Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
ශ්‍රී ලංකාව අද වනවිට ආර්ථික වශයෙන් මෙන්ම සියලු අතින් පරිහානියට පත්වෙමින් සිටී. එමෙන්ම උපන් නූපන් සියලුදෙනාටම විශාල ණය බරක් කරගැසීමට සිදුව තිබේ. අතීතයේ ස්වයංපෝෂිත ආර්ථික රටාවකට උරුමකම් කී අප අද වනවිට ලෝකය හමුවේ හෑල්ලුවට පත්ව තිබේ. එබැවින් දැන් අවශ්‍ය කර ඇත්තේ ජාතියට පණ පෙවිය හැකි මානව සම්පතකි. එමෙන්ම අප රටට ව්‍යවසායකයන්ද අවශ්‍ය කර තිබේ. එවැනි ව්‍යවසායකයන් තනන්නට නම්, නැවත ලෝකය දිනන්නට නම් අපේ රටේ ව්‍යවසායකත්ව සංස්කෘතියක් ස්ථාපිත කළ යුතුය. මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයේ කථිකාචාර්ය චන්න ගජනායක මහතා 'අද' ට සම්බන්ධ කර ගතිමු.
වර්තමාන ආර්ථික, කළමනාකරණ, සමාජයීය, සංස්කෘතික ක්ෂේත්රයන් විශ්ලේෂණය කර බලන විට අප වර්තමානයේ මේ ගෙවමින් පවතින්නේ ඛේදජනක අත්දැකීම්වලින් යුත් අඳුරු මාර්ගයක බියකරු ගමනාන්තයකටයි. පෙරදිග ධාන්‍යාගාරය වූ අපි, අසල්වැසි දේශයන්ටත් බෙදාහරින්නට අස්වනුවලින් ස්වයංපෝෂිත වූ අපි, අසල්වැසියකුගෙන් ණයට වේලක් නොඉල්ලූ අපි, අද වෙද්දි ලෝකය ඉදිරියේ මහා ණය බරකින් මිරිකෙන අනුන් මත යැපෙන ජාතියක් වෙලා. උපන් නූපන් හැමෝම ලෝකය ඉදිරියේ වෙන්දේසි වීමට සූදානමින් පසුවෙනවා.
2015 වර්ෂයට අදාළව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව අපේ රටේ මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 20.966 යි. රටක් විදියට අප කෝටි දෙකකුත් නවලක්ෂ හැටහයදහසක් එක්ව රුපියල් බිලියන 10,932ක ජාතික ආදායමක් උපයා තිබෙනවා. අපේ රටේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,503ක්. ඒ අනුව අපේ රටේ ජීවත්වන එක් පුද්ගලයෙකු මත ඇති ණය බර රු.405,572.21ක්. 2015 වසරේ මහ බැංකු වාර්තාවටම අදාළව අප විසින් රුපියල් මිලියන 1,428,049ක අපනයනයන් තුළින් ආදායමක් ලබද්දී ආනයනයන් වෙනුවෙන් රුපියල් මිලියන 2,574,023ක වියදමක් දරනවා.
2015 වසරේදී අපේ රටට විදේශ රටවල්වලින් රුපියල් මිලියන 18,365 ක සහල් ගෙනැවිත් තිබෙනවා. රුපියල් මිලියන 34,107ක කිරි හා කිරි ආශ්රිත ආහාර ගෙනැවිත් තිබෙනවා. රුපියල් මිලියන 114,108ක වෙනත් ආහාර ද්‍රව්‍ය ගෙනැවිත් තිබෙනවා. රුපියල් මිලියන 48,557 ක තිරිඟු ගෙනැවිත් තිබෙනවා. රුපියල් මිලියන 39,368 ක පොහොර ගෙනැවිත් තිබෙනවා.
2015 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 250.9ක කිරි හා කිරි ආශ්රිත නිෂ්පාදන ආනයනය කර තිබෙනවා. 2015 වසරේ ඇමෙරිකානු ඩොලරයේ සාමාන්‍ය හුවමාරු වටිනාකම වන රු. 135.94 ට අනුව කිරි හා කිරි ආශ්රිත නිෂ්පාදන ආනයනය කිරීමට වැය කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 250.9 රුපියල් වටිනාකම රු. 35,126,000,000.00ක්. වර්ෂයකට දින 365 ක් ලෙස සලකා මෙම රුපියල් වටිනාකම 365 න් බෙදූ විට කිරි හා කිරි ආශ්රිත නිෂ්පාදන ආනයනය කිරීමට වැය කළ දෛනික රුපියල් අගය සොයාගන්න පුළුවන්. එහි වටිනාකම රු. 96,235,616.44ක්. එනම් අප දිනකට රු. 96,235,616.44ක කිරි හා කිරි ආශ්රිත නිෂ්පාදන ආනයනය කිරීමට වැය කර තිබෙනවා.
2015 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා තොරතුරු අනුව 2015 වසරේ විදේශ රැකියා සඳහා යොමු වූ පිරිස අතුරින් 29.4%ක් නුපුහුණු ශ්රමිකයන්ය වන අතර, 27.8%ක් ගෘහ සේවිකාවෝ. රටකට විදේශ විනිමය ඉපයීමට විදේශ රැකියා නියුක්තිය වැදගත් දායකත්වයක් ලබාදෙන බව අවිවාදාත්මක කරුණක්. එහෙත් විදේශ සේවා නියුක්තියේ අපගේ භාවිතාව සාධාරණීකරණය කිරීම කොතෙක් දුරට සිදුකළ හැකිද යන්න ගැටලුවක්. විශේෂයෙන්ම දුප්පත් කාන්තාවන් වහල් සේවයට යාමෙන් ඇතිවන ගැටලු, ඔවුන්ගේ පවුල් සංස්ථාවන්වල ඇතිවන පරිහානියන් අර්බුද දක්වා ඔඩුදුවා ඇති බව වාර්තා වන සිද්ධීන් දෙස බැලීමේදී පැහැදිලි වෙනවා. ලෝකයේ බොහෝ රටවල් තම ශ්‍රම බළකායෙන් කොටසක් වෘත්තීයවේදීන්, පුහුණු ශ්‍රමිකයන් ආදී ලෙස විදේශ රැකියාවන්ට යොමුකර ගෞරවනීය රැකියාවක් තුළින් ඉහළ ඉපයුමක් ලබාගැනීමට ජාතික ප්‍රතිපත්ති සකස් කරනවා. එහෙත් අපට වෘත්තීයවේදීන් එලෙස රැකියා සඳහා යොමු කිරීමට ජාතික ප්‍රතිපත්තියක් හෝ ජාතික සැලැස්මක් පවතිනවාද යන්න ගැටලුවක්. 2015 වසරේ විදේශ රැකියා සඳහා යොමු වූ පිරිස අතුරින් වෘත්තීයවේදීන් ඇත්තේ 2.4%ක්.
ශ්‍රී ලංකාව කෘෂිකාර්මික අතින් ස්වයංපෝෂිත කර සංවර්ධනය කිරීම උදෙසා 'අපි වවමු රට නගමු', 'වගා ලංකා වගා සංග්‍රාමය' ආදී ජාතික වැඩසටහන් ක්‍රියාත්මක වුණා. එහෙත් ඒ සඳහා අප තෝරාගත් හා වර්තමානයේ පවා අප තෝරාගනිමින් පවතින උපායමාර්ග සාධාරණීකරණය කළ හැකිද යන්න විශාල ගැටලුවක්. ගොවිබිම්, පස සකස් කිරීමට ගන්නා යන්ත්‍ර හා උපකරණ ටික අප චීනයෙන්, ඉන්දියාවෙන් ආනයනය කරද්දී, ගොවි මහතුන් අතර ඉතා ප්‍රචලිත කිඹුලා උදැල්ල අපි එංගලන්තයේ චිලින්ටන් ටූල් සමාගමෙන් ගෙන්වා ගන්නවා, සංවර්ධනය කළ බීජ ටික අපි මැලේසියාවෙන් ගෙන්වා ගන්නවා. වර්තමානයේ විශාල ලෙස අප රසායනික පොහොර, වල්නාශක හා කෘමිනාශක භාවිත කරනවා. ඒවාද අපි ජර්මනිය, ඩුබායි, ඉන්දියාව වැනි රටවල්වලින් ගෙන්වා ගන්නවා. 2015 මහ බැංකු වාර්තාවට අනුව 2015 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 272.4ක පොහොර ආනයනය කර තිබෙනවා. මෙය පෙර වසරට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් මිලියන 17.2ක වැඩි වීමක්. අස්වනු නෙළන යන්ත්‍ර, අස්වනු සකස් කරන යන්ත්‍ර ආදී බහුතරයක් යන්ත්‍රෝපකරණ අපි විදේශ රටවල්වලින් ආනයනය කරගන්නවා. මහා වැසි වැටී ගංගා ඇළ දොළ පිටාර ගලන රටේ එයින් මාසයකට පසු ගොවිතැනට අවශ්‍ය ජලය නැහැ. කෘෂිකාර්මික නිෂ්පාදන විකුණා ගන්න බැරිව ළතවෙන ගොවීන්ගේ දුක් අඳෝනා සුලභයි. එයින් පැහැදිලි වන්නේ අගය එකතු කළ නිෂ්පාදන සඳහා, යොමු වීමක් සඳහා හා සඵලදායී පසු අස්වනු උපායමාර්ග නොමැති බවයි.
කෘෂිකාර්මික නිෂ්පාදන විකුණාගත නොහැකිව නැගූ අඳෝනාව පහව යන්නටත් පෙර ආහාරවල හිඟකම හා ඉහළ යන මිල පාලනය කිරීමට යැයි කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය කිරීමට පටන් ගන්නවා. සමස්ත කෘෂිකාර්මික ක්ෂේත්රය කළමනාකරණයට නිසි ක්‍රමවේදයක් හා නිර්මාණශීලී භාවිතාවන් නොමැතිව අපි ඉබාගාතේ දුවමින් ඉන්නෙ.
රබර් කිරි ටික පිටරට පටවා වාහන ටයරය පිටරටින් ගෙන්වන, අපේ රටේ වැවෙන තේ, තේ ලෙස පිටරට පටවා රස ගන්වන ලද තේ විදේශයන්ගෙන් මිලදී ගෙන බීමට පුරුදු වූ, කුළුබඩු, කුළුබඩු ලෙසම පිටරට පටවා ඒ ඇසුරින් නිපදවන අගය එකතු කළ නිෂ්පාදන නැවත විශාල මුදලක් ගෙවා ආපසු ගෙන්වා ගන්නා, අපේ ඉඩම් සින්නක්කර අයිතියට, බද්දට විදේශ රටවලට දී හාල්, සීනි, එළවළු, පලතුරු, ධාන්‍ය ටික විදේශීය රටවල්වලින් ගෙන්වන අපූරු ක්‍රමවේදයන් තියෙන හරි අමුතු ජාතියක් අපි.
දශක කිහිපයක් එපිටට විමර්ශනය කරන විට හරි අපූරු තත්ත්වයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. 1950 දී හා 2014 වර්ෂයේදී ජපානය, සිංගප්පූරුව හා ශ්‍රී ලංකාවේ වාර්ෂිකව එක පුද්ලයෙකුගේ ආදායම සංසන්දනය කරන වගුවක් පහත දක්වා තිබෙනවා.
1950 වසරේදී ඉතා ප්‍රබල ආර්ථික ශක්තියකට හිමිකම් කියූ අපේ රට සිංගප්පූරුවේ ඒකපුද්ගල ආදායම මෙන් තුන් ගුණයක ඒකපුද්ගල ආදායමක් උපයන ලද රටක්. ජපානයේ ඒකපුද්ගල ආදායමට වඩා ඩොලර් එකකට පහළින් සිටි රටක්. 2014දී පත්ව ඇති ඉරණම? ඒ ගැන උදම් ඇනිය හැකිද? ඒ ප්‍රගතිය ගැන ආඩම්බර විය හැකිද?
2017 ජුනි මස 08 වන දින ප්‍රධාන ජාතික පුවත්පතක් වාර්තා කරන පරිදි අවුරුදු 5-17 අතරේ පාසල් යායුතු වයසේ දරුවන් 452,661 ක් පාසල් යන්නේ නැහැ. ඉන් දරුවන් 51, 249 ක් කිසිදා පාසල් ගොස් නැහැ. මෙයින් ඇතිවන සාමාජයීය ආර්ථික ගැටලු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම වර්තමාන සමාජ තත්ත්වය හා මිනිසුන්ගේ හැසිරීම දෙස බලන කල මෙම පිරිසේ අනාගත හැසිරීම කුමානාකාරද යන්න සිතාගන්නත් බැහැ.
රටවල් 118ක් ශ්‍රේණිගත කරමින් ගණනය කරන ගෝලීය කුසගිනි දර්ශකයේ ලංකාවට හිමිව ඇත්තේ 84 ෙවනි ස්ථානයයි. 2015 වසරේ ශ්‍රී ලංකාව සිටියේ 69 ෙවනි ස්ථානයේ. 2016 ස්ථාන 15ක් පසුපසට යමින් වසර 2000න් පසුව කුසගිනි තත්ත්වය දරුණු අතට පත්වූ රටවල් දෙක අතුරින් එකක් වී තිබෙනවා. එසේ කුසගිනි තත්ත්වය දරුණු වූ අනෙක් රට තමයි නැම්බියාව.
ආර්ථික වර්ධනය වේගවත් කරන්නට, රැකී රක්ෂා ජනිත කරන්නට අප ඍජු විදේශ ආයෝජන ලබාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවත් ඒ සඳහා අවශ්‍ය යෝග්‍ය උපායමාර්ග හා සැලසුම් තිබෙනවාද යන්න ගැටලුවක් . Ease of Doing Business Rank එනම් රටවල්වල ව්‍යාපාර කිරීමේ පහසුව මනිනු ලබන දර්ශකයේ 2016 වසරේ ශ්‍රී ලංකාවට සිටින්නේ 107 ෙවනි ස්ථානයේ. Economic Freedon Index එනම් දේපළ හා ශ්‍රමය සංචලනය කර ආයෝජනය, නිෂ්පාදනය සිදුකිරීමට ඇති නිදහසයි. මේ දර්ශකයෙහි 2016දී ශ්‍රී ලංකාව සිටින්නේ Mostly Unfree ඒ කියන්නේ ඉතා දැඩිව නිදහස නොමැති කොටසේ. ඒකෙ අපගේ ස්ථානය 94 යි. නිදහස්ව ලෝකයේ ව්‍යාපාර කටයුතු කිරීමේ පහසුම රටවල් 1 හි සිට පෙළගැස්වුවහොත් අප සිටින්නේ 107 ෙවනි ස්ථානයේ.
2015 වර්ෂයේදී අප කෝටි දෙකකුක් නවලක්ෂ හැට හයදහසක් එක්ව රුපියල් බිලියන 10,930 ක ජාතික ආදායමක් උපයා තිබෙනවා. එය ඇමෙරිකානු ඩොලර් බිලියන 80.4ක්. 2016දී සේවකයන් 348,877ක් සමග ජපානයේ ටොයෝටා සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 237 ක අාදායමක් උපයා තිබෙනවා. එය කෝටි 2ක් වන අපේ රටේ සමස්ත ආදායම වගේ තුන් ගුණයකට ඉතා ආසන්න ප්‍රමාණයක්. ස්ටීව් ජොබ්ස් ආරම්භ කළ වසර 41 ක් වයස ඇමෙරිකාවේ ඇපල් සමාගම සේවකයන් 116,000ක් සමග ඇමෙරිකානු ඩොලර් බිලියන 234 ක ආදායමක් 2016 වසරේදී උපයනවා. එය අපේ රටේ සමස්ත ආදායම වගේ තුන් ගුණයට ඉතා ආසන්න ප්‍රමාණයක්. අවුරුද්දෙන් මාස 6ක් 9ක් හිමෙන් වැහිලා තණකොළයක්වත් හැදෙන්නේ නැති රටවල් ලෝකයටම කිරි සහ කිරි ආශ්රිත නිෂ්පාදන දෙනවා. ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක් තියෙන, ස්වාභාවික විපත් බහුල යුරෝපීය ජාතිකයන් අධික සැප විඳිනවා. අපේ මේ මහ පොළොව එහෙම ව්‍යවසනයන්ට විවෘත වෙලා නෑ. මේ සරුසාර පොළොවේ ඕන දෙයක් හැදෙනවා. ඒත් අපි දුප්පත් ජාතියක්. කොංගෝව කියන්නේ අප්‍රිකා මහද්වීපයේ තියෙන ලෝකයේ 12 වෙනියට විශාල, 19 වෙනියට වැඩිම ජනගහනයක් ඉන්න රට. ඒත් ලෝකයේ හයවෙනි දුප්පත්ම රට. කොංගෝව පමණක් නෙවෙයි අප්‍රිකානු මහද්වීපයේ බහුතරයක් රටවල් එහෙමයි. මලාවි, බුරුන්ඩි, ලයිබීරියාව වගේ රටවල් අසීමිතව සම්පත් තියාගෙන දුක් විඳිනවා.
'අනේ අපේ රටට ඇවිත් ණය දෙන්න, ආධාර දෙන්න, ව්‍යාපාර ගේන්න, කළමනාකරණය ගැන අපට කියලා දෙන්න, ඉංජිනේරු තාක්ෂණය අපට දෙන්න, පාරවල්, බෝක්කු, ගොඩනැගිලි ටික හදලා දෙන්න, කන බොන අඳින පලඳින ටික, ලෙඩකට දුකකට බෙහෙත්හේත් ටික අපිට හදලා දෙන්න, නැත්නම් ගෙනත් දෙන්න, ඉගෙන ගන්න පොත් පෑන්, පැන්සල් ටික විතරක් නෙවෙයි හෝඩි පොතත් අපිට හදලා ගෙනත් දෙන්න, උගන්වන්න ගුරුවරුන්ට අවශ්‍ය කරන පොතපත අපිට ලියලා මුද්‍රණය කරලා දෙන්න, මොකද අපිට ඔයගොල්ලන්ට වගේ ඒ දේවල් ටික කරගන්න හැකියාවක් නෑ” එය අභිමානවත් ජාතියක වර්තමාන අඳෝනාවයි.
2015 වර්ෂයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ප්‍රකාශයට පත්කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ජාතික ප්‍රතිපත්ති රාමුව පෙන්වා දෙන පරිදි අප රටේ සමස්ත ව්‍යාපාරවලින් 75%ක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්. එසේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ජාතික නිෂ්පාදිතයට 52%ක දායකත්වයක් සපයන අතර, 45% පිරිසකට රැකියා අවස්ථා සපයා තිබෙනවා. රැකියා උත්පාදනයේ, ආර්ථික වර්ධනයේ, ප්‍රාදේශීය සංවර්ධනයේ තීරණාත්මක සාධකය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්රමුඛකොට ගත් අපේ දේශීය ව්‍යාපාරයන් තරගයට මුහුණදී තරගකාරීත්ව වාසි ලබා ගැනීමට අසමත්ව පිරිහෙමින් පවතින බවත් පැහැදිලියි. ව්‍යාපාර අචාරධර්ම කිසිම අයුරකින් මායිම් නොකරමින් කෙසේ හෝ ලාභයක් උපයාගැනීම පිණිස බහුතරයක් පිරිස අරගලයක නිරත වන බවත් දක්නට ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ නිෂ්පාදනවලට තිබූ වටිනාකමද දේශීයව හා විදේශීයව පිරිහෙමින් තිබෙනවා.
මෙය උපන් බිමට අවමන් කිරීම, ගැරහීම නොවේ. යථාර්ථය තමයි මේ. අපි ආඩම්බර වන්නේ අපිට අභිමානවත් අතීතයක් තිබුණු නිසයි. අප එයට ගරු කරනවා. වර්තමාන අපේ නිවටකම වසාගෙන, වර්තමාන තත්ත්වය ගැන උදම් අනමින් සිටියහොත්, එය අභිමානවත් ජාතියක අවසානය සනිටුහන් කර ලෝකය අභිමුව පිළිකුලට බඳුන් වුණ ජාතියක වංශකථාව ලියන්නට අප දෙන සහයෝගයක්. ඒ නිසා යථාර්ථය කතා කිරීම අවමන් කිරීමක් නෙවෙයි. යථාර්ථය දෙස විමසිලිමත්ව බලා ඛේදජනක ඉරණම වෙනස් කිරීමට පුළුවන් ආර්ථික සමාජයීය වෙනසකට මුල නොපිරුවොත් එයයි අපි ජාතියට කරන නිගරුව.
එදා තිබුණ අභිමානවත් ජාතියට නැවත පණ පෙවිය හැකි මානව සම්පතක් රටට අවශ්‍ය කර තිබෙනවා. යෝධ පිම්මක් තුළින් සමාජ, ආර්ථික පරිවර්තනයකට සුදුසු මානව සම්පතක් අප රටට අවශ්‍යව තිබෙනවා. ලොවම දිනිය හැකි අපේම ව්‍යාපාර ජාලයක් ගොඩනැගිය යුතුයි. අපේ ව්‍යවසායකයන්ගේ ශ්‍රී ලාංකේය අනන්‍යතාව ජාත්‍යන්තරයට ගෙන යා යුතුයි. එවන් ව්‍යාපාර තැනිය හැකි, ව්‍යාපාර සංවර්ධනය කළ හැකි නිපුණතාවන් සහිත මානව සම්පතක් අපේ රටට අවශ්‍ය කර තිබෙනවා. බොහොම සරලව පැවසුවහොත් අපේ රටට ව්‍යවසායකයන් අවශ්‍ය කර තිබෙනවා. ව්‍යවසායකයන් තනන්නට නම්, නැවත ලෝකය දිනන්නට නම් අපේ රටේ ව්‍යවසායකත්ව සංස්කෘතියක් ස්ථාපිත කළ යුතුයි. රටක් විදියට අප හමුවේ ඇති සමාජ, ආර්ථික හා දේශපාලන අභියෝගයන් සියල්ලටම තිරසාර විසඳුම් සොයන්නට ව්‍යවසායකත්ව මනෝසොබාවක් සහිත මානව සම්පතක් අප සතුව සිටිය යුතුමයි.
එවන් පුළුල් මනසකින් ලොව දකින මානව සම්පතක් බිහිකරන යාන්ත්‍රණයක්ද තිබිය යුතුයි. එය අප රටේ මිනිසුන් අහන, දකින දේවල්වල පමණක් නෙවෙයි සිතුවිලිවලද අන්තර්ගත විය යුතුයි. එවන් සමාජ පසුබිමක් ඇති කිරීම පිණිස කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක්.
ව්‍යවසායකත්වය යනු මනෝසොබාවක්. මෙම මනෝසොබාව අපූරු එකක්. සිහින දැකීම, සිහින පසුපස එළවීම, පරිසරයට සංවේදී වීම, පූර්ව ප්රතිචාරීභාවය, අවස්ථා හඳුනාගැනීමේ හැකියාව, අවස්ථා උකහා ගැනීමේ හැකියාව, නිර්මාණශීලීත්වය හා නවෝත්පාදනයෙහි නිපුණතා, නිෂ්පාදන සම්පත් ඒකරාශී කිරීමේ හැකියාව, අවදානම් භාර ගැනීමට ඇති කැමැත්ත, ධනවාදී ආකල්ප ආදිය මෙම මනෝසොබාවක් සහිත පුද්ගලයන්ගේ දැකිය හැකි දෑයි. මෙම ව්යාවසායත්ව මනෝසොබාව පවතින ස්වකීය ව්‍යපාරයක් හිමි ව්‍යවසායකයන්, දැනට ස්ථාපිත ආයතනයක සේවය කරන ව්‍යවසායකත්ව මනෝසොබාවක් සහිත කළමනාකරුවන්/ වෘත්තීයවේදීන්/ ප්‍රතිපත්ති සම්පාදකයන් එනම් ආයතනික ව්‍යවසායකයන් මෙන්ම සමාජයේ දැවෙන ගැටලුවලට නිර්මාණශීලී විසඳුම් සොයන සමාජයීය ව්‍යවසායකයන්ද හඳුනාගන්න පුළුවන්.
පරිසරයට සංවේදී වෙමින්, අවස්ථා හඳුනා ගනිමින්, පවත්නා තත්ත්වයන් වෙනස් කරමින් හෝ සංවර්ධනය කරමින්, නිෂ්පාදන සම්පත් ඒකරාශී කරමින්, අවදානම් දරමින්, නිර්මාණශීලීත්වය තුළින් නවෝත්පාදන බිහිකරමින්, ධනය උත්පාදනය කිරීමට ව්‍යාපාරයන් ආරම්භ කර පවත්වාගෙන යන ව්‍යවසායකයන්ගේ දායකත්වය වර්තමානය වනවිට වඩාත් තීරණාත්මකයි.
එසේම දැනට ස්ථාපිත වූ ආයතනයක කටයුතු වඩා සාර්ථක කරනු පිණිස සාම්ප්‍රදායික චින්තනයෙන් බැහැරව, නිර්මාණශීලී කළමනාකරණ භාවිතාවන් සහිතව අලුතින් ලෝකය කියවිය හැකි ව්‍යවසායකත්ව මනෝසොබාවක් සහිත කළමනාකරුවන්ද වර්තමානයේ ඉතා තීරණාත්මකය. ව්‍යාපාරයන් සාර්ථකත්වය කරා ගෙන යාමට ඔවුන්ගේ දායකත්වයද ඉතා වැදගත්. එසේම සමාජයේ දැවෙන ගැටලුවලට සාර්ථක නිර්මාණශීලී විසඳුම් උත්පාදනය කරන්නෝද යුගයේ අවශ්‍යතාවක්.
ව්‍යවසායකයන් බිහි වීමට හා ව්‍යවසායකයන්ගේ සංවර්ධනය පිණිස අවශ්‍ය කරන දේශපාලනික, සමාජ, ආර්ථික හා තාක්ෂණික පරිසරය අපේ රටේ ඇති කිරීම ප්‍රධානම කාර්යභාරයක්. එසේම වර්තමාන ව්‍යවසායකයන් නගාසිටුවීම තුළින් ආර්ථික සමෘද්ධිය හා ගිලිහුණු දේශීය අභිමානය නැවත ගොඩනැගීමට තවත් ප්‍රමාද විය යුතු නැහැ. නව්‍ය විසඳුම් හා නිර්මාණශීලී කළමනාකරණ භාවිතාවන් නොමැතිව අද ව්‍යාපාරයක වර්ධනය පමණක් නොව පැවැත්මද තහවුරු කරන්න බැහැ. අද අවශ්‍ය වන්නේ ගෝලීය තරගයට මුහුණදිය හැකි සැබෑ ව්‍යවසායකයන්. ව්‍යවසායකයන්ට පවත්නා ගැටලු නිවැරදිව හඳුනාගනිමින් එම ගැටලුවලට අවශ්‍ය විසඳුම් සපයමින්, දේශීය හා අන්තර්ජාතික වෙළෙඳ පොළ ජයගැනීමට සමත් ව්‍යවසායකයන් දහස් ගණනින් ඒකරාශීකොට දැවැන්ත ශක්තියක් ගොඩනගන්නට සේම නිර්මාණශීලී චින්තනයක් සහිත ප්‍රතිපත්ති සම්පාදකයන්, ගුරුවරුන්, කළමනාකරුවන්, වෘත්තීයවේදීන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, පාසල් සිසුන් තැනිය යුතුයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd