සංචාරක ක්ෂේත්රයේ ඉහළ ප්‍රමිතීන්ට අනුගත වෙමින් විනාශ වී ගිය පරිසරයක්, පරිසර හිතකාමී ලෙස සුඛෝපභෝගී නැවුම් අත්දැකීමක් බවට පත්කෙරෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන, කබානා හෝටලය නුදුරේදීම විවෘත කිරීමට නියමිතය. ඒ පරිසර හිතකාමී දැක්මක් සහිත පුළුල් ව්‍යාපාරික ඥානයකින් හෙබි ශ්‍රී ලාංකිකයෙකුගේ සිහින මල්ළඵල ගන්වමිනි.
ඔහු නමින් කැළුම් පෙරේරාය. මැටි කර්මාන්තයේ වසර ගණනක හසල අත්දැකීම් ඇති කැළුම් පෙරේරා මීගමුව, බෝලගල ප්‍රෙද්ශයේ මැටි කපා අත්හල අක්කර 15ක භූමි ප්‍රදේශයක් මිලට ගනු ලබන්නේ හුදෙක් සිය ව්‍යාපාරික පරමාර්ථය ඉක්ම වූ වගකීමක්ද ඔහු වෙත පවරා ගනිමිනි.
වාණිජමය පරමාර්ථ ඉටු වූ පසු දැඩි පාරිසරික හානියක් ඉතිරි කරමින් දෑත් පිසදමන අප්‍රමාණ ව්‍යාපාරිකයන්ට ආදර්ශයක් වෙමින් අනතුරුව ඔහු විසින් %බෝලගල ෆ්ලෝටින් රිසෝට්^ මෙලෙස නිරිමාණය කර තිබේ.
පිහිටීම
කොළඹ සිට කිලෝ මීටර 15ක් පමණ දුරින් මීගමුව, මඩම්පැල්ල, බෝලගල ප්‍රදේශයේ පිහිටා ඇත. හෝටලය පිහිටි අක්කර 15ක භූමි ප්‍රදේශයම නියමිත තාක්ෂණික ක්‍රමවේදයන්ට යටත්ව නැවත ප්‍රතිස්ථාපනය කළ මැටි කැපීම සඳහා භාවිත කළ ප්රදේශයකි. අක්කර 15න් අක්කර 13ක ප්‍රදේශයක් ජල ප්‍රදේශයක් ලෙස නිර්මාණය කර ඇති අතර, එහි කබානා නිර්මාණය කර තිබේ.
පාවෙන කබානා
නිර්මාණිත සම්පූර්ණ කබානා සංඛ්‍යාව 50කි. ඉන් 10ක් නිදහසේ පාවෙන අතර ඒවා %ස්වීට්^ වර්ගයේ ඒවාය. නවාතැන් ගන්නාට අවශ්‍ය පරිදි ජල ප්‍රදේශයේ ඒ මේ අත රැගෙන යා හැකි %ස්වීට්^ කබානා, ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ පැය 24 පුරා නිරීක්ෂණය කෙරේ.
අවට පරිසරය
පූර්ණ වශයෙන් ඇග්‍රෝ ටුවරිසම් අත්දැකීමක් ලබාදෙමින් මෙහි හෝටල් පරිසරය නිර්මාණිතය. එහිදී ශ්‍රී ලංකාවට ආවේණික ගස්වැල්, ආයුර්වේදීය බෙහෙත් පැළෑටි මෙන්ම එළවළු, පලතුරු සහ විසිතුරු මල් වර්ගයන්ද නැරඹිය හැකිය. ජල ප්‍රදේශයේ වැඩී ඇති ඵල සහිත ශාක හේතුවෙන් නොයෙක් වර්ගයන්ට අයත් පක්ෂීන්ද නැරඹීමේ අවස්ථාව සංචාරකයන්ට උදා වේ. මීට අමතරව ජලාශයේ වගා කර ඇති ඉස්සන් හා මිරිදිය මත්ස්‍යයන්ද වෙයි.
ආහාරපාන
මෙහිදී හඳුන්වාදෙන නවතම සංකල්පයක් වනුයේ කාබනික ගොවිතැන් සංකල්පයයි. මීගමුව සංචාරක පුරවරයේ ප්‍රථම වරට හඳුන්වා දෙන මෙම සංකල්පයේදී ශ්‍රී ලාංකේය ගොවිතැනේ සැබෑ අත්දැකීමක් විඳ ගැනීමට හැකිය. හෝටලයේ ආහාරපාන සැකසීම සිදු කෙරෙනුයේ එහිම වගා කර ඇති භෝගවලිනි. ජලාශයේ බැම්ම දෙසට වන්නට වගා කර ඇති කාබනික භෝග නෙළා ගැනීම සංචාරකයාගේ සිතැඟි ලෙස ඔහුටම සිදු කරගත හැකිය. ඒ සඳහා විදුලි මෝටර් රථ යොදවා තිබේ. අවශ්‍ය අයෙකුට ජලාශයේ වගා කර ඇති ඉස්සන් හා මත්ස්‍යයන්ද බිලී බා ආහාරයට ගතහැක.
එසේම තමන්ට අවශ්‍ය ආකාරයට කබානා තුළදී ආහාර පිළියෙල කිරීමේ හැකියාව සංචාරකයාට හිමිවන අතර, නොඑසේ නම් තමන් විසින් නෙළා ගන්නා ලද භෝග හෝටලය සතු පාවෙන අවන්හලට ලබාදී සූපවේදියෙකු අතින් පිළියෙල කරවා ගත හැකිය. කෘත්‍රිම එහෙත් ස්වභාවිකත්වය රැඳි සුන්දර දිය ඇල්ලක ඇත්දැකීම විඳ ගනිමින් සෞඛ්‍ය සම්පන්න බවින් පිරිපුන් ආහාර වේලක් මෙහිදී භුක්ති විඳීමට ඔවුනට පුළුවන. (කඳුකරයේ වැවෙන ඇතැම් භෝගයන්ද මෙහි වගා කිරීම සඳහා වූ අත්හදා බැලීම් මේ වන විට සිදු කෙරෙමින් පවතී)
නාන තටාකය
මෙහි ප්‍රධාන නාන තටාකය අඩි 30ක් පළල හා අඩි 45ක් දිගැතිය. අමතරව කුඩා දරුවන් වෙනුවෙන්ද තවත් නාන තටාකයකි. දිය මත පාවෙන නාන කටාක වන මේවා සම්පූර්ණයෙන්ම ස්වාභාවික පරිසරයට මුහුණලා පිහිටා තිබේ.
ස්පා
මෙය බෝලගල ෆ්ලෝටින් රිසෝට් හි විවේක සුවය විඳින්නෙකුට ලැබෙන සුවිශේෂී අත්දැකීමක් වනු ඇත. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට %අන්ඩර් වෝටර් ස්පා^ මෙහි හඳුන්වාදී තිබීම හේතුවෙනි. මනා පුහුණුව ලද චිකිත්සකයන් වෙතින් නියමිත ප්‍රමිතීන්ට අනුකූල වූ සම්බාහනයක් එහිදී ලබාගත හැකිය. ජලයෙන් අඩි කිහිපයක් යට පිහිටි සම්බාහන මධ්‍යස්ථානයේ ඝන වීදුරුවෙන් පිටත ජලාශයේ පිහිනා යන මත්ස්‍යයන් නැරඹීමේ අවස්ථාවද සම්බාහනය සිදු කෙරෙන අතරතුරදී සංචාරකයන්ට හිමිවේ.
ක්‍රීඩා හා ව්‍යායාම් අවස්ථා
මීගමුව මුහුදේ සිට කිලෝමීටර් 15ක් දුරින් පිහිටා තිබුණද කෘත්‍රිම මුහුදක ජල ක්‍රීඩාවලින් සපිරි වෙනස්ම අත්දැකීමක් මෙහිදී විඳගත හැක. හෝටලයට පැමිණෙන සංචාරකයන්ගේ ශරීර යෝග්‍යතාව මැනවින් පවත්වාගෙන යෑම උදෙසා ඉදිකර ඇති නවීන අංගෝපාංගවලින් සමන්විත වූ කායවර්ධන මධ්‍යස්ථානයෙහිදී භාවනා ක්‍රම ආශ්රිත ව්‍යායාම් සඳහා වූ උපදේශකත්වයද ලබාගැනීමේ හැකියාව සලසා දී තිබේ.
හෙලිකොප්ටර නැවැත්වීමේ පහසුකම්
ස්වාභාවික පරිසරයට නිරාවරණය වූ ටෙනිස් පිටියකි. එහි ඇති සුවිශේෂත්වය වනුයේ එය අවස්ථානුකූලව හෙලිකොප්ටර් බැස්සවිය හැකි පිටියක් බවට පත්කර ගැනීමේ හැකියාවයි.
වෙනත්
ශ්‍රී ලංකාව තුළ මින් පෙර අත්නොවිඳි ආකාරයේ බාර් සහ කැරොකි අත්දැකීම් ලැබිය හැකි මෙම පරිශ්‍රය නවීන සංගීත පද්ධතිවලින් සහ විශාල ඉඩකඩක් ඇති රථ ගාලකින්ද සමන්විත වෙයි.
අපද්‍රව්‍ය කළමනාකරණය
කබානා ඇතුළු භූමි පරිශ්‍රයෙන් පිටකෙරෙන අපජලය හා අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ජර්මනියෙන් ආනයනිත විශේෂ යන්ත්‍ර හරහා සිදු කෙරෙන අතර, එය ක්ෂේත්රයේ විශේෂඥ උපදෙස් මත සිදු කෙරේ. පිරිසුදු කෙරෙන ජලය, ජලාශයේ වගා කර ඇති වගාවන් වෙත සැපයේ.
මෙම සියල්ල අතරේ හෝටලය හේතුවෙන් එය පිහිටි බෝලගල ගම්මානය උදෙසා බිහිවන ඍජු රැකියා ප්‍රමාණය 100කි. එනම්, මෙහි නිර්මාතෘ කැළුම් පෙරේරා මහතාගේ මූලික අරමුණ සිය හෝටලයේ රැකියා අවස්ථා ගම්වැසියන්ට ලබා දීමයි. එසේම ගම්මානයට ආවේණික රැකියා මෙන්ම ඇවතුම් පැවතුම්ද, ශ්‍රී ලාංකික සංස්කෘතික අංගද සිය හෝටල් පරිශ්‍රය ආශ්‍රිතව සිදු කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි.
සුවිශේෂී කරුණක් නම් ඔහු සිය හෝටල් පරිශ්‍රය සඳහා පානීය ජලය ලබා ගන්නේ ගම්වාසීන්ගේ පානීය ජල අවශ්‍යතාව සඳහා බෝලගල ගම්මානයේ ඔහු විසින්ම ඉදි කරන ලද ජල ටැංකියකිනි.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ මේ වන විට ඉදි කිරීම් නිම වෙමින් පවතින %බෝලගල ෆ්ලෝටින් රිසෝට්^, සුපිරි තරු හතරේ හෝටලයක් ලෙස නුදුරේදීම සංචාරකයන් උදෙසා විවෘත වනු ඇත. සිය ව්‍යාපාරික ඥානය පරිසර හිතකාමී ලෙස දියත් කරමින් තම රටේ අභිවෘද්ධිය උදෙසා කැපකළ ශ්‍රී ලාංකිකයෙකුගේ සිහින නවමු ආරකින් එහිදී ලොවට විවෘත වනු ඇත.
කැළුම් පෙරේරා මහතා නිර්මාතෘ - බෝලගල ෆ්ලෝටින් රිසෝට්
මම ඉගෙන ගත්තේ වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ. මගේ තාත්තා මිය යනවිට මට වයස අවුරැදු 24ක් විතර වෙනවා. ඒ වනවිටත් තාත්තා මාව ව්‍යාපාරවලට යොමු කරලයි තිබුණේ. අම්මයි, නංගියි, අසනීපෙන් ඉන්න අයියයි රැක බලාගෙන ව්‍යාපාර කටයුතුවල වගකීම ගන්න මට සිදු වුණා. මම මගේ නිවස වගේම අයියාටත්, නංගිටත් නිවෙස් 02ක් ඉදි කළේ මේ වගේම මැටි කැපූ වලවල් සහිත ඉඩමක් මිලට අරගෙන ඒවා නැවත යථා තත්ත්වයට සකස් කරලායි. මම ගේ හදනකොට හැමෝම හිනාවුණා මූට පිස්සු. ලක්ෂ 250ක ගෙයක් හදනවා මැටි වළක, හොඳ ඉඩමක් ගන්නේ නැතිව කියලා.
හෝටලය හදන්න අවසර ගන්න අවශ්‍ය ආයතනවලට මම ගිහින් පාවෙන කබානා ගැනකතා කළාම ඒ හැමෝම මට හිනා වුණා, සුරංගනා කතා කියනවා කියලා. ඊට පස්සේ නෑ. මට පුළුවන් කියලා පෙන්නන්න ආකෘතියක් හදලා ඒ අයට පෙන්නන්න මට සිද්ධ වුණා. මම හදන්න හිටියේ කබානා 25යි. දැන් මගේ සාර්ථකත්වය මත කබානා 50ක් හදන්න කියලා අදාළ ආයතන මට අනුමැතිය දුන්නා. ඒ අය කියනවා ඩොලර් 450ට අඩුවෙන් කබානා ලබාදෙන්න එපා කියලා.
මුලින්ම මම පෞද්ගලික බැංකුවකින් ඩොලර් ලක්ෂ 6.5ක ණයක් ගත්තා. ඒක ලංකාවේ මුදලින් මිලියන 75ක් පමණ වනවා. කාලයක් ගනුදෙනු කිරීමේ විශ්වාසය මත ඒ අය මට ඒක ලබා දුන්නා. ඉදිරියටත් අවශ්‍ය වුණොත් මට ණය මුදල් ලබාදෙන්න ඒ අය කැමතියි. ඊට අමතරව රජය විසින් ලබා දෙන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රතිපාදන සඳහාත් මම අයදුම් කර තිබෙනවා.
මෙහි සැලැස්ම මගේ අදහසට අනුව නිර්මාණය වුනේ. මම බලාපොරොත්තු වෙනවා හෝටලයෙන් වගා කරන කාබනික භෝග අපනයනය කරන්න. මම හෝටලය කරගෙන යද්දී ඊට එහා පැත්තෙන් තව කෙනෙක් චයිනීස් එකක් දැම්මත් මම කැමතියි. මොකද මගේ කෑම මිලෙන් වැඩිනම් නවාතැන් ගන්න කෙනෙක්ට එතනින් කෑම කන්න පුළුවන්. මට අවශ්‍ය ගමේ මිනිස්සුත් එක්ක බද්ධ වෙලා මේ ගමන යන්නයි.
නිදර්ශනී වික්‍රමසිංහ