කළුතර සිට කඩුවෙල අධිකරණය වෙත රැඳවියන් රැගෙන එමින් තිබූ බන්ධනාගාර බස් රථයකට කළුතර එතනමඩල ප්‍ර‘දේශයේදී වෑන් රියක් හරස් කොට ඊයේ (27දා) පෙරවරුවේ එල්ල වූ වෙඩි වරුසාවකින් රැඳවියෝ පස්දෙනෙක් සහ බන්ධනාගර නිලධාරීහු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස අතර රටම කැළඹූ පාතාල චරිතයක්ද විය.
ඒ අරුණ උදය ශාන්ත හෙවත් රණාලේ සමයං ය. රණාලේ සමයං හෙවත් අරුණ උදය ශාන්ත පතිරණ ගැන රට පුරා පුවත් පැතිරෙන්නට ගත්තේ 2015 වසරේ සැප්තැම්බර් 23 වැනිදා කඩුවෙල අධිකරණ භූමියේදීම පාතාල නායකයෙකුට වෙඩි තැබීමක් සම්බන්ධ පුවත සමගය. දකුණු උරහිසට වැදුණු වෙඩි පහරින් ජීවිතය බේරාගන්නට රණාලේ සමයංට එදා හැකිවිය. එහෙත් තමන්ගේ ජීවිතයටද අකාල මරණයක සෙවණැලි වැටී ඇති වගක් පාතාලයේම උණ්ඩයක් ඉතා ඉක්මින්ම තමා සොයා එන බවත් සමයං එදින පසක් කරගත්තේය.
මහඋළුගෙදරින් පිටත ලෝකයට නැවත පියමැන පාතාල ඉසව්වේ අවි අත නොදරා අතීතයට සමුදෙන්නට හැකිද යන සිතුවිලි මාලාවක සමයං තනි වූ මොහොතක්ද විය. සමයංට පාපොච්චාරණයක් කරන්නට අවශ්‍ය විය.
ලියුම්කරු සමයං සම්බන්ධ කරගත්තේ ඒ අනුවය. මතුදැක්වෙන්නේ මාරයා දැක දැක තම අතීතය හා අනාගතය ගැන ඔහු පුවත්පතක් හමුවේ කළ එකම කතාවයි. අවිගත්තෝ අවියෙන්ම නැසෙති යන ලෝක නියාමයට අනුව අද සමයං ජීවතුන් අතර නැත. එහෙත් සමයංලා බිහිකරන සමාජ වටපිටාව වෙනුවට වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් දරදිය අදින්නට මුළු මහත් සමාජයම ඔහු වැටී සිටි අඩිය තේරුම් ගැනීම වැදගත්වනු ඇත.
Q මම අරුණ කියන්නද? සමයං කියන්නද?
අවුලක් නෑ. අරුණ කියන්න.
Q ඇයි එතකොට සමාජය ඔබට සමයං කියන්නේ?
යාළුවොත් එක්ක ඉඳලා දඟලලා.. කියන දේ අහන්නේ නෑනෙ.. ඒකයි..
Q ඔබට චණ්ඩියෙක් වෙන්න ඕනෑ වුණා. එහෙමද?
මට චණ්ඩියෙක් වෙන්නවත් පාතාලයෙක් වෙන්නවත් ඕනේ නෑ. මට දැන් පාඩුවේ ජීවත්වෙන්නයි ඕනෑ. ඒත් ඒකට ඉඩක් නෑ.
Q ගම්පළාත කොහේද?
මගේ උපන් ගම පොළොන්නරුව. මම ඒක දැනගත්තෙත් පස්සෙ.
Q ගුරුවරු දෙන්නෙක් අම්මා තාත්තා වුණා කියන්නේ ඇත්තද?
ඒවා ඇත්ත. ඔවුන් තමයි මාව හදාගත්තෙ.
Q පවුලේ සහෝදර සහෝදරියො?
කවුරුවත් නෑ. මට මම විතරයි.
Q අධ්‍යාපන කටයුතු කළේ?
බෝමිරියෙ.
Q කුඩා කාලෙ ගෙවුණු හැටි ගැන කිවුවොත්?
මම වයස අවුරුදු පහේදි තමයි තාත්තා මියගියේ. අපිට දේපළ ගොඩක් තිබුණා. අම්මයි මායි විතරක් නිසා දේපළවලට වහ වැටුණු අය අපට ප්‍රශ්න ඇති කළා. මම ඒ අසාධාරණ වැඩ ගැන කතා කරන්න ගියාම හදාගත්ත එකා කියමින් මිනිස්සු මාව කොන්කළා.
Q ඥාතීන් උදවු කළේ නැද්ද?
ඥාතීන් අපි දෙන්නාව කොන්කළා. උදවු කරන්න කවුරුත් ආවේ නෑ.
Q පාසලේ අධ්‍යාපන වැඩවලට මොකද වුණේ එතකොට?
මම ඕලෙවලුත් පාස් වුණා. ඒත් ඒ ලෙවල් කරන්න වැඩ කරගෙන යද්දි තමයි ප්‍රශ්න ආවේ.
Q කැමැත්තෙන් හදාරපු විෂයන් තිබුණාද?
ඔව්. සිංහලවලටයි ගණන්වලටයි මම ගොඩක් ආසාවෙන් හිටියේ.
Q කොහොම හරි ඒ ලෙවල් කරන්න ඕනෑ කියලා හිතුවෙ නැද්ද?
ගමේ ප්‍රශ්න එන්න එන්නම වැඩිවුණා. නෑදෑයො කියලා කවුරුත් නැති නිසා යාළුවන්ට තමයි බරවුණේ. මාවයි අම්මවයි ගමෙන් එළවන්න තරහකාරයන් නොයෙක් දේ කරන්න ගත්තා. මට අවස්ථා කීපයකදීම පහරදුන්නා. ඊටපස්සෙ තමයි මේ තත්ත්වෙට වැටුණේ.
Q කරදර වුණා කිව්වේ මොනවද?
තාත්තා නැතිවෙලා අවුරුදු දෙක තුන යද්දී මාව එළවන්න බොහෝ අයට ඕනෑ වුණා. අම්මගෙන් ලක්ෂ තුනහමාරක කප්පම් ඉල්ලලා ගෙදරට ලියුමක් ආවා. මේ ඔක්කෝටම මුල වුණේ දේපළ වත්කම්. ඒ ලියුමෙන් කිව්වේ සල්ලි නොදුන්නොත් මාව මරණවයි කියලයි. අම්මා ඒකට බයවුණා. ඒ ගැන නවගමුව පොලීසියට පැමිණිල්ලකුත් දැම්මා. එතකොට මම 7 වසරේ. මේ ඉතිහාසෙ පොලිස් පොත්වලින් වුණත් හොයාගන්න පුළුවන්.
Q මේ දේවල් වැඩිහිටි කෙනෙකුට ගුරුවරයෙකුටවත් කිව්වෙ නැද්ද?
එතකොට මම ටික ටික යාළුවොන්ගෙ ආශ්‍රයට යොමුවෙලා. අම්මා උපරිමෙන්ම මාව ගලවාගන්න බැලුවත් මට ඔක්කොම එපා වෙලා තිබුණෙ.
Q අතට කීයක් හරි හොයාගන්න ඕනෑ කියලා අදහස් ආවද?
නෑ.නෑ..මගේ අම්මා මට කරන්න පුළුවන් උපරිමෙන් සැලකුවා. අපිට කඩ තිබුණා. ඒ ටික බලා කියාගෙන හිටියෙ.
Q පාසල් කාලේ ප්‍රේම සම්බන්ධකම් තිබුණා ද?
ප්‍රේම සම්බන්ධකම් තිබුණත් ඒවා ගැන ගැඹුරින් හිතන්න මගේ මනස හැදිලා තිබුණේ නෑ. 2004 තමයි මම ඕලෙවල් කළේ. ඊට පස්සෙ මම වැඩිපුර හිටියෙ ගෙදරින් පිට.
Q මුලින්ම පොලිස් අත්අඩංගුවට පත්වුණේ කවදද?
2007 දී.
Q මොකද්ද හේතුව?
තුවක්කුවක් තියාගෙන හිටිය කට්ටියක් ළඟ මම හිටියා කියලයි ඇල්ලුවේ. එහෙම අල්ලන් ගිහින් පොලීසිය බෝම්බයක් දාලා මාව ඇතුළට දැම්මා. එතැනින් තමයි මගේ ජීවිතේ වෙනස්ම පැත්තකට යන්න පටන්ගත්තේ.
Q ඉස්සෙල්ලාම පොලිස් අත්අඩංගුවට පත්වෙද්දි මොකද හිතුණේ?
මාස තුනක් පොලීසියෙන් ඇතිවෙන්න ගුටිකෑවා. මාරක බයක් මට දැනුණෙ. මට අම්මාව මතක් වුණා. අම්මා අදටත් නොණ්ඩි ගහනවා. මොකද මාව බලන්න ඇවිල්ලම වැටිලා අම්මට කකුලෙ අමාරුවක් හැදුණා. පොලීසියෙන් දාපු බෝම්ඛෙ තමයි මාව මේ තත්ත්වෙට පත්කළේ. නැත්තන් අද මම මේ වගේ තැනක නෑ.
Q නැවත හිරෙන් එළියට එන්නේ?
2009 දී.
Q විවාහක ද?
ඔව්. 2014 තමයි විවාහ වුණේ. මට දරුවෙක් ඉන්නවා.
Q වැටුණු වළේ හැටියට දරුවාගේ අනාගතේ ගැන මොකද හිතන්නේ?
මම වැටුණු සමාජයට දරුවා වැටෙන්න ඉඩදෙන්නේ නෑ. මම දරුවාව මෙහේටවත් ගෙන්නගන්නේ නෑ. මොකද මට ඉන්නෙ දැන් අම්මයි බිරිඳයි දරුවයි.
Q ඔබ සමග සිටි මිතුරනුත් මේ තත්ත්වෙ එක්ක අනතුරේ වැටෙනවා නේද?
ඔව්. ඒක අනිවාර්යෙන් වෙනවා.
Q ඔඛෙන් පළිගන්න විරුද්ධ පිලට දේශපාලන සහායත් ලැඛෙනවා යැයි කියන්නෙ ඇත්තද?
ඔව්. මමත් එහෙම හිතනවා.
Q දේශපාලන වැඩවලට කාට හරි වැඩ කළා ද?
මගේ සම්බන්ධවීමක් නෑ. මගේ හිතවත් පිරිස නම් දේශපාලන වැඩවලට උදවු වුණා.
Q ජීවිතේ වෙනස් කරගෙන අලුත් ලෝකයකට යන්න හිතෙන්නේ නැද්ද?
මම අලුත් ලෝකයකට යන්න හිතාගෙන ඉන්නකොට තමයි නැවත කරදර කරන්නේ. බිරිඳයි දරුවයි එක්ක විදෙස්ගත වෙලා පාඩුවෙ ජීවත්වෙන්න හැදුවේ. මට උසාවියෙදි වෙඩිතියන්නේ මම වෙනස්වෙන්න හිතන් ඉන්නකොට. කඩුවෙල කුඩු විකුණන්න එපා කිව්වා කියලයි මට වෙඩිතියන්නෙ. මම වෙනස්වෙන්න හදද්දී මගේ කොල්ලො මරනවා.
Q තාම අවුරුදු විසි හයයි. ජීවිතේ ආපු වේගෙ වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
මගේ ජීවිතේ වේගවත් කළේ සමාජය. මට ඔය ගහන හංවඩුවල තරම් දේවල් මම කරලා නෑ. මගෙන් කරදර වුණේ මාව මේ තැනට දාපු අයට විතරයි.
Q ඔබේ ජීවිතේට අනතුරක් වුණොත්?
මට තාමත් ජීවත්වෙන්න ගෙදර පරිසරය තිබෙනවා. මම කරදර කළේ මට කරදර කළ අයටයි. මම වැදගත් පවුලක කොල්ලෙක්. මම නැතිවුණත් මගේ දරුවාට ඒ වගේ වැදගත් අනාගතයක් ලබාදෙන්න ඕනෑ. මට වෙච්ච දේවල් දරුවාට වෙන්න මම ඉඩතියන්නේ නෑ.
(ලංකාදීප ඇසුරෙනි - බිඟුන් මේනක ගමගේ - 2015 ඔක්තෝම්බරයේදී ඔහු සමග දුරකථනයෙන් කළ කතාවක් ඇසුරෙනි)