Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
එහෙත් මැතිවරණයක් තුළ හා ඊට පෙර සිදුකරන විශේෂ ප්රචාරක වැඩපිළිවෙළක් හරහා වාම මතයක් සමාජගත කළ නොහැකි යැයි මින් අදහස් නොවේ. එමෙන්ම සැලකිය යුතු උත්සාහයකින් පසුව, යම් මහජන ප්‍රතිචාරයක් මැතිවරණ තුළ වාමාංශික ව්‍යාපාරයන්ටද ලබාගත හැක. එහෙත් එහි පවතින සීමාසහිත බව පිළිබඳ අවබෝධයක් පැවතිය යුතුය. එමෙන්ම වාමාංශික පක්ෂ මැතිවරණ හා නියෝජිත ආයතනවලට සහභාගි වීම (පාර්ලිමේන්තුව, පළාත් සභා, පළාත් පාලන) පිළිබඳ සිය ස්ථාවරය සකසාගැනීමේදී ඉතිහාසය තුළ විශාල අත්දැකීම් ලබා ඇති බවද අප ඒවා මත පදනම් විය යුතු බවද අමතක නොකළ යුතුය. ලංකාව තුළද, ජාත්‍යන්තර දේශපාලනය තුළද මැතිවරණ හා නියෝජිත ආයතන පිළිබඳ මැදිහත් වන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රමාණවත් තරම් උදාහරණ හමු වේ. නියෝජිත ආයතනයක් සඳහා පැවැත්වෙන මෙවැනි තරග වාමාංශික ව්‍යාපාරය සිය දේශපාලන අරගලයේ ප්‍රධාන හෝ එකම සටන් බිම බවට පත් නොකර ගත යුතුය.
අපගේම දේශපාලන ඉතිහාසය තුළ මැතිවරණයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙමින් නියෝජිත ආයතන පිළිබඳ දැඩි බලාපොරොත්තු දෙමින් ඒ මත මුළු සාමාජික හා සමාජ මානසිකත්වය ගොඩනගමින් කරන ලද දේශපාලනය පිළිබඳ අපට ස්වයං විවේචනයක්ද ඇත. එමෙන්ම නියෝජිත ආයතන තුළ ඇති කාර්යභාරය පමණට වඩා අතිශයෝක්තියට නගමින්ද, අවසානයේ අපද එහිම උගුලක් වෙමින්ද පසුකරන ලද දේශපාලන අත්දැකීම් අපගේ ඉතිහාස භාවිතාව තුළ පමණටත් වඩා ඇත. ඒ නිසාවෙන් එළඹෙන සෑම මැතිවරණයකටම ඉදිරිපත් වෙනවා වෙනුවට තෝරා බේරාගෙන දේශපාලන උද්ඝෝෂණයේ හා ප්රචාරණයේ අවස්ථාවක් ලෙස ජනතාවට අධ්‍යාපනය ලබාදීමේ අරමුණෙන් මැතිවරණය යොදාගත යුතුය යන්න අපගේ ස්ථාවරයයි. වත්මන් තත්ත්වය සැලකුවහොත්, 2018 වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට රටේ ඉදිරි ගමන පිළිබඳ තීරණාත්මක සංඥාවක් නිකුත් කරන බව පැහැදිලිය. ශ්‍රීලනිප බෙදීම, එජාපයේ කඩවුණු පොරොන්දු, ජවිපෙ දෙබිඩි දේශපාලනය මැතිවරණය ඉදිරියේ පරීක්ෂාවට ලක්වීමට නියමිතය. එමෙන්ම මෙම සෑම දේශපාලන ව්‍යාපාරයක්ම 2020 සිය බල පොරයේ ආරම්භක ලක්ෂ්‍යය ලෙස මෙම මැතිවරණය සලකන බව පෙනේ. සාමාන්‍යයෙන් ගමේ ඡන්දය ලෙස හැඳින්වූ පළාත් පාලන මැතිවරණය වැඩි වශයෙන් ප්‍රාදේශීය කරුණුවලට සීමා වුණ දෙයක් වුවද, මෙවර එහි වෙනසක් සනිටුහන් කරමින් මැතිවරණය තුළ ගොඩනැගෙන සංවාදය සැලකිය යුතු දුරකට ජාතික දේශපාලන සංවාදය දෙසට තල්ලු වනු ඇත.
මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ වසර 03ක ප්‍රමාදයකින් පසුවය. විවිධ තාක්ෂණික හේතු පැවසුවද, ශ්‍රිලනිප කණ්ඩායම් දෙකද, එජාපයද, කොටින්ම ජවිපෙ පවා මැතිවරණයට තිබූ අකමැත්ත මෙම කල් යෑමට බලපෑ බව පැහැදිලිය. කෙසේ වුවත් අවසානයේ මෙම මැතිවරණය හරහා නව මැතිවරණ ක්‍රමයක් අප ඉදිරියට ගෙනවිත් ඇත. මෙම මැතිවරණ ක්‍රමය පැහැදිලිවම කුඩා දේශපාලන ව්‍යාපාර පිටියෙන් එළියට ඇද දැමූ එකකි. මෙම මැතිවරණයේදී මුළු රටටම, එනම් සියලු පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් වන පක්ෂයකට සභික ධුර 8356ක් වෙනුවෙන් අපේක්ෂකයන් 9379ක් ඉදිරිපත් කිරීමට සිදු වේ. මෙවර නව ක්‍රමයට අනුව මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා 3870කින් වැඩි වී තිබේ. ඒ අනුව මුළු රටටම ඉදිරිපත් වන පක්ෂයකට ඇප මුදල් ලෙස රුපියල් 14,000,000ක් හෙවත් ලක්ෂ 140ක් හෙවත් රුපියල් කෝටි එකහමාරක් පමණ වියදම් කිරීමට සිදු වේ.
එය එජාපයට හෝ ශ්‍රීලනිපයට ගැටලුවක් නොවන බව පැහැදිලිය. ඔවුන්ට ඇප මුදල් සොයාගැනීමට එක් දුරකථන ඇමතුමක් ප්රමාණවත්ය. එමෙන්ම ඔවුන්ගේ නියෝජිතයන් නම් කිරීමේදී සිය දේශපාලන ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමේ හැකියාව, ඒවා වෙනුවෙන් පෙනී සිටීම හා සමාජයේ යම් දුරකට හෝ ජීවන ආදර්ශනයන් සහිත අයෙකු වීම යන්න අදාළ නැත. ඔවුන්ගේ පණිවුඩය ඉතාම සරල එකකි. එය එක් හෝ තවත් එකෙකුගේ දෑත් ශක්තිමත් කිරීම විය හැක. එහෙත් යම් ප්‍රතිපත්තියක් මත මැතිවරණයට ඉදිරිපත් වන එම ප්‍රතිපත්තිය මැතිවරණය තුළ ඉස්මතු කිරීමට බලාපොරොත්තු වන දේශපාලන ව්‍යාපාරයකට, එය සරල නොවන අභියෝගයකි. යම් මැතිවරණ කොට්ඨාසයකට, ලැයිස්තු සැකසීමේදී ඉදිරිපත් වන අපේක්ෂකයන් ප්‍රමාණය 30, 40, 50, 60 තරම් විශාල සංඛ්‍යාවක් වීමේදී යම් හෝ ගුණාත්මක මට්ටමක් සහිත අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම පිළිබඳ අභියෝගයකට මුහුණ දේ. එය ජනතාවට මෙසේ විවෘතව ඉදිරිපත් කළ යුත්තේ සහ මෙම ප්රජාතන්ත්ර විරෝධී මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබඳ සමාජ සංවාදයක් ගොඩනැගිය යුත්තේ එය මෙම පනත් සැකසූවන්ට සිදු වූ අත්වැරැද්දක් නොවන නිසාය. එය දේශපාලන පක්ෂ නිල වශයෙන් තහනම් නොකර සිදුකළ අනියම් තහනම් කිරීමක් නිසාය. එදා ජයවර්ධන යුගයේ ජේ.ආර්. ජයවර්ධන සෘජුව සිදුකළ දේම මේ හවුල් ආණ්ඩුව වෙනත් අයුරකින් සිදු කර ඇත.
මෙම පැහැදිලි කිරීමට අයෙක් ප්රතිවිරුද්ධව විමසිය හැක්කේ එසේ නම් ජවිපෙ ඉදිරිපත් වන්නේ කෙසේද කියාය. දැනටමත් ජවිපෙ පුවත්පත් දැන්වීම් පවා දමමින් වෙනත් පක්ෂවල නාමයෝජනා නොලබන අපේක්ෂකයන් පවා සිය ලැයිස්තුවලට කැඳවා ඇත. එය සාමාන්‍යයෙන් එජාපය හා ශ්‍රීලනිප පවා නොකරන දෙයකි. සතියකට පෙර වෙනත් දේශපාලන පක්ෂයක සිටි අයෙකු මැතිවරණ මාසයට සිය පක්ෂය සඳහා කුලියට ගැනීම හරහා පෙන්නුම් කරන්නේ ඔවුන් ජනතාව සමග සිදුකිරීමට යන ගනුදෙනුව පිළිබඳ ඔවුන්ගේ වගවීම බව ජනතාව හඳුනාගත යුතුය. ජවිපෙ ඉතිහාසය තුළම විවිධ මහජන නියෝජිතයන් පක්ෂය හැර යාම විසින් බැට කන ඉතිහාසයක් තිබේ. එවැනි පක්ෂයක් මෙවැනි තීරණයකට එළඹීම මවිතය දනවන සුළුය. එහෙත් එය එක් පැත්තකින් ඉතාම සාමාන්‍ය දෙයක් වන්නේ 2020 ජයග්‍රහණය සඳහා ඔවුන් විසින් ඔවුන්වම පත් කරගෙන තිබෙන ස්වයං මෝහනය දෙස බැලූ විටය. කෙසේ වුවත් මෙම මැතිවරණ ක්‍රමය ඉතාමත් ප්රජාතන්ත්රවාදී එකක් යැයි ආවැඩූ දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු තවත් පක්ෂ බිම් මට්ටමේ කුඩා දේශපාලන ව්‍යාපාර අතුගා දැමීමේ හා තමන්ම එහි ගොදුරක් බවට පත්වීමේ ක්‍රියාමාර්ගයක් පිළිබඳ ඉතිහාසය ලියමින් සිටියි. අනෙක් අතට මෙම මැතිවරණ ක්‍රමය පිළිබඳ ප්රශස්ති ගී ගැයූ ලිබරල්වාදීන් ඉදිරිපත් කළ ‘ගම්වල ප්‍රජා නායකයන් නියෝජිතයන් ලෙස තරග බිමට කැඳවීම‘ පට්ටපල් බොරුවක් බවට පත් වී ඇත. ස්වාධීන අපේක්ෂකයෙකුට රු. 5000ක් ඇප තැබීමට සිදුවීමත්, එවැනි කණ්ඩායමක් සඳහා සාමාන්‍යයෙන් රු. ලක්ෂ 2ක පමණ මුදලක් ඇප මුදල් ලෙස වැය කිරීමට සිදු වීමත් යන පදනම විසින් එවැනි ප්රවේශයකට සිදුව ඇති බාධාව පැහැදිලිය. ප්‍රජා නායකයන් ඉදිරිපත් ෙවනවා නම් ඔවුන් තමන් විසින් ප්‍රතික්ෂේප කරන දූෂිත දේශපාලන පක්ෂවල ලැයිස්තුවලින්ම පැමිණිය යුතුය යන්න මෙහි ඇති සරල පණිවුඩයයි.
කෙසේ වුවත් මෙම මැතිවරණ බල පොරය මැද වත්මන් පාලක කණ්ඩායම රටත් ජනතාවත් රැගෙන යාමට සූදානම් වන ඉතාම බියකරු අනාගත ඉරණම පිළිබඳ මෙම මැතිවරණය තුළ සිටම මහජන අවධානය යොමු කළ යුතු බවත්, පොදු ජනතාව ඊට එරෙහිව සංවිධානය කළ යුතු බවත් අපගේ ස්ථාවරය වී ඇත. මැතිවරණ ක්‍රමය තුළ සකසා ඇති ඉහත බාධක විසින් අපට මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබුණද මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකර හෝ වත්මන් පාලක කණ්ඩායමේ මෙම විනාශකාරී ගමන පිළිබඳ පුළුල් ජනතා අවබෝධයක් සැකසීමටත් ඒ වටා ඔවුන් සංවිධානය කිරීමටත් අප තීරණය කර ඇත. එහිදී ‘නොරැවටෙමු, නැගී සිටිමු‘ යන තේමාව ඔස්සේ පුළුල් ප්රචාරක උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට දැනටත් සැලසුම් සකස්කර ඇත. දිස්ත්‍රික් රැලි, ප්‍රදේශීය රැස්වීම්, ජනහමු, ගෘහස්ථ සාකච්ඡා, ජංගම ජනහමු, වීදි නාට්‍ය, වීදි ගීත, කවිකොළ ආදී ක්‍රම යොදාගෙන රටපුරා සිදු කරන ප්රචාරක ව්‍යාපෘතියක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. පසුගිය අයවැය හරහාත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා කර තිබෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හරහාත්, ඉන් පෙර වරින් වර ඉදිරිපත් කළ ආණ්ඩුවේ ඉදිරි දර්ශනය හරහාත්, මෙරට ජනතාව රැගෙන යාමට සිටින්නේ ඉතාම බිහිසුණු අනාගතයකට බව පැහැදිලිය. අධ්‍යාපනය, සෞඛ්‍ය, විශ්‍රාම වැටුප්, වැඩිහිටි දීමනා වැනි සමාජ සුබසාධනයන් මුළුමනින්ම උදුරාගැනීමටත්, රාජ්‍ය ආයතන හා මහජන දේපොළ සියල්ලම පාහේ වෙන්දේසි කිරීමටත්, ශ්‍රම බළකායේ වැටුප් හා සේවා කොන්දේසි විවිධ රටවල් සමග ඇති කරගන්නා ගිවිසුම් හරහාත් කම්කරු නීති සංශෝධනය හරහාත් උදුරාගැනීමටත්, සෙස් බද්ද ඉවත් කිරීම හරහා මෙන් වෙළෙඳ ගිවිසුම් හරහා දේශීය සුළු කර්මාන්තකරුවාගේ ආර්ථිකය විනාශ කිරීමටත්, ඉඩම් පනත් හරහා ගොවි ජනතාවගේ ඉඩම් උදුරාගැනීමටත්, බහුජාතික සමාගම් හා ධනකුවේරයන් සතුටු කරන දේශපාලකයන්ට කොමිස් උපදවන මහා දැවැන්ත පරිසර සංහාරයක් සිදුකරන මෙගා ව්‍යාපෘති හරහා ආර්ථික තලයේ බරපතළ උගුලක ජනතාව ඇදමමින් සිටී. අයවැය සම්මත වීමට දිනකට පෙර මූල්‍ය අරමුදල සිය තුන්වැනි ණය වාරිකය සම්මත කිරීම හරහා සිය මනදොළ සපුරාගත් බව පැහැදිලි කරුණකි. ප්රජාතන්ත්රවාදය පිළිබඳවද දුන් පොරොන්දුවලට පයින් ආණ්ඩුව පයින් ගසා ඇත. අතුරුදන් වූවන් පිළිබඳ සත්‍ය හෙළිදරව් කිරීම, දේශපාලන ඝාතනයන්ට යුක්තිය ඉටුකිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වැනි ප්‍රශ්න පාලකයන්ට අද වනවිට වහකදුරු මෙන් වී ඇත. එදා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය ගැන මොරදුන් අය අද සැඟවුණු අමුත්තන් බවට පත්ව ඇත. ඒ වෙනුවට ජනතාවගේ ජීව දත්ත පවා රැස්කරන ලෝකයේ විවිධ රටවලදී විවේචනයට ලක්වූ ඊ - හැඳුනුම්පත වැනි මර්දන පනත් සම්මත කර ඇත. ජාතීන් අතර විරසකය දුරලීම වෙනුවට එය තවත් දලු ලා වැඩෙන දේශපාලන ප්රවේශයන්ට ඉඩකඩ තබා ඇත. දෙමළ හා මුස්ලිම් ජාතික ප්‍රජාවන්ට අයත් සුවිශේෂී ගැටලු විසඳීම සඳහා ප්‍රවේශයක් නැත.
මෙම වැඩපිළිවෙළට එරෙහි ප්‍රතිවාදීන්ද එබඳුම අපූර්ව පිරිසකි. දෙමළ ජාතික සන්ධානය විපක්ෂ නායක ධුරයද දරමින් ගෙවුණු වසර තුනක් තිස්සේ ඉදිරිපත් වුණු ආණ්ඩුවේ සියලු පනත්වලට අත ඔසවමින් ඉතිහාසගත වන විපක්ෂනායක භූමිකාවක් රඟදක්වා ඇත. ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය කිසිදු ප්‍රතිපත්තිමය පදනමකින් ගොඩනැගෙන්නක් නොවන අතර, ඔවුන් සෑම විටම ජාතිවාදය තුරුලට ඇදී යන විවේචන ඉදිරිපත් කිරීම හරහා ආණ්ඩුවට තමන්ගේ කටයුතු පහසු කර දී ඇත. මූල්‍ය අරමුදලේ ඉහත ප්‍රතිපත්තිමය ප්රවේශයන්ට ඔවුන්ගේ විරෝධය මතුවන්නේ තාක්ෂණික කාරණා මුල් කරගෙනය. නැතිනම් ජාතිවාදී මූලය පදනම් කරගෙනය. ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂයේ එකම අභිප්‍රාය වංචා, දූෂණ නැවැත්වීම බව ප්‍රදර්ශනය කරමින් ඒ මත්තේම ගැටෙන දේශපාලනය ව්‍යාපාරයක් බවට පත්ව ඇත. අනෙක් අතට ආණ්ඩුව අසීරු තත්ත්වයකට පත්වන ඕනෑම මොහොතක එය බේරාගැනීමට ඔවුහු ඉදිරිපත් වෙති. ජනතාවට විනාශකාරී වන බොහෝ අණපනත් පිළිබඳ ඔවුන්ගේ විවේචනය ඒකාබද්ධ විපක්ෂයටත් වඩා දුර්වලය.
මේ තත්ත්වය ඉදිරියේ රටේ ජනතාව රැවටීමෙන් ගලවාගැනීමටත්, අධිරාජ්‍යවාදයට එරෙහිව, සමාජ සාධාරණත්වය, සැබෑ ප්රජාතන්ත්රවාදය, සමානාත්මතාව වෙනුවෙන් නැගී සිටීමටත් සූදානම් කළ යුතුව ඇත. ඒ සඳහා මෙම මැතිවරණයේ සිට ‘නොරැවටෙමු, නැගී සිටිමු‘ යන තේමාව යටතේ රට පුරා ජනතාව දැනුවත් කිරීමේ හා සංවිධානය කිරීමේ වැඩපිළිවෙළකට, අවතීර්ණ වන්නෙමු. ඒ සඳහා අධිරාජ්‍ය විරෝධී, ප්රගතිශීලී, ප්රජාතන්ත්ර ළැදි සියලු බලවේගයන්ට අප වටා පෙළගැසෙන ලෙස ඉල්ලා සිටිමු.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd