Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන වැටුප් ගැටලු හා මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට ඉහළ දැමීමට නියමිතව තිබූ විශ්‍රාම වැටුප තාවකාලිකව නවතා දැමීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ.
කම්කරු නීතිරීතිවලට අනුව වැඩකරන ජනතාවට ඇතිවන ගැටලු විසඳා ගැනීම උදෙසා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම මේ රටේ පෞද්ගලික අංශ සේවකයන්ට සේම වතු සේවකයන්ටද ලැබී තිබෙන අයිතියකි. මීට අමතරව උසස් අධ්‍යාපන හෝ විශ්වවිද්‍යාලවල ඇතිවන ගැටලු විසඳා ගැනීමටද ශිෂ්‍ය සංගම්වලට හෝ ශිෂ්‍යයන්ට ක්‍රියාමාර්ග ගත හැකිය.
අද දවසේ සමාජය තුළ කතාබහකට ලක්ව තිබෙන වතුකම්කරු දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කර ගැනීම, ගුරු විදුහල්පති වැටුප් ගැටලු, විශ්‍රාමික වැටුප් ගැටලු, විශ්වවිද්‍යාල ගැටලු වසර ගණනාවක සිට ඇති වූ ගැටලු ලෙසට පෙන්වා දිය හැකිය.
අදාළ ගැටලු විසඳා ගැනීම සඳහා ඊට අදාළ වෘත්තීය සංගම්, ශිෂ්‍ය සංගම් බලධාරීන් සමග වසර ගණනාවක සිට සාකච්ඡා පැවැත්වීමට හා විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබේ.
1995 වසරේදී සුළු වශයෙන් ඇති වූ ගුරු විදුහල්පති වැටුප් ගැටලුව හා උසස්වීම් ගැටලු, ශ්‍රේණි ගැටලු විසඳීමට ගෙවී ගිය වසර විසිපහක කාලය තුළදීම බලධාරීන්ට, දේශපාලනඥයන්ට නොහැකි විය. මේ නිසා අද දවස වනවිට විදුහල්පතිවරුන් පහළොස් දහසකට හා ගුරුවරුන් දෙලක්ෂ හතළිස් තුන්දහසකට දැඩි අසාධාරණකම් සිදුවී තිබේ. මෙම ගැටලු විසඳීමට පසුගිය ආණ්ඩුව යම් හෝ සොයා බැලීමක් සිදුකරනු ලැබුවේ පසුගිය වසරේ දෙවැනි කාර්තුවේ සිටය.
ඒ අනුව ඔවුන් විසින් ගුරු විදුහල්පති ගැටලු විසඳන තෙක් අතුරු වැටුපක් ලබාදීමට තීරණයක්ද ගනු ලැබීය. නොවැම්බර් 16 වැනි දින පැවැති මැතිවරණයට ආසන්නව මෙම තීරණ ගැනීම හේතුවෙන් ඊට අදාළ මුදල් වෙන්කර ගැනීමට හෝ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට පසුගිය ආණ්ඩුවට නොහැකි විය.
මේ නිසා ගෙවී ගිය මාස දෙකක කාලය තුළදී වර්තමාන ආණ්ඩුව යටතේ පසුගිය ආණ්ඩුවේ තීරණය ක්‍රියාත්මක කර ගැනීමට උත්සාහ කෙරුණි. එහෙත් නව ජනාධිපතිවරයෙකු පත්වී හා නව ආණ්ඩුවක් පත් වී තවමත් ගෙවී ගොස් තිබෙනුයේ මාස තුනක කාලයක් බැවින් වර්තමාන ආණ්ඩුවට පසුගිය ආණ්ඩුවේ යෝජනා ක්‍රියාත්මක කිරීමට තවමත් ශක්තියක් නොමැත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් ක්‍රියාත්මක වූවත් පාර්ලිමේන්තුවේ බහුතර බලය තවමත් තිබෙනුයේ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් සතුවය.
මේ හේතුවෙන් රාජ්‍ය සේවක ගැටලු විසඳීමට හෝ රටේ සංවර්ධනයට අදාළ මුදල් වෙන්කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් තවමත් නොමැත. එහෙත් වසර විසිපහක් පුරා ගැටලුවලට මුහුණ දී සිටින ගුරු විදුහල්පතිවරුන්ට ආණ්ඩුව පත්ව සිටින අර්බුදකාරී තත්ත්වය වැදගත් නැත.
මේ හේතුවෙන් අදාළ ගැටලු විසඳා ගැනීම උදෙසා පෙබරවාරි 14 වැනි දින කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ඔවුහු කටයුතු කළහ. මීට අමතරව මේ මස 26 වැනි දින එක්දින වැඩ වර්ජනයක් සිදුකිරීමටත් ගුරු විදුහල්පති සංගමය කටයුතු කළේය.
පසුගිය ආණ්ඩුව මගින් රාජ්‍ය සේවකයන්ගේ දීමනා වැටුපට එකතු කිරීමේ ක්‍රියාවලිය යටතේ 2016.1.1 සිට 2019.12.31 දක්වා විශ්‍රාම යන සියලුම රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ඉහළ දැමීමට තීරණය කර තිබුණි. අදාළ වැටුප් ඉහළ යාම 2020.1.1 සිට ක්‍රියාත්මක වීමට තිබූ අතර, ඊට අදාළ චක්‍ර‘ලේඛ නිකුත් කර තිබුණද මහා භාණ්ඩාගාරය මගින් එම කටයුතු සිදුකිරීමට අවශ්‍ය මුදල් වෙන් කර තිබුණේ නැත. මේ හේතුවෙන් අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීම ඉදිරි අයවැයක් තුළින් සිදුකිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
වසර විසිපහක්, තිහක් රාජ්‍ය සේවය තුළ සේවය කර විශ්‍රාම යන බොහෝ රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම ගිය පසු ජීවත්වීමට තරම් ආදායමක් නොලැබෙන බව සැබෑය. මේ හේතුවෙන් ඔවුන්ට ජීවත්වීමට සරිලන විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කිරීම පාලකයන්ගේ, බලධාරීන්ගේ වගකීමකි. අදටද මෙම සියලුම කටයුතු සඳහා මුදල් ලබාදෙනුයේ පෞද්ගලික අංශ සේවකයන්, වතු සේවකයන් හා ව්‍යාපාරිකයන් විසිනි. රාජ්‍ය සේවයේ සිටින තාක්කල් ලබාදුන් වැටුප ලබාදෙනුයේ රාජ්‍ය සේවකයන් ඇතුළු සමස්ත ජනතාවගෙන් ලබාගන්නා බදු මුදලිනි. රාජ්‍ය සේවකයන් සේවයේ යෙදී සිටියදී වැටුප් හා දීමනා ලබාදීමට, විශ්‍රාම ගිය පසු විශ්‍රාම වැටුප ලබාදීමට විශාල දායකත්වයක් ලබාදෙන පෞද්ගලික අංශ සේවකයාට හෝ වතු සේවකයන්ට අදටත් විශ්‍රාම වැටුපක් නැත.
සේවය කරන කාලයේදී වැටුපෙන් අයකර ගන්නා මුදලට හාම්පුතුන් විසින් ලබාදෙන මුදලක් එකතු කර පෞද්ගලික හා වතු සේවකයින්ට ලබාදෙන අර්ථසාධක අරමුදල හා භාරකාර අරමුදල හැරුණුකොට පෞද්ගලික අංශ සේවකයාට මෙරට තුළදී කිසිදු වරප්‍රසාදයක් ලැබෙන්නේ නැත. එහෙත් රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුපට අමතරව විශ්‍රාමික හැඳුනුම්පතට ලැබෙනා වරප්‍රසාද ප්‍රමාණයක්ද හිමිය.
එසේ තිබියදී විශ්‍රාම වැටුප් ඉහළ යාම වැළැක් වූ බවට පවසමින් රාජ්‍ය සේවයේ පිරිස් හා විශ්‍රාමික සංගම් කිහිපයක් මේ වනවිට වෘත්තීය ක්‍රියාමාර්ග ගනිමින් තිබේ. මීට අමතරව මියගිය හා ආබාධිත වූ රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ඉල්ලා යම් පිරිසක් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඇත.
තිස් අවුරුදු යුද්ධයෙන් රට මුදා ගැනීමට විශාල දායකත්වය ලබාදුන්නේ මේ රටේ රණවිරුවන් විසිනි. ඔවුන්ට හා ඔවුන්ගේ පවුල්වලට යුතුකම ඉටුකිරීම පිළිබඳ මේ රටේ ජනතාවට කිසිදු ගැටලුවක් නැත. එහෙත් අප රටේ දෛනික ආදායම හා දෛනික වියදමට අනුව අප සියලුම දෙනාම පොදුවේ ජීවිතය සකස් කළ යුතු කාලය එළඹ තිබේ. මෙය රටේ මහජන මුදල් අනිසි ලෙස වියදම් කරන දේශපාලනඥයන් ඇතුළු සියලුම කණ්ඩායම් විසින් සිදුකළ යුතු කටයුත්තක්ද වේ.
රටක් වශයෙන් අපට නිෂ්පාදන ආර්ථිකයක් නැත. මීට අමතරව රටට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ටිකවත් සකස් කර ගැනීමට අපට නොහැකි වී තිබේ. වතුකම්කරුවන්, ඇඟලුම් සේවකයන්, මහා පරිමාණ ව්‍යාපාරිකයන් හා ජනතාවගෙන් අයකරගන්නා බදු මුදලේ වටිනාකම දෛනිකව රුපියල් බිලියන පහකට ආසන්නය. මීට අමතරව දඩ මුදල්වලින්ද රජය විසින් යම් මුදලක් උපයාගනු ලබයි.
එහෙත් රටේ දෛනික වියදම රුපියල් බිලියන හත ඉක්මවා ගොස් තිබෙන අතර, මේ අනුව එක් දිනක් ගෙවා ගැනීමට අපට රුපියල් බිලියන දෙකකට වැඩි මුදලක් ණය වීමට සිදුව තිබේ. රටක් පවත්වාගෙන යාමට අමතරව රටේ සංවර්ධනයත් මේ රටේ ජනතාව මහා ඉහළින් බලාපොරොත්තු වන දෙයකි. මෙම බලාපොරොත්තු ඉටුකිරීම සඳහා ගෙවී ගිය කාලය පුරාම ණය ගැනීමට පාලකයන් කටයුතු කළ අතර, මේ අනුව ගෙවී ගිය 72 වසරක කාලය තුළදී අප රට රුපියල් බිලියන එකොළොස් දහසකට අධික ණයකරුවන් බවට පත්ව තිබේ.
ණය හා ණය පොලී වාරික ගෙවීමට රජයේ ආදායම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ණය හා ණය පොලී වාරික ගෙවීමටත් දිගින් දිගටම ණය ගැනීම සිදුකරනු ලබන අතර, එවන් තත්ත්වයක් තුළ සියලුම උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙසට රට තුළ මහපාරේ සටනක් ආරම්භ වී තිබේ.
මහපාරේ සටන්වලට පොදු ස්ථානයක් වෙන්කර දී තිබෙන බැවින් සතියක් දෙකක් ගතවන විට කොළඹ, ගාලු මුවදොරපිටිය ඉදිරිපිට තිබෙන මෙම ස්ථානයේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා අරගල සිදුවෙමින් තිබේ.
කෙසේ නමුත් උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් පනස් දහසක් රාජ්‍ය සේවයේ පුහුණුවට මාර්තු 01 වැනි දින බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර තිබෙන අතර, ඊට අදාළ අයදුම්පත් කැඳවීම මේ වනවිට සිදුකර තිබේ. ප්රශ්නය වී තිබෙනුයේ 2019.12.31 වන දින දක්වා උපාධිය ලබාගත් පිරිස් රජයේ පුහුණුවට බඳවා ගැනීමෙන් මෙම ගැටලුව අවසන් නොවීමය.
මන්දයත් මේ වසර තුළ හා ඉදිරි වසරවලත් විශ්වවිද්‍යාල තුළින් උපාධිය ලබාගෙන විශාල පිරිසක් සමාජයට එකතු වන නිසාය. උපාධිධාරීන්ට පෞද්ගලික අංශය තුළ රැකියා අවස්ථා තිබුණද, උපාධිය ලබාගන්නා අතිබහුතරයක් දෙනා උත්සාහ කරමින් සිටිනුයේ රාජ්‍ය සේවයට ඇතුළත් වීමටය. පෞද්ගලික අංශය තුළ රැකියා සුරක්ෂිතතාව නොමැතිවීම හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් නොමැති වීම යන කාරණ නිසාද බොහෝ දෙනෙකු පෞද්ගලික අංශයේ රැකියාවලට අැතුළත් වීමට උත්සාහ කරනුයේ නැත.
මේ හේතුවෙන් උපාධිධාරීන් රජයේ රැකියාවලට බඳවාගෙන රටේ ආර්ථිකය අර්බුදයකට ලක්කිරීමට පෙර පෞද්ගලික අංශය විධිමත් කිරීමට ආණ්ඩුව හා රජය සැලසුම් සකස් කළ යුතුය. මීට අමතරව වෘත්තීය දැනුමැති පිරිස් විශ්වවිද්‍යාල තුළින් හා උසස් අධ්‍යාපන ආයතන තුළින් බිහිකර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමද වගකිවයුතු සියලුම දෙනාගේ වගකීමකි.
මීට අමතරව විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා පිරිස් ඉහළ දමන ලෙසට හා විශ්වවිද්‍යාල පහසුකම් ඉහළ දමා ගැනීමට මෙන්ම මහපොළ වාරික ඉහළ දමා ගැනීම උදෙසා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් යම් යම් අරගල සිදුකරමින් තිබේ. නිදහස් අධ්‍යාපන ක්‍රමයක් යටතේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ප්‍රමාණය හා විශ්වවිද්‍යාල පහසුකම් ඉහළ දැමිය යුතුය. මීට අමතරව ආර්ථික අපහසුතා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මාසිකව මුදලක් ලබාදීම පිළිබඳව මෙහිදී ගැටලුවක් නැත. එහෙත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සියලුම වියදම් රජයකට දැරිය නොහැකි බව අප සියලුම දෙනා තේරුම්ගත යුතුය.
ලෝකයේ බොහෝ රටවල ශිෂ්‍යයින් උසස් අධ්‍යාපනය හදාරනුයේ තමන්ද උපයා ගන්නා මුදලක් යොදවමිනි. මීට අමතරව මෙරට තුළදී විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වරම් නොලබන සියලුම දෙනා උසස් අධ්‍යාපනය ලබාගනුයේ තම තමන්ගේ පෞද්ගලික මුදල් වියදම් කරමිනි.
කන්නන්ගර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූ මුල් යුගයේදී සියලුම පහසුකම් නොමිලේ ලබාදීමට හැකියාව තිබුණේ අධිරාජ්‍යවාදීන් විසින් අපට ණය නැති රටක් භාරදීම නිසාය.
එහෙත් නිදහසින් පසු මෙරට පාලනය කළ පාලකයන් විසින් මෙරට ජනතාව ණය කන්දක හිරකර තිබෙන අතර, මිනිස් අවශ්‍යතා විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මීට අමතරව වසර ගණනාවක සිට පවතින ගැටලු කිහිපයක් විසඳා ගැනීම උදෙසා වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන් විසින් මේ වනවිට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
රාජ්‍ය සංවර්ධන නිලධාරී සේවාවේ ගැටලු, ලංගම සේවක ගැටලු, පිරිවෙන් අධ්‍යාපනයේ ගැටලු විසඳා ගැනීම උදෙසාද රට තුළ විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගනිමින් තිබේ. මේ ආකාරයේ සියලුම වෘත්තීය ක්‍රියාමාර්ග තුළින් රජය අපහසුතාවට පත්නොවූවද රටේ පොදු ජනතාව දැඩි ලෙස ඒවායින් අපහසුතාවට පත්ව තිබේ.
මෙතෙක් පත්වූ සෑම ආණ්ඩුවක්ම ගැටලු විසඳන බවට ලබාදුන් පොරොන්දු සියයට 50%ක්වත් ඉටු කිරීමට කටයුතු කළේ නැත. එබැවින් මාස තුනක් පමණක් රට පාලනය කර ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ වර්තමාන ආණ්ඩුවට සමස්ත ගැටලු කඩිනමින් විසඳීමේ හැකියාව තිබේ යැයි සිතීම විහිළුවකි.
එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමට පෙර ජනතාවට පොරොන්දු විශාල ප්‍රමාණයක් ලබාදී තිබේ. සමස්ත පොරොන්දු ප්‍රමාණය වසර 05ක් තුළ ඉටුකරන ආකාරයට ප්‍රතිපත්ති ප්‍රකාශයද එළිදක්වා තිබෙන අතර, එම පොරොන්දු ඉටු කිරීමට හා රටේ වැඩ කරන ජනතාවට සාමාන්‍ය ජනතාවට පවතින ගැටලු කඩිනමින් විසඳා දීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව කටයුතු කළ යුතුය.
එහෙත් මෙරට තුළ සිටිනුයේ රාජ්‍ය සේවකයන්, රැකියා විරහිත උපාධිධාරීන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, විශ්‍රාමිකයන් පමණක් නොවන බවට එම කණ්ඩායම නියෝජනය කරන වෘත්තීය සමිති ශිෂ්‍ය සංගම් මතක තබාගත යුතුය.
මෙම කණ්ඩායම ගැටලුවලට මුහුණ දී සිටීම සැබෑවක් වන අතර, පොහොර හිඟය හා වියළි කාලගුණය හේතුවෙන් ජල හිඟයකට මුහුණ දීමට සිදුවීමෙන් රටටම බත බුලත සපයන ගොවීන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව තිබේ.
වතුකම්කරුවන්ට ජීවත්වීමට ප්‍රමාණවත් දෛනික වැටුපක් ලබානොදීම හේතුවෙන් රටට විදේශීය විනිමය උපයා දෙන එම කණ්ඩායම දැඩි දුෂ්කරතාවට පත්ව සිටී. අදාළ ගැටලු විසඳන ලෙස ඉල්ලා වතු ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
මේ හේතුවෙන් මාර්තු 01 වැනි දින සිට වතු කම්කරුවන්ට දැනට ලබාදෙන රුපියල් 750ක මුදලට රුපියල් 250ක් රජයෙන් ලබාදීමට තීරණය කර තිබෙන අතර, රජයෙන් මුදලක් ලබාදීම ස්ථිර විසඳුමක් නොවන බවට පවසමින් වතු ආශ්‍රිතව යම් අරගලයක් ආරම්භ කර තිබේ.
එබැවින් වතුකම්කරු වැටුප ඉහළ දැමීම වතු සමාගම් හරහා සිදුකිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබේ.
රසායනික පොහොර භාවිතය ගොවි ජනතාව රෝගීන් බවට පත්කළත්, වැඩි ඵලදාවක් ලබාගැනීම සඳහා රසායනික පෙහොර අත්‍යව්‍යශ සාධකයක් බවට පත්ව තිබේ. ඒ නිසා ගුණාත්මක බවින් යුතු රසායනික පොහොර ලබාදී ක්‍රමක් ක්‍රම‘යෙන් කාබනික පොහොර භාවිතයට ගොවි ජනතාව යොමුකරවන වැඩපිළිවෙළක්ද සකස් කළ යුතුව ඇත.
පසුගිය ආණ්ඩු සමයේ ගෙන්වූ පොහොර වෙනුවෙන් ලබාදිය යුතු මුදල් නිසි ලෙස ලබානොදීම නිසා රට තුළ පොහොර හිඟයක් ඇතිවීමටද හේතු වී තිබේ. ඉහත සඳහන් කළ සියලු ගැටලු සඳහා ක්‍රමානුකූලව විසඳුම් ලබාදීමට රජය පියවර ගත යුතුව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd