පොලීසිය පිළිබඳ ඇසෙන විවිධ යෝජනා හා චෝදනා අවසානයේ ගල්මුල් හැම දෙයක්ම පොලිස්පතිවරයා වෙත යොමුවීම ස්වාභාවික දෙයකි. හිටපු පොලිස්පති ආචාර්ය චන්ද්‍රා ප්‍රනාන්දු මෙයට දශකයට පෙර තම පොලිස් කාලයේ අතීතය සිහිපත් කරමින් පොලිස් නිලධාරීන් සඳහා පළ වන දේශ අටවන කලාපයට දක්වන ලද තොරතුරු අද පාඨකයන් වෙනුවෙන් මෙලෙස උපුටා දක්වමු.
ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති සමයේ හෙවත් 2004 ඔක්තෝබර් 01 වැනිදා සිට 2006 ඔක්තෝබර් 11 වැනිදා දක්වා 18 වැනි පොලිස්පතිවරයා ලෙස සේවය කළේය. ඔහු 1971 සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස සේවයට පත්වූ අතර, 1969/70 සමයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇත. ඔහු දෙස්විදෙස් රාජ්‍යයන්හි නීතිය පිළිබඳ විවිධ උපාධි ගණනාවක් ලබා තිබීමද සුවිශේෂී කරුණකි.
වරක් ඔහුට දැනුණේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පොලිස්පති තනතුරු පෙනෙන නොපෙනෙන මානයේ ඇති බවට සැකයකි. පොලිස්පති වුණොත් මොකද කරන්නේ යැයි හෙතෙම කල්පනා කළේය. ඔහු තමන් දෙස්විදෙස්හි ලබා ඇති දැනුම භාවිත කරමින් පර්යේෂණයක් කර එය පිටු 32ක ලේඛනයක් ලෙස සකස් කළේය. එහි තේමාව %සැඟවුණු දත්තයන්ගෙන් හෙළිවන සත්‍ය^ යනුවෙන් නම් විය.
එහි තවත් සුවිශේෂත්වයකි. එනම් සංඛ්‍යා ෙල්ඛන පදනම් කර ගනිමින් උපකල්පන ගොඩනැගීමට පොලීසියට හඳුන්වා දුන්නේ ඔහුය. වරක් උපකල්පන ගොඩනැගීමට සංඛ්‍යා ලේඛන අවශ්‍යදැයි එක් පොලිස් නිලධාරියෙකු ඔහුගෙන් විමසා ඇත. උපන් ළමයින් සංඛ්‍යාව නොදැන පාසල් හදන්නේ කොහොමදැයි ඔහු පිළිතුර දුන්නේය.
ඒ කාලයේ පොලිස්පති තනතුරට බලපෑම් තිබුණේ නැහැ. පත් කිරීම්, මාරු කිරීම්වලදී ඇඟිලි ගැහුවෙත් නැහැ. පොලීසිය හදන්න ඕන කොහොමද කියලා මට හැඟීමක් තිබුණා. පොලීසිය ගමන් කරන දිශානතිය ගැන පොලිස්පති වෙන්න ඉස්සෙල්ලත් මම අවබෝධයකින් හිටියේ. සංඛ්‍යා ලේඛන විමර්ශනය කරමින් මම ඒ ගැන දැනුම වර්ධනය කර ගෙන අවධානයකින් හිටියේ. නමුත් මේක පහසු කාර්යක් නෙවෙයි. පොලීසි හදන්න හිතන කෙනෙක් මුලින්ම හිතන්න ඕන පොලිස් කාර්යයයේ මූලධර්ම මොනවාද කියන එක.
ප්‍රධාන මූලධර්ම තුනක් උඩ තමයි පොලීසිය ක්‍රියාත්මක වෙන්නේ. පළමු වැන්න එකඟතාව සහ සමතුලිතතාව. අනෙක ස්වාධීන ක්‍රියාකාරීත්වය සහ වගවීම. තෙවැනි කාරණය සංවිධිත්වය හා සංවිධිත ක්‍රියාකාරීත්වය. පොලීසියක් ගොඩනගන්න ඕන මේ සංකල්ප පදනම් කරගෙනයි. මම උත්සාහ කළේ මේ න්‍යායික පදනමේ පිහිටලා පොලීසිය ගොඩනගන්න. නමුත් එය එසේම වුණා කියලා මම හිතන්නේ නැහැ. නමුත් එය යම් බලපෑමක් කළා කියන එක මට විශ්වාසයි.
පොලිස් අපරාධ විමර්ශන ක්‍රමවේදයක් පිළිබඳ මම එංගලන්තයේදී දැක්කා. එය ක්‍රියාත්මක කරන්න ස්වීඩන් ආධාර ගන්න මට හැකි වුණා. Scenes of Crime Officer (SOCO) සේවාව 1968 පළමුව ආරම්භ කර ඇත්තේ බ්‍රිතාන්‍ය නාගරික පොලීසියේ. අධිකරණ විද්‍යාත්මක තොරතුරු එකතු කිරීම එම නිලධාරීන්ගේ වගකීමයි. මම හැම විටම අන්තර්ජාතික අත්දැකීම් ලංකාවේ පොලීසියට එකතු කිරීමට උත්සාහ කළා.
පොලීසියේ ස්වභාවය
පොලීසිය ස්වාධීන ආයතනයක්. පොලීසියට ස්වාධීනව වැඩ කරන්න නිදහස තියෙන්න ඕන. ඒකට හේතුවක් තියෙනවා. පොලිස් ක්‍රියාකාරීත්වය පාලනය කරන සීමා පැහැදිලි කරන පැහැදිලි නීති පද්ධතියක් තිබෙනවා. ඒ තුළ නිලධාරියෙකුට වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒ ස්වාධීන ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන්න ආවොත් ඉතාමත් නරක තත්ත්වයක් ඇති වෙනවා. ඒ ස්වභාවය රටට සමාජයට වැරදි විදියට බලපානවා. ඒ නිසා පොලීසිය නිවැරදි ක්‍රියාමාර්ගයට මෙහෙයවීමේ මූලික වගකීම තියෙන්නෙ පොලිස්පතිට. පොලිස්පති ඒ වගකීම විමධ්‍යගත කරලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස්, නියෝජ්‍ය පොලිස්පතිගේ සිට සහකාර පොලිස් අධිකාරීවරුන් දක්වා එය ගලා යනවා. එතැනින් පහළටත් ඒ බලය විමධ්‍යගත වෙනවා.
පොලීසිය දේශපාලනීකරණය වීම
ඒ කාලයේ පොලිස්පතිවරු හරි කෙළින් වැඩ කළා. සර් ජෝන් කොතලාවල, රිචර්ඩ් අලුවිහාරෙ වගේ අය උදාහරණ ලෙස දැක්විය හැකියි. ඔළුව නැමුවේ නැහැ. අපේ රටේ පොලීසිය ටිකෙන් ටික දේශපාලනීකරණය වුණා. මේක බොහොම නරක තත්ත්වයක්. 1972 ඉඳලා මේ පිරිහීම වර්ධනය වුණා කියලා කියන්න පුළුවන්. පොලීසියේ උසස් වීම් දේශපාලන අවශ්‍යතා විදියට සිදු වුණා. පත්වීම්වලදී වගේ දේශපාලන නිර්දේශ බලපෑවා. එහෙම වෙනකොට කොහොමද පොලීසිය අපක්ෂපාතී වෙන්නේ. පොලීසියට දොස් කියලා විතරක් වැඩක් නැහැ. හදන්න ඕන, විධිමත් ක්‍රමයක්. ඒක පොලිස් කොමිසමේ වගකීමක්.
1998 - 1999 කාලයේ විශාල සංවාදයක් ඇති වුණා පොලීසිය ස්වාධීනව කටයුතු කළා කියලා. ඒ තරමට දේශපාලඥයො පොලිස් කාර්යයට ඇඟිලි ගැසුවා.
ජාතික පොලිස් කොමිසම කුමටද?
දිගු සංවාදයකින් පසුව තමයි පොලිස් කොමිසම ඇති වෙන්නෙ. හැබැයි ඒ පොලීසිය පාලනය කරන්න නෙවෙයි කියන එක තේරැම් ගන්න ඕන. කොමිසමේ වගකීම දේශපාලන බලපෑම්වලින් පොලීසිය ස්වාධීන කර ගැනීම. අනෙක් කොමිසම් ගැන හේතුවත් එයමයි.
දැන් බලන්න පොලීසිය විමර්ශනය කරන අපරාධවලින් 2016 වන විට අධිකරණයේ ඔප්පු වෙන සංඛ්‍යාව 04෴යි. මේ සංඛ්‍යාව දැන් ටිකෙන් ටික වර්ධනය වෙනවා කියලා මම දන්නවා.
නීතිමය කරුණු අධිකරණයේ සනාථ කිරීමට අපේ නිලධාරීන් පුහුණු කළ යුතුයි. පොලීසියේ පැවැත්ම සනාථ කිරීමට අවශ්‍ය මූලික දේ වශයෙන් %විශ්වසනීයත්වය^ (Credlbility) තහවුරු කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ තත්ත්වයට අභියෝග කරන්නේ %ඒකාධිකාරය^ (Monopoly)යි. %තීරණ ගැනීමේ නිදහස^ (Discretion), %වගවීම^ (Accountability) අතර දෝලනය වෙනවා. ඒකට මෙහෙම සූත්‍රයක් භාවිත කරන්න පුළුවන්.
CR = M+ D =A
පොලීසිය ප්‍රතිසංවිධානය කිරීම වැනි දේ මේ වගේ මූලධර්ම මත පදනම් වෙන්න ඕන. නිකම් බොරුවට දේශන පවත්වලා වැඩක් නැහැ. පොලීසිය හැදෙන්නෙත් නැහැ. රට හැදෙන්නෙත් නැහැ. අපට ඕන යම් විධිමත් ක්‍රමයක්. පොලීසිය පාලනය කරන ඒකාධිකාරී බලය අඩු කරන ක්‍රමයක්. රටටත් එහෙමයි. නිලධාරීන්ට තීරණ තුළ අහිමතය භාවිත කරන නිදහස දැඩි කරන්න ඕන. අන්න එතකොට තමයි වගකීම් වැඩි වෙන්නෙ. එතකොට විශ්වසනීයත්වය මත තීරණ ගන්න නිලධාරීන්ට පුළුවන් වෙනවා. අත්‍යවශ්‍ය සාධකය තමයි පොලිස් නිලධාරීන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම.
වත්මන් පොලීසිය සහ කාර්යභාරය
පොලීසියට දැන් පැවරුණු වගකීම් ප්‍රමාණාත්මකව වැඩියි. අවශ්‍යම දේ තමයි පොලිස් නිලධාරීන් තෘප්තිමත්ව තැබීම. එහිදී විශේෂයෙන්ම සෙසු නිලවල ඉන්න අය ගැන සිතිය යුතුයි. ඒ අයගේ චිත්ත ශක්තිය, උනන්දුව පොලීසිය ගොඩනැගීමේදී අත්‍යවශ්‍ය කරුණක්. විනයගරුක පොලීසියක් රටක විනයගරුත්වය වෙනුවෙන් ප්‍රධාන පදනමයි. මේ පිළිබඳ සංවාද, සාකච්ඡා පවත්වන්න ඕන. අනෙක් අවශ්‍යම දේ තමයි මෙම කාර්යයට අවංකවම කැපවෙන හැඟීමක් ඇති අය එක්කර ගෙන ඒ අයට වගකීම පැවරීම බව කිව යුතුයි.
පොලිස්පති භූමිකාව
වර්තමාන පොලිස්පතිවරයාගේ වගකීම් අනුව එය වගකීම් සහිත මෙන්ම අතිශය සංකීර්ණ එකක් බව මම විශ්වාස කරනවා.
මගේ දැක්ම
මම පොලීසියේ කෙනෙක්. ඒ වගේම දැන් පොලීසිය දිහා බලන්නෙ මගේම පොලීසිය කියන හැඟීමෙන් වගේම ඈතින් ඉඳන් නිරීක්ෂකයෙක් විදියට.