මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ සහ එහි ඉදිරි තත්ත්වය පිළිබඳ දැන ගැනීමට අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය මහත්මිය 'අද'ට සම්බන්ධ කර ගතිමු.
මැයි මාසයේ වැසි වැඩි කරන අන්තර් නිවර්තන අභිසාරී කලාප
හිරු මුදුන් වීම අනුවයි අපේ සුළං රටාව වෙනස් වීම සිදු වෙන්නෙ. අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට හිරු මුදුන් වුණාට පස්සේ ක්‍රමයෙන් එම මුදුන් වීම ඉහළට යනවා. මේ සමග තමයි අන්තර් නිවර්තන අභිසාරී කලාප නිර්මාණය වීම සිදු වෙන්නෙ. උෂ්ණත්වය වැඩි වන ස්ථානවල වායුව ඉහළ යාම නිසා රික්තකයක් නිර්මාණය වෙනවා. ඒ රික්තකය හේතුවෙන් අඩු පීඩන තත්ත්වයක් ඇති වෙනවා. ඒ අඩු පීඩන තත්ත්වය නැති කරන්න පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ සිට සුළං හමාවිත් මේ දෙක එක්වන තැනට තමයි අපි අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියලා කියන්නෙ. මේ අන්තර් නිවර්තන අභිසාරී කලාප හිරු මුදුන් වන කාලයටම ඇති වෙන්නේ නැහැ. හිරු මුදුන් වීමෙන් සති තුනකට හෝ හතරකට පසුව මෙය ඇති වෙන්නෙ හිරු මුදුන් වීම නිසා සාගර උෂ්ණත්වය වැඩි වීමට යම් කාලයක් ගත වන නිසයි.
මේ කලාපය ක්‍රමයෙන් උතුරු දෙසට ඉන්දියාව දක්වා ගමන් කරනවා. ඒ ගමන් කරන්නේ ශ්‍රී ලංකාව හරහායි. මැයි මාසය අවසානයේදී හෝ ඇතැම් විට අප්‍රේල් මාසය අගදී මෙම අන්තර් නිවර්තන අභිසාරී කලාපය ශ්‍රී ලංකාවට ඉහළින් ස්ථානගත වෙනවා. මේ කලාපය ශ්‍රී ලංකාව ඔස්සේ ඉහළට ගමන් කරන විට දකුණු අර්ධගෝලයේ සිට පැමිණෙන සුළඟත් ශ්‍රී ලංකාවේ ඉහළට පැමිණීම සිදු වෙනවා. ඒ තත්ත්වය තමයි අපි %නිරිතදිග මෝසම^ ලෙස හඳුන්වන්නෙ. මේ අඩුපීඩන තත්ත්වය ශ්‍රී ලංකාවේ ඉහළින් ස්ථානගත වුණාම එහි තිබෙන කැළඹිලි තත්ත්වයන් සහ සුළං එකතු වීම වැඩි නිසා ඇති වන වර්ෂාපතනයත් වැඩියි. මෙය සාමාන්‍යයෙන් සිදු වෙන්නෙ මැයි මාසයේ අවසන් සති කිහිපයේ නිසයි. සෑම මැයි මාසයකදීම මේ ආකාරයෙන් වර්ෂාව වැඩි වීමක් සිදු වෙන්නෙ. සමහර වසරවලදී මෙය අඩු වැඩි වශයෙන් සිදු වුණත් මෙය අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි.
සාමාන්‍ය සංසිද්ධියක් ආපදා ඇති කරන්නෙ ඇයි?
මෙහිදී ඇති වෙන්නේ තීව්‍රතාවෙන් වැඩි වර්ෂාපතනයක්. එක්වරම තද වැස්සක් පොළොවට වැටුණාම ඒ වැටෙන වේගය හා සමගාමීවම ගලායන වේගයත් වැඩි විය යුතුයි. එසේ වැහි ජලය ගලා යෑමට ඇති මාර්ග අවහිර වුණාම හෝ ගලා යෑම මන්දගාමී වුණාම ගංවතුර තත්ත්වය ඇති වෙනවා. ජල පෝෂක ප්‍රදේශවලට, කඳුකර ප්‍රදේශවලට තමයි වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නෙ. වර්ෂාවෙන් ලැබෙන මේ ජලය ගංගා ඔස්සේ මුහුදට ගලා යන වේගය අඩු වීම නිසා ගංගා පිටාර ගැලීම සිදු වෙනවා. අද වෙද්දි මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ ජලය ගලා යන මාර්ග අවහිර වීම වැඩි නිසයි ආපදා තත්ත්වයන් ඇති වීම සුලබ කාරණයක් වෙන්නේ. ඒ වගේම කඳු ආශ්රිත ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබෙන නිසා නාය යෑම් ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. කඳු කැපීම, කඳුවල තිබෙන වන ආවරණයට හානි සිදු කිරීම ආදී ක්‍රියාකාරකම් නිසා නාය යෑම් අවදානමත් ඉහළ ගිහින් තිබෙනවා මේ වෙද්දි. ශ්‍රී ලංකාව සමකයට ආසන්න රටක්, ඒ නිසා මෙවැනි තීව්‍රතාවෙන් වැඩි වර්ෂාපතනයක් ඇති වීමේදී ආපදා ඇති වීම සාමාන්‍ය දෙයක්.
ඉදිරි තත්ත්වය කෙසේ වෙයිද?
තවමත් අද වන විට (මැයි 24දා) නිරිතදිග මෝසම නිසි ආකාරයෙන් ස්ථානගත වීම සිදු වෙලා නැහැ. එය ස්ථානගත වුණාද නැද්ද, කියලා කියන්න අපට නිර්ණායක කිහිපයක් තිබෙනවා. වර්ෂාව ඇති වුණු පමණින් අපට කියන්න බැහැ නිරිතදිග මෝසම ඇති වෙලා කියලා. නිර්ණායකයන් අනුව නිරිතදිග සුළං හැමීම සාමාන්‍යයෙන් පොළොවේ සිට මීටර් 4,500ක් දක්වා ඉහළ මට්ටමට සිදු විය යුතුයි. කොළඹ සහ ත්‍රිකුණාමලය හරහා 2.5ක පීඩන අනුක්රමයක් පැවැතිය යුතු වෙනවා. ඉහළ අහසේදී පැයට කිලෝමීටර් 100ක පමණ වේගයකින් හමායන තද සුළං බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් කොළඹ, ගාල්ල, රත්නපුර කියන ප්‍රදේශවලට එකදිගට දින 03ක් වැසි ඇදහැළීමට හැකියාව තිබෙනවා. නමුත් මේ සෑම නිර්ණායකයක්ම 100%ක් සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් තවමත් දිවයින හරහා පීඩන අනුක්‍රමණය අවම මට්ටමකයි පවතින්නෙ. ඒ නිසා තවමත් නිරිතදිග මෝසම ස්ථානගත වෙලා නැහැ. කොහොම වුණත් දළ වශයෙන් කිව්වොත් මැයි 26 වැනිදා තමයි නිරිතදිග මෝසම නිසි ලෙස ස්ථානගත වීම අපි බලාපොරොත්තු වුණේ.
සුළි කුණාටුවක අවදානමක්?
දැනට එවැනි අවදානමක් වාර්තා වෙන්නේ නැහැ. සමහර විට ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්කමක් තිබෙනවා. දැනට සුළු කැළඹිලි තත්ත්වයක් පවතිනවා උතුරු දෙසින්. ඒ තත්ත්වයත් ඉහළ වර්ධනයක් වෙන්න පෙර ඉන්දියාව දෙසට ක්‍රමක්‍රමයෙන් ගමන් කරලා ඒ ඔස්සේ අරාබි මුහුද දෙසට ගමන් කරමිනුයි පවතින්නේ. අරාබි මුහුදේ සුළි කුණාටු තත්ත්වයක් පැවතුණත් එය ලංකාව දෙසට පැමිණීමේ අවදානමක් නැහැ. ඒ නිසා දැනට සුළි කුණාටු අවදානමක් නැහැ. අපි නිරන්තර අවධානයෙන් ඉන්නවා. එවැනි තත්ත්වයක් ඇති වෙන අවදානමක් මතු වුණොත් අපි එය දැනුම් දෙනවා.
අනාගතය දැනට සුභදායක නැත
මේ වෙද්දි ශ්‍රී ලංකාවේ ආන්තික තත්ත්වයන් ඇති වීම වැඩි වෙලා තිබෙනවා. එක දිගට වසර 03ක් ගංවතුර තත්ත්වයන් ඇති වුණා. ඒ නිසා මෙවැනි තත්ත්වයන්ට නිසි පෙර සූදානමක් තිබීම අත්‍යවශ්‍යයි. කඳුකර ප්‍රදේශවල අවදානම් තත්ත්ව මේ වෙද්දි ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින්නෙ. දීර්ඝ කාලීන පුරෝකථන සලකා බැලුවොත් ඉදිරි කාලවලදී ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය ප්‍රදේශවලට ඇති වන වර්ෂාපතනයන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරනවා. ඒ නිසා ආපදා තත්ත්වයන් ඇති වීමට පවතින ඉඩකඩ වැඩිවේවි. ඒ පිළිබඳ අදාළ අංශ වගේම ජනතාවත් සැලකිලිමත් වීම ඉතා වැදගත්. මේ වර්ෂාපතනයේ වැඩිවීම පිළිබඳ අපි 15 වැනිදා සිට ජනතාව දැනුවත් කළා. ඒ වගේම 18 වැනිදා සිටම අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබුවා. මේ හා සම්බන්ධ අනෙකුත් ආයතනයනුත් මේ වෙද්දි තමන්ගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් අවශ්‍ය වැඩකටයුතු සිදු කරමිනුයි ඉන්නේ. මෙහිදී ජනතාවටත් වගකීමක් තිබෙනවා මේ අනතුරු ඇඟවීම්, නිවේදන නිසි ආකාරයෙන් පිළිපැදීමට සහ පෙර සූදානම් වීමට.
දේශගුණික විපර්යාස හමුවේ ලෝකය
මේ වන විට ලෝකයේ බොහෝමයක් රටවලත් තද වැසි, ගංවතුර, නියඟ වැනි ආන්තික තත්ත්වයන් සුලභ ලෙසින් වාර්තා වෙමින් පවතිනවා. දේශගුණික විපර්යාස පිළිබඳව කතා කරද්දී අද වෙද්දි මෙම තත්ත්වයන් සුලභ වෙන්න ප්‍රධානතම හේතු සාධකය බවට පත්වෙලා තිබෙන්නේ අහිතකර මිනිස් ක්‍රියාකාරකම් නිසා හරිතාගාර වායූන්, ප්‍රමාණය ඉක්මවා අධික ලෙස වැඩි වීමයි. හරිතාගාර වායූන් පෘථිවියේ පැවැත්මට අවශ්‍ය දෙයක්. හරිතාගාර වායුන් නොමැති වුණොත් උෂ්ණත්වය සෘණ 18 දක්වා අඩු වීම නිසා මේ පෘථිවියේ ජීවය පවත්වාගෙන යන්න හැකියාවක් නැහැ. නමුත් මිනිස් ක්‍රියාකාරකම් නිසා හරිතාගාර වායූන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ ආකාරයෙන් පමණ ඉක්මවා වැඩි වෙද්දි ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. එසේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසයි සුළි සුළං නියඟ ආදිය මගින් පෘථිවිය තමන්ගේ ශක්තිය සමතුලනය කරගන්න කටයුතු කරන්නේ. මේ ශක්ති සමතුලනයන් අපිට විවිධාකාරයෙන් ආපදා තත්ත්ව ඇති කරනවා.