මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ.හරිස්චන්ද්‍ර
වසරේ ඉහළම සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන්නේ සිංහල දෙමළ අවුරුද්දයි. ජ්‍යෝතිෂය අනුව සූර්ය සංක්‍රාන්තිය මුල් කරගනිමින් පැවැත්වෙන මෙම උත්සවය නව අවුරුදු උදාව තේමා කරගනිමින් මෙරට සිංහල දමිළ ජාතීන් උත්සවශ්‍රීයෙන් සමරති.
බුදුන් දෙවියන් සිහිපත් කරමින්ද, සිරිතට, විරිතට, නැකතට මුල්තැන දෙමින්ද වැඩිහිටි දෙගුරු නමදිමින්ද, අසල්වැසියන් හා ඥාතීන් සමග සුහද ගනුදෙනුවෙන්ද සමාජ සාරධර්මයන්ගේ ඉහළ තලයක පවතින මෙම උත්සව අසිරිය මනෝ විද්‍යාත්මකව මිනිස් සන්තානයට යම් උත්තේජනයක් ලබාදෙන උත්සවයක් ලෙසද හැඳින්විය හැකිය.
මේ පිළිබඳව මෙරට සිටි ප්‍රකට මනෝ වෛද්‍ය විශේෂඥයෙකු වූ ඩී.වී.ජේ. හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වීමට ප්‍රථම එවකට පැවති 'ජීවිතයට දහම් පාසල' ධර්ම සංග්‍රහයේ 2012 වර්ෂයේ අප්‍රේල් කලාපය සඳහා මා සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවේදී එතුමාගේ ප්‍රකාශයන් පුළුල්ව සමාජගත කිරීම වර්තමානයට වඩාත් යෝග්‍ය ලෙස හැඟුණු හෙයින් එතුමන්ට දක්වන ගෞරවයක් වශයෙන් 'අද' පාඨකයන් හමුවේ තබමි.
''මුලින්ම අපි අපේ ව්‍යවහාර භාවිතයෙන් කතා කළොත් සිංහල අවුරුද්ද යනුවෙන් පිළිගැනෙන්නේ අපි කවුරුත් දන්නා සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමයි. එතකොට මේ රාශි දෙක අතර විතරද සූර්යයා ගමන් කරන්නේ, අනෙක් රාශි හරහා සූර්යයා ගමන් කරන්නේ නැද්ද? මේ විශ්වයේ උඩ පහළ වම දකුණ කියල සම්මතයක් නැහැ. ස්ථීර ස්ථානයකුත් නැහැ.සම්මතයක් ඇත්නම් එය අපි හදාගත්ත දෙයක් විතරයි. එයට විද්‍යාත්මක පදනමක් නැහැ.
ග්‍රහ චක්‍රය, ඒ කියන්නේ ග්‍රහ වළල්ලටයි. එයට විද්‍යාත්මක පදනමක් තියනවා. එය සජීවීව අපට පෙනෙන දෙයක්. මේ වළල්ල හෙවත් චක්‍රය මානවයා දියුණු වෙමින් පැවතුණ මුල් යුගයේ සොයාගත්ත දෙයක්. ඒ වගේම එය වැදගත් සංකේතයක්ද වෙනවා. අපි මෙහෙම කියමු ධර්ම චක්‍රය, සංසාර චක්‍රය කියලා. එහෙම ගත්තත් එහි අගක් මුලක් නැහැනේ. නමුත් අපි එහි කොතැනක හෝ සිට මෙහි අග හා මුල වශයෙන් හඳුනාගෙන තියනවා. විශ්වයේ පවතින ග්‍රහ චක්රයත් ඒ වගේ.
මෙහි හොඳ නරක යන පැති දෙකක් මම දකිනවා. මුලින්ම අපි එහි හොඳ පැත්ත ගැන කතා කරමු. මෙම උත්සව සමය අපේ පංචේන්ද්රියටම බලපානවා. එහි රසවත් බවක් තියනවා. කැවුම්, කොකිස්, අතිරස වැනි පැණි රස, අවුරුදු උදාවටම හැදෙන ආහාරවලින් අපේ දිවට මිහිරි රසයක් ගෙනෙනවා. ඒ වගේම ඇසට ප්‍රිය උපදවන හැඟීම් මැවෙන ස්වභාවය ගැන බැලුවොත්, අලුත් ඇඳුම් ආයිත්තම්, අලුත් ඇඳ ඇතිරිලි, දොර ජනෙල් රෙදි, තීන්ත ආලේපනයෙන්අලුත්වැඩියා වුණ නිවාස, එරබදු මල් මේ අපේ දසුනට ගෙනෙන සිරියාවයි.
එතකොට සවනට දැනෙන මිහිර කෙතරම්ද? හිමිදිරියේ සිට ඇසෙන කොහාගේ නාදය, රබන් සුරල්, ඔන්චිලි වාරම්, ජන කවි, නව අවුරුදු ගීත මේ ආදී වශයෙන් පංචේන්ද්‍රියම පිනවන ප්‍රසන්න උත්තේජනයක් නිසා වසරක් මුළුල්ලේ විඩාබරිතව හැකිළී තිබෙන මනසට නව ප්රබෝධයක් ඇති වෙනවා.
මෙහි මනෝ විද්‍යාත්මකව ඇති තවත් වැදගත්කමක් තමයි මිනිසා ඒකාකාරී බවින් මිදවීම. වෙන රටවල වගේ නෙමේ අපේ රටේ මිනිසුන් මුළු අවුරුද්ද පුරාම සෑම මාසයකම ඒකරාශී වෙනවා.පොහෝදින වගේම ආගමික සංස්කෘතික ඒකරාශී කිරීම් සෑම මාසයකම මෙහිදී අපි දකිනවා. සමාජීය වශයෙන් මිනිසුන් මෙසේ ඒකරාශී වීම හුගක් හොඳයි.
මේ අතරින් සිංහල අවුරුද්ද සුවිශේෂයි. එදාට අසල්වැසියන් සමග ආහාර බෙදාගන්නවා, නෑගම් යනවා. සූර්යයා සමග අපේ බැඳීමත් එලෙසමයි. වැඩිහිටියන්ට සලකනවා. කණ්ඩායම් වශයෙන් එක්වෙලා නොයෙකුත් කෙළි සෙල්ලම්වල යෙදෙනවා. මේ එකතුවීම තුළින් සමාජ සංස්ථාව තුළත්, පවුල් අතරත් සුහදතාව ගොඩනැගෙනවා. මතභේද දුරු වෙනවා. එපමණක් නෙවේ ජීවිතයේ ප්රතිගමනයක්ද මෙයින් සිදුවෙනවා.
වැඩිහිටියන් ඔවුන්ගේ නිවෙස්වලට ඒකරාශී වන දරුවන්ගේ කෙළි සෙල්ලම් බලමින් සතුටු වෙනවා. ඔවුන්ගේ ළමා කාලයට මනසින් යනවා, ඇතැම් වැඩිහිටියන් ළමයින් සමග එක්වෙලා සෙල්ලම් කරනවා. මෙයින් ඔවුන්ගේ විඩාබරිත මනස බොහෝ දුරට නිරවුල් වෙනවා. මෙයට කියන්නේ මානසික ප්‍රතිගමනය කියලයි, සිග්මන් ෆ්‍රොයිඩ් කියල තියනවා මානසික ප්‍රතිගමනය ඉතා හොඳ දෙයක් කියලා. මේ නිසා සූර්ය සංක්‍රාන්තිය තුළින් නව පිබිදීමක් ඇති කරනවා.
මේ පෘථිවිය සෑදී තිබෙන්නේ සූර්යයාගේ බලපෑමෙන්.අපේ ශරීරය තුළ තිබෙන පරමාණු, හයිඩ්රජන් සහ ඔක්සිජන් මේ සියලු දේ ලැබී තියෙන්නේ සූර්යයාගෙන්. ඒ නිසා සූර්යයා අපේ පියා ලෙසද සලකනවා. සූර්යයා සමග අපේ බැඳීමත් එලෙසමයි. උදෑසන හිරු නැගීමත් සමග අප පිබිදෙන්නේ නැවුම් ප්රබෝධයකින්.පරිසරය තුළද පවතින්නේ එවන් නැවුම් බවක්, ගහකොළ සතුන් හිමිදිරියේම ක්‍රියාශීලීව හඬනගනවා, දුව පනිනවා.
අවුරුදු කාලෙට නිමක් නොමැතිව ඇසෙන කොහාගේ නාදය සවනට කෙතරම් මිහිරක් ගෙන දෙනවද? හිරු මුදුන් වුණාම ගතට හරි වෙහෙසක් දැනෙනවා. එය අපේ ජීවිතේ මැදියම වගේ. හිරු අවරට යන්නේ අප මහලු වයසට පියමං කරනවා වගේ.සූර්යයා අපේ ජීවිතයේම කොටසක් ලෙස හඳුන්වන්නේ ඒ නිසයි. අන්තර් ක්ෂේපනය කියන්නේ මෙයටයි. සූර්යයාට වෙන දේ අපටත් වෙනවා. මේ සූර්ය සංක්‍රාන්තිය නව ඉපදීමක්. එය අප භවයෙන් භවයට ඉපදෙනවා මැරෙනවා වගේ.
සිංහල අවුරුද්ද ගැන තවදුරටත් විග්රහ කරනවානම් එහි මනෝ විද්‍යාත්මක හරයන්ට මූලිකත්වය ලැබී තිබෙනවා. සියල්ල සිදුවන්නේ නැකතටයි. එය අසාමාන්‍ය දෙයක්. මෙය මනෝ විද්‍යාවේ සඳහන් වෙන්නේ 'ගස්ති' යනුවෙනුයි. 'ගස්ති' යනු ඇල්ලීම.මානසික රෝගීන් බොහෝ දෙනෙකු යමක් ඇල්ලූ පමණින් විතරයික්රියාත්මක වෙන්නේ. නැකත් ඇල්ලීම 'ගස්ති' ගණයට අයත් වෙනවා.
'ගස්ති' රෝගයෙන් පෙළෙන අයට වෙලාවට වැඩ කරන්න ඕනේ. ඒ වෙලාව පැන්නොත් ඔහුට ඒ වැඩේ කරන්න බැහැ. මේ වගේ යටි හිතේ පවතින දේ සමාජ සම්මතයට ගෙනල්ලා එය සාමූහික කිරීම තුළින් මානසික ව්‍යාකූලත්වය සමනය වෙනවා. අනෙක් කරුණ තමයි 'වෛදික', එක්තරා දෙයක් එක්තරා විදිහකට කරන්න ඕනේ. සිංහල අවුරුද්ද 'වෛදික' සංකල්ප හා ක්‍රියාවලින් සමන්විතයි.
අපේ බෞද්ධ ආගමික සංකල්පයට විරුද්ධ සුරාව හා සූදුව සිංහල අවුරුදු දිනයේදී අනියම් ලෙස නීතිගතවීම මා මෙහි දකින සමාජ විරෝධී පැතිකඩයි. අපි බොහෝ විට සුරාලෝලීන් සුවපත් කරල ගෙදර යවනවා.ඉන්පසු ඔවුන් සිංහල අවුරුද්ද කියල නැවත වරක් බොනවා. කලින් මතට තිත තිබ්බට එදාට තිත මකලා, මත ඉදිරියට ගන්නවා.
අනෙක් කරුණ තමයි සූදුව.එය මානසික රොගයක්. මෙම සමාජ විරෝධී ක්‍රියා දෙක සිංහල අවුරුද්දෙදි නිරුපද්‍රිතව සමාජගතවෙන්නේ කිසිවෙකුගේ විරෝධයක් නොමැතිවයි. බීලම නැති මිනිහ එදාට බොන්න පුරුදු වෙනවා,සූදුවට නොගියපු මිනිහා එදාට සූදුවට පුරුදු වෙනවා, කාලයක් යනකොට ඔහුට මේවා නැතුවම බැරිව යනවා. සුරාවට, සූදුවට අකමැති ස්ත්‍රිය එදාට ඒ ගැන කිසිම විරෝධයක් දක්වන්නේ නැහැ. සිංහල අවුරුද්දෙදි අපි දරුවන්ට දෙන වැරදි ආදර්ශ මේවායි.
එපමණක් නොවේ බෞද්ධයන්ට නොගැළපෙන මිත්යාවිශ්වාස, මත සිංහල අවුරුද්දේ ඉස්මතු කරනවා. නැකත් භාවිතය බෞද්ධ දර්ශනයට අදාළ කරුණක් නොවේ. නව අවුරුද්දක උදාව නැකත් ක්‍රියාවලියකින් ආරම්භ කිරීම ගැටලුවක් නොවෙයි. එහෙත් මෙය වසර පුරාවටම කරේ එල්ලගෙන යන එකයි වරද. සූර්ය දේව වන්දනාව බෞද්ධ අපට ආවේණික වූවක් නොවේ. නොනගතයට පන්සල් යෑමෙන් පමණක් බෞද්ධකම රැකෙන්නේ නැහැ. ඒ නිසා අපට නොගැළපෙන ක්‍රියා නව අවුරුදු සිරිත් විරිත් තුළ පෙළගැස්වීමෙන් අප වැළකිය යුතුයි.
බෞද්ධයාගේ අවුරුද්ද වන්නේ වෙසක් පොහෝ දිනයයි. මන්ද ලොවට උතුම් දර්ශනයක් දායාද කළ බුදුහිමියන්ගේ තෙමඟුල යෙදී තියෙන්නේ වෙසක් මාසයේ නිසයි. ඒනිසා නව අවුරුද්ද සැමරීම අපට ගැළපෙන්නේ වෙසක් මාසයටයි. ඒ වගේම බෞද්ධයාගේ ශ්‍රද්ධාව, භක්තිය උද්දීපනයවීම නිරායාසයෙන්ම එදිනට සිදුවෙනවා.
මිනිස් ජීවිතවලට නව ජීවිතයක්, නව අරුතක් වෙසක් දිනයේදී ලැබුණා. අප නව වසර වශයෙන් සැලකිය යුත්තේ එදිනයි. සුරාවෙන්, සූදුවෙන් තොරව මෙත් සිතුවිල්ලෙන් ත්රිශික්ෂාව අරමුණු කරගනිමින් පැවැත්විය හැකි එකම ජාතික හා ආගමික උත්සවය වෙසක් උත්සවය යනු මගේ පෞද්ගලික හැඟීමයි. සූර්ය සංක්‍රාන්තිය සමග බැඳුණු අවුරුදු සිරිත් විරිත් හා අපේ ජීවිත බද්ධ වෙලා. ඒ නිසා එය වෙනස් කළ නොහැකි බවත් අප වටහාගත යුතු වෙනවා.''
සාකච්ඡා සටහන - අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