මාදුළුවාවේ සෝභිත හිමියන් මෙරට දේශපාලන ක්ෂේත්රයේ නිතර කතාබහට ලක්වන චරිතයකි. මේ දිනවල උන්වහන්සේ ගැන කතාවෙන්නේ පොදු අපේක්ෂකයෙකු තෝරගැනීමට වෙහෙසන නිසාවෙනි. එසේ පොදු අපේක්ෂකයෙකු අවශ්‍ය වන්නේ ඇයිදැයි සෝභිත හිමියෝ මෙසේ පැහැදිලි කළහ.
Q ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු තෝරාගැනීමට ඔබවහන්සේ ඇතුළු පාර්ශ්ව කිහිපයක් උත්සාහ දරන බව පේනව. ඇත්තටම මේ මොහොතේ පොදු අපේක්ෂකයෙකුගේ අවශ්‍යතාවක් තියෙනවාද?
මේ රටේ සිදුවන අයුක්තිය, අසාධාරණයට එරෙහිව සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය සකස් කළ වැඩපිළිවෙළක් තියෙනවා. එහි පළමු කාරණය තමයි පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි යන්න. එය 1978 සිට අද දක්වා ක්‍රියාත්මක වෙනවා. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එදා තදබල ලෙස විරෝධය පළකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.
ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා කොළඹ ඉඳන් කතරගමට ගියා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා වගේ අය මේකෙ තියෙන අහිතකර බව එදා රටටම කිව්වා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිවරණය දින නියම කළා අහෝසි කරන බවට. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මහින්ද චින්තනයේ වාක්‍යයක් වෙන්කරලා තියෙනවා බලයට පත්වුණාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය පවරනවා කියලා
ඒ තත්ත්වය එන්න එන්න වර්ධනය වෙලා අද එක්සත් ජාතික පක්ෂය තමන් හදාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කළ යුතුයි කියන තීරණයට ඇවිත් තියෙනවා. මහනායක හාමුදුරුවරු මේකෙ වෙනසක් කරන්න කියලා දෙතුන් වතාවක් කියලා තියෙනවා. කාදිනල්තුමා ප්‍රධාන බිෂොප්වරු සියලු දෙනා අත්සන් කරපු ඒකාබද්ධ ප්රකාශනයක මේ පිළිබඳව සඳහන් කර තිබුණා. ජනතා විමුක්ති පෙරමුණත් විරුද්ධයි. මේ විදියට මොනම රටකවත් ජනතාවට පිළිකුල් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වෙනවද? මුළු රටම මෙයට විරුද්ධයි.
ඔබට මතකද සමසමාජ පක්ෂ සම්මේලනයෙදි කථානායක චමල් රාජපක්ෂ මහත්තයා ප්‍රකාශයක් කළා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට. ඩිව් ගුණසේකර ඇමතිතුමා කිව්වා මේ ක්‍රමය නිසා මුළු පාර්ලිමේන්තුවම අක්රියවෙලා කියලා. මේක ව්‍යවස්ථාවට වගකියන්නෙත් නැති, අධිකරණයට වගකියන්නෙත් නැති, ඒ සියල්ලටම ඉහළින් ඉන්න තනතුරක්.
ඒ නිසා මේ තුළ සිදුවන අසාධාරණකම් රාශියක් තියෙනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ජනතාවට වුණ පොරොන්දුව ඉටුකරන්න කියලා. මුළු පාර්ලිමේන්තුවටම පක්ෂවුණු 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළේ ඇයි කියලා එතුමාගෙන් අපි අහනවා. ඒ නිසා මේවා ක්‍රියාත්මක කරන්න කියා එතුමාගෙන් ඉල්ලා සිටිනවා. අද වෙනකොට නීතිය එහෙම පිටින්ම කඩාවැටිලා. ඒක රටකට හානිදායකයි. විනාශකාරීයි, අගවිනිසුරු, අභියාචනාධිකරණය, විනිශ්චයකරුවන් පත්කරන්නෙ ජනාධිපතිවරයායි. ඉතිං කෝ ස්වාධීනත්වය.
ජනාධිපතිවරයා එම ඉල්ලීම ඉෂ්ට නොකරනවා නම් විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරනවා රටට යහපාලනයක් උදෙසා, ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍ය අවශ්‍ය නම් මෙම වැඩපිළිවෙළට එකඟවෙන්න කියලා. ඒ සඳහා පොදු අපේක්ෂකයෙක් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ සහාය අවශ්‍යයි. ඔහු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසු මාස 06කින් විධායක ජනපති ක්‍රමය අතහැර පාර්ලිමේන්තුවට බලය පැවරිය යුතුයි. ඒකට කාවද තෝරාගන්නෙ කියලා තාම නිශ්චිතයක් නැහැ. පොදු අපේක්ෂකයා තෝරාගත යුත්තේ විපක්ෂය විසිනුයි.
Q පොදු අපේකෂකයා සම්බන්ධව ඔබවහන්සේගේ නම ඇතුළු විවිධ නම් කියවෙනවා. මේවායේ සත්‍යතාව ගැන පැවසුවහොත්?
ගේ හදන්න ප්ලෑනක් තියෙන්න ඕන. ඒ ප්ලෑන අනුමත කරන්න එපැයි. අනුමත කරල ඉවරවෙලා ඒකට සුදුස්සෙක් තෝරාගත යුතුයි .
Q නමුත් ඔබවහන්සේ සමග ආණ්ඩුවේ හා විපක්ෂයේ යම් යම් කණ්ඩායම් සාකච්ඡා කරගෙන යන බවට වාර්තා පළවුණා නේද?
ඒවා පත්තරවල දාන බොරු කතන්දරනේ. මේවා රහස් සාකච්ඡා ලෙස නොවෙයි කළ යුත්තේ. මේවායේ හංගන්න දෙයක් නැහැ. සියලු පක්ෂ එක්ව සාකච්ඡා කරලා ගතයුතු තීරණයක් ඒක. ඔය කියන විදියට කවුරුවත් මා එක්ක සාකච්ඡා කරලා නැහැ.
Q හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පොදු අපේක්ෂකයාට සුදුසු බවට පිරිසක් පවසනවා?
එයා තාම තෝරාගෙන නැහැ. ඒ නිසා තෝරාගත්ත නැති කෙනෙක් ගැන කතා කරලා වැඩක් නැහැ.
Q ඔය කියන පොදු අපේක්ෂකයාත් ජනාධිපතිවරණය ජයගෙන පරණ ජනාධිපතිවරුන් වගේම වැඩකළොත් ඔබවහන්සේලා දැරූ උත්සාහය අසාර්ථක වෙනවා නේද?
වැඩපිළිවෙළක් අනුව කටයුතු කරන කෙනෙක් තමයි එයට තෝරාගන්නෙ. එහෙම නැති වුණොත් කවදාවත් මේක අහෝසි කරන්න බැරිවෙනවනෙ. ඒ නිසා ඒ විදියට නොකෙරෙන දේවල් ගැන පෙරුම්පුරලා වැඩක් නැහැ. මේ තරම් පොරොන්දුවක් රටටම දීලා ජනාධිපති ධුරයේ රැඳෙන්න පුළුවන්ද? ඒ අයට පැවැත්මක් තියේවිද?
Q දැනට ප්‍රධාන වශයෙන් අවධානය යොමුකළ පුද්ගලයන් හඳුනාගෙන තියෙනවාද?
තාම කවුරුවත් නැහැ. ඒක කරන්න ඕන විපක්ෂය විසින්. අපට මෙතනදි අපේක්ෂකයා වැදගත් නැහැ. වැඩපිළිවෙළට කවුරුහරි සහය දෙනවානම් එයා ඉදිරිපත් කරනවා.
Q ඒ කියන්නෙ රාජපක්ෂ පාලනයට අභියෝගයක් කරන්න පුළුවන් කෙනෙක්ද?
රාජපක්ෂ පාලනයට නොවෙයි, මේ පවතින ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕන. තවමත් අපි කියන්නෙ ජනාධිපතිතුමනි, ඔබතුමාට තුනෙන් දෙකේ බලය තියෙනවා. ඔබතුමා විරුද්ධ වුණු, පයින් ගිහිං කියපු කාරණය මේක. ඉතිං ඔබතුමා මේක ඉෂ්ට කරන්න. මේක එතුමාට එරෙහිව ගෙනියන ව්‍යාපාරයක් නෙවෙයි.
Q කොහොම වුණත් ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග පොදු අපේක්ෂකයා තරග කළ යුතුයි නේද?
එතුමා දුන්න පොරොන්දුව ඉෂ්ට කරලා විධායක ජනපති ක්‍රමය අහෝසි කළා නම් ඉවරයි. දැනට එහෙම සූදානමක් පේන්න නැහැ. ඒ සඳහා එතුමාට දැඩි බලපෑමක් කරන්න ඕන. මහනායක හාමුදුරුවරුන්, බිෂොප්වරුන් එම බලපෑම කළ යුතුයි. අන්තිමේදී බැරිම වුණොත් වෙනත් කෙනෙකු මැතිවරණයට ඉදිරිපත් කරනවා.