සිල්රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට ගෙවීමට නියම වූ රුපියල් මිලිය 140ක දඩ මුදල ගෙවීම සඳහා ජනතාවගෙන් මුදල් එකතු කිරීම සාධාරණ හා සදාචාරාත්මක බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසයි. ඉරිදා ලංකාදීප පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
එම සම්මුඛ සාකච්ඡාවේ උපුටාගත් කොටස..
Q අධිකරණයෙන් නියම කරපු දඩ මුදල ඒකාබද්ධයෙන් ගෙවන්න ලෑස්තියි
එහෙම නොවෙයි. ඒකාබද්ධ විපක්ෂයට දඩ මුදල ගෙවන්න සල්ලි නැහැ. එක පැත්තකින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මැදිහත්වෙලා ඉන්නවා. ව්‍යාපාරිකයන්ගෙන් මුදල් එකතු කරනවා. ඒ වගේම භික්ෂූන් වහන්සේලා පිඬු සිඟා වැඩලා අරමුදල් එකතු කරන්න සූදානමින් වැඩ ඉන්නවා. මොකද මේ නඩු තීන්දුවේදී විනිසුරුවරයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා මෙම ව්‍යාපෘතියෙන් චූදිතයන් දෙදෙනාම කිසිම ප්‍රතිලාභයක් ලබාගෙන නැහැ කියලා. සාමාන්‍ය‘යෙන් අසාධාරණ ලෙස පොහොසත්වීම වැළැක්වීමටයි වන්දියක් නියම කරන්නේ. දැන් ශත 5ක් වත් හම්බ කරලා නෑ කියලා විනිසුරුවරයම ප්‍රකාශ කරන දෙදෙනකුට ලක්ෂ 52 බැගින් ගෙවීමට නියම කිරීම අතිශයින්ම අසාධාරණයි.
Q ජනතාවගේ සල්ලිවලින් ජනතාවටම සිල් රෙදි බෙදලා අධිකරණයෙන් වැරැදිකාරයෝ වුණාට පස්සෙ ඒ වන්දි මුදල් ගෙවන්න ජනාතවගෙන්ම සල්ලි එකතු කරන එක සාදාචාරත්මකද?
හරිම සදාචාරත්මකයි.හරිම සාධාරණයි. ජනතාවගේ සල්ලිවලින් සිල් රෙදි බෙදනවා කියලා ඒ සල්ලි තමන්ගේ සාක්කුවේ දාගත්තානම් ඒ වන්දිය ගෙවිය යුත්තේ තමන්ගේ මුදලින්. එහෙම එක ශතපහක්වත් අරගෙන නෑ කියලා විනිසුරුවරයා පමණක් නොව පක්ෂ භේදයෙන් තොරව ආණ්ඩුවේ ඉන්න දෙපාර්ශ්වයේම ඇමැතිවරුන් කියනවා. ඒ නිසා ඔවුන් දඩ මුදල් ගෙවන්න ජනතාවගෙන් මුදල් එකතු කරනවා හැරෙන්න ඉතිරි වෙලා තියෙන විකල්පය කුමක්ද?
Q සිල් රෙදි බෙදන්න නියෝග කළ හිටපු ජනාධිපතිවරයා එළියේ නියෝග ක්‍රියාත්මක කළ නිලධාරීන් ඇතුළේ මොනවද මේ වෙන්නේ?
එහෙම සිදුවී තිබෙන්නේ නීතිය ඉදිරිපිට සියලු කරුණු නිසි පරිදි සැළකිල්ලට නොගත් නිසයි. ඔබ දන්නවද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තියෙන් ජනාධිපතිවරණයට මුක්තියක් ලබාදීලා තියෙනවා. ඒ නිසාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණ දැක්වෙන 170 වැනි වගන්තියේ රජයේ සේවකයා යන අර්ථ නිරූපණයට ජනාධිපති ලේකම්වරයා ඇතුළු ඔහුගේ කාර්ය මණ්ඩලය අයත් නොවන බව ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. එහෙම නම් රජයේ සේවකයන්ට තියෙන ආයතන සංග්‍රහ චක්‍රලේඛ ජනාධිපති ලේකම්වරයාට අයත් වෙන්නේ නැහැ. මේවා නොසළකා තමයි නඩු තීන්දුව ලබාදී තියෙන්නේ. ජනාධිපතිවරයට මුක්තිය ලබා දුන්නේ ජනාධිපති ලේකම්වරයා රජයේ සේවකයෙක් නොවේ කියලා අර්ථ කථනය ලබා දුන්නෙත් අපි නොවෙයි එක්සත් ජාතික පක්ෂය හැදූ ව්‍යවස්ථාවෙන්.
Q ඇමති විජයදාස රාජපක්ෂ ඉන්න කාලේ පමා වෙමින් තිබූ අධිකරණ කටයුතු දැන් වේගවත් වෙලා තියෙනවා.
පට්ටපල් බොරුවක්නේ. සිල් රෙදි නඩුව සම්පූර්ණයෙන්ම අසා නිම කළේ විජයදාස රාජපක්ෂ මහතා ඇමති ධුරය දරන සමයේ. නඩු තීන්දුව ප්‍රකාශ කිරීම පමණමයි ඔහු ඉවත්වීමෙන් පසුව සිද්ධ වුණේ. නඩුව අසන්නයි කල් යන්නේ. තීන්දුව දෙන්න නොවෙයි. මේක කවුරුහරි දේශපාලනිකව විග්රහ කරනවා නම් ඔය විදියට ඒක අඳුරේ සිට කරන ප්‍රකාශයක්.
Q ඔබ අඳුර ගැන මතක් කළා. එතකොට ගෝඨාභය රජපක්ෂගේ එළිය මොකක්ද? එළිය මොකටද?
එක පැත්තකින් අද මේ රට අඳුරේ තබමින් රටේ ඒකීය බව සුරකින බුදු දහම සුරකින ව්‍යවස්ථාවක් බව පෙන්වමින් රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. මේ ආණ්ඩුවේ උපාය මාර්ග වී තිබෙන්නේ එක පාරටම ප්‍රශ්න බෝල ගෝනි ගණනක් ජනතාවගේ හිස මත දැමීමයි. එතකොට ජනතාව තමන්ට ඍජුව බලපාන එක එක ප්රශ්නය මත එල්ලෙනවා. එවැනි පසුබිමක් පොදුවේ රටටම බලපාන ව්‍යවස්ථා අනතුර පිළිබඳව ජනතාව දැනුම්වත් කරන්න. එයට එරෙහිව ජනතාව පෙළ ගස්වන්න කැප වූ සංවිධානයක අඩුවක් රටේ තියෙනවා. ඒ අඩුව පුරවන්න තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරෝගාමීත්වයෙන් එළිය සංවිධානය බිහි වෙන්නේ.