ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින මතවාදය පක්ෂය දෙකඩ වන තැනට පත්වෙමින් තිබෙන බවට රට තුළ කතාබහක් ඇතිවී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ ප්‍රධාන කටයුත්ත සිදුකරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින සුළු සුළු පක්ෂ බවටත් චෝදනා එල්ලවී ඇත. මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ සිටින කණ්ඩායම් පාර්ලිමේන්තුව තුළ අශෝභන ලෙස හැසිරෙන බවටත් සඳහන් වන කාරණයකි.ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් අලුත් සන්ධානයක් ගොඩනගා එම සන්ධානය යටතේ මැතිවරණයට ඉදිරිපත් වීමටත් සැලසුමක් තිබෙන බවට රට තුළ කතාබහක් ඇතිවී තිබේ. මේ නිසා අද මේ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා සමග කතාබහක නිරත විය.
අලුත් සන්ධානය
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය සමග ගොනුවෙලා ඉන්න පක්ෂ සහ කණ්ඩායම් රාශියක් සිටිනවා. ඊට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය හා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂත් එක්කත් අලුත් සන්ධානය ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කරලා තියෙන්නේ. මේ අනුව ආණ්ඩු විරෝධී පුළුල් ජාතික පෙරමුණක් ගොඩනැගීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කරලා තියෙන්නේ. ඉදිරියේදී ඒ පිළිබඳව දැනගන්න ලැබේවි.
අලුත් සන්ධානයේ ඉලක්ක
ආසන්නයේදීම පැවැත්වෙන්න තියෙන්නේ පළාත් පාලන ආයතන මැතිවරණය. ඒ එන පළාත් පාලන ආයතන මැතිවරණයට ආණ්ඩු විරෝධී දේශපාලන බලවේගයකින් ඉදිරිපත් වෙනවා කියලා අපි පැහැදිලිවම කියලා තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කරන්න ඕන හංසයා ලකුණින්ද, බුලත් කොළයෙන්ද, අත ලකුණෙන්ද ඉදිරිපත් වෙන්නේ එහෙමත් නැත්නම් තනිවම කණ්ඩායමක් හැටියටද කියලා. ඒ එන කණ්ඩායම ඇතුළේ එක්සත් ජාතික පක්ෂය සමග හවුල් ගිවිසුමක් තියෙනවද නැද්ද කියලත් කියන්න ඕන.
හැබැයි අපේ කණ්ඩායම ඕනෑම වෙලාවක සූදානම් ආණ්ඩුව පරාජය කිරීමට එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත් වෙන්න. මෙතනදී අපි සැලකිල්ලට ගන්නවා මේ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කරන්නේ අවංකවම එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කිරීමට කියලා. අපේ දේශපාලන උපක්‍රම උපාය ක්‍රියාත්මක කරන්නේ ඒ අනුව.
සුහද ඇරයුම් මඟහැරයාම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අපේ කණ්ඩායම අතර ප්‍රශ්නයක් තියෙනවානම් එය විසඳාගන්න සාකච්ඡාවලට එන්න කියන එක බොහෝම හොඳයි. මොකද අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ පොදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තුළ මතවාද දෙකක් තියෙන කණ්ඩායම් ඉන්නවා. ඉන් එක් කණ්ඩායමක් තමයි එක්සත් ජාතික පක්ෂය සමග හවුලේ ඉතිරි අවුරුදු 05 ම ආණ්ඩුව කළ යුතුයි කියන කණ්ඩායම. අනිත් කණ්ඩායම තමයි එක්සත් ජාතික පක්ෂයෙන් වහාම ඉවත්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස වෙනම ආණ්ඩු කළ යුතුයි හා වෙනම දේශපාලනය කළ යුතුයි කියන කණ්ඩායම.
අපි කියන්නේ ඕනෑම වෙලාවක සාකච්ඡා කරන්න. හැබැයි සාකච්ඡා කරන්න එන්න කියලා ගෙට දාලා දොරවල් වහලා අවි ආයුධවලින්, පොලු මුගුරුවලින් පහර දෙනවානම් ඒ සාකච්ඡාවලින් කිසිම වැඩක් නැහැ. අද සිදුවෙන්නේ ඒකයි. එක පැත්තකින් සාමයට අතවනනවා. අනෙක් පැත්තෙන් සංවිධායක ධුරවලින් නෙරපනවා, සාමාජිකත්වය අත්හිටුවනවා, හිරේ දාලා අපහාස කරනවා. මේ තත්ත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් විය යුතුයි. එහෙම වාතාවරණයක් ඇතිවුණොත් විතරයි සාකච්ඡාවට යන්න පුළුවන් වෙන්නෙ.
කණ්ඩායම් දෙක එකතු වීම
රත්නපුරයේ හරි හැටන්වලින් හරි සිරිපා වඳින්න ගියාම මළුවේදී කණ්ඩායම් දෙකටම හමුවෙන්න පුළුවන්. හැබැයි සිරිපා මළුවට යන්නේ ශ්‍රද්ධාවෙන් නෙවෙයිනම් පාරවල් දෙකෙන් ගිහිල්ලා එකට හමුවෙලා වැඩක් නැහැ. මොකද ශ්‍රද්ධාවෙන් ගමන ගියේ නැති වුණොත් නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. නිවන් දකින්න නම් ශ්‍රද්ධාවෙන්ම යන්න ඕන. මම හිතන්නෙ නැහැ යහපාලන ආණ්ඩුව සමග එකතුවෙලා ඉඳලා සිරිපා වැඳලා නිවන් දකින්න පුළුවන් වේවි කියලා.
සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීම
ඒ ආසන සංවිධායකතුමන්ලා ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වෙන්නේ වර්තමාන පක්ෂ වැඩපිළිවෙළ තුළ විශාල කලකිරීමක් තියෙන නිසා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන පදනමක් තියෙන ආසන සංවිධායකවරුන් ඉවත් කරලා ඒ ඒ දිස්ත්‍රික්කවල පක්ෂයේ සාමාජිකත්වය කවදාවත් නොගත්ත එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය මැතිවරණවල තරග කළ ප්‍රා‘දේශීය සභා මැතිවරණවලට තරග කර පරාජයට පත්වූ අයට ආසන සංවිධායක ධුර ලබාදෙනවා. මෙන්ම මේ ප්‍රශ්න නිසා පක්ෂය ගැන, නායකත්වය ගැන සමහරුන් කලකිරිලා ඉන්නේ. මේ කලකිරීම නිසා තමයි සංවිධායකතුමන්ලා ඒ වගේ තීරණ ගන්නේ. ඒක ස්වාභාවිකයි.
ආසන සංවිධායක ධුර අහිමි වූවන්ගේ දේශපාලන අනාගතය
ඕක ගැන ඉතාමත් පැහැදිලි ලෙසම කියනවා නම් කවුරු පයින් ගහලා එලවලා දැම්මත් අපි වැටෙන්නේ එහෙම නැත්තම් ආසන සංවිධායක ධුර අහිමි වූ අය වැටෙන්නේ ජනතාවගේ ඔඩොක්කුවට. ආණ්ඩු විරෝධී ලෙස ඉඳලා පයින් ගහලා මොන තනතුරු නැති කළත් අපි ගිහිල්ලා වැටෙන්නේ ජනතාව ළඟට. හැබැයි ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච අය මොන තනතුරු ගත්තත් ඔවුන් වැටෙන්නේ කුණුබක්කියට. ඒක කවුරුත් දැනගන්න ඕන කාරණයක්.
පක්ෂය කැඩීමේ කොන්ත්‍රාත්තුව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින අනෙකුත් පක්ෂ කියලා චෝදනා කළත්, එම චෝදනාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එම චෝදනාවට අපි එකඟ වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි ආරම්භය වන 1956 බණ්ඩාරනායක අගමැති තුමාගේ ඉඳලා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය දක්වා සියලුම නායකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දැරුවත්, අපි ආණ්ඩු පිහිටලා තියෙන්නේ මේ රටේ වාමවාදී, ජාතිකවාදී, දේශප්‍රේම බලවේග හවුලෙන් තමයි ආණ්ඩු පිහිටුවලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම තරග කරලා ආණ්ඩු පිහිටුවලා නැහැ. එදා ආණ්ඩු පිහිටුවන්න හොඳ වුණු බලවේග අද නරක් වෙන්න විදිහක් නැහැ.
එහෙම අන්ත ප්රතිගාමී එක්සත් ජාතික පක්ෂය සමග එකතුවෙලා ආණ්ඩු කරනවාට වැඩිය නරකද මේ රටේ ජාතිකවාදී, වාමවාදී, දේශප්‍රේමී බලවේග සමග සන්ධානයක් ගොඩනඟන එක. මොකද මේ හැමදෙයක්ම කරන්නේ බලය ලබාගන්න. ඒ නිසා පැහැදිලිවම කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කිරීමේ කිසිම කොන්ත්‍රාත්තුවක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටි දැනට ඒකාබද්ධ විපක්ෂය සමග සිටිනා කුඩා කණ්ඩායම් සිදුකරන්නේ නැහැ. ඒ වගේම එහෙම අවශ්‍යතාවයකුත් නැහැ.
පක්ෂය කැඩීමේ උවමනාව
පක්ෂය කැඩීමේ උවමනාව ගැන කියනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භයේ සිට සාමාජිකව සිටි අභාවප්‍රාප්ත එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ කෙනෙක්. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කළා. අවසානයේ මොකද වුණේ? එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අරගෙන එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ 2010 මහ මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයෙකු වූ කරුණාරත්න පරණවිතාන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ආවා. මේ ආකාරයට කටයුතු කළ කිහිපදෙනෙක් ඉන්නවා. මෙන්න මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විෂබීජයක් වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ වික්‍රමසිංහ කල්ලිය මිසක් අපි සමග සිටින සුළු දේශපාලන පක්ෂ නොවෙයි.
පළාත් පාලන ආයතන මැතිවරණයට සූදානම් වීම
ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මහනගර සභා, නගර සභා, ප්‍රා‘දේශීය සභාවල හිටපු නගරාධිපතිවරු, සභාපතිවරු වගේම මන්ත්‍රීවරුන් විශාල පිරිසක් අප සමග සිටිනවා. ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට ඔවුන් ඉදිරිපත් වෙන්නේ ඒකාබද්ධ විපක්ෂය යටතේ. ඒ වගේම තවත් විශාල පිරිසක් ඒකාබද්ධ විපක්ෂය යටතේ තරග කිරීමට සූදානමින් ඉන්නේ. මේ නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට කරන්න තියෙන්නේ ඒ අයට උදව් කිරීම පමණයි. ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා බිම මට්ටමේ සියලුම කටයුතු කරමින් සිටින්නේ.
පාර්ලිමේන්තුව කැලෑවක් බවට පත්කිරීමේ චෝදනාව
අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත සම්මත කිරීමේදී පමණක් නොවෙයි විශේෂයෙන් 2015 අගෝස්තු 18 දිනෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ කැලෑ නීතිය රජ කරවන තැනට කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ චෝදනාව අපි කරනවා. මොකද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රශ්නයක් ඇහුවම බොහෝම සාවධානව පුංචි ළමයෙක් වගේ උත්තර දෙනවා. ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රශ්නයක් ඇහුවම ඉතාමත් හොඳට ලස්සනට පිළිතුරු දෙනවා. හැබැයි ඒකාබද්ධ විපක්ෂය ප්‍රශ්නයක් ඇහුවාම අපහාස කරලා, උපහාස කරලා, නින්දා කරලා, පාර්ලිමේන්තු සභා රීති සියල්ලම තුට්ටුවකට මයිම් නොකර, පාර්ලිමේන්තුව කෝලම් පිට්ටනියක් බවට පත්කළේ එක්සත් ජාතික පක්ෂයයි. අපිව පාර්ලිමේන්තුවට පත්කරලා තියෙන්නේ ජනතාව. ඒ කියන්නේ අපිට ජනතා වරමක් තියෙනවා. ඒ ජනතා වරමට පයින් ගහන්න හදනවා නම් අගමැති වික්‍රමසිංහ ප්රමුඛ කණ්ඩායමට රිදෙන ප්‍රතිප්‍රහාරයක් දෙනවා. ඒකට අපි කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ.
පක්ෂයේ සංවත්සරය
පක්ෂ සම්මේලනය පිළිබඳව ඒකාබද්ධයට නායකත්වය දෙන හිටපු ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළා. එතුමා ඉතා පැහැදිලිව කිව්වා තනි තීන්දුවලට කටයුතු කරන්න එපා කියලා. පක්ෂ බලමණ්ඩල රැස්කරලා බහුතරයේ කැමැත්ත අනුව තීන්දු තීරණ ගන්න කියලා දැනුම් දුන්නා. මේ අනුව ආසන බලමණ්ඩල කැඳවලා ඇහුවා සංවත්සරය ගැන. එතකොට සියලුදෙනාම කිව්වා සංවත්සරයට කිසිවෙකු සහභාගී නොවිය යුතුයි කියලා. මේ අනුව අපි සංවත්සරයට සහභාගි වෙන්නේ නැහැ.