Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
60 වසරක රුසියානු – ශී‍්‍ර ලංකා සබඳතා වර්ධනය කරමින් ජනාධිපතිවරයාගේ රුසියානු නිල සංචාරය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ වසර 43කට පසුව ශ්‍රී ලාංකීය රාජ්‍ය නායකයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව එය වූ බැවිනි. අමාත්‍යවරුන් වන මංගල සමරවීර, එස්.බී නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්විය.
ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින්ම සිදුකළ විශේෂ නිල ආරාධනයක් පරිදි මෙම සංචාරයට එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඉහළම ගෞරවයක් ලබාදීම වෙනුවෙන් රුසියානු රජය සියලු කටයුතු සූදානම් කර තිබුණි. රුසියානු ජනාධිපති මන්දිරය වන ක්‍රෙම්ලින් මන්දිරයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව උණුසුම් අන්දමින් පිළිගත් අතර, පැයක කාලයක් වෙන්කර තිබු ඔවුන්ගේ නිල සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් දක්වා දීර්ඝ විය.
මෙම නිල හමුවෙන් අනතුරුව සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් රුසියානු ජනාධිපතිවරයා ඓතිහාසික තිළිණයක් සූදානම් කර තිබීමයි. 19 වන සියවසට අයත් මහනුවර යුගයේ රාජකීය කස්තානයක් මෙහිදී පුටින් ජනාධිපතිවරයා විසින් සිරිසේන ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ.1906දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවති Sotheby නම් කෞතුක භාණ්ඩ වෙන්දේසියේදී රුසියාව මිලදී ගෙන තිබේ. දෙරට අතර සමීප සබඳතාවය සංකේතවත් කරමින් එම ඓතිහාසික කස්තානය මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත වෙත පිළිගැන්වීය.
හරියට හිටියනම් ඇහැ තියන්න තිබුණා
මෙම සතිය පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට වගේම කලාකරුවන්ටද තරමක් කාර්යබහුල සතියකි. ඒ වෙන කිසිවක් නිසා නොව රූපවාහිනී ආයතන ඇතුළු බොහෝදෙනා සංවිධානය කරන අලුත් අවුරුදු උත්සව සඳහා සහභාගී වීමට ඇති බැවිනි.
මැති ඇමතිවරුන් සහ කලාකරුවන් උදෙසා පවත්වනු ලබන රූපවාහිනී අලුත් අවුරුදු උත්සවය පසුගිය අඟහරුවාදා වත්තල පෙගාසස් රීෆ් හෝටලයේදී පැවති අතර, ඒ සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම කලාකරුවන්ද බොහොමයක් සහභාගී වූහ.
අවුරුදු උත්සවයේ අලියාට ඇස තැබීමේ තරගය ආරම්භ වූ අවස්ථාවේ බොහෝදෙනා අලියාට ඇස තැබීමට උත්සාහ කළද එය සාර්ථක නොවිණ.
ඇමති ගයන්ත කරුණාතිලක ඇතුළු එජාප මන්ත්‍රීවරුන් පිරිසක් එම ස්ථානයේ සිටින විට නියෝජ්‍ය අමාත්‍ය මනූෂ අලියාට ඇස තැබීමේ තරගයට ඉදිරිපත් වූ අතර, එය ජයග්‍රහණය කිරීමට ගයන්ත ඇමතිගෙන් උදව් ඉල්ලන්නට විය.
''ඇමතිතුමා අපි දෙන්නම ගාල්ලෙනේ... අලියට ඇහැ තියන්න පොඩ්ඩක් උදවු කරනවද?''
''හැමෝටම අලියට ඇහැ තියන්න පුරුදු කළේ අපි තමයි මනූෂ... ඇතුළෙ හිටිය නම් මොනවහරි කරන්න තිබුණා... ඒත් දැන් උදවු කරන්න බැහැ'' යනුවෙන් ගයන්ත පිළිතුරු දෙන විට, අසල සිටි එජාප මන්ත්‍රීවරුන් කියන්නට වූයේ
''හරියට හිටිය නම් ඇහැ තියාගන්න තිබුණා'' කියාය. කෙසේ හෝ මනූෂ නියෝජ්‍ය ඇමතිවරයාට අලියාගේ ඇසට තරමක් ආසන්නයෙන් සලකුණු කිරීමට හැකිවූ අතර, අලියාට ඇස තැබීමේ තරගයෙන් ජයගත්තේ තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයායි.
කොට්ටාපොර ගසන අවස්ථාවේදී එජාප මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර සහ විජයපාල හෙට්ආරච්චි කරට කර තරගයක් දුන් අතර, නියෝජ්‍ය ඇමති ඩුලීප් වෙදආරච්චි සමග කොට්ටපොරයට එක්වූයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ප්‍රසන්න රණවීරයි.
''හයියෙන්න ගහන්න එපා අයියේ'' කියමින් තරගයට අවතීර්ණ වූ ප්‍රසන්නට ඩුලීප් පහර දෙකක් එල්ල කළ අතර, ඒ පහර දෙකෙන්ම ඔහු ඇදවැටිණ.
''ප්‍රසන්න මන්ත්‍රීතුමා තංගල්ලෙන් බැඳලා ඉන්න නිසා ඊට වඩා ගහන්නෙ නැහැ... මොකද අපි ඒකට ගරුකරන්න එපැයි'' ඩුලිප් නියෝජ්‍ය අමාත්‍යවරයා කියන විට, සැවොම සිනහවෙන්නට විය.
අවුරුදු උත්සවයේ තවත් උත්කර්ෂවත් අවස්ථාවක් වූයේ බැලුම් ඩාන්ස් තරගයයි. මන්ත්‍රීවරුන් සහ කලාකරුවන් බොහෝදෙනෙක් මේ තරගයට එක් වූ අතර මන්ත්‍රී හේෂා විතාන සහ දුලීකා මාරපන පැය එකහමාරකට වඩා වැඩි කාලයක් බැලුම් ඩාන්ස් තරගයේ සිටීම කවුරුත් පුදුම කරවන්නට විය. තරගය අතරතුර දුලීකාගේ විහිළුවලට සිනහ නොවී සිටිය හැකි කෙනෙකු නොවීය. අවසානයේ බැලුම් ඩාන්ස් තරගය ජයගත්තේ දුලීකා සහ හේෂායි. එම අවුරුදු උත්සවය එලෙස අවසන් වූ අතර, ඉන්පසු දින තවත් නාළිකාවක අවුරුදු උත්සවයකට මේ සියල්ලන්ටම සහභාගී වන්නට ආරාධනා ලැබී තිබිණ.
මම අභියෝගය භාරගන්නම්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා ජනාධිපති කාර්යාලයේදී කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. කැබිනට් රැස්වීමට පෙර මෙම සාකච්ඡාව ගැන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබුණි.
දහවල් දෙක පමණ වනතුරු ශ්‍රීලනිප කණ්ඩායම් සාකච්ඡාව ඇදී ගියේය. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුව තිබුණේ මැයි රැලිය පැවැත්වීම සම්බන්ධවයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සඳහන් කළේ මෙවර ශ්‍රීලනිප මැයි රැලිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට තමන්ගේ අදහසක් ඇති බවයි. ඒ සම්බන්ධව අදහස කුමක්දැයි ජනාධිපතිවරයා විමසීය. තමන් ඊට කැමති බව සියලුදෙනා පැවසූහ.
''එස්බී මහනුවර ඉන්න අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයෙක්. එහෙනම් මැයි රැලියේ සියලුම සංවිධාන කටයුතු එස්බීටම පවරමු'' යනුවෙන් ජනාධිපතිවරයා කීවේය.
''හොදයි සර් මං ඒ අභියෝගය බාරගන්නම්. පක්ෂයේ සාර්ථකම මැයි දිනය මහනුවර මම පවත්වා පෙන්වන්නම්'' යැයි එස්බී පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ආසන සංවිධායකයන් සමග සාකච්ඡාකර වැඩ පටන් ගන්නා බවද එස්බී කීවේය.
මේ අතර කැබිනට් සංශෝධනයක් පිළිබඳ දේශපාලන ක්ෂේත්රයේ හඹා යන සුළඟ අතරින් අමාත්‍ය එස්.බී දිසානායකගේ නමද කියවෙන්නට පටන්ගෙන ඇති අතර, ඔහු දැනට උසුලන සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශයට අමතරව උඩරට සංවර්ධන අමාත්‍ය ධුරයටද එකතු වනු ඇති බව දේශපාලන ප්රබලයන්ගේ මතයයි. ඊට අමතරව උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරයටද අමාත්‍ය එස්.බී.දිසානායකගේ නම යෝජනා වී ඇති බව පක්ෂ අභ්‍යන්තර තොරතුරු වලින් සඳහන් විය.
මණ්ඩලේ දෙපිළ නිසා ඇමති කලකිරීමෙන්
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අවුරුදු දෙක හමාරක කාලය තුළදී විදුලිබල මණ්ඩලයේ දැඩි අර්බුද කිසිවක් හට නොගත් අතර, හදිසියේම මේ වන විට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් සහ අනිකුත් සේවකයන් පිල් දෙකකට බෙදී ඇත.
මෙලෙස විදුලිබල මණ්ඩලය පිල් බෙදුණු සැම අවස්ථාවකම අදාළ විෂයභාර ආමත්‍යවරයා ඉවත්කර ඇති බව ඉතිහාස තොරතුරු සාක්ෂි දරයි. එය චම්පික රණවක, පවිත්‍රා වන්නිආරච්චි, ජෝන් සෙනවිරත්න අමාත්‍යවරුන්ට අයත් වූ ඉරණමකි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියද මේ දිනවල නොසන්සුන්තාවයෙන් සිටින්නේ එම ඉරණම තමාටද අත්වේවිදෝ යැයි සිතමිනි.
එමෙන්ම මෙලෙස විදුලිබල මණ්ඩලය දෙකඩ කරමින් ඉංජිනේරුවන් මෙහෙයවන්නේ මීට පෙර මෙම ආමත්‍යාංශය භාරව සිටි වත්මනෙහිද මහා අමාත්‍ය ධුරයක් දරන අමාත්‍යවරයකු යැයි සියඹලාපිටිය අමාත්‍යවරයා සැක පහළකර සිටියි.
එමෙන්ම විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති තුන වන ජාතික සේවක සංගමය, නිදහස් සේවක සංගමය සහ ලංකා විදුලිසේවක සංගමය වෙනුවට අලුතින් පත්වීම් ලබාගත් සේවකයන්ගේ එකතුවෙන් සාදා ඇති විදුලි පොදු සේවක සංගමය තරමක් වෙනස් ආකාරයෙන් කටයුතු කරමින් සිටියි. මේ අතර අනිකුත් සියලුම වෘත්තීය සමිති ගෙන එන යෝජනා පැත්තකට විසිවන විට මෙම සංගමයේ යෝජනා අනුමත වන්නේද සභාපතිවරයාගේ අශිර්වාදය ඇතුවයි.
විදුලිබල මණ්ඩලය සහ විදුලිබල අමාත්‍යාංශය අකාර්යක්ෂම බව පවසමින් මඩ ව්‍යපාරයක් මේ වන විට එක්පිරිසක් ආරම්භකර ඇත. නියඟය පැවති සමයේ විදුලිබල මණ්ඩලය කප්පාදුවකින් තොරව විදුලිය ලබාදුන් අතර, ඒ වෙනුවෙන් යම් වියදමක් දැරීමට සිදුවූයේ ජලය හිඟ බැවිනි.
ඒ සඳහා විදුලිබල මණ්ඩලයට මුදල් ලබාදීමට ජනාධිපතිවරයාද එකඟතාවය පළකර තිබුණි. එසේවුවද මෙම කටයුතු හුවා දක්වමින් විදුලිබල අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාව මත විෂයභාර අමාත්‍යවරයා වෙනස් කිරීමට කටයුතු කරන බවට තවත් අමාත්‍යවරයකුගේ පාර්ශ්වයෙන් බොරු කටකතා පතුරවමින් සිටියි.
ඇමති මාරුවක් සිදුවන බවට සමාජයේ කතිකාවක් පවතින මේ මොහොතේ මෙම සියලු කාරණා හේතුවෙන් විෂයභාර සියඹලාපිටිය අමාත්‍යවරයා සිටින්නේ දැඩි කලකිරීමෙනි.
පොරොන්දු එකක්වත් ඉටුකළේ නැහැ
ලෝක නාට්‍ය දිනයට සමගාමීව 45 වැනි රජ්‍ය නාට්‍ය උලෙළ සඳුදා දිනයේදී නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්විණ. වසරේ හොඳම නාට්‍ය නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය ඇතුළු සම්මාන හයක් දිනාගනිමින් වසරේ නාට්‍යය ලෙස රාජිත දිසානායකගේ ''නැතුව බැරි මිනිහෙක්'' සම්මානයට පාත්‍ර විය. එමෙන්ම මෙහිදී නාට්‍ය කලාව වෙනුවෙන් සිදුකරන ලද අමිල මෙහෙවර අගයමින් ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන නාට්‍යකීර්ති සම්මානය ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුණි සහ ප්‍රවීණ නාට්‍යවේදී මානා මකීන් හට ප්රදානය කරන ලදී.
පසුගිය නාට්‍ය උලෙළ සමග සැසදීමේදී මෙවර නාට්‍ය උලෙළේ සංවිධාන කටයුතු සාධනීය මට්ටමක තිබුණි. නාට්‍ය කණ්ඩායම් සඳහා වෙන් වෙන් වශයෙන් අසුන් වෙන්කර තිබූ අතර, එය ශිල්පීන්ට පහසුවක් විය.
සාමාන්‍යයෙන් සම්මාන උලෙළක් පැය දෙකකදී පමණ අවසන් විය යුතු අතර, එම අරමුණින් නියමිත වෙලාවටම සම්මාන උලෙළ ආරම්භ කළද එම අරමුණ ඉටුකර ගැනීමට නොහැකි විය.
එලෙස සම්මාන උලෙළ අවසාන වූ අතර, අඟහරුවාදා උදෑසනම සමාජවාදී කලා සංගමය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ කලාකරුවන්ගේ මහගෙදර බඳු වූ ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට පැවරීමට රජය තීරණය කර ඇති බව පවසමින් එයට විරෝධය දැක්වීමටය.
චන්ද්‍රසෝම බිංදුහේවා, දීපානි සිල්වා ඇතුළු ප්‍රවීණ කලාකරුවන් මේ සඳහා එක්ව සිටි අතර, මෙම තීරණය සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දීපානි සිල්වා සෘජුවම චෝදනා කරන ලැබුවේ ජනාධිපතිවරයාටයි.
''නාට්‍යකරුවන් හැටියට සාධාරණ මුදලකට නාට්‍ය පෙන්වන්න තිබුණු එකම ආයතනය ජෝන් ද සිල්වා රඟහලයි. දැන් ඒක කඩල දාලා ඉවරයි. අලුතෙන් හදනවා කියපු නිසා අපි බලාගෙන හිටියා හදල අපිට භාර දෙනකම්. මම මේ වෙලාවේ ඇඟිල්ල දික් කරන්නේ ජනාධිපතිට. මොකද එතුමා ජනාධිපති වෙලා දවස් තුනකට පස්සෙ අපිත් එක්ක සාකච්ඡාවක් තියලා මේ ගැන කතා කළා. එතැනදී ජනාධිපති අපිට පොරොන්දු උනා මේ ගැන සොයා බලා කඩිනමින් මේ රඟහල කලාකරුවන්ට පවරන්නට.
ඊට දවස් ගාණකට පස්සෙ ආයෙ සාකච්ඡාවකට කැඳවලා කිව්වා මේ රඟහල හදාගෙන යනවා ඒකෙ වැරදි තියෙනවා නම් බලන්න කියලා. හැකි ඉක්මනින් මේ රඟහල කලාකරුවන්ට දෙනවා කියල ජනාධිපති කියල දැන් අවුරුදු දෙකක් පහු වුණා. ජනාධිපති පොරොන්දු වුණ කිසිම පොරොන්දුවක් ඉටුකළේ නැහැ කියල අපි දන්නවා. අසරණ කලාකරුවෝ තවත් අසරණ කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා'' ඇය ආවේගයෙන් කියන්නට විය.
අගමැති උපන් දිනය වෙනුවෙන් ඇත්රජගම
අග්‍රාමාත්‍යවරයාගේ 68 වැනි උපන් දිනය නිමිත්තෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ලුණුගම්වෙහෙර, පහළ මත්තල 'ඇත්රජගම' නමින් නව උදා ගම්මානයකට මුල්ගල් තැබීමට ඉකුත් සතියේ කටයුතු සංවිධානය කළේය. මේ ගම්මානය නිවාස 68කින් සමන්විතය. එය 359 වැනි උදා ගම්මානයද වෙයි. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ සජිත් කීවේ, ''අගමැතිතුමා තමන්ගේ උපන් දිනය අඬබෙර ගහලා සමරන කෙනෙක් නෙවෙයි. එතුමා ඉතාම චාම් ජීවිතයක් ගෙවන කෙනෙක්. මම විශ්වාස කරනවා මේ ගම්මානය නිසා පවුල් 68ක් අඳුරෙන් ආලෝකය දැකීම ගැන එතුමා සතුටට පත්වේවි කියලා. මේ ගම්මානය එතුමා වෙනුවෙන් පිදෙන උපහාරයක්'' කියාය.
ඡන්ද පොරොන්දු වෙනස් කරන්නේ නැහැ
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී 27 සහ 28 දෙදින පැවැති '2017 ගෝලීය ව්‍යාපාර සමුළුව'සංවිධානය කළ විද්වත් ප්‍රජාව විසින් කර තිබූ ඇරයුම පරිදි සජිත් ප්‍රේමදාස ඊට සහභාගී වීම සඳහා 27 වැනිදා නවදිල්ලිය බලා ගියේය. පසුවදා පෙරවරුවේ 'ඔබ්සර්වර් රිසර්ච් පදනම' (Observer Research Foundation) විසින් සංවිධානය කළ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ බුද්ධි මණ්ඩපයේදී වත්මන් ශ්‍රී ලංකාවේ සිදුවන ප්‍රතිසංස්කරණ, ප්රතිසංවිධාන හා සංහිඳියා ක්‍රියාදාමයන් ගැන සෙසු නියෝජිතයන්ට බොහෝ කරුණු පැහැදිලි කරමින් ඇතැම් දුර්මත දුරු කිරීමටත් සජිත්ට එහිදී අවස්ථාව හිමි විය.
''ඉකුත් මහ මැතිවරණයේදී අප ජනතාවට දුන් පොරොන්දු ප්‍රකාරව ඒකීය ව්‍යවස්ථාවක් නිර්මාණය කරනවා. එමෙන්ම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිකර දෙනවා'' යි සජිත් කියද්දී එක් නියෝජිතයෙකු ඇසුවේ,
''ඒක ෆෙඩරල් ව්‍යවස්ථාවක් නෙවෙයිද?'' කියාය.
''නෑ අපි ඡන්ද පොරොන්දුවක් දී තිබෙන්නේ ඒකීය ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමටයි. එය කිසිසේත්ම වෙනස් වෙන්නේ නෑ'' යන්න සජිත්ගේ පිළිතුර විය.
'බෙංගාල බොක්ක අවට රටවල ආර්ථික හා සහයෝගීතා සංවිධානය' හෙවත් 'බිම්ස්ටෙක්^ (BIMSTEC) සංවිධානයට අයත් බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියෙන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡා වාරය පැවැත්වුණේ 28 වැනිදා පස්වරුවේදීය.
බිම්ස්ටෙක් කලාපයේ රටවල පුරවැසියන් බලගැන්වීම, දුප්පත්කම පිටුදැකීම මෙන්ම කාන්තාවන් සහ යෞවනයන් සවිබල ගැන්වීම ගැන එහිදී විශේෂ අවධානය යොමු කළ සජිත් කීවේ ''මේ සංවිධානය කතා සාප්පුවක් නොවී දුප්පත්කම පිටුදැකීමටත්, තරුණ විරැකියාව දුරු කිරීමටත්, ජන සමාජය තුළ සම්පත් සාධාරණව බෙදී යන ක්‍රමවේදයන් සැකසීමටත් ක්‍රියාත්මක විය යුතුය'' කියාය. බිම්ස්ටෙක් කලාපීය රටවල් වෙනුවෙන් විශේෂිත සංවර්ධන අරමුදලක් ස්ථාපනය කිරීමටද සජිත් යෝජනා කළේය.
එමගින් සමාජ සාධාරණය ඉටුවන හා ජනතාවගේ ආදායම් මාර්ග වැඩිදියුණු වන නව වැඩපිළිවෙළක් වෙත යොමු විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. මෙම සැසිවාරය මෙහෙයවන ලද්දේ 'බිම්ස්ටෙක්' සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා විදේශ සේවාවේ පළපුරුදු නිලධාරියෙකු වන සුමිත් නාකන්දලය.
29 වැනිදා උදෑසන නවදිල්ලියේ රාජ්‍ය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දකුණු කොටසේ (South Block) පිහිටි ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එහි රාජ්‍ය අමාත්‍ය එම්.ජේ අක්බාර් හමුවීමට ලැබුණු අවස්ථාවේදී සජිත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉන්දියාව වැඩි වැඩියෙන් අතහිත ලබාදිය යුතු බවය.
''දෙරට අතර වෙළෙඳ කටයුතුවලදී පවතින අසමතුලිතභාවය නිසා ශ්‍රී ලංකාවට අවාසියක් සිදුවනවා. එය නැති කිරීමටත් රජයේ සැලකිල්ල යොමු කරන්න'' සජිත් රාජ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
අපිට රථ ගායක් නැහැ හාමුදුරුවනේ
සඳුදා සවස පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාවේදී බුදුගල ජිනවංස හිමියන් කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය ඇමතිවරයාට ප්‍රශ්නයක් එල්ල කළහ.
''ඇමතිතුමා මොකක්ද මේ යන කතාව, ඔබතුමා කෝටි හතරක වාහනයක් ගෙන්නගන්න යනවා කියලා''
''හාමුදුරුවනේ, මට එහෙම රථ ගායක් නැහැ. ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයට දිගටම නියෝජ්‍ය ඇමති කෙනෙක් ඉඳලා නැහැ. ඒ නිසා ඉතින් වාහන විතරක් නෙමෙයි වෙන පහසුකම් තිබිලත් නැහැ. ඉතින් වාහනයක් නැති නිසා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මට කිව්වා මම මීට කලින් පළාත්පාලන නියෝජ්‍ය ඇමති වෙලා හිටිය කාලෙ පාවිච්චි කරපු වී එයිට් වාහනේම දිගටම පාවිච්චි කරන්න කියලා. ඒක පරණ වාහනයක්. ඒක මීට කලින් ඒ අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමතිලා වෙලා හිටපු සනත් ජයසූරිය, ඉන්දික බණ්ඩාරනායක මහත්මයලා දීර්ඝ කාලයක් තිස්සේ පාවිච්චි කරපු වාහනයක්.
මට රථ ගායක් තිබුණ නම් මම අලුත් වාහනයක් ඒ කාලෙම ඉල්ලනවනේ. ඒත් මම ඒ පරණ වාහනේම පාවිච්චි කළා. නමුත් ප්‍රශ්නෙ උනේ, පහුගිය අවුරුද්දෙ පළාත් පාලන නියෝජ්‍ය ඇමති විදියට ප්‍රියංකර ජයරත්න පත්වෙලා ආපුවාම එතුමා එතුමාලට අයිති ඒ වාහනේ බාරදෙන්න කියල ඉල්ලලා එව්වා. එතකොට තමයි මට උපදෙස් ලැබුණේ අලුත් වාහනයක් ඉල්ලන්න කියලා. මොන වාහනයක්ද ගේන්නෙ කියල ඇහුවහම මම කිව්වා ඒ තියන වාහනේ වගේ එකක් ගේන්න කියලා.
ඔය වාහනේ ඇත්ත වටිනාකම ලක්ෂ හැත්තෑවයි. ඉස්සරනම් ආණ්ඩුවට වාහන ගෙන්නද්දී ඒ ගාන විතරයි කිව්වේ. නමුත් දැන් අලුත් ප්‍රතිපත්තිය අනුව බදු මුදලත් එකතු කරලම තමයි මිල කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ වාහනේට ලංකාවේ ආණ්ඩුව වියදම් කරන්නේ ලක්ෂ හැත්තෑවයි. ඉතිරි මුදල ආණ්ඩුව ආණ්ඩුවටම ගෙවන බදු මුදල. මට කලින් තිබුණ වාහනේ තිබුණ නම් කවදාවත් අලුත් වාහනයක් ගන්නෙ නැහැ.‘ ගයන්ත ඇමතිතුමාටත් එහෙම රථ ගායක් නැහැ''
''ඔබතුමා ඔය පැහැදිලි කිරීම මිනිස්සුන්ටත් කළා නම් ගොඩක් හොඳයි''
''මම මගේ බ්ලොග් එකෙනුයි ෆේස්බුක් එකෙනුයි මේ ගැන පැහැදිලි කළා හාමුදුරුවනේ. මොනවා කිව්වත් වැඩක් නැහැ, සමහරුන්ට ඕන මඩ ගහන්නමනේ. එයාලට ඉතින් කියල වැඩක් නැහැ. තමන්ට සුපිරිම වාහන පහ හය ගෙන්නගෙන යාළුවන්ටයි, නෑදෑයන්ටයි තවත් වාහන දහය පහළොව බෙදාගත්තු අය තමයි දැන් අපිව විවේචනය කරන්න එන්නේ. ඉතින් මොනව කියන්නද?''
දියවන්නාරාළ විසිනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd