මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස පත්වූවාට පසු රට තුළ විශාල කතාබහක් සහ උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවිය. එහිදී ඒ මහතා පොදු අපේක්ෂකයා බවට පත්කරවීමේ ක්‍රියාවලියට දායක වූ පිරිස් පිළිබඳවද සංවාදයට ලක්විය. මේ සංවාදය එකී කාර්යයේ පාර්ශ්වකරුවෙකු වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සමගිනි.
Q මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයෙකු බවට පත්වීම සම්බන්ධව ඔබේ අදහස?
ලංකා දේශපාලන ඉතිහාසයේ නිදහසින් පසු සිදුවන අතිවිශේෂම සිදුවීම හැටියටයි මම මෙය දකින්නෙ. මොකද 1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීමත් සමගම එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙක මේ රටේ සාම්ප්‍රදායික හතුරු බලවේගයක් බවට පත්වුණා. පාට වශයෙන්, ගම් වශයෙන්, පවුල් වශයෙන් දෙපැත්තකට බෙදුණා. අද ඒ යුගය අවසන් කරලා අලුත් දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට පාට, පක්ෂ නොබලා මේ රට දියුණු කිරීමට හැකි අලුත් බලවේගයක් ඇති කිරීමට තමයි අද මෛත්‍රීපාල සිරිසේන සාධකය වැදගත් වෙන්නෙ.
Q නමුත් මේ තුළින් එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැතිවුණා කියලා ආණ්ඩුව චෝදනා නගනවා?
ආණ්ඩුව දන්නවා මේ තුළින් ඒ අයගේ ඒකාධිපති සිහිනය බොඳවෙනවා කියලා. මේ රටේ නිදහසින් පස්සෙ වැඩි කාලයක් රට පාලනය කළේ එ.ජා.ප.ය. මේ නව සන්ධානය තුළින් අපි බලාපොරොත්තු වෙන්නෙ තමන්ගෙ රට වෙනුවෙන් පක්ෂය පවා දෙන්න නෙමෙයි, පාක්ෂිකයන්ට සාධාරණයක් කරන්න. විශේෂයෙන් ගම්වල අවුරුදු 20 ක් තිස්සේ දුක් විඳපු එ.ජා.ප. පාක්ෂිකයන්ට තමන්ටම කියලා ආණ්ඩුවක් ලැබෙනවා. මෙය කොළපාට ආණ්ඩුවක් නොවුණත් පොදු ජනතාවගේ ආණ්ඩුවක්.
Q පොදු අපේක්ෂකයා සෙවීමේ භූමිකාව පිටුපස ඔබ සහ චන්ද්‍රිකා මහත්මිය විශාල කාර්යභාරයක් සිදුකළා කියන්නේ ඇත්තද?
එතනදි විශාල කාර්යයක් කළේ චන්ද්‍රිකා මැතිනිය සහ රනිල් වික්‍රමසිංහ මහත්තයයි. මෙය අප කාලයක් තිස්සේ සාකච්ජා කරපු දෙයක්. මේ වගේ දේශපාලන සංස්කෘතියක් හදන්න ඕන කියලා චන්ද්‍රිකා මැතිනියට එදා ඉඳලම හිතේ තිබුණා. මෙය අපි කාගෙත් කැපවීම මත සිදු වූ දෙයක්.
Q එහි එක් ජවනිකාවක්ද ඔබ රජයට යන බව පවසමින් විදෙස්ගත වුණේ ?
මම කවදාවත් කොහේදිවත් කියලා නෑ පක්ෂය හැර යනවා කියලා. හැබැයි ඔය කතාවලට මුල් වුණේ ජනාධිපතිවරයා, බැසිල් ඇමතිවරයා සහ නාමල් මන්ත්‍රීවරයා මගේ නිවසට පැමිණීම වෙන්න ඇති. මම මේ අයව දන්නෙ මගේ දේශපාලනයේ මුල් කාලයේ ඉඳලා. ඒ අය මාව හමුවෙන්න එනව නම් එය ප්‍රතික්ෂේප කරන්න තරම් අසික්කිතයෙක් නෙමෙයි මම. දේශපාලනය කෙසේවෙතත් මිනිස්කම් අපට අතාරින්න බැහැ.
Q නමුත් එ.ජා.ප.යේ ඔබ යටතේ තිබූ සන්නිවේදන අංශය රනිල් මහතා යටතට ගැනීම නිසා ඔබ කලකිරීමෙන් සිටි බවට මත පළවුණා නේද?
ඕනම කෙනෙකුට රස්සාවක් කරද්දි වුණත්, දේශපාලනය කරද්දි වුණත් වරින්වර විවිධ කලකිරීම් ඇතිවෙන්න පුළුවන්. එ.ජා.ප.ය තුළ මට කලකිරීම් නැතුව නෙමෙයි. නමුත් මොන කලකිරීම් තිබුණත් රනිල් මහත්තයා ගැන මට තියෙන විශ්වාසය අල්පමාත්රයකින්වත් අඩුවුණේ නෑ.
මම ‘ම' පාර්ශ්වයේ ඉන්න වෙලාවෙ මට ආරාධනා කළාම පක්ෂයට එන්න කියලා, මම ඒ ආරාධනාව පිළිගත්තෙ එ.ජා.ප.ය ගැන තියෙන විශ්වාසයට වඩා රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා ගැන තියෙන විශ්වාසය නිසයි. මොකද ලිබරල් ප්රජාතන්ත්රවාදය ඉදිරියට ගෙනියන්න ලංකාවෙ ඉතුරුවෙලා ඉන්න අන්තිම නායකයා රනිල් මහත්තයා විතරයි. ඒ නිසා එතුමාගේ ප්‍රතිපත්තිය වෙනුවෙන් එදත් පෙනී සිටියා, අදත් පෙනී සිටිනවා.
Q ඔබට සිංගප්පූරුවේදී ෆොන්සේකා මහත්මය හමුවුණා කියන්නෙ ඇත්තද? එතනදි දේශපාලන කතාබහක් ඇතිවුණාද?
මම සිංගප්පූරුවට ගියේ වෛද්‍ය පරීක්ෂණවලට, එතුමත් ඇවිත් හිටියෙ ඒ දෙයටමයි. එක දවසක් දවල් භෝජනය අපි දෙන්නා එකට ගත්තා. නමුත් දේශපාලනය කතා කරන්න අවශ්‍ය වුණේ නෑ එතනදී.
Q මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩු පක්ෂයට අහිමිවීම කොයි ආකාරයෙන් බලපාවිද?
මෛත්‍රීපාල කියන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිර්ඝ කාලයක් එකදිගට මහලේකම් ධුරය දරපු කෙනා. ඒ වගේම අවුරුදු හතළිස් ගණනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරපු කෙනෙක්. මේ වගේ කෙනෙක් පක්ෂයට අහිමිවීම දරාගන්න බැරි තරම් පාඩුවක් වෙලා කියලා අද ආණ්ඩුවේ මැති ඇමතිවරු කතා කරන විදියෙන්ම පේනවා .
Q ආණ්ඩුවෙන් විපක්ෂයට එනවා කියපු ඇමතිවරු අද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නෙ ජනාධිපතිතුමා ළඟ ඒ අයගේ ෆයිල් තියෙන නිසාද?
අපි එනවා කියලා කාගෙවත් නම් ප්‍රසිද්ධ කළේ නැහැ, ආණ්ඩුවෙන්ම තමයි ඒවා වෙබ් සයිට්වල ප්‍රචාරය කළේ. ඒ අයම එනවා කියලා දාලා, දැන් ඒ අයම යන්නෙ නෑ කියනවා. නමුත් එන අමාත්‍යවරුන්ගේ ලිස්ට් එක තියෙන්නෙ අපි ළඟ. ඒ ගැන දන්නෙ අපි විතරයි.
ඉස්සරහට එය දැක බලාගන්න ලැබෙයි, අනිත් දේ මේ රජයේ ඉන්න හොරු, වංචාකාරයො ඔක්කොගෙම ෆයිල් එතුමා ගාව ඇති, ඒකනෙ ෆයිල් තියෙනවා කියන්නෙ, එතකොට මේ පාලකයා හොරු, තක්කඩි ආරක්ෂා කරනවනේ. ඒ නිසා සංදර්ශනය තාම පටන්ගත්තෙ නෑ. ඉදිරි දිනවල ඒක බලන්න පුළුවන් වෙයි .
Q ජනාධිපතිවරණය ඔබේ අපේක්ෂකයා ජයග්‍රහණය කළොත් පසුව මේ රටේ ජනතාවට මොනවගේ සහන ලැබිය හැකිද?
ජනාධිපතිවරයා වශයෙන් මෛත්‍රීපාල මහත්තයා සහ අගමැතිවරයා වශයෙන් රනිල් මහත්මයා ජනවාරි 10 දිවුරුම් දීලා සර්වපාක්ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරනවා. ඒකෙ ප්‍රධාන කාර්යය තමයි දින 100 න් ඒ කටයුතු අවසන් කරන එක. එහෙත් මේ ක්‍රමය යද්දි ජනතාවට කියන්න බෑනෙ සහන දෙන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනකම් ඉන්න කියලා.
ඒ නිසා අන්තර්පාලනය තුළදි ක්ෂණික සහන ලබාදීමේ ක්‍රමයක් හඳුන්වලා දෙනවා. තව විශාල කාර්යභාරයක් තියෙනවා. ඒ වගේම කියන්න ඕන මෙය එ.ජා.ප. පාක්ෂිකයන්ට පමණක් අත්වෙන සහනයක් නෙමෙයි. සියලු පක්ෂවල පාක්ෂිකයන්ට මෙය ලැබෙනවා වගේම රටේ මුළුමහත් ජනතාවටම සහන ලැබෙනවා. ඒ නිසා අපි කියන්නෙ පක්ෂ, පාට දැනට අමතක කරලා අප සමග එක්වන්න කියලයි.