මෙරට ජනතාවගෙන් 99%කට වැඩි ප්‍රමාණයක ප්‍රධාන ආහාරය බත්ය. මේ නිසා රට තුළ අනාදිමත් කාලයක සිට සහල් ලබාගැනීම සඳහා වී වගා කටයුතු කරනු ලබයි. යල සහ මාස්කන්න වශයෙන් වගා කන්න දෙකක් යටතේ වී වගාව සිදුකරන නිසා වර්තමානය වන විට රට සහලින් ස්වයංපෝෂිත වී තිබෙන බවට පසුගිය කාලය පුරාම රට පාලනය කළ පිරිස් සඳහන් කළ කාරණයකි.
රට සහලින් ස්වයංපෝෂිත වුවත් වී අස්වැන්න වෙළෙඳපොළට පැමිණ සතියක් දෙකක් ගත වන විට සහල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ යාම සිදුවේ. එහෙත් අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙන විට ගොවි ජනතාව සඳහන් කරනු ලබන්නේ ව්‍යාපාරිකයන් විසින් තම අස්වැන්න සොච්චම් මුදලකට මංකොල්ලකා ගත් බවටය. අද දවස වන විට මේ තත්ත්වයම රටට උදාවී තිබෙන අතර, මීට මාස දෙකකට පෙර වී අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව ගොවීන් ළතවුවත් අද වන විට සහල් මිල රුපියල් 100කට ආසන්න මුදලක් ඉක්මවා ඉහළ ගොස් තිබේ. මේ නිසා මේ පිළිබඳව අද එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා සමග කතාබහක නිරත විය.
සහල් පරිභෝජනය හා වී නිෂ්පාදනය
ආසන්න වශයෙන් එක් පුද්ගලයෙකුට එක් දවසකට සහල් කිලෝග්‍රෑම් 300 ත් 350 ත් අතර ප්‍රමාණයක් අවශ්‍යයි කියලා තමයි ගණනය වෙලා තියෙන්නේ. මේ නිසා දෛනිකව රටට සහල් මෙට්‍රික් ටොන් 6000ක් වත් අවශ්‍යයි. පොදුවේ කියනවා නම් දැනට කරපු සමීක්ෂණවලට අනුව මේ රටේ ජනතාවගෙන් එක්කෝටි හැටලක්ෂයක් තුන්වේලම බත් කන බවට තහවුරුවෙලා තියෙනවා. ඒ වගේම ලක්ෂ 40ක් පාන්පිටි ආශ්රිත ආහාර සහ බත් ආහාරයට ගනිමින් ජීවත් වන බවටත් තහවුරුවෙලා තියෙනවා. වී නිෂ්පාදනය ගත්තම යල කන්නයට වී මෙට්‍රික් ටොන් විසි දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයකුත්, මාස් කන්නය ගත්තොත් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයකුත් නිෂ්පාදනය වෙනවා. මෙම ප්‍රමාණය රටට ලැබෙන නිසා වී වලින් ස්වයංපෝෂිතයි කියල කියන්න පුළුවන්.
සහල් මිල තීරණය කිරීම
වර්තමානය ගත්තොත් එහෙම නැත්නම් 1993 වසරින් පසු මේ රටේ සහල් මිල තීරණය කරන්නේ මහා පරිමාණ මෝල් හිමියන් 03 දෙනෙක් විසින්. වර්තමානය ගත්තොත් ඒකට තවත් මහා පරිමාණ මෝල් හිමියන් දෙදෙනෙක් එකතුවෙලා තියෙනවා. මේ අනුව රටේ සහල් මිල වර්තමානයේදී තීරණය කරන්නේ මහා පරිමාණ මෝල් හිමියන් පස්දෙනෙක් විසින්. පොදුවේ කියනවා නම් පාරිභෝගික කටයුතු අධිකාරියේ මීට පෙර මිල පාලනයක් තිබුණා. එදා තිබූ මිල පාලනයට අනුව නාඩු සහල් කිලෝවක් අලෙවි කළ හැකි වන්නේ රුපියල් 66ක උපරිම සිල්ලර මිලකට. සම්බා සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 77යි. ඒත් කියන්න කණගාටුයි ඒ මිල මෙරට තුළ දැන් ක්‍රියාත්මක නැහැ. මහාපරිමාණ මෝල් හිමියන් ගැන කතා කරන විට ඔවුන් මොන ආණ්ඩුව ආවත්, ආණ්ඩු සමග සම්බන්ධකම් පවත්වනවා. සමහර මෝල් හිමියන්ගේ සහෝදරයෝ දේශපාලනඥයන්.
අධික ලෙස සහල් මිල ඉහළ යාම
මේ වන විට ඒ දේ සිදුවෙමින් තියෙනවා. මොකද වී අස්වැන්න විශාල ලෙස වෙළෙඳපොළට මීට මාස දෙකක් වගේ කාලයක් එනකම් පැමිණියා. ඒ වගේම කියන්න ඕන මේ වසරට අදාළ කන්න දෙකම වගා උනා. ඒක නිසා වී හිඟයක් ආවෙ නැහැ. වී හිඟයක් ආවෙ නැහැ කියල කියන්නේ සහල් හිඟයක් නැහැ කියන එක. ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ. කුඹුරු කපාල පාගලා මාස දෙකක් යන කොට සහල් කිලෝවක් රුපියල් 75 යි 80යි. සමහර ප්‍ර‘දේශවල රුපියල් 100ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ අනුව මෙතන තියෙන්නේ කෘත්‍රිමව සහල් මිල ඉහළ දැමීමක්. පොදුවේ කියනවා නම් මේක ජාවාරම්කාර ක්‍රියාවක්.
ආණ්ඩුවේ සහතික වී මිල
මෙතනදී කියන්න ඕන කාරණයක් තමයි වී මිලදී ගැනීමට ආණ්ඩුව සහතික මිලක් නියම කරනවා. මේ අනුව වර්තමානයේදී නාඩු වී කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 38ක මුදලකට. සම්බා වී කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 41කට. හැබැයි සමස්ත අස්වැන්නෙන් මිලදී ගන්නේ 5% යි. රටේ සහල් මිල පාලනය කිරීමට මෙම ප්‍රමාණය ඇතියි කියල තමයි හිතන්නේ. ඒත් ප්රශ්නය තියෙන්නේ ආණ්ඩුව, එහෙම නැත්නම් රජය මිලදී ගන්න වී තොග සහල් බවට පත්වෙලා වෙළෙඳපොළට එන්නෙ නැහැ. මෑතකාලීනව ගත්තොත් සිදුවන්නේ යල කන්නයට මිලදී ගන්න වී ටික මාස් කන්නයේ වී මිලදී ගන්න ගබඩා ඕන නිසා සහතික මිලට ගත්ත හොඳ වී ටික මහා පරිමාණ මෝල් හිමියන්ට විකුණලා දාන එක. පසුගිය මාස් කන්නය ගත්තොත් රජය ගත්ත වී 5% ප්‍රමාණය යල කන්නයේදී පෞද්ගලික අංශයට විකුණුවා. යල කන්නයේ මිලදී ගත්ත වී ටික දැන් විකුණා දමන්න සැලසුම්කරලා තියෙන්නේ.
රජයේ යුතුකම හා වගකීම
රජයේ යුතුකම හා වගකීම වන්නේ සහතික මිලට ගන්න වී ටික වෙළෙඳ පොළේ සහල් හිඟයක් මවාපාන්න පෞද්ගලික අංශ මහා පරිමාණ මෝල් හිමියන්ට ඉඩ ලබා නොදී මේ රටේ ජනතාවට සාධාරණ මිලකට සහල් ලබාදීම. ඒත් සිදුවන්නේ සහතික මිලට ගන්න වී ටික ගත්ත මිලටත් වඩා අඩුවෙන් මහාපරිමාණ මෝල් හිමියන්ට දෙන එක. ආණ්ඩුවලට ඕන උනොත් සහතික මිලට ගත්ත වී ටික සත්ත්ව ආහාරවලට උනත් විකුණන්න පුළුවන්. එහෙමවෙලා තියෙනවා. අද දවස ගැන කතා කරනකොට පසුගිය කන්නයේදී ආණ්ඩුව නාඩු වී කිලෝවක් ගත්තේ රුපියල් 38ට. සම්බා වී කිලෝවක් ගත්තේ රුපියල් 41කට. අද වන විට වී කිලෝවක අවම ගැනුම් මිල රුපියල් 50යි.
මොකද මේ වනවිට කිසිදු ස්ථානයක අස්වැන්න නෙළීමක් සිදුවෙන්නේ නැහැ. සහල් මිල ගත්තොත් රුපියල් 75න් එහා දැන් ආණ්ඩුව රටේ ජනතාවට ආදරය කරනවා නම් කරන්න ඕන ගත්ත සහල් ටික වෙළෙඳ පොළට දාලා කෘත්‍රිමව හදල තියෙන සහල් මිල පහළ දමන එක. ඒත් ඒ දේ නොකර ආණ්ඩුව මිලදී ගත්ත වී ටික රුපියල් 44 ගානේ විකුණනන්න අවශ්‍ය කටයුතු කරනවා. එතකොට වෙන්නේ දැනට වගා කරල තියෙන කුඹුරුවල අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙන තෙක් මහා පරිමාණ මෝල් හිමියන් හතර පස්දෙනෙකුට සහල් මිල හැසිරවීමේ අවස්ථාව ලබාදීම. මේ නිසා අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ සහල් මිල පාලනය කරන්න රජය සතු ආරක්ෂිත වී තොග සහල් කරන්න කියලා. ආණ්ඩුවට වී සහල් කරන්න මෝල් නැත්නම් අපිට දෙන්න වී ටික. අපි සහල් බවට පත්කරලා ආයිත් ආණ්ඩුවට දෙන්නම්. ඒ සඳහා අපිට කෙටුම් කුලිය විතරක් දුන්නාම ඇති.
කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ඇති හැකියාව
අප සංගමය ගත්තොත් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් තමයි ඉන්නේ. ඒ වගේම වී මිලදී ගැනීමේදී අපට ගන්න පුළුවන් වෙන්නේ සමස්ත නිෂ්පාදනයෙන් 35% ක් වගේ ප්‍රමාණයක්. රජය 5%ක් ගන්නවා. මේ අනුව ඉතිරි 60% මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකු විසින් ගන්නවා. කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් දැඩි දුෂ්කරතා මධ්‍ය‘යේ තමයි වී මිලදී ගන්නේ. මොකද බැංකු ණයක් වුණත් ගන්න ගියාම සෑහෙන්න කාලයක් ගත වෙනවා. ණය ගත්තත් සහන නැහැ. මේ නිසා මිලදී ගන්න වී ටික දවසින් දෙකින් සහල් බවට පත්කරලා වෙළෙඳ පොළට නිකුත් කරනවා. ඒක නිසා අස්වැන්න වෙළෙඳ පොළට ඇවිල්ල මාසයක් දෙකක් යනකොට කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ළඟ ආරක්ෂිත වී තොග නැහැ.
වර්තමානය ගත්තොත් මේ වන විට එකඟත්වයක් ඇතිවෙලා තියෙන්නේ. දැන් ආරක්ෂිත වී තොග තියෙන්නේ මහා පරිමාණ මෝල් හිමියන් හතර පස්දෙනා සතුවයි. ඔවුන් සතු වී තොගයේ විශාලත්වය සමස්ත වී නිෂ්පාදිතයෙන් 60% ක්. ඒක නිසා මේ වනවිට අපිට සහල් වෙළෙඳපොළ පාලනය කරන්න බැහැ. අපිට පුළුවන් කාලෙ කළා. දැන් තියෙන එකම ගැලවීම තමයි රජය සතු වී ටික. ඒත් රජය ඒක නිසිලෙස කළමනාකරණය කරන වගක් පේන්න නැහැ. හැබැයි සහල් මිල ඉහළ යාම පිළිබඳව අපිටත් දැඩි චෝදනා එල්ල වෙනවා. ඒකට අපිට කරන්න කිසිම දෙයක් නැහැ.
සහතික මිලට වී නොගැනීම
යම් කාලයක් ඔවැනි චෝදනාවක් එල්ල වුණා. පසුගිය මාස් කන්නය ගත්තත් සියලුම මෝල් හිමියෝ ගත්තෙ සහතික මිලට අඩුවෙන්. මොකද ඒකට හේතුවක් තිබුණා. ඒ වන විට වෙළෙඳපොළේ සහල් මිල ඉතාමත් පහළ මට්ටමක තිබුණේ. ඒත් පසුගිය යල කන්නය ගත්තොත් සිදුවුණේ රජයේ සහතික මිලට සාපේක්ෂව සහ ඊට ඉහළ මිල ගණන්වලට වී මිලදී ගැනීම. අද දවස වන විට වී කිලෝවක ගැනුම් මිල රුපියල් 50 ඉක්මවලා තියෙනවා. මේ අනුව සහතික මිලට වඩා රුපියල් 12කටත් වැඩි මුදලකට තමයි වී මිලදී ගන්නේ. මේ හැම එකකටම තියෙන උත්තරය තමයි සහල්වලට පාලන මිලක් නියම කිරීම. එතකොට ඕන කෙනෙක් දන්නවා වී මිලදී ගන්න ඕන මුදල. ඒත් පාවෙන මිලක් සහල්වලට තියෙද්දි වැඩි මුදලකට වී මිලදී ගන්න බැහැ. මේ හරහාත් යම් විකෘතිතාවයක් ඇති වෙනවා.
මධ්‍ය පරිමාණ හා කුඩා පරිමාණ මෝල් ගැටලුවලට මුහුණදීම
1993 වසරින් පසු කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ගැටලු ගණනාවකට මුහුණ දෙන්න සිදුවුණා. අද දවසේදීත් ඒ ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. මොකද මහා පරිමාණ මෝල් හතර පහක් පවත්වාගෙන යන්න රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. බැංකුවල සහයෝගය ලැබෙනවා. මේ නිසා එක මට්ටමේ තිබුණ මෝල් වලින් හතර පහක් ඉතාමත් කෙටි කාලයක් තුළ ඉහළට ගියා. මොවුන්ට ලැබුණු සහයෝගය නිසා ඒ අය තම කර්මාන්තවලට හොඳ තාක්ෂණයක් යොදා ගත්තා. වී මිලදී ගැනීමේ ශක්තිය වැඩි වුණා.
ගබඩාකර ගැනීමේ ශක්තිය වැඩි වුණා. මේ නිසා මෝල් හිමියන් හතර පස්දෙනාට අවුරුද්දක කාලයකට වුවත් වී ගබඩාකර ගැනීමට හැකියාව ලැබුණා. ඒත් කිසිදු අනුග්‍රහයක් නොමැති මෝල් ටික එදිනෙදා මිලදී ගන්න වී ටික සහල් කරලා කර්මාන්තය පවත්වාගෙන යන තැනට පත්වුණා. 2000 වසර වන විට රට තුළ මෝල් 2000ක් විතර තිබුණා. අද වනවිට පූර්ණ ක්රියාකාරීත්වයේ තියෙන්නේ මෝල් 200ක් වගේ ප්‍රමාණයක්. මේ රටේ වී කර්මාන්තය ශක්තිමත්. මේ රටේ වී කර්මාන්තය ශක්තිමත් කිරීමට හා පාරිභෝගිකයන් ශක්තිමත් කිරීමට තම රට තුළ මධ්‍ය හා කුඩා පරිමාණ මෝල් නිසි ලෙස පවත්වාගෙන යන්න ඕන. ඒ සඳහා පහසුකම් ලබාදීම රජය සතු වගකීමක්.
බැංකු ණය
මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනාට අස්වැන්න වෙළෙඳ පොළට එනකොටම අවශ්‍ය තරම් ණය ලබාදෙනවා. ඒත් කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ මෝල් හිමියන් වී අස්වැන්න මිලදී ගන්න ණයක් ඉල්ලුවාම ණය මුදල දෙන්නේ වී අස්වැන්න වෙළෙඳ පොළට පැමිණ මාසයක් ගත වුණාට පස්සේ. කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට යම් සහනයක් හරි ලැබුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදීයි. ඒ මහතා එතෙක් තිබුණ ණය මුදල් කපා හැරීමට කටයුතු කළා. එදා එය කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට විශාල සහනයක් වුණා.
ගොවීන් ශක්තිමත් කිරීම
මෙම කර්මාන්තය පවත්වාගෙන යාමට නම් ගොවීන් මුලින්ම ශක්තිමත් කළ යුතුයි. මොකද මෙරට ගොවියා වී ටික ලබාදුන්නේ නැති වුණොත් මෝල් හිමියන්ට සහල් බවට පත්කරන්න වී නැති වෙනවා. මේ නිසා ගොවියා ශක්තිමත් කරලා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කළොත් සමස්ත පාරිභෝගිකයා ආරක්ෂා වෙනවා. එහෙම නැතිව මේ යන විදිහට ගියොත් තව අවුරුදු 06ක් ගත වෙනකොට මේ රටේ සහල් කර්මාන්තය පාලනය කිරීම පවුල් දෙක තුනක් සතුවෙයි. එදාට මේ රට දැඩි අර්බුදයකට ලක්වෙනවා. ඒ සඳහා දැන්ම ඉඳලා සැලසුම් සකස් කළ යුතුයි.