රෝගීන් මෙන්ම නිරෝගී පුද්ගලයන්ද ඖෂධ නිසි ලෙස භාවිත කිරීම පිළිබඳ දැනගැනීම ඉතා වැදගත් වේ. අප රටෙහි සාක්ෂරතාව ඉතා ඉහළ මට්ටමක තිබෙන නමුත් සෟඛ්යමය සාක්ෂරතාව 50%කටත් වඩා අඩුය.
මේ හේතුව නිසාම නිවැරදි ලෙස ඖෂධ භාවිත කිරීම පිළිබඳ නොදැනුවත්භාවය නිසාම සිදුවන අනතුරු මෙන්ම මරණ සංඛ්‍යාවත්, අතුරු ආබාධත් ඉහළ ගොස් ඇත. සැබැවින්ම මෙය ඉතා බරපතළ ගැටලුවකි. එබැවින් රටේ මහජනතාව තුළ ඖෂධ භාවිතය සම්බන්ධ දැනුවත්භාවය ඉහළ නැංවිය යුතුය. මේ නිසාම ලෝක රෝගී ආරක්ෂක දිනය වෙනුවෙන් මාධ්‍ය සම්මන්ත්‍රණයක් පසුගියදා (13දා) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැත්විණි. 'හානි හා අතුරු ආබාධ අවම වන සේ ඖෂධ භාවිත කිරීමට මහජනතාව දැනගත යුතු කරුණු' සම්බන්ධව එහිදී සාකච්ඡා කෙරිණි. එහි ඇති වැදගත්භාවය නිසාම ඒ සම්බන්ධව ඔබව දැනුවත් කිරීමට 'අද' අපි තීරණයක් කළෙමු.
ඖෂධ නිවැරදිව භාවිත කිරීම සම්බන්ධව අප දැනුවත් විය යුතුය. ඔබ යම් රෝගයකට ඖෂධ ලබාගන්නේ නම් අනිවාර්යයෙන්ම ඒ ලබාගන්නා සෑම ඖෂධයක් සම්බන්ධවම දැනුවත්ව සිටිය යුතුය. ඒ ඖෂධය ලබාදී ඇත්තේ කුමක් නිසාද, ඒ ඖෂධයේ නම, මාත්‍රාව ආදී සියලු දේ පිළිබඳ ඔබ දැන සිටිය යුතුය. ඔබට වෛද්‍යවරයාගෙන් ඒ ලබාදෙන ඖෂධයන් සම්බන්ධව දැන ගැනීමට අයිතියක් ඇත. කිසිවිටකත් ඔබ ඒ සම්බන්ධයෙන් දැන ගැනීමට බියක්වත්, මැළිකමක්වත් දැක්විය යුතු නැත. එය ඔබගේ අයිතියක් මෙන්ම ඔබට ලබාදෙන ඖෂධ සම්බන්ධව දැනුවත් කිරීම වෛද්‍යවරයාගේ වගකීමද වේ.
අද බොහෝදෙනෙක් තමන් ලබාගන්නා ඖෂධ සම්බන්ධ නොදැනුවත්භාවය නිසාම හදිසි අනතුරකදී රෝහල්ගත කිරීමකදී ඔබ ලබාගන්නා ඖෂධ මොනවාදැයි විමසූ විට ඒ පිළිබඳ පැවසීමට නොදැනීමෙන් වෛද්‍යවරුන් අපහසුතාවට ලක්වේ. මේ හේතුව නිසා ඇතැම් අවස්ථා වල විවිධ අතුරු ආබාධවලට ලක්වන අවස්ථාද ඇත. එමෙන්ම මරණයට පත්වන අවස්ථාද ඇත. මේ නිසා ඔබ ලබාගන්නා ඖෂධයන් සම්බන්ධව ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතුය.
සංවර්ධිත රටක් වන ඇමරිකා එක්සත් ජනපදයේ පවා සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ සිදුවන වැරදි හේතුවෙන් වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 180,000ක් පමණ වේ. එවන් දියුණු රටක එපමණ මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ නම් අප වැනි රටක වසරකට කොපමණ සංඛ්‍යාවක් මේ හේතුවෙන් මිය යනවා ඇත්ද?
මේ හේතුව නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය අභියෝගය වනුයේ 2022 වන විට ඖෂධ වැරදීම් හේතුවෙන් සිදුවන බරපතළ හානි 50෴කින් වැළැක්වීමය. ඒ නිසා අන්තර්ජාතික මට්ටමෙන් මේ සඳහා විවිධ වූ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරමින් සිටී.
එසේම ඖෂධ ලබා ගැනීමේදී වැරදි සිදුවිය හැකි අවස්ථා 06ක් ඇත. ඒවා නම්,
ඖෂධ නියම කිරීමේදී
ඖෂධ පිටපත් කිරීමේදී
සපයන හෝ විසුරුවා හැරීමේදී
ඖෂධ ලබාදීමේදී
අධීක්ෂණය කිරීමේදී (රෝහලකදී)
මෙවැනි අවස්ථාවලදී ඖෂධ ලබා ගැනීමේදී වැරදි සිදුවිය හැකිය. එසේම ඖෂධයක් වැරදීමට තවත් හේතුවක් වනුයේ සමහර ඖෂධවල නාමයන් සමාන ආකාරයෙන් ශබ්ද වීමයි. ඒ නිසා ඔබ ප්‍රතිකාර ගැනීමේදී වෛද්‍යවරයාගෙන් ඒ ඖෂධවල නාමයන් නිවැරදිව විමසා දැන ගැනීම වැදගත් වනවා සේම ඔබ ඒ ඖෂධ ඔසුසලෙන් ගැනීමේදී ඖෂධවේදීන්ගෙන් ඒ සම්බන්ධව අසා දැන ගැනීමටද ඔබට අයිතියක් ඇත.
එසේම ඖෂධ වැරදීම් සිදුවීමට තවත් හේතුවක් වනුයේ සමාන පෙනුමක් ගැනීමයි. ඒ නිසා ඔබ ඖෂධ ලබාගැනීමේදී ඒ ලබා දී ඇත්තේ නිවැරදිම ඖෂධයද යන්න පරීක්ෂා කිරීම වැදගත් වේ. මන්ද වැරදි ඖෂධ ශරීරගත වීමෙන් විවිධ අතුරු ආබාධවලට මුහුණ දීමට සිදුවන බැවිනි.
උදාහරණයක් ලෙස Warfarin, Heparin, Insulins, Antidiabetics ඖෂධ වැරදීමකින් භාවිත කළහොත් ඉතා අවදානම්ය. සමහර විට මරණය පවා සිදුවිය හැකි.
යම් ඖෂධයක් ගැනීමෙන් ඔබට කැසීමක්, පළු දැමීමක් හෝ කුමන හෝ අපහසුතාවක් ඇති වුවහොත් ඒ සම්බන්ධව වෛද්‍යවරයා දැනුවත් කළ යුතුය. එවැනි ආසාත්මිකතා මීට පෙරද සිදු වී ඇත්නම් ඒ කුමන ඖෂධය භාවිතයෙන්ද යන්න ඔබ දැන සිටිය යුතුය. මන්ද හදිසි රෝහල්ගත කිරීමකදී ඒ සම්බන්ධව ඔබ වෛද්‍යවරයා දැනුවත් නොකළහොත් ඔබට නැවත ඒ ආසාත්මිකතාවලට ලක්විය හැක.
ඔබ අනිවාර්යයෙන්ම ඖෂධයක් ලබා ගැනීමේදී පහත කරුණු සම්බන්ධව දැනුවත් විය යුතුය.
ඖෂධයේ නම
ඖෂධයේ මාත්‍රාව
කුමන රෝගය සඳහා භාවිත කරනවාද?
කීවරක් ගත යුතුද?
ඖෂධය ගබඩා කළ යුත්තේ කෙසේද?
ඖෂධය ලබා ගැනීමෙන් සිදුවිය හැකි අතුරු ආබාධ මොනවාද
(උදා -: යකඩ අඩංගු විටමින් වර්ගයක් ඔබ ලබාගන්නවා නම් මලපහ කළු පැහැයට යාම )
එසේම බොහෝදෙනෙක් සිදුකරන වැරැද්දක් වනුයේ සමහර රෝග තත්ත්වයන්වලදී මේ ඖෂධය හොඳ යැයි කියා හිතුමනාපයට ඖෂධ භාවිත කිරීමයි. සමහර විට ඔබ ඒ භාවිත කරන ඖෂධය ඔබට නුසුදුසු විය හැකිය. ඒ නිසා සෑමවිටම ඖෂධ ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් අනුව භාවිත කිරීම වඩාත් සුදුසු වේ.
මෙලෙස දැනුවත් භාවයකින් ඖෂධ භාවිත කරනවා නම් සිදුවිය හැකි අනතුරු සහ ආබාධ පහසුවෙන් වළක්වා ගත හැකිය. ඒ නිසා මින් පසුව ඖෂධ ලබා ගැනීමේදී සැලකිලිමත් වන්න.