බෝග වැඩි කරගැනීම සඳහා 1930 සිට 1960 දක්වා කෘෂි ක්ෂේත්රයට හඳුන්වා දුන් ක්රමෝපායන් 'හරිත විප්ලවය' ලෙස නම්කර ඇත. ලෝකයේ වැඩි වන ජනගහනයට ඔරොත්තු දෙන පරිදි ආහාර නිෂ්පාදනය වැඩි කරගැනීම අවශ්‍ය වූ හෙයින් බටහිර විද්‍යාත්මක දැනුම හා තාක්ෂණය යොදාගෙන කෘත්‍රිම ලෙස බෝග අස්වනු ඉහළ දැමිණි. මෙහිදී බහුබෝග වගාව වෙනුවට ඒකීය බෝග වගාවත්, කෘෂි රසායන භාවිතයත්, දෙමුහුන් කරන ලද කෘත්‍රිම බීජ භාවිතයත් යන්ත්‍ර සූත්‍ර භාවිතයත් හරිත විප්ලවයේ අනිවාර්ය අංගයක් විය.
නුවර කලාවියේ ගොවි ජනතාව සියවස් ගණනාවක් තිස්සේ ස්වයංපෝෂිත සහ ස්වයං ආර්ථික ක්‍රමයකට උරුමකම් කියමින් සිය පවුලට සේම රටේ ජනතාවටද ආහාර බෝග සම්පාදනය කළහ. මෝසම් වැස්සෙන් පසු හේනක් කොටා තල, කුරහන්, තණ, මිරිස්, මෙනේරි, ලුණු, අබ, එළවළු, පලතුරු වගා කර පවුලත්, ගමත්, රටත් පෝෂණය කළහ. හරිත විප්ලවයේ නාමයෙන් බහුබෝග රටාව අකාමකා දමා ඒකබෝග රටාව හේනටත් පැමිණියේය.
ඒ මගින් බඩ ඉරිඟු වගාවෙන් හේන් ගොවිතැන් රටාව අහෝසි විය. ඒ සමගම දෙබිඩි බීජ, යන්ත්‍ර සූත්‍ර, කෘෂි රසායන යන සියල්ලම විදේශවලින් අපේ ගොවිතැනට ආරූඪ කරනු ලැබීය. එම සැපයීම් වඩාත් තහවුරු කරන්නට වගා ණය ක්‍රමයකට ගොවීන් පොළඹවනු ලැබිණි. මෙම වගා විප්ලවය නිසා යහමින් අස්වැන්නක් ලැබුණු බව සැබැවි. එහෙත් ඒ සමගම මහ පොළොව වසවිසෙන් පිරී ගියේය. සතා සීපාවා පවා ලෙඩ වූ අතර, සමහර සත්ත්ව විශේෂ පරිසරයෙන් වඳ වී ගියේය.
ඒ අතර පරිසරයේ සමතුලිතතාව බිඳවැටුණි. මිනිස්සු වකුගඩු රෝගීන් බවට පත්වූහ. හරිත විප්ලවය අවසානයේ බීජ සහ කෘෂිරසායන සමාගම් පොහොසත් වූ අතර, ගොවීන්ට ඉතිරි වූයේ වකුගඩු රෝගයත්, ණය බරත් පමණි. අහිංසක යැයි කියා මහත් උජාරුවෙන් පූජාසනාරූඪ කළ ඊනියා හරිත විප්ලවය ලෝකයේ විවිධ රටවල පිළිකා, වකුගඩු රෝග සහ වෙනත් බෝනොවන රෝග වපුරමින් මේ වනවිට ජීවිත ලක්ෂ ගණනින් බිලිගෙන ඇත.
හරිත විප්ලවයේ බලපෑම ශ්‍රී ලංකාවට දැනෙන්නට වූයේ 1960 වසරේදී පිලිපීනයේ මැනිලා නුවර පිහිටු වූඅන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය නිසාය. හරිත විප්ලවයේ නිර්මාතෘවරයා වූ නෝර්මන් බෝලෝග් තිරිඟු වගාවේදී යොදාගත් තාක්ෂණික උපායමාර්ග සහල් සඳහා ආදේශ කිරීම මැනිලා සහල් පර්යේෂණායතනයේ මූලික අරමුණ විය. මේ සඳහා අනුග්‍රහය දැක්වූයේ ඇමෙරිකාවේ පෝඩ් පදනම සහ රොක පෙලර් පදනමයි.
1960 සහ 1970 දශකවලදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික උගතුන්ට රොක පෙලර් පදනමේ අනුග්‍රහයෙන් ඇමෙරිකාවේදී ආචාර්ය උපාධිය ලබාගැනීමට හරිත විප්ලවය හරහා අවස්ථාව ලැබිණි. සියලු පහසුකම් හා වරදාන සහිතව මෙම ආචාර්ය උපාධිය ලබාගත් ස්වදේශීය උගත්තු ආපසු ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ පාරම්පරික කෘෂිකර්ම රටාව හරිත විප්ලවයට පරිවර්තනය කරන්නට සිය උපරිම කාලය, ජවය හා කැපවීම යෙදවූහ. ඔවුහු ශ්‍රී ලංකාවේ හරිත විප්ලවයේ ශූරයෝ හා වීරයෝ වූහ.
ගැමියන්, පාරම්පරික ගොවීන් සහ දේශීය කෘෂිඥානයේ පුරෝගාමීන් ගොවිතැනේ හතර මායිමවත් නොදන්නා ගොඩයන් ලෙස හංවඩු ගැසුණු අතර, ගොවි රජවරුන් වන්නට නම් රසායනික පොහොර, කෘෂිරසායන, දෙබිඩි බීජ, යන්ත්‍ර සූත්‍ර හරහා විදේශයෙන් හරිත විප්ලවය ගෙන ආ උගතුන් අනුකරණය කළ යුතු බවට ගොවිතැනේ පෙරමං තැනිණි. ආරම්භයේදී මහ පොළොවට වස දැමීමට ගොවියෝ අකමැති වූහ. ඔවුහු නොමිලයේ ලබාදුන් රසායනික පොහොර මිටි ගෙදර ගෙනැවිත් සඟවා තැබූහ. පන්සිල් කියවීමේදී පාණාතිපාතා යැයි වැලඳගත් දහම නිසා කෘමිනාශක වගාවට යොදන්නට අකමැති වූහ. සියවස් ගණනාවක් පුරාවට පරපුරෙන් පරපුරට උරුම වූ දේශීය කෘෂිඥානයෙන් ඔවුන් සන්නද්ධ වී සිටි නිසාද, පරපණ නැසීම අපාගත වන මහ පවක් ලෙස ඔවුන් දැන සිටි නිසාද මේ ආගන්තුක දේ ආරම්භයේදී ඔවුහු ප්‍රතික්ෂේප කළහ.
මේ අන්දමට හරිත විප්ලවයේ දායාද ගොවි ජනතාවගෙන් බහුතරය ප්‍රතික්ෂේප කිරීම නිසා හරිත විප්ලවයේ උගත්තු ඊට ද පිළියම් යෙදූහ. රසායනික පොහොර කුඹුරට යොදා ඇති බවට කෘෂි නිලධාරියා විසින් නිකුත් කරන ලද සහතිකයක් නොවී නම් වගා ණය ලබා නොදීමේ උපක්‍රමයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අරක්ගෙන සිටි හරිත විප්ලවයේ උගත්තු අනුගමනය කළහ. මෙම කූට උපාය නිසා කුඹුරුවලට යහමින් රසායනික පොහොර වක්කරන්නට විය. එසේම ගොවීන්ට දෝත පුරා ණය මුදලක් ලැබිණි.
හරිත විප්ලවයේ දේශීය උගතුන්ට විදේශීය සමාගම්වලින් කොමිස් කුට්ටි, විදේශ ශිෂ්‍යත්ව, විදේශ සවාරි, යාන වාහන නිර්ලෝභීව ලැබිණි. හරිත විප්ලවය මේ රටේ දියත් වී වසර තිහක් ගෙවීයද්දී හරිත විප්ලවයේ නියමුවන් වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බහුතරයක් බලධාරීන්ට කොළඹ, නුවර, ගාල්ල අවට ධනවතුන්සේ වැඩසිටීමට අවස්ථාව උදා විය.
එසේම ඔවුන්ට කෘෂිකර්ම අමාත්‍යාංශයේද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේද වෙනත් කෘෂිකර්ම ආයතනවල සහ කෘෂිරසායන හා බීජ සමාගම්වලදැසිදස්සන්, මුර බල්ලන් සහ යානවාහන පිරිවරාගත් කෘෂි ක්ෂේත්රයේ ඉහළම තනතුරු හිමි විය. ඔවුන්ගේ දුවා දරුවන්ට කෘෂි සමාගම්වල අනුග්‍රහයෙන් ඇමෙරිකාවේ හා වෙනත් යුරෝපීය රටක උසස් අධ්‍යාපනය ලැබීමට වරම් ලැබිණි. ඔවුහුද විදේශ ශිෂ්‍යත්ව ලැබ ආපසු පැමිණ අදටත් දේශීය කෘෂිකර්මයේ පියවරුන් ලෙස යෙහෙන් වැජඹෙති.
නූගතුන් ලෙස සැලකුණු ගොවියන්ට වකුගඩු රෝග සහ පිළිකා රෝග උරුම විය. රටට බත සැපයූ අභිමානවත් ගොවි පරපුරේ සෑම දෙනෙකුම පාහේ මිය යනවිට රටට රජයට ලොකු ණයකාරයෝ වූහ. අත් ට්‍රැක්ටර්, ලොකු ට්‍රැක්ටර්, කොළ මඩින යන්ත්‍ර, සුනාමි, භූතයා වැනි යන්ත්‍රවලින් හැම ගොවි ගෙදරකම පාහේ පිළිකණු පිරී ඇත. ගොවියා ණය බරින් සහ ආර්ථිකයෙන් දිරාපත් වන්නාක් මෙන් මේ යන්ත්රද ගොවිගෙදර අහුමුළුවල දිරාපත් වෙමින් තිබේ. ගොවි පවුල වකුගඩු රෝගයෙන් හෝ පිළිකා රෝගයෙන් මිය යනවිට ගෙවල් පිටුපස ගොඩ ගැසී ඇති මෙම යකඩ ගොඩවල් සඳහා රජරට ගමක් ගමක් පාසා සුසාන භූමි පිහිටුවන්නට රජයට සිදුවනු ඇත.
සාකච්ඡා සටහන - එප්පාවල රත්න බී. ඒකනායක