එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පසුගිය කාලයේ වැඩිපුර කතාබහට ලක්වූයේ වංචා, දූෂණ පිළිබඳ නීතිය ක්‍රියාත්මක නොකිරීම සහ එජාප නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව පුන පුනා පැවසීම නිසාය. එම කරුණු කාරණා සම්බන්ධව සහ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව ඔහු සමග කළ සංවාද සටහනකි මේ.
මේ දිනවල දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් ඔබේ අදහස කෙබඳුද?
මේ රටේ ජනතාව අද මොකද ඉදිරියට කරන්නෙ කියන්නෙ කියන එක ගැන විශ්වාසයක් නැතිව ඉන්නෙ. මේ යහපාලන ආණ්ඩුව ගත්තම ආර්ථිකයට සෙතක් වෙලා නැහැ. ජන්ද ක්‍රමය වෙනස් කරපු එක, කොමිෂන් සභා පත් කරපු එක මේ ආණ්ඩුවෙන් වෙච්ච හොඳ දේවල් කිහිපයක්. නමුත් ඒක මත හැමදාම යන්න බැහැ. එවැනි තත්ත්වයක් අද රටේ පවතින්නේ.
සොරුන්ට දඬුවම් දෙනවා කියලා බලයට ආපු මේ රජය තවමත් ඒ සම්බන්ධව මන්දගාමී ප්‍රතිපත්තියක් නේද අනුගමනය කරන්නේ?
සොරුන්ට දඬුවම් දෙනවා කියලා ආවට අන්තිමට මොකද වුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේම් එකක් ගැහුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදන්න. එතකොට ඒ අයත් ෆයිල් පෙන්න පෙන්න මේවා යටපත් කළා. එහෙම කර කර ඉන්නකොට අවුරුදු තුනහමාරක් ගතවෙලා තියෙනවා. ඒකෙන් තමයි හොරු අල්ලගන්න බැරි වුණේ. මම අපරාධ සම්බන්ධව වසර 29ක් කටයුතු කරන නීතිඥවරයෙක්. මම දන්න නීතිය අනුව මාස 06න් ඔය හොරු ටික අල්ලලා උසාවියට දාන්න තිබුණා. ඒත් ඒවා කරන්න යන්නෙ නැහැ. මේ රජයට හොරු අල්ලන්න උවමනාවක් නැහැ. මේ අයත් හොරකම්වලට උදවු කළා. රනිල් මහින්ද එකට වැඩ කළේ අයියයි මල්ලියි වගේ. ඉතින් මේ තියෙන්නෙ හොරු සුරකින ආණ්ඩුවක්.
ඔබ පසුගියදා ප්‍රකාශ කළා අර්ජුන් මහේන්ද්‍රන්ට ලංකාවට එන්න එපා යැයි අගමැතිවරයා ප්‍රකාශ කර ඇති බව?
අර්ජුන් මහේන්ද්‍රන්ට අද බැහැ වැලිකඩ ගිහින් ඉන්න, මොකද වැලිකඩ දවස් දෙකක් හිටියොත් සම්පූර්ණ විස්තරය කියනවා. දැන් මේ අර්ජුන් මහේන්ද්‍රන් 2002 ආණ්ඩුව කාලෙ හිටියේ ආයෝජන මණ්ඩලයේ සභාපති හැටියට. ඒකෙත් මුදල් සහ දේපළ නාස්ති කළා. ඒ වගේ තක්කඩියෙක් මහ බැංකුවට පත් කළේ වෙන මිනිස්සු නැතුවද මේ රටේ. රනිල් වික්‍රමසිංහ තමයි මෙයාව දිගටම ආරක්ෂා කළේ. එජාප නීතිඥවරු තිදෙනෙක් දාලා කොමිසමක් පත් කළා මේක ගැන හොයන්න, ඒකෙදි කිව්වා කිසිම හොරකමක් වෙලා නෑ කියලා. එකත් වික්‍රමසිංහ මහත්තයගේ වැඩක්. දෙවැනි වංචාවෙත් සම්පූර්ණ වටපිටාව හැදුවෙ රනිල් මහත්තයා. ඒ නිසා එතුමා මේකට වගකියන්න ඕන වගේම අර්ජුන්ටත් ලංකාවට එන්න එපා කියලා කිව්වා.
අග්‍රාමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදුකළ බව ඔබ වගකීමෙන්ද කියන්නේ?
ඔව්, මම වගකීමෙන් කියන්නේ රනිල් මහත්තයා අර්ජුන් මහේන්ද්‍රන්ට ලංකාවට එන්න එපා කියලා තියෙනවා. එය මට කියපු කෙනා හෙළි කරන්න මට බැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එහෙම කියලා තියෙනවා.
ජනාධිපතිවරයා මේ සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට ඒකාබද්ධයෙන් චෝදනා නැගෙනවා?
ජනාධිපතිතුමා කතා කරනවා විතරයි වැඩ නැහැ. ජනාධිපතිතුමා හොරු අල්ලන්න ඕන කියනවා, කසේ පාවිච්චි කරන්න ඕන කියනවා. ඒත් පාවිච්චි කරපු කසේකුත් නෑ, අල්ලපු හොරෙකුත් නැහැ. එහෙම කරන්න බැහැ එතුමාට. මොකද මේ ජනාධිපතිවරයා පත් කරන්න අපි විශාල කැපවීම් කළා. නමුත් අපි අද පසුතැවිලි වෙනවා මේ වගේ ආණ්ඩුවක් පත් කරගත්ත එකට. ජනාධිපතිවරයා හරි නම් අගමැතිවරයා එල්ලන්න ඕන. මොකද එතුමා කියනවනේ වංචා දූෂණ කරපු අය එල්ලන්න ඕන කියලා.
මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වරට ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් විය හැකිද, නොහැකිද යන්න පිළිබඳ විවිධ මත ඉදිරිපත් වෙනවා. නීතිඥවරයෙකු විදියට මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කෙබඳුද?
රටේ නීතියේ හැටියට එතුමාට තුන්වැනි සැරේටත් තරග කරන්න බැහැ. ඒකනේ 19 වැනි සංශෝධනයෙන් සිදුකළේ. නමුත් එතුමාට යම්කිසි ආශාවක් ඇති ආයේ එන්න. හැබැයි එතුමා දැනගන්න ඕන 18 වැනි සංශෝධනයෙන් ජීවිත කාලෙම ජනාධිපති වෙන්න හදලා රටේ ජනතාව පෙළගැහිලා එතුමාව අයින් කළා කියලා. ඒ වගේම එතුමාගේ නායකත්වයෙන් සිටින පළාත් පාලන ආයතනවල නියෝජිතයෝ දැන් කසිප්පු පෙරනවා. ඒ වගේ තත්ත්වයක එතුමාව යළි පත් කරගැනීම භයංකාරයි.
එජාප ප්රතිසංවිධාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත්ද?
එජාපයේ එකම ප්රතිසංස්කරණයක් තමයි සිදුවෙන්න ඕන. ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා අයින් වෙන එක. ඒක වෙන්නෙ නෑනේ. එහෙනම් පක්ෂයේ ප්රතිසංස්කරණයක් නැහැ. දැන් බලන්න රනිල් මහත්තයා ඉස්සෙල්ලා කිව්වෙ 2025 වෙනකල් ඉන්නවා කියලා. නමුත් දැන් ඒක 2030 දක්වා වැඩි කරගෙන තියෙනවා. ඒ කියන්නෙ තව අවුරුදු 12ක් එතුමා පක්ෂයේ නායකයා. 46෴ක ජන්ද ප්‍රතිශතයක් තිබුණ එජාපය අද වෙනකොට 28෴ දක්වා අඩු කරගෙන තියෙනවා. මේකෙන් පෙන්වන්නේ එජාපය දිනෙන් දින හේදී යන එකයි.
එජාප නායකත්වයට සුදුස්සා කවුරු කියලද ඔබ යෝජනා කරන්නේ?
මගේ අදහසේ හැටියට කිහිප දෙනෙක් ඉන්නවා. සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, චම්පික රණවක වගේ අය ඉන්නවා. සරත් ෆොන්සේකත් මේකට ඇහැ ගහගෙන ඉන්නවා. මං හිතන්නෑ එතුමා සුදුසුයි කියලා. පසුගියදා සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා ලක්ෂයක් කොළඹට ගේන්නම් කියලා. මම පක්ෂයේ නායකයා නම් කවුරුහරි කිව්වොත් ලක්ෂයක් කොළඹට ගේනවා කියලා මම කියනවා හෙට ගෙන්න කියලා. එච්චර ප්‍රමාණයක් ගෙනත් ගෝල්ෆේස් එක පුරවන්න පුළුවන් නම් අන්න ඒක තමයි එජාපයෙන් කෙරෙන්න ඕන. එවැනි නායකයෝ තමයි ඉන්න ඕන.
ඔබ නොකියා කියන්නේ සජිත් ප්‍රේමදාස එජාප නායකත්වයට සුදුසුයි කියලා නේද?
ඔබ වැරදියට තේරුම් අරගෙන නේ. මම නම් තුනක් ප්‍රකාශ කළා. ඒ අතර සජිත් මහත්තයත් ඉන්නවා. මම කියන්නේ පක්ෂයේ නායකත්වයට කිව්වම මම ලක්ෂයක් කොළඹට ගෙනත් පෙන්වන්නම් කියලා, ඒවට තැනක් දෙන්නෙ නැති එක ගැනයි. රනිල් මහත්තයා තරුණ නායකත්වයට තැන දෙන්නෙ නැහැ. මේ නායකත්වය නිසා රොනී ද මැල්ලා, මහින්ද යාපාලා, ලක්ෂමන් යාපාලා, මහින්ද විජේසේකරලා වගේ පතාක යෝධයෝ පක්ෂය හැර ගිහින් තියෙනවා.
මේ ආණ්ඩුව යටතේ කටයුතු කළ ගල්අඟුරු සමාගමේ සහ ඛනිජ වැලි සමාගමේ සභාපති ධුරවලින් ඔබ ඉවත් කළේ ඇයි?
ගල්අඟුරු සමාගමේ සොරකම් නතර කරන්න මං කටයුතු කළාම මාව එම සභාපති ධුරයෙන් ඇමතිවරයා ඉවත් කළා. ඒ සම්බන්ධව ඉහළ උසාවියේ තීන්දුවක් දීලා තියෙනවා හොරකම නතර කරන්න මේ සභාපති කටයුතු කරලා තියෙනවා කියලා. ඒකත් නොතකා මාව අයින් කළා. දැන් වෙන කටිටිය දාලා ඒ හොරකම දිගටම කරගෙන යනවා. ඊට පස්සෙ මාව ඛනිජ වැලි එකට දැම්මා. එතනත් වංචා, දූෂණ හෙළි කරපු නිසා මාව එතැනිනුත් ඉවත් කළා. ඒ නිසා මම තීන්දුවක් ගත්තා මේ ආණ්ඩුවේ කිසිම තනතුරක් භාරගන්නෙ නැහැ කියලා. මොකද අපට හොරකම් කරලවත්, එයට සහයෝගය දීලවත් පුරුදු නැති නිසා.
එක්සත් ජාතික නිදහස් පෙරමුණ විදියට ඉදිරි දේශපාලන වැඩ කටයුතු පිළිබඳ සඳහන් කළොත්?
අපි පක්ෂයක් විදියට ඉල්ලන්නේ තීරක බලය, මේ රටේ දේශපාලනයට අලුත් පක්ෂයක් හැටියට අතිශයෝක්තියෙන් අපට කතා කරන්න බැහැ බලය ඇල්ලීම සම්බන්ධව. ජනතාවට කියන්නෙ හැමදාම එකම දේ කරලා වෙනත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. අපි කියන්නෙ තීරක බලය අපට දෙන්න. මීට කලින් තීරක බලය දුන්නේ හකීම්ලට, බදුර්දීන්ලට, තොන්ඩමන්ලට. ඒ අය ප්‍රකෝටිපතියෝ කළා. ඒත් ඒ අය ගිහින් ජනතාවට වැඩ කළේ නැහැ. ඒ නිසා අපට තීරක බලය දෙනවා නම් මේ රට නිසි මාර්ගයට ගෙනියන්න කටයුතු කරනවා කියලා පැහැදිලිව කියන්න ඕන.