1884 ඔක්තෝබර් මස 20 වැනිදා හාපිටිගම් කෝරළයේ උඩුගහ පත්තුවේ පිහිටි බෝතලේ නම් ගම උපන් ඩී.එස්. යන කෙටි නාමයෙන් ආදරයෙන් සිහිපත් කරන මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ දැක්ම හා ගමන් මග වූයේ සරුසාර ලක් පොළොවේ කෘෂිකර්මය නගාසිටුවීමත් ජනතාව සුඛිත මුදිත කොට බලශක්තියෙන් හා විධිමත් තාක්ෂණයෙන් දියුණු කොට රට සෞභාග්‍යමත් කිරීමත් ය.
මේ අරමුණ ඇතිව එතුමා නිදහසින් පසු පළමු රජයේ ප්‍රමුඛතාව ලබාදුන්නේ මෙතෙක් සහනාධාර මත යැපුණු රට සියලු අයුරින් සංවර්ධනය කිරීමටය. එතුමා අද කාලයේ ඇතැම් බුද්ධිමතුන් ලෙස හඳුනාගන්නන්ට වඩා විශිෂ්ට ගණයේ බුද්ධ්මතෙකු ලෙස දුරදක්නා නුවණින්ද ප්‍රායෝගිකව කටයුතු කරන්නට විශිෂ්ට හැකියාවකින්ද හෙබි නායකයෙකි. ගැමියන් අතර ගැමියෙකු ලෙසත් ගොවියන් අතර ගොවියෙකු ලෙසත් ගැමි ජනවහර මැනවින් පරිහරණය කරන්නෙකු ලෙසත් එතුමා ජනතා හදවතට ළං වූවෙකි.
ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහියට නගන විට එතුමා විසින් කරන ලද අමරණීය සේවාව පිළිබඳ මෙලෙස කෙටියෙන් පෙළගස්වන්නට අදහස් කළේ, එය ජන හදවත් තුළ අභිමානවත් සම්මානයට ලක්කිරීමේ අපේක්ෂාවෙනි.
-1915 දී ඇරඹුණු සිංහල මුස්ලිම් කෝලාහලය වකවානුවේදී එෆ්.ආර්. සේනානායක මහතාගේ නායකත්වයෙන් එවකට දිවයිනේ ප්‍රබල මහජන සංවිධානයක්ව පැවැති අමද්‍යප මහා සභාව, පරම විඥානාර්ථ සමිතිය, තරුණ බෞද්ධ සමිතිය එකට එක්ව ශක්තිමත්ව ක්‍රියා කරනු දුටු බ්‍රිතාන්‍ය රජය විසින් සේනානායක තුන්පොළ (ඩී.එස්., එෆ්.ආර්., ඩී. සී.) වහාම සිරභාරයට ගනු ලැබීය. සති ගණනාවක් එතුමා ඇතුළු පිරිස මෙලෙස කටුක සිරබත් කෑවේ සිංහල ජාතිය නිදහස් කරගැනීමේ පරම අදිටනින් යුතුවය.
- 1931 පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාවට මිනුවන්ගොඩ ආසන නියෝජිතයා ලෙස නිතරගයෙන් පත් එතුමාට කෘෂිකර්ම ඇමති පදවිය හිමි විය.
- ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිපත්තියට නව මුහුණුවරක් ලබාදුන් සේනානායක කෘෂිකර්ම ඇමතිතුමා 1933 දී ඉඩම් පනත සම්මත කරගත්තේය.
- 1934 දී මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරයට අඩිතාලම දමා ඇරඹුණු ජනපද ව්‍යාපාරය වවුනියාවේ සිට සිංහල පත්තු දක්වාද, ගල්ඔය මිටියාවතේ සිට පොතුවිල් දක්වාද, කන්තලේ, සේරුවිල, අල්ලයි, පුල්මුඩේ වැනි ප්‍රදේශ දක්වාද කඩිනමින් ව්‍යාප්ත කෙරිණි. අක්කර 1700ක ප්‍රදේශයක් පුරා පැතිරුණු කහගම කොලනියද, කලලුවැව වාරි ව්‍යාපාරයද, මිනිපේ ව්‍යාපාරයද, ගල්ඔය සේනානායක සමුද්‍රයද, ඩී.එස් සේනානායක මැතිතුමා කෙටිකලක් තුළ මෙරට කෘෂිකර්මයට මෙන්ම සිරිලක සියලු ජාතීන්ට කළ මෙහෙවර පිළිබිඹු කරන අනභිබවනීය සිහිවටනයන්ය.
-1939 වසරේදී පන්නල් ඔය ව්‍යාපාරය දියත් කිරීම සඳහා අඩිතාලම දැමූ එතුමා කළ කතාවේදී වියළි කලාපයේ ජනතාවට පානීය ජලය අත්‍යවශ්‍ය බව හා දරුවන්ට ඉගෙනීමට බාධා නොවන පරිදි පානීය ජලය ප්රමුඛතාවේ යුතුව ලබාදීමට ක්‍රියා කළ යුතු අයුරු පෙන්වා දුන්නේය. වසර 75කට වැඩි කාලයක් ගත වී අදත් ජනතාව දුක් විඳින්නේ පානීය ජලය නොමැතිවය. මේ වනවිට ඩී.එස්. සේනානායක ප්‍රතිපත්තිය නොසලකා හැරීමේ සරදමට අප මුහුණදී ඇති අයුරු මෙසේ පෙන්වා දිය හැකිය.
-1946 දී ඩී.එස්. තම කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ජාතියේ නිදහස් සටන වඩාත් තීව්ර කරමිනි. ඒ සමගම එක්සත් ජාතික පක්ෂය බිහිකිරීම සඳහා ක්‍රියා කරමින් එවකට සිංහල මහා සභාව, ලංකා ජාතික සංගමය, මුස්ලිම් සංගමය වැනි දේශපාලන සංගම් මෙන්ම ඉන්දියානු හා ලංකා දෙමළ නායකයන් රැසක් එකට එක් කිරීමටද එතුමාට හැකිවිය. මෙවන් එකමුතුවක් තුළින් ඉදිරියට පාතැබූ එතුමා 1948 පෙබරවාරි 04 වැනිදා ස්වාධීන ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් විය.
එතුමා ජාතික සමගිය ඉහළින්ම අගය කළ අතර, ශ්‍රී ලාංකේය ජාතික අනන්‍යතාව ගොඩනංවන්නට අත්‍යවශ්‍ය සාධකයන් මැනවින් හඳුනාගෙන, දුරදක්නා නුවණින් යුතුව ගොවි ජනපද ව්‍යාපාර හා එක්සත් ජාතික පක්ෂය පිහිටුවීම තුළින් සුවිසල් මෙහෙවරක් ක්‍රියාත්මක කළේය. එහෙත් ගොවි ජනපද ව්‍යාපාරයත්, ආර්ථික සංවර්ධන ක්රියාදාමයත්, ජාතීන් අතර සමගියෙන් ඉදිරියට යන්නට බිහිකළ එක්සත් ජාතික පක්ෂයත් ඒ අයුරින්ම පවත්වාගෙන යෑම පටු දේශපාලන ඉලක්ක හඹාගිය විවිධ නායකයන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ඉතා දරුණු ලෙස පරිහානියටත්, කඩාකප්පල් වීමටත් පත් විය. මෙය පසුකාලීන සිද්ධීන් හා ඇති වූ විනාශකාරී කුරිරු යුද්ධයටද මගපෑදූ ප්‍රධාන කරුණක් වූ බවට අද බොහෝ දෙනාගේ මතය වී ඇත.
- එතුමා ආගමික පුනරුදයක් ඇති කිරීමට වෙහෙර විහාර නවීකරණයට කටයුතු කර මහියංගණ පුදබිම ප්‍රතිසංස්කරණයට මුලපුරමින් මහියංගණ සෑරඳුන් ප්‍රතිසංස්කරණය ඇරඹීය. එහි ප්‍රතිඵලයක් ලෙස අද මහියංගණ නගරය ගොඩනැගෙන්නේද එම අඩිතාලම මතය. ත්‍රිපිටකය මුද්‍රණයට මූලික අත්තිවාරම දැමීය. අනුරාධපුර නව නගරය ඇති කළේය. රුවන්වැලි සෑරඳුන් ප්‍රතිසංස්කරණයට ප්‍රබල නායකත්වයක් දුන්නේය. එතුමා ශාසනයට කොතරම් කැපවුණිද යත්, තම මුතුන්මිත්තන්ගේ පරපුරෙන් පැවැති ඉඩකඩම් රැසක් එකතු කරමින් සුවිශේෂී සෙනසුනක් වන සල්ගල ආරණ්‍යය මුල් කොට බුදුසසුනට පුදනු ලැබීය.
නිදහස් මන්දිරය තැනීමත්, ඒ අවට පෙදෙස නිදහස් චතුරශ්‍රය ලෙස නම් කිරීමත් එතුමාගේ කාලයේදීම සිදුවිය.
- කොළඹ ක්රමයද එකල ඇරඹූ ශ්‍රී ලංකාවට මහඟු සේවාවක් වූ ව්‍යාපාරයකි.
- එතුමා මාධ්‍ය නිදහස අගය කළ නායකයෙකි. 1946 වනවිට ජනතාවට මාධ්‍ය ළංකරමින් මෙරට ගුවන්විදුලිය ඇරඹීමට කටයුතු සම්පාදනය කළේය.
- උඩවලව ජලාශ යෝජනා ක්‍රමය පිළිබඳ මූලික පිඹුරුපත් සකසන්නේද 1948 ඩී.එස්. අගමැතිතුමාගේ කාලයේදීය. එහි මූලික සමීක්ෂණ වාර්තාව 1954දී එළිදකින්නට හැකිවිය. පසුකලකදී ක්‍රියාත්මක කෙරුණු මිනිපේ ඇළ, කාගම සංවර්ධන ව්‍යාපාරය, තෝපාවැව සංවර්ධනය,
හුරුලුවැව ප්‍රතිසංස්කරණය ආදී වැදගත් ව්‍යාපෘතිද ඇරඹීය. අදටත් රිදීබැඳිඇළ ව්‍යාපාරය මගින් ප්රතිලාභ ලබන ජනතාව දහස් ගනණකි.
- වනසතුන්, වෘක්ෂලතා ඇතුළු පරිසරය, සංවර්ධනයේ නමින් විනාශ නොකොට මතු පරපුරට සුරක්ෂිතව බාරදීමට අපේක්ෂා කළ එතුමා 1938 වැනි ඈත කාලයක රුහුණ (යාල) හා විල්පත්තු අභය භූමි නීත්‍යනුකූලව ස්ථාපිත කළේය.
-ගලා යන ගංගා හරස් කොට ජල විදුලිය නිපදවීමට ආරම්භක පියවරක් ලෙස ලක්ෂපාන විදුලි බලාගාරය රටට හඳුන්වාදුන්නේ එතුමාගේ කාලයේදීය.
- 1923 දී ඇරඹුණු සමුපකාර ව්‍යාපාරයද එතුමාගේ සංකල්පයකි. එය ගොවි ජනපද ව්‍යාපාරයටද, දෙවැනි ලෝක යුද සමයේදීත්, පසුකාලීනවත් මහත් සේවාවක් කළේය.
- උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසමද එතුමා දියත් කළ උඩරට ගැමියාට මහඟු උපකාර වූ වැඩපිළිවෙළකි.
- ඩී.එස්. සේනානායක මැතිතුමා තුන්කල් දුටු ජන නායකයෙකි. එතුමා නිදහස් අධ්‍යාපනය හා මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය ඇති කළේය. නිදහස් අධ්‍යාපනය තුළින් බිහි වූ විද්වතුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් අද රටටම ආඩම්බරයකි. ලොවේ සෑම තැනකම අපේ නැණවතුන් කීර්තිමත් ලෙස බැබළෙන්නේ ඩී.එස්. සේනානායක නාමයද සදානුස්මරණීය ලෙස බබළවමිනි.
- නිදහස් සෞඛ්‍යය මගින් ජනතාව සෞඛ්‍ය සම්පන්න පිරිසක් බවට පත් කිරීම එතුමා දුටු තවත් ශ්‍රේෂ්ඨ සිහිනයකි.
- 1951-57 සය අවුරුදු සැලැස්ම තුළින් එතුමා අායෝජන වැඩපිළිවෙළක්ද ඇරඹූ අතර, එතෙක් තිබූ මුදල් මණ්ඩල ක්‍රමය වෙනුවට ශ්‍රී ලංකා මහ බැංකුව ඇරඹීමට සියලු කටයුතු සකසා තිබිණි.
-වසවිස නැති රටක් මුලින්ම ගොඩනගන්නට, රජරට සහලින් සමෘද්ධිමත් කරන්නට මුල් අඩිතාලම දැමුවේ එතුමා විසිනි. රජරට වැව් යළි ගොඩනගා, කුඹුරු අස්වද්දා, ජනපද පිහිටුවා, නව ගම්බිම් හා නගර උදා කිරීමේ නිදහස් ශ්‍රී ලංකාවේ මුල් සැලසුම්කරුවා ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණෝය.
අතීතයේ මෙන්ම වර්තමානයේද, අනාගතයේද, ඩී.එස්. නාමයට හිස නමා කෘතගුණ පූර්වකව අචාර කිරීම යුතුකම් හා සාරධර්ම ගරු කරන්නන්ගේ ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබිඹු කරන මහත්මා ගුණයකි.
ගල්ඔය මිටියාවතේ ජනතාව අදටත් දේවත්වයෙන් පුදසත්කාර පවත්වමින් වන්දනාමාන කරනුයේ ඩී.එස්. සේනානායක ශ්රීමතාණන්ටය.
ආචාර්ය අයි. දිසානායක මහලේකම් ඩී.එස්. සේනානායක ගුණ සමරු කමිටුව