Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
ඉංජිනේරුවෝ පොහොට්ටුවට රොඳ බදිති
‘රටේ අනාගතය වෙනුවෙන් ඉංජිනේරුවන්ගේ කාර්යභාරය^ යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු පෙරමුණ එළිදැක්වීමේ උත්සවය කොළඹටාජ් සමුද්‍රා හෝටලයේදි බදාදා රාත්‍රියේ පැවැත්විණි.
බැසිල්, ජී.එල්, වාසු, සුසිල්, අනුර යාපා, කනක ඇතුළු ආරාධිතයන් සහ ඉංජිනේරුවන් දහසකට ආසන්න පිරිසක් සහභාගී වී සිටි මෙම උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මදක් පමාවී පැමිණියේය. මහින්ද උත්සවයට එද්දී පිළිගැනීමේ නර්තන කණ්ඩායමේ බෙර හඬ පරදමින් මුළු සභාවම නැගිට අත්පොලසන් නාදයක් ලබාදුන්නේය.
“සර්ටත් අපි පොඩි කතාවක් වෙන් කළා’සංගමයේ සභාපති ඉංජිනේරුවරයා මහින්දට කීවේය.“ආ එහෙමද? ඒත් මම කැෂුවල් ඩ්‍රෙස් එකකින්නෙ ආවේ. මම හිතුවෙ නෑ මේක මේ තරම් ලොකු ඉවෙන්ට් එකක් කියලා’ මහින්ද රහසින් මෙන් පැවසීය.“මොන ඇඳුම ඇන්දත් සර්ගේ තේජවන්ත පෙනුමෙ වෙනසක් නැහැ. අනික, අපේ ඉංජිනේරුවෝ සර්ගෙ කතාව අහන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ’ යැයි පැවසූ ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාගේ ඉල්ලීමට එකඟ වූ මහින්ද තමන්ගේ කතාව සඳහා වේදිකාවට ගොඩවීමට පුටුවෙන් නැගිටින අවස්ථාවේදී යාබද පේළියේ වාඩිවී සිටි බැසිල් ඇතුළු පිරිස නැගිට ඔහු අසලට පැමිණියහ.“මේ වැඩේ හරිම ෂෝක්’ දකුණු අතේ මහපට ඇඟිල්ල ඔසවමින් මහින්ද කීවේය.“කට්ටිය හැමෝම ගොඩක් මහන්සි වුණා’බැසිල් ඊට පිළිතුරු දෙමින් පැවසීය.
සභාවේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ වේදිකාවට ගොඩ වුණු මහින්ද“ අපේ පක්ෂෙට අද ඉඳලා ඉංජිනේරු පෙරමුණකුත් තියෙනවා. මේ රටේ වෙන කිසිම දේශපාලන පක්ෂයකට මේ විදිහේ ඉංජිනේරු කඳවුරක් නැහැ. මේක අලුත් තත්ත්වයක්. ඒ වගේම ඉතාම යහපත් ප්‍රවේශයක්. ඔබේ නිර්මාණශීලී නැවුම් අදහස් සියල්ලම මම අහගෙන හිටියා. ඒවා ඉතාම වටිනා ප්‍රායෝගික සංකල්ප. ඉතා ඉක්මනින් මේ රට නැවත ගොඩනගන්න ඔබේ වෘත්තීය දැනුම සහ කැපවීම අපි බොහෝම ගෞරවයෙන් අපේක්ෂා කරනවා’ යනුවෙන් පවසා කතාව අවසන් කර නැවත සභාවේ අසුන් ගත්තේය.
“ඔයාලා බොහෝම ලස්සනට මේ වැඩේ ඕගනයිස් කරල තියෙනවා.’ යැයි මෙහි සංවිධායකයන්ට පෞද්ගලිකව ස්තූති කරමින් මහින්ද පැවසුවේය.
හඬ මේ මෛත්‍රීගේ, අත අනිත් මෛත්‍රීගේ
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුකරුවන්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුදල් ලබාගත්තැයි ආන්දෝලනාත්මක පුවතක් පසුගිය කාලයේ මාධ්‍යවල ප්‍රධාන පුවත බවට පත්ව තිබිණි.
ඒ අවස්ථාවේදී පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ඇතැයිද ප්‍රකාශ විය. නමුත් එම නම් ලැයිස්තුව කිසිදු මොහොතක ප්‍රසිද්ධියට පත්නොවුණි. එම අවස්ථාවේ නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් ජ.වි.පෙ. මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සද පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගත්තැයි මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයත් සමග ජ.වි.පෙ. නීතිඥයන් මාර්ගයෙන් මෛත්‍රී ගුණරත්නට එරෙහිව එන්තරවාසියක් යවන ලදී. එමෙන්ම එම චෝදනාව සාක්ෂි සහිතව ඔප්පු කරන්නැයි ජ.වි.පෙ. විසින් ඔහුට අභියෝග කරන ලදී. නමුත් මේ වනතෙක් මෛත්‍රී ගුණරත්න විසින් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත.
මේ සම්බන්ධයෙන් ජ.වි.පෙ. තුළ කතාබහක් ඇතිව තිබේ. මේ පිළිබඳ වූ සාකච්ඡාවකදී
ජ.වි.පෙ. නායකයන් කියා සිටියේ ‘හඬ මේ මෛත්‍රීගේ වුවද, අත අනෙක් මෛත්‍රීගේ^ කියාය. මන්ද මෛත්‍රී ගුණරත්න මේ වන විට සේවය කරන්නේ කාටදැයි මුළු රටම දන්නා කරුණක් නිසාය. මේ හේතුවෙන් තමන්ට සිදු වූ අපහාසය සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට වෛද්‍ය නලින්ද ජයතිස්ස තීරණය කර තිබේ. එය නඩුකර දෙකක් වශයෙන් ඉදිරිපත් කිරීමට සාකච්ඡා කරගත් අතර, ලබන සඳුදා දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔවුහු තීරණය කරගත්හ.
නාමල් පැද වූ රියක නැගී ජොන්ස්ටන්
යන්තම්පලාව ස.තො.ස. ශාඛාවෙන් රුපියල් ලක්ෂ 38ක භාණ්ඩ ලබාගෙන සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා ලබා සිටි ජොන්ස්ටන් ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග කළේ පසුගිය බදාදාය. විත්තියේ සාක්ෂි විමසීමකින් තොරවම ජොන්ස්ටන්ලා නිදහස් කිරීමට තීන්දු කිරීම සුවිශේෂී කරුණක් විය.
එදින නාමල්, කංචන, ෂෙහාන්, ඩී.වී. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කුරුණෑගල මහාධිකරණ භූමිය වෙත ගොස් සිටියහ. නිදහස ලබා පැමිණි ජොන්ස්ටන් මන්ත්‍රීවරුන් හා ආධාරකරුවන් විසින් උණුසුම් අයුරින් පිළිගැනිණි. අනතුරුව නාමල් පැද වූ රියක නැගී ජොන්ස්ටන් නිවස බලා ආවේය.
එන අතරමගදී ජොන්ස්ටන් කීවේ රිමාන්ඩ් එකේදී වින්ද දුක ගැනය. මැක්කන්ගෙන් විඳින්නට සිදු වූ කරදර මෙන්ම අනෙක් සිරකරුවන්ටත් වඩා පහත් අන්දමින් තමන්ට සැලකූ ආකාරයද ජොන්ස්ටන් සිහිපත් කළේය. තමන්ට එසේ සලකන විට බන්ධනාගාර නිලධාරීන් අපහසුතාවට පත් වූ බවත් ජොනී කීවේය. ඉහළින් ආ උපදෙස්වලට කටයුතු කරනු මිස ඔවුන්ට විකල්පයක් නොතිබුණු බවත් ඔහු පැවසීය.
ජොන්ස්ටන් නිවසට පැමිණ මඳ වේලාවකින් මහින්දද එහි ආවේය. මහින්ද ජොන්ස්ටන් පිළිගත්තේ වැලඳ ගනිමිනි. ‘මම දැනන් හිටියා ජොනීට කරදරයක් නොවන බව’ මහින්ද හැඟුම්බරව කීවේය.
‘ආණ්ඩුවට ඕන වුණේ මට රිද්දන්න. මට රිද්දලා මහින්ද මහත්තයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයටම රිද්දන්න තමයි ආණ්ඩුවට ඕන වෙලා තිබුණේ. බොරු චෝදනා දාලා අපිව හිරකළාට මේ සටන නතර වෙන්නේ නැහැ කියලා ආණ්ඩුව දැන්වත් තේරුම් ගන්න ඕන’ ජොන්ස්ටන් පැවසීය.
