Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුති පනත් කෙටුම්පත, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සහ යෝජිත නව ව්‍යවස්ථාව මගින් රට පවාදීමක් සිදුකරන බවත් මේ හරහා රටේ ආරක්ෂාව දැඩි ලෙස තර්ජනයකට ලක්වී ඇති බවට විවිධ මතවාද ඉදිරිපත්වෙමින් පවතී.
පාර්ලිමේන්තුවේද සංවාදයට ලක්වන මෙම කරුණු පිළිබඳ නිශ්චිත අවබෝධයක් ලබාගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සමග 'අද' සාකච්ඡා කළෙමු.
Q බලහත්කාරයෙන් අතුරුදන් කිරීම වැළැක්වීම සමබන්ධනේ ජවිපෙ අදහස කෙබදුද?
මෙවැනි නීතියක් රටට අවශ්‍යයි කියා ජවිපෙ දකිනවා. මොකද පසුගිය අවුරුදු හතළිහ ඇතුළත අඩුම වශයෙන් මිනිසුන් ලක්ෂ එක හමාරක්වත් අතුරුදන්වීමට ලක්වී තිබෙනවා. වැඩිම ප්‍රමාණය ශ්‍රී ලංකා රජය මට්ටමින් සිදුවූ අතුරුදන්වීම්.
1971 ,1989 වගේම අවුරුදු තිහක යුද්ධය නිසා ඊට අමතරව යුද්ධය කාලයේ එල්.ටී.ටී.ඊ මැදිහත්වීමෙන් සිදුකළ අතුරුදන්වීම් තිබෙනවා. මේවා සම්බන්ධයෙන් දඬුවම් දෙන්න ලංකාවේ හරියාකාර නීතියක් නැහැ. ඒ නිසා එවැනි නීතියක් අවශ්‍යයි.
එහෙම වුණත් මේ ගෙනවිත් තිබෙන පනත් කෙටුම්පත අතීතයට බලපාන පනතක් නෙවෙයි. අනාගතයට බලපාන පනතක්. අවම වශයෙන් ඒ මට්ටමින් හෝ නීතියක් රටට අවශ්‍යයි.
Q ඔබේ දැක්මට අනුව මේ පනත් කෙටුම්පත තුළ රටට අහිකරදේ ඇතුළත් කර තිබෙනවාද?
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතෙහි කිසිම රටට අහිතකර දෙයක් නැහැ. රටේ ජනතාව අතුරුදන් කරපු පුද්ගලයෝ මිනීමරුවෝ. ඒ මිනීමරුවන්ට දඬුවම් දිය යුතුයි. මිනීමරුවන්ට දඬුවම් දීම රටට අහිතකර වෙන්නේ කොහොමද?.
ඊළඟ දේ තමයි මේ පනත නිසා ලංකා විදේශ රාජ්‍යයක බලපෑමකට ලක්වෙන්නේ නැහැ. යම් කිසි නීතියක් විදේශයන්හිදී වලංගු වෙනවාද නැතිද කියන කාරණය සම්බන්ධයෙන් වන උදර්පණ නීති සම්මුතියක් තිබෙනවා.
වෙනත් රටක අපරාධකරුවෙකු තමන්ගේ රටක සංචාරය කරද්දී අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා යම්කිසි රටක් නීතියක් සම්මත කළොත් එයට විරුද්ධවෙන්න කාටවත් බැහැ. වෙන රටකින් එන ඕනෑම අපරාධකාරයෙක් ලංකාවේදී අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා නීතියක් හදාගත්තොත් ඒක නැහැ කියන්නත් වෙන රටවලට බැහැනේ.
ඒ වගේ මේ පනත නිසා නෙවෙයි දැනටත් සමහර රටවල එවැනි නීති සකස්කර තිබෙනවා. නමුත් මේ පනත නිසා ලංකාවේ චෝදනා ලැබ තිබෙන හමුදා නිලධාරියෙකු හෝ දේශපාලඥයකුට හරි විදේශ රටකදී අත්අඩංගුවට පත්වෙන්න කිසිම අවස්ථාවක් නැහැ. රාජපක්ෂලා හමුදාවට කරපු අපරාධ වහගන්න මේක පාවිච්චි කරනවා.
Q මෙම පනතේ සංශෝධනය විය යුතු කරුණු තිබෙනවාද?
මෙම පනත පාර්ලිමේන්තුව තුළ තවම විවාදයට ගත්තේ නැති නිසා අපි විශේෂයෙන් සංශෝධන සකස් කළේ නැහැ. නමුත් මේ පනතට සංශෝධන ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා . මොකද අතුරුදන් වෙනවා කියන්නේ මැරුවා හා සමානයි. නමුත් ඒ වෙනුවෙන් උපරිම දඬුවම ලෙස මේ පනතේ තිබෙන්නේ අවුරුදු විස්සක සිර දඬුවමක්.
මීනීමැරුම හා සමාන දඬුවමක් එයට ලබාදිය යුතුයි. ඒ වගේම මේ පනතේ දඩය නියම කර තිබෙන්නේ රුපියල් ලක්ෂ පහක් පමණයි. ගංවතුර නිසා ජීවිත හානි වූ විටත් ලක්ෂ විසි පහක් දිය යුතුයි කියා ආණ්ඩුව කියනවා. ඒ නිසා මෙය වැඩිවිය යුතුයි. මේ ආකාරයට සාධාරණ සංශෝධන ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.
Q අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සම්බන්ධ පනත් කෙටුම්පත ආණ්ඩුව මුලින්ම ඉදිරිපත් කළේ 2016 වසරේ අගෝස්තු මාසයේදී. වසරකට ආසන්න කාලයක් ගතවුවත් එය ස්ථාපිත කිරීමට නොහැකිවී තිබෙනවා?
මේ පනත සම්මත කළත් එයට ඉදිරිපත් කිරීමට අතවශ්‍ය සංශෝධනයක් තිබුණා. අතුරුදන් වූවන්ගේ කාර්යාලයට දේශීය හෝ විදේශීය ආයතන සමග ගිවිසුම් එළැඹීමට හැකි බව දක්වමින් පනතේ එක වගන්තියක් තිබුණා. අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නයෙන් දෙපැත්තකින් ගසා කනවා.
මිනිස්සු අතුරුදන් කරපු මිනීමරුවෝ බොරු දේශප්‍රේමී වෙස් අරගෙන මේකට විරුද්ධව කතා කරනවා. ඒවගේම යුද්දෙයි සාමයයි දෙකම විකුණගන කාපු ඇතැම් රාජ්‍ය නොවන සංවිධාක රොත්තක් ලංකාවේ වගේම විදෙස් රටවලත් තිබෙනවා. අතුරුදන් වීම ඔවුන්ට සල්ලි හොයන ව්‍යාපාරයක්. මේ ප්රශ්නය පාවිච්චිකරලා කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් හොයන්න ඔවුන් උත්සාහකරනවා.
මේගිවිසුම්වලට එළැඹීමෙන් වෙන්නෙත් එහෙම එකක්. පනත සම්මත කරපු මුල් අවස්ථාවේදී අපි ඒ සංශෝධනය ඉදිරිපත් කළා. එදා රාජපක්ෂ කල්ලිය පාර්ලිමේන්තුව කඩාකප්පල් කරපු නිසා මේ සංශෝධනය සම්මත කරගන්න බැරිවුණා.
පනත සම්මත වුණත් සංශෝධන ඉදිරිපත් කරගන්න නොහැකි වූ නිසා නැවත මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට මාස හයක පමණ කාලයක් ආණ්ඩුව ලබාගත්තා. ආණ්ඩුව කාර්යක්ෂමව කටයුතු කළානම් මාස හතරකින් විතර මේ කටයුත්ක කරන්න තිබුණා.
ඒනිසා තමයි මේ ප්‍රමාදය සිදුවී තිබෙන්නේ. මේ සංශෝධනය ඉදිරිපත් කරන්නට පෙර වුණත් ඒ ආයතනය පිහිටුවීමේ හැකියාව තිබුණා. නමුත් ආණ්ඩුව ඒ දේවල් කළේ නැහැ. මේ ආණ්ඩුව අලස ආණ්ඩුවක් නිසා තමයි පනත සම්මත වෙලත් කාර්යාලය පිහිටුවීම තවත් කල්දාන්නේ.
Q අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම ලංකාව වශයෙන් ගත්කල කොපමණ වැදගත්ද?
අපි මේදේවල් කළ යුත්තේ ජිනීවා මානව හිමිකම් කාර්යාලය නිසා නොවෙයි. ජිනීවා මානව හිමිකම් කාර්යාලයට මෙවැනි කරුණු කොන්දේසි වශයෙන් පනවන්නට හැකි වූයේ අපි කළ යුතුව තිබුණු දේවල් නොකරපු නිසයි. අපේ රටේ මිනිස්සු අතුරුදන් වීම ගැන හොයන්න වුවමනාවත් තිබිය යුත්තේ අපේ රටේ මිනිස්සුන්ටද ජිනීවා කාර්යාලයටද.
අපේ පාලකයෝ නොකළවිට තමයි ලෝකෙ පුරාම මිනිස්සු මරණ ඇමෙරිකන් නායකයොයි යුරෝපයේ යුදවාදී නායකයොයි අපිට බලපෑම් කරන්න අවස්ථාව උදාකරගෙන තිබෙන්නේ.
ඒනිසා අපි දකින්නේ රටක ජනතාවගේ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් හොයා බලන්න වගවීම තිබෙන්නේ ආණ්ඩුවට. 2009 මැයි 27 යුද්දෙ අවසන් වෙලා සතියකට පසුව ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි මේ සියලුම කරුණු ලිඛිතව ඉදිරිපත් කළා.
ඒවිදිහට දුරදක්නා නුවණින් කටයුතු කළානම් ජිනීවා කාර්යාලයෙන් අපිට කියන්න දෙයක් නැහැ. කාලයක් ගතවී හෝ මේ කාර්යාලය පිහිටුවීම වැදගත්.
Q රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යද?
විශේෂයෙන්ම අපේ රටේ ව්‍යවස්ථාවේ සහ ආණ්ඩුකරණයේ ප්‍රධානම ලක්ෂණය තමයි විධායක ජනාධිපති ක්‍රමය. අපේ මුළු දේශපාලන සංස්කෘතියම සහමුලින්ම වෙනස් කර තිබෙන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය මත. මේනිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියා අපේ රටේ පහුගිය අවුරුදු 25 ඇතුළේ ජනවරම් බොහොමයක් ලැබී තියෙනවා.
1994 , 2000 , 2005 , 2010 , 2015 මේ අවුරුදු වල දිගටම ලැබිලා තිබෙනවා. අවුරුදු 25 ක් තිස්සේ ලැබුණු ජනවරම් පහක් නොසලකා හැර ගිහින් තිබෙනවා. රටට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන පළමුවැනි කරුණු තමයි ඒ කාරණය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන රටේ ප්‍රජාත්‍රන්තවාදය මීට වඩා ශක්තිමත් කරන නව ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍යයි කියන මතයේ තමයි ජනතා විමුක්ති පෙරමුණ සිටින්නේ. මැතිවරණ ක්රමයේ ආදී සෙසු කරුණුත් එයට ඇතුළත් කළ යුතු වෙනවා.
Q විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවට ඇතැම් පාර්ශ්ව කරුණු ඉදිරිපත් කරනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියා ඔබ පවසන්නේ ඇයි?
කිසිම සැකයකින් තොරව අපේ රටේ බිහිවූ සෑම විධායක ජනාධිපතිවරයෙකුම ඒකාධිපතියෙකු වුණා. ජේ ආර් ජයවර්ධන, ප්‍රේමදාස, චන්ද්‍රිකා මේ අය ඒකාධිපතියෝ බවට පත් වුණා. මහින්ද රාජපක්ෂ ඒකාධිපතීත්වයෙන් රජ වුණා.
මේ විදිහට ගියොත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් ඒ යකාට අඳින්න සිදුවෙනවා. අපිට තවත් යක්කු අවශ්‍ය නැහැ. අනිවාර්යෙන්ම ලංකාවේ අස්ථාවරභාවය තමයි විධායක ජනාධිපති ක්‍රමය. මේනිසා නව ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍යයි.
Q විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වුවහොත් රට තුළ ආරක්ෂාව අනතුරට ලක්වීමේ හැකියාවක් තිබෙනවාද?
එහෙම මතයක් එක්කෙනෙක් දෙන්නෙක් කිව්වට මිනිස්සු කෝටි ගණනක් මේ වෙනුවෙන් ඡන්දෙ දීලා තියෙනවානේ. විධායක ජනාධිපති ක්‍රමය එපා කියලා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ටී එන් ඒ සංවිධානය ආදී මේ රටේ සියයට අනූනවයක්ම ඡන්ද දායකයෝ ඇවුරුදු විසි පහක් තිස්සේ මේ කාරණය අනුමත කර තිබෙනවා.
ඕනෑම මතයකට විරුද්ධව දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා. නමුත් ඒකේ ඇති පදනමක් නැහැ. ලෝකයේ රටවල් ආරක්ෂා වෙලා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසා නෙවෙයිනේ. මැදපෙරදිග යුද්ධ කරන ඊශ්‍රායලයේ අගමැති ධුරයක් තිබෙන්නේ. ලංකාවේ උදාරණයක් ගත්තොත් 71 අපේ අරගලය මැඬ පැවැත්වූයේ විධායක ජනාධිපති ක්‍රමයක් තිබිලා නෙවෙයිනේ.
අතිදැවැන්ත රටක් වුණ ඉන්දියාවෙ තියෙන්නෙත් අගමැතිකම යටතෙනෙ. ජනාධිපති ධුරයක් නැතිවුණා කියලා රටේ ආරක්ෂාව නැතිවෙන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ ආණ්ඩුවෙ දේශපාලන පිළිවෙත මත. ආරක්ෂාව ගැන කතාකරද්දී ලංකාවේ හිටපු විධායක ජනාධිපතිවරු මොනවද කළේ. ජේ.ආර් ජනාධිපතිතුමා ඉන්දියාවට බයවෙලා එල්ටීටීයට උදව් කළා.
ප්‍රේමදාස ජනාධිපතිතුමා එල්ටීටීයට තුවක්කු හා සිමෙන්ති දුන්නා. චන්ද්‍රිකා ජනාධිපතිනිය එල්ටීටීයට සුනාමි සහන මණ්ඩල දුන්නා. මහින්ද රජපක්ෂ ජනාධිපතිවරයා ඡන්දෙ දිනන්න එල්ටීටීයට කෝටි 72 වැඩියෙන් සල්ලි දුන්නා. එහෙම කළෙත් විධායක ජනාධිපතිවරුමනේ.
තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් විධායක ජනාධිපති ධුරය යොදාගෙන රට පාවාදෙන විදිහෙ වැඩගන්න පුළුවවන් නිසා , එහෙම රට පාවා දෙනකොට ඒක පාලනය කරනන් බැරිනිසාත් තමයි ඊට වඩා අඩු බලයක් සමග පාර්ලිමේන්තුට වගකියන අගමැති ක්‍රමයක් ඇති කළ යුත්තේ.
Q නමුත් මහානායක හිමිවරුන් නව ව්‍යවස්ථාවකට විරුද්ධයි?
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ රටේ සංඝ පරපුරට ව්‍යවස්ථා සම්පාදනයේ තොරතුරු හරි හැටි දැනුම් නොදීම නිසායි ඒ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ.
ඒ වගේම රාජපක්ෂ කල්ලිය ඇතුළු ජාතිවාදීන් තමන් දේශපාලන වශයෙන් අනාථ වී තිබෙන නිසා කුමක් හෝ බොරුවක් කියලා රටේ මතයක් ඇතිකරලා තිබීමත් මීට එක් හේතුවක්. ඒවගේම මේ ආණ්ඩුව නංගි පෙන්වලා අක්කා දෙන ආණ්ඩුවක් නිසා උන්නවහන්සේලාට එහෙම හිතෙන එකත් සාධාරණයි.
Q නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමට සුදුසුම අවස්ථාව මෙය බව ඔබ පවසන්නේ කුමන කරුණු මතද?
ව්‍යවස්ථා සම්පාදනය සඳහා වර්තමාන ආණ්ඩුවට අවශ්‍ය කරන සම්පුර්ණ පාර්ලිමේන්තු බලය නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න හැම කෙනාටම ඇහුම්කන්දෙන්න මේ පාලනයට සිදුවෙලා තිබෙනවා. ලංකාවේ ව්‍යවස්ථා හදලා තියෙන්නේ 1972 ,1978 විතරයි. ඒ අවස්ථා දෙකෙදීම තුනෙන් දෙක් බලය තිබුණ නිසා කාගෙන්වත් අහන්නේ නැතුව එයාලට අනවශ්‍ය විදිහට ව්‍යවස්ථාව හැදුවා.
නමුත් මේ වෙලාවේ මෛත්‍රීපාල මහත්තයට හෝ රනිල් මහත්තයට අවශ්‍ය විදිහේ ව්‍යවස්ථාවක් හදාගන්න බැහැ. ඒ වෙනෙස ආගමික නායකයෝ තක්සේරු කළ යුතුයි කියලා මම හිතනවා. හොඳම අවස්ථාව තමයි මේ අවස්ථාව.
මේ ව්‍යවස්ථා සම්පාදනය පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ හවුල්වෙලා සිදුකරගෙන යන දෙයක්. රටේ ජනතාවට සාධාරණ ව්‍යවස්ථාවක් හදාගන්න තිබෙන අවස්තාව තමයි මේ අවස්ථාව. විධායක ජනාධිපති කියන පිළිකාවෙන් රට ගලවාගන්න තිබෙන අවස්ථාවක්.
Q නව ව්‍යවස්ථාවෙන් රට දෙකඩවීමක් සිදුවන ලකුණු තිබෙනවාද?
බුදුදහමට තිබෙන තැන අහිමිකරනවා ,රට බෙදන්න යනවා වගේ අමු පට්ටපල් බොරු තක්කඩි ප්‍රකාශ කරනවා වෙනුවට මේ ව්‍යවස්ථා සම්පාදනයේ තිබෙන ඇත්ත අඩුපාඩුකම් විවේචනය කරනවා නම් හොදයි. විය යුත්තේත් එයයි. මහජනතාවට අයිතියක් තිබෙනවා ඒගැන දැනගන්න. ඒවගේම අපේ අවුරුදු 2500ක ඉතිහාසයේ තමුන් පාලනය කරන නීතියක් ජනතාව අනුමත කරලා නැහැ.
ජනතාවගෙන් අනුමත වුණ එකම ව්‍යවස්ථාවක්වත් අපේ රටේ නැහැ. ඒ නිසා මේ ව්‍යවස්ථාවවත් සකසා ගැනීමේ අරමුණු තියාගත යුතුයි. ඒ වගේම මම අභියෝග කරනවා මේ රටේ වගකිවයුතු දේශපාලන පක්ෂයක නායකයෙක්, වගකිවයුතු ආගමික නායකයෙක්, වගකිවයුතු සිවිල් සංවිධාන නායකයෙක් කවුරුන් හෝ ලංකාවේ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ඉවත් කළ යුතුය කියා කතාවක් කරලා තිබෙනවානම් එය පෙන්වලා දෙන්න කියලා මම අභියෝග කරනවා.
එහෙම ප්‍රකාශ කරපු කවුරුත් නැහැ. මේවා දේශපාලන වශයෙන් අනාථ වූ පිරිස් රට තුළ ජාතිවාදය අවුළුවන්න කරන ප්රකාශයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd