Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
නීතිය හා සාමය අමාත්‍ය ධුරය මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන අමාත්‍යාංශයකි. එහි නව අමාත්‍යවරයා වන්නේ කවුරුන් දැයි සියල්ලෝම විමසිලිමත්ව බලා සිටිති. මේ අතර නීතිය හා සාමය අමාත්‍යාංශය බාරගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඇමතිවරුන් කිහිපදෙනෙකුගෙන්ම ඉල්ලා තිබුණද, ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබිණි.
සෞඛ්‍ය ඇමති රාජිතට එය බාරගන්නා ලෙස පැවසූ විට රාජිත ප්‍රකාශ කර ඇත්තේ, ‘මට සෞඛ්‍ය හොඳයි. ඒක හොඳට කරන්න බැරි වෙනවා නීතිය හා සාමය ගත්තොත්’ යනුවෙනි.
ඇමති අකිලට නීතිය හා සාමය බාරගන්නා ලෙස අගමැති රනිල් ප්‍රකාශ කර ඇත. එවිට අකිල ප්‍රකාශ කර ඇත්තේ, ‘මට අධ්‍යාපනය ඇති. වෙන මුකුත් එපා’ කියාය. ‘ඔය අමාත්‍යාංශය ගත්තොත් නීතියත් නැතිවෙයි, සාමයත් නැතිවෙයි’ යනුවෙන්ද අකිල අමාත්‍යවරයා පවසා ඇත.
කෙසේ වෙතත් මේ වනතුරු නීතිය හා සාමය සඳහා යෝජනා වී ඇත්තේ ඇමති සරත් ෆොන්සේකාගේ නම පමණි. එය බාර ගැනීමට ඔහුද කැමැත්තෙන් සිටියි. මෛත්‍රීගේ පාර්ශ්වය එයට අකමැති වීම තුළ මෙම අමාත්‍ය ධුරය පිළිබඳ ප්‍රශ්න මතුවී තිබුණද, ලබන සතියේ එයට නව අමාත්‍යවරයෙකු පත්කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය සඳහා යෝජනා ලබා ගැනීමට මේ වන විට කමිටු තුනක් පත්කර තිබේ.
ඇමති සජිත්ගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටුවේ යෝජනා අද (02දා) දිනයේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කරගෙන ඇති අතර, ඇමති රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් වන කමිටුව යෝජනා සාකච්ඡා කිරීම සඳහා හෙට (03දා) රැස්වීමට නියමිතය.
ඇමති ජේ.සී. අලවතුවලගේ ප්‍රධානත්වයෙන් වන කමිටුවේ වාර්තාවද මේ වන විට සකස් කරමින් පවතින අතර, එයද ලබන සතියේ එළිදැක්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ වෙනස්කමක් සිදුවිය යුතු බව පවසමින් මෙම කමිටු වාර්තා සකස් කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් පවසන අතර, එ.ජා.ප.යේ ඇතැම් මන්ත්‍රීවරුන්ට මෙහිදී සිදුවන්නේ කුමක්දැයි පවා හරිහැටි අවබෝධයක් නොමැත. කෙසේ වෙතත් එ.ජා.ප.ය තුළ දැනෙන වෙනසක් සිදු විය යුතු බව ඔවුහු සියල්ලෝම පවසති.
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම තුළද මේ වන විට දැඩි ලෙස අර්බුද ඇතිව තිබේ. මැතිවරණයෙන් පසුව පැවැත්වූ කැබිනට් රැස්වීම්වලට ඇමති සුසිල් මෙතෙක් සහභාගි වූයේ නැත.
අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු වන දිනය වන විට මෛත්‍රී කණ්ඩායමේ ඇමති ධුරය සංශෝධන සිදුවන බව පැවසුවද, එදිනට එය සිදු වූයේ නැතැ. ඒ වෙනුවට ජනාධිපති මෛත්‍රී සති දෙකක් කල් ඉල්ලීමක් පමණක් සිදුවිය. මේ සතිය වන විට සති දෙකද සම්පූර්ණ වීමට ආසන්නය.
එසේ වුවද මෙතෙක් නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ අමාත්‍ය ධුරය වෙනස් කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ නැත. ඔවුන්ද එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටින බැවින් එකඟත්වයකට පැමිණීමට නොහැකිව ඇත.
මෙවර බදාදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇමති රාජිතගෙන් විමසා සිටියේ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳවය.
කැබිනට් සංශෝධනවලදී සියලු දෙනාට බොහෝ කලකිරීම් ඇතිවන බව එවිට සෞඛ්‍ය ඇමති රාජිත පැවසුවේ උදාහරණද සපයමිනි. 2010 වසරේදී සිදුකළ කැබිනට් සංශෝධනයෙන් සෞඛ්‍ය අමාත්‍ය ධුරය හිමිවීම නිසා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි කලකිරීමෙන් සිටි බවද රාජිත පැවසීය.
‘කැබිනට් සංශෝධන ගණනාවකටම මම මුහුණ දුන්නු පුද්ගලයෙක්. කැබිනට් සංශෝධනවලදී බොහෝ කලකිරීම් ඇති වෙනවා. මම උදාහරණයක් කියන්නම්, 2010 දී එවකට හිටපු ජනාධිපතිතුමා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අලුතින් පත්කරපු වෙලාවේ ඇමතිකම් ලැබුණු හැමෝම එකක් කතා කළා. ජෝන් සෙනෙවිරත්න ඇමතිතුමා එක්ක කතා කරද්දි එතුමත් දැඩි කලකිරීමකට පත්වෙලා හිටියේ. මම ධීවර ඇමති වුණ නිසා මමත් දැඩි කලකිරීමකට පත්වෙලා. එතුමා මට කියනවා මගේ අමාත්‍යාංශය හරි හොඳයි ඇයි කලකිරෙන්නේ කියලා. ඊට පස්සේ මම නිමල් සිරිපාල ඇමතිතුමාගෙන් ඇහුවා. එතුමා බලාපොරොත්තු වූ දේවල් ලැබිලා තිබුණෙත් නැහැ. දැඩි කලකිරීමකින් හිටියේ. නිමල් මගෙන් ඇහුවා ඔයාට මොකද කියලා. ධීවර නිසා මමත් කලකිරීමෙන් ඉන්නේ කියලා කිව්වා. ඒක ෂෝක්නේ කිව්වා එතකොට. හැබැයි මට ෂෝක් නැහැ, අනිත් හැමෝටම ෂෝක්.
ඊට පස්සේ මම අපේ වර්තමාන ජනාධිපතිතුමාගෙන් ඇහුවා. එතකොට එතුමාගේ ඇස් දෙකේ කඳුළුත් තිබුණා. එතුමා සෞඛ්‍ය ඇමති කළාට කනගාටුවෙන් හිටියේ. මට ධීවර ලැබිලා මමත් කලකිරීමෙන් ඉන්නේ කියද්දි එතුමා කියනවා ධීවර හොඳයි කියලා. ධීවරවලට මම කැමැති නැහැ කිව්වා. සාමාන්‍යයෙන් හැමෝම තමන්ගේ විෂයය වෙනස් වුණාම විරුද්ධයි. මොකද එකපාරටම වෙනස දරාගන්න බැහැ’ යැයි කීවේය.
අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කිරීම ආන්දෝලනාත්මක සිදුවීමක් විය.
එමෙන්ම ඇමතිවරුන් වන රාජිත, පාඨලී ඇතුළු පිරිසක්ද ඒ වෙනුවෙන් කරුණු දක්වා ඇති අතර, එම කමිටුව මගින් සිදු වූ යහපතක් නොමැති බවද කැබිනට් මණ්ඩලය තුළ ප්‍රකාශ වී තිබේ.
ගත වූ කාලසීමාව තුළ එම ආර්ථික කමිටුවෙන් කිසිවක් ක්‍රියාත්මක වී නොමැති බවද ජනාධිපති මෛත්‍රී කියා ඇති අතර, වොක්ස්වැගන් වාහන නිෂ්පාදන ව්‍යාපෘතිය, හොරණ ටයර් නිෂ්පාදන කම්හල ආදිය පසුගිය කාලයේ පැවසුවද, ඒවා රට නොමග යවන සුලු ප්‍රකාශ පමණක් වූ බවද ජනාධිපති මෛත්‍රී තදින්ම ප්‍රකාශ කර ඇත.
ජර්මනිය, කටාර් රාජ්‍ය, ඉන්දියාව ආදී රටවලින් ආයෝජකයන් ඉදිරිපත් වුවද, එම ආයෝජන
ඇද ගැනීමට ආර්ථික කළමනාකරණ කමිටුව සමත් නොවූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර, කෙසේ වෙතත් මෙම කමිටුව පවත්වාගෙන යනවාද, නැද්ද යන්න පිළිබඳ ජනාධිපති මෛත්‍රී සහ අගමැති රනිල් සාකච්ඡා කර තීරණය කිරීමටද අවසානයේ එකඟ වී තිබේ.
බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාව විසින් ලංකාවේ පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවට ආරාධනයක් කර තිබුණේ ගිණුම් කාරක සභා මගින් සිදුවන කටයුතු පිළිබඳ අධ්‍යයනයක් සඳහාය. මේ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක යන මන්ත්‍රීවරු සහභාගි වූහ. ඊට අමතරව ලක්ෂ්මන් සෙනෙවිරත්න, මහින්දානන්ද අලුත්ගමගේ එ.ජ.නි.ස. නියෝජනය කරමින් සහභාගි වූහ. එක්සත් ජාතික පක්ෂයේ අශෝක අබේසිංහ සහ අජිත් පෙරේරා සංචාරය සඳහා සහභාගි වීමට නියමිතව තිබූ නමුත් සහභාගි නොවූහ. මෙම වැඩසටහන පසුගිය විසිවැනිදා සිට පැවැත්විණි. මෙහිදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර අදහස් හුවමාරු විය.
ලංකාවේ කෝප් කමිටුවට කැඳවිය හැක්කේ රජයේ අයිතිය 51%කට වැඩි ආයතන සඳහා පමණක් බවට නීතියක් තිබේ. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් සිය විමතිය පළකර තිබේ. ‘අපේ ගිණුම් කාරක සභාවට ඕනෑම ආයතනයක් කැඳවන්න පුළුවන්. පෞද්ගලික ආයතන හෝ රජයේ ආයතන කියලා වෙනසක් නැහැ. ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන යටිතල පහසුකම්, භූමිය, ඉඩම් භාවිත කරන ඕනෑම ආයතනයක් අපේ පාර්ලිමේන්තුවට වග කියන්න ඕන” යැයි බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත. මේ දිනවල බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සමාගමක මූල්‍ය විමර්ශනයක්ද උදාහරණ ලෙස ඔවුන් පෙන්වාදී තිබේ. එමෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාවේ විමර්ශන මාධ්‍ය මගින් සජීවී වාර්තාකරණයට ඉඩ සලස්වා තිබේ. මේ මගින් ආණ්ඩුවේ ඇමතිවරුන් පවා ප්‍රශ්න කිරීමට ලක්වන අවස්ථා සජීවී ලෙස ජනතාවට
දැක බලා ගැනීමට අවස්ථාව උදා කර ඇත. මේ මගින් වංචා, දූෂණ අවම කර ගැනීමට උපරිම ආකාරයෙන් කටයුතු කිරීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අරමුණ බව ඔවුහු පෙන්වා දුන්හ. ලංකාවේ මන්ත්‍රීවරුන්ට මෙම අත්දැකීම් සජීවීව දැක බලා ගැනීමට අවස්ථාව උදා විය. ‘මේවා ගැන අපි සජීවී අත්දැකීම් ගත්තට ලංකාවේ කෝප් කමිටුවේ ක්‍රියාත්මක කරන එක තමයි අමාරුම වැඩේ. නමුත් මේ ගැන සාමාජිකයන් දැනුවත් කරලා මේවා ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මේ වගේ සංචාරවලින් රටට වෙන වැඩක් නම් නැහැ” සුනිල් හඳුන්නෙත්ති අනෙකුත් මන්ත්‍රීවරුන් සමග කියා සිටියේය.
මෙම සංචාරය අතරතුර ජ.වි.පෙ. මන්ත්‍රීවරු දෙදෙනා බ්‍රිතාන්‍යයේ, ස්වීඩනයේ සහ ප්‍රංශයේ ජවිපෙ විදෙස් කමිටු මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් සහ සුහද හමු කිහිපයකටද සහභාගි වූහ. එහිදී පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සහ ලංකාවේ ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුවත් කෙරිණි.
පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදුණු ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු අපේක්ෂකයන් පසුගිය සතියේ ප්‍රසන්න රණතුංගගේ උඩුගම්පොළ නිවසට කැඳවා තිබිණි. ඒ එම මැතිවරණයේදී පොදුජන පෙරමුණට ලැබුණු ජයග්‍රහණය ගැන සාකච්ඡා කරන්නටය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ, නිමල් ලන්සා, ප්‍රසන්න රණවීර ඇතුළු මන්ත්‍රීවරුද එම අවස්ථාවට එක්ව සිටියහ. එහිදී ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සියලු අපේක්ෂකයන්ට ස්තුති කළේ ගම්පහ දිස්ත්‍රික්කය දිනවීමට දැක්වූ දායකත්වයටය.
‘මේ වතාවේ පළාත් පාලන ආයතනවලට නොතේරුණු කොටසකුත් මෙහි ඉන්නවා. විශේෂයෙන් ලැයිස්තුවෙන් ඉදිරිපත් වූ අපේ බහුතර අපේක්ෂකයන්ට මන්ත්‍රී ධුර හිමිවුණේ නැහැ. මම ඒ අයගෙන් ඉල්ලා හිටිනවා මේකෙන් අධෛර්යමත් වෙන්න එපා. අපේ මූලික අරමුණ මේ පරගැති ආණ්ඩුව ගෙදර යවන එකයි.
ඒ නිසා අරමුණ ඉෂ්ට කරගන්න අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. පළාත් පාලන ආයතනවලට පත් නොවුණා කියලා අපි තමුන්නාන්සේලාට වෙනසක් කරන්නේ නැහැ. තේරුණු මන්ත්‍රීවරුන්ට වගේම නොතේරුණු අපේක්ෂකයන්ටත් අපි එක හා සමානව ගම්වල වැඩ කරන්න මුදල් දෙනවා’ යැයි ප්‍රසන්න පැවසීය.
ඒ අනුව ප්‍රසන්න ගම්පහ සියලු ආසන සංවිධායකවරුන්ට උපදෙස් දුන්නේ පළාත් පාලන ආයතනවලට නොතේරුණු අපේක්ෂකයන්ටත් ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන ලෙසයි. එම උපදෙස සම්බන්ධයෙන් සියලු අපේක්ෂකයෝ ප්‍රසන්නට ස්තුතිය පළ කළහ.
‘සර් මම මීරිගම පාසලක උගන්වන ගමන් තමයි මේ මැතිවරණයට තරග කළේ. මට දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම පන්තියේ උගන්නලා ඉවර වෙච්ච ගමන් ළමයි සේරම පොහොට්ටුවට ජයවේවා කියලා කෑගහනවා’ යැයි මීරිගම සිට පැමිණ සිටි ගුරුවරියක කියත්ම සියලු දෙනා මහ හඬින් සිනහ වන්නට පටන් ගත්හ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලැබුණු ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. එසේම පසු දිනට නියමිතව තිබූ කැබිනට් සංශෝධනය ගැනද මෙහිදී මන්ත්‍රීවරු අදහස් පළ කළහ.
‘ආණ්ඩුවේ කැබිනට් සංශෝධනත් හරියට බාලගිරි දෝෂය වගෙයි. තමන්ගේ කැබිනට් එක හරියට සංශෝධනය කරගන්න බැරුව කොහොමද මෙයාලා රටක් පාලනය කරන්නේ?’ රණවීර ඇසුවේය.
‘ඒක නම් ඇත්ත තමයි. මට ලැබිලා තියෙන ආරංචි විදියට කියන තරම් ලොකු සංශෝධනයක් වෙන්නේ නැහැ. ඕන නම් ඇමතිකම් පහහයක් වෙනස් වෙයි’ ප්‍රසන්න කීවේය.
‘ඔව් ඔව්. මේ අයගේ පළමු වැනි සංශෝධනයේ මතකනේ. අන්තිමට නටපු නැටුමකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ’ ඉන්දික පැවසීය.
‘ඒකනේ මම හැමදාම කියන්නේ මේක එදාවේල ටුවර්ස් ආණ්ඩුවක් කියලා. අද තියෙන ප්‍රශ්න අමතක කරන්න මේ වගේ නාට්‍යය පෙන්වන එක ජනාධිපතිගෙයි, අගමැතිගෙයි පුරුද්දක් වෙලා. එක්කෝ විශේෂ ප්‍රකාශයක් කරයි. එහෙමත් නැත්නම් වෙන බොරුවක් කරයි. බොරුවෙන් තමයි මේ අය ජීවත් වෙන්නේ’ ප්‍රසන්න පෙන්වා දුන්නේය.
‘රනිල්ගේ හිතවත් ඇමතිවරු ටික අයින් කරන එක ජනාධිපතිට නෙමේ සක්කරයාගේ පුතා වයිමා ආවත් කරන්න බැරි වැඩක්’ ලන්සා පැවසීය.
‘අර රනිල් යටතේ විනාඩියක්වත් ආණ්ඩුවේ ඉන්නේ නැහැ කියලා කියපු නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ටික දැන් කොහෙද දන්නේ නැහැ නේද?’ ඉන්දික ඇසුවේය.
‘මොන බොරුද? ඡන්දෙන් පැරදිලා හොර පාරෙන් පාර්ලිමේන්තුවට රිංගපු ඇමතිවරු ඇමතිකම් අතහැරලා දැම්මොත් අනෙක් පැත්තෙන් ඉර පායයි’ රණවීර පැවසීය.
‘සමහරු කතාවක් පතුරවනවා ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය දෙනවට විරුද්ධ ඒකාබද්ධ විපක්ෂයයි කියලා’ ඉන්දික පැවසීය.
‘මොන බොරුවක්ද ඒ? ෆොන්සේකාට නීතිය හා සාමය බැරි නම් මොන ඇමතිකමක් දුන්නත් අපට මොකද? ඡන්ද පන්දාහක් අරන් රනිල්ට පිංසිද්ධ වෙන්න පාර්ලිමේන්තු ආපු ෆොන්සේකාව ගණන් ගන්නේ කවුද? එයාට හොඳ නීතිය හා සාමය නෙමේ ටොයිලට් හෝදන ඇමතිකම. මොකද එය දැනටත් කරන්නේ රනිල් හාමුගේ වැසිකිළිය හෝදන එකනේ’ ප්‍රසන්න කීවේය.
ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ වැඩමුළුවක් සඳුදා (26දා) පැවැත්වුණේ නෙළුම් මාවත කාර්යාලයේදීය. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ නාලක ගොඩහේවා මෙහිදී රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කළහ.
බැඳුම්කර වංචාව තුළින් රටට සිදුව ඇති හානිය සහ ඉදිරියේදී මුහුණ දීමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එසේම පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය තුළින් ලැබුණු ජනවරමට අනුව ආණ්ඩුවේ ජනබලය පිරිහී ඇති බැවින් විදෙස් ආයෝජකයන් මෙරට ආයෝජනය කරන්න මැළිකමක් දැක්වීම සම්බන්ධයෙන්ද කරුණු පැහැදිලි කෙරිණි.
‘පළාත් පාලන මැතිවරණයට පස්සේ නෙමෙයි ඊට ඉස්සරත් මේ ආණ්ඩුව විශ්වාස කරලා මේ රටට ආයෝජකයෝ කවුරුත් ආවේ නැහැ. බොරුවට ජාත්‍යන්තරය දින්නා කියලා ජනාධිපති රටටම කිය කියා ගියාට ලෝකේ පිළිගත්ත එකම ආයෝඡකයෙක්වත් පසුගිය අවුරුදු තුනේ මේ රටට ඇවිත් නැහැ’ ප්‍රසන්න පැවසීය.
‘ඒ කතාව හරි. වොක්ස්වැගන් එනවා කියලා කළෙත් අලි බොරුවක්නේ. මහින්ද මහත්තයාගේ කාලේ කරපු සංවර්ධන වැඩ ටිකවත් හරියට කරගන්න බැරි ආණ්ඩුව හැමදාම කළේ බොරුවෙන් මිනිස්සු රවට්ටන එකනේ’ පවිත්‍රා පෙන්වා දුන්නාය.
‘අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වේ අර්ජුන්ගේ වගකීම එයා ගන්නවා කියලනේ. දැන් මිනිස්සු බලන් ඉන්නේ රනිල් කොයි වෙලාවෙද අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලලා දෙන්නේ කියලයි’ ඩලස් පැවසීය.
‘රනිල් අගමැතිකම නැති වෙයි කියලා බයේ ඉන්නේ. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ආවොත් මොනා කියයිද කියලා ෂුවර් නැති හින්දයි’ ප්‍රසන්න පැවසීය.
‘ඔව් ඔව් රටම විරුද්ධ වෙලා ඉන්න කොටත් බලෙන් හරි අගමැතිකමේ එල්ලිලා ඉන්න හදන්නේ හිරේ යන්න වෙයි කියන බයටම තමයි. එකට හොරකම් කරපු කට්ටිය දන්නවා ඇතිනේ සම්බන්ධ වුණේ කවුද කියලා. ඕවා එළිවෙයි කියලා තමයි කට්ටිය බය වෙලා ඉන්නේ’ පවිත්‍රාද පැවසුවාය.
‘ආණ්ඩුව වෙච්ච පරාජය වහගන්න ඉලක්කම් හරඹ කරනවා කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. රාජිතලා, මංගලලා ඡන්දෙන් පස්සේ කරපු පැහැදිලි කිරීම් අරගෙන බැලුවම පේනවා අපේ ජයග්‍රහණය වහන්න ලොකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියලා. අපි මේවාට ඉඩ තියන්න හොඳ නැහැ’ ප්‍රසන්න අවධාරණය කළේය.
එසේම ආණ්ඩුව සම්මත කරගන්නට යන සක්‍රීය බැරකම් පනත සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි. මෙම පනතට එරෙහිව දැනටමත් ඒකාබද්ධ විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති අතර, පනත තුළින් රජය කොළේ වසා ඉටුකර ගැනීමට යන අරමුණු ගැනද මන්ත්‍රීවරුන් දැනුවත් කෙරිණි.
පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය සැමරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල උදවියට විශේෂ සාදයක් සඳුදා රාත්‍රියේ පැවැත්වුණේ මහින්දගේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය. ඒකාබද්ධයේ සියලු දෙනාම පාහේ එම සාදයට සහභාගි වී සිටියහ.
සවස 6.30ට පමණ සාදය ආරම්භ වූ අතර, මන්ත්‍රීවරුන් සමග පැමිණ සිටි පවුල්වල උදවිය සියලු දෙනාම වෙත ගිය මහින්ද ඔවුන් සමග කතාබහ කරමින් සුවදුක් විමසුවේය. ‘අපේ ජයග්‍රහණයට ඍජුව දායකත්වය දක්වපු අපේ මන්ත්‍රීවරුන් වගේම ගෙදර අයටත් ස්තුති කරන්නම ඕන. මොකද මන්ත්‍රීවරුන් මේ සටන අරගෙන යනකොට ඔයාලා තමයි ගෙදර ඉඳලා ඒකට ශක්තිය දුන්නේ. අපට මේ මැතිවරණයේදී වගේම ඉදිරියේදී එන මැතිවරණවලදිත් ඔයාලගේ සහයෝගය ඕන වෙනවා. එහෙම වුණොත් තමයි අපි ලොකු ජයග්‍රහණයකට යන්න පුළුවන් වෙන්නේ’ මහින්ද පැවසීය.
සාදයට පැමිණි මන්ත්‍රීවරු තම තමන්ගේ හිතවතුන් සමග අසුන්ගෙන සිටින අතරතුර මහින්දගේ අවධානය යොමු වූයේ විශේෂ පිරිසක් අසුන්ගෙන සිටි මේසයක් වෙතය. එහි සිටියේ ලන්සා, අරුන්දික ,ප්‍රියංකර, ඩුලිප් යන අයයි. එහි විශේෂත්වය වූයේ ඔවුන් සියලු දෙනාම යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් දරා පසුව ඒකාබද්ධ විපක්ෂයට එකතු වූවන් වීමය.
‘මොකද මේ අය එකට වාඩිවෙලා. කොහොම වුණත් ඔයාලා හොඳ වෙලාවට ඡන්දෙට ඉස්සෙල්ලා ආවේ?’ මහින්ද ඔවුන් වෙත ගියේ විහිළුවක්ද කරමිනි.
‘ඒක නම් ඇත්ත සර්. අපි ඒ තීන්දුව ගත්තේ නැත්නම් මිනිස්සු අපටත් ගහයි. දැන් ලංකාවේ හැමෝගෙම පක්ෂය වෙලා තියෙන්නේ පොහොට්ටුව. අපිත් ඒකේ කොටස්කාරයෝ කියන එක අපටත් ලොකු ආඩම්බරයක්’ ලන්සා පැවසීය.
‘ඔයාලට නම් මොළේ පෑදුණා. ඒත් කවද්ද ආණ්ඩුවේ ඉන්න අනික් අයට මොළේ පෑදෙන්නේ?’ මහින්ද ඇසුවේය.
‘සමහරුන්ට නම් කවදාවත් මොළේ පෑදෙන එකක් නැහැ සර්. සමහරු තාමත් හිතන්නේ ඉන්නේ මිනිස්සු ආණ්ඩුවට කැමැතියි කියලනේ’ ප්‍රියංකර පැවසීය.
‘එහෙම හිතන් ඉන්න අයට මිනිස්සු මේ පාර රතු එළිය දුන්නා. ඊළඟ මැතිවරණයේදී එයාලට ගෙදර යන්න ටිකට් එක ලැබෙයි. ඊට පස්සේ ඉතින් මේ රටේ දේශපාලනය කරන්න හම්බ වෙන්නේ නැහැ. කුඹුරක් කොටාගෙන ඉන්න තමයි වෙන්නේ’ පවිත්‍රා කීවාය.
‘ඔව්, ඔව්. මිනිස්සු කියන්නේ එයාලට දේශපාලනෙන් නම්බුකාර විදියට විශ්‍රාම ගන්න කියලයි. එහෙම නැති වුණොත් මිනිස්සුම එයාලව විශ්‍රාම යවලා දායි’ අරුන්දික කීවේය.
එම සාදය ආරම්භයේ සිට පැය තුනක කාලයක් මහින්ද මන්ත්‍රීවරුන් සමග ගත කළේය. අනතුරුව රාත්‍රී නවයට පමණ වාදක මඬුල්ලක් විසින් සංගීත ප්රසංගයක්ද පවත්වන ලදී. එහිදී මුලින්ම ගීත ගායනා කරන්නට එකතු වූයේ විමල්ය. ගුණදාස කපුගේ සූරීන්ගේ %දවසක් පැල නැති හේනේ^ ගීතයෙන් ගායනය ආරම්භ කළ විමල් එක දිගට ගීත දහයක් පමණ ගැයුවේය.
විමල් ගීත ගැයුම අවසන් කළේ ඔහුගේ දියණිය සමග ගැයූ %දම් පාටින් ළා සඳ බැස යනවා^ ගීතයත් සමගිනි. විමල්ගෙන් මයික්‍රෆෝනය ලබාගැනීම කොතරම් දුෂ්කර වී ද යත් පියල් නිශාන්තට ගීතයක් ගයන්නට බොහෝ වේලාවක් බලා සිටින්නට සිදුවිය. ගීය ගයන්නට ගිය පියල්ට අවසානයේ සිදු වූයේ බොංගෝව වයන්නටය.
බොංගෝ වයමින් සිටි පියල් විමල්ගෙන් පසුව ගීත දෙකක් ගැයුවේය. ඒ නම් 'ආදරේ රන් විමන්' සහ 'කුණ්ඩුමනී' යන ගීතය. පියල් 'කුණ්ඩුමනී' ගීතය ගායනා කරන විට පවිත්‍රා සහ කාංචන නැටුමකින් ගීතය වර්ණවත් කළහ. එහෙත් සැමගේ සිත් ගත්තේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සාදය ආරම්භයේ සිට අවසානය දක්වාම නැටූ නන්ස්ටොප් නැටුමය.
මහින්දගේ සාදයට ප්‍රසන්නට එන්නට නොහැකි වූයේ විශේෂ කටයුත්තකට සහභාගි වීමට සිදුවීම නිසාය. එදින පෞද්ගලික රූපවාහිනී නාළිකාවක තිබූ දේශපාලන සංවාදයක් සඳහා ප්‍රසන්නට ඇරයුම් ලැබී තිබීම ඊට හේතු විය. ප්‍රසන්න දකින්නට නොසිටි නිසා මහින්ද ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ගත්තේය.
‘මොකද ප්‍රසන්න ආවේ නැත්තේ?’ මහින්ද ඇසුවේය.
‘නැහැ සර් මට මේ දේශපාලන සංවාදයකට යන්න වෙලානේ’ ප්‍රසන්න උත්තර දුන්නේය.
‘ඒ වුණාට පොඩි වෙලාවකට හරි ඇවිත් ගියා නම් තමයි හොඳ’ මහින්ද පැවසීය.
‘ඒක නම් ඇත්ත සර්. ඒ වුණත් මේවට නිකම්ම ගිහිල්ලත් බැහැනේ’ ප්‍රසන්න උත්තර දුන්නේය.
අඟහරුවාදා මහින්ද හදිසියේ ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඒ තිරුපති කෝවිලෙහි පූජාවකට සහභාගි වීම සඳහාය. මහින්ද සමග ලොහාන් ඇතුළු සමීපතමයෝ පිරිසක්ද ඉන්දියාව බලා ගියහ. අනතුරුව ඉන්දීය මාධ්‍ය වටකර ගනිමින් ඇසූ ප්‍රශ්නවලට මහින්ද උත්තර දුන්නේය. පසුගිය පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය ගැන ඉන්දීය මාධ්‍ය විමසූ විට මහින්ද කීවේ තමන් නියෝජනය කල පක්ෂය ආසන 71%ක් ජයග්‍රහණය කළ බවයි.
පළාත් පාලන මැතිවරණයෙන් ලැබුණු ජනවරමට අනුව මහමැතිවරණයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනරැලි මාලාවේ ප්‍රථම ජනහමුව නුගේගොඩ නගරයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ මාර්තු 07 වැනිදාය.
ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බදාදා සවස නෙළුම් මාවතේදී පැවැත්විණි.
පළාත් පාලන මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන පළමු ජාතික රැලි මාලාව මෙය වේ. එබැවින් මැතිවරණයෙන් ලැබුණු ජනවරම ප්‍රදර්ශනය වන අයුරින් නුගේගොඩ ජනරැලිය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
‘පසුගිය ඡන්දෙන් මිනිස්සු මේ ආණ්ඩුවේ කකුල් සහ අත් කඩලා දැම්මා. දැන් තියෙන්නේ ඊළඟ ඡන්දෙන් ආණ්ඩුවේ බෙල්ලම කඩලා දාන්නයි’ ප්‍රසන්න පැවසුවේ කවුරුත් සිනහා ගන්වමිනි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ පැවැති වර්ණවත් උත්සවයක් වූයේ බණ්ඩාරනායක සමරු සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැති %2017 ජාතික ඉදිකිරීම් සම්මාන ප්‍රදානොත්සවය^යි. එහිදී තේමාවන් 06ක් යටතේ සම්මාන 32ක් පිරිනැමිණි.
ආරාධිත අමුත්තන් වෙනුවෙන් සකස් කර තිබූ විශේෂ වීඩියෝ චිත්‍රපටයෙන් වත්මන් ඉදිකිරීම් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින බරපතළ ගැටලු පිළිබඳ අවධානය යොමුකර තිබිණි. ඒ පිළිබඳ බෙහෙවින් සංවේදීව සිට ජනාධිපතිවරයා පැවසුවේ ‘සජිත්, ඉදිරි සති දෙක ඇතුළත මේ ගැටලු සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වන සාකච්ඡාවේදී ඒවාට විසඳුම් ලබාදෙන බව ඔයාගේ කතාවේදී එළිපිටම ප්‍රකාශ කරන්න’ කියාය.
‘මේ ගැටලුවලට විසඳුම් ලබා දෙනවා නම් සර් ඒක ක්ෂේත්රයේ ඉන්න අයට ලොකු ශක්තියක්’ සජිත් කීවේය. අනතුරුව සජිත් කීවේ ‘තවත් බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් පවතින නිසා පිටරටින් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වන්න කොන්ත්‍රාත්කරුවන් අවසර ඉල්ලනවා. මම ඒකට එකඟ නෑ. මේ රටේ ඉන්න තරුණ තරුණියන්ට ඉදිකිරීම් වෘත්තීය පුහුණුව ලබාදීලා ඒ අයට අවස්ථාවක් ලබාදීමයි වැදගත්’ කියාය.
‘බොහෝම හොඳයි’ යනුවෙන් ජනාධිපතිවරයාද ඊට සිය එකඟතාව පළ කළේය.
‘ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ %ශිල්ප සවිය^ වැඩසටහන යටතේ අපි දැනටමත් 12,000කට ඉදිකිරීම් පුහුණුව ලබාදීලා තිබෙන්නේ’ සජිත් පැහැදිලි කළේය.
‘ඒ විතරක් නොවෙයි සර්, කර්මාන්ත සංවර්ධන අරමුදල ක්‍රියාත්මක කිරීමට මම දැන් අවුරුදු තුනක් තිස්සේ මහන්සි වුණත් ඒකට විවිධ බාධක එල්ල වෙනවා’ යැයි සජිත් කියද්දී, ජනාධිපතිවරයා ඇසුවේ ‘මොනවද ඔයා ඔය අරමුදලින් කරන්න සැලසුම් කරලා තිබෙන්නේ?’ කියාය.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට පුහුණුව මූල්‍ය ප්රාග්ධනය ලබාදීම, පුහුණු වන ශිල්පීන්ට රක්ෂණාවරණයක් සැපයීම හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම වැනි අරමුදලේ ප්‍රධාන අරමුණු සජිත් පැහැදිලි කරද්දී ජනාධිපතිවරයා විමතිය පළ කරමින් කීවේ ‘අයියෝ, ඇයි මේක මෙච්චර පරක්කු වුණේ? ඒ ටිකත් අපි ඉක්මනින්ම කරමු’ කියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd