පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. එක් පුද්ගලයකු දිනකට භාවිත කර ඉවත්කරන පොලිතීන්/ප්ලාස්ටික් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. මේ හේතුවෙන් රටක් වශයෙන්ද විශාල බලපෑමකට ලක්ව ඇති අතර, ගෝලීය වශයෙන්ද දැඩි තර්ජනයකට මුහුණ දී තිබේ. ලක් සොබා සංරක්ෂකයෝ පරිසර සංවිධානයේ සමාජික, හිටපු නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සමන්ත ගුණසේකර මහතා සමග මේ පිළිබඳව සාකච්ඡා කළෙමු.
පොලිතීන්/ප්ලාස්ටික් භාවිතය ගැන ලොකු කතාබහක් තිබෙනවා. ඇත්තටම පොලිතීන් කියන්නේ හිතකර දෙයක්ද අහිතරකර දෙයක්ද?
පොලිතීන් කියන්නේ ආශිර්වාදයක්. මේ ද්‍රව්‍ය භාවිතකරන ආකාරය අනුවයි ප්‍රශ්න ඇතිවෙලා තිබෙන්නේ. ලංකාවට පොලිතීන් ආපු කාලයේ ඒක ෆැෂන් එකක් වුණා. පොලිතීන් බෑග් එකක බත් පැකට් එකක් දාගෙන වැඩට යනවා කියන්නේ ඒ කාලේ ලොකු දෙයක්. නමුත් ඒ කාලේ පොලිතීන් කොළේ විසිකරන්නේ නැතිව හෝදලා ආපසු ගෙදර ගේනවා.
පොලිතීන් කියන්නේ අඩු මුදලට ඉතාම පහසුවෙන් සපයා ගන්න පුළුවන් දෙයක්. මිනිසුන්ගේ ජීවන ක්‍රමයට පොලිතීන් ඉතාම පහසු දෙයක් උනත් මිනිස්සු එය භාවිත කරන ආකාරය නිසා ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා තියෙනවා.
පොළොවෙන් ඛණිජතෙල් දිගින් දිගටම නිස්සාරණය කරද්දී ඇතිවෙන අතුරු ඵලයකින් තමයි පොලිතීන් හදල තියෙන්නේ. පොලිතීන්, පොලිස්ටයරීන් වගේ කොටස් ගණනාවක් මේ අතුරු ඵල විදිහට හදනවා.
එදිනෙදා ජීවිතයේදී මේ අතුරු ඵල අපි විශාල වශයෙන් භාවිත කරනවා. අපේ ඇඳුම්, ගෙදරදොර විවිධ උපකරණ, කෑම ඔතන ද්‍රව්‍ය, සිරිංජර් ආදී වෛද්‍ය උපකරණ බොහොමයක් පොලිතීන් ආශ්රිත ද්‍රව්‍යයන්ගෙන් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ.
එහෙම නම් පොලිතීන්/ ප්ලාස්ටික් පරිසරයට හානිකර ද්‍රව්‍ය බවට පත්වී තිබෙන්නේ ඇයි?
මේ පහසුවෙන් භාවිත කරන්න පුළුවන් ද්‍රව්‍ය අපි භාවිතයට අරගෙන පොඩ්ඩක්වත් හිතන්නේ නැතිව බැහැර කරලා දානවා. ඒක තමයි ප්‍රධානතම හේතුව. අපි විනෝද ගමනක් ගියොත් කෑම කාලා ඉවරවෙලා ගෙනාපු පොලිතීන් සියල්ලම ඒ ගියපු තැන විසිකරලා දාල එනවා. ඇළ දොළ ගංගාවලට විසි කරනවා . විශේෂයෙන්ම ගංගා දෙපස ජීවත් වෙන අය ඔවුන්ගේ කුණු ගඟට දානවා. කැලණි ගඟේ මේ තත්ත්වය වැඩි වශයෙන් දකින්නට තියෙනවා. එහෙම ගඟට කුණු දාන මිනිස්සු ඒ ගඟෙන්ම නානවා. දැරණියගල ආශ්‍රිතව ඉතාම ලස්සන දියඇල්ලක් තියෙනවා. ඒ ළඟම විශාල කුණු ගොඩක් හැදිල තියෙනවා.
මෙවැනි තත්වයන් අතීතයේ අපේ රටේ තිබුණේ නැහැ. අපි ඉතාම පිළිවෙළට කුණු බැහැර කළා. නමුත් අපේ අලුත් ආර්ථික රටාවත් එක්ක ඒ ආකල්ප සියල්ල ඉවත් වෙලා ගිහිල්ලා. මිනිස්සු තමන් ගැන පමණක් හිතන්න පටන් අරගෙන.
පෞද්ගලිකව මිනිසුන් පමණක් නොවෙයි, රජයේ ආයතනත් මේ දේ කරනවා නේද?
ගෙවල්වල කුණු එකතු කරලා ඇළ දොළවල්වලට ගිහින් දානව වගේම ඇතැම් ප්‍රාදේශීය සභා, නගර සභා කරන්නෙත් ඒ දේමයි. ඔවුන් පළාතේ කුණු ගෙනිහිල්ලා තෙත්බිමක දානවා. තෙත්බිම් කියන්නේ ඉතාම වටිනා පරිසර පද්ධතියක්. තෙත්බිම් දිනයට අපි ලොකු උත්සව පවත්වනවා. නමුත් තාමත් අපි හිතාගෙන ඉන්නේ තෙත්බිම් කියන්නේ කුණු බැහැර කරන්න තියෙන තැනක් කියලා. ක්රමානුකූල වර්ෂාවක් ඇතිවෙන්න තෙත්බිම් පැවතීම බලපානවා. නමුත් මිනිස්සු ඒවා හිතන්නේ නැහැ. තෙත්බිම්වලට පොලිතීන් ප්ලාස්ටික් දැමීම නිසා ඒ ජලමාර්ග සියල්ලම අවහිර වෙලා තියෙනවා.
සාමාන්‍යයෙන් වසරකට එලෙස පරිසරයට එකතු වන පොලිතීන්/ප්ලාටික් ප්‍රමාණය කොපමණද?
මේ පොලිතීන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වසරකට බිලියන 5.3 සිට බිලියන 14ක් පමණ මුහුදට එකතු වෙනවා කියලා ගණන් බලා තිබෙනවා. මෙලෙස පොලිතීන්, ප්ලාස්ටික් නිසා මහ මුහුද දූෂණය වෙලා තියෙනවා. මේ නිසා වසරකට සත්තු බිලියන ගණනක් මිය යනවා.
මොකද පොලිතීන්, ප්ලාස්ටික ජලයට එකතු උනාම ඒවා සත්තු ආහාරයට ගන්නවා. ඒ නිසා සත්තු විවිධ ආසාදනවලට ලක්වෙනවා, නැතිනම් මියයනවා. මෑතකදී මියගිය සත්තුන්ගේ ශරීර අභ්‍යන්තරය පරීක්ෂා කරලා බලද්දි පොලිතීන්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැඩි වශයෙන් හමුවෙලා තිබෙනවා. ගොඩබිමත් අපි මේ ප්රශ්නය දකිනවා. සීගිරිය වනජීවි කලාපයට, කන්තලේ වනජීවි කලාපයට, පුවක්පැලේ රක්ෂිතයේ, බුන්දල රක්ෂිතයට කුණු බැහැර කරනවා. ඒවා කරන්නේ රාජ්‍ය ආයතන.
වර්තමානය වන විට අපේ තරුණ පරම්පරාව ෆේස්බුක්, යූටියුබ් ආදී සමාජ මාධ්‍ය නිතරම භාවිත කරනවා. නමුත් ඒ තුළ මෙවැනි සිදුවීම් ගැන හොයලා බලනවා අඩුයි. විවිධ අයගේ ඕපදූප හොය හොයා ඉන්නවා වෙනුවට මෙවැනි වැදගත් තොරතුරු ගැන මිනිස්සුන්ගේ අවධානය යොමු කළයුතු වෙනවා .
කසළ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම පැවරෙන්නේ පළාත් පාලන ආයතනවලට. මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ දායකත්වය ගැන ඔබේ අදහස කුමක්ද?
කුණු කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි. අපේ එකතු වන කුණුවල වැඩි කොටසක් දිරා යන ඒවා තිබෙන්නේ. දිරන, නොදිරන මේ කිසිවක් වෙන් කරන්නේ නැතිව එකටම බැහැර කරනවා. ඒ නිසයි මේ ප්රශ්නය වැඩිවෙලා තිබෙන්නේ. කුණු ප්රශ්නය විසඳගන්න පළාත්පාලන ආයතනවලට කිසිම ඕනෑමකමක් නැහැ. ඒක දේශපාලන ප්‍රශ්නයක්. මේ කුණුවලින් සල්ලි හොයන්න පටන් අරගෙන තියෙනවා. අනිකුත් රටවල්වලට කුණු කියන්නේ සම්පතක්. ඒ රටවල්වල කුණු ඉවත් කරන්න කලින් වෙන් කර ගන්නවා. අපේ රටේ තවම එය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපේ රටේ කුණුවලින් සල්ලි හොයන්නේ වෙනත් ක්‍රමයකට. අපේ දේශපාලනඥයෝ කුණු දාන ඉඩමට සල්ලි ගන්නවා, කුණු කරත්තෙට සල්ලි ගන්නවා, ලොරියට, ට්‍රැක්ටරයට මේ සියල්ලටම සල්ලි ගන්නවා. මේ කොන්ත්‍රාත් සියල්ල කරන්නේ දේශපාලනඥයින්. මෙන්න මේ මූලික හේතුව නිසයි ලංකාවේ කුණු ප්රශ්නය විසඳෙන්නේ නැත්තේ. කසළ කොන්ත්‍රාත් දීලා තියෙන්නේ කාටද කියලා හොයලා බැලුවොත් මේ බව හොඳටම තේරේවි.
පොලිතීන්/ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් ලංකාවේ පවතීන නීති ප්‍රමාණවත්ද?
මුලින්ම පොලිතීන් සම්බන්ධ නීතියක් 2000දී ඇති කළා. පොලිතීන් සම්බන්ධ නීති ගෙනාවට ඒවා පරික්ෂා කරන්න උපකරණ නැහැ. ඒක විහිළුවක් වුණා. දැන් මයික්‍රෝන 20ට අඩු පොලිතීන් තහනම් කළ විට පොලිතීන්වල මයික්‍රෝන ප්‍රමාණය 19 ද 20 කියලා හොයල බලන්න උපකරණ නැහැ.
ඝනත්වය වැඩි පොලිතීන් (High-density polyethylene) නිෂ්පාදනය 2017දී තහනම් කළා. ඒක තහනම් කළාට පසුව ඝනත්වය අඩු පොලිතීන් නිෂ්පාදනය කරන්න පෙලඹුණා. ඒකට කැල්සියම් එකතු කරනවා. ඒ කියන්නේ අලු හුණු එකතු කරනවා. මේ ක්‍රියාව සිදුවෙන්න පටන් අරගෙන අවුරුදු තුනක් වෙනවා. නමුත් ඒක නවත්වන්න අද වෙනකම් කිසිදු පියවරක් අරගෙන නැහැ. ඝනත්වය අඩු පොලිතීන් නිෂ්පාදනය කරද්දී 40෴ක් විතර කැල්සියම් දානවා. කැල්සියම් දාන නිසා මේ පොලිතීන් දිරනවා කියල රජය හිතනවා ඇති. ඇත්තම කතාව ඒ පොලිතීන් දිරන්නේ නැහැ. කෑලිවලට කැඩිලා යනවා. ඒ කියන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් හැදෙනවා. ඉස්සර කෑම ගෙනෙද්දි එක පොලිතීන් කොළයක් භාවිත කළත් දැන් පොලිතීන් කොළ දෙක තුනක් භාවිත කරනවා. කඩවල්වලින් බඩු ගනිද්දි ඉස්සර එක ෂොපින් බෑග් එකක බඩු ටික දාලා දුන්නත් දැන් ෂොපින් බෑග් දෙක තුනක් එකට දාලා බඩු දානවා. ඒ කියන්නේ දැන් නිෂ්පාදනය කරන පොලිතීන් ඉක්මනින් කැඩිලා යනවා. මේ කියන කරුණු එක්ක බලද්දි දැන් තුනී පොලිතීන් ආනයනය වැඩිවෙලා තියෙනවා. ලංකාවේ පොළවට බැහැර කරන පොලිතීන් ප්‍රමාණය දැන් වැඩි වෙලා තියෙනවා. නමුත් ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒක හරිම භයානකයි. අදටත් රජය මේක නිවැරදි කරන්න කටයුතු කරන්නේ නැහැ.
තුනී පොලිතීන් භාවිතයේ අහිතකර තත්ත්වය ගැන කතා කළොත්?
තුනී පොලිතීන්වලින් වන හානිය වැඩියි. මේක කොහොමවත් ප්‍රතිචක්‍රීකරණය කරන්න බැහැ. ඒ වගේම තුනී පොලිතීන් කෑලිවලට කැඩිලා ක්ෂද්ර පොලිතීන් බවට පත්වෙලා පොළවට එකතු වෙනවා. ජල මාර්ගවලට එකතු වෙනවා. මේවා අවහිර වෙනවා. අවසානයේ මේ සියල්ල මුහුදට යනවා. එහෙම ගිහින් පල්පයක් වගේ හැදිලා මුහුදු පතුලේ තැන්පත් වෙනවා. ඒක බොහොම භායානකයි. මයික්‍රෝ ප්ලාස්ටික් කියලා කියන්නේ මිලිමීටර් 03ට වඩා කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් කැබලි. තුනී පොලිතීන්වලින් මයික්‍රෝ ප්ලාස්ටික් හදන ප්‍රමාණය වැඩියි.
තුතී පොලිතීන්වලින් හදන ලන්ච් ෂීට් වලින් මයික්‍රෝ ප්ලාස්ටික් වගේම කැල්සියම් ශරීරගත වෙන්න පුළුවන්. පොලිතීන් ලන්ච්ෂිට්වල ඇහැට පෙනෙන්නෙ නැති ප්ලාස්ටික් අංශු තියෙනවා. ඒවා අනිවාර්යෙන්ම ශරීරගත වෙනවා. ලන්ච්ෂීට්වලට උණුවෙන් කෑම බෙදද්දී ඒ ප්ලාස්ටික් අංශු ගැලවෙන්න තියෙන හැකියාව වැඩියි. එංගලන්තයේ ප්ලාස්ටික් වතුර බෝතල් නැවත භාවිතය තහනම් කරලා වසර ගණනාවක් වෙනවා. නැවත භාවිතයේදී ප්ලාස්ටික් බෝතල්වල මතුපිට ස්ථර ගැලවිලා ශරීරගත වෙනවා කියල ඔවුන් හොයා ගත්තා. අව්ව වැටෙන තැන්වල තිබ්බොත් ඒක තව වැඩියි. මේ දේවල් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම රජයේ වගකීමක්. එහෙම දැනුවත් කළා නම් මිනිස්සු මේවට පෙලඹෙන්නේ නැහැ.
එක්වරක් භාවිතකරන ප්ලාස්ටික තහනම් කළ යුතු යැයි කතාබහක් මේ වන විට සමාජගත වී තිබෙනවා. එහි අවශ්‍යතාව කෙබඳුද?
කැස්බෑවෙකුගේ ඔළුවේ තිබුණු ගැටයක් සැත්කමක් කරලා ඉවත් කරන වීඩියෝවක් ලෝකය පුරාම ප්‍රසිද්ධ වුණා. ඒක බලන්න අමාරු බොහොම සංවේදී විඩියෝවක්. ඒ සැත්කමේදී කැස්බෑවාගේ මස් කැබලි සමග එළියට ආවේ බීම බටයක්. ඒක මස්වල එතිලා. මේ වගේ සංවේදී සිදුවීම් බොහොමයක් තිබෙනවා.
මේ ආකාරයට අපි එක්වරක් පමණක් භාවිතකරන පොලිතීන්/ප්ලාස්ටික් නිෂ්පාදන අනවශ්‍ය දෙයක් ලෙස බොහෝ රටවල් හඳුනාගෙන තිබෙනවා. එතැනදී විශේෂයෙන්ම බීම බට, ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, කෝප්ප වැනි දේ ගැන මූලිකවම කතාබහට ලක්වෙනවා.
පොලිතීන් බීම බට අවශ්‍ය නැහැ. ඉස්සර අපි කඩදාසි බීම බට පාචිච්චි කළා. එහෙම නැතිනම් අපි බෝතලයෙන්ම බිව්වා. මේ නිසා අපිට ඕනෑතරම් විකල්ප වලට යන්න පුළුවන්. ඒ වගේම අපි විනෝද චාරිකා යද්දි කෑම කන්න භාවිතකරන කෝප්ප පිඟන් එකවරක් භාවිතකරලා විසි කරනවා. ආගමික උත්සවවල, දේශපාලන උත්සවවල මේවා බොහෝ ප්‍රමාණයක් භාවිත කරනවා. ඒ වගේම විලාසිතාවකට හැඳි ගෑරුප්පු භාවිත කරලා ඒවා විසිකරලා දානවා. මේවා සියල්ල අනවශ්‍ය දේවල්.
එක්වරක් භාවිත කරන ප්ලාස්ටික් ඉන්දියාව, පැරීසිය ආදී රටවල් තහනම් කරලා තියෙනවා. අපේ රටටත් එයට පහසුවෙන් යන්න පුළුවන්.
අවසාන වශයෙන් ජනතාවට ඔබ ලබාදෙන පණිවුඩය කුමක්ද?
කසළ එකතු කිරීමේ මධ්‍යස්ථාන රජයෙන් ආරම්භ කරලා තිබුණා. දැන් ඒ තැන් නැහැ. රජයට පුළුවන් ඒක තවත් බහුල කරන්න. ඒක හොඳ ව්‍යාපෘතියක්. ඒ වගේම මේ රට අපේ රට කියලා හිතන්න. කසළ බැහැර කිරීම අපි ගෙදරින්ම ආරම්භ කළ යුතුයි. ඒක පුරුද්දක් කර ගන්න. එතකොට තමන් පරිසරය ආරක්ෂා කරන්න දායක වුණා කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. එක පොලිතීන් බෑග් එකක් හරි පරිසරයට යෑම වැළැක්වුවා කියලා සතුටු වෙන්න පුළුවන්.