Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
ශ්‍රී ලංකාව දුම්වැටි භාවිතයෙන් ඈත්වන රටක් බවට පත්වෙමින් සිටින අතර, පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය අඩුවී ඇති බව නවතම වාර්තාවලින් අනාවරණය වී තිබේ.
එබැවින් අප ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය වැළැක්වීම උදෙසා කටයුතු කරමින් සිටින මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ පුබුදු සුමනසේකර මහතා සමග මේ පිළිබඳ සාකච්ඡා කළෙමු.
දුම්බීම 17%කින් අඩුවීම
ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතයේ සිදුව තිබෙන වෙනස්කම් කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීමේදී 2018 වසරට සාපේක්ෂව පසුගිය වසරේ මාස 12ක කාලය තුළ ශ්‍රී ලංකාවේ සිගරට් භාවිතය 17%කින් අඩුවී තිබෙන බව මේ සම්බන්ධයෙන් ඇති සංඛ්‍යා ලේඛන සලකා බැලීමේදී පෙනී යනවා. ලංකාවේ දුම්වැටි අලෙවිය 17%කින් අඩු වුණා කියලා දුම්කොළ සමාගම විසින්ම පෙන්නුම් කර තිබෙනවා කියන්නේ පෙර නිෂ්පාදනය කළාට වඩා දුම්වැටි මිලියන 550ක් පමණ අඩුවෙන් තමයි ඔවුන්ට නිෂ්පාදනය කරන්න සිදුවී තිබෙන්නේ. මේ ආකාරයට එසේ අඩුවෙන් දුම්වැටි නිෂ්පාදනය කරන්න හෝ අලෙවි කරන්න සිදුවී තිබෙන්නේ දුම්වැටි සඳහා ලංකාවේ තිබෙන ඉල්ලීම අඩුවී තිබෙන නිසා.
මෙමගින් කරුණු දෙකක් අදහස් වෙනවා. සිගරට් භාවිතය සඳහා දැනට හසුවෙලා ඉන්න අය ඔවුන්ගේ සිගරට් භාවිතය අඩු කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ අතරේ ඇතැමුන් සිගරට් භාවිතය සම්පූර්ණයෙන්ම නවත්වලා තියෙනවා කියලා පැහැදිලි වෙනවා.
සාමාන්‍යයෙන් ඔවුන්ගේ භාණ්ඩය කෙරෙහි අලුත් පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට ඕනෑම සමාගමක් උත්සාහ කරනවා. පෙරට වඩා අඩුවෙන් දුම්වැටි අලෙවි කරන්න සිදුවුණා කියන කාරණයෙන් අපිට පෙනෙන්නේ ලංකාවේ නවක පිරිස් දුම්වැටි භාවිතයට එකතු වෙන්නේ අඩුවෙන් කියන කාරණයයි.
වාසි බොහොමයි
මෙහි වාසි කිහිපයක්ම තියෙනවා. දුම්වැටි කියන භාණ්ඩය ලෝකයෙන් ඉවත් කළ යුතු භාණ්ඩයක් ලෙස ගෝලීය ආර්ථික සහ සෞඛ්‍ය විද්වතුන් මේ වනවිට තීරණයකට පැමිණ තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය වශයෙන් වගේම ආර්ථික වශයෙනුත් දුම්වැටි භාවිතය අවාසිදායකයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොළ පාලනය පිළිබඳ ප්රඥප්තියක් සකස් කරන්නේ අන්න ඒ නිසයි.
දුම්කොළ වගාව, දුම්වැටි නිෂ්පාදනය සහ අලෙවිය ප්‍රවර්ධනය කියන සියලුම අංශ පාලනය කිරීම තුළින් දුම්වැටි පාලනය කිරීම සෞඛ්‍යමය වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් වාසිදායකයි කියන නිගමනය අනුවයි එය සිදුකර තිබෙන්නේ.
අකාලයේ මිය යන දුම් බොන්නන්
ඕනෑම රටක දුම් බොන පිරිස්වලින් බහුතරය අකාලයේ මිය යනවා. ඒ කියන්නේ ඔහුට උපතේදී අපේක්ෂිත ආයු කාලය ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මෙලෙස අකාලයේ මිය යන්නේ රටක ඵලදායකම වයසේ පසුවෙන අය. ඒ කියන්නේ වැඩකරන්න පුළුවන් තරුණ වයසේ පසුවන අය.
මෙලෙස මිය යන්නේ විශ්‍රාම යන වයසට පෙර පුද්ගලයන්. අන්න ඒ නිසයි මෙය අවාසියක් විදිහට ලෝකය සලකන්නේ. රටකට දියුණු වීමට අවශ්‍ය දැනුම හෝ ශ්‍රමය සපයන අය තමයි මේ විදිහට අකාලයේ මිය යන්නේ. එය දැවැන්ත පාඩුවක්. නිදහස් අධ්‍යාපනය තිබෙන අපේ වගේ රටක ශ්‍රම බළකාය නිර්මාණය කිරීමට දැවැන්ත ලෙස මුදල් වියදම් කරලා තිබෙනවා.
නමුත් ශ්‍රම බළකායේ යම් අයෙක් දුම්වැටි භාවිතය නිසා අකාලයේ මිය යනවා. මේ මිය යන පිරිස සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මෙම වයසේදී මිය යන බොහෝ දෙනා පියවරුන් බවට පත්වූ අය. අපේ රටේ කාන්තාවෝ මේ මෝඩ පුරුද්දට හසුවෙලා නැති නිසා ඔවුන් මෙලෙස මිය යන්නේ නැහැ. පියවරුන් අකාලයේ මිය යාම නිසා දරු පවුලට පියා අහිමි වෙනවා. එහෙම තනිවෙන පවුල්වලට ඇතිවෙන ගැටලු මොනවද කියලා අපි දන්නවා. ඒ නිසා පවුලේ මූලික පුද්ගලයා අහිමිවීම අපිට මුදලකට තක්සේරු කරන්න බැහැ.
මේ දුම්වැටි නිසා රටේ ශ්‍රම හමුදාව ඝාතනය කරනවා ඒ වගේම අපේ රටේ දරුවන්ට සිටින පියවරුන් ඝාතනය කරනවා. එහෙම ඝාතනය කරමින් තමයි දුම්වැටි කියන මේ භාණ්ඩය පවතින්නේ.
දුම්කොළ වගාව පසට හානිකරයි
අනිත් අතට දුම්කොළ වගාව පසට හානිකරයි කියලා පර්යේෂණාත්මකව තහවුරු කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම සීමිත භූමි ප්‍රමාණයක් තිබෙන අපේ වගේ රටක එම බිම් ප්‍රමාණය තුළ දුම්කොළ වගාකළ විට එම සරුසාර බිම අපිට අහිමි වෙනවා. ඒ බිම මුඩු බිමක් වෙනවා. දුම්කොළ වගාකරලා පස නිසරු වීම නිසා සිය දිවි නසාගත්ත ගොවීන්ගේ කතා අපේ රටේ ඕනෑ තරම් තිබෙනවා. මේ නිසා සිගරට් කියන මේ භාණ්ඩය ලෝකයට ඵලදායී කියන නම ගාවන්නවත් බැරි භාණ්ඩයක්.
දුම්කොළ සමාගම සහ බදු
දුම්කොළ සමාගම අතිවිශාල බදු ප්‍රමාණයක් රජයට ගෙවනවා ඒක ලොකු වාසියක් නේද කියලා බොහෝ දෙනා අහනවා. මෙතන තියෙන ලොකුම මුළාව ඒක තමයි. ලෝක බැංකුව ඇතුළු ලෝකයේ සියලුම ආර්ථික ව්‍යුහ ප්‍රකාශ කරනවා සිගරට් කියන භාණ්ඩය ලෝකයට අතිශය අවාසිදායක භාණ්ඩයක්. එයින් කිසිම ආකාරයක වාසියක් ලෝකයට නැහැ කියලා. ලංකාවේ සිගරට් භාවිතය අඩු වෙනවා කියන එකෙන් අපිට ඉතාම සුබදායී පණිවුඩයක් ගෙනෙනවා. ඒ තමයි අපේ රටේ අකාලයේ මිය යන පිරිස අඩුවෙනවා. දරුවන්ට තාත්තලා අකාලයේ අහිමි වීම අඩුවෙනවා කියන දේ.
ඒ වගේම ලංකාවේ රජයට බදු ගෙවන්නේ බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම්කොළ සමාගම . මොකද ලංකා දුම්කොළ සමාගමෙන් 84෴ට වඩා කොටස් අයිතිවෙන්නේ බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම්කොළ සමාගමට. මේ බදු හැටියට ඔවුන් ලංකා රජයට ගෙවන්නේ ලංකාවේ මිනිස්සු ළඟ තිබුණු සල්ලි එකතු කරලා. එහෙම සල්ලි එකතු කරලා බදු හැටියට කොටසක් ගෙවලා ලාභයෙන් 84෴ ක් ඔවුන් අරගෙන යනවා. ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටක ධනය, ලෝකයේ ධනවත් රටවල් විසින් උරාබොන ක්‍රියාදාමයක් තමයි මෙතැනින් සිදු වෙන්නේ. මේ නිසා දුම්වැටි භාවිතය අඩුවීම තුළ අපිට ඉතාම වාසිසහගත දේවල් රාශියක් මේ වනවිට සිදුවෙමින් පවතිනවා.
වසර ගණනක මහන්සියක ප්‍රතිඵලයක්
මේ දුම්වැටි භාවිතය අඩුවීම නිකම්ම සිදුවුණා කියලා හිතනවද. නැහැ. මේක මහන්සිවෙලා නෙළා ගත්ත ඵලයක්. වසර ගණනාවක ඉඳලා දුම්වැටි සෞඛ්‍යමය වශයෙන් අපිට හානිකරයි කියලා උපදෙස් දුන්න පණිවුඩ කියපු පිරිස් ගණනාවක් ඉන්නවා. සෞඛ්‍ය ක්ෂේත්රය ඇතුළු අනෙකුත් අය ඒ කාර්ය සිදුකළා. ඒ වගේම පසුකාලීනව ලෝකයට ඔප්පු වුණා මෙය ආර්ථික වශයෙන් අවාසිදායකයි කියලා. ලංකාවේ ආර්ථික විශේෂඥයන් වැඩි දෙනෙක් දුම්කොළ සමාගමට යටවෙලා හිටියත්, කිහිපදෙනෙක් ඉන්නවා එහෙම යට නොවුණ අය. මෙයින් අපේ ආර්ථිකයට අවාසියි කියලා ඔවුන් ඔප්පු කරලා පෙන්නුවා. දුම්කොළ සමාගම බදු ගෙවනවා යැයි පැවසූවිට පිටරටින් ගෙනාපු සල්ලි ආණ්ඩුවට දුන්නා වගේ වැරදි අර්ථකථනයක් එනවා. මේ ගැන ඔවුන් විවිධ ප්‍රවර්ධන කටයුතු කරන නිසා මේ මිථ්‍යාව අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ මාධ්‍ය තුළ වෘත්තිකයන්ගේ, තරුණයන්ගේ, ශිෂ්‍යයන්ගේ, ඡන්ද දායකයන්ගේ හැමෝගෙම ඔළුවට මේ වැරදි ආර්ථකථනය දාලා. ඒ නිසා අපි පැහැදිලිව සඳහන් කළ යුතුයි සිගරට්වලින් බදු අයකිරීම ආදායමක් නෙවෙයි. මේක අපේ වියදම් වැඩිකිරීමක්.
ඒක අපිට හොඳටම පෙනෙනවා මේ සංඛ්‍යා ලේඛන සංසන්දනය කරද්දී. සමෘද්ධි බෙදාදීම සම්බන්ධයෙන් කරපු සමීක්ෂණවල සඳහන් වෙනවා සමෘද්ධිය විදිහට ඔවුන්ගේ නිවෙස්වලට දීපු ධනස්කන්දයට වඩා ධනස්කන්දයක් ඔවුන්ගේ සිගරට් බීලා වියදමට පුලුස්සා දමා තියෙනවා. ඒ නිසා මේ සිගරට් භාවිතය අඩුවීම තුළ දැවැන්ත ආර්ථික සංවර්ධනයක්, ලොකු සෞඛ්‍ය වාසියක් අපිට තිබෙනවා. පවුල් පද්ධතිය ආරක්ෂා වීමක් පැහැදිලිවම අපිට පෙනෙන්න තිබෙනවා. මේක වෙන්න බලපාන සාධක ලෙස දුම්වැටි සඳහා තිබුණු සමාජීය වටිනාකම අඩුවීම ප්‍රධාන හේතුවෙලා තිබෙනවා. අද දවසේ දුම්වැටියක් අතට ගන්න බොහෝ දෙනා මැලියි. ලැජ්ජයි. දුම්වැටි එක අතට ගත්තු හැටියෙම මේ සමාජයේ අය ඒ දෙස බලන්නේ අසරණයෙක් විදිහට. මොකද දුම්වැටිවලට අහුවෙලා ඔවුන්ගේ සල්ලිත් නැති කරගෙන සෞඛ්‍යයටත් හානි කරගෙන ලිංගික බෙලහීනතාව ඇතිකරගෙන පෙණුමත් නැති කරගන්න උගුලට හසුවුණ කෙනෙක් දිහා බලන විදිහට තමයි දුම්වැටි බොන කෙනෙක් දිහා බලන්නේ. ඒක හොඳ ප්‍රවණතාවක් විදිහට අපි දකිනවා. එතකොට තමයි රටක නවක පිරිස මේ සඳහා යොමු නොවෙන්නේ. මේ තත්ත්වය තවත් වර්ධනය විය යුතුයි.
දුම්කොළ පනත
අපේ රටේ දුම්කොළ පාලනය සම්බන්ධයෙන් පනතක් තිබෙනවා. දුම්කොළ සහ මධ්‍යසාර දෙකම තිබෙන්නේ එකම පනතේ කොටස් දෙකක් විදිහට. ඒකෙන් අපේ රටේ දරුවන්ට තරුණයන්ට ශිෂ්‍යයන්ට රැකවරණයක් සලස්වලා තිබෙනවා. විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයේ කිසිදු විටෙක සෘජු වෙළෙඳ දැන්වීම් පලකිරීම තහනම් කරලා තියෙනවා. ඒ වගේම 21ට අඩු අයට සිගරට් විකුණනන්න තහනම් විකුණුවොත් ඒ විකුණපු කෙනා වැරදිකරු බවට පත්වෙනවා. ඒ වගේම කිසිම අවස්ථාවක සිගරට් නොමිලයේ බෙදා දෙන්න බැහැ ප්‍රවර්ධන කටයුත්තක් විදිහට. මේ නිසා නවකයන් මෙයට හසුවීම අඩු කරන්න ලොකු තල්ලුවක් දීලා තියෙනවා.
දුම්වැටි භාවිතය අඩුකරන්න ඕන කියලා දිවා රෑ වෙහෙස මහන්සි වී වැඩකරන විශාල පිරිසක් ඉන්නවා. ඉන් එක පිරිසක් තමයි සෞඛ්‍ය ක්ෂේත්රයේ සිටින අය. අනිත් අය තරුණ පිරිස් සමග වැඩකරන විවිධ සංවිධාන. විවිධ වෘත්තීය කණ්ඩායම් රාශියක් මේ වෙනුවෙන් වැඩකරමින් සිටිනවා. දුම්කොළ මාෆියාව සමග මේ අය සටන් කරලා දිනපු බව පෙන්වන සංකේතයක් තමයි මේ ජයග්‍රහණය. දැන්වීම් දාන්න බැරි නිසා දුම්කොළ මාෆියාව ඒ සඳහා වෙනත් ක්‍රම උපයෝගී කරමින් සිටිනවා. විවිධ කූට උපායන් යොදනවා. සදාචාරාත්මක නොවන ලෙස සිගරට් බොන දර්ශන ඇතුළත් කරන්න ටෙලිනාට්‍ය නිෂ්පාදකවරුන්ට, අධ්‍යක්ෂවරුන්ට මුදල් ගෙවනවා. තරුණයන්ට මුදල් ගෙවලා දුම්වැටි භාවිතය ආකර්ෂණීය වන විදිහට දුම්වැටි දැන්වීම් දාලා තියෙනවා.
සමහර ආකර්ෂණීය විදිහට දුම්වැටි බොන අය ඒ කරන්නේ ඔවුන්ගේ රස්සාව. ඒ වගේම අතශ්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමට සාපේක්ෂව දුම්වැටි මිල වැඩිවෙලා නැහැ. සමහර වෙලාවට වැඩිවෙලා නැහැ අඩුවෙලා. ඇතැමුන්ට මේක පහසුවෙන් තේරුම් ගන්න අමාරුයි. මිලක් හැටියට ඉහළ ගිහින් තිබුණත් රටේ උද්දමනයට සාපේක්ෂව මෙය ඉහළ ගිහින් නැහැ. එහෙම වෙන්න ප්‍රධාන හේතුව ලෙස අපි දකින්නේ මුදල් අමාත්‍යාංශයේ මහබැංකුවේ තිබෙන නොසලකා හැරීම. හෝ දැන දැනම වැරදි ක්‍රමවේදයක් අනුගමනය කිරීම. මොකද පසුගිය කාලය තුළ දුම්කොළ සමාගමේ අදායමෙන් බදු හැටියට රජයට ගෙවන මුදල අඩුවෙලා. එය නොවෙයි සිදුවිය යුත්තේ. 84%ක් පිටරට සමාගමකට අයිති ව්‍යාපාරයකට නිශ්චිත බදු පනවා නැති නිසයි ඔවුන්ගේ අදායම වැඩිවෙලා තිබෙන්නේ. රටට සල්ලි නැහැ කියා කියද්දී, රටේ මිනිස්සු අධික ලෙස බදු බරින් මිරිකිලා තියෙද්දී දුම්කොළවලට නිවැරදිව බදු පැනවීම නොකිරීමෙන් පැහැදිලිව චෝදනාව මහබැංකුව සහ මුදල් අමාත්‍යාංශය ගත යුතුයි. මුදල් ඇමතිවරු සහ එම නිලධාරීන් මේකට වගකිව යුතුයි.
ලංකාවේ දුම්වැටි බදු නිවැරදි විදිහට ගණනය කිරීමක් වෙන්නේ නැහැ. මේ බදු තීරණය වන්නේ විනිවිද පෙනෙන අයුරින් නෙවෙයි. මෙවැනි ව්‍යාපාරයක බදු තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව හරහා. නමුත් එය අදටත් සිදුවන්නේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හරහා පමණයි. මෙතන දූෂණයක් සිදුවෙනවාද කියලා අපිට සැකයක් තිබෙනවා. ලෝකයේ කොහෙ වුණත් රටට අවාසියක් වෙලා විශාල කොම්පැනියකට වාසියක් වෙන හැම තැනකදීම දූෂණයක් සිදුවෙලා තිබෙනවා.
මේකට නිවැරදි ක්‍රමයක් හදන්න කියලා අපි ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ඉල්ලනවා. එහෙම නිවැරදි ක්‍රමයක් තිබුණා නම් මීටත් වඩා වැඩියෙන් සිගරට් භාවිතය අඩු කරන්න තිබුණා. මීටත් වඩා නවකයන් යොමු වීම අඩු කරගන්න පුළුවන්. අපිට එය අහිමි වුණේ නිවැරදි බදු අයකිරීමක් නොතිබුණ නිසා.
මේ නිසා බලයට පත්වීමට මේ දිනවල ජනතාව ඉදිරියට පැමිණෙන අපේක්ෂකයන්ගේ මේ ප්රශ්නය අපි පැහැදිලිව ඇසිය යුතුයි. ඔවුන්ගේ පිළිතුරු අනුව මීළඟ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ කවුරුන්දැයි ඔබට තීරණය කිරීමට හැකි වේවි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd