Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
ත්‍රිවිද හමුදාව හා පොලීසියඇතුළු විශේෂ පිරිසක් සහිත සුවිශේෂී බළකායක් නිර්මාණය කර උද්ඝෝෂණ හා වැඩවර්ජන මැඬපැවැත්වීමේ බලය ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හට භාරකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීමත් සමග මේ පිළිබඳ උණුසුම් කතාබහක් ඇතිවිය.
ඇමතිවරුන් අලුත් අවුරුදු නිවාඩුව ලබාගත් නිසාම මෙවර කැබිනට් මණ්ඩලය රැස්වූයේ සතිදෙකක කාලයකට පසුවය. අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේසියලුමඇමතිවරුන්ටසුබඅලුත්අවුරුද්දක්ප්රාර්ථනාකළජනධිපතිමෛත්රීපාලසිරිසේනකැබිනට්හමුවආරම්භකළේය.
මීතොටමුල්ල නාය යාම සම්බන්ධව මෙන්ම ආණ්ඩුවේ කටයුතු පිළිබඳවද කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාකරගෙන ගිය අතර, එක් අවස්ථාවකදී ඇමති පාඨලී චම්පික කැබිනට් මණ්ඩලයට යමක් පවසන්නට විය.
සරත් ඔයාට පුළුවන්ද මේක බාරගන්න
''රටේ දැන් වර්ජන රැල්ලක් ක්‍රියාත්මක වෙනවා. අපි මෙහෙම ඉඳලා බැහැ. මිනිස්සු 500ට 1000ට රටම ප්‍රාණ ඇපකාරයෝ කරන්න දෙන්න බැහැ. වෛද්‍යවරුන්, ඛණිජතෙල් හෝ විදුලි කවුරු වේවා මෙහෙමකරන්න දෙන්න බැහැ.මේවට මුහුණ දෙන්න අපි ත්‍රිවිධ හමුදාව යොදාගෙන විශේෂ ඒකකයක් හදමු.''
පාඨලී චම්පික එසේ කියා අවසන්වනවාත් සමගම ජනාධිපති මෛත්‍රීපාල එකවරම සරත් ෆොන්සේකා දෙස හැරී
''සරත් ඔයාට පුළුවන්ද මේක භාර අරන් කරන්න.'' යනුවෙන් ඇසීය.
එයට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකාකියන්නට වූයේ
''මට මේක දිගටම නීත්‍යනුකූලව භාරදුන්නොත් කරන්නපුළුවන්. අපි මේවට ටීම් හදලා හමුදාවත් එක්ක එකතුවෙලා ඒටික කරන්න පුළුවන්''
අගමැති රනිල්ද එය අනුමත කරමින් පැවසුවේ එය බොහොම හොඳ කාරණයක් බවත්, ඉක්මනින්එම කටයුතු සිදුකළ යුතු බවත්ය.
ඊට පසුදින එය පුවතක් ලෙස මාධ්‍යයේ පළවීමත් සමග දැඩි කතාබහකට ලක්විය.
වසර දෙකකට හමුදාපති සරත්
පසුදින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිරාජිත සේනාරත්නගෙන් මාධ්‍යවේදීන් මේ පිළිබඳ ප්‍රශ්න කරන්නට විය. එය අනුමත කරමින් රාජිත සේනාරත්න පැවසුවේ මෙවැන්නකි.
''ඇමතිකමෙන් ඉවත් වෙලා අවුරුදු දෙකක පමණ කාලයකට හමුදාපතිකම හෝ සියලුම ආරක්ෂක අංශවල නායකත්වය බාරගන්නා ලෙස ජනාධිපතිතුමා සරත් ෆොන්සේකාගෙන් ඉල්ලා සිටියා. මොකද විනයක් නැති රටක සංවර්ධනයක් නැහැනේ.සරත් ෆොන්සේකා ඒ තනතුර බාරගත්තොත් මේ පරීක්ෂණ කටයුතු ඉක්මනින් කරන්න පුළුවන් වෙනවා. අසාධාරණය හොඳින් හඳුනන, අසාධරණයට විරුද්ධ වන හමුදාපතිවරයෙක් අපට අවශ්‍යයයි.
දැන් මේ කාලපරිච්ඡේදය තමයි සියලු හොරුන් මිනීමරුවන් එළියට එන්නේ. අගෝස්තු මාසය වනවිට හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන්. මේ අවුරුද්ද අවසන් වනවිට මේ හැමදේම නිරාවරණය වෙනවා. ඊට ඉස්සර වෙලා තමයි මේ ආණ්ඩුව පෙරළගන්න වෘත්තීය සමිති එක්ක එකතුවෙලා එක එක සෙල්ලම් දාන්නෙ.මොකද එයාලගේ හොරකම්, මිනීමැරුම් වහගන්න. ඒ විතරක් නෙවෙයි අපි ජාත්‍යන්තර ගිණුම් පවා හොයනවා'' යැයි කියාගෙන යන්නට විය.
මහජන විරෝධතා නෙවෙයි මේවා බැසිල්ගේ විරෝධතා
ඛණිජතෙල් වෘත්තීය සමිති වැඩවර්ජය හේතුවෙන් එක් දිනක් රටතුළ ජනතාව අපහසුතාවට පත්වුණු අතර, විරෝධතාකරුවන් අගමැති රනිල් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව විරෝධතාවය නවතා දැමීමටඑකඟ වූහ.
විරෝධතාකරුවෝ අගමැති හමුවීමට පෙර බැසිල් රාජපක්ෂ හමුවීමට ගිය අතර, එසැනින් එය අගමැතිට වාර්තාවිය. ''මේවා ජනතා විරෝධතා නොවෙයි, බැසිල්ගේ විරෝධතා'' යැයි අගමැති කැබිනට් හමුවේදී පැවසුවේමේ පිළිබඳ දැනගෙන සිටි බැවිනි.
ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සාකච්ඡාකරනවිට ඇමතිවරු පිරිසක් විරුද්ධවන්නට විය.
ඕවා බැසිල්ගේ විරෝධතා කියමින් ඇමති රාජිත ලුණු ඇඹුල් ඇතිව කියාදෙන්නට වූයෙන් පසුවර එම විරෝධතාද යටපත්විය.
ථූපාරාමය අභයගිරිය වගේ වැඳ පුදා ගන්නද මේවා තියාගෙන
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳවද කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇමති රාජිත අපූරු කතාවක් කියන්නට විය.
''ඉන්දියාව පාලනය කරන තෙල් ටැංකි ටික හොඳට තියෙනවා. අපි යටතේ තියෙන තෙල් ටැංකි සිංහරාජ අඩවියේ වගේ තියෙන්නේ. මේ තෙල් ටැංකි දෙනවට විරුද්ධයි. මම අහන්නේ ඒවා තියාගෙන අපි මොකද කරන්නේ. අවුරුදු සියයක් අපි යටතේ තියාගෙන අපේ ආණ්ඩු මොනවද කළේ මේ තෙල් ටැංකි වලට.
1977 ජනාධිපති ජේ.ආර් මේ ටික ඇමරිකානු සමාගමකට දෙන්න හැදුවා. එතකොට පෙළපාළි ගියා. බණ්ඩාරනායක මැතිණිය කිව්වා ඒවා ඇමරිකාවට දෙන්න එපා, ඉන්දියාවට දෙන්න කියලා. අසල්වැසි රට තරහකරගන්න එපා කිව්වා. දැං අවුරුදු 40කට පස්සේ ඉන්දියාවට දෙන්න හදද්දි කියනවා ඉන්දියාවට දෙන්න එපාලු.
එහෙමනම් මේවා තියාගෙන බල බල ඉන්නද? කෞතුකවස්තුවගේ කවදාහරි ථූපාරාමය අභයගිරිය වගේ වැදපුදා ගන්නද මේ තෙල්ටැංකි තියාගෙන ඉන්නේ. මේ වගේ පිස්සු විකාර වැඩකරන ලෝකේ එකම රට මේක. තෙල් ටැංකි කාටවත් දෙන්නෙ නැහැ. හවුල් ව්‍යාපාරයක් කරන්නේ. කොටසක් බදු දෙනවා. මේ හැමතැනම දේශපාලනය කරන්න හදන්නේ''
ජනක ඉවත් කිරීමෙන් පසු දඹුල්ලේ කොළ කොඩිෙ
ගෙවුණු සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු ඉවත් කිරීම සිදුවිය.ඉන් එක් අයෙකු වූයේ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන්ය. ඔහු මෙතෙක් කලක් දඹුල්ල ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළේය. පසුගිය කාලයේදී ඒකාබද්ධ විපක්ෂය සමග එකතුව දේශපාලනය කිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ පක්ෂයේ ඉදිරි ජයග්‍රහණ උදෙසා ජනක ඉවත්කර ඒ වෙනුවට පක්ෂයට හිතවත් අයෙකු පත්කරන ලෙසයි.
ඒ අනුව එම්.ඩබ්ලිව්. යසමාන්න සහ දයා නන්දසිරි යන අය සම සංවිධායකවරු ලෙස දඹුල්ලට පත්කළේය.ජනක බණ්ඩාර ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් ඔහුගේ පුතා වන ප්‍රමිත බණ්ඩාර මධ්‍යම පළාත් සභාවේ කර්මාන්ත හා යෞවන කටයුතු ඇමතිධුරයෙන් ඉන්පසුව ඉල්ලා අස්විය.
ජනක ඉවත් කර වෙනත් දෙදෙනෙකු දඹුල්ල ආසනයට පත් කර ඇති බව දැනගත් විගස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුට දුරකථන ඇමතුමක් ගත්තේය.ඒ වනවිටත් ජනකට වටින් පිටින්,ඒකාබද්ධ විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ගෙන්,පාක්ෂිකයන්ගෙන් දුරකථන ඇමතුම් ලැබී තිබිණි. විවිධ පිරිස් නිවසටද පැමිණ සිටියහ.
මහින්ද රාජපක්ෂගේ දුරකථන ඇමතුමට ඇහුම්කන් දීමට ජනක දුරකථනය කණට කිට්ටු කළේය. ''ජනක අපි රාජපක්ෂලයි, තෙන්කනකෝන්ලයි මේ පක්ෂයේ මුල් පුරුක්. මට ඉතිං මේ සිද්ධිය ගැන කනගාටුවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අපි එකතු වෙලා වැඩ කරමු. කිසිදේකින් සැලෙන්න එපා. අපේ මැයි දිනේ සාර්ථක කරමු'' යනුවෙන් හිටපු ජනාධිපතිවරයා කීවේය.
එයට පිළිතුරු දුන් ජනක බණ්ඩාර, ''මට කිසිම දැනුම්දීමක් කරන්නැතිව හිටපු ගමන්මයි මේ පත්කිරීම කළේ. ගැටඹේ මැයි රැලියට එන්න කියලා ආරාධනා පත්‍රත් එවලා තිබුණා. මේක වුණේ යූඑන්පියට ඕන විදියට දැන් ශ්‍රී ලංකා එකේ වැඩ සිද්ධවෙන නිසයි. යූඑන්පීයේ බලපෑමට මේවා වෙන්නේ. මොන ශ්‍රී ලංකාකාරයද මාව අයින් කළාට කැමති වෙන්නේ'' යනුවෙන් හැඟීම්බරව පවසා සිටියේය.
ජනක දඹුල්ලේ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්කර ඇතැයි දැනගත් විගස ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර දඹුල්ලේ නිවසට පැමිණියේය.''අප්පච්චි මේ පක්ෂයේ අප්පච්චි නැතිව මට ඉන්න බැහැ. මට තනතුරු වැඩක් නැහැ. මට ලොකු අප්පච්චි. අපේ දේශපාලනය ජනතාවයි. ඉතිං අපි ඒ මිනිස්සු එක්ක ඉමු. මම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. ඉල්ලා අස්වීමේ ලියුම ආණ්ඩුකාරට දීලා මං එන්නම්'' යැයි ප්‍රමිත කීවේය.
එවිට ජනක කීවේ ''පුතාගේ කැමැත්තක් කරන්න පුතේ,මිනිස්සු එක්ක ඉද්දි වරදින්නෙ නෑ'' කියාය. ඉන්පසුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක හමුවී ප්‍රමිත සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන්නේය.
මේ අතර බදාදා දිනයේදී පැවැති රෝහණ දිසානායක මහතාගේ මෑණියන්ගේ අවමගුල් උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ජනක බණ්ඩාර,ප්‍රමිත බණ්ඩාර ඇතුළුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක්ද නියෝජ්‍ය අමාත්යලක්ෂමන් වසන්ත පෙරේරාද එක්ව සිටියහ.
ජනක බණ්ඩාර දඹුල්ලෙන් ඉවත් කිරීම පිළිබඳ මෙහිදී බොහෝ දෙනාගේ කතාබහට ලක්වූහ. හිටපු ජනාධිපතිවරයා, ජනක බණ්ඩාර, ලක්ෂ්මන් වසන්ත ඇතුළු පිරිසක් එක් ස්ථානයක සිට මේ ගැන කතාකළේය.
මෙහිදි ජනක අදහස් දක්වමින්, ''අපෙන් දඹුල්ල නැති කරන්න කාටවත් බැහැ.අපි එකාවන්ව ඉන්නවා. මේකෙන් මිනිස්සු ජනාධිපති එක්ක වෛර බැඳන් ඉන්නේ. මාව අයින් කළාකියලා ප්‍රචාරණය වුණාම යූඑන්පී එකේ රංජිත් අළුවිහාරේගේ ගෙදර විතරක් රතිඤ්ඤා දැම්මා. අපේ මිනිස්සු රතිඤ්ඤා දාන්නෑ. දැන් යූ.එන්.පී. එකෙන් දඹුල්ල ටවුමේ හැමතැනම කොළ කොඩිදාලා තියෙනවා. මේක යූ.එන්.පී. එකේ ජයග්‍රහණයක්. ඒත් අපි ඒ වෛරී දේශපාලනයේ නැහැ'' යනුවෙන් කියාගෙන ගියේය.
මෙහිදී අදහස් දැක්වූ ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ''ඇත්තටම මේ තීරණය හරිම අසාධාරණයි. අපේ නායකතුමාට මෙහෙම අසාධාරණයක් වෙනවා කියලා මං මාස හයකට ඉස්සර ඉඳන් දැනගෙන හිටියා'' යැයි කීවේය.
එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,''එහෙනම් වසන්ත ඒකට විරෝධය පාන්න අස්වෙලා අපේ පැත්තට එන්න'' යැයි කීවේය.එම ප්‍රකාශයෙන් පසුව සුළු වේලාවක් එම ස්ථානයේ රැඳී සිටි ලක්ෂ්මන් වසන්ත එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.
ආණ්ඩු පක්ෂයේ දුරකථන බිල ඉහළට
ආණ්ඩුපක්ෂයේ ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් මේ දිනවල තරමක් කලබලයෙන් කාලය ගතකරන අතර, එකිනෙකාගේ තොරතුරු විමසීමට ඔවුනොවුන් දුරකථනයෙන් සම්බන්ධවන අවස්ථා බොහොමය. වෙසක් පොහොයට පෙර ආණ්ඩුවේ වෙනසක් සිදුවන බවට ජනාධිපතිවරයා පසුගියදා පැවසූ අතර, මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ භේදයකින් තොරව සියල්ලන්ම කලබලවී සිටිති.
දැනට මන්ත්රීවරුන්ව සිටින අය නියෝජ්‍ය ඇමතිකමක් හෝ ලැබේදෝ බලමින් අනිකුත් සගයන්ගේ විස්තර සොයමින් සිටී. එමෙන්ම නියෝජ්‍ය ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන් තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබේදෝ සිතමින් අනිත් ඇමතිවරුන්ට කතා කරන අතර, කැබිනට් අමාත්‍යවරුන් සිය ආමත්‍ය ධුරයට වඩා හොඳ අමාත්‍ය ධුරයක් ලබාගැනීමේ අරමුණින් කටයුතු කරමින් සිටී. මේනිසා ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමේ දුරකථන වියදම ඉහළ යමින් ඇති අතර, ජනාධිපතිවරයා පැවසූ වෙනසට තවත් ඇත්තේ සති දෙකකටත් වඩා අඩු කාලයකි.
උතුරේ හර්තාල් අතරේ නිල මෙහෙවර
අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් රජයේ වගකීම නිවැරදිව ඉටුකරනොමැති බව පවසමින් උතරු සහ නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් සංවිධානය කර තිබූ අතර, මේසඳහා බොහෝ සංවිධානවල සහය හිමිවිය. හමුදාව පවරාගෙන ඇති ඉඩම් යළි ලබාදෙන ලෙසද ඉල්ලමින් ඔවුන් හර්තාල් කළ අතර, මෙම පිරිසගේ අරමුණවූයේ ජාත්‍යන්තර අවධානය යොමුකරගැනීමය.
මේඅතර ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන 'නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ' වව්නියාව උතුර ප්‍රාදේශීය ජනතා සේවය සඳහා සහභාගී වීමට ඇමති වජිර වව්නියාවට ගියේ පසුගිය සිකුරාදාය.
නැදුන්කර්නි මහා විද්‍යාලයේ පැවති වව්නියාව උතුර ප්‍රාදේශීය නිල මෙහෙවරට සහභාගී වීමට 22 සෙනසුරාදා උදෑසනම එම විද්‍යාලයට පැමිණියේ කාදර් මස්තාන්, සිවමෝහන් ඇතුළු උතුර නියෝජනය කරන දමිළ මහජන නියෝජිතයන් රැසක්ද සමගිනි. එදින උදෑසන සිට සවස 3 පමණ වනතුරුම නැදුන්කර්නි විද්‍යාලයේ රැඳී සිටිමින්, වසර 30ක යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලු විසඳාලීමට එම පිරිස කැපවී කටයුතු කළේය.
පසුදින ඉරිදා පැවතියේ චෙන්ගච්වෙඩිකුලම් ප්‍රාදේශීය නිල මෙහෙවරය. එය පැවති සෙට්ටිකුලම් මහා විද්‍යාලයට ඇමති වජිර පැමිණියේ උතුර නියෝජනය කරන සහෝදර මන්ත්‍රීවරු පිරිසක් ද සමගිනි. පෙරදින මෙන්ම ජනතාවගේ ගැටලු පිළිබඳව සොයා බලා ඒ සඳහා විසඳුම් දීමට වජිර ක්‍රියා කළේය.
දහවල් එම භූමියෙන් පිට වී කෙලින්ම පැමිණියේ අරලිය ගහ මන්දිරියේදී අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකට එක්වීමටය. ඒ මීතොටමුල්ල ආපදාවෙන් පීඩාවට පත්වූවන් සමග සාකච්ඡාවකි. මේ සඳහා සාගල, අනුර ප්‍රියදර්ශන, ෆයිසර් මුස්තාෆා ඇමතිවරුද, මන්ත්‍රී මරික්කාර් ද එක්ව සිටියහ.
ව්‍යවස්ථාව ඉක්මන් කරදෙන්න
නව ව්‍යවස්ථාව ප්‍රමාදවීම සහ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම මෙතරම් ප්‍රමාදව තිබීම සම්බන්ධයෙන් විපක්ෂනායක ආර් සම්බන්ධන් සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රීලංකා මහකොමසාරිස් සමග බදාදා දිනයේ පැයක පමණ සාකච්ඡාවක් පැවැත්වීය. මෙම කටයුතු කඩිනමින් ඉටුකර දෙන ලෙස විපක්ෂනායක සම්බන්ධන් මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර, මහකොමසාරිස්වරයාද එය අනුමත කළේය. හැකි සෑම උපකාරයක්ම කරන බවට ඔහු සම්බන්ධන්ට පොරොන්දු විය.
මම ඔය ප්රශ්නය විසඳන්න බලන්නම්
ජාතික හෙළ උරුමයේ සංවිධායක අනුමණ්ඩලය අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ මූලිකත්වයෙන් පක්ෂ කාර්යාලයේදී රැස් විය. ඒ සඳහා ගම්පහ පළාත් සභ මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල සහ කොළඹ දිස්ත්‍රික් සංවිධායකයන් සිටි අතර, ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ තරුණ සමුළුවක් සඳහා මේ දිනවල චීනයට ගොස් ඇති බව ටියුඩර් පෙරේරා කියා සිටියහ. එහිදී වැඩි අවධානයක් යොමු වූයේ මැයි රැළියේ සංවිධාන කටයුතු සම්බන්ධයෙනි.
''මැයි රැළියේදී අනගාරික ධර්මපාලතුමා, ඊ.ඒ ගුණසිංහ හා ඒ.ඊ. බුල්ජන්ස් මැතිතුමා සිහිපත් කරන වැඩසටහනක් තමා අපි කරන්නඕනෑ. අපගේ සැබෑ කම්කරු නායකයන් වන්නේ ඒ අය'' යැයි පාඨලී ඇමතිවරයා කීවේය. මේ හමුව සඳහා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාණ පැමිණෙන විට රැස්වීම අවසන් වී තිබිණි.
ඉන් අනතුරුව රණවකවිමසා සිටියේ ''මොකද්ද මේ අපගේ ඓතිහාසික පූජනීය ස්ථානයක් එල්ල කරගෙන ගොඩනැගී ඇති කුණු ප්රශ්නය?'' කියාය.
''ඔව්ඇමතිතුමා බලන්න අනුරාධපුර ජේතවනය චෛත්‍යය,මීතොටමුල්ල කුණු කන්දේඡායාරූපයක් බද්ද කරලා අපගේ ඓතිහාසික ස්ථානවලට සමාජ වෙබ් අඩවි හරහා පහර දෙන්න පටන්ගෙන තිබෙනවා. මේක පිටුපස අලුත් පරපුරේ තරුණයන් කියාගන්න පිරිසක් තමා ඉන්නෙ. මම මේ ගැන සොයා බලලා පොලිස්පතිතුමාට ලිපියක් ලියාපංදිචි තැපෑලෙන් යැව්වා. ඒක තමා ඔය පත්තරවල ගිහින් තියෙන්නේ'' යැයි හැඩිගල්ලේ විමලසාර හිමියෝ කියා සිටියහ.
''මේ තරුණයන් නොමග ගිහින්. අපි මේ අය හදාගන්න ඕනෑ. අපි කොහොමත් කිසිම ආගමික සංකේතයකට අගෞරව කරන එක හොඳ නැහ'' යැයි මේ කතාබහට එක් වූ නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිගේ මවගේ අසනීප තත්ත්වය බැලීමට පක්ෂයේ ඉහළින් ලැබුණු උපදෙස් අනුව බුදුගල ජිනවංස හිමි, පස්සරමුල්ලේ දයාවංස හිමි, සූරියවැවේ සුමේධ හිමි හා අම්පාර දිස්ත්‍රික් සංවිධායක පාඨලී රෝහණ ජයන්ත එක් විය. මෙයට හේතුවූයේ සෝම හිමියන්ගේ ජන්ම දිනය හා සෝම හිමියන්ගේ මෑණියන් වන චාලට් වීරතුංග මහත්මියට මැයි මස 10 දින අවුරුදු 90ක් පිරීම නිමිත්තෙනි.
මෙම අවස්ථාවේදී සෝම හිමියන්ගේ බාලසහෝදරයා වන පත්මසිරි මහතා අදහස් දක්වමින් ''සෝම හිමියන්ගේමෑණියන්ගේ අසනීප තත්ත්වයට හා අවශ්‍ය කටයුතු කර ගැනීමට පරිසරය හදා දෙන්න බලන්න හාමුදුරුවනේ. අපේ සෝම හාමුදුරුවෝ සිටියදී ජනවිජය නමින් පදනමක් හැදුවා. එම සංවිධානයට අයත් ලංකා බැංකුවේ ගිණුමේ ලක්ෂ 50කට අධික මුදලක් තියෙනවා.
බලන්න හාමුදුරුවනේ මුදල් ඔක්කොමඅපට එපා. නමුත් සෝම හාමුදුරුවන්ගේ අම්මා ඉන්නවනේ. අම්මාගේ වැඩකටයුතු කරගෙන යාමට මට ඒ මුදල්වලින් මාසිකව කීයක් හරි ලැබෙනවා නම් ඒක මට පහසුවක්. ඒකවත් ලැබෙන්නේ නැහැ. මහරගම ධර්මායතනයේ ධම්මසිරි නායක හාමුදුරුවෝ තමයි දැන් ජනවිජය පදනමේ සභාපති'' යැයි පැවසීය.
''හරි මම ඔය ප්රශ්නය අපේ ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ එක්කකතා කරලා උන්වහන්සේ දැනුවත් කරලාවිසඳන්න බලන්නම්'' යැයි බුදුගල ජිනවංස හිමියෝ එහිදී කියා සිටියහ.
දැන් අපේ අලියා පොට්ට නෑ
අලුත් අවුරුදු උත්සව අප්‍රේල් මාසේ අවසන් වනතුරුම සංවිධානය කරන නිසා මැති ඇමතිවරුන්ටත් ලැබෙන ආරාධනා සුළුපටු නොවේ. ඒ අතර තමන් පත්වුණු ආසනයේ සංවිධානය වන අවුරුදු උත්සව වලින් එන ආරාධනා නම් ඔවුන්ට මගහරින්නට බැරිය. විදේශ රැකියා ඇමතිනීටත් මෙය පොදු කාරණයක් විය.
ඒ අනුව ඇය පසුගිය 23 වැනිදා රත්නපුර කහවත්ත පනාවැන්න ධර්මාරාම ක්‍රීඩාංගණයේ පැවතුණු අවුරුදු උත්සවයකට සහභාගී වුණේ තවත් උත්සව තුන හතරකටම සහභාගී වීමෙන් අනතුරුවයි. ඇමතිතුමිය උත්සවයට සහභාගී වන විට අලියාට ඇස තැබීමේ තරගය අවසන්වී තිබුණි. නමුත් තරග සංවිධායකයන් ඇමතිතුමිය වෙනුවෙන් තරගය විවෘත කරන්නට සූදානම් විය. මේ අවස්ථාවේදී එයට අකමැත්ත ප්‍රකාශකළ ඇමතිතුමිය මෙසේ පැවසුවාය.
''අපි අලියගෙ ඇස් දෙක පාදා ගත්තේ බොහොම අමාරුවෙන්. දැන් අපේ අලියා පොට්ට නෑ. ඒ නිසා අලියට ඇහැතබන්න ආයෙනම් මම යන්නෙ නෑ''
කෙසේවෙතත් ඇමතිතුමිය පැමිණෙනතුරුආරම්භ නොකළ කණාමුට්ටි බිඳීමේ තරගය විවෘත කළේය. ඇමතිතුමිය ඇස් බැඳගෙන තරගයට ඉදිරිපත් වූවාය. ඇමතිතුමිය සෙමෙන්සෙමෙන්ගොස් කණාමුට්ටි එල්ලා තිබූ සීමාවෙන් ඉවතට ගියාය. මේ අවස්ථාවේ අවට සිටිපිරිස මහ හයියෙන් හිනාවන්නට විය.
''අපි කවදාවත් කණාවට ගහපු අය නොවෙයි. අපිට පුරුදු ඇස් ඇරගෙන, හරි ඉලක්කෙට හරිම වෙලාවෙදි ගහලයි. ඒ නිසයි මට කණාවට ගහන්න බැරිවුණේ'' කියමින් ඇමතිතුමිය මහ හයියෙන් සිනහ වෙමින් ජනතාවගේ සිනහවත් සමග එකතු වූවාය.
මම දන්නේ නැහැ
මීතොටමුල්ල කසළ කන්ද නායයෑමේ සිද්ධිය වීමට පෙර සිටම කුණු කන්දට එරෙහි උද්ඝෝෂණ මාලාවේ පෙරමුණගෙන සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන්ය. සිද්ධියෙන් පසුවද ඔවුන්ගේ උද්ඝෝෂණ මාලාව වඩා තීව්ර කර තිබුණි. සිද්ධිය වී මුල් දිනකිහිපය පෙරටුගාමීන්ට වඩාත් කාර්යබහුල විය. උද්ඝෝෂණ පැවැත්වීමත්, ජනතාව සංවිධානය කිරීමත්, ආපදාවට ලක්වූ ජනතාවට උදව් කිරීමත් ආදී වශයෙන් එම පක්ෂයේ නායකයන් විවිධ කටයුතුවල යෙදී සිටියේය.
වී ගබඩාවල තාවකාලික නිවාස ඉදිකිරීම සඳහා රජය තීරණයක් ගෙනතිබුණේ මේ අතරය. ඒ සඳහා සිවිල් ආරක්ෂක බළකායට ඉදිකිරීම් කටයුතු පැවරුණි. ගබඩාවල තාවකාලික නිවාස ඉදිකිරීම සඳහා මුලින්ම මීතොටමුල්ලට පැමිණි හමුදා නිලධාරීන්ට වී ගබඩා පිහිටි ස්ථාන සොයාගැනීම අපහසුවී තිබුණි.
ඒ වනවිට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රවීන්ද්‍ර මුදලිගේ කුණුකන්ද අසල සිටියේය. එම ස්ථානයට පැමිණි හමුදා නිලධාරීන් පරණ වී ගබඩා තියෙන්නේ කොහේදැයි මුලින්ම විමසා සිටියේ රවින්ද්රගෙනි. ඒ බව නොදත් රවීන්ද්‍ර කීවේ තමන් එය නොදන්නා බවයි.
කුණු කන්ද පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවකදී තමන් මුහුණදුන් අත්දැකීම විස්තර කරඔහු කීවේ කුණු කන්දට විරුද්ධ, තාවකාලික ගෙවල්වලට විරුද්ධ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙක් ගෙන්ම ගබඩා ගැන විමසීමට හමුදාවට සිදුවුණු බවයි.
කුණු කතා මැතිසබේටත්
කසළ කළමනාකරණය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමගම මීතොටමුල්ල කසළ කන්ද පිළිබඳ විවාද කිරීමට පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන ඉල්ලීය.
පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීමට නම් අගමැතිවරයා කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළයුතු අතර, පසුව එය ගැසට් කළ යුතුය.
ඒකාබද්ධ විපක්ෂය ඉල්ලූ සැනින් පාර්ලිමේන්තුව හදිසියේ කැඳවනාවද, නැතිද යන්න පිළිබඳ ආණ්ඩුවේ ඉහළපෙළ සාකච්ඡා කළ අතර, ආණ්ඩුවේ බහුතර මතය කුමක්ද යන්න විමසා ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවීමේ තීරණය ගැනීමට අවසානයේ එකඟ විය.
ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් සිය කාර්යමණ්ඩලය ලවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සියලුම මැති ඇමතිවරුන්ගෙන් මේ පිළිබඳ වෙන වෙනම සිය පෞද්ගලික මතය විමසීමට කටයුතු කළේය.
සඳුදා දිනයම වැය කරමින් මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබාගත් අතර, එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් කියන්නට වූයේ ඒකබද්ධය විවාද ඉල්ලුවාට අපි හදිස්සියේ පාර්ලිමේන්තුව කැඳවන්නේ ඇයිද යන්නය.
එමෙන්ම තවත් පිරිසක් කියන්නට වූයේ ආණ්ඩුවේ කරුණු ප්‍රකාශ කිරීමටත් මෙය හොඳ අවස්ථාවක් බැවින් පාර්ලිමේන්තුව කැඳවීම හොඳ බවයි.
කෙසේ හෝ අවසානයේ ආණ්ඩුපක්ෂයේ බහුතර මතය වූයේ පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු බවයි. ඒ අනුව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හරහා අග්‍රාමාත්‍යවරයාගේ තීරණය රහස්‍ය ලියවිල්ලක් ලෙස කථානායකවරයාට යොමුකළ අතර,එහි සඳහන්වූයේ හදිසි පාර්ලිමේන්තු සැසියක් කැඳවන ලෙස කරන ලද ඉල්ලීමකි.
එම ඉල්ලීමට අනුව පාර්ලිමේන්තුව කැඳවීම ගැසට් කළ අතර, කසළ කළමනාකරණය අතවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ ගැසට්පත්රය පිළිබඳ විවාදයද එදිනම පැවැත්වීමට ආණ්ඩුපක්ෂයේ තීරණය විය.
ඒඅනුව විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් වාරය අදට (28දා) කැඳවූ අතර, අද පාර්ලිමේන්තුව තුළදී සියල්ලන්ගේ කුණු කතා අසා දැනගත හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd