Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
අලුත් අවුරුදු සතිය ගෙවී ගියද අලුත් අවුරුද්ද උදාවූ සැණින්ම අවුරුදු සිරිය මැකී ගියේ, මීතොටමුල්ල කුණු කන්ද නායයෑම නමැති මිනිසා විසින් ඇතිකළ ඛේදවාචකය හේතුවෙනි. මීතොටමුල්ල කසළ කන්ද නායයෑමෙන් මිනිස් ජීවිත රැසක් අහිමිවූ අතර, බොහෝ පිරිසක් අවතැන් වූහ. එමෙන්ම කසළ කන්දේ නායයෑමත් සමග කසළ දේශපාලනයද මතුව ආ අතර, එහි යථාර්ථය වටහා ගැනීමට මෙරට ජනතාවට අපහසු නොවීය.
කුණු කන්ද කඩාවැටීමේ සිදුවීම සැලවූ වහාම අමාත්‍යවරුන් වන ෆවුසි, සාගල රත්නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මරික්කාර්, දිනේශ් ගුණවර්ධනද එම ස්ථානයට ගිය අතර, ඔවුන් සියලු දෙනාටම ජනතාව විරෝධය දැක්වූයේ අසභ්‍ය වචනයෙනි. ඒ තරමටම දේශපාලඥයන්ව ඔවුන්ට එපා වී තිබිණි. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔවුහු අසභ්‍ය වචනයෙන් බැනවදින්නට වූහ.
ව්‍යවසනයට මුහුණ දුන් ජනතාව ඉන් මුදවා ගැනීමට හමුදාව යුහුසුළුව ක්‍රියාත්මක වූ අතර, පොලීසියද එයට සහාය දැක්වීය. ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් සතියක් පුරාවටම සිදුවූ අතර, ඒ වනවිට ජනතාව විසින් හමුදාව වෙත ඉතා ඉහළ ගෞරවයක් දක්වන්නට විය. හමුදාපතිවරයා මෙන්ම පොලිස්පතිවරයාද මුදාගැනීමේ කටයුතු සඳහා සක්‍රීය දායකත්වය ලබාදුන් අතර, මුල් දිනයේදී ජනතාව පොලීසියටද විරෝධතා දැක්වූහ.
''අපි උද්ඝෝෂණ කරද්දි සර්ලා අපිට කඳුළු ගෑස් ගහලා එළවගත්තා. දැන් පේනවා නේද වුණු දේ. මේකට සර්ලත් වගකියන්න ඕන'' යැයි මීතොටමුල්ල ගම්වාසියෙක් එසේ පොලීසියට චෝදනා කරන විට අසල සිටි තවත් ගම්වාසීහු, ''එහෙම කියන්න එපා. එදා එයලා කළේ රස්සාව. ඒකට අපට බනින්න බැහැ'' යැයි කියන්නට වූහ.
අරණායක සාමසර කන්ද නායගිය විට එහි පීඩාවට පත්වූ ජනතාව පිළිබඳ සොයාබැලීමට ජනාධිපතිවරයා මෙන්ම ජනාධිපතිවරයාගේ පවුලේ උදවියද ගිය අතර, බොහෝ දේශපාලඥයෝ එහි යන්නට වූහ. එසේ වුවද මීතොටමුල්ලට එසේ දේශපාලඥයන් නොගිය අතර, ජනාධිපතිවරයාද එහි නොගියේ මෙම ඛේදවාචකය ඔවුන් විසින්ම ඇතිකළ බව දන්නා නිසාද යන්න සැකසහිතය.
කුණු කන්ද නායයන විට අගමැති රනිල් වික්‍රමසිංහ සිටියේ ජපන් සංචාරයේ නිරත වෙමිනි. එසේ වුවද අගමැතිවරයා දිනකට දුරකථන අමතුම් හතඅටක් ලබාදෙමින් ජනතාවගේ ගැටලු විසඳීමට වෙහෙසුණු අතර, ඇමති සාගල සහ මන්ත්‍රී මරික්කාර් වෙත අගමැතිවරයා නිරන්තරයෙන් කතාබහ කරමින් තොරතුරු විමසා අදාළ උපදෙස් ලබාදුණි.
එමෙන්ම ජපන් සංචාරය අතරතුර අගමැතිවරයා සහ අමාත්‍ය පාඨලී චම්පික අතරද දුරකථන සංවාදයක්ද සිදුවිය. අගමැතිවරයා මේ පිළිබඳ චම්පිකගෙන් විමසන විට ඔහු පවසන්නට වූයේ, ජනතා උද්ඝෝෂණ හේතුවෙන් මෙම ප්රශ්නය මේතරම් දුරදිග ගිය බවයි.
''පුත්තලමට මේ කුණු දානන් දුන්නානම් හොඳයි. පරිසර අධිකාරියත් ඒකට විරුද්ධ වුණානේ. කුණු කන්ද පුනරුත්ථාපනය කරන වගකීම අපි බාරගන්නම් අගමැතිතුමා. නමුත් එක්ට අවශ්‍ය ඉඩම් රජය හොයලාදෙන්න වෙනවා'' යැයි අමාත්‍යවරයා කියන්නට විය.
කෙසේ හෝ අවසානයේ මීතොටමුල්ල කුණු කන්ද තිබෙන ස්ථානය නාගරික උද්යානයනක් බවට පත්කිරීමේ වගකීම චම්පික රණවක අමාත්‍යවරයා බාරගත්තේය.
මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ වගකීම ඉහළ පෙළේ දේශපාලඥයෙකු බාරගත යුතු බවට කොළඹ දිස්ත්‍රික්කයේ කුඩා පෙළේ දේශපාලඥයෙකු පැවසූ බවට පැතිරුණු රාවයක් හේතුවෙන් ඉහළ පෙළේ දේශපාලඥයා එම පුද්ගලයාගෙන් විමසන්නට විය. තමන් එවැන්නක් මාධ්‍යයට නොකී බව ඔහු එම දේශපාලඥයාට කියන්නට විය.
සැබැවින්ම එවැනි කාරණයක් එම කුඩාපෙළේ දේශපාලඥයා පවසා තිබුණේ ඔහුගේ හිතවත් දේශපාලඥයෙකුටය. එම පුද්ගලයා එසැණින් එම කරුණු අනෙක් පාර්ශ්වයට දැන්වීම සම්බන්ධයෙන් එම දේශපාලඥයා කනගාටුවෙන් පසුවිය.
කුණු කන්ද පෙරළීමෙන් පසු එකිනෙකා ලකුණු දමාගැනීමේ ක්‍රීඩාවක නිරතවන්නට වූ අතර, කුණු කන්දේ වගකීම අනෙකා මත පටවමින් බොහෝදෙනා නිදහස් වීමට උත්සහා කළ අයුරුද මේ දින කිහිපය තුළදී දකින්නට ලැබිණි. කුණු කන්ද නායයෑම තුළ ජනාධිපතිවරයා සහ ඇමති පාඨලී චම්පික අතරද කඹඇදීමක් සිදුවිය.
ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකයා බවට පත්වූයේ බස්නාහිර මහඇමති ඉසුර දේවප්රියයි. කුණු කන්ද ප්‍රතිචක්‍රීකරණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඉඩනොදුන් බව පවසමින් ඇමති චම්පිකට දෝෂාරෝපණය කළ ඔහු බ්‍රිතාන්‍ය සමාගමක් මෙරටට ගෙන ආවද එය සාර්ථක කරගැනීමට පවා ඉඩනොදුන් බවද කියන්ට විය.
එසේ වුවද එලෙස ගෙන ආ සමාගම මූල්‍ය ශක්තියක් නොමැති සමාගමක් බව නාගරික සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. මේ සම්බන්ධයෙන් නැවත මහඇමතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ''පරණ දේවල් අවුස්සලා වැඩක් නැහැ නේද?'' කියමින් ඔහු එය මගහරින්නට විය.
මේ ආකාරයෙන් කුණු කන්ද නිසා ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව අතර මතභේද හටගනිමින් පවතින විට මෙම තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය නිසා තමන්ගේ වියට්නාම සංචාරය අතරමග නවතාදමා හැකි විගස ලංකාවට පැමිණීමට අගමැතිවරයා තීරණය කර තිබිණි. යහපාලනයේ දෙදෙරීම වළක්වා ගැනීමට අගමැතිවරයා පැමිණියේ සංචාරය පසුවට කල්දමමිනි.
මීතොටමුල්ල කුණු කන්දට යටවී ජීවිතය හැරගිය මිනිසුන්ගේ දේහයන් කොලොන්නාව විහාරයේ තැබීමට බලධාරීන් තීරණය කළේ එම දේහයන් මීතොටමුල්ලට ගෙනගියහොත් අනවශ්‍ය කැළඹීක් ඇතිවන බව සිතමිනි. මීතොටමුල්ල ප්රශ්නය කෙසේ හෝ සමථයකට පත්කිරීමට ආණ්ඩුව නොගත් උත්සාහයක් නැති තරම්ය. නමුත් දේශපාලඥයන් විසින් ඇතිකළ, මිනිසුන්ගේ ජීවිත නැතිකළ මෙම කුණු ප්රශ්නය නිසාම යළිත් වරක් ඡන්ද ඉල්ලා මීතොටමුල්ලට නොපැමිණෙන ලෙස එහි ජනතාව සියල්ලන්ටම එකහඬින් කියන්නට වූහ.
පසුගියදා පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයාගේ නිවසේ මිතුරු හමුවක් සංවිධාන කර තිබිණි. අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැති භෝජන සංග්‍රහයක් වුවද එහිදී සාකච්ඡාවට භාජනය වූ කරුණු ඉතා වැදගත් විය. ඒ අතර කථිකාවට ගැනුණු ප්‍රධානම කාරණය වූයේ මීතොටමුල්ලේ සිදුවූ ඛේදවාචකයයි.
සහභාගි වී සිටි පිරිසේ බොහෝ දෙනෙකු කියා සිටියේ මෙම විපත වළක්වා ගැනීමට තිබූ කාරණයක් බවයි. දීර්ඝ අදහස් දැක්වීම්වලින් අනතුරුව අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා කියා සිටියේ, එම ගැටලුවට සුදුසුම විසඳුම තමන් විසින් රැගෙන ආ බවයි. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමට පෙර අමාත්‍යධුර සංශෝධනය කළ බවත්, එසේ නොවූයේ නම් මීතොටමුල්ලේ ඛේදවාචකයක් සිදුනොවන බවත් පාලිත රංගේ බණ්ඩාර පවසන්නට විය.
රටේ කිසිදු වැඩක් නිසි පරිදි සිදුනොවීමෙන් හා ලොකු පුටු රට වටේ නොයන තාක්කල් මේ ගැටලු විසඳීමට නොහැකි බව ඔහු කියන්නට වි. දින 100 ආණ්ඩුවේ විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින් තමන් පත්වීමෙන් අනතුරුව කසළ භාවිතයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සියල්ල සැලසුම් කර තිබූ බවත් ඇතැම් කැබ්නට් අමාත්‍යවරුන් මෙන් නොව දින 100 ආණ්ඩුවේ විදුලිබල කැබිනට් අමාත්‍යවරයා වූ පාඨලී චම්පික රණවක මහතා ඊට පූර්ණ සහාය ලබාදුන් බවත් ඔහු කියා සිටියේය.
ඉඩම් වෙන්කර ගනිමින් දකුණු කොරියානු සමාගමක් සමග එක්ව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම් කර තිබූ බවත් පාඨලී චම්පික රණවක මහතාද ඊට පූර්ණ සහාය හා අනුග්‍රහය ලබාදෙමින් කටයුතු කළ බවත් මිතුරන් හමුවේ ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් දින 100 නිමාවත් සමග වෙනත් අමාත්‍යාංශ වෙත පැමිණීමට තමන්ටත් පාඨලී අමාත්‍යවරයාටත් සිදුවූ බවද හෙතෙම පැවසීය.
කිසියම් වෙනසක් සිදුකිරීමේදී කරුණු සලකා බැලීමක් සිදුනොකිරීමත් කිසියම් කෙනෙකු සැලසුම් කළ දේ අනෙකා විසින් ක්‍රියාත්මක කිරීමට මැලිකමක් දැක්වීමත් ඇතුළු කාරණා රැසක් රටේ ප්රගමනය අඩාල වීමට හේතු වී ඇතැයිද රංගේ බණ්ඩාර අමාත්‍යවරයා පැහැදිලි කරන්නට විය.
මෙහිදී මිතුරන්ද වැඩි වැඩියෙන් කරුණු විමසීම හේතුවෙන් අමාත්‍යවරයාටද දීර්ඝව පිළිතුරු ලබාදීමට සිදුවිය. රංගේ බණ්ඩාර මහතා කියා සිටි තවත් කාරණයක් වූයේ කසළ මගින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ශී‍්‍ර ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ කොරියානු ආයෝජකයා සිවුවතාවක් දිවයිනට පැමිණ ඇති බවයි.
පසුගිය රජය සමයේද ඔහු මේ සඳහා එලෙස උනන්දු වී තිබුණද කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් කලකිරීමෙන් සිටි බවත්, තමන් සමග සිදුකළ සාකච්ඡාවකදී 'මට නම් දැන් හොඳටම මහන්සියි' කියා ඔහු තමන්ට ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා පවසන්නට විය. එවැනි තත්ත්වයකදී වුවද ඔහු මෙම ව්‍යාපෘතියට එකඟ වූ බවත් වැඩක් පටන් ගද්දීම අමාත්‍යාංශ මාරුවක් සිදුවූ බවත් පෙන්වා දුන් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේනම් බ්ලූමැන්ඩල් කුණු කන්දටද විසඳුම් හිමිවන බවද පෙන්වා දෙන්නට විය.
ඔහු මෙම සංවාදය නිමාකළේ ''වැඩ කරන්න පුළුවන් මචං..... ඒත් මොකකින් හරි ඒක ඇහිරෙනවා..... නැත්නම් අහුරනවා..... ඔන්න ඔය ක්‍රමය වෙනස් නොවෙනතාක් කල් මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් දීමත් ගැටලුවක්'' යනුවෙන් පවසමිනි.
පසුගිය අඟහරුවාදා පක්ෂ මූලස්ථානයේදී ජාතික හෙළ උරුමයේ වෘත්තීය කටයුතු සභා මහජන සම්බන්ධතා අනුමණ්ඩලය එම පක්ෂයේ සමසභාපති හැඩිගල්ලේ විමලසාර හිමියන්ගේ මුලිකත්වයෙන් රැස්විය.
ඒ අවස්ථාවට අමාත්‍ය පාඨලී චම්පික රණවක කලබලයෙන් සහභාගි වූයේ ඒ වනවිට කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් විශේෂ රැස්වීම් කිහිපයක් අවසන් කිරීමෙන් පසුවය. ''ඇමතිතුමා මොකද්ද? මේ මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් මහඇමති ඉසුර දේවප්‍රිය නගන චෝදනාව?'' යැයි පස්සරමුල්ලේ දයාවංස හිමියෝ විමසා සිටියහ.
''බ්‍රිතාන්‍ය කසළ කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වූයේ පර්චස් 60ක බිම් ප්‍රමාණයක්. අමාත්‍යාංශයට ඉදිරිපත් කළ SJP ආයතනයේ ව්‍යාපෘති වර්තාවේ ඒ සඳහා අක්කර 03ක බිම් ප්‍රමාණයක් අවශ්‍ය බව දක්වා තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය 2008 වර්ෂයේ පැවැති හදිසි අවශ්‍යතාව හා එවකට ශ්‍රේෂ්ඨාධිකරණ නියමයන්ට අනුව මීතොටමුල්ල ඉඩම තාවකාලිකව වසර 02ක කාලයක් සඳහා කැළි කසළ බැහැර කිරීම වෙනුවෙන් අක්කර 02ක ඉඩම් ප්‍රමාණයක් පමණක් ලබාදුන්නා.
එම කාලය තුළදී විධිමත් කසළ ප්රතිචක්රීයකරණ ව්‍යාපෘතියක් සඳහා යෝජනා කැඳවා ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොළඹ මහනගර සභාවට නියම කර තිබෙනවා. එම නියමයන්ට අනුව කටයුතු කිරීමට කොළඹ මහනගර සභාව අසමත් වී ඇති අතර, යෝජිත කැළි කසළ බැහැර කිරීම සඳහා 2009 වර්ෂයේ සිට නාගරික සංවර්ධන අධිකාරිය විසින් අක්කර 02ක භූමි ප්‍රමාණයක් ලබාදී තියෙනවා.''
එහිදී වැඩිදුරටත් පවසා සිටියේ, ''දැනටමත් විධිමත් තාක්ෂණික අධ්‍යයනයන්ගෙන් සහ අනුමැතියෙන් පසුව කරදියාන සහ මුතුරාජවෙල කැළි කසළ බැහැර කිරීමේ සහ ප්රතිචක්රීයකරණය කිරීමේ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කොළඹ එකතු වන දෛනික කසළ එකතු කිරීමට සහ ප්රතිචක්රීයකරණය කිරීමට අදාළ ගිවිසුම් දෙකක් සඳහා පෞද්ගලික ආයතන ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තා විධිමත් තාක්ෂණික අධ්‍යයනයකින් පසුව ලබාගත් අනුමැතීන්ට යටත්ව ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය මාර්තු මාසයේදී කටයුතු කළා.
නාගරික සංවර්ධන අධිකාරිය සතු වපසරීන්ට අදාළව කළ හැකි සෑම කාර්යයක්ම නොපිරිහෙළා ඉටුකිරීමට එම අධිකාරිය කටයුතු කර තිබෙනවා. ඇතැමෙක් ඉදිරිපත් කරන වාචික ප්‍රකාශවලට වඩා ප්‍රායෝගික කාර්යයන් විධිමත් ක්‍රමවේදයකට යටත්ව වැඩදායී ලෙස සිදුකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබෙනවා'' යනුවෙනි.
මෙම කතාවට සාවධානව අසාගෙන සිටි හැඩිගල්ලේ විමලසාර හිමියන් පවසා සිටියේ, ''ඔය අත්දැකීම් හා දේශපාලන විඥානයක් නොමැති අයෙක් නිසා ඒවාට උත්තර බැඳීමෙන් වැඩක් නැති බවයි. ''එයා පිං මහඇමතිනේ'' බොසෙත් කළහේ පතිරණ මහතා පවසා සිටියේය.
මේ අතර ජාතික හෙළ උරුමය විසින් ප්‍රථම වරට සංවිධානය කරන කම්කරු දිනය නිමිති කරගෙන කොටුව ඊ.ඒ ගුණසිංහපුර සම්ප්‍රදායික කම්කරු රැස්වීමකින් තොරව කම්කරුවන් දිරිමත් කරන වැඩසටහක් සඳහා වැඩපිළිවෙළක් යෝජනා කර එය සූදානම් කරමින් තිබේ. ඒ පිළිබඳ වෘත්තීය සංගම් සභාපති සුනිමල් ජනරංන විස්තර කරමින් කියා සිටියේ, කොටුව හා අවට සිටින මුට්ට කරගහන කම්කරුවන් 500ක් තෝරාගෙන ඒ අය සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි.
ඒ අනුව කම්කරුවෙකු මියගියහොත් ඒ පවුලකට ලක්ෂ 05ක්ද අතක්, පයක් අහිමි වූ අයෙකුට එක්ලක්ෂ විසිපන්දහසදක්ද, රෝගී වූ විට රෝහල්ගත වන දිනකට 500ක්ද, මරණයක් සිදුවු අවස්ථාවේ කටයුතු කරගැනීමට පනස් දහසක්ද ලබාදීමේ වැඩපිළිවෙළක් සහිත රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙමින් ජාතික හෙළ උරුමය මෙවර කම්කරු දිනය සැමරීමට කටයුතු සූදානම් කරමින් ඇතැයිද පැවසීය.
මේ අවස්ථාවේ බුදුගල ජිනවංස හිමියෝ, ''අද මීතොටමුල්ල කුණු කන්ද නිසා මියගිය එක් අයෙකුට රුපියල් ලක්ෂයයි දෙන්නෙ. නමුත් ඔබතුමා ලක්ෂ 05ක් දෙන්න හදනවා. ඒක නම් හොඳ වැඩක්'' යැයි පවසන්නට වූහ.
''අද බොහෝ පක්ෂ කම්කරු දිනය සමරනවා. එහෙත් අපට රටට ඇති ප්‍රබලම ප්‍රශ්නයක් තමයි කම්කරුවන් නොමැති ප්රශ්නය. අද ගොවිතැන් කරගන්න බැහැ, කර්මාන්තත ශාලාවක වැඩ කරගෙන යන්න වෙළෙඳ ව්‍යාපාරයක වැඩ කරගෙන යන්න විදියක් නැහැ. අද වනවිට ඉන්දියාවෙන්, බංගලිදේශයෙන් සංචාරක වීසාවලින් ඇවිත් කම්කරු රස්සා කරන තත්ත්වකට රට උදාවී තිබෙනවා.
එසේ සිදුව ඇත්තේ එක පැත්තකින් රජයේ වැඩ කරන කම්කරුවන්ට ඕනෑවටත් වඩා කම්කරු අයිතීන්. එහෙත් පෞද්ගලික ආයතනවල වැඩ කරන කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිතතාවක් නැහැ. අද උපාධිධාරීන් පවා රජයේ කම්කරු රැකියාවට යන්න කැමැතියි. එහෙත් පෞද්ගලික අංශයේ දීමනාව වැඩි වුණොත් කම්කරු රැකියාවට කැමැත්තක් නැහැ.
එම නිසා රජය වහාම මේ සම්බන්ධයෙන් මැදිහත් වී පෞද්ගලික අයෝජකයන්ට මෙරටට එන්න ඕන කරන අඩු විදුලි, අඩු ශ්‍රමය හා ලාබ පරිසරය දෙන්න ඕන. අගමැතිතුමා ලෝකයේ වටා අයෝජකයන්ට එන්න කිව්වාට වැඩක් නැහැ, එම පරිසරය රට තුළ ගොඩනගන්නෙ නැතිව නේද? ඇමතිතුමා'' යැයි පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරාළ කියන්නට විය.
මේ දිනවල රටේම මාතෘකාව බවට පත්වී ඇත්තේ මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් ඇතිවූ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳවයි. එම කුණු කන්දට විවිධ පාර්ශව විසඳුම් ඉදිරිපත් කරයි. ඒ අතර එකිනෙකාට චෝදනාද එල්ලකර ගනී. පසුගිය රජය සමයේදී ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබුණු බවත්, වත්මන් ආණ්ඩුව විසින් එය ක්‍රියාත්මක නොකළ බවත් ඒකාබද්ධ විපක්ෂයේ අදහසයි.
පසුගියදා බොරැල්ල ඇන්.ඇම් පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැතිකමින් මෙම විපත සිදුවුණු බවයි. මීට පෙර අරණායක, සාලාව, බෙරගල, බුලත්කොහුපිටිය වැනි සිද්ධි සම්බන්ධයෙන් රජය සාධාරණයක් කළේ නැති බවද ඔහු කීය.
එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ මීතොටමුල්ලේ කුණු පුත්තලමට ගෙනයෑම සඳහා පසුගිය රජය විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබුණු බවත් එම යෝජනාවට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් විනාඩි දෙකකින් එම වාර්තා ලබාගැනීමට ජනාධිපතිවරයාට අවස්ථාව තිබෙන බවත්ය.
''අපි මේ සියලු වාර්තා රජයට ඉදිරිපත් කර තිබෙනවා. අපි ළඟ තියෙන්නේ ඒවායේ කොපි විතරයි. ඔරිජිනල් ඒවා තියෙන්නේ කැබිනට් ලේකම් ළඟ. අගමැතිට, චම්පිකට, ජනාධිපතිට විනාඩි දෙකයි යන්නේ කැබිනට් පත්‍රිකාව එවන්න කියන්න. ඒ යෝජනාව අවුරුදු දෙකක් ගෙනාවේ නැහැ. ගේනවද කියලා බලමු. අලුතින් දේවල් එකතු කරමින් ඒවා ක්‍රියාත්මක කළ යුතුයි.
සුගතදාස ස්ටේඩියම් එකේ තිබුණේ කුණු. සුගතදාස මහතා කුණු ගොඩක් තමයි පිට්ටනියක් බවට පරිවර්තනය කළේ. නාවින්නේ කුණු ගොඩ මම පිට්ටනියක් බවට පරිවර්තනය කළා. ඒ නිසා කුණු පරිවර්තනය කරන්න පුළුවන් දේවල් කියලා මැති ඇමතිවරු තේරුම් ගන්න ඕන. මීතොටමුල්ලේ පොතුවිල් කුඹුරට, නිවාස දාහට ප්‍රොජෙක්ට් එක්ක තිබුණා. මේවා ලිපිගොනු අරන් ඇමතිතුමාලා බලනවනම් හොඳයි'' යනුවෙන් පැවසීය.
මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රකාශ කළේ කසළ ප්‍රමාණය වැඩි වීම නිසා මෙම විපත සිදුවුණු බවයි. එයට පිළිතුරු දුන් දිනේෂ් ගුණවර්ධන මහතා,
''කොළඹ නගර සභාව අත්සන් කරපු ගිවිසුම නීතිවිරෝධී ලෙස කඩලා තිබෙනවා. දුන්නු කාලයට වඩා එක දවසක් කුණු දාන්න බැහැ. දානවනම් කෝටි ගාණක් ගෙවන්න ඕන. දැන් කුණු වැඩිවෙලා තියෙන්නේ ගිවිසුම කඩලා කුණු දාපු නිසයි. මේ ආණ්ඩුවට ආපදාවකදී වැඩපිළිවෙළක් නැහැ. මේ සිද්ධිය වෙලා රෑ වුණාම තමයි හමුදා කණ්ඩය ආවේ. මැෂින් ටිකක් වේලාසනින් ආව නම් තව ජීවිත ටිකක් බේරගන්න තිබුණා'' යැයි පැවසීය.
එසේම 2009දී වසරේදී කසළ ව්‍යාපාරිකයන් විසින් මුදල් ලබාදීමේ සිද්ධියක් ගැන අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
''සල්ලි දෙන අවස්ථාවේ හිටපු නාගරික මන්ත්‍රීතුමා මියගොස් තිබෙනවා. පාඨලී මහත්තයා කියාවි කවුද සල්ලි ගෙනාවේ කියලා. නාගරික මන්ත්‍රීතුමා මේ ළඟ කෙනෙක්. නමුත් මම සල්ලි ගත්තේ නෑ. මීතොටමුල්ලට කුණු දැමීම සඳහා මගේ අවසරය කොළඹ නගර සභාවට දුන්නේ හදිසි තීරණයක් විදියට වසර දෙකක කෙටි කාලයකට පමණයි.
එවිට භද්‍රානි තමයි කොමසාරිස්වරිය විදියට හිටියේ. එම හදිසි තත්ත්වය දිනයක් හෝ පනිනවා නම් විශාල වන්දියක් ගෙවන්න ඕන. එම ක්‍රියාමාර්ගය ගැනීමේ බලය තියෙන්නේ කොළඹ නගර සභාවට හෝ වෙනත් නගර සභාවකට'' යනුවෙන් පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා කීවේ මීතොටමුල්ල කසළ ප්‍රශ්නයට ආණ්ඩුව විසඳුමක් ලබා නොදුන්නේ කසළ ජාවාරම පිටුපස ආණ්ඩුවේ හිතවතුන් සිටින නිසා බවයි. එසේම කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී කසළ ප්රශ්නය විසඳා ගැනීමට ගත් උදසාහයත් ව්‍යවර්ථ වුණා. කිසිම විකල්ප වැඩපිළිවෙළක් ඇති කරන්නැතිව මහ ඇමතිතුමයි, චම්පික ඇමතිතුමයි කෝලාහල කරගත්ත එක විතරයි වුණේ.
මේ ප්රශ්නය පිළිබඳව අපි කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී විවිධ අවස්ථාවලදී වාද විවාද කළා. ඒකෙදි අපිට සිද්ධ වුණේ මහ ඇමතිතුමයි, චම්පික ඇමතිතුමයි ගහගන්නවා බලන් ඉඳලා ගෙදර යන්න මිසක් කිසිම ප්‍රතිඵලයක් අත්වුණේ නැහැ. අදත් ඒකම තමයි ඒ දෙන්නා කරන්නේ. කරදියානට කුණු දාන එක ගැන අධිකරණය දුන්නු නියෝගයෙන් අපිට එක දෙයක් පැහැදිලි වුණා. මේ දෙන්නා ගහගත්තට උසාවියට යන්නේ එකට. කොළඹ මහ නගර සභාවට උසාවියට යන්න අවසරයක් නැහැ.
කොළඹ නගර සභාව උසාවියට යනකොට බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය අධිකාරිය උසාවියට ලියුමක් දෙනවා අපිට පුළුවන් මේක බාරගන්න කියලා. සභාපතිතුමිය ගිහින් කියනවා උසාවි නියෝගය හින්දා අපිට බාරගන්න වෙලා තියෙනවා කියලා. එයාගෙ අධෂ්‍යක්ෂ නලීන් මාන්නප්පෙරුම ලිඛිතව දෙනවා අපි බාරගන්න ලෑස්තියි කියලා. කොළඹ නගර සභාව මීට කලින් කුණු ටික කොහොම හරි පාලනය කළා. නමුත් කරු ජයසුරිය නගරාධිපති වෙලා මේක පෞද්ගලික අංශයට ලබාදුන්නා.
අද නගර සභාව පෞද්ගලික අංශයත් එක්ක මුදල් ගරන ව්‍යාපාරයක් බවට මේක පත්කරගෙන ඉන්න නිසා තමයි මේක නවත්වන්න කවුරුවත් කැමති නැත්තේ. අද කවුරු ගහගත්තත් ගහගන්නේ කුණු ටික තියාගන්න තමයි. මේ කුණු ජාවාරමේ ඉන්නේ ඒ අයගේ හිතවත්තු. මම නම් කියන්නෑ. කොලොන්නාවට ගියාම හොයාගන්න පුළුවන් කවුද හම්බකරන්නේ කියලා, කරදියානට ගියාම පුළුවන් කවුද හම්බකරන්නේ කියලා හොයාගන්න. ඒ අය ආරක්ෂා කරන්න කුණු කන්ද අයින් කළේ නැහැ'' යැයි හෙතෙම පැවසීය.
මේ අතර උදය ගම්මන්පිල මහතාගේ නව පක්ෂ කාර්යාලය මේ සතිය මුලදී විවෘත විය. එහි පැවති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතාද කසළ ප්රශ්නය ගැන කතා කළේය.
''අද වැඩ බැරි ආණ්ඩුවේ වැඩ බැරි ඇමතිවරු සුපුරුදු පරිදි මේ සිදුවීමේ වගකීම හිටපු ආණ්ඩුවට පවරන්න අසාර්ථක උත්සාහයක යෙදී සිටිනවා. දෛවයේ සරදම කියන්නේ හිටපු ආණ්ඩුවට චෝදනා කරන වත්මන් ආණ්ඩුවේ නායකයන්, ප්‍රබල ඇමතිවරුන් ගණනාවක් හිටපු ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු. කසළ ප්‍රශ්නයට හිටපු ආණ්ඩුව වගකියන්න ඕන නම් ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් ගණනාවකට එම වගකීමෙන් මිදෙන්න බැහැ. ඇමති මණ්ඩලයක් විදියට සාමූහිකවයි තීන්දු තීරණ ගන්නේ'' යනුවෙන් පවසා සිටියේය.
මේ අතර බ්‍රහස්පතින්දා දිනයේදී මාධ්‍ය ප්‍රධානීන් හමු වූ ජනාධිපතිවරයා පැවසුවේ රජයේ වෙනසක් සිදුවන අතර, ආයතන ප්‍රධානීන් පවා වෙනස් කරන බවයි. එහිදී මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ අමාත්‍ය මණ්ඩලයේ වෙනසක් සිදුවනවාද යන්නයි.
''මැයි මාසේ වෙද්දි බලන්නකෝ'' යැයි ජනාධිපතිවරයා ඔවුන්ට සිනහවෙමින් පිළිතුරු දෙන්නට විය.
ජනාධිපතිවරයා මෙම හමුවේදී පැවසූ කාරණා එය අවසන් වනවාත් සමගම ඇමතිවරුන්ට ආරංචි වී ඇති අතර, එසැණින් අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාගේ හිතවතුන්ට ඇමතිවරු දුරකථන ත් වූහ. කෙසේවෙතත් මේවනවිට ඇමතිවරු සියලු දෙනා කලබල වී සිටින්නේ සිදුවන්නේ කුමක්දැයි ඔවුන් නොදන්නා බැවිනි.
දියවන්නාරාළ විසිනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd