‘හිනාවෙන්නද අඬන්නද කියලා මට තේරෙන්නෙ නෑ’ මෙහෙම කිව්වේ ජේ.ආර්.ගේ ආණ්ඩුවේ හිටපු විදේශ ඇමති හමීඩ්ය. 1987දී වඩමාරච්චි මෙහෙයුම දියත් කරපු ආණ්ඩුවට ඉන්දියාව කිව්වේ වහාම මෙහෙයුම නතර කරන්නට කියාය. ඒ වෙනකොටත් ලංකාවේ හමුදා වැල්වැටිතුරෙයි වටලා හමාරය. එල්.ටී.ටී.ඊය කුපිත වී තිබිණි. එදා ‘යැංකිඩිකී^ ලෙසින් ඇමෙරිකාව සමීපතම මිතුරෙකු කරගෙන හිටපු ජේ.ආර්. ඉන්දියාවේ කීම සත පහකට ගණන් ගත්තේ නැත.
ඉන්දියාව කිව්වේ එල්.ටී.ටී.ඊ එක ඉවර කරන්න ගිහින් උතුරේ සිවිල් ජනතාව මරන්න එපා කියාය. ජේ.ආර් ඊට දුන්නේ ඉන්දියාව හොඳටම රත්වෙන උත්තරයකි. ‘මගෙ වැඩ මම බලාගන්නම් මම එල්.ටී.ටී.ඊ එක කොහොම හරි ඉවර කරනවා’ කියාය. මේ උත්තරෙන් ඉන්දියාවට නහුතෙට තද වුණේය. ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව උතුරේ ජනයාට ආහාර නැතැයි කියමින් ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කර උතුරට පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර බිමට හෙළුවේය. මල්මාලා මෙහෙයුම ලෙස අදත් මෙය ප්රකටය.
ඉන්දියාව කරපු මේ වැඩෙන් ජේ.ආර්. ප්රමුඛ ආණ්ඩුව තක්කු මුක්කු වී ගියේය. ‘හිනා වෙනවද අඬන්නද කියලා හිතාගන්න බෑ’ කියලා විදේශ ඇමති හමීඩ් කීවේ ඒ හින්දාය. මෙහිදී යැංකිඩිකී කළේ ඇමෙරිකාවට කතා කිරීමය. ‘ආහාර විතරනේ දැම්මේ ගණන් ගන්න එපා. ගුවන් සීමා ආක්‍රමණය නොකර ඇවිත් ඔය වැඩේ කළා නම් තමා හොඳ’ ඇමෙරිකාවේ උත්තරය එය විය.
ජේ.ආර්. කරන්න දෙයක් නොමැතිව ඉන්දියානු විරෝධයක් ලංකාවේ හැදුවේය. ‘අනුන්ගෙ වත්තට පැනලා, ජරා කරලා, යන බල්ලොත් ඉන්නවා’ ජේ.ආර්ගෙ ආණ්ඩුව ඉන්දියාව බල්ලට දමමින් කතා කළේය. ඒ වගේම ඉන්දියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ගෙන එන්නට එවකට සූදානමක් තිබුණි. හැබැයි ලංකාවට මිත්‍ර රටවල් කිව්වේ එහෙම යෝජනාවක් ගෙනැල්ලා පරාජය වුණොත් තවත් අමාරුවේ වැටෙයි කියාය. ඉන්දියාව කළෙත් ලංකාවේ යුද්ධයක් ඇවිලීමත්, එල්.ටී.ටී.ඊ එක ආරක්ෂා කිරීමත්ය.
වඩමාරච්චි සටන නැවැත්තුවේ නැත්නම් එල්.ටී.ටී.ඊ එක ඉවර වන්නේ එදාය. නමුත් කලාපයේ බලවතා වන ඉන්දියාව තමුන්ගේ බලය පෙන්නන්ට ගිහින් කළේ ලංකාවේ යුද්ධය අවුලවා රට අස්ථාවර කිරීමය.
මහින්දගේ ආණ්ඩුව කාලෙත් ඉන්දියාව දැම්මේ මේ සෙල්ලමය. මහින්දත් ඉන්දියාවට කන්ට්‍රොල් කරන්න බැරි වුණේය. ඉන්දියාවට මෙය කාලා දිරවන්නට බැරිවිය. මහින්දත් එල්.ටී.ටී.ඊ එක ඉවර කරන්න හදනකොට ඉන්දියාව මුලින් කොකු දැම්මේය. එල්.ටී.ටී.ඊ එක තහනම් සංවිධානයක් බවට පත්කළාට පසුව වගේම පාකිස්තානය, චීනය, රුසියාව,ඉරානය ලංකාවත් එක්ක ළං වන විට ඉන්දියාවටත් උදවු නොකර සිටීමට බැරිවිය.
කලාපය තුළ තමාට බලවතා වෙන්නට පුළුවන් වන්නේ ලංකාව අස්ථාවර වුණොත් පමණක් බව ඉන්දියාව දන්නේය. හැබැයි ජේ.ආර්.ගේ කාලයේ වගේ මහින්දගේ කාලයේදී ඉන්දියාවට සෙල්ලම් දාන්න බැරි වුණේ චීනය ඉස්සරහට ආපු නිසාය. මහින්ද ඉන්දියාව පොඩ්ඩක් පැත්තකට කර චීනය ළං කරගත්තේය. මහින්ද බලයෙන් පහ කරන්නට ඉන්දියාව මැදිහත් වුණේ ඒ නිසාය.
මේ යහපාලන ආණ්ඩුව පත් කරගත්තද ඉන්දියාවට ඕන ඕන සෙල්ලම් දාගන්නට බැරිවිය. ජනාධිපති සිරිසේනටත්, රනිල් වික්‍රමසිංහටත් ජාත්‍යන්තරයේ සහයෝගය හිමිවී තිබුණි. ඒ වගේම චීනයද ආපහු කරළියට පැමිණියේය. සාම්පූර් තෙල් ටැංකි, මත්තල ගුවන් තොටුපොළ ඔවුන්ට තවමත් ලැබී නොමැත. හැබැයි හම්බන්තොට වරාය චීනයට දුන්නේය.
මහින්දව ඉන්දියාවට ගෙන්නා ගත්තේ ආණ්ඩුවට ටිකක් කොනිත්තා රිදවීමටය. ‘උඹලා චීනෙත් එක්ක යන්න බෑ. අපිටත් දෙන්න ඕනේ’ ඉන්දියාව නොකියා කියන්නේ ඒකය. රුසියාවත්, චීනයත් එකතු වෙලා කරපු වොස්ටොක් යුද අභ්‍යාසයත් එක්ක ලෝක බලවතුන් අන්දමන්ද වී ගියේය. ඉන්දියාවටත්, ලංකාව තුළ චීනයේ ක්‍රියාකාරකම් නිසා කලාපයේ ආරක්ෂාව ගැනත් බයක් ඇති විය.
ඒ වගේම ලංකාව කියන්නේ ආර්ථික මර්මස්ථානයක්ය. ඒ මධ්‍යධරණී හා නැගෙනහිර අාසියාව සම්බන්ධ කරන සන්ධිස්ථානයක ලංකාව පිහිටීම නිසාවෙනි. ඒක නිසා ඉන්දියාව, චීනය ලංකාවේ සෙල්ලම් දානවාට එච්චර කැමති නැත.
අපට ඉන්දියාව තරහා කරගන්නට බැරිය. චීනයද තරහා කරගන්නටද බැරිය. කරන්න ඕනේ බැලන්ස් එකේ ගමනක් යෑමය. ඉන්දියාව හරියට ලංකාවේ අම්මා වගේය. චීනය සහෝදරයා වගේය. ඒත් ඉතිහාසය ගැන බලද්දී ඉන්දියාව ලංකාවේ දේශපාලනයට ඕනෑවට වඩා ඇඟිලි ගසා තිබේ. එහිදී වැඩි හරියක් කර ඇත්තේ දේශපාලන වාතාවරණය අස්ථාවර කිරීමය. අපේ ආර්ථිකය කඩාවැටෙද්දී ලංකාවේ ආයෝජනයක් හෝ කළේ චීනය පමණි.
ඉන්දියාවත් හරියට අම්මා වගේ ඉන්න කුඩම්මා වගේය. සාමාන්‍ය‘යෙන් මේ කාලේ සහෝදරයෙක් වුණත් විශ්වාස කරන්නට බැරිය. හැබැයි අමාරුවේ වැටුණම මොන හේතුවක් තිබුණත් උදවු කරන්නට එන සහෝදරයා චීනය වගේය. නිසි විදේශ ප්‍රතිපත්ති නැතුව හිටියොත් අපට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බව මතක තබාගත යුතුය.