හුදෙක් වර්තමානය පිළිබඳ පමණක් සිතීම නිසා මානව වර්ගයා මෙතෙක් පැමිණි ගමනේදී ඇති කරගෙන ඇති ආර්ථික, සමාජීය මෙන්ම පාරිසරික ගැටලු බොහෝය. එම ගැටලු අවම කරමින් ආර්ථික, සමාජීය මෙන්ම පාරිසරික යන සාධක තුනෙහිම යහපැවැත්ම පවත්වාගෙන යෑම වෙනුවෙන් අද වනවිට ස්ථිරසාර සංවර්ධනය වෙත ලෝකය යොමුවෙමින් පවතියි. මේ පිළිබඳ විග්‍රහයක් ගෙන ඒමට අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිෂ්පාදන හා කර්මාන්ත ඉංජිනේරු අධ්‍යයනාංශයේ ආචාර්ය අසේල කුලතුංග මහතා 'අද' වෙත සම්බන්ධ කර ගතිමු.
අද ගැන පමණක් සිතා මෙතෙක් ආ ගැටලුකාරී ගමන්මග
අතීතයේදී බොහෝ කර්මාන්ත පැවතියේ ගෘහාශ්‍රිත කර්මාන්ත වශයෙනි. කුල ක්‍රමය මත පදනම් වී පියාගෙන් පුතාට වශයෙන් වන රාමුවක එම කර්මාන්ත බොහෝ විට ස්ථාපනය වී පැවතුණි. එවන් පාරම්පරික කර්මාන්තවල වෙළෙඳ පොළ තුළින් ඉතා සීමිත ප්‍රදේශයක් ආවරණය වූ අතර, වෙළෙඳ කටයුතු සිදු වූයේ භාණ්ඩ හුවමාරු ක්‍රමය මගිනි.
17 වැනි සියවස අග භාගයේ සිදු වූ කාර්මික විප්ලවය විවිධාකාරයෙන් ගෝලීය ජන ජීවිතය නව මාවතක් ඔස්සේ පියමං කරවන්නට හේතු විය. 1770 දශකයේ වාෂ්ප එන්ජිම සොයාගැනීමත් සමග සිදු වූ ගමනාගමන සහ කර්මාන්ත සහ කාර්මික ක්ෂේත්රයේ විපර්යාසයන් කාර්යක්ෂම හා ගුණාත්මක නිෂ්පාදන බිහි කිරීමට සමත් විය. මුහුදු සුළං සහ ජල මාර්ග ආධාරයෙන් එතෙක් සිදු වූ නාවික ගමනාගමනය වාෂ්ප එන්ජිම මගින් කාර්යක්ෂ්මව සිදු කිරීමත්, අශ්ව රථ හා සතුන් මගින් ගොඩබිම සිදු වූ ගමනාගමනය වාෂ්ප දුම්රිය සහ මෝටර් රථ මගින් සිදු වීමත්, ඊට පසු ගල් අඟුරු වෙනුවට ඩීසල්, පෙට්‍රල් වැනි පොසිල ඉන්ධන භාවිතයත් ශීඝ්‍ර ගෝලීය ආර්ථික දියුණුවට මග පෑදීම සිදු කරන ලදී. මෙසේ සිදු වූ කාර්මික දියුණුව අසීමිත අමුද්‍රව්‍ය භාවිතය සහ බලශක්තිය නිපදවීම ආදිය නිසා පරිසරය කෙරෙහිද අයහපත් ලෙස බලපෑම් සිදු කිරීමෙන් පරිසර දූෂණය සඳහාද හේතු විය.
මීට අමතරව ගෝලීයකරණයේ පුළුල් වීම් නිසා අලෙවිකරණය හා ආශ්රිත ක්‍රියාදාමයන් තුන්වැනි ලෝකයේ රටවල් වෙත ව්‍යාප්ත වීම තුළින් මිනිසාගේ පරිභෝජන රටාවන්ට දැඩි බලපෑමක් සිදුවිය. මෙම බලපෑම නිසා සමස්ත ලෝකයේම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සැලකිය යුතු වෙනස්කම් සිදුවිය. විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ රටවලින් අඩු වියදමෙන් අමුද්‍රව්‍ය, මානව සම්පත් ආදී නිෂ්පාදන කාර්යයන් සඳහා අවශ්‍ය සම්පත් අඩු මිලට ලබාගැනීමට හැකි වීම නිසා නිෂ්පාදන ක්‍රියාවලි පහසුවෙන් හා කාර්යක්ෂ්මව කිරීමට හැකි විය. මෙම ක්‍රියාවලිය අධිකව සිදු වීම නිසා අපද්‍රව්‍ය එක්රැස් වීම හා බලශක්තිය අධිකව භාවිත වීමද සිදු විය.
ඕනෑම නිෂ්පාදනයක් සිදු කිරීමට මූලික වශයෙන් යෙදවුම් අවශ්‍ය වේ. මූලික යෙදවුම් වශයෙන් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය භාවිත කිරීමේදී සම්පත් හායනය වීමක් සිදු වේ. එබැවින් නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙම යෙදවුම් යම්කිසි පරිවර්තනීය ක්‍රියාදාමයකට ලක්කර එහි මූලිකාංග අගය වැඩි කිරීමක් සිදු කරනු ලබයි. මෙම අගය එකතු කිරීමේ ක්‍රියාවලිය සඳහා අනෙකුත් යෙදවුම් වශයෙන්, ශක්තිය (විදුලි හා තාප), මිනිස් ශ්‍රමය, ජලය යනාදිය අවශ්‍ය වේ.
නිෂ්පාදන ක්‍රියාවලියේදී භාණ්ඩ නිෂ්පාදනයට අමතරව, ඝන අපද්‍රව්‍ය, දිරාපත් වන අපද්‍රව්‍ය සහ පහසුවෙන් නොදිරන අපද්‍රව්‍ය, ද්‍රව්‍යමය අපද්‍රව්‍ය හා වායු විමෝචනය ලෙස තුන් ආකාරයකින් අපද්‍රව්‍ය පරිසරයට නිකුත් කෙරෙයි. මීට අමතරව, නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අධිකව භාවිතයට ගැනෙන බලශක්තිය නිපදවීමේදී පරිසරයට විෂ වායූන් අධික ලෙස මුදාහරිනු ලැබේ. මේ ආකාරයට නිෂ්පාදන ක්‍රියාවලියේදී කිහිප ආකාරයකින් පරිසරයට හානිදායක ක්‍රියාවලි සිදු කෙරේ. මෙම ක්‍රියාදාමයන් ඇතැම් විට කර්මාන්ත ශාලා අවට හා ඊට පරිබාහිර ප්‍රදේශයන්හිදී සිදු වේ. මීට උදාහරණ ලෙස නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්කාශනයේදී නිෂ්පාදනය සඳහා භාවිත කිරීමට පෙර තාවකාලිකව තැන්පත් කර තිබීමේදී, ප්‍රවාහනයේදී හා බලශක්තිය නිෂ්පාදනයේදී සිදුවන පරිසර දූෂණය කර්මාන්ත ශාලාවට පරිබාහිරව සිදු වන පරිසර දූෂණය වශයෙන්ද, නිෂ්පාදනයේදී සිදු වන දූෂණය හා අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම මෙන්ම නිෂ්පාදිත උපකරණ හා භාණ්ඩ භාවිත කිරීම කර්මාන්ත ශාලාව අවට සිදු වන පරිසර දූෂණය වශයෙන්ද පෙන්වා දිය හැකිය.
අනාගතය වෙනුවෙන් ස්ථිරසාර සංවර්ධනය
තිරසාර සංවර්ධන සංකල්පයේ මූලික පරමාර්ථය වන්නේ ආර්ථික හා සමාජීය සංවර්ධනය අවම පාරිසරික බලපෑමක් යටතේ අනාගත පරම්පරාවල අවශ්‍යතා ඉටු කිරීමට බාධාවක් නොවන සේ සිදු කිරීමයි. වෙනත් ආකාරයකින් දක්වතොත් සිදුවන භෞතික සංවර්ධනය හා බද්ධ වූ අකාර්යක්ෂ්ම සම්පත් අවභාවිතය සීමා කිරීමයි. ඒ අනුව සංවර්ධන ක්‍රියාවලියේදී අතීතයේ සැලකීමට ලක්කළ ආර්ථිකමය අභිලාෂයන්ට අමතරව නිෂ්පාදන ක්‍රියාවලියේ පාරිසරික හා සමාජීය දිශානති ඔස්සේද විමසීමකට ලක්කර අහිතකර ප්‍රතිඵල සිදුවිය හැකි නම් ඒවා අවම වන ආකාරයෙන් සිදු කිරීම තිරසාර නිෂ්පාදන ක්‍රියාවලිය වේ. මෙහිදී නිෂ්පාදන කාර්යයන් තුළ වන ආර්ථික අභිලාෂයන් ලෙස නිෂ්පාදන පිරිවැය අවම කිරීම, ව්‍යාපාර දියුණුව, රැකියා අවස්ථා ජනනය කිරීම ආදිය සැලකිය හැකිය. පාරිසරික අභිලාෂයන් ලෙස දේශගුණික විපර්යාසයන් කෙරෙහි වන බලපෑම අවම කිරීම, ජෛව විවිධත්වය සුරැකීම සහ අසීමිත සම්පත් පරිභෝජනය අවම කිරීමද සමාජීය අභිලාෂයන් ලෙස යටිතල පහසුකම් දියුණු කිරීම, අයිතිවාසිකම් සුරැකීම, සහජීවනය වර්ධනය කිරීම, සමාජ සමානාත්මතාව වර්ධනය කිරීම සහ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන්ගේ උන්නතිය සැලකිය හැකිය.
ඒ අනුව විශේෂයෙන්ම යම් ව්‍යාපෘතියක් හෝ සංවර්ධන ක්‍රියාවලියක් තුළින් තිරසාර සංවර්ධනයේ මූලිකාංග සපුරාලීමට නම් එම ව්‍යාපෘතියේ පමණක් නොව සමස්ත සමාජයේම ආර්ථික, සමාජීය සහ පාරිසරික උන්නතිය පිළිබඳ අවධානය යොමු කළ යුතුය. මේ සඳහා නිර්මාණශීලීත්වය, අධ්‍යාපනය, නිසි පුහුණුව හා නවෝත්පාදන ක්‍රියාදාමයන් භාවිතයට ගත යුතු ය. මෙම ක්‍රියාවලිය ආර්ථික, පරිසර සහ සමාජ යන අංශවල ත්රිවැදෑරුම් ප්‍රතිපත්තිය මත පදනම් වී සිදු වේ.
තිරසාර සංවර්ධන මූලධර්ම සමාජගත වූ පසු විවිධ ක්ෂේත්‍ර එම මූලධර්ම ඔස්සේ යමින් තම ක්ෂේත්‍ර තුළ ධරණීය බව ඇතිවන ලෙස නව යොමුවක් කරා පිය නැගීමක් සිදුවිය. උදාහරණ වශයෙන් කෘෂිකර්මාන්ත, ප්‍රවාහන, නිවාස, වත්කම් හා කළමනාකරණය, නිෂ්පාදන, සමාගම් සහ ව්‍යාපාර, වාස්තු විද්‍යා සහ සැලසුම්, ඉදිකිරීම් සහ ගොඩනැගිලි සහ බලශක්ති ආදී විවිධ ක්ෂේත්‍ර වෙත තිරසාර සංවර්ධන මූලධර්ම යොමු වීම පෙන්වා දිය හැකිය. කෙසේ වුවත් ඕනෑම ක්ෂේත්රයක තිරසාර බවක් ඇති වීමට නම් අධ්‍යාපනය සහ පුහුණුව, නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනය යන අංශවල සංවර්ධනයක් අවශ්‍ය වේ.
ස්ථිරසාර සංවර්ධනය වෙනුවෙන් ස්ථිරසාර නිෂ්පාදන
තිරසාර නිෂ්පාදන ක්‍රියාවලිය යන්න පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් වී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපද වාණිජ ආයතනයට අනුව තිරසාර නිෂ්පාදනය යනු ‘‘පරිසරයට වන අයුතු බලපෑම් අඩුවන, ස්වාභාවික සම්පත් හා ශක්ති සංරක්ෂණයක් වන පරිදි සහ වෘත්තිකයන්ට, මහජනතාවට හා පාරිභෝගිකයන් සුරක්ෂිත වන පරිදි ආර්ථිකමය වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියයි.
තිරසාර නිෂ්පාදන ක්‍රියාවලිය තුළ තිරසාර නිෂ්පාදන සිදු කිරීම සහ සියලු නිෂ්පාදන තිරසර නිෂ්පාදන ක්‍රියාවලිය යටතට පත් කිරීම යන කරුණු අන්තර්ගත වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ උසස් නිෂ්පාදන සඳහා වන ජාතික උපදේශන ආයතනයට අනුව මුල් යුගය තුළ පුනර්ජනනීය ශක්තීන් නිෂ්පාදනය, බලශක්ති කාර්යක්ෂමතාව, හරිත කර්මාන්ත ශාලා ඉදිකිරීම හා වෙනත් හරිත හා සමාජමය සමතුලිතතා සහිත නිෂ්පාදන බිහි කිරීම ආදිය වූ අතර, පසුකාලීනව සමස්ත ජීවන චක්‍රය තුළ ගැටලු සහිත නිෂ්පාදනය කරනු ලබන සියලු නිෂ්පාදනයන් සම්පූර්ණ තිරසරභාවයට පත් කිරීම සඳහා තිරසර නිෂ්පාදන ක්‍රම යෙදවීම අවධාරණය විය.
ස්ථිරසාර සංවර්ධනය අභිමුව ශ්‍රී ලංකාවේ සූදානම
ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටක නිෂ්පාදන ක්‍රියාවලියක තිරසාරත්වය මැන බැලීමට සහ වර්ධනය කර ගැනීමට සුදුසු ක්‍රමවේදයක් සොයාගැනීමේදී වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළ යුතුය. එනම් නිෂ්පාදන ක්‍රියාවලියක තිරසාරත්වය මැන බැලීමට සහ වර්ධනය කර ගැනීමට සැලසුම් කිරීමේදී භාණ්ඩය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය, නිෂ්පාදනය කරන ආකාරය, නිෂ්පාදනයෙන් පසු භාණ්ඩය භාවිත කරන ආකාරය සහ භාවිතයෙන් පසු බැහැර කිරීම යන අවස්ථා සියල්ලන්හි තිරසාර සංවර්ධනය කෙරෙහි බලපෑම අධ්‍යයනය කර ඒ අනුව භාණ්ඩය සැලසුම් කිරීමයි. මෙම ක්‍රමය වඩාත් යෝග්‍ය වන්නේ නව භාණ්ඩයක් වෙළෙඳ පොළට හඳුන්වා දෙන අවස්ථාවකදීය. නමුත් දැනට නිෂ්පාදනය කරමින් පවතින භාණ්ඩයක නිෂ්පාදනයේ තිරසාර බව ළඟා කරගැනීමට නම් නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීම, ඒවා ගබඩා කර තබා ගැනීම, පෙර සැකසුම් කිරීම, කර්මාන්ත ශාලාව තුළ සිදුවන නිෂ්පාදන ක්‍රියාවලිය, ඉන්පසු භාණ්ඩය බෙදාහැරීම ආදිය ගැන අවධානය යොමු කළ යුතුය.
නමුත් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලා තුළ නිෂ්පාදනය වන භාණ්ඩ බොහෝමයක සැලසුම් කිරීමේ පියවර තුළ තිරසාර නිෂ්පාදන බිහි කිරීම සඳහා වන අවධානය මඳ බවකින් යුක්තය. එසේම මෙරට තුළ නිෂ්පාදනය කරන ඇතැම් භාණ්ඩවල සැලසුම් කිරීමේ කාර්යය සිදු වන්නේ විදේශයන්වලදීය. තවද රට තුළ සිදු කරන භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ තාක්ෂණය බොහෝවිට ලැබෙන්නේද විදේශයන්ගෙනි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රය තුළ තිරසාර නිෂ්පාදන සිදු කිරීම සඳහා එකී ක්‍රියාවලීන්ගේ වෙනසක් අනාගතයේදී සිදු වීම අවශ්‍ය වේ. ඒ වෙනුවෙන් වගකිවයුතු අංශවල මැදිහත් වීමෙන් ජාතික වශයෙන් ප්‍රතිපත්ති සම්පාදනය විය යුතුය.