නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග ශ්‍රී ලංකාවට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් විශේෂයෙන්ම රත්නපුර හා කළුතර දිස්ත්‍රික්ක ප්‍රධානව දිස්ත්‍රික්ක අටකට ආපදා තත්ත්වයක් ඇතිවිය. මේ හේතුවෙන් ඊයේ (30දා) පෙ.ව. 9.00 වන විට පුද්ගලයින් 183ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 100කට අධික ප්‍රමාණයක් අතුරුදන්ව තිබුණි. නාය යෑම්, ගංවතුර තත්ත්වය මෙසේ මරණ ඇතිවීමට ප්‍රධානම හේතුව විය. කෙසේවෙතත් ආපදා තත්ත්වයෙන් ජනතා ජීවිත වලට ඇතිවීමට තිබූ හානිය රාජ්‍ය යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියත්මක වූවා නම් අවමකර ගැනීමට අවස්ථාව පැවති බව
නිරිත දිග මෝසම පසුව සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය. එය %මෝරා^ ලෙස නම් කළ අතර, ශ්‍රී ලංකාව හරහා එය බංග්ලාදේශයට ඊයේ ඇතුළු විය. මේ සඳහා බංග්ලාදේශය කල්තියාම සූදානම්ව සිටි අතර, ඔවුන් කුණාටුව රටට ඇතුළත් වෙතැයි අපේක්ෂා කළ ප්‍රදේශයන්හී මිලියනයක් පමණ වන ජනතාව ආරක්ෂිත අං‘ශ වෙත යොමු කළේය. සිදුවෙන්නට ගිය මහා විපතක් වැළැක්වීමට බංග්ලාදේශය මුලින්ම ගත් පියවර එය විය.
ජපානය
හිම කුණාටු, ගංවතුර, සුනාමි, භූමිකම්පා, ගිනි කඳු වැනි සියල්ලෙන්ම පීඩා විඳින රටක් වන ජපානය අපාදා කළමනාකරණය අතින් ඉහළින්ම සිටින රටකි. ඔවුන්ගේ ආපදා කළමනාකරණ වැඩසටහනින් ශ්‍රී ලංකාවට ඉගෙන ගත හැකි දෑ බොහෝය. ශ්‍රී ලංකාවේද ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක්ද පවතියි. වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ඔවුන් ක්ෂණික මැදිහත්වීමක් සිදුකළේය. ඒ පිළිබඳව විවේචනයක් නොමැත. මේ ලිපිය හරහා බලාපොරොත්තු වන්නේ ජපානය හදිසි ආපදාවකදී ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳවයි. එසේම ආපදාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය ඔවුන් පනතක් මගින් නීතිගත කර තිබේ.
මධ්‍යම ආපදා කළමනාකරණ කවුන්සිලය
ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීමේ පනත යටතේ පිහිටා ඇති මෙම ආයතනය ජපාන කැබිනට් මණ්ඩලය විසින් ලබාගන්නා ප්‍රතිපත්ති සමග ක්‍රියාත්මක වෙයි. එහි සභාපති ලෙස ජපාන අග්‍රාමාත්‍යවරයා නිල බලයෙන් පත්වෙන අතර, කැබිනට් මණ්ඩලයේ සියලුදෙනා, ප්‍රධාන රාජ්‍ය ආයතනයන්හී ඉහළ නිලධාරීන්ගෙන් මෙය සමන්විතය. මෙම කවුන්සිලය හරහා මූලික ආපදා කළමනාකරණ සැලසුම් හා ප්‍රතිපත්ති ස්ථාපිත කරන අතර, ඒවා ජනතාව වෙතට ගෙන යෑමට ප්‍රධාන කාර්යයද ඉටුකරයි.
ආපදා කළමනාකරණ සැලසුම්
1. මූලික ආපදා කළමනාකරණ සැලසුම - ජපානය තුළ ඉහළම මට්ටමේ පවතින ආපදා කළමනාකරණ සැලසුම් වෙයි
2. ආපදා කළමනාකරණ මෙහෙයුම් සැලසුම - මූලික ආපදා කළමනාකරණ සැලසුම අනුව රාජ්‍ය ආයතන හා පොදු ආයතන සකස්කරන සැලසුම
3. පළාත් පාලන ආපදා කළමනාකරණ සැලසුම - පළාත් පාලන මට්ටමින් සකස් කර ඇති ආපදා කළමනාකරණ සැලසුම
4. ජනතා ආපදා කළමනාකරණ සැලසුම - ජනතාව විසින් සකස් කරන ආපදා කළමනාකරණ සැලසුම
ආපදා වැළැක්වීමේ දිනය
1960 වසරේ සිට සෑම වසරකම ජපානය සැප්තැම්බර් පළමුවැනිදා ආපදා වැළැක්වීමේ දිනය ලෙස නම්කර තිබේ. එසේම ජපානයේ බොහෝ පාසල් සිය ඉගෙනුම් වාරය ආරම්භ කරන විට ආපදා වැළැක්වීම සඳහා වන ජාතික පුහුණු වැඩසටහන් වලට එක්වෙයි. ඇතැම්විට එය මසකට එක්වරක් හෝ පවත්වයි. ජපානයේ අග්‍රාමාත්‍යවරයා පවා මෙම වැඩසටහන්වලට සක්‍රීයව දායකත්වය සපයයි.
තාක්ෂණය
ජපානය තුළ ස්වාභාවික විපත් හඳුනා ගැනීමේ හා ඒ පිළිබඳව අනතුරු ඇඟවීමේ පද්ධති පිළිබඳව ඉහළ තාක්ෂණයක් භාවිත කරයි. ඔවුන්ගේ සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සතියේ දින හත පුරාම පැය 24 තුළ ක්‍රියාත්මක වෙයි. යම් හෙයකින් සුනාමි තත්ත්වයක් ඇතිවුවහොත් එහි රළේ උස, වේගය, ස්ථානය මෙන්ම ගොඩබිමට පැමිණෙන වේලාව පවා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරයි. ජපානයේ වෙරළ ආශ්රිත නගර සැලසුම් කිරීමේදී භූමිකම්පා හා සුනාමි සඳහා ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කර තිබේ.
ගංවතුර, නාය යෑම්
ගංවතුර හා නාය යෑම් වැනි අවස්ථාවලදී ජනතාව ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ මුලින්ම ඔවුන් පුහුණු කරන අතර, ආරක්ෂිත ස්ථාන ලෙස ඉහළ කඳු තෝරා ගනියි. එසේම සිතියම් මාර්ගයෙන් ආපදාව ඇතිවන ප්‍රදේශ පිළිබඳව ජනතාව දැනුවත් කරයි. හදිසි වර්ෂා තත්ත්වයකදී එම සැලසුම් හා සිතියම් මාර්ගයෙන් ඉතාමත් කාර්යක්ෂමව ජනතාව ඉවත් කරන අතර, වැඩිහිටියන් මෙන්ම ආබාධිත පුද්ගලයන් ඉවත් කිරීම පිළිබඳවද වෙන වෙනම සැලසුම් ක්‍රියාත්මක වෙයි. ජපානයේ ගොඩනැගිලි ඉදිකිරීමේදී පවා ඔවුන් ‘ඒ පිළිබඳව සැලකිලිමත්ය.
මාධ්‍ය ක්‍රියාකාරීත්වය හා බිම් මට්ටමේ සූදානම
යම් හෙයකින් ස්වාභාවික ව්‍යසනයක් සිදුවූ විට ජපානයේ සියලු රූපවාහීනී හා ගුවන්විදුලි මාධ්‍ය එක්ව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරයි. එසේම ජපානයේ බොහෝ ආයතන මෙන්ම පෞද්ගලික නිවාසද ආපදාවකදී භාවිතයට ගත හැකි භාණ්ඩ ඇතුළත් කර භාණ්ඩ පැසක් නිර්මාණය කර තිබේ. හදිසියකදී භාවිත කරන ඇඳුම්, පානීය ජලය, මූලික වෛද්‍ය සැපයුම් එයට ඇතුළත්ය. එසේම එම අවස්ථාවේදී භාවිත කළ හැකි ආරක්ෂිත හිස්වැසුම් මෙන්ම අත්වැසුම්ද ඔවුන් සන්තකයේ පවතියි.
ආපදාවකදී ක්‍රියාත්මක වීම
ආපදාවක් සිදුවීමෙන් පසුව ජාතික රජය මෙන්ම පළාත් පාලන ආයතන ඒ පිළිබඳව තොරතුරු එක්රැස් කිරීම සිදුකරයි. එසේම ඒවා ඉතාමත් ඉක්මනින් අදාළ අංශ අතර බෙදාදෙමින් ක්ෂණිකව ගත යුතු ගලවා ගැනීමේ මෙහෙයුම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රියාත්මක කරයි. පසුව පළාත් පාලන ආයතන විසින් ආපදා කළමනාකරණ මූලස්ථාන ගොඩනංවයි. ඔවුන් ලබාගන්නා තොරතුරු අග්‍රාමාත්‍ය නිල නිවසේ පිහිටා ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබාදෙයි. පසුව අවශ්‍ය පරිදි අමාත්‍යාංශය විසින් සාකච්ඡා පවත්වා ගත යුතු ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවයි.
ආපදා කළමනාකරණ මූලස්ථානය විපතට පත් ජනතාවට අවශ්‍ය සියලු දෑ ලැයිස්තුගත කරන අතර, ඔවුන්ගේ මැදිහත්වීම මත විපතට පත් ජනතාවට අවශ්‍ය සහන ලබාදීම සිදුකරයි. කිසිවිටකත් පිටස්තර පුද්ගලයින්ට විපතට පත් ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට අවස්ථාවක් හිමි නොවන අතර, එය ඇතැම්විට නීතියෙන් වරදක් වෙයි.
ස්වේච්ඡා සේවකයන්ගේ ක්‍රියාකාරීත්වය
ආපදාවක් පැමිණි විට ජපානයේ ස්වේච්ඡා සේවකයන් වහාම ක්‍රියාත්මක වෙමින් ආපදා කළමනාකරණයට අදාළව පළාත් පාලන ආයතන පිහිටුවා ඇති මූලස්ථාන වලට පැමිණ වගකිව යුතු නිලධාරීන්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා අවශ්‍ය ස්වේච්ඡා සේවකයන් සංඛ්‍යාව පවා ජපානයේ සමාජ සුබසාධනය පිළිබඳව ජාතික කවුන්සිලය තීරණය කරයි.
ආපදාවෙන් නැවත නැඟීසිටීම
ආපදාවක් සිදුවීමෙන් අනතුරුව නැවත එයින් නැඟී සිටීම සිතූ සිතූ ලෙස ජනතාවට සිදුකිරීමට අවස්ථාවක් නොමැති අතර, මධ්‍යම හා පළාත් පාලන රජයේ සැලසුමක් අනුව ක්‍රියාවට නැංවෙයි. එහිදී ස්වාභාවික විපතකදී හානි අවම වන අයුරින් නැවත ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳවද සැලකිලිමත් වෙයි. පසුව විපතට පත් ජනතාවගේ ආර්ථිකය නැවත නගාසිටුවීමට කටයුතු කරන අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ආධාර රජය විසින් ලබාදෙයි. එය උපරිමයෙන් ෙයන් මිලියන තුනක් පමණ වෙයි.
|
ජපානයේ මාර්ගයක් ගිලා බැසීමෙන් පසුව සතියක් ඇතුළත ඔවුන් එය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කිරීම අාපදාවකදී ජපනුන්ෙග් ක්‍රියාකාරිත්වය හොඳින්ම පැහැදිලි වෙයි.
|
හදිසි ආපදාවක් ඇතිවූ විට ඒ සඳහා පෙර සූදානම්ව සිටි ආකාරයෙන් ක්‍රියාත්මක වීම විපත් හානි අවම කර ගැනීමට හේතුවක් වෙනු ඇත. එසේම ආපදාවකදී ඒ ඒ අවස්ථාවේදී නිල ආයතන විසින් ලබාදෙන උපදෙස් පිළිපැදීම අත්‍යාවශය කරුණකි. ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයද සඳහන් කළේ තම උපදෙස් නිසි ආකාරයෙන් පිළි නොපැදීම ජීවිත හානි වැඩිවීමට හේතුවක් වූ බවයි.
ටයිම්, ටෙලිග්රාෆ්, ජපානයේ ආපදා කළමනාකරණ පනත, ජපාන ආපදා කළමනාකරණ ධවල පත්‍රිකාව ඇසුරෙනි.