‘ආණ්ඩුව අපට දාලා තියෙන චෝදනා සේරම ඔය වගේ තමයි. මොනවා වුණත් මේක ආණ්ඩුවේ ලොකු පරාජයක්. දැන් මුළු ලෝකෙටම පැහැදිලියි ආණ්ඩුව බොරු නඩු පටලවලා අපිව හිරේ දාන්න හදන බව’ නාමල් පැවසීය.
‘මේවට නිකන් ඉන්න එපා. ඔයා මුලින්ම රිමාන්ඩ් එකේදි වෙච්ච කරදරවලට බන්ධනාගාරයට විරුද්ධව නඩු දාන්න. ඊළඟට බොරු චෝදනා දාලා දවස් 44ක් රිමාන්ඩ් කරවපු
එෆ්.සී.අයි.ඩී. එකට විරුද්ධව නඩු දාන්න. අනෙක් අයටත් මේවා හොඳ පාඩමක් වෙන්න ඕන’ මහින්ද උපදෙස් දුන්නේය.
‘එෆ්.සී.අයි.ඩී. කියන නීතිවිරෝධී ආයතනය හැදුවෙම මේ වගේ පළිගැනීම්වලට යොදාගන්නයි. ඒකෙන්ම පේනවා ආණ්ඩුවේ යහපාලනය’ නාමල් පැවසීය.
අපි විරුද්ධව ඡන්දෙ දෙමු
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගන්ති කිහිපයක් වෙනස් කොට නව පනතක් ලෙස නැවත වටයකින් ගෙන ඒමට යෝජනා කර තිබේ. මේ වනවිට එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඔවුන්ගේ සාකච්ඡාවකදී අවධානය යොමු කර තිබුණි.
‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුලින්ම ඉදිරිපත් වෙන්නේ 1978දී. ඒ වෙලාවෙත් ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ පනතට විරුද්ධත්වය ප්‍රකාශ කළා. මොකද ඒ වෙලාවෙත් මේක ගේන්නේ ආණ්ඩුවට එරෙහිව එන ජනතා විරෝධය මර්දනය කරන්න උපායක් විදියට. අපි විතරක් නෙවෙයි ඒ වෙලාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේ පනතට විරුද්ධව පාරට බැස්සා. අදත් ආණ්ඩුව මේ පනත ගේන්නේ හොඳ අරමුණකින් නොවන බව විශ්වාසයි.” ටිල්වින් සිල්වා කියා සිටියේය.
‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සමුළුවට ආණ්ඩුව පොරොන්දුවක් වුණා මේක අහෝසි කරනවා කියලා. විශේෂයෙන්ම 2015 මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ පොරොන්දුවක් විදියට මේක තිබුණා. එක්සත් ජාතීන්ගේ බලපෑමට දැන් ආණ්ඩුව කරන්න යන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ මුල් පනතේ වගන්ති ටිකක් එහෙ මෙහෙ කරලා ඒ පනතම වෙන විදියකට ගේන්න” විජිත හේරත් කියා සිටියේය.
‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම කියනකල් ඉන්න ඕනද මේ රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න. මේ ආණ්ඩුව 2015 ඉඳලා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අවශ්‍ය කරන පනත් එකක්වත් ගේන්න කටයුතු කළේ නැහැ. ඒවා මගහැරියා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් උතුරේත් මර්දනය ගෙනාවා, දකුණෙත් මර්දනය ගෙනාවා. ඒ නිසා මේ පනත අහෝසි කරන්න ඕනෑ එකක්. අපි මේකට විරුද්ධය පාර්ලිමේන්තුවේදී ඡන්දය දෙන්න ඕනෑ. සමහරු මේක ත්‍රස්තවාදී අර්ථයෙන් විග්රහ කරනවා. නමුත් ඇත්ත කතාව නම් මේක මර්දන පනතක් කියන එකයි.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.
එතුමා පෝය දවසේ බොන්නේ නැහැ කියලා මම දන්නේ නැහැ
කටාර් ස්ටැෆර්ඩ් විද්‍යාලය සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර කටාර් තනාපති ඒ.එස්.පී ලියනගේ එම පාසලට බලහත්කාරයෙන් ඇතුළුවී ඇති බව නියෝජ්‍ය අමැති බුද්ධික පතිරණ අවස්ථා කිහිපයකදී චෝදනා කර තිබුණි.
මේ අතර බුද්ධිකගේ චෝදනාවලට ඒ.එස්.පී ලියනගේ පිළිතුරු දුන්නේ පසුගිය සඳුදා ය. කටාර් සිට පැමිණි ඔහු කොළඹ මාධ්‍ය හමුවක් පවත්වා මන්දබුද්ධික උපඇමතිවරයා යැයි කියමින් ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාවලට පිළිතුරු ලබා දුනි.
මාධ්‍ය හමුවෙන් පසුව ද මේ සම්බන්ධයෙන් ඒ.එස්.පී ලියනගේ කතා කළ අතර එහිදී ඔහු මෙම සිදුවීම් තවදුරටත් විවේචනය කරමින් මෙසේ පවසා සිටියේය.
‘ කටාර් දේශයේ මාධ්‍ය හරිම සැරයි. සමාජ ජාලාවල වුණත් බොරුවක් දැම්මොත් එවෙලම රිමාන්ඩ්. අපේ රටේ සමාජ ජාලාවල මිනිස්සු බොරු කියලා කියලම දැන් එපා වෙලා. හැබැයි මමනම් කැමතියි මම ගැන කියවෙන ඕනෑම දේකට. කවුරු වුණත් මම ගැන මොනව දැම්මත් කොයි පැත්තට දැම්මත් හොඳ ෆොටෝ එකක් දාලා දානවනම් මම කැමතියි. එතකොට බුද්ධික මන්ත්‍රීතුමාට විස්කි දුන්නා කියලා කතාවක් යනවා ඒක බොරුවක්ද තනාපතිතුමා. මම එතුමාගේ පියාගේ මළගෙදරට කොළඹ ඉදලා මල්වඩමක් අරගෙන ගියා. ඇත්තටම මම එතුමාට හොඳ වටිනා විස්කි බෝතලයක් අරගෙන ගියා. ඒක ඇත්ත. මම ඒක අරගෙන ගියේ මගේ තියෙන මනුස්සකමට. එතුමා පෝය දවසේ බොන්නේ නැහැ කියලා මම දන්නේ නැහැ. මම ඒක ගෙදරටම ගිහින් දුන්නු බව මම පිළිගන්නවා. හැබැයි එතුමා අපේ ගෙදර ඇවිත් මගෙත් එක්ක එකට කාල බීලා තියෙනවා. අර විස්කි බෝතලේ එතුමා ආපහු මට ගෙනත් දුන්නා. ඒක ඇත්ත’
ලියනගේ මහතාගේ පිළිතුර අසා සිටි අයෙක ‘ඔබතුමා කටාර්වල ඉන්නේ කැමැත්තෙන්ද’ යනුවෙන් අසා සිටියේය.
ඇත්තටම මම කටාර්වල ඉන්නේ අකමැත්තෙන්. ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලුවෙ ආණ්ඩුකාරකමක්. නමුත් ලැබුණේ මේක. සුදුසු වෙලාව ආවාම මට ඒක ලැබෙයි කියලා මම හිතනවා.
සුද්දා හදපු කෝච්චියේ වඩේ විකුණපු කෙනා අද පළාතේ මහ කෝටිපතියෙක් වුණේ කොහොමද?
2018 වර්ෂය වනවිට ඌව වෙල්ලස්ස කැරැල්ලට වසර 200ක් සම්පූර්ණ වෙයි. අධිරාජ්‍යවාදීන් කළ එම විපතට වන්දි ලබාගත යුතු යැයි ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න විසින් ඌව පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කළේය. ‘ 2018 වෙන කොට ඌව වෙල්ලස්ස කැරැල්ලට වසර 200ක් සම්පූර්ණ වෙනවා. ඒ වසර 200න් වසර 70ක් අයිති මේ පාලකයන්ට. මේ වෙනකොටත් රටේ දුප්පත්ම පළාත ඌව පළාත. දුප්පත්ම දිස්ත්‍රික්කය ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කය. හිතාගන්න පුළුවන් අධිරාජ්‍යවාදීන් මේ පළාතට කරපු විනාශය කොයිතරම්ද කියලා. ඒ වගේම පහුගිය වසර 70ටම අපේ රටේ පාලකයන්ට මේ පළාත දියුණු කරන්න බැරි වුණා. වසර 30ක් අනවරත යුද්ධයක් පැවති උතුර නැගෙනහිර පළාතටත් වඩා අපේ පළාත දුප්පත් වෙලා. ඒකට හේතුව මේ පාලකයෝ. ඒ විතරක් නෙවෙයි මේ පාලකයෝ ඌව වෙල්ලස්ස ඉඩම් අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම්වලට ලියලා දුන්නා. කිරිඳිඔය, මැණික් ගඟ දෙපැත්තේ ඉඩම් අයිති අපේ රටේ ජනතාවට නෙමෙයි. ඒවා අයිති ඩෝල් සමාගමට, නෙල්නා සමාගමට, බූකර්ටේට් සමාගමට. එහෙම තියෙද්දී වර්තමාන ආණ්ඩුවත් ඌව වෙල්ලස්ස ඉඩම් අක්කර 62,500ක් සිංගප්පූරු ගැසල්වෙන්චර්ස් සමාගමට දෙන්න යනවා. සුද්දා මිනිස් ජීවිත නැති කළා. මේ රටේ පාලකයොත් මිනිස්සුන්ගේ ඉඩම් ටික අහිමිකරලා බඩගින්නේ මරන්න හදනවා.” සමන්ත විද්‍යාරත්න යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේය. ‘ ඔව්, අපි බ්‍රිතාන්‍යයෙන් වන්දි ගන්න ජිනීවා යන්න ඕනෑ.” ඌව පළාත් සභා මහ ඇමති යෝජනා කළේය. ‘ ජිනීවා යන්න කලින් මේ රටේ පාලකයෝ ඌව වෙල්ලස්ස ජනතාවට වන්දි ගෙවන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි මහ ඇමතිවරයත් ජනතාවට වන්දි ගෙවන්න ඕනෑ. සුද්දා හදපු කෝච්චියේ වඩේ විකුණපු කෙනා අද පළාතේ මහ කෝටිපතියෙක් වුණේ කොහොමද? ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් ආපු සල්ලි තමන්ගේ ගිණුම්වලට දාගෙන කෝටිපතියන් වුණු සෑම දේශපාලකයෙක්ම ජනතාවට වුණු විපතට වන්දි ගෙවන්න ඕනෑ. අපි ජිනීවා යන්නත් ඕනෑ ඊට කලින් මෙහෙ පාලකයන්ගෙන් වන්දි ගන්න ජනතාව පෙළගැහෙන්න ඕනෑ.” සමන්ත විද්‍යාරත්න කියා සිටියේය. මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත විය.
ඇමතිකම හැර අනිත් ඔක්කොම දෙන්නම්
සුපුරුදු පරිදි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මේ සතියේත් බදාදා දිනයේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. සමකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් කැබිනට් තීරණ දැනුම් දෙන අතර වාරයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැමිණ ප්‍රධාන වේදිකාවේ අසුන් ගත්තේය. කැබිනට් තීරණ දැනුම් දීමෙන් පසු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට අමාත්‍යවරු දෙපළම සූදානම්ව සිටි අතර කැබිනට් සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්රකාශකළා යැයි සඳහන් කරමින් මාධ්‍ය පළ කර තිබුණු ප්‍රකාශ දෙකක් පිළිබඳ සත්‍යතාව මාධ්‍යවේදීහු මෙහිදී විමසා සිටියහ.
මෙහිදී මාධ්‍යවේදීන් එම පැනය කිහිපවිටක් අමාත්‍යවරුන්ට යොමු කළත් ජනාධිපතිවරයා විසින් සිදුකළා යැයි මාධ්‍ය වාර්තා කළ ප්‍රකාශ අසත්‍ය බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. එම මාතෘකාවට පිටතින් ප්‍රශ්නයක් යොමුකරමින් මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ භාණ්ඩ මිල ඉහළ යෑම මත ජනතාවට ජීවිතය ගැටගසා ගැනීමට අසීරු තත්ත්වයක් උද්ගතවී ඇති බවයි. එවිට රාජිත සේනාරත්න අමාත්‍යවරයා බඩු මිල සඳහන් පත්‍රිකාවක් රැගෙන 2014 වර්ෂයට සාපේක්ෂව වර්තමානයේ මිල ගණන් තවමත් අඩුවෙන් සටහන් වන බව සන්සන්දනාත්මකව පෙන්වා දුන්නේය. එම ලැයිස්තුව කියවා අවසාන වන විට පැනය නැගූ මාධ්‍යවේදියා එම ලැයිස්තුව සටහන් කොළයේ පිටපතක් මාධ්‍ය වෙත ලබාදීමට හැකිදැයි විමසා සිටි අවස්ථාවේදී එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සිනාමුසු මුහුණෙන් පවසා සිටියේ ‘ඔව් මොකද බැරි. තමුන්නාන්සේලාට දෙන්න තමයි මේ සේරම දේවල් අරගෙන ආවේ. මගේ ඇමතිකම හැර අනිත් ඔක්කොම දෙන්නම්’ කියාය.
කොළඹින් විශේෂ කණ්ඩායමක් කෑගල්ල බන්ධනාගාරයට ගියේ ඇයි?
පසුගිය සතියේ ඔස්ට්‍රේලියාවේ සිටි ප්‍රසන්න සෙනසුරාදා අලුයම මෙරටට ආවේය. සිය නිවසේ නිදාගෙන සිටියදී එදින උදෑසන 8.00ට පමණ දුරකථනය නාද වනු ඇසීමෙන් ඔහු අවදි විය. දුරකථනය ගෙන බලද්දී ඇමතුම ලැබී තිබුණේ බැසිල්ගෙනි.
‘මම ප්‍රසන්නට වාහනයක් එව්වා. මං එක්ක ගමනක් යමු?’ බැසිල් ආරාධනා කළේය.
ප්රසන්නද කැටුව බැසිල් ගියේ කෑගල්ල බන්ධනාගාරයටය. ඒ බන්ධනාගාරගතව සිටින ජොන්ස්ටන්ගේ සුවදුක් විමසීමටය. පලතුරු වට්ටි දෙකක්ද රැගෙන ජොන්ස්ටන් බලන්නට ගිය බැසිල් සහ ප්‍රසන්නට අතරමගදී කනක ද එකතු විය. සිවුදෙනා කතාබහ කරමින් සිටියේ, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ දේශපාලන පලිගැනීම් සම්බන්ධවය.
‘මේක මාව හිරේ දාන්න පටලපු බොරු නඩුවක්. මම මහින්ද මහත්තයා එක්ක ඉන්න නිසයි මගෙන් මේ විදියට පළිගන්නේ’ ජොනී කීවේය.
‘අපි දන්නවා ඒක. මොනවා වුණත් අධිකරණය ගැන අපේ විශ්වාසයක් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ජොනීට සාධාරණය ඉටු වෙයි කියලා. වරදක් නොකරපු කෙනෙකුට දඬුවම් කරන්න ස්වභාවධර්මය ඉඩ දෙන්නේ නැහැ’ බැසිල්ගේ අදහස විය.
මේ අතර, ජොන්ස්ටන් තමන්ට බන්ධනාගාරයේදී මුහුණ පාන්නට සිදුව ඇති හිරිහැර ගැන පැවසීය. කලින් දින පාර්ලිමේන්තු ගොස් පැමිණෙන විට ඇඳුම් පැලඳුම් ගලවා රහස් පෙදෙස පවා පරීක්ෂා කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ බව ජොන්ස්ටන් කීය. එසේම කොළඹ සිට විශේෂ කණ්ඩායමක් කෑගල්ල බන්ධනාගාරයට එවා ඇත්තේ තමන් ගැන සොයා බැලීමට බවත් ඔහු පැවසීය.
‘මාව තමයි ටාගට් කරලා තියෙන්නේ. මං ඉන්න වාට්ටුව සම්පූර්ණයෙන්ම චෙක් කළා. මෙයාලා බැලුවේ සල්ලි හරි දුරකථන හරි තියෙනවද කියලා. ඒවා තිබුණොත් තව කාලයක් මාව බන්ධනාගාරෙම තියාගන්න පුළුවන්නේ. ඒක තමයි දැන් ඕන වෙලා තියෙන්නේ. මෙතැන ඉන්න නිලධාරීන්ටත් කරකියා ගන්න දෙයක් නෑ. ඒ අයත් අසරණයි. මට උදවු කරන්න එපා කියලා මෙතැන ඉන්න රැඳවියන්ටත් තර්ජනය කරලා තියෙනවා’ ජොන්ස්ටන් හෙළි කළේය.
‘ඕවා ඔහොම තමයි. මේ ආණ්ඩුවේ එකම අරමුණ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලිගැනීමයි. රටට හෙණ ගැහුවත් කමක්නැහැ තමන්ගේ වැඩේ කෙරෙනවා නම් කියලයි ආණ්ඩුව හිතන්නේ. මේ ආණ්ඩුවට වැඩි ආයුෂ නැහැ’ ප්‍රසන්න පැවසීය.
‘අපි ජොන්ස්ටන්ට සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා තමුන්නාන්සේට සාධාරණයක් වෙයි කියලා’ යැයි පැවසූ බැසිල් එළියට ආවේ නඩුව සම්බන්ධයෙන් නීතිඥයන් සමගද කතාබහ කරන බව කියමිනි. ඒ අනුව බන්ධනාගාරයෙන් පිටතට පැමිණි වහාම බැසිල් ජොනීගේ නීතිඥයන් අමතා තොරතුරු විමසුවේය.
කෝ වෙල්ගම, මහින්දානන්ද ඉන්නවාද?
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුව මහින්දගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා පැවැත්වුණේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය. වෙල්ගම කලින් සතියේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහින්දානන්ද ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මහනුවරදී තරමක් තදින් ප්‍රතිචාර දැක්වීමත් සමගින් ඒකාබද්ධ විපක්ෂයේ ආරවුලක් ඇති බවට ආණ්ඩුව විසින් මාධ්‍ය ප්‍රචාරයක් දියත් කර තිබිණි. මහින්ද හමුවට ආවේ ‘කෝ වෙල්ගම, මහින්දානන්ද ඉන්නවාද?’ යැයි අසාගෙනය.
‘මම කලිනුත් කිව්වා අපි මාධ්‍ය ඉස්සරහට ගිහින් එකිනෙකා විවේචනය කරගන්න ඕන නැහැ කියලා. මේවා දැන් දුරදිග ගියා හොඳටම ඇති. මම කලින් කිව්වා වගේම කියන්නේ තවදුරටත් මේ වගේ දේවල් කරන්න එපා’ මහින්ද කීවේ තදිනි.
‘නෑ සර් මට එක අවස්ථාවක් දෙන්න. මෙයාලා මට මහනුවරදී කිව්ව දේවල්වලට උත්තර දෙන්න විතරක් මට ඉඩ දෙන්න. ඊට පස්සේ මමත් මේ ගැන මොනවත් කතා කරන්නේ නැහැ’ වෙල්ගම පැවසීය.
‘එතැනින් එහාට මේක ගෙනියන්න එපා. ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක අපි පස්සේ තීන්දු කරමු. වෙලාව ආවම ඒ අවස්ථාවේ තියෙන තත්ත්වයත් එක්කයි අපි ඒ තීන්දුව ගන්න ඕන. ආණ්ඩුව හදන්නේ ජනතාවට රටේ තියෙන ප්‍රශ්න අමතක කරවන්න මේ වගේ දේවල් යොදා ගන්නයි. ඒවාට ඉඩ තියන්න එපා’ මහින්ද අවවාද කළේය.
අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වූයේ රට මුහුණපා ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙනි. මේ ගැන සොයා බැලීමට අජිත් නිවාඩ් කබ්රාල්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමටද මෙහිදී තීන්දු කෙරිණි.
කථානායක සමග ප්‍රසන්න ජිනීවා නුවරට
ඉරිදා උදෑසන ප්‍රසන්න ජිනීවා නුවර බලා ගියේ කථානායකවරයා සමගය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අන්තර්ජාතික සැසියකට සහභාගි වීම සඳහාය. එක්සත් ජාතීන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයට ඒකාබද්ධ විපක්ෂය පසුගිය සැප්තැම්බර් මාසයේ 19 වැනිදා ලිඛිතව දැනුම්දී තිබුණේ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ වෙනම කොටසක් ලෙස පිළිනොගැනීම සහ තමන්ට පාර්ලිමේන්තුව තුළ සිදුවන කෙනෙහිළිකම් ගැනය.
එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් මේ වනතෙක් ගෙන නොතිබිණි. ජිනීවා නුවර සිටි ප්‍රසන්නට දිනේෂ් දුරකථන ඇමතුමක් ගත්තේ මේ ගැන මතක් කිරීමටය. ඒ අනුව ප්‍රසන්න ගොස් එම සංගමයේ නිලධාරීන් හමුවී මේ සම්බන්ධයෙන් කරුණු විමසුවේය. ඔවුන් පොරොන්දු වූයේ ඉදිරි සැසියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවටය. ඒ අනුව බදාදා දිනේෂ් ඇමතූ ප්‍රසන්න මේ බව දැනුම් දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd