මෑත කාලීනව ධීවර ක්ෂේත්රය පිළිබඳව කතාබහක් ඇතිවූයේ ඉන්දියානු ධීවරයෙකු මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීමේදී මෙරට ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්වූ යැයි චෝදනා එල්ලවීම සම්බන්ධයෙනි. එය එසේ සිදුවෙද්දී අද වනවිට ධීවර ක්ක්ෂේත්රයේ ප්‍රශ්න රැසක් නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධව හා ඉන්දියානු ධීවරයාගේ ඝාතනය සම්බන්ධව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා සමග 'අද' කළ සංවාද සටහනකි මේ.
Q ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමා ආක්‍රමණය කරමින් මසුන් ඇල්ලීම සම්බන්ධ ගැටලුව තවමත් විසඳී නැහැ නේද?
ඉන්දියානු ධීවර යාත්‍රා මෙරටට පැමිණීමේ ගැටලුව වසර ගණනාවක් තිස්සේ සිදුවුණා. විශේෂයෙන් මේ සඳහා ආණ්ඩුව නිසියාකාරව මැදිහත් වීමක් සිදුවුණේ නැහැ. උතුරේ ධීවර ප්‍රජාව මෙයට එරෙහිව විරෝධතා දක්වුවා. වගකියුතු පාර්ශ්ව එක්ක සාකච්ඡා කළා. නමුත් විසඳුමක් ලැබුණෙ නැහැ. හැම අවස්ථාවේම රජය කළේ ප්රශ්නය මගහැරීම පමණයි. මේක රාජත්‍රාන්ත්‍රික ප්‍රශ්නයක් ලෙස සැලකුවේ නැහැ.
Q පසුගියදා දෙරටේ රාජ්‍ය නිලධාරින් අතර සාකච්ඡාවක් පැවතුණා. ඒ තුළින් විසඳුමක් ලැබුණෙ නැත්තෙ ඇයි?
දෙරටේ රාජ්‍ය නිලධාරීන් සාකච්ඡා කරලා මේ ප්රශ්නය විසඳන්න බැහැ. දෙරටේ රාජ්‍ය නායකයන් හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කළ යුතුයි. ඒ නිසා මේ සාකච්ඡාව අසාර්ථකයි කියනවා හැරෙන්න වෙන කියන්න දෙයක් නැහැ. සාකච්ඡාව සම්බන්ධව ධීවරයන් දැනුවත් කළෙත් නැහැ. මේක කිසියම් ආකාරයේ ධීවර ප්‍රජාව මුලාවට පත්කිරීම සඳහා කළ සාකච්ඡාවක් පමණයි.
Q එසේ මුහුදු සීමාව උල්ලංඝනය කර පැමිණෙන ධීවරයන්ට දඬුවම් ලබාදෙන පනතත් තවම සංශෝධනයට ලක්ව නැහැ නේද?
ඇත්තටම ඔව්. ඉන්දියානු ධීවරයන් අප මුහුදු සීමාව උල්ලංඝනය කිරීමෙන් පසුව ධීවරයන් අත්අඩංගුවට ගෙන, යාත්‍රා රාජසන්තක කරන්න, නීති සකස් කරන්න, 1979 අංක 59 දරණ විදේශීය ධීවර යාත්‍රා පනත සංශෝධනය කරලා කියලා කාලයක් තිස්සෙ අපි කිව්වා. නමුත් ආණ්ඩුව කරන්නෙ අංක 49 /48 දරණ ආගමන හා විගමන නීතියට අනුව අත්අඩංගුවට ගෙන නිදහස් කිරීමයි. ඒ නිසයි අපි කියන්නෙ ආණ්ඩුව මේ ප්‍රශ්නයට නිසියාකාරව මැදිහත්වීමක් තවම සිදුවෙලා නැහැ කියලා.
Q මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙසින්ද ඉන්දියානු ධීවරයෙක් වෙඩිතබා ඝාතනය කළ බවට මෙරට ආරක්ෂක අංශයට චෝදනා එල්ල වෙන්නෙ?
ඔව්. රාමක්රිෂ්ණවල ධීවරයෙක් ඝාතනය කරලා එහි වරද මෙරට නාවික හමුදාව මත පටවලා තියෙනවා. මෙය අප දකින්නෙ අපේ රජයටත් නාවික හමුදාවටත් අපකීර්තියක් අත්කර දෙන්න ඉන්දියාව කළ උපක්‍රමයක් ලෙසයි. නවික හමුදාව මෙහෙම දෙයක් කළා කියලා අප විශ්වාස කරන්නෙ නැහැ. මෙය ඉන්දියාවේ තවත් එක උපක්‍රමයක් විදියටයි අප දකින්නෙ.
Q 2017 අයවැයෙන් ධීවර ක්ෂේත්රයට රජය වෙන්කළ මුදල් ප්‍රමාණය පිළිබඳව ඔබ සංගමය පසුගිය කාලයේ දැඩි විරෝධයක් පළකළා නේද?
මෙවර අයවැයෙන් ධීවර ප්‍රජාවට රජය වෙන්කළේ අර ගොනුස්සාට විෂ දුන්නා වගේ වැඩක්. සක්රදේවේන්ද්රයා විෂ බෙදලා බෙදලා අවසානයේ ගෝනුස්සා ගියාට පස්සෙ විෂ ගන්න, අනේ ඉතුරු වෙච්ච ටික මගේ පස්ස පැත්තෙන් තියන්න කිව්වා වගේ දෙයක් තමයි අද ධීවර ප්‍රජාවට වෙලා තියෙන්නෙ. අප රටේ ධීවර ක්ෂේත්රය ගත්තට පස්සෙ වැටීමකට ලක්වෙලා තියෙනවා.
රටේ නිෂ්පාදන අර්ථිකයට සෘජුවම දායකත්වය ලබාදෙන්න පුළුවන් කර්මාන්තයක්. හැබැයි කියන්න කනගාටුයි දළ දේශීය නිෂ්පාදන දායකත්වය 1.8%ක ප්‍රමාණයක්. රටේ මේ වගේ ප්‍රභවයක් තියාගෙන සංවර්ධනයේ මූල්‍ය උපායක් වශයෙන් ධීවර කර්මාන්තය ප්‍රධාන කර්මාන්තයක් සේ නොසලකා හරිනවා කියන්නෙ තමන්ගේ දේශපාලන උවමනාව මත පමණක් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා ඇරෙන්න මේ කර්මාන්තය රැකගන්න දියුණු කරන්න උත්සාහයක් නැති බව පැහැදිවම මෙවර අයවැයෙන් පෙනෙන්නට තිබෙනවා.
Q නමුත් ධීවර අමාත්‍යවරයා පවසනවා ඇතිතරම් මුදල් වෙන්කරලා තියෙන්නෙ කියලා?
මුදල් වෙන්කළ පමණින් ඒක සාර්ථක වෙන්කිරීමක් කියලා කියන්න බැහැ. මේ වෙන්කළ මුදල ධීවර කර්මාන්තය සඳහා වෙන්කළ මුදලක් කියලා අපි විශ්වාස කරන්නෙත් නැහැ. මොකද මේ වෙන්කරලා තියෙන්නෙ රටේ ධීවර ක්ෂේත්රය පිළිබඳව ගවේෂණයක් කරලා නෙමෙයි. සාගර සම්පත පිළිබඳව ආණ්ඩුවට තිබිය යුතුයි දැක්මක්. නමුත් එහෙම දෙයක් නැහැ. මේ වෙන්කළ මුදල හුදෙක් තම දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පමණක් බව පැහැදිවම කියන්න ඕන.
Q එය කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයෙන් ධීවර ඇමතිවරයාත් වෙනස් කිරීමට නියමිත බවට මත පළවෙනවා නේද?
ඔව්. ධීවර අමාත්‍යවරයා වෙනස් කරනවා කියලා ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ කරනවා. ඇමතිවරයා වෙනස් කරන්නෙ දේශපාලන උවමනාව මත පමණයි. නැතුව අමාත්‍යාංශයේ තියෙන දුර්වලතා හා ප්‍රගතිය බලලා නෙමෙයි. ඒ නිසා මේ ක්‍රමවේදය වෙනස් කරන්නෙ නැතුව පුද්ගල මාරුවකින් කවදාවත් රටට සංවර්ධනය ලබාදෙනවා කියලා විශ්වාස කරන්න බැහැ. මේ ක්‍රමවේදය වෙනස් කරලා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මේ රටේ තිරසාර සංවර්ධනයක් වෙයි කියලා අපි විශ්වාස කරන්නෙත් නැහැ.
Q මෑත කාලීනව ධීවර කර්මාන්තය දියුණු වෙලා තිබෙනවාද? නැද්ද?
2014 වර්ෂය ගත්තාම ලංකාවට ගෙනාපු මත්ස්‍ය ආශ්රිත ආහාර ගත්තොත් අමු මාළු, ටින් මාළු, උම්බලකඩ, කරවල ඇතුළු මෙට්‍රික් ටොන් හැත්තෑ අටදහසයි. එය 2016 වෙනකොට මෙටි්රක් ටොන් එක්ලක්ෂ පහළොස්දහසකින් වැඩිවෙලා තියෙනවා. එතකොට මත්ස්‍ය අපනයනය 2014දී මෙටි්රක් ටොන් විසිතුන්දහසයි. 2016දී එය මෙටි්රක් ටොන් 16,000යි. මේ අගයන් ආසන්න අගයටයි මම කිව්වේ. එතකොට මෙයින් පැහැදිලි වෙනවා මත්ස්‍ය අපනයනය ගෙවීගිය වසර දෙක තුළ මෙටි්රක් ටොන් තිස්හත්දහසක් වැඩිවෙලා තියෙනවා.
මත්ස්‍ය අපනයනය මෙටි්රක් ටොන් හත්දහසක් අඩුවෙලා තියෙනවා. එතකොට මේ දත්ත බැලුවාම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙටි්රක් ටොන් දාසයදාහක් වැඩිවෙලා තියෙන්නෙ මත්ස්‍ය පරිභෝජනය වැඩිවෙලා කියලා. කිසිසේත්ම එහෙම වෙලා නැහැ. වෙලා තියෙන්නෙ නිෂ්පාදනය අඩුවෙලා. ඒනිසා රටේ ධීවර කර්මාන්තය දියුණු වෙලා නම් මේකෙ අනිත් පැත්ත තමයි වෙලා තියෙන්න ඕන.
Q ධීවර කර්මාන්තයෙන් ධීවර ප්‍රජාව ඈත්වෙන බවට විවිධ පාර්ශ්ව චෝදනා නගනවා. මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේද?
එහි කිසියම් දුරට සත්‍යතාවක් තියෙනවා. එකක් පූර්ණකාලීන ධීවර රැකියාව කළ අය අද අර්ධකාලීන අය බවට පත්වෙලා. ඒ අය වෙනත් විකල්ප ආදායම් මාර්ගයක් කරන ගමන් තමයි මේ රැකියාවේ නිරත වන්නෙ. එයට මූලිකම හේතුව තමයි ධීවර කර්මාන්තයේ ගරුත්වය නැතිවීම. එයට ආණ්ඩුව වගකිව යුතුයි.
මේ තත්ත්වය මත තමන්ගෙන් පස්සෙ තම දරුවා මේ රැකියාවට සම්බන්ධ නොකිරීමේ දැඩි අවදානමක් තිබෙනවා. රජයක් විදියට මෙයට මැදිහත් වෙලා සොයාබලා කටයුතු කළ යුතුයි. නැතිනම් රට වටේට මුහුද තිබුණාට වැඩක් නැහැ. ධීවර කර්මාන්තයේ යෙදෙන්න පිරිසක් නැති තත්ත්වයක් ඇති වුණොත්. ඒ නිසා දැන්ම මේ සම්බන්ධව කටයුතු කළ යුතුයි කියලයි මගේ අදහස.
Q අප රටේ ධීවර කර්මාන්තය නගාසිටුවීම සඳහා ඔබ විසින් ඉදිරිපත් කරන යෝජනා මොනවාද?
එකක් තමයි රටට ධීවර ප්‍රතිපත්තියක් නැහැ. එය සකස් කළ යුතුයි. ඊළඟට 1980 ගණන්වලින් පසුව මේ සම්පත පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් නැහැ. ගණනයක් නැහැ. එය සකස් විය යුතුයි. නව තාක්ෂණය හා නව පන්න ක්‍රම ධීවරයන්ට හඳුන්වා දිය යුතුයි. මත්ස්‍ය අස්වැන්නට වටිනාකමක් ලබාදිය යුතුයි.
ධීවරයන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕන. රැකියාවේ වටිනාකම ඇගයීමට ලක්වෙන්න ඕන. නැංගුරම්පොළ, තොටුපළ සංවර්ධනයට ප්‍රමාණවත් මුදල් වෙන්කළ යුතුයි. මේ දෙවල් කරන්න පුළුවන්නම් අපේ රටේ ධීවර කර්මාන්තය නගාසිටුවිය හැකියි. නමුත් කනගාටුවට කරුණ එහෙම දෙයක් අපේ රටේ සිදුනොකරන එකයි.