ඩෙංගු සහ කසළ ගැටලුව උවදුරක් බවට පත්ව ඇති අතර, රට පුරා විවිධ පෙදෙස්වලින් මෙයට සම්බන්ධ විවිධ සිදුවීම් දිනපතා වාර්තා වේ. එම ප්‍රශ්න ඇතුළුව තවත් සමාජ ප්‍රශ්න බවට පත්ව ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාධරයෙකු ලෙස කටයුතු කරන සමාජ විද්‍යාඥ තුෂාර වන්නිආරච්චි සමග 'අද' සාකච්ඡා කළෙමු.
පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමේ විපාකය
කුණු ඉවත් කිරීමේ ගැටලුවක් මේ වනවිට ලංකාව පුරාම තියෙනවා. මට හිතෙන විදිහට මේකට ප්‍රධානම හේතුව පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම. පළාත් පාලන මැතිවරණ නියමිත වෙලාවට පැවැත්වුවා නම් පළාත් පාලන ආයතන නියෝජනය කරන ග්‍රාමීය නියෝජිතයන් කුණු ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. එහෙම නොකළොත් ඔවුන්ට බලපෑම් එල්ලවෙනවා.
අද වන විට ජනතාවගේ කුණු ඉවත් කිරීම සිදුවෙන්නෙත් නැහැ. ඒ වගේම ජනතාවට කුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කියන්න තැනක් නැහැ. ප්‍රාදේශීය සභාවල ඉන්න නිලධාරීන්ට මේ කාරණය කිව්වට ඔවුන් එතරම් සැලකිල්ලක් දක්වන්නෙත් නැහැ.
අවධානය යොමු කරන්නෙත් නැහැ. පළාත් පළාන මන්ත්‍රීවරුන් හිටිය නම් ජනතාවගේ පීඩනය එල්ලවන නිසා කුණු ප්රශ්නය විසඳන්න ඔවුන් කටයුතු කරන්න පෙලඹෙනවා. මේ නිසා හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලා අපි රජයට යෝජනා කරනවා.
ජනතාවත් අවබෝධයෙන් සිටිය යුතුයි
කුණු ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනතාවගේත් දැනුවත් වීමක්, අවබෝධයක් තිබිය යුතුයි. මීට වසර දහයකට පමණ පෙර නිවසකින් කුණු ඉවත් කරපු ප්‍රමාණයයි, අද නිවසකින් ඉවත් කරන ප්‍රමාණයයි බලද්දි අද කුණු ඉවත් කරන ප්‍රමාණය බොහොම වැඩියි.
අපි මේ කුණු විදිහට ඉවත් කරන්නේ අපි විසින් මිලදී ගන්නා දේවල්ම තමයි. කුණු ඉවත් කිරීමට අපි අනුගමනය කරන ක්‍රමය තුළ විශාල ද්‍රව්‍ය ප්‍රමාණයක් අපද්‍රව්‍ය ලෙස නිවසින් පිටතට යනවා.
අපද්‍රව්‍ය වෙන් කිරීමේ ක්‍රමය භාවිත කරන්න පුළුවන් නම් නිවස තුළ කොම්පෝස්ට් පොහොර සාදා ගන්නත් පුළුවන්. ඒ වගේම නිවසින් පිටතට යන අපද්‍රව්‍ය ප්‍රමාණයත් අඩු වෙනවා. අනවශ්‍ය දේ පමණයි එවිට පිටතට බැහැර කරන්න වෙන්නේ.
ඩෙංගු ප්‍රශ්න විසඳීමට දෙපාර්ශ්වයේම සහයෝගය අවශ්‍යයි
ඩෙංගු ප්‍රශ්නයත් මේ වෙද්දි උග්‍ර වී තිබෙනවා. ඩෙංගු සම්බන්ධ ගැටලුවේදී ඩෙංගු වළක්වා ගන්නට රජය වගේම ජනතාවත් මැදිහත් විය යුතුයි. මොකද තිබෙන වාර්තා අනුව සියයට අසූවක් විතර ඩෙංගු හැදෙන්නේ නිවස ඇතුළෙන්.
නිවස ඇතුළේ ඩෙංගු නැති කරන්න රජයට බැහැනේ. ඒ නිසා ජනතාවත් ඩෙංගු නැති කරගන්න මහන්සි විය යුතුයි. ඒ වගේම ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් රජයේ කටයුතුත් නිසි පරිදි ඉටුවිය යුතුයි.
සමාජ ප්‍රශ්න දේශපාලනික ප්‍රශ්න වෙලා
කොහොම උනත් ඩෙංගු වගේම කුණු ප්‍රශ්නයත් මේ වන විට දේශපාලනික ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ඒ මොකද ප්‍රජාව හිතනවා මේ ප්රශ්නය විසඳිය යුත්තේ ආණ්ඩුව විසින් කියලා. ඒක වැරදි මතයක්. කුණු වගේම ඩෙංගුත් දේශපාලන අධිකාරිය විතරක් විසඳිය යුතු ප්‍රශ්නයක් නොවෙයි.
ඒ සඳහා දේශපාලන අධිකාරිය වගේම නිලධාරීන්, රටේ ප්‍රජාව, පෞද්ගලික අංශය ආදී සියලුදෙනාගේම සහභාගිත්වයක් තිබිය යුතුයි. ඒ වගේම ආණ්ඩුව පැත්තෙන් විය යුතු දේවල් නිවැරදිව ඉටුවිය යුතුයි. කුණු බැහැර කිරීමේදී විධිමත්ව කුණු බැහැර කිරීමට ස්ථාන සකසා දීම ආණ්ඩුවේ වැඩක්.
මාධ්‍යයේ හැසිරීම
වර්තමානයේ ජනමාධ්‍යයේ හැසිරීමත් තරමක් ප්‍රශ්නකාරියි. මොකද කුණු ප්රශ්නය හෝ ඩෙංගු ප්‍රශ්න විසඳන්න, එහෙම නැතිනම් රටේ තිබෙන අනිකුත් ප්‍රශ්න විසඳන්නවත් අදාළ විදිහට නෙවෙයි සාම්ප්‍රදායික ජනමාධ්‍ය හැසිරෙන්නේ. ඒකට හොඳම උදාහරණයක් තමයි ගංවතුර ආපදා අවස්ථාව. ආපදාව ඇතිවෙනකොට ආණ්ඩුව ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් ගොඩනැගුවා. ඒක විශාල යාන්ත්‍රණයක්.
මේ නිසාම බේරාගැනීමේ කටයුතු පවා ඉතා කඩිනමින් සිදුකළා. ග්‍රාම නිලධාරීවරයා, හමුදාව, පොලීසිය, ගිලන්රථ ඇතුළු සියලුම දේවල් රාජ්‍ය තමයි. නමුත් රටේ සියලු මාධ්‍ය වගේම සමාජ මාධ්‍ය කිව්වෙත් ආණ්ඩුවේ කිසිම දායකත්වයක් නැහැ කියලා. ආණ්ඩුව කියන්නේ ජනාධිපතිවත්, අගමැතිවත් නෙවෙයි.
මේ සියලු යාන්ත්‍රණය ආණ්ඩුව නියෝජනය කරන්නේ. ඒ වගේම සියලුම මාධ්‍ය ආපදා අවස්ථාවේ ආධාර වැඩසටහන්වලට ප්‍රමුඛත්වය දුන්නා. මේ නිසා ආපදාවේ තීරණාත්මක තොරතුරු ජනතාවට ලබාදෙන්න බැරිවුණා. ජනමාධ්‍යයේ අත්තනෝමතික හැසිරීම තුළ සහයෝගයට වඩා සිදුවුණ හානිය වැඩියි කියලයි මට හිතෙන්නේ. සමාජ මාධ්‍යයත් එහෙමයි. ඔවුන්ගෙනුත් සමහර දෙනෙක් සේවයක් කරන මුවාවෙන් බොරදියේ මාළු බෑවා.
දැන් තියෙන්නේ ඒකාධිපති පාලනයක් නෙවෙයි
රටේ තිබෙන සියලුම ප්‍රශ්න වලට හේතුව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කියල දේශපාලඥයෝ පවා හිතනවා. ඒක වැරදි අදහසක්. මිනිස්සුන්ගේ පරමාධිපත්‍ය අරගෙන මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක් පත් වුණා නම් , රජයේ නිලධාරියෙක් ඉන්නවා නම් මේ හැමකෙනාටම වගකීමක් තිබෙනවා ප්‍රශ්නවලට විසඳුම් හොයන්න.
ඒක මේ ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ වැඩක් විතරක් නෙවෙයි. රට් තිබෙන සකල විධි ප්‍රශ්නවලට විසඳුම් සොයන එක ජනාධිපතිවරයාගේ වැඩක් කියල තිබුණු ආකල්පය නිසා තමයි හිටපු ආණ්ඩුවට ගෙදර යන්න වුණේ.
හැමකෙනාටම බලය ලැබෙන පරිදි, හැම කෙනාගෙම සහයෝගය රටට ලැබෙන පරිදියි වත්මන් ආණ්ඩුව සකස්කර ගත්තේ. ඒ නිසා අපි හැමකෙනාම හිතන්න අවශ්‍යයි රටේ සංවර්ධන ක්‍රියාවලියේදී අපි හැමෝටම කාර්යභාරයක් තිබෙන බව. රට වෙනුවෙන් කරන්න අපිට කාර්යභාරයක් තිබෙනවා. රටේ සියලුම ජනතාව මේ බව මතක තියාගත යුතුයි.
ලුම්පන් පන්තිය අතට ගත් ජාතිවාදය
රටේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් මේ හැමදෙනාම ජාතිය ගැන කතා කරමින් දේශපාලනික, ආර්ථික වාසි ලබාගැනීම ඉතිහාසය පුරාම තිබුණා. නිදහස ලැබෙන්න පෙරත්, නිදහසින් පසුත් ඒ දේවල් සිදුවුණා. නමුත් අද තත්ත්වය ඊට වඩා වෙනස්. එදා ජාතිකත්වය කතා කළේ යම් විනයක් ඇතිව.
නමුත් අද මේ ජාතිකත්වය පිළිබඳව පෙනී සිටින සියලුම දේශපාලඥයෝ හෝ බහුතරය ලුම්පන් පංතියේ අය. ඔවුන්ට දේශපාලන දැනුමක් හෝ කිසිදෙයක් නැහැ. ඔවුන් මුදල්වලට, ප්‍රසිද්ධියට ගිජු අය. ජාතිවාදය තමන්ගේ පැවැත්මට භාවිත කරන උපකරණයක් බවට පත්කරගෙන. ඒක තමයි තිබෙන ලොකුම ප්රශ්නය.
අද වන විට මැදපෙරදිග රටවල් වල ත්‍රස්තවාදය රැකියාවක් වෙලා. වැටුණ ආර්ථිකය ඇතුළේ මුස්ලිම් අන්තවාදී කැරලිකරුවන් ලෙස සම්බන්ධ වෙන්නේ රැකියාවක් විදිහට. ඒක උතුරු නැගෙනහිරින් අපිත් දැක්කා.
යුද්දෙ තියෙන අවසාන කාලයේ එල්ටීටියට සම්බන්ධ වුණේ රැකියාවක් විදිහට. ජාතිකත්වය රැකියාව වුණාම රට විනාශ වෙනවා. ඒ වගේම ලංකාවේ ජාතිවාදය අද බඩගෝස්තරවාදී ලුම්පන් පංතියේ පුද්ගලයෝ අතට ගෙන තිබෙනවා. මේ නිසාම රටට ලොකු හානියක් වෙනවා. ඇතැම් විට එය යුද්ධයකට පවා මග පාදාවි.