Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජාතික සම්මාන පුදකිරීම සිදුවූයේ වසර 12කට පසුව වීම නිසාවෙන්ම එය සුවිශේෂී උළෙලක් විය.
ජාතික සම්මාන උළෙල 2017 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණි.
මෙහිදී ජාතික සම්මානයෙන් පුද දෙනු ලැබුයේ කලා, විද්‍යා, වීරවික්රම ආදී අංශ 11 යටතේ විශිෂ්ට සේවාවක නිරත වූ පුද්ගලයන් වෙනුවෙන් පුදගලයන් 90 දෙනෙකු සම්මාන ලැබීමට නියමිතව තිබූ අතර, පුද්ගලයන් 89 දෙනෙකු ජනාධිපතිවරයා අතින් සම්මානයෙන් පිදුම් ලැබීය.
විශිෂ්ටත්වය සිවිල් පුරවැසියන්ට පමණි
කලා ශිල්පී ලූෂන් බුලත්සිංහලද සම්මාන සඳහා නිර්දේශව තිබූ අතර, සම්මාන උළෙලට සහභාගී වීමට පැමිණීමේදී උත්සව භූමියේ සිය වාහනය නවතා තැබීමට ස්ථානයන් නොලැබීම හේතුවෙන් ඔහු දුෂ්කරතාවයකට පත්ව තිබුණි. ඒ හේතුවෙන් ඔහු සම්මානය ලබාගැනීම ප්රතික්ෂේපකර පිටත්ව ගොස් තිබුණි.
ජාතික සම්මාන සම්බන්ධයෙන් විශිෂ්ටයන් තෝරා ගැනීමේදී සිවිල් සහ ආරක්ෂක අංශ සමාජිකයන් ලෙස ආරම්භයේදී වර්ග කර නොතිබූ බැවින් මේ සඳහා ත්‍රිවිධ හමුදා තුළ රට වෙනුවෙන් දක්ෂතා දැක්වූවන් සම්මාන සඳහා ඉදිරිපත් කිරීමට රෙජිමේන්තු මට්ටමින් සුදානම් වෙමින් පැවතුණි.
ජාතික සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් ප්‍රධාන පරීක්ෂණ මණ්ඩලයට යොමුකරන ලෙස ආරම්භයේදීම ත්‍රිවිධ හමුදාව දැනුවත් කර තිබු බැවින් ඔවුන් මෙම කටයුත්ත ආරම්භකර තිබුණි.
ත්‍රිවිධ හමුදාව තුළ මේ සඳහා පරීක්ෂණ පවත්වා අවසන් පරීක්ෂණ මණ්ඩලය වෙත නිර්දේශ නාමයන් යොමුකර අවසන් වූ පසු ජාතික සම්මාන සිවිල් පුරවැසියන්ට පමණක් ලබාදීමට අවසන් පරීක්ෂණ මණ්ඩලය තීරණය කර තිබුණි. ඒ අනුව සම්මාන උළෙලේදී රට වෙනුවෙන් දක්ෂතා දැක්වූ සිවිල් පුරවැසියන් පමණක් ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විය.
ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ 75 වැනි සංවත්සරය යෙදී තිබුණේද පසුගිය සතියේය. රිදී ජුබිලිය සැමරීමට විද්‍යාලය දැවැත්ත උළෙලක් සංවිධානය කර තිබූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහි ප්‍රධාන ආරාධිතයා විය.
පෙර දිනයේදී පාසලේ සිසුවියන් මහත් වෙහෙසක් දරා උත්සව භූමිය අලංකාර කර තිබූ අතර, ප්‍රධාන වේදිකාවද මල් ආශ්රිත නිර්මාණයන්ගෙන් අලංකාර කර තිබුණි.
උත්සවය සඳහා පළමු ශ්‍රේණියේ සිට සිසුවියන් උත්සව භූමියේ වාඩි කරවූයේ දහවල් 12 ටය. උත්සවය පැවැත්වීමට නියමිත වූයේ පස්වරු 3.00ටය.
උත්සවය දින උදෑසන පැමිණි ජනාධිපති ආරක්ෂක අංශය සිසුවියන් අලංකාරකර තිබූ වේදිකා නිර්මාණ ඉවත් කරවූයේ අරක්ෂක හේතූන් මත යැයි පවසමිනි. පෙර දිනයේ එවැනි දැනුවත් කිරීමක් නොකර එම නිර්මාණ එසේ ඉවත් කරන විට පාසල් සිසුවියන්ගේ මුහුණු තුළ දිස්වුයේ දුක්මුසු ස්වභාවයකි.
උත්සවය පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතව තිබුණද ජනාධිපතිවරයාගේ පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් දරුවන් පාලනය කර ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශයට නොහැකි විය. කුඩා දැරියන් බැවින් ඔවුන්ට සැර වැර කිරීමට නොගිය ජනාධිපති ආරක්ෂක අංශය දැරියන් පාලනය කිරීම ශිෂ්‍ය නායිකාවන්ට පැවරුවද එය සාර්ථක කර ගැනීමට නොහැකි විය.
පැය ගණනක් එකම ස්ථානයේ දැඩි අපහසුවෙන් සිටීමට කුඩා දැරියන්ට නොහැකි වූ අතර, ඔවුන් ක්‍රමයෙන් නොසන්සුන් විය. කෙසේවුවද ජනාධිපතිවරයා උත්සවයට පැමිණියේ පස්වරු 4.30ද පසුවීය. දහවල් 12 සිට ඒ වන තෙක් දැරියන් එම ස්ථානයේ රඳවාගෙන සිටීමට පාසලේ ගුරුවරුන්ටද සිදුවිය. කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයා ධුරය භාරගන්නා අවස්ථාවේදී සඳහන් කරන ලද්දේ පාසල් දරුවන් අපහසුතාවයට පත්කරමින් උත්සව සිදුනොකළ යුතු බවත් එවැනි උත්සව සඳහා තමා සහභාගී නොවන බවත්ය.
අර්ජුන මුතුහෙට්ටිගමට දුන් උපදේශය
හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේ කටයුතු මෙවර කැබිනට් මණ්ඩලයේදී අවසන් වනු ඇතැයි කවුරුත් අපේක්ෂා කළහ. ඒ අමාත්‍ය මලික් සමරවික්‍රමගේද සහය ඇතිව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු එහි සහන ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබෙනු ඇති බවට පළවූ ඉඟි නිසාය. එය දැඩි අවධානයකට යොමු වූයේ වරාය විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග විදේශයක සිටියදී එම කැබිනට් පත්‍රිකාව විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමයි.
අමාත්‍ය අර්ජුන රණතුංග මේ දිනවල සිටින්නේ මොරොක්කෝවේ ඩක්ලා නගරයේ පැවැත්වෙන ක්‍රාන්ස් මොන්ටානා (Crans Montana Forum) සමුළුවට සහභාගී වීමට දිවයිනෙන් පිටව ගියේය. එබැවින් වරාය සහ නාවික වැඩබලන අමාත්‍ය ලෙස නිශාන්ත මුතුහෙට්ටගමට වැඩභාර දී තිබුණි.
දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ඇතුළු වරාය කළමනාකාරීත්වය කැඳවූ අමාත්‍ය අර්ජුන රණතුංග, නිශාන්ත මුතුහෙට්ටිගම දැනුවත් කර වරාය කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙසට ඔවුන්ට උපදෙස් දුන්නේය. එම සාකච්ඡාවේදී මූලික වශයෙන් හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේ ගිවිසුම්වල වත්මන් තත්ත්වය ගැනද අවධානය යොමු විය.
කෙසේනමුත් පූර්වයෙන් සිදුකළ ආරාධනාවක් නිසා මෙම සමුළුවට සහභාගී වීම හදිසියේ අවලංගු කළ නොහැකි බවත්, එසේ වුවහොත් ශ්‍රී ලංකාව ගැන තබා තිබූ විශ්වාසය පළුදු විය හැකි බවත් හෙතෙම පැවසීය. හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් දුරකථනයෙන් තමන් සම්බන්ධ කරගන්නා ලෙසටත්, රටට හානිදායක කිසිදු තීරණයක් ගැනීමට තමන් ඉඩ නොතබන බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ඇතුළු වරාය කළමනාකාරීත්වයට දන්වා තිබුණි.
කැබිනට් මණ්ඩලයේදී හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීමේ සහන ගිවිසුම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව නිරීක්ෂණ කිරීම සඳහා යොමු කෙරුණේ පසුගිය 17 වැනිදාය. කැබිනට් පත්‍රිකාව සමග ඉදිරිපත් කර තිබූ සහන ගිවිසුම අධ්‍යයනය කිරීමෙන් පසුව මේ සඳහා තවත් සති දෙකක කාලයක් ලබාදෙන ලෙස නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටි අතර, ජනාධිපතිවරයා එහිදී පැවසුවේ,
''හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සිදුකළ යුතු දෙයක් කියලා කවුරුත් දන්නවනේ. මේ වන විට ඒකට බොහොම කාලයක් ගතවෙලා. අපි මේක ඉක්මනට ඉවර කරන්න වෙනවා. අද මේකට කැබිනට් අනුමැතිය ලබාදෙමු. ක්‍රියාත්මක වෙන ආකාරය බලන්න කැබිනට් අනුකමිටුවක් පත්කරමු.''
ඒ අනුව හම්බන්තොට වරයා ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණි.
මන්ත්‍රිතුමා ඉක්මනට යන්න
තමාට ඇප ලබා නොදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ආරම්භකර ඇති උපවාසය පිළිබඳ මෙවර පාර්ලිමේන්තු සතියේදී දැඩි ලෙස කතාබහට ලක්විය. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ,
''උපවාස කර ඇප ලබාගන්න බැහැ. ඒකට හොඳ නීතිඥවරයෙක් අල්ලන්න.''
නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ කියා සිටින විට සියල්ලන්ම සිනහ වන්නට වූ අතර, 'ඇමතිතුමාට ඒ වෙනුවෙන් පෙනී සිටින්න බැරිද' යැයි මාධ්‍යවේදීන් අසන්නට විය.
''මම දැන් නියෝජ්‍ය ඇමතිවරයෙක්නේ.. ඒ නිසා බැහැ.''
එසේ පිළිතුරු දෙනවාත් සමගම එක් මාධ්‍යවේදියෙක් විමසන්නට වූයේ,
''ඇමතිතුමා මම දන්නෙ නැහැ ඔබතුමා පාර්ලිමේන්තු ගෘහපාලන සහ ආහාර කමිටුවේ ඉන්නවද කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන් ලෙමන් පෆ් දෙනවද?''
''ඒ ගැන උත්තරයක් දෙන්න මට බැහැ'' යැයි අජිත් පී පෙරේරා අමාත්‍යවරයා පැවසුවේ සිනහ වෙමිනි.
කෙසේ වෙතත් එදින පාර්ලිමේන්තුවේ සෑම තැනකදීම ලෙමන් පෆ් කතා ඇසෙන්නට විය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු හෝජනාගාරය දෙසට යමින් සිටින විට මුහුණට මුහුණ හමුවුණ ආණ්ඩු පක්ෂයේ ආමත්‍යවරුන් කිහිපදෙනෙක් පැවසුවේ,
''ආ මන්ත්රීතුමාලා පරක්කුයිද මන්දා. ඉක්මනට යන්න''
''ඇයි මොකද ඇමතිතුමන්ලා''
''අද ලෙමන් පෆ් පැකට් එක ගානෙ මන්ත්‍රීවරුන්ට දෙනවා. ඒක අරගන්න ඉක්මනට යන්න''
ඇමතිවරුන් එසේ කියන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැවසුවේ,
''අම්මෝ ඕවට උත්තර දෙන්න බෑනෙ ඇමතිතුමා. මොනවහරි කාල එන්නම්'' යැයි කියමින් ඔවුන් භෝජනාගාරයට යන්නට විය.
කවුරුත් කලබල වෙන්න එපා මම එක බලාගන්නම්
පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සතිය ආරම්භයේදීම පැවැත්වූයේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි. එහිදී රජය අපහසුතාවයට පත්කරන පිරිස අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමතිවරුන්ද සිටින බව සාකච්ඡාවට ලක්විය. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිහඬව සිටින්නේ ඇයිදැයි මන්ත්‍රීවරුන් බොහෝදෙනෙක් අදහස් දක්වන්නට විය. මේ සියල්ල අසා සිටි අගමැති රනිල් වික්‍රමසිංහ තරමක් දැඩි ස්වරයෙන් කියා ඇත්තේ,
''හරි මම ඒක ජනාධිපතිතුමා එක්ක කතා කරලා විසඳ ගන්නම්. මන්ත්‍රිවරු කලබල වෙන්න එපා'' යනුවෙනි.
ෆවුසිගෙයි පාලිතගෙයි බෑග් කෝ
පසුගිය 16දා උදෑසන 8.00ට පමණ අමාත්‍යවරුන් පිරිසක් කැසබලංකා ගුවන්තොටුපළට ළඟා වුණේ 17 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ක්රෑන්ස් මොන්ටානා ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහායි. පාලිත රංගේ බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, ඒ.එච්.එම් ෆවුසි හා අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් මෙම සමුළුව නියෝජනය කරනා ශ්‍රී ලංකා නියෝජිතයන්ය.
පාලිත රංගේ බණ්ඩාර හා දිලිප් වෙදආරච්චි යන අමාත්‍යවරුන් දෙදෙනා එක්ව මෙම ගමනට හවුල් වූ අතර, අනෙක් අමාත්‍යවරුන් වෙන් වෙන් වශයෙන් පැමිණීමට පියවර ගෙන තිබුණි. කසබ ලංකා ගුවන්තොටුපළේ සිට පස්වරු 3.30ට මොරොක්කෝ, ඩක්ලා නුවර බලා යාමට ගුවන් යානයක් සූදානම් කර තිබුණි.
එහි ගමන් ගැනීමට සියලු පහසුකම් සලසා ඇති බවට වූ නිවේදනය ලැබුණේ පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා වෙතයි. එම ගමනට කඩිමුඩියේ සූදානම් වීමට තවත් යානයකින් පැමිණි ඒ.එච්.එම් ෆවුසි අමාත්‍යවරයාද රංගේ අමාත්‍යවරයා ඇතුළු පිරිසට මුණ ගැසුණේය. එහෙත් එහිදී අලකලංචියකට මුහුණ දීමට ඔවුන්ට සිදුවුණේ ෆවුසි අමාත්‍යවරයාගේ ගමන් බෑගය අස්ථානගත වීම හේතුවෙනි.
මේ මොහොතේදීද ඇති වුණේ බලවත් කලබලකාරී තත්ත්වයකි. කසබ ලංකා ගුවන් බලධාරීන්ද මහත් කලබලයට පත්ව ඇති බවත් එහිදී දිස්විය. කෙසේවෙතත් මීළඟ ගුවන් යානයේ අදාළ ගමන් මළු එවන බවට වූ පොරොන්දුව මත අමාත්‍යවරු පිටත්කර යවන්නට ගුවන් බලධාරීන් කටයුතු කරන ලදී.
මේ අතර ඩක්ලා නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබූ යානයට අමාත්‍යවරුන් ගොඩවූයේ ගමන් මලු රහිතවය. ඒ සියලු ගමන්මලු විශේෂ ක්‍රමවේදයන් යටතේ යොමු කරන බවට වූ ගුවන් බලධාරීන්ගේ පොරොන්දුව මතයි.
ගුවන් යානයට ගොඩ වූ පාලිත රංගේ බණ්ඩාර හා ඒ.එච්.එම් ෆවුසි යන අමාත්‍යවරුන් වෙනුවෙන් යාබද විශේෂ ආසන පිළියෙල කර තිබිණි. එමෙන්ම පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා අසලින් අසුන්ගෙන සිටියේ ප්‍රංශ ජාතික කාන්තාවකි. ඇය කවුරුන්ද යන්න තහවුරු කරගැනීමට නොහැකි වූයේ ඇයට ඉංග්‍රීසි භාෂාව නොහැකි වීම හේතුවෙනි. මේ අතර රංගේ බණ්ඩාර අමාත්‍යවරයා ෆවුසි අමාත්‍යවරයාට කනට කර පැවසුවේ, ''ඇමතිතුමා බලන්නකෝ වචනයක් කතා කරන්නවත් විදියක් නෑනේ'' කියාය.
ඊට ප්‍රතිචාර දැක්වූ ෆවුසි අමාත්‍යවරයාද කනට කර පැවසුවේ, ''හිනාවෙන එකත් මදැයි අපිත් ඉතිං හිනා වෙවී යමු'' යි කියාය. ගුවන්යානය ඩක්ලා නුවරට ගොඩ බැස්සවීය. අමුත්තන් පිළිගැනීම සඳහා ද මොරොක්කෝ විශේෂ නියෝජිතයන් පැමිණ සිටි අතර ශ්‍රී ලාංකික නියෝජිතයන් උණුසුම් ලෙස පිළිගැනීමටද බලධාරීන් කටයුතු කරන අතරතුර ප්‍රංශ ජාතික කාන්තාවටද එම පිළිගැනීමම හිමිවිය. ඇයද මොන්ටානා සමුළුව නියෝජනය කරන්නට පැමිණි ප්‍රංශ ජාතික නියෝජිතවරියක බව අමාත්‍යවරුන් දේපළ හඳුනාගත්තේ එම අවස්ථාවේදීය.
සමුළුවට සමගාමීව දින කිහිපයක් ඩක්ලා නුවර රැඳී සිටියද පාලිත රංගේ බණ්ඩාර හා ඒ.එච්.එම් ෆවුසි යන අමාත්‍යවරුන්ගේ ගමන්මලු ලැබුණේ නැත. මේ නිසා ඔවුන් ගෙනගිය මුදල්වලින් අලුතින් ඇදුම් ගැනිමට ඔවුන්ට සිදුවිය. ඔවුන් දැන් ආපසු දිවයින බලා පිටත්වීමටද සූදානම්ය. එහෙත් විශේෂ ක්‍රමවේදය යටතේ එවන බවට වූ ගුවන් බලධාරීන්ගේ පොරොන්දුව ඉටුවූයේ නැත. කෙසේ වෙතත් ආපසු පැමිණීමට සියල්ල සූදානම් වීමට පැය දෙකකට පෙර එම ගමන්මලු ඔවුන් අතට පත්කිරීමට පියවර ගන්නට මොරොක්කේ ගුවන් බලධාරීන් පියවර ගෙන තිබිණ.
මම වරදින්නත් රාජිත හරියන්නත් විදිහක් නෑ
පසුගිය 21 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු කාමර අංක 04දී රැස්විය. විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. හබරාදූව රැස්වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. එය සාර්ථක කරගැනීමට අවශ්‍ය කාරණා රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරිපත් කළහ.
මෙතෙක් සංවිධාන කටයුතු සිදුකළ ආකාරය රමේෂ් පතිරණ හා මොහාන් සිල්වා පැහැදිලි කළහ. මෙම රැස්වීමට සහභාගි වූවහොත් බලාගන්නම් යැයි ආකාරයෙන් සන්ධාන ලේකම් මහින්ද අමරවීර පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත්ව තිබෙන බැවින් ඒ සඳහා මුහුණ දියයුතු බවද බොහෝ දෙනෙක් මෙහිදී පවසන්නට වූහ.
රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාගේ සහ මොහාන් සිල්වා මන්ත්‍රීවරයාගේ ආසන සංවිධායක ධුර ඉවත්කර තිබුණේ මේ අතරය. මේ ගැන කතා කරමින් රමේෂ් එහිදී සඳහන් කළේ හබරාදූව රැස්වීමේ සංවිධාන කටයුතු සාර්ථක වී ඇති නිසා දකුණු මහ ඇමති ශාන් විජයලාල් ඇතුළු පිරිස මෙය නතර කිරීම සඳහා නිරතුරුවම උත්සාහ කළ බවයි. ඒ වෙනුවෙන්ම 25 වැනි සංවත්සර සාදයක් ගාල්ලේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික මන්ත්‍රීවරුන්ට පවත්වා තිබෙන බවද ඔහු කීවේය. ''හැබැයි 25 වැනිදාට බලාගන්න පුළුවන් ගාල්ලේ බලය කාටද තියෙන්නෙ කියලා'' යනුවෙන් රමේෂ් කතාව අවසන් කළේය.
සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේ, විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ඇප අයදුම යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි. මේ වනවිට විමල්ද එම ස්ථානයේ සිටියේය.
මේක තනිකරම පළිගැනීමක්, කිසිදු හේතුවක් නැතිව මම හිරේ තියාගෙන ඉන්නෙ. මේ චෝදනාවට ලක්වුණු ලසන්ත අලගියවන්නටවත්, ආශු මාරසිංහටවත් පියවරක් අරගෙන නැහැ. මම අනුගමනය කරලා තියෙන්නෙ හිටපු ඇමතිවරයාගේ පූර්වාදර්ශය එක්ක. කලින් හිටිය රාජිත මටත් වැඩිය වාහන දීලා තිබෙනවා. එහෙනම් මම වරදින්නත් රාජිත හරි වෙන්නත් විදිහක් නැහැ. ඒ නිසා මම මාරාන්තික උපවාසයක් පටන් ගන්නවා'' විමල් කියාගෙන යන්නට විය.
වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා එයට මැදිහත්වෙමින් ''විමල් ඒක කරන්න එපා. අන්තිම පියවර විදිහට ඒක තියාගමු, අපි මේකට මැදිහත්වෙන්නම්. විමල් වීරවංශ කියන්නෙ පුද්ගලයෙක් විතරක් නෙවෙයි. අපිට විමල් වටිනවා. ඒ නිසා විමල් දැන්ම ඒ තීරණයට යන්න එපා'' යැයි පැවසීය.
එය අනුමත කළ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ,
''ඔව්. ඔව්. විමල් එවැනි දෙයක් දැන්ම කරන්න එපා. අපි කථානායකත් එක්කත් මේ ගැන කතා කරලා යමක් කරමු'' යනුවෙනි.
නමුත් විමල් දිගින් දිගටම පෙර ස්ථාවරයේම සිටි බැවින් ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පාහේ විමල්ගෙන් ඉල්ලා සිටියේ උපවාසයක් ආරම්භ නොකරන ලෙසයි. නමුත් විමල්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු තැන දිනේෂ් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දුරකථන ඇමතුමක් ගත්තේය.
විමල් උපවාසයක් කරන බව පැවසූ විට හිටපු ජනාධිපතිවරයා සියලු වැඩ අත්හැර පාර්ලිමේන්තුවට පැමිණි අතර, ඒ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම අවසන් වී තිබිණි. මන්ත්‍රීවරුන් ලොබියට පැමිණ සිටියහ. එහිදී විමල් සහ මහින්ද අතර සාකච්ඡාවක් පැවැත්විණි. මේ අවස්ථාවේ උපවාසයකට නොයන ලෙස මහින්ද දිගින් දිගටම ඉල්ලා සිටියද විමල් තීරණය වෙනස් කිරීමට සූදානම් වූයේ නැත.
''නෑ සර්, මම උපවාසයට යනවා. කන්නෙ නැතිව ඉන්න මට පුළුවන්'' විමල් දැඩිව කියන්නට විය.
අනතුරුව දිනේෂ්ට කතාකළ මහින්ද රාජපක්ෂ පවසා සිටියේ ඉක්මනින් කථානායකවරයා මුණගැසී පියවරක් ගන්නා ලෙසයි. එසැණින් කථානායකවරයාට දිනේෂ් සඳහන් කළේ විමල්ගේ ප්රශ්නය දෙස බලන ලෙසයි. කථානාකවරයාගේ කාමරයේදී දිනේෂ් තවදුරටත් සඳහන් කළේ, ''මෙතැනදී විමල්ට දැඩි අසාධාරණයක් වෙනවා. මහජන නියෝජිතයෙකුට මෙහෙම කරන්න දෙන්න පුළුවන්ද? මේක තනිකරම දේශපාලන පළිගැනීමක්. ඒනිසා කරුණාකරලා මේකට මැදිහත් වෙන්න.'' යනුවෙනි.
සාවදානව සවන්දුන් කථානායක කරු ජයසූරිය සඳහන් කළේ, ඒ පිළිබඳව සොයාබලා තීරණයක් ගන්නා බවයි. කෙසේවෙතත්
23 වැනිදා උදෑසන සිට විමල් ආහාර නොගෙන උපවාසය ආරම්භ කළේය. මේ ගැන ආරංචි වී මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් විමල් බැලීමට මැගසින් බන්ධනාගාරයට ගියහ.
අර ලිස්ට් එක මට එවන්න
අධ්‍යාපන අමාත්‍යාංශය තුළ සාමය හා සංහිඳියාව පිළිබඳ අධ්‍යාපන ඒකකයක් ස්ථාපිත කිරීම සිදුවූයේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙනි.
ශ්‍රී ලංකාව තුළ ජාතීන් හා ආගමික කණ්ඩායම් අතර සාමය හා සංහිඳියාව ඇතිකිරීම වෙනුවෙන් පාසල් අධ්‍යාපන පද්ධතිය හරහා ජාතික මට්ටමින් ක්‍රියාත්මක වීම මෙම ඒකකය පිහිටුවීමේ අරමුණ වී තිබිණි.
හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කළ චන්ද්‍රකා කුමාරණතුංග හිටපු ජනාධිපතිවරිය අමාත්‍යාංශයට පැමිණ අධ්‍යාපන පද්ධතියට අලුතින් හඳුන්වාදී ඇති නව ආදර්ශ සුහුරු පන්ති කාමර සහ අමාත්‍යාංශ නිලධාරීන්ගේ දරුදැරියන් වෙනුවෙන් නවීන පහසුකම් සහිතව ස්ථාපනය කර ඇති දිවා සුරැකුම් මධ්‍යස්ථානය නිරීක්ෂණයටද එක්වෙමින් ඒවා අගයන්ට විය.
''අධ්‍යාපන ඇමතිතුමා හොඳ දේවල් කරනවා. ඒවට අපේ සහයෝගය ඕනෑම වෙලාවක දෙනවා. මමත් හිටපු අධ්‍යාපන ඇමති කෙනෙක්. මගේ කාලයේදීත් මේවගේ ඒකකයන් පටන් ගත්තා. නමුත් පසුගිය කාලේ ඒවා නැවතිලා ගියා. අකිල ඇමතිතුමා මේ ඒකකය ආරම්භ කිරීම හොඳ පියවරක්'' යැයි හිටපු ජනාධිතිනිය කියන්නට වූවාය.
එම උත්සවය අවසානයේ තේපැන් සංග්‍රහයේදී හිටපු ජනපතිනිය සමග සුහද සාමිචියේ යෙදීසිටි අධ්‍යාපන ඇමතිවරයා පළාත් සභා සමග ඇති අර්බුදධය ඇයට කියන්නට විය.
''අපි කොච්චර හොඳ දේවල් සැලසුම් කරලා පළාත් සභාවලට යැව්වත් සමහර පළාත් සභා එක්ක කිසිම දෙයක් කරන්න බැහැ මැඩම්. ඒ ගැන නම් හරිම කනගාටුයි. අපි විදුහල්පති ප්‍රශ්නෙ විසඳලා අලුත් විදුහල්පතිවරුන්ව බඳවාගෙන පළාත් සභාවලට දැනුම්දුන්නා. ඒත් මේ වනතෙක් ඒකට සාධාරණයක් වෙලා නැහැ.''
''ආ ඇත්තද? මොනවද ඒ පළාත් සභා?''
''මම මේ ගැන ජනාධිපතියි අගමැතිටයි කිව්වා. අපි කොච්චර හොඳ දේවල් කරන්න හැදුවත් ඒවාට කිසිම ඉඩක් නැහැ පළාත් සභාවල.''
''ඔබතුමා හොඳ දේවල් කරනවා ඒක මම දන්නවා. ඒ පළාත් සභාවල ලිස්ට් එකක් දෙන්නකෝ. මම හොයලා බලන්නම්. අධ්‍යාපන වැඩකටයුතු සාර්ථක කරගන්න මම ස්වාධීනව හරි අකිලට උදව් කරනවා. අර ලිස්ට් එක මට එවන්න'' යැයි පැවසූ හිටපු ජනාධිපතිවරිය තවත් උත්සවයකට සහභාගී වීමට පිටව ගියාය.
අන්න ලිච්ඡවි පාලනයේ පිස්සෙක්
සතියක පාර්ලිමේන්තු තහනමකින් පසුව දිනේෂ් ගුණවර්ධන ගත වූ සතියේ පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි විය. 22 වැනිදා පැවැති සභා වාරයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණෙහි ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් බලපෑම් කර ඇති බවයි.
පසුගිය ආණ්ඩුව සමයේදී දෙහිවල ප්‍රදේශයේ තරුණයන් කිහිප දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධ විමර්ශනයක් පිළිබඳ මලිත් ජයතිලක මෙසේ බලපෑම් කර ඇතැයි අනුර කුමාර දිසානායක කීවේය. මෙම අවස්ථාව වනවිට මලිත් ජයතිලක මහතා පාර්ලිමේන්තුවේ නොසිටියේය. අනුරගේ කතාව ගැන ඔහුට ආරංචි වී තිබිණි. ඉන්පසුව 23 වැනිදා පැවැති සභා වාරයේදී චෝදනාවලට උත්තර බැඳීමට මලිත් ජයතිලක තීරණය කළේය.
ඒ අනුව මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ දැන හෝ නොදැන, නියමයෙන් හෝ අනියමින්, සෘජුව හෝ වක්‍රව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා නියෝජනය කරන්නෝ තරුණයන් පැහැරගැනීමට චෝදනාවට ලක්වූවන් බවයි.
නාවික හමුදාවේ නිල වශයෙන් ක්‍රියාත්මක වූ බුද්ධි නිලධාරීන් පත්ව සිටින අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සොයාබැලීම පමණක් තමන් කළ බවද මලිත් ජයතිලක ප්‍රකාශ කළේය. එය වරදක් වන්නේ කෙසේදැයි තමන් නොදන්නා බවත්, දැනට රටේ පවතින මූලික නීතිය අනුව ඔවුන් පිළිබඳ සොයා බැලීම වරදක් නොවන බවත් ඔහු සඳහන් කළේය. වැරදිකරුවන් නිදහස් කිරීමට පොලිස්පතිවරයා සමඟ කතා නොකල බවත්, අනුර කුමාර දිසානායක චෝදනා එල්ල කළ යුත්තේ කරුණු සොයා බලා බවත් හෙතෙම පවසා සිටියේය.
දිගාමුඩුලු දිස්ත්‍රික් එ.ජ.නි.ස. මන්ත්‍රී විමලවීර දිසානායක කවදත් සභාව උණුසුම් කරමින් ප්රතිපාර්ශ්වයේ විරෝධතා නොතකා කතා කරන මන්ත්‍රීවරයෙකි. 22 වැනිදා පැවැති සභා වාරයේදී විවාදයට ගැනුණේ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව සම්බන්ධ යෝජනාවකි. මෙහිදී විමලවීර අදහස් දක්වමින් කියා සිටියේ විමල් වීරවංශ හිරේ දමා ඇත්තේ නොකළ වරදකට බවයි.
ආශු මාරසිංහ සහ ලසන්ත අලගියවන්නට දඬුවම් ලබානොදීම නිසා වත්මන් ආණ්ඩුව දූෂිත එකක් බවත්, අගමැතිවරයා හිරේ දැමිය යුතු බවත් මන්ත්‍රීවරයා උස් හඬින් කියාගෙන ගියේය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ කතාව ඇල්ලුවේ නැත. නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා නැගී සිටිමින් කියා සිටියේ රහමෙර පාවිච්චි කර විමලවීර කතා කරන බවයි. මේ අවස්ථාවේදී විමලවීරට තවත් කේන්ති ගියේය. ''අන්න ලිච්ඡවී පාලනයේ පිස්සෙක්, නියම බේබද්දා එයා තමයි'' යනුවෙන් කීවේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ අවමගුලකට සහභාගි වීමට ගියේය. ඊට අමතරව මෙම සතිය තුළදී ඔහුට විහාරස්ථානවල උත්සව යෙදී නොතිබිණි.
කොළඹ මහ නගර සභාව එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් ලෙස මෙතෙක් කල් පැවතුණි. විශේෂයෙන් මැද කොළඹින් එ.ජා.ප.යට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබේ. බැසිල් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉලක්කය වී ඇත්තේ කොළඹ මහ නගර සභාවේ බලය ඩැහැගැනීමය.
කොළඹ නගර සභා සීමාවේ පිහිටි මාලිගාවත්ත ප්‍රදේශයේදී ඔහු රැස්වීමක් සංවිධානය කර තිබුණේ මුට්ටිය දැමීමට මෙනි. හිටපු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, කොළඹ හිටපු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් මෙම රැස්වීම සංවිධානය කර තිබිණි. බැසිල් රාජපක්ෂ, ජී.එල් පීරිස් ඇතුළු පිරිසක් රැලියට එක්ව සිටි අතර, සැලකිය යුතු ජන සහභාගිත්වයක්ද දක්නට ලැබිණි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන මට්ටමින් බලමණ්ඩලය පිහිටුවීම සඳහා සමාජිකයන් පත්කර තිබේ. ප්‍රා‘දේශීය සභා, නගර සභා මට්ටමින් සංවිධානාත්මක වැඩසටහන සිංහල අවුරුද්දට පෙර අවසන් කිරීම ඔවුන්ගේ සැලසුම වී තිබේ.
අගමැතිගේ උපන්දිනයට එන විශේෂ අමුත්තා කවුද?
අගමැති රනිල් වික්‍රමසිංහගේ 68 වැනි උපන්දිනය අදට (24දා) යෙදී තිබේ. මේ වෙනුවෙන් අද උදෑසන තේපැන් සංග්‍රහයක් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර, තේපැන් සංග්‍රහයෙන් පසුව විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව තිබේ. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් මෙන්ම පක්ෂයේ ප්රධානීන්ටද ආරධානා කර තිබේ.
අගමැතිවරයාගේ 67 වැනි උපන්දිනයේදී කේක් කැවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වන විට රුසියානු සංචාරයේ නිරතව ඇති බැවින් අද දිනයේ අගමැතිවරයාගේ උපන්දිනය සැමරීමට විශේෂ ආරධිත අමුත්තෙක් සහභාගී විමට බොහෝදුරට ඉඩ තිබේ. ඒ කවුරුන්දැයි බලාගැනීමට සියල්ලෝම උනන්දුවෙන් සිටිති.
දියවන්නා රාළ විසිනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd