සිගරට් පැකට් මත 80% ක් ආවරණය වන අයුරින් රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම පසුගිය 2014 පෙබරවාරි 19 වැනිදා පාර්ලිමේන්තුවේදී ඒකච්ඡන්දයෙන් සම්මත විය. 2012 වසරේ අගෝස්තු මස සිට මෙම රූපමය අනතුරු ඇඟවීම් අටක් සමගින් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය පළකරමින් 2012 අගෝස්තු 08 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කරනු ලැබීය.
එයට ප්‍රතිවිරුද්ධත්වය පළකරමින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ දුම්කොළ සහ මත්පැන් පිළිබඳ ජාතික අධිකාරියට එරෙහිව නඩු පවරනු ලැබූ හෙයින් එම නීතිය තවමත් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. කෙසේ වුවද, දුම්කොළ සමාගමත්, සමස්ත ශ්‍රී ලංකාවේ දුම්වැටි විරෝධී සියල්ලෝත් එළඹෙන මැයි 12 වැනිදාට උසාවියෙන් ලබාදීමට නියමිත තීරණය පිළිබඳ බලාපොරොත්තු තබා බලා සිටිති. ඒ සඳහා පිළිකා සරණ සංගමයේ සභාපති වෛද්‍ය සමාධි විශ්වනාත් රාජපක්ෂ මහතා 'අද' හා මෙසේ අදහස් දැක්වීය.
Q රූපමය අවවාද සිගරට් පැකැට්ටු මත දැක්වීමේ වැදගත්කම කුමක්ද?
රූපමය අවවාද සිගරට් පැකට්වලට දාන එකේ ලොකු වැදගත්කමක් තියෙනවා.
1.හැම දවසකටම අලුතින් සිගරට් බොන්න පෙළෙඹෙන පිරිසක් ඉන්නවා. සාමාන්‍යයෙන් මේ පිරිස 50 - 60 ක් විතර. මේ රූපමය අවවාද නිසා මේ සංඛ්‍යාව අඩුකරගැනීමේ හැකියාව තිබෙනවා.
2.දැනට සහ අලුතින් සිගරට් භාවිත කරන අයටත්, අයිතියක් තිබෙනවා ඔවුන්ට සිදුවන හානිය දැනගැනීමට. ඒ අයිතිවාසිකම මෙමගින් ආරක්ෂා වෙනවා.
3.සිගරට් කොම්පැනි බලාපොරොත්තු වෙන්නෙ තරුණ වයසේ අය ඔවුන්ට නතු කරගන්නයි. ඒ නව යොවුන් වයසේ අය අත්හදා බැලීමක් ලෙස සිගරට් පානයට යොමුවීම වළක්වාගැනීමට රූපමය අවවාද ඊට එක්කිරීමෙන් හැකියාව ලැබෙනවා.
4.කාන්තාවන් සිගරට් පානයට යොමුවීම මෙමගින් අවම කරගන්න පුළුවන්
5.ඒ වගේම කවදාවත් සිගරට් නොබොන අය මෙම රූපමය අවවාද නිසා තවත් ඒකට විරුද්ධ වෙනවා.
6.බොන අයත් මේවායේ තිබෙන රූප නිසා ගෙවල් තුළදී බීම අඩුවෙනවා. මොකද, ගෙදර අය ගොඩක් ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්නට පෙළඹෙන නිසා
7.ගැබිනි මවුවරුන්, කුඩා දරුවන් ඉදිරියේ සිගරට් බොන තාත්තලා නවත්වනවා. මොකද රූපමය අවවාදවලින් ඒවා අහිතකර බව තේරුම්ගන්න නිසා.
8.මේවා දැක්කම සිගරට් බොන්න මිනිස්සු ලැජ්ජා වෙනවා.
9.මේ රූප නිසා සිගරට් අලෙවි කිරීමට ලැජ්ජා වෙනවා.
10. බොහෝදුරට සිගරට් බොන්නෙ අඩු ආදායම්ලාභී අඩු සාක්ෂරතාවක් තියෙන උදවිය. ඒ අයට ලියූ දේ නොතේරුණත්, රූප දැක්කම වැටහෙනවා. ලිංගික බෙලහීනතාවය, පිළිකාව, ළමයෙක් පණ අදින රූප වැනි දේ දුටුවම වචන දහසකින් කිවයුතු දේ ඒ අය වහාම තේරුම්ගන්නවා.
11.සිගරට් එකක් බොන එක නවත්වන්න හිතේ තියෙන මිනිස්සු මේ රූප දකින්න දකින්න සිගරට් බීම නවත්වන්න තිබෙන උවමනාව වැඩිවෙනවා.
12.සිගරට් පැකට් එකක් අරගෙන එක සිගරට් එකක් බොන කෙනෙක් දවසකට පැකට් එකක් බොනවානම් ඔහු මාසෙකට මෙම රූපමය අවවාද 7800 පමණ වාරයක් දකිනවා. මාසෙකට 7800 පාරක් එකම අවවාදය ඔළුවට ගියාම, කල් යද්දි මාසෙට පැකට් එකක් බොන එක, එක සිගරට් එකට අඩුවෙනවා.
මෙය තමයි සමාජයට සෞඛ්‍ය අධ්‍යාපන පණිවුඩයක් ගෙනයාමේ හොඳම ක්‍රමවේදය. පාරිභෝගිකයාට පණිවිඩයක් ලබාදීමේ අවසාන සහ වටිනාම අවස්ථාවත් මේකයි. මෙය අනතුරු ඇඟවීමක් විදිහට ඉතා හොඳ බව විද්‍යාත්මකව තහවුරුකරගත් දෙයක්. එනිසා රූපමය අවවාද ඇතුළත් කිරීම අතිශය වැදගත්.
Q දුම්පානයෙන් ඇතිවිය හැකි ආබාධ මොනවාද?
හෘදයාබාධ (හෘදය වස්තුව සම්බන්ධ බොහෝ ආබාධ), අංශභාගය,පිළිකා (සියලු පිළිකාවලට දුම්පානය අඩුවැඩි ලෙස බලපානවා), පෙනහළු ආබාධ (ඇදුම ඇතුළු අනෙත් රෝග), දියවැඩියාව උග්රවීමට හේතුවීම, කකුල් කුණුවීම හා තුවාල ඇතිවීම, රුධිර සංසරණ පද්ධතිය ආශ්රිත රෝගාබාධ, මුඛ සෞඛ්‍ය සම්බන්ධ බොහෝ ආබාධ
Q රූපමය අවවාද අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතුද?
ඔව්. අනිවාර්යයෙන්ම කළ යුතුයි. මොකද ඒවට හේතු තියෙනවා. ලංකාව කියන්නෙ මේ කලාපයේ තියෙන ඉතාමත් හොඳ සංස්කෘතියක් තියෙන රට.
මේ වනවිට රටවල් 72 ක් මෙම රූපමය අවවාද ඇතුළත් කරලයි තියෙන්නෙ. ඉතාම මෑතකදි නේපාලයේ පවා ආරම්භ කළා. ඔවුන්ගේ රටේ සිගරට් පැකට් එකක75% ක් මෙම රූපමය අවවාදවලින් ආවරණය කරලයි තියෙන්නෙ.
ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය, චීනය, ඉන්දුනීසියාව වැනි ආසියාතික රටවල් මේ කටයුත්තට සම්බන්ධයි. එතකොට ලංකාවට බැරිවෙන්න විදිහක් නෑ. අපි ඒතරම් අවාසනාවන්ත ජාතියක් නෙවෙයි.
Q ඇයි එහෙනම් ලංකාවේ රූපමය අවවාද ගෙනඑන එක මේ තරම් ප්‍රමාද වෙන්නෙ?
සෞඛ්‍ය ඇමතිතුමා දුම්බීම නිසා ඇතුළු වන ගැටලු ගැන අවධානය යොමුකරලා පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ ඒකමතික තීන්දුවෙන් පසුගිය පෙබරවාරි මාසෙදී පනතක් සම්මත කරගත්තා. නමුත් අපි නොදැන අදිසි හස්තයක් ක්‍රියාත්මක විය හැකියි.
සමහර විටක දේශපාලනමය බලපෑමක් විය හැකියි. නැත්නම් දුම්වැටි සමාගම විසින් ජය හැකියි. දුම්වැටි සමාගම කියන්නෙ හොඳට සල්ලි තියෙන සමාගමක් නිසා මුදල් බලයද විය හැකියි. ඉතාම ඉක්මනින් අහිංසක ජනතාව වෙනුවෙන් සාධාරණයක් සිදුවිය යුතුයි.
Q පවතින තත්ත්වය අනුව රූපමය අවවාද සටහන් කිරීම සිදුවේවිද?
අනිවාර්යයෙන්ම සිදුවෙනවා.