Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 03 වන සිකුරාදා
2025 ජනවාරි මස 03 වන සිකුරාදා
‘මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ අගමැතිවරයා සම්බන්ධව විශ්වාසය භංගත්වයට පත්වීම නිසයි. අගමැති ගැන විශ්වාසයක් නොමැති වීම බරපතළ කරුණක්. මුදල් අමාත්‍යාංශය යටතේ තිබුණු මධ්‍යම බැංකුව අගමැතිවරයා යටතට පත් කළා. එම ආයතනයට සිංගප්පූරු පුරවැසියෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් පත් කළා. මේ හේතුවෙන් මූල්‍ය ක්‍රමය ගැන ඇති ජනතා විශ්වාසය උල්ලංඝනය වුණා. අගමැතිවරයා මීට පෙර පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබෙනවා ඔහු විසින් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති ධුරයට පත් කළ බව.’
‘දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා බොහොම අමාරුවෙන් යාළුවට විරුද්ධව කතා කළා. විවාදය පටන් ගනිද්දිම ඒ අයගේ හුළං බැහැලා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ආදර්ශයක් ලබාදෙමින් කෝප් කමිටුවේ සභාපති ධුරයට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත් කළා. මීට පෙර අගමැති ධුරයේ සිටියදීත් ඒම ආදර්ශය ලබාදී තිබෙනවා. කෝප් කමිටු වාර්තාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සඳහන් වෙන්නෙ නෑ. එහෙම නම් කොහොමද විශ්වාසභංග යෝජනා ගේන්නෙ. බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ කිසිම තැනක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සඳහන් වෙන්නෑ. ඒ නිසා මේ විශ්වාසභංගය පුස්සක්. අගමැතිතුමා ජනාධිපති කොමිසමට ස්වේච්ඡාවෙන් සාක්ෂි දෙන්න ගියා. කොහෙද එතුමා වැරදි කරලා තියෙන්නෙ. රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් ප්‍රශ්න 48කට උත්තර දී තිබෙනවා. පසුගිය රජය ඇමතිවරයෙක්ගෙන්වත් ප්‍රශ්න කළාද? ඒ නිසා අගමැතිවරයා ආදර්ශයක් ලබාදී තිබෙනවා. දැන් ඒකාබද්ධ විපක්ෂය ලෙවකකා ඉන්නෙ. දිගන සිද්ධිය ගැන විශ්වාසභංග යෝජනාවේ සඳහන් වෙනවා. දිගන සිද්ධියට පොහොට්ටුවේ මන්ත්‍රීවරු හයක් සම්බන්ධයි. ඒ අයට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු යටින් උදව් කළා.’
‘දූෂණය රට වෙළාගෙන තිබෙනවා. එය මුලිනුපුටා දැමිය යුතුයි. දේශපාලඥයන් දූෂණයේ මූලාශ්‍රයක් වෙලා. ඒ නිසා දූෂිතයන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.
ඉන් මෙහා කිසිම විසඳුමක් නැහැ. මහ බැංකු වංචාව සම්බන්ධයෙන් මේ වන විට දෙදෙනෙකු අත්අඩංගුවට අරන් තිබෙනවා. මොන බලවතා වැරැද්දක් කළත් දැඩි දඬුවම් ලබාදිය යුතුයි. නීතියේ ආධිපත්‍ය තනතුරු හමුවේ විචල්‍ය නොවිය යුතුයි.
රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවෙන් බැඳුම්කර වංචාවට වරදකරු ලෙස පොදු කරුණු දක්වා තිබෙනවා. අගමැතිවරයා බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට පෙන්වීමට එමගින් උත්සාහ දරා තිබෙනවා.
මෙය සකස්කර තිබෙන්නේ යම් දේශපාලන අරමුණක් සමාජගත කිරීම සඳහායි. විශ්වාසභංග යෝජනාව ලියා තියෙන්නේ දියාරු වචන යොදාගෙන. අගමැතිවරයාට විරුද්ධව එයින් නිශ්චිත චෝදනා එල්ල කර නැහැ.
අගමැතිවරයාට විරුද්ධව ඇයි දැන් මෙවැනි චෝදනා ගේන්නේ? ආණ්ඩුව බලයට පැමිණ වසර තුනක් ගතවෙනවා.
මෙම විශ්වාසභංගයේ කරුණු ඉදිරිපත් කර තියෙන්නේ ඉතා සරල ආකාරෙයන්. අගමැතිවරයා යම් පුද්ගලයෙකු මහ බැංකුවට පත් කළ බවත්, එම පුද්ගලයා අගමැතිවරයා පාවා දී තිබෙන බවත් එයින් දක්වා තිබෙනවා.
නමුත් අගමැතිවරයාට විරුද්ධව නිශ්චිත කරුණු මෙහි දක්වා නැහැ. අගමැතිවරයාට විරුද්ධව බැඳුම්කර වංචාව සම්බන්ධව කරුණු හොයාගන්න බැරිවෙලා බව පේනවා.
ඒ නිසා මෙම යෝජනාවේ විශ්වාසනීයත්වය නැතිවෙලා. බැඳුම්කර සිද්ධිය වසර තුනක් තිස්සේ කතා වෙනවා. ඇයි විශ්වාසභංගයක් ගේන්න මෙච්චර කල් ගියේ? මෙය අගමැතිවරයාට විරුද්ධව ගෙන එන යෝජනාවක් වශයෙන් සමස්ත ආණ්ඩුව පළවා හැරීම සඳහා ගෙන එන යෝජනාවක් බව පැහැදිලියි. ඒ නිසා මෙයට අපගේ සහාය ලබාදෙන්න බැහැ.’
‘අපිටත් තිබුණා අවුරුදු 10ම ආණ්ඩු පක්ෂයේ ගෝලබාලයන් දාගෙන යන්න. අපි ආවේ හොරකම් වංචා වළක්වන්න. මහින්ද රාජපක්ෂ මුදල් ඇමති කාලේ අතුරුදන් වූ ත්රිලියන ගණන් මුදල් ගැන මේ අය කතා කරන්නෙ නෑ. මේක ජනතාව නොමග යැවීමේ අසාර්ථක උත්සාහයක්. අපි බාරගත්තේ කැඩුණු පොඩි වුණු රටක්.
අපි පසුගිය වසර තුනේදී ලබාගත් ආර්ථික ජයග්‍රහණවලට නායකත්වය දුන්නේ අගමැතිතුමා බව කිවයුතුයි. පසුගිය අවුරුදු දෙකේදී ජීඑස්පී ප්ල්ස් සහනය ලබාගත්තා.
ඒ නිසා පසුගිය අවුරුද්දේදි මේ රටෙන් පිටරට යවන අංශයෙන් වාර්තාවක් තැබීමට හැකි වුණා. අධ්‍යාපනයට, නිපුණතා සංවර්ධනයට වැඩි මුදලක් යෙදවූවා.’
‘මේ විශ්වාසභංගය පිළිබඳ සාකච්ඡාව ඇරඹීමට පෙර සිටම ජනතා විමුක්ති පෙරමුණ ස්ථාවරය පෙන්ව දුන්නා. අපි කිව්වා ජනතාවගේ විශ්වාසය ආණ්ඩුව කෙෙරහි පලුදු වී තිබෙන බව. අපි කිව්වා විශ්වාසභංගයට සහාය දෙනවා කියලා. මේ විශ්වාසභංය ජූදාස්ලා තුන්දෙනෙක් පිළිබඳ කතාවක්.
රනිල් වික්‍රමසිංහ එතුමාගේ ජනවරම පාවා දී තිබෙන නිසා විශ්වාසය කඩ වී තිබෙනවා. 77 වගේ මේක යූඑන්පී ඡන්දවලින් පත්වූ ආණ්ඩුවක් නෙමෙයි. ඇලෝසියස් අධිරාජ්‍යයක් හදන්න ගිය එකෙන් පැහැදිලියි ආණ්ඩුවට දැක්වූ සහාය ගැන. රනිල් වික්‍රමසිංහ මේකෙන් පෞද්ගලිකව මුදල් ගත්තාට වඩා ඇලෝසියස්ලා උදව් කළා.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හොරුන් ආරක්ෂා කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගත්තා. යූඑන්පී තරුණ මන්ත්‍රීවරුන්ට දූෂණයෙන් තොරව ගමනක් යෑමට සිටියත් ඔවුන් පාවා දුන්නා.
මේ විශ්වාසභංගයේ තියෙන්නේ බාගයයි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයන් ආරක්ෂා කළා. මේ විශ්වාසභංගයට තව එකතුවෙන්න කරුණු තිබෙනවා.
ජනවරම පාවා දුන්නු නිසා මේ විශ්වාසභංගය ඔහුට හිමියි. අමු ජාතිවාදය වපුරන්න ඉඩ දීලා ජොලි කර කර සිටියා. දෙවැනි පාවා දීම කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා.
මේ විශ්වාසභංගයේ පළමු අත්සන කළේ ජනාධිපතිවරයා. විශ්වාසභංගයේ අත්සන් 56ක් තිබෙනවා. නිමල් සිරිපාල අගමැති කරන්න බැරි නිසා විශ්වාසභංගය ආවා. මෛත්‍රීපාල කණ්ඩායමේ ඉන්නවා ගෝඨාභයවාදීන් පිරිසක්. නඩු පමා කරගන්න පිරිසක් එම කණ්ඩායමේ ඉන්නවා. මේ විශ්වාසභංගයේදී මේ රටේ විශාලම පාවා දීම කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා.
අපි මෛත්‍රීපාල සිරිසේනට දේශපාලනික වශයෙන් බයත් නෑ, ණයත් නෑ. රනිල්ට වඩා මෛත්‍රීපාල සිරිසේන මහතා හොරුන් ආරක්ෂා කළා. බොන්ඩ් කොමිෂන් වාර්තාව එනකම් බරපතළ වංචා, දූෂණ වාර්තා 34 එළියට දැම්මේ නැහැ. ජනාධිපතිවරයා ජනවරමට පයින් ගහලා තිබෙනවා.
එතුමා බලයට පත් කළ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් පාවා දී තිබෙනවා. මේ විශ්වාසභංගයෙන් රනිල් වික්‍රමසිංහ පැරදුනොත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් පරාදයි. තුන්වැනියා මහින්ද රාජපක්ෂ මහතා. මේ ආණ්ඩුව තබාගත යුතු නැහැ කියලා එතුමාලා කියනවා. නාවලපිටිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන්න දරන උත්සාහය මෙම විශ්වාසභංගය ජයග්‍රහණය කරන්න උත්සාහ කළේ නැහැ.
ලංකාවේ තියෙන ලොකුම ඩීල් එක තියෙන්නේ රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ අතරේ. මහන්සි වුණු කට්ටිය ගෝඨාභය කල්ලිය. ඒ අය එළියෙ බැණුම් අහනවා. මහින්ද රාජපක්ෂ මේ විශ්වාසභංගය ජයගන්න උත්සාහ කළේ නැහැ. බැසිල් රාජපක්ෂ විද්‍යාත්මකව දේශපාලනය කරන කෙනෙක්.
මෛත්‍රීපාල ළඟට රිංගපු හොරු සහ ගෝඨාභය කල්ලිය පමණයි මේකට මහන්සි වුණේ. මහින්ද රාජපක්ෂ මේකට මහන්සි වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ හොරු අල්ලන්න දෙන්නෑ. සමහර අය ලෑස්ති වෙනවා අපි හරහා කොළපාට හොරුන්ට ගස්සන්න. අපි විශ්වාසංභයට සහාය දෙනවා.’
‘එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ හිත් වේදනාවලට මෙවර විසඳුම් ලැබිලා තියෙනවා. එය විශ්වාසභංගයේ ජයග්‍රහණයක්. මම අග්‍රාමාත්‍යතුමාගේ හිතවතෙක්. කමිටු වාර්තාවේ යම් යම් ප්‍රශ්න තිබෙනවා. වැරදි වෙලා තිබෙනවා නම් දඬුවම් කළ යුතුයි. නමුත් එකහෙළාම අගමැතිවරයා හිර කිරීම කළයුතු නැහැ. මුස්ලිම් කොංග්‍රසය ගන්නා තීරණය ගැන මාධ්‍ය විවිධ වාර්තා පළ කර තිබුණා.
අපිට වෙනම මිනුම්දණ්ඩක් නැහැ. අපිටත් දර්ශනයක් තිබෙනවා. මෙය රජය ඉලක්ක කරගෙන ගෙනාපු විශ්වාසභංගයක්. රනිල් වික්‍රමසිංහ සංකේතයක් පමණයි. මහින්ද රාජපක්ෂ විශ්වාසභංගයට අත්සන් නොකිරීමෙන් ආතල්වලට එහා ගිය සිද්ධියක් වෙන්න පුළුවන්.
රාජපක්ෂ පරපුර දුරදිග නොබලා කටයුතු කරනවා. මන්ත්‍රීවරුන් බිලි බාගන්න දැරූ උත්සාහය නිසා ආණ්ඩුව තවත් ශක්තිමත් වුණා. ආණ්ඩුව රැකගැනීමට අපි ඉදිරිපත් වෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර වෙනත් අය පත්කරන්න ඇතැම් අය උත්සාහ කළා. මෙය අග්‍රාමාත්‍යවරයාට විශ්වාසය පළ කිරීමේ අවස්ථාවක්.’
මේ විශ්වාසභංගය නිසා ආණ්ඩුවේ දෙදරීම නිර්මාණය වුණා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ
‘මුදල් කතා කරන විට සත්‍ය නිහඬ වන්නේ කියලා කියමනක් තිබෙනවා. මේ විශ්වාසභංග යෝජනාව හරහා ආණ්ඩුව නිර්වස්ත්‍ර කරමින් තිබෙනවා. දිගන සිද්ධියේදී ආණ්ඩුවේ ඉන්න ලැජ්ජයි කියපු හකීම් වැනි ඇමතිවරු නිර්වස්ත්‍ර වෙලා තිබෙනවා. ආණ්ඩුව දෙදරුම් කාලා තියෙනවා. අගමැතිතුමා ගණන් නොගන්නා මන්ත්‍රීවරුන්ට මුහුණ බලන්න සති දෙකක් අපි නිර්මාණය කර දුන්නා. මොනර කොළ සාක්කුවලට වැටෙන්න සති දෙකක් නිර්මාණය කර දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙදරුම් කාලා තියෙනවා. පාලනය දෙදරුම් කාලා තිබෙනවා. දූෂණ විරෝධී රංජන් රාමනායකලා, ව්‍යාජ දූෂණ විරෝධීන්, පාඨලී රණවකලාගේ දූෂණ විරෝධීන්ගේ හෙළුව එළිවෙනවා. තුනෙන් දෙක තියාගෙන බෙදුම්වාදී ව්‍යවස්ථාව ගෙන එනවා කියමින් දෙමළ සන්ධානයේ සහාය ලබා ගත්තා. අද ඉන්න රනිල් නෙමෙයි අද රෑ 12න් පස්සේ මුණ ගැහෙන්නේ. ඒ රනිල් කර තියාගෙන යන එකට අපි කැමතියි. යන්න තියෙන්නේ දේශපාලන කනත්තට මිසක් වෙන කොහේටවත් නෙමෙයි.
ගමේ එක්සත් ජාතික පාක්ෂිකයා දැනගන්න ඕන රනිල් කරේ තියගෙන යන මන්ත්‍රීවරු කවුද කියලා. ලක්ෂ 800ට ලක්ෂ 1500ට විකිණුනු මන්ත්‍රීවරු කවුද කියලා ජනතාවට බලාගන්න පුළුවන්. ඒක බලාගන්න පුළුවන් වීමම මේ විශ්වාසභංගයේ ජයග්‍රහණයක්. මේ යෝජනාවත් එක්ක පක්ෂවල විසංවාද ඇතිවුණා. මේ විශ්වාසභංගය නිසා ආණ්ඩුවේ දෙදරීම නිර්මාණය වුණා. සජිත් ප්‍රේමදාස මහතා අලුත් ඇඳුම් මැහුවා.
අපි බෝම්බයක් ගැහුවා. මොනර කොළවලට කරන්න පුළුවන් දේවල් තිබෙනවා. මොනර කොළවලට මළ මිනීවලටත් පණ දෙන්න පුළුවන්. පුළුවන් නම් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න. තමුන්නාන්සේලාට ඒකට මුහුණ දෙන්න බැහැ. ආණ්ඩුවේ ඉන්න එක ලැජ්ජයි කියලා අගමැතිවරයා ආරක්ෂා කිරීම පට්ටම ලැජ්ජයි. අපිට ඕන ප්‍රයෝජනය අපි අරගෙන ඉවරයි. දේශපාලන රසායනික වෙනස සිදුවුණා. අපි දින්නත් දිනුම්, පැරදුනත් දිනුම්.’
‘මේ විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව පිරිසුදු වුණා. දිනේෂ් ගුණවර්ධනට මම කියනවා කාලය නාස්ති නොකර ආණ්ඩුවට එන්න. අපිට ඡන්ද 122ක් තිබෙනවා. වැඩි ඡන්ද 40කින් මේක පරාද වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොඩි පොල්ලක් තියල තියෙනවා. මේක මෙතැනින් නවත්වලා දවල්ට කාලා ගෙදර යමු කියලා මම යෝජනා කරනවා.’
‘අපි ආණ්ඩුවක් හැටියට ජනාධිපතිවරයා වෙන්න පුළුවන්, අගමැතිවරයා වෙන්න පුළුවන්, කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු වෙන්න පුළුවන්, රජයට අයිති මන්ත්‍රීවරු වෙන්න පුළුවන් සියලු දෙනාට සාමූහික වගකීමක් තිබෙනවා.
මේ විශ්වාසභංග යෝජනාව ගෙනැවිත් තියෙන්නේ අපි සියලු දෙනාට විරුද්ධව.
මේ විශ්වාසභංග යෝජනවට අත්සන් කර තියෙන්නේ හිඟන්නන්ගෙනුත් පොකට් ගැසූ අය, ලසන්තලා, එක්නැළිගොඩලා වැනි මාධ්‍යවේදීන් මරා දාපු, ඒවාට අනුබල දීපු අය, මහදවල් සතොස මංකොල්ලකාපු, විවිධ ජඩකම් හොරකම් කරපු අය, ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගැන කතා කරපු අය, නැගෙනහිර පොලිස් ස්ථානවල නිරායුධව සිටි පොලිස් නිලධාරීන් සිය ගණනක් ඝාතනය කළ, අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා සිය ගණනක් ඝාතනය කළ පිල්ලෙයාන්ලා, විනයාගමූර්ති මුරලිදරන්ලා ආරක්ෂා කරපු අය.
තාජුඩීන් ඝාතනය කරපු අය තමයි මේකට අත්සන් කරලා තියෙන්නේ. ඒ නිසා මේ විශ්වාසභංග යෝජනාවේ වටිනාකමක් තියෙනවද? සදාචාරභාවයක් තියෙනවද? සුනිල් හඳුන්නෙත්ති සභාපතිවරයා වන කෝප් කමිටුව බැඳුම්කර සිද්ධියට අදාළ වාර්තාව නීතිපතිවරයාට යොමු කරන්න කියලා අගමැතිවරයාම කිව්වා.
මේ රටේ පළමු වතාවට ජනාධිපති කොමිසමක් ස්වාධීනව හරියට ක්‍රියාත්මක කරලා අපක්ෂපාතී තීන්දුවක් දුන්නා.
එම කොමිසමට පළමු වතාවට ඇමතිවරු තුන්දෙනෙක් සාක්ෂි දෙන්න ගියා. අගමැතිවරයා ස්වේච්ඡාවෙන් සාක්ෂි දෙන්න ගියා. නමුත් අද මන්ත්‍රීවරු වෙලා ඉන්න හිටපු ඇමතිවරුන්ට උසාවියට එන්න කිව්වාම සර්පයෙක් කෑවා කිව්වා.
ඊළඟට බල්ලෙක් කෑවා කිව්වා. ඔවුන්ට ගිහින් සාක්ෂි කියන්න කොන්දක් නැහැ. ඔවුන්ට හංගන්න ගොඩක් දේවල් තිබුණා. ඒත් මේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇතිකරලා අපි සාක්ෂි දුන්නා. අගමැතිවරයා සාක්ෂි දුන්නා.
වාර්තාවේ පිටු නමසිය ගාණක් තිබෙනවා. එම වාර්තාවේ එකතැනකවත් අගමැතිවරයාට එරෙහිව චෝදනාවක් නැහැ.
අර්ජුන් මහේන්ද්‍රන් පත් කරපු පළියට විශ්වාසභංග යෝජනවක් ගෙනාවා නම් මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනා සීයක් ගේන්න තිබුණා.
ඔහු පත්කරපු ලලිත් වීරතුංගට වැරදිකාරයෙක් හැටියට උසාවියකින් දඬුවම් දුන්නා. පී.බී. ජයසුන්දරට චෝදනා තිබුණා. එතකොට එයාව පත්කළේ කවුද? ඒකාබද්ධ විපක්ෂයේ අය ඇයි ඒ කාලයේ විශ්වාසභංග ගෙනාවේ නැත්තේ.
මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී බෙරිහන් දුන්නා විදුලි පුටුවට ගෙනයන බව කියමින්. එහෙනම් හිටපු ජනාධිපතිවරයා විදුලි පුටුවෙන් බේරාගත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්. එහෙනම් ඇයි එතුමා අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ.
අපට දේශපාලනයේ කොට්ටයයි, මෙට්ටයයි මාරු කළාට ඇඳේ රාමුවේ හිටපු මකුණො ටික සුද්ද කරන්න බැරි වුණා. ඒ මකුණො ටික සුද්ධ කළා නම් හරි. දැන් ඒ මකුණො ටික වසංගතයක් වෙලා. විශේෂ අධිකරණයක් ගෙනැල්ලා ඔය ටිකත් සුද්ධ කළාට පසුව මේ වසංගතය අපට සුද්ධ කරන්න පුළුවන්.’
‘තමුන්නාන්්සේට මකුණො කියලා බේරෙන්න බැහැ. තමුන්නාන්සේ සම්මුතිවාදී ආණ්ඩු ගැහුවේ ඒගොල්ලෝ එක්ක. ඒ කට්ටිය මේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව කතා කළා. ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු මේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව කතා කරනවා. ඒකෙන් විශ්වාසභංග යෝජනාවේ වටිනාකම වැඩි වෙනවා. මංගල සමරවීර ඇමතිවරයා උත්සාහ කළා විශ්වාසභංගය ජනාධිපතිවරයාගේ බෙල්ලේ පටලවන්න. ජනාධිපතිතුමා විශ්වාසභංග යෝජනාවට විරුද්ධව මෙහෙයවන්න ඔහු උත්සාහ කළා. එතුමා කිව්වා රනිල් වික්‍රමසිංහ මහතා පරාද කරලා ජනාධිපතිවරයා තනි කරන්න කියලා. අන්තිමට මේ කතාව තමුන්නාසේලාගේ අතේම පිපිරුවා. ජනාධිපතිතුමා ඒ කතාව පිළිගත්තේ නැහැ. ජනාධිපතිතුමා ඒක පිළිගත්තේ නැති බව අපි දන්නේ ජනාධිපතිතුමාගේ පක්ෂයේ මැති ඇමතිවරු විශ්වාසභංග යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තුවේ පෙනී සිටින නිසයි. ඒ නිසා තමුන්නාන්සේලාගේ උගුල අද තමුන්නාන්සේලාටම උගුලක් වෙලා. අපි අගමැතුමා ගැන පෞද්ගලිකව කිසි ද්වේෂයක් නැහැ. නමුත් අගමැතිතුමා කර තිබෙන මේ දේවල්වලට වගකිව යුතුයි.
දැන් හදිස්සියේ මේ ආණ්ඩුවේ බලය වෙනස් වුණොත්, හෙට අනිද්දා වන විට වෙන්න ඉඩ තියෙනවා. එහිදී පොලීසියේ පරීක්ෂණ ආරම්භ කරන කොට ඒවා කෙළින්ම අගමැතිවරයා පිළිබඳ පරීක්ෂණයක් වීම වළක්වන්න පුළුවන්ද? අගමැතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් ගැන දන්නා තොරතුරු අනුව ඔහු ඉන්නෙ කොහේදැයි කීමට අපේ නීතිය අනුව අගමැතිවරයාට වගකීමක් තියෙනවා. ඒ අපරාධකාරයා සැඟවීමට තමන් දන්නා තොරතුරු අධීකරණයට හා පොලීසියට නොදීමේ වරද පිළිබඳ අගමැතිතුමාට විත්ති කූඩුවට නගින්න වෙනවා. ඔහු දැන් බේරිලා ඉන්නේ අගමැතිකමේ බලයෙන්. ඒ නිසා අගමැති ධුරය ආරක්ෂා කරගැනීම සඳහා මේ දක්වා කළ හැකි සෑම උත්සාහයක්ම ඔහු දරා තිබෙනවා.’
විශ්වාසභංගය තුළ අගමැතිතුමාට අපගේ විශ්වාසය ගොඩනැගී අවසන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ
‘එක්සත් ජාතික පක්ෂය යම් වැරදි මාර්ගයක ගියා නම් මේ විශ්වාසභංගය නිසා ඒක නිවැරදි කර ගැනීම් හැකියාව ලැබී තිබෙනවා. ශුද්ධ වූ එක්සත් ජාතික පක්ෂයක් හදා ගැනීම සඳහා තරුණ මන්ත්‍රීවරු හැටියට අපි කටයුතු කරගෙන යනවා. ඒකාබද්ධය ගෙනා විශ්වාසභංගය තුළ අගමැතිතුමාට අපගේ විශ්වාසය ගොඩනැගී අවසන්. අගමැතිතුමා පරම්පරාවෙන් සල්ලි තිබුණු බොහොම වැදගත් පවුලක කෙනෙක්. කවදාවත් හොරකමකට ලක්වුණු කෙනෙක් නෙමෙයි.’
‘විමල් වීරවංශ මහතාගේ අද කතාව නිසා වැටඋඩ තිබුණු ඡන්ද අපට හදා දුන්නා. මෙම විශ්වාසභංගය දීප ව්‍යාප්ත දේශපාලන කුමන්ත්‍රණයක්. මම පෞද්ගලිකව දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම පළාතේ එක ඇමතිවරයෙක් ප්‍රකාශ කර තිබෙනවා අගමැතිවරයා අයින් කරලා රූකඩයක් දාලා, ඊට පස්සේ ෆුට්බෝලයක් වගේ මේ රූකඩයට ගහලා අයින් කරලා අපි කැමැති එක්කෙනා දානවා කියලා. මේ වගේ දේශපාලන කුමන්ත්‍රණ අපි දන්නවා.
එක්සත් ජාතික පක්ෂයේ ගැටලුවක් තිබෙනවා නම් අපට අවකාශය තියෙනවා එය නිවැරදි කර ගැනීමට. අපගේ පක්ෂයේ නායකයා අයින් කරන්න උත්සාහ කරන එක ප්රජාතන්ත්ර විරෝධී වැඩපිළිවෙළක් ලෙස මම දකිනවා. උදේ තිබුණු භීතිකාව හවස් වන විට නැහැ. ලොකු චැලේන්ජ් එකක් අපට පේන්න නැහැ.
මේ විශ්වාසභංගයට නායකත්වය දෙන්නේ නඩුහබවලට සම්බන්ධ වෙලා ඉන්න, චෝදනා එල්ලවෙලා සිටින පිරිසක්. අර්ජුන් මහේන්ද්‍රන් පත්කිරීම ගැන අගමැතිවරයා අතින් වැරැද්දක් වෙලා ඇති. එවැනි වැරදීම් නායකයන් අතින් සිදු වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. අපි ඒක අගමැතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා. පත්වීම් සම්බන්ධයෙන් දේශපාලන නායකයන් අතින් වැරදීම් ඇති වෙනවා.’
‘චිත්‍රපටයකින් රුපියල් ලක්ෂ 15ක් ලැබෙන අවස්ථාවලදී රුපියල් 50,000ක් හෝ ලක්ෂයක් ලැබෙනවා කියල බදු නිලධාරීන් පෙන්වනවා.
ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එවැනි බදු වංචා සිදු කරන ආකාරය කියා දෙනවා. ඒ අය ගෙදරට පැමිණ ඇත්ත ගාණ පෙන්වන්න එපා කියලා කියනවා. මමත් බදු වංචා කර තිබෙනවා. ඒ ආකාරයට ලංකාවේ බොහෝ දෙනෙකු බදු වංචා කරනවා.’
‘අපේ රටේ පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනා 46ක් ඉදිරිපත්ව තිබෙනවා. ඉන් අග්‍රාමාත්‍යවරු තිදෙනෙකුට විරුද්ධව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් තිදෙනා. මේ පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය වූ විශ්වාසභංග යෝජනා දිනලා තියෙන්නේ එකයි. ඒ අමීර්තලිංගම් මහතාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පමණයි. නමුත් විශ්වාසභංග යෝජනාවක් නිසා සමාජ හා ආර්ථිකමය වශයෙන් ඇතිවන බලපෑම විහිළුවට ලක්කිරීම කිසිසේත් ප්රඥාගෝචර නැහැ.’
‘දැන් අවුරුදු තුනක් ගිහින් බැඳුම්කර සිද්ධිය ගැනමයි සාකච්ඡා වෙන්නේ. ඒ නිසා මේ ප්රශ්නය ගැන කතා කරමින් ඉඳලා වැඩක් නැහැ. බැඳුම්කර කොමිෂන් සභාවේ නිර්දේශ ගැන සැකයක් ඇතිවෙනවා. මේක අවසන් කළ යුතුයි. ජනතාව බලාපොරොත්තු වූ දෙය අනුව තමයි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.’
‘පසුගිය දවස් ටිකේ කිලෝ ටෝක්, පුරසාරම්, වහසිබස් කියමින් ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය ලොකු සද්දයක් දැම්මා. ඒ අය සද්ද දැම්මේ ආණ්ඩුව අතට ගත්තා වගේ. එක්සත් ජාතික පක්ෂය සුනේසුන් වෙන්න අටවපු බෝම්බයක් මේ විශ්වාසභංගය. දැන් අපේ පක්ෂයේ කවදාවත් නොතිබුණු එකමුතුකමක්, කවදාවත් නැති බැඳීමක් මේ බෝම්බය නිසා ඇතිවෙලා තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සීසීකඩ කරලා ජනාධිපතිතුමා තනි කරන්න මේ උගුල ඇටෙව්වේ. රුපියල් දෙකේ කොළවලට, දහයේ කොළවලට අපේ ආත්මය අපි පාවාදෙන්නෙ නෑ. අපට සති ගාණකට කලින් ලොකු ලොකු ගණන්වලට කතා කළා. නමුත් අපි ආත්මය පාවා දුන්නෑ. ඒකාබද්ධ විපක්ෂය අපට අටවපු උගුලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොදුරු වුණා. ඒ පක්ෂය නන්නත්තාර කරලා දැම්මා.’
‘අවුරුදු විසිගාණක් තිස්සේ අගමැතිතුමා ජනාධිපති සිහිනයක සිටියා. ඒ නිසා එතුමා ජනතා මතය ගැන සංවේදීව හිටියා. ජනතා විරෝධය මතුව එද්දී සිය ව්‍යාපෘති හකුළා ගැනීමේ තත්ත්වයක හිටියා. ඒ නිසා රට බෙදීම, රට පාවාදීම, රට විකිණීම ඉදිරියට ගියේ හෙමින් හෙමින්. වැඩේ පටන් ගන්නවා. ජනතා විරෝධය එද්දී හකුළා ගන්නවා. හැබැයි පුංචි ඡන්දයේ ප්‍රතිඵලයෙන් ජනාධිපති සිහිනය කුඩුපට්ටම් වුණා. අගමැතිතුමා තවදුරටත් ජනාධිපති වෙන්න සිහින දකින්නෑ. එතුමාගේ දැන් අදහස වී තිබෙන්නේ වසර එකහමාරක් අගමැති ධුරයේ සිටීම පමණයි.
ජනාධිපති සිහිනය නැතිනම් ජනතා ප්‍රශ්න ගැනත් එතුමා සංවේදීත් නැහැ. ඇමෙරිකාවේ ජනාධිපතිවරයෙක් පළමු ධුර කාලය කටයුතු කරන්නේ ජනතාවට ඕන විදියට. දෙවැනි ධුර කාලය කටයුතු කරන්නේ තමන්ට ඕන විදියට. දෙවැනි ධුර කාලයෙන් පස්සේ ගෙදර යන්න තියෙන නිසා එලෙස ජනතා ප්‍රශ්න ගැන සංවේදී නැහැ.
දැන් අපට අගමැති කෙනෙක් ඉන්නවා අනාගතයේ මැතිවරණවලට තරග කිරීමේ සූදානකමක් නැති. ජනතා ප්‍රශ්න ගැන සංවේදී නැති. තමන්ගේ සිහිනය පුංචි ඡන්දයකින් කුඩුපට්ටම් කිරීම පිළිබඳ ජනතාව සමග අගමැතිවරයා කේන්තියෙන් ඉන්නේ. එවැනි අගමැතිවරයෙකුට තවත් වසර එකහමාරක් බලයේ ඉන්න දීම භයානකයි. විශ්වාසභංග යෝජනාව සම්මත වෙනවා කියන්නේ පාර්ලිමේන්තුව තුළ ජනමතය පිළිබිඹු වෙන්නෑ කියන එක. පසුගිය ජන මතයට ගරු කරන්නෙ නැත්නම් මේක විසුරුවා හැරිය යුතු පිළුණු වූ පාර්ලිමේන්තුවක්.
අපට මේ විශ්වාසභංග යෝජනාව ජාතියේ අවාසනාවට සම්මත කර ගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම හිරු නොපායන අඳුරු යුගයක් ඉදිරි අවුරුදු එකහමාර තුළ මේ රටට උදා වෙනවා.’
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd