Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 19 වන ඉරිදා
2025 ජනවාරි මස 19 වන ඉරිදා
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පසුගියදා (02දා) කෘෂි නිෂ්පාදන සහ භෝග අපනයන ක්‍රියාවලිය පිළිබඳව පැවැත්වූ දේශනයක් ඇසුරෙන් මෙම ලිපිය සකස් වී ඇත්තේ අපනයන ක්ෂේත්රයට සම්බන්ධ වීමට අදහසක් ඇති ඔබගේ දැනුම්වත් වීම සඳහාය.
වර්තමානයේදී ලෝක වෙළෙඳ පොළේ අපනයන කෘෂි භෝග සඳහා විශාල අවස්ථා නිර්මාණය වී තිබේ. විශේෂයෙන් ප්ලාස්ටික්, පොලිතීන් සහ කෘත්‍රිම නිෂ්පාදනවලින් ලෝකයේ බොහෝ රටවල් ඉවත්ව යන අතර, ඒ වෙනුවට ඔවුන් අත්කම් නිෂ්පාදන (Hand Craft) නිෂ්පාදිත භාණ්ඩ වෙත හැරෙමින් සිටියි. එමෙන්ම ලාංකේය කුළුබඩු, තේ, පොල් ආදී දෑ සඳහාද ලෝකයේ ඇති ඉල්ලුම පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත. මෙවැනි නිෂ්පාදන සුළු හා මධ්‍ය පරිමාණයෙන් රට තුළ අලෙවි කරන ව්‍යවසායකයන්ට සිය නිෂ්පාදන වෙනත් රටවලට අපනයනය කිරීමට හැකි නම් එය ඉතා වටිනා අවස්ථාවකි.
අපනයන ක්ෂේත්රයට පැමිණෙන ඔබට මුලින්ම ඔබගේ නිෂ්පාදන ඇතුළත් ව්‍යාපාරයක් තිබිය යුතුය. එමෙන්ම ඔබ විසින් විදෙස් ගැණුම්කරුවෙකු සොයාගත යුතුය. ඔබට ගැණුම්කරුවෙක් හමු නොවී නම් ගැණුම්කරුවෙකු සොයා ගැනීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහය ලබාගත හැකිය. ඒ සඳහා ඔබගේ නිෂ්පාදන පිළිබඳව සහ එහි පරිමාවන් ඇතුළු නිෂ්පාදනයේ සියලු දත්ත සමග ලිඛිත ඉල්ලීමක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර, ඒ හරහා ගැණුම්කරුවෙකු සොයාගත හැක.
සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි නිෂ්පාදකයන් අපනයන ක්ෂේත්රයට පැමිණ අපනයනයට සම්බන්ධ වීමේදී සිදුකළ යුතු ක්‍රියාවලිය.
ලියාපදිංචි ව්‍යාපාරයක් වීම
අපනයනය කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයෙකුට තමන්ගේ ව්‍යාපාරය ලියාපදිංචි කර තිබීම අනිවාර්යය වේ. ව්‍යාපාරය ලියාපදිංචි කර නොමැති නම්, එම ව්‍යාපාර හිමියාට අපනයන වෙළෙඳ පොළට ඇතුළත් විය නොහැක. තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස හෝ හවුල් ව්‍යාපාරයක් ලෙස හෝ සීමා සහිත සමාගම් ආකාරයට හෝ අපනයන වෙළෙඳ පොළට පැමිණීමට බලාපොරොත්තු වන ව්‍යාපාරය ලියාපදිංචි වී තිබිය යුතුය.
ලංකාව තුළදී වාණිජ වටිනාකමක් සහිත දෑ අපනයනය කිරීමට පෙර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී TIN අංකයක් සහ VAT අංකයක් ලබාගත යුතුය. එය දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිල වෙබ්අඩවිය ( www.ird.gov.lk) හරහාද සිදුකරගත හැක. ඉන්පසුව ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචිය සිදුකරගත යුතුය. ඒ සඳහාද ශ්‍රී ලංකා රේගුවේ නිල වෙබ්අඩවිය (www.customs.gov.lk) භාවිත කළ හැක.
ඉන්පසුව භාණ්ඩ වර්ග අනුව ලියාපදිංචි වීම සිදුකරගත යුතුය. තේ නිෂ්පාදනය සිදුකරනවා නම් ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන්ද, පොල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන පොල් සංවර්ධන අධිකාරියෙන්ද, මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන්, මැණික් හා ස්වර්ණාභරණ අලෙවි කිරීමේ බලපත්රයද ලබාගත යුතුය. එමෙන්ම රෙදිපිළි සහ නිමි ඇඳුම් සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අපනයන සේවා අංශය හරහා සිය ව්‍යාපාරය ලියාපදිංචි කරගත යුතුය. භාණ්ඩ වර්ග අනුව ලියාපදිංචිය වාර්ෂිකව සිදුකළ යුතුය.
අපනයනයට තහනම් හෝ සීමා පැනවුණු භාණ්ඩ
ඊට අමතරව ශ්‍රී ලංකාවේ පරිභෝජනයට අත්‍යාවශ්‍ය නමුත් සීමා සහිත වුණු නිෂ්පාදන විවිධ කාලවලදී අපනයනය කිරීම සීමා කෙරේ. උදාහරණයක් ලෙස සහල් හිඟයක් ලංකාව තුළ මතුවන අවස්ථාවලදී සහල් අපනයනය කිරීම සීමා සහිත හෝ තහනම් කිරීම සිදුවේ. එවැනි කාලවලදී එම නිෂ්පාදන අපනයන කිරීම සඳහා ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවසරයක් ලබාගත යුතුය.
අපනයනය සඳහා අවසර ගත යුතු භාණ්ඩ
කොරල් සහ හක් බෙල්ලන් අපනයනය සිදුකරනවා නම් ධීවර දෙපාර්තමේන්තුවෙන්ද, ඇත්දළ සහ ඇත්දළ නිෂ්පාදනයන් අපනයනය කරනවා නම් වනජීවී දෙපාර්තමේන්තුවෙන්ද අවසර ලබාගත යුතුය. තවද 1945.01.01ට පෙර ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ මෝටර් රථ අපනයන කිරීමට බලාපොරොත්තු වනවා නම්, ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගත යුතුය. එමෙන්ම දැව සහ දැව නිෂ්පාදන සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගත යුතුය. උදාහරණයක් ලෙස දැව කොටස්වලින් මූර්ති නිෂ්පාදනය කර අපනයන කරන පුද්ගලයෙකු නම් ඔබ ඒ සඳහා අවශ්‍ය දැව ලබාගත් ආකාරය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දිය යුතුය. දැව ආශ්රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය දැව ලබාගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ලී මඩුවලින් හෝ දැව සංස්ථාව හරහා ලබාගත හැක.
විකුණුම් ගිවිසුම්
විකුණුම්කරු (අපනයනකරු) සහ ගැණුම්කරු (ආනයනකරු) අතර වෙළෙඳ ගිවිසුමක් තිබිය යුතුය. අපනයනකරු ගැණුම්කරුට කෙරෙන ආරාධනය පිළියෙළ කර (Performa invoice) පසුව එය ගැණුම්කරු වෙත යැවිය යුතුය. එහි නිෂ්පාදන විස්තරය, තත්ත්වය සහ ගුණාත්මක බව, මිල, ගෙවීමේ නියමයන්, බෙදාහැරීමේ කොන්දේසි, ඇසුරුම් සහ ලකුණු කිරීමේ විස්තර අඩංගු විය යුතුය. ගැණුම්කරු වෙත නියැදි අවශ්‍ය වන්නේ නම් රුපියල් දහදාහක වටිනාකමට නොවැඩි නියැදි ගැණුම්කරු වෙත යැවිය යුතු අතර, එය ගුවන් මගින් සිදුකළ යුතුය.
අපනයනයේදී ප්‍රවාහන මාධ්‍ය තෝරා ගැනීම
ගුවන් ප්‍රවාහනය
ඉතා ඉක්මනින් නරක් වන සුළු නිෂ්පාදන (එළවළු, කිරි, බිත්තර, මස්, මාළු) ආදී දෑ ගුවන් මගින් ප්‍රවාහනය කළ යුතුය. එමෙන්ම විවිධ ඖෂධ වර්ග සහ සාම්පල් ප්‍රවාහනය කළ යුත්තේ ගුවන් මගිනි.
මුහුදු ප්‍රවාහනය
ඉක්මනින් නරක් නොවන සුළු නිෂ්පාදන සහ කඩිනමින් යැවිය යුතු නොවන නිෂ්පාදන සහ නියැදීන් නොවන සියලු දෑ අපනයනය කිරීම සඳහා තෝරාගත යුත්තේ මුහුදු ප්රවාහනයයි.
H.S අංකය (HS Code)
1987 වසරේදී ලෝක රේගු සංගමය විසින් ආනයන, අපනයන කටයුතුවලදී නිෂ්පාදන නිවැරදිව හඳුනා ගැනීම සඳහා HS අංකය හඳුන්වා දී ඇත. මෙම HS අංකය හඳුන්වා දී ඇත්තේ බදු හඳුනා ගැනීම සඳහාය. HS අංකය අංක හයකින් සමන්විත වන අතර, පළමු අංක දෙක Chapter ලෙසද, දෙවැනි අංක දෙක Heading ලෙසද, අවසාන අංක දෙක Sub heading ලෙසද හඳුන්වයි. 01 සිට 99 දක්වා Chapter වර්ග අනූ නවයක් ඇත. උදාහරණයක් ලෙස 090411 යන HS ගතහොත් එහි 09 යනු කුළුබඩු හඳුන්වන අංකයයි. 04 යනු ගම්මිරිස් සඳහා ඇති HS අංකය ලෙස සිතමු. 11 යනු ගම්මිරිස් ඇට හඳුන්වන HS අංකය ලෙස සිතමු. එවිට සම්පූර්ණ HS අංකය දෙස නිරීක්ෂණය කළ විට අපනයන පාර්සලයේ ඇති නිෂ්පාදනය කුමක්ද යන්න පැහැදිලි කර ගත හැකිය. මීට අමතරව විවිධ රටවල රේගු විසින් තවත් අංක දෙකක් හෝ හතරක් අගට එකතු කරන අවස්ථාද ඇත. මෙම HS අංකය ශ්‍රී ලංකා රේගුවේ වෙබ්අඩවිය හරහා ඔබට ලබාගත හැකිය. අපනයනකරු විසින් ගැණුම්කරුට යවන Performa invoice හි මෙම HS අංකය පැහැදිලිව සඳහන් කළ යුතුය.
අපනයනය සඳහා මුදල් ලබාගන්නා ආකාරය
මෙහිදී ගෙවීම් කිරීමේ ක්‍රමය තීරණය වන්නේ ගැණුම්කරු හා විකුණුම්කරු අතර පවත්වා ගන්නා අවබෝධය අනුවය. විදේශ වෙළෙඳාම් හිදී ගෙවීම් ක්‍රම කිහිපයක් ඇත.
අපනයනය ආරම්භ කිරීමට පෙර අපනයනකරු විසින් විදේශ මුදල් ගෙන්වා ගත හැකි ගිණුමක් විවෘත කරගත යුතුය. සාමාන්‍යයෙන් අන්තර්ජාතික වෙළෙඳාමේදී ලොව විශ්වාසවන්තව මුදල් ලබාගැනීමේ ක්‍රමය වන්නේ ණයවර ලිපි (L/C – letter of Credit) වන අතර, එසේ නොමැති නම් ගෙවීමට/ පිළිගැනීමට ලියවිලි ක්‍රමය (exporting on D/P Terms) තුළින්ද විශ්වාසවන්ත ලෙස මුදල් ලබාගැනීමට හැකි වේ.
රේගු ක්‍රියාවලිය
රේගු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා අපනයන සටහන්කරය පිරවිය යුතුය.
අපනයන සටහන්කරය (Custom Declaration from) පිරවීම සඳහා අවශ්‍ය ලේඛන
ගුවන් භාණ්ඩ සඳහා එක් පිටපතක්
රේගු බැඳුම්කර ගුදම් සඳහා එක් පිටපතක්
අනෙකුත් ලියකියවිලි ලෙස වාණිජ ඉන්වොයිසිය, කැප්ටන් පිටපත, බලපත්‍ර / නිර්දේශ, ඇසුරුම් ලේඛනය අවශ්‍ය වේ.
රේගු විභාගය
ඉන් අනතුරුව නිෂ්පාදන පරික්ෂාව රේගුව විසින් සිදුකරනු ලබයි. ඇතැම් නිෂ්පාදන කර්මාන්ත ශාලා තුළද, ඇතැම් භාණ්ඩ වරාය තුළද එසේ නොමැති නම් මධ්‍යම නැව් බඩු අංගණය තුළද පරික්ෂාව සිදුකරයි. අපනයන සටහන්කරය පුරවා එය ශ්‍රී ලංකා රේගුව වෙත බාර දුන් පසුව ඔවුන් එහි මුද්‍රාවක් තබමින් භාණ්ඩ පරික්ෂා කරනු ලබන ස්ථානය සඳහන් කරයි.
වරාය ක්‍රියාපටිපාටිය
භාණ්ඩ යැවීමේ සටහන් පත්‍රය, නාවික සටහන් පත්‍රය යන ලියකියවිලි අවශ්‍ය වන අතර, ගොඩබෑමේ හා භාරදීමේ ගාස්තු, නැව්ගත කිරීමේ ගාස්තු, බැඳුම්කර / අන්තරාල ගුදම් ගාස්තු, දොඹකර ගාස්තු, බදු ගාස්තු ගෙවිය යුතු වේ.
අපනයනය සඳහා අවශ්‍ය සහතික
ආනයනකරු විසින් රට රටවල පවත්වන නීතීන්ට අනුව ලියාපදිංචි වී සිටිය යුතු අතර, ඔවුන්ට තමන්ගේ රටේ නීතියට අනුව ආනයන කිරීමේ බලපත්‍රයක් තිබිය යුතුය. ආනයනකරු හරහා අදාළ රටේ රේගු නිර්ණායක ලබාගැනීමට අවශ්‍ය වේ. ආනයනකරුගෙන් ඔහුගේ රටේ වෙළෙඳ පොළ තුළ අපනයන භාණ්ඩ අලෙවි කිරීම සඳහා අවශ්‍ය වන නිර්ණායක පිළිබඳ විස්තර ලබාගෙන, ඒවා සූදානම් කරගත යුතු වේ. එම නිර්ණායක රටින් රටට වෙනස් වේ.
ප්රභවස්ත සහතික
මෙය වාණිජ දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතුය. (GSP + තීරු බදු සහන ලබාගැනීම සඳහා). ලංකාව සමග වෙළෙඳ ගිවිසුම් සහිත බදු සහන හිමි නිෂ්පාදනයක් අපනයනයේදී ප්රභවස්ත සහතිකය අවශ්‍ය වූ විට වෙළෙඳ දෙපාර්තමේන්තුවෙන් ලබාගැනීම අනිවාර්ය වේ. එමෙන්ම බදු සහන හැර වෙනත් හේතූන් සඳහා මෙම සහතිකය ගැණුම්කරු විසින් ඉල්ලා සිටින විට වාණිජ මණ්ඩලයෙන් ලබාගත හැක.
තත්ත්ව සහතික
පරීක්ෂණ වාර්තා සහ රස පරීක්ෂක වාර්තා
කෘෂිකාර්මික නිෂ්පාදන නියැදි අපනයනය සඳහා මෙම වාර්තා අවශ්‍ය වේ. මෙම වාර්තා වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන්, කාර්මික තාක්ෂණ ආයතනයෙන්, රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ වෙනත් රසායනාගාර තුළින් අදාළ නිෂ්පාදනයන්ට අදාළ රස පරීක්ෂක වාර්තා ලබගත හැක.
අපනයන සඳහා අවශ්‍ය නැව්ගත කිරීමේ ලියකියවිලි
Commercial Invoice - අපනයනකරු විසින් සැකසිය යුතුය.
Packing List - අපනයනකරු විසින් සැකසිය යුතුය.
Bill of Lading - නැව් භාර සමාගම සකසයි (නැවේ කපිතාන් විසින් අදාළ නිෂ්පාදන පාර්සලය නැවට බාරගත් බවට දෙන සහතිකය)
Airway Bill - ගුවන් නියෝජිත සකසයි. (ගුවන් යානය විසින් අදාළ නිෂ්පාදන පාර්සලය අපනයනයට බාරගත් බවට දෙන සහතිකය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd