතිස්ස රණසිංහ - අධ්යක්ෂ ජනරාල්
(උපුටා ගැනීම අවසානයි)
මෙහිදී ලබාදී ඇති පිළිතුර පැහැදිලිය. එය අගය කළ යුතුය. එහෙත් ගැමියෙකුට එම පිළිතුර පැහැදිලි කරගත හැකිද, කෙතරම් ප්‍රායෝගිකද යන ප්රශ්නය ලිපිය කිය වූ බොහෝ දෙනකු අසන ප්රශ්නයයි.
තොරතුරු පනත සම්බන්ධයෙන් තමාට ඇත්තේ අතනින් මෙතනින් සහ කොමිසම විසින් පවත්වන මාධ්‍ය හරඹ අනුව ලබාගත් දැනුමක් බව මෙහි අයදුම්කරුවා පවසයි. අනෙක් අතට දුරකථනයෙන් පවා තොරතුරක් ලබාගත හැකි හෝ තුණ්ඩු කැබැල්ලක් යැවීමෙන් පවා ලබාගත හැකි යැයි පැවසුවද ඉහත ලිපියේ 4(1) අනුව තොරතුරු නිලධාරියාට ඊ-මේල් පණිවිඩයක් හරහා එම අයදුම් කිරීම කර තිබේ.
දින 14ක් ගතවීද පිළිතුරක් නොලද පසු තොරතුරු නිලධාරියෙකු සොයාගත නොහැකි වූ නිසා දෙවනුව ඔහු කළේ එහිදී ආයතන ප්‍රධානියා ලෙස අදාළ පුස්තකාලයාධිපතිනිය හමුවීමයි. ඇය පවසා ඇත්තේ අප එවැනි පනතක් හෝ එවැනි දෙයක් පිළිබඳ නොදන්නා බවත්, එවැනි ඊ-මේල් ලිපියක් ඔවුන් වෙත ලැබී නොමැති බවත්ය.
පසුව එසේනම් ඔබ ආයතනයෙන් දුන් ඊමේල් ලිපිනය කාගේ දැයි අයදුම්කරු විමසූ විට අදාළ ආයතනයේ පුස්තකාලයාධිපතිනිය පවසා ඇත්තේ ඔවුන්ට ඊ-මේල් ලිපිනයක් නොමැති බවයි. එය නොලැබුණේ නම් දෙවනුව පෞද්ගලිකව හමුවී තමන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස අයදුම්කරු මෙහිදී ඉල්ලා තිබේ. ඇයට එම විස්තර ලබාදීමට නොහැකි නම් කොමිසම පවසන %නම් කළ නිලධාරියා^ වෙත යොමු කරවීමට උපදෙස් දීමට ඇයට ඇති රාජකාරීමය වගකීම අයදුම්කරු පෙන්වා දෙයි.
එහෙත් අයදුම්කරු ගැමියෙකු ලෙස නොදන්නා දේ අදාළ තොරතුරු සන්නිවේදනයේ යෙදෙන රජයේ මහජන පුස්තකාලයක පුස්තකාලයාධිපතිනියත් නොදන්නේ නම් මේ ආයතන තුළට කොමිසම පවසන ගැසට් පත හෝ අභියාචනය පිළිබඳ මූලික දැනුමවත් කොමිසම සිය වගකීමක් ලෙස ගෙනගොස් තිබේද යන ප්රශ්නය අයදුම්කරුට ඇති වී තිබේ.
අනෙක තොරතුරු නිලධාරියාගෙන් ලැබුණු පිළිතුරෙහි පිටපතක්ද සමග කොමිසම වෙත ලියාපදිංචි තැපෑලෙන් යවා ඇති ලිපියට අමුණා දක්වා තිබුණද එවැන්නක් විමසා බැලීමටවත් කොමිසම කම්මැළි වීදැයි මෙම අයදුම්කරුට ප්රශ්නයකි.
තෙවනුව නම් කළ නිලධාරියාට යැවූ අභියාචන ලිපියේ පිටපතක් ඇමිණීමට පැවසුවද එවැන්නක් තමා නොදන්නා තැන කොමිසම වඩාත් මානව හිතවාදී නම් කළ යුතුව තිබුණේ තමන්ට ලැබී ඇති අභියාචනය අදාළ ආයතනයේ %නම් කළ නිලධාරිවරයා^ වෙත යැවීම බව අයදුම්කරු පවසයි.
එහෙත් එවැනි යාන්ත්‍රණයක් කොමිසම තුළ නොමැති නිසා හෝ ඉලක්කගත ජනතාව නොසලකා හැරීම නිසා මෙසේ කල් මැරීමට හෝ ප්‍රශ්නයෙන් පලා යාමට කොමිසමද කල් මරමින් ලබාදුන් අනුබලයක් දැයි පුවත අසන ජනතාවද සැක කරති. එය එසේ විය නොහැකි වුවත් එයින් වන හානිය ඔවුන් නඩත්තු කරන ජනතාවටය.
සියල්ල එසේ සිදුවන විට රටේ අදත් වලංගු ආයතන සංග්‍රහය අනුව යම් ආයතනයකට ලිපියක් යැවූ පසු එය ලද බවට දින තුනක් තුළ සහ ගත් පියවර කුමක්ද යන්න දින හතක් ඇතුළත දන්වා යැවිය යුතු යැයි දක්වා තිබේ. එසේ නම් ජනතාවට දැනෙන්නේ මෙවැනි අදහසකි. කොමිසමක් ඇත. නීති පොතක් ඇත. බලයත් ඇත. නිලධාරීහුද වෙති. එහෙත් ගමේ ගොඩේ අකුරක් නොදන්නා හෝ පනත කියවා තේරුම් ගැනීම තබා පනතක් දෑහින් නොදුටු පුරවැසියන්ට තොරතුරු ලබා ගැනීමට කරදර විය යුතු නැතැයි ප්‍රලාප පැවසුවද මෙම කන්තෝරුවේ වැඩත් වෙනත් ඇතැම් කොමිෂන් හෝ කන්තෝරු මෙන්ම කල් මැරිය යුතු කරුණක්දැයි ජනතාව අසති.
එහෙත් ආසියාවේ හොඳම පනත අපේ යැයි පුරසාරම් දෙඩුවද (සේවාලාභීන් නොවිය හැකිය) එය වඩාත් ජනතාවට ප්‍රායෝගිකව අත්විඳිය හැක්කේ මළපොතේ අකුරක්වත් නොදත් මිනිසුන්ට එය පහසුවෙන් සරලව හා ඉක්මනින් ලබාගත හැකි පරිදි යාන්ත්‍රණයක් සකස් වන්නේ නම් පමණි. මෙහි එවැන්නක් නොමැති බව ඉහත ලිපියෙන් අපට සනාථ වේ.