දේශපාලන ක්ෂෙත්රය තුළ සිදු වූ විවිධ සිදුවීම් මෙන්ම ඉදිරි දින කිහිපය තුළ සිදුවෙතැයි පවසන ඇතැම් සීදුවීම් හේතුවෙන් ලාංකික දේශපාලන ක්ෂේත්රය තරමක් උණුසුම්භාවයක් ගෙන තිබේ. එමනිසා වත්මන් දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සමග සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු.
Q යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමත් සමග ආණ්ඩුවේ ඇතැම් නියෝජ්‍ය අමාත්‍යවරුන් ඔහු නිදහස් කරන ලෙසත්, එසේ නොමැති නම් ආණ්ඩුවෙන් ඉවත්වන බවටත් ආණ්ඩුවට තර්ජනය කරනවා?
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණයෙන් තමයි යෝෂිත රාජපක්ෂ මහත්මයාව අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ. රාජ්‍ය දේපළ අවභාවිත කළ හෝ දූෂණ චෝදනා ලබපු අයට පක්ෂපාතීව කතා කරන්න පුළුවන් වෙන්නෙ එක්කො තමනුත් ඒ වගේ වංචා කරලා අහුවෙයි කියලා බයේ ඉන්න අය. එහෙම නොවෙයි නම් ඉදිරියේදී හොරකම් කරන්න බලාගෙන ඉන්න අය.
කාටහරි ඉල්ලා අස්වෙන්න ඔන නම් ඒක මේ මාධ්‍යවලට කියකියා ඉන්නෙ නැතිව තමන්ගේ පක්ෂයේ නායකයාට කියලා ඉල්ලා අස්වීමේ ලියුම දෙන්න පුළුවන්.
Q යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලනික පළිගැනීමක් නාෙවයිද?
ඒක එහෙම කියනවා නම් දේශපාලන පලිගැනීම් කියන්නෙ මොනවාද කියලා මම හොඳට කියලා දෙන්නම්. විපක්ෂයේ අය කියනවා යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුණු නිසා ගමේ තරුණයො හමුදාවට යුද්ධ කරන්න ආවා කියලා. ඒත් එහෙම ආපු කෙනා පුහුණුව ලැබුවේ ජනාධිපති ආරක්ෂකයන් තිදෙනෙකුගේ ආරක්ෂාව යටතේ. ඒ වගේම ඔහු පුහුණුව ඉවරවෙන්නත් කලින් නැවත ජනාධිපති ළඟ. 77 වතාවක් රට ගිහිල්ලා 33 වතාවයි එයින් අවසර අරගෙන තියෙන්නේ. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට රට යනවා නම් ආණ්ඩුවෙන් අවසර ගන්න ඕන. සමාගමක කෙනෙක් නම් ආයතන ප්‍රධානියාගෙන් අවසර ගන්න ඕන.
ඒ නිසා හමුදා නීතිය අනුවත්, සිවිල් නීතිය අනුවත් ඔහු වැරදියි. ඒ වගේම ලක්ෂ 2,240 මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබ තියෙන්නේ එක දවසක්වත් යුද්ධ කරපු නැති කෙනා. නමුත් සරත් ෆොන්සේකා මහතා ඇත්තටම අවුරුදු ගාණක් යුද්ධ කරපු කෙනා. නමුත් එතුමා ජනාධිපති ධුරයට තරග කළ නිසා හමුදාවෙන් අරගෙන ගිහිල්ලා හංගගෙන ඉඳලයි නඩු දාන්නේ. යෝෂිතට එල්ල වෙලා තියෙනවා වගේ චෝදනාවක් ඔහුට ඇවිත් තිබුණෙ නැහැ. අන්න දේශපාලන පළිගැනීම්.
2005 මහින්ද රාජපක්ෂ මහත්තයට දිනන්න කොටින්ගේ උදවු අරගෙන දීපු ශ්‍රීපති සූරියආරච්චි මහත්තයව ආණ්ඩුවෙන් ගිය ගමන් මරලා දැම්මා. දිවිනැගුම පනත ගැන ජනමත විචාරණයකට යන්න ඕන කියලා කියපු ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය වහාම ඉවත් කළා. අන්න දේශපාලන පළිගැනීම්.
ඒ වගේම කුඩු විකුණලා හරි, ස්ත්‍රී දූෂණයකට හරි තමන්ගේ පුතා හිරේට ගියත් තාත්තෙකුට කඳුළු එනවා. ඒක තමයි මවුපිය සෙනෙහස කියන්නේ. මහින්ද රාජපක්ෂට ඇවිත් තියෙන්නෙත් ඒ වගේ කඳුළක් තමයි.
නමුත් ඒ කඳුළ ගැන දුක්වෙන අයගෙන් මට අහන්න තියෙන්නේ අනෝමා ෆොන්සේකා අවුරුදු ගාණක් තිස්සෙ අඬපු කඳුළු, කඳුළු නොවෙයිද? ලසන්ත වික්රමතුංගගේ බිරිඳගේ කඳුළු තාජුඩීන්ගේ දෙමාපියන්ගේ කඳුළු, ඒවා කඳුළු නොවෙයිද? මේ අය පුළුවන් තරම් කඳුළු විකුණලා බලයට එන්නයි උත්සාහ ගන්නේ. නමුත් ඒක අමාරුයි කියලා රාජපක්ෂ කල්ලිය තවම තේරුම් අරගෙන නැහැ.
මූල්‍ය අපරාධ ඒකකය අහෝසි කරන ලෙස ඉල්ලා පොල් ගහන තත්වයක් මතු වී තිබෙනවා. ඒ කියන්නේ අදාළ ආයතනය නීති විරෝධීද?
ඒ ගැහුවෙත් හොරකම් කරපු පොල් කියලා ඔබ දන්නවාද? දෙවියන්ටත් වංචා කරන අය තමයි මේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ. සීනිගම ගිහින් පොල් ගහන්න ආණ්ඩුවේ ඉඩමෙන් පොල් හොරකම් කරලා. දෙවියන්ට වංචා කරන මේ උදවියට ඕනෑ දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඉතිං තව අවුරුදු හතරහමාරකට මැතිවරණයක් නම් නැහැ.
Q නිදහස් උත්සවයේදී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම පිළිබඳ හොඳ මෙන්ම නරක ප්‍රතිචාරත් එල්ල වෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ඔබ එය දකින්නේ කෙසේද?
මේ රටේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් හැම කෙනාම ශ්‍රී ලාංකිකයො විදිහට හිතන්න පුළුවන් විදිහක් නිර්මාණය කිරීම තමයි අවශ්‍ය. දෙමළෙන් ජාතික ගීය වාදනයෙන් එය වෙනවාද, නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් ඒක අභීත පියවරක්. එම අර්ථයම, එම කොඩියටම ගරු කරන විදිහට ලංකා මාතාවට ගරු කරමින් ඒ දේම නම් කියන්නෙ දෙමළෙන් කිව්වා කියලා මොකද්ද තියෙන වැරැද්ද?
1949දීත් මේක කියලා තියෙනවා. ඒ වගේම තමයි මේ දෙපිටකාට්ටු කතා කියන්නේ මහින්ද රාජපක්ෂ කල්ලියනේ. නමුත් මහින්ද මහත්තයා බලයේ ඉද්දි එක් අවස්ථාවක දෙමළ භාෂවෙන් කියනවා 'මම සිංහල, මම දෙමළ, මම මුස්ලිම් කියලා අපි හිතන එක නවත්වන්න ඕන අපි හැමෝම එක අම්මාගේ දරුවෝ' කියලා. දැන් බලය නැතිවුණාම බලය ගන්න ඕන නිසා අන්තවාදය වපුරනවා. ඇත්තටම මොවුන් ජාතිවාදීන් නොවෙයි අවස්ථාවාදීන්.
මානව හිමිකම් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න ආණ්ඩුව තවමත් සූදානම් නැහැ නේද?
ජනාධිපතිතුමා නිදහස් උත්සවයේදී පැහැදිලිව කිව්වා 2009 යුද්ධය ඉවර වුණාට පස්සෙ යුද්ධයෙන් පසුව සිදුකළ යුතු දේවල් සිදුකළා නම් මේ මොකුත් නැහැ කියලා. පැහැදිලිව අපට ලෝකය තුළ හුදෙකලා වෙන්න බැහැ. නමුත් අපි ස්වාධීන රටක්. ඒ නිසා අපේ රණවිරුවන් පාවලා දෙන්න අපි එකඟවෙන්නෙ නැහැ. නමුක් යුද්ධය මුවාවෙන් කවුරුහරි වංචා කරලා තිබෙනවා නම්, අපරාධ කරලා තිබෙනවා නම් ඒ පිළිබඳ සොයා බැලිය යුතුයි. එහෙම කරන්න එපා කියන්න බැහැනේ.
Q ඔබේ අදහස අනුව පුරප්පාඩු වී ඇති ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට පත්කළ යුත්තේ කවුද?
මගේ පෞද්ගලික මතය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පත්කරන්න ඕන කියන එක. නමුත් අපේ පක්ෂයේ නායක රනිල් විකමසිංහ මහතා පක්ෂයට වගේම, රටටත් නිවැරදි තීන්දුව ඒ සම්බන්ධයෙන් ගන්නවා. එම තීරණය සමග අප සියල්ලන්ම සිටිනවා.
Q පාර්ලිමේන්තුවේ පිහිටුවන බව කියූ ව්‍යවස්ථා සභාව පිහිටුවීම මේ තරම් කල් යන්නේ ඇයි?
ඒ යෝජනාව ඉදිරිපත් කළ දවසෙම ඒකාබද්ධ විපක්ෂයෙන් එයට විරුද්ධව විවිධ දේවල් සිදුකළා. ප්‍රජාතන්තවාදයට ගරුකරන ආණ්ඩුවක් විදිහට ජනමතයට ඇහුම්කන් දෙන්න ඕන. ඒ නිසා මේ යෝජනාවලිය අන්තර්ගත වියයුත්තේ කොයි ආකාරයටද කියලා මේ දිනවල ජනතාවගේ මතය විමසමින් යනවා. කොළඹින් පටන්ගත්තු ඒ අදහස් විමසීමේ කටයුතු දැන් හැම දිස්තික්කයක් පුරාම යනවා. ව්‍යවස්ථා සභාව පිහිටවූයේ නැහැ කියලා ඒ කටයුතු නතර කරලා නැහැ. ඒවා ක්‍රමානුකුලව සිදුවෙනවා. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ කටයුතුත් මේ මාසයේ ආරම්භ වේවි.
ජනවාරි මාසයේ සිට කාරක සභා ස්ථාපිත කර සෑම මන්ත්‍රීවරයෙකුටම කාර්යයන් බාරදෙන බව අගමැතිවරයා කිව්වත් තවම ඒකත් සිද්ධ වෙලා නෑ නේද?
මේ වනවිට මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳ දැනුම්දීලයි තිබෙන්නේ. ඒ පිළිබඳ අපෙන් අදහස් ලබාගත්තා. ඒ කටයුතු විධිමත්ම සිදුකරාවි.
Q පසුගියදා අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් පිළිබඳ ප්‍රකාශයක් සිදුකළා. හිටපු මාධ්‍ය ප්‍රධානියෙක් වන ඔබ ඒ පිළිබඳව දකින්නේ කෙසේද?
එය මාධ්‍යයට තර්ජනය කිරීමක් නොවෙයි. ඒ කතාවේ අන්තර්ගතය සහ හරය අරගෙන බැලුවාම එය මාධ්‍යයට කිසිම තර්ජනයක් නොවෙයි. පසුගිය ආණ්ඩුව සුදු වෑන් දාගෙන මාධ්‍ය බය කරද්දි, මාධ්‍යයට තර්ජනය කරද්දි, කතා නොකරපු මාධ්‍යවේදීන් මාධ්‍ය නිදහස ලැබුණු පසු, ප්‍රජාතන්තවාදය ලැබුණු පසු ඇතැම්විට කෑගසනවා. අගමැතිතුමාගේ ප්‍රකාශය උලුප්පා දක්වන බොහෝ දෙනා මහින්ද රාජපක්ෂ වෙනස් කරන්න කටයුතු කරපු අය නොවෙයි. ඒ වගේම මේ රටට නිදහස ප්‍රජාතන්තවාදය උදා කරගන්න සටන් කරපු අයවත් නෙවෙයි. අගමැති වගේම මේ ආණ්ඩුවත් විශ්වාස කරනවා ලිවීමේ, කියවීමේ, වාර්තා කිරීමේ නිදහස තියෙන්න අවශ්‍යයි කියලා. රජය විවේචනය කිරීමේ අයිතිය මාධ්‍යයට තිබිය යුතුයි කියලා. නමුත් ඒ අයිතිය පාවිච්චි කරලා සමහර අය රට ගිනි තියන්න උත්සාහ කරනවා නම් ඒකට විරුද්ධ වෙන්න අනිත් පාර්ශ්වයටත් අයිතියක් තියෙනවා.
Q ඒ කියන්නේ වර්තමානයේ මාධ්‍ය නිදහස අවභාවිත වෙනවා කියලද?
මම කියන්නේ සමහර මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂට කඩේ යාමේ ක්‍රියාවලිය තවම සිදු කරගෙන යනවා. අපට ඒකට කරන්න දෙයක් නැහැ. මහින්ද රාජපක්ෂට කඩේ ගිය පලියට අපි උදාකරලා තියෙන නිදහස තුළ මේ රට ඇතුළෙ ජාතිවාදය, අන්තවාදය හසුරුවන්න ඉඩදෙන්න බැහැ කියලයි අගමැතිතුමා කිව්වෙ. එහෙම නැතිව අගමැතිතුමා කිව්වෙ නැහැනේ එතුමාව හෝ ආණ්ඩුව විවේචනය කරන්න එපා කියලා. ජනාධිපතිතුමා විවේචනය කරන්න එපා කියලා කිව්වෙ නැහැ. ඉස්සර තමා රගර් මැච් තියද්දි පවා විවිධ සිදුවීම් වුණේ. නමුත් ඒ එක සිදුවීමක් ඒ දවස්වල පත්තරවල, රේඩියෝවල, ටී.වී.වල ගියාද? නැහැ. ඔබ කල්පනා කර බලන්න මේ අවුරුද්ද තුළ මාධ්‍යවේදීන් සුදු වෑන්වලින් උස්සාගෙන ගියාද? මාධ්‍යවේදීන්ට පහර දී තිබෙනවාද? මරලා තියෙනවාද? නැහැ.
එනිසා අගමැතිතුමා දක්වපු අදහස් වැරදි විදිහට උලුප්පන්න සමහරු උත්සාහ කරනවා. අගමැතිතුමා කියන්න තියෙන දේ කෙළින් කිව්වා මිස ගෙදරට සුදුවෑන් යවන්න ගියේ නැහැ.
Q ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද?
මේ ආණ්ඩුව පත්කරන්න දකුණේ වගේම උතුරේත්, බස්නාහිරත්, නැගෙනහිරත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා පක්ෂ පාටවලින් තොරව එක්වුණා. එහිදී ආණ්ඩුව පොරොන්දු වුණු මූලික කාරණා තියෙනවා. හොරකම, වංචාව, දූෂණය පිටුදකිනවා වගේම ජාතීන් අතර සමගිය, සමානාත්මතාව, සංහිඳියාව ඇති කරනවා කියලා ආණ්ඩුව කිව්වා. මේ සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් කියලා හිතන්න පුළුවන් විදිහට අවශ්‍ය කටයුතු කිරීම ආණ්ඩුවේ එක් අරමුණක්. අපි ළිංමැඩියෝ වගේ කටයුතු කළොත් කිසිවිටක ඉදිරියට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා ජාතියක් විදිහට දියුණු වෙන්න ශ්‍රී ලාංකිකයො විදිහට හිතන්න හුරු කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම අඛණ්ඩවම උදාකරදීම ආණ්ඩුවේ වගකීමක්.