මීතොටමුල්ල කසළ කන්දේ ඛේදවාචකය අමතක කරමින් සියලුම දේශපාලන පක්ෂ මේ වන විට මැයි දිනය තුළ තම ශක්තිය පෙන්වීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියි. එසේ වුවද පැවති රජයන්ට හෝ වත්මන් රජයට කසළ කන්දේ වගකීමෙන් මිදීමට නොහැකිය. අසරණ වූ ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටුකළ යුතුව ඇත. තත්ත්වය මෙසේ වන විට ආණ්ඩුවේ වත්මන් තත්ත්වය පිළිබඳ කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මුජිබර් රහ්මාන් මහතා සමග 'අද' සංවාදයේ යෙදුණි.
Q මීතොටමුල්ල කසළ කන්ද නාය යාමට නියමිත බව ජනතාව බලධාරීන්ට දැන්වුවද එයට ඇහුම්කන් නොදුන් බවට චෝදනාවක් තිබෙනවා?
නැහැ. ඒ කාරණය පිළිගන්න බැහැ. අපි සියලු දෙනාම ජනතාවට ඇහුම්කන් දෙනවා. මේ කතාවේ ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. පක්ෂ විපක්ෂ සියලු දේශපාලඥයන් ඒ කාලේ හිටපු අය සහ වත්මන් ආණ්ඩුවත් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් සංවේදී විය යුතුයි කියලා තමයි මම හිතන්නේ.
Q ප්‍රදේශයේ මන්ත්‍රීවරයකු ලෙස ඔබ මේ වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ කෙසේද?
දැනට කොළඹ නගර සභවේ වෙන් වෙන් වශයෙන් කුණු එකතු කරනවා. මේ නිසා ජනතාවටත් යම් යම් ආකාරයෙන් මේ වෙනුවෙන් වෙහෙසෙන්න වෙනවා. අපේ ජනතාව බොහෝවිට හැමදේකටම කම්මැලියි. මේ විදිහට ගොඩගැහෙන්නේ මේ ජනතාවගේම කුණු. නිසි ආකාරයට කුණු බැහැර කිරීමේ වගකීම ජනතාවටත් තිබෙනවා. ඒ නිසා මේක එක් අයෙකුට විතරක් භාරදීලා අපිට ඇඟ බේරාගන්න බැහැ. රජයක් විදිහට අපිට වගකීමක් තිබෙනවා වගේම ජනතාවත් ඔවුන්ගේ වගකීම නිවැරදිව ඉටු කළයුතු වෙනවා.
Q කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පවා දුර්වලතා තිබෙනවා?
විශේෂයෙන්ම කොළඹ නගරය තුළ එක්රැස් කරන කුණු බැහැර කිරීමට ගියවිට විවිධ ප්‍රදේශවලින් ජනතාව විරෝධතා දක්වන්න පටන් ගත්තා. සමහර ප්‍රදේශවල ජනතාව ප්‍රචණ්ඩවත් හැසිරුණා. මේ නිසාම තමයි කසළ කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙන්නේ. ඒ කටයුතු බාධාවකින් තොරව ඉටුකරගෙන යාමට අවශ්‍ය නිසයි එහෙම ගැසට් නිවේදනයක් නිකුත් කළේ.
කොළඹ නගරයට කුණු ගේනවා කියල රට වටේම උද්ඝෝෂණය කරනවා. නමුත් අපි එක දෙයක් මතක තබා ගත යුතු වෙනවා. ඒ තමයි කොළඹ නගරයේ ජීවත් වෙන්නේ ලක්ෂ හයක පමණ ජනතාවක්. නමුත් කොළඹට දවසකට ලක්ෂ නවයක්, දහයක් එනවා. ඒ වගේම තමයි කොළඹ නගරයේ ජනතාවගෙන් දිනකට එකතු වෙන්නේ කුණු ටොන් 250යි. ඒ කියන්නේ ඉතිරි අපද්‍රව්‍ය සියල්ලම කොළඹ නගරයට පැමිණෙන ජනතාවගේ අපද්‍රව්‍ය. ඒ ජනතාව උදේ කොළඹට ඇවිත් තමන් ගම්වලින් ගෙන එන දේවල් පරිහරණය කරලා ඉතිරි වෙන දේවල් කොළඹ කසළ බඳුන්වලට දාලා ගමට යනවා.
එහෙම ගිහින් ගමේ ඉඳන් කෑගහනවා කොළඹ කුණු අපිට එපා කියලා. ගමේ ජනතාව කොළඹට ඇවිත් කාලා බීලා විසිකරලා යන දේවල් බැහැර කරන්න ගියාම ඒකට කෑ ගහනවා. කොළඹ කුණු කියල දෙයක් නැහැ. තියෙන්නේ රටේ කුණු. ඒ නිසා රටේ කුණුවලට විසඳුමක් දෙන්න අවශ්‍යයි. ඒකට විසඳුමක් දෙන්න හදද්දී මිනිස්සු කෑගහන්නේ හරියට ඉන්දියාවෙන් කුණු ගේනවා වගේ.
ඒ වගේ පටු අදහස්වලින් දැන්වත් අපි බැහැර විය යුතුයි. ළදරු මානසිකත්වයෙන් එම පුද්ගලයන් ඉවත් විය යුතුයි. මොකද විවිධ දේශපාලන අරමුණු නිසා රටේ සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න දෙන්න බැහැ. ඒ වගේම තමයි ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා කුණු කූඩයට ගිය ඒකාබද්ධය මීතොටමුල්ල කුණු කන්දෙන් හෝ නැගිටින්න පුළුවන්ද කියල බලනවා.
Q එක්සත් ජාතික පක්ෂය මැයි දිනයට සුදානම් වන්නේ කෙසේද?
එක්සත් ජාතික පක්ෂය මැයි දිනයට සුදානම් වෙමින් පවතිනවා. මේ වනවිට සියලුම ආසනවල සංවිධායකවරුන් මැති ඇමතිවරුන් ඇතුළු සියලුදෙනා ඒ සඳහා කැපවෙමින් කටයුතු කරනවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ කැම්බල් පිටියට ගෙන ඒමට අපි මේ වන විට සැලසුම් කරමින් යනවා.
Q පක්ෂයේ අර්බුදයක් නිසාද තනතුරු මාරුව කල් ගියේ?
මම දන්නා තරමින් දැන් අපේ පක්ෂයේ අර්බුදයක් නැහැ. පක්ෂයේ ජයග්‍රහණය සහ පක්ෂයේ ඉදිරි ගමන ගැන සිතමින් තමයි පක්ෂයේ හැමෝම වැඩකටයුතු කරන්නේ. තනතුරු මාරු කරන කතාව මම දැක්කෙත් මාධ්‍යයෙන්.
Q රජයේ තනතුරු වෙනසක් විය යුතු බවට ඔබ විශ්වාස කරනවාද?
අමාත්‍යවරුන්ගේ කාර්යක්ෂමතාව පිළිබඳ පසුවිපරමක් කරලා එම අමාත්‍යාංශවල නිලධාරීන්ගේ අඩුපාඩු තිබෙන බවට වාර්තා වුණොත් ඒවා වෙනස් කරනවා නම් ඒකෙ ගැටලුවක් නැහැ. කොහොම උනත් මේ හැමදෙයක්ම කරන්නේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සාකච්ඡා කරලා.
Q යෝජිත නව ව්‍යවස්ථාව පිළිබඳ මේ වන විට කිසිදු කතාබහක් නැහැනේ. එය අතරමග නැවතිලාද?
ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු අවුරුද්දෙන් පසුව සාර්ථකව සිදුකරගෙන යනවා. මේ සම්බන්ධ පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ එකතුව කටයුතු සම්පාදනය කරනවා. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කෙටුම්පතක් සකස් කළ පසුව පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධ විවාදය පවත්වනවා. මේ හැමදේම පිළිබඳ සාකච්ඡා මට්ටමේ තිබෙන්නේ.
පක්ෂ නායකයෝ සියල්ලෝම එයට සහයෝගය දෙනවා. පසුගිය කාලයේ රටේ පොදු පිළිගැනීම වුණේ ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා. ඒක රටේ සියලුම දේශපාලන පක්ෂවල ඉල්ලීමක්. ඒ දේ යථාර්ථයක් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ.
Q ආණ්ඩුවට එල්ලවන ජනතා විරෝධයන් මැඬපවත්වන්න කටයුතු කිරීමටද ආණ්ඩුව සුදානම් වන්නේ?
ආණ්ඩුව සම්බන්ධයෙන් ඕනෑම මතයක් දක්වන්න අද ජනතාවට ලොකු නිදහසක් ලැබී තිබෙනවා. නමුත් අද වන විට මේ පිරිස් සිදුකරන උද්ඝෝෂණ කොතරම් සාධාරණද කියලා අපි බලන්න අවශ්‍යයයි. අද වන විට හතු පිපෙනවා වගේ උද්ඝෝෂණ පවත්වනවා. උද්ඝෝෂණ කරන්නේ පොඩි පිරිසක්.
නමුත් විශාල පිරිසකට එයින් බාධා වෙනවා. මෙහෙම ගියොත් රජයක් විදිහට සංවර්ධනය කරා යන්න බැහැ. උද්ඝෝෂණය කරන්න ඕන අනිත් පුද්ගලයන්ට බාධා නොවන විදිහට. ප්රජාතන්ත්රවාදය කියලා තව කෙනෙනකුගේ අයිතිය උල්ලංඝනය කරන්න, නිදහසට බාධා කරන්න බැහැ. මේ වෙනුවෙනුත් ආණ්ඩුව අවධානය යොමුකරලයි තිබෙන්නේ.