Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
යහපාලන ආණ්ඩුවේ ඇමති ධුර සංශෝධනයක් සිදුවන බවට මුලින්ම ඉඟි පළ වූයේ පසුගිය අයවැය අවසන් වීමත් සමගය. එතැන් පටන් විවිධ හේතු නිසා කල්ගිය ඇමති සංශෝධනය සිදුවූයේ මේ සතියේ සඳුදා ය.
එදින ඇමති සංශෝධනයක් වන බව ස්ථිරවම දැනගත් ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්,රාජ්‍ය ඇමතිවරුන් සේම ආණ්ඩුවේ මන්ත්‍රීවරුද සිටියේ අතිශය කලබලකාරීත්වයෙනි.
තමන්ගේ ඉරණම කුමක් වනු ඇතිද යන්න කලින් දැනගැනීමට ඔවුන් නොගත් උත්සාහයක් නොමැත. එහි උච්ඡතම අවස්ථාව වූයේ ඉරිදා දින පස්වරුවේය. දස අතට දුරකථන ඇමතුම් ලබාදෙමින් කැබිනට් සංශෝධනයේදී කුමක් වනු ඇතිද යන්න සැවොම සොයන්නට වූහ.
අරලියගහ මන්දිරයෙන් ඇමතුමක්
මේ අතර එදින පස්වරු 6.30 ට පමණ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් අරලියගහ මන්දිරයට කැඳවා ඇති බවට අමාත්‍යවරුන්ට පණිවුඩ ලැබුණි. ආණ්ඩුවේ දැවැන්ත වෙනසක් සිදුවන බවට එහිදී ඔවුන් තමන්ගේ හිතවතුන්ට කියන්නට විය.
එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් හමුවීමට ප්‍රථමයෙන් අගමැති රනිල් හා ජනාධිපති මෛත්‍රී අතර සාකච්ඡාවක් පැවැත්වුණේ රාත්‍රී 9.00ට පමණය. ඇමති සංශෝධනය පිළිබඳ ස්ථිර එකඟතාවකට පැමිණි පසු අගමැතිවරයා අරලියගහ මන්දිරයට පැමිණියේය.
ඒවනවිට ඇමතිවරුන් සියල්ලෝම රැස්ව සිටි බැවින් අගමැතිවරයා තීරණ දැනුම් දෙන්නට විය.
මුදල් ඇමතිකම, විදෙස් ඇමතිකම, ජනමාධ්‍ය ඇමතිකම වෙනස් වෙනවා තිලක් මාරපනටත් ඇමතිකමක් දෙනවා. අගමැතිවරයා තම තීරණ දැනුම් දුන්නේය. මුදල් අැමතිකම වෙනස් කරනවාට රවී විරුද්ධ වූ අතර එය සිදු නොකරන ලෙසත් තමාට එයට එකඟ විය නොහැකි බවත් රවී කියාගෙන ගියේය.
ඇමතිකම නෙවෙයි අපිට ආණ්ඩුව රැකගන්න වෙනවා. ඒනිසා අපි දෙගොල්ලොම කතාබහ කරලා තමයි මේ තීරණ ගත්තේ. ඒනිසා අවුල් ඇති කරන්න එපා. අපිට ආණ්ඩුව ආරක්ෂා කරගන්න අවශ්‍යයි.
අගමැතිවරයා ඇමතිවරුන්ට පිළිතුරු දෙමින් කියාගෙන ගියේය. වෙනස් වන ඇමති ධුර සම්බන්ධයෙන් ප්‍රකාශ කළද අර්ජුනගේ වරාය හා නාවික අමාත්‍යාංශය වෙනස්වන බව මෙම හමුවේදී නොකියවිණි. ඇතැම්විට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙකු වීම හේතුවන්නට ඇත.
මම භාරගන්නේ නැහැ
අමාත්‍යවරුන්ගේ හමුව රාත්‍රී 10.00ට පමණ අවසන් වූ බැවින් අනිකුත් අමාත්‍යවරුන් පිටව ගියද ඇමති රවී අරලිගහ මන්දිරයෙන් පිටව නොගියේය. රාත්‍රී 12.00 පමණ වන තුරු එහි රැඳී සිටි ඔහු තම අමාත්‍යාංශය වෙනස් නොකරන ලෙස අගමැතිවරයාගෙන් දිගින් දිගටම ඉල්ලන්ට විය.
ඇතැම් විට එය අගමැතිවරයාටද හිසරදයක් වන මට්ටමට උත්සන්න වූයේය. කෙසේ හෝ අගමැතිවරයා රවීට කියුවේ ආණ්ඩුව රැකගැනීම වැදගත් බවයි. අවසානයේ රාත්‍රී 12.00ත් පසුවී රවී අරලියගහ මන්දිරයෙන් පිටව ගියේ මම හෙට ඇමතිකම භාරගන්නේ නැහැ කියමිනි.
කෙසේ හෝ එදින රාත්‍රිය ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට මෙන්ම ඔවුන්ගේ හිතවතුන්නටද නිදි නොමැති රාත්‍රියක් බවට පත්වී තිබුණි. ඇතම් ස්ථානවල මොවුන් කිහිපදෙනා බැගින් එක්ව තොරතුරු සොයමින් සිටි අතර එම ස්ථාන ක්‍රියාත්මක වූයේ මෙහෙයුම් මැදිරියෙනි.
කලබලයට පත්ව සිටි මැති ඇමතිවරුන් කිහිපදෙනෙක් ජනමාධ්‍යවේදීන්ට පවා දුරකථන ඇමතුම් ලබාදෙමින් තත්ත්වය විමසන්නට විය. මේ අතර පැතිරගිය ආරංචි හේතුවෙන් ඇතැම් ඇමතිවරුන් ප්‍රීතියෙන් පසුවූ අතර ඇතැමුන් කනස්සල්ලෙන් පසු වූහ.
කෙසේ වුවද ජනාධිපති මෛත්‍රී අදාළ අමැතිධුර සඳහා ඇමතිවරුන් තෝරාගැනීම හා අවසන් තීරණය ගෙන තිබුණේ එදින උදෑසන අවදිවීමෙන් පසුවය. උදෑසන 6.00ට පමණ ජනාධිපතිවරයා එම තීරණ ගෙන තිබුණි.
රාහු කාලයේ අවුල
ඇමතිවරුන්ට, නියෝජ්‍ය ඇමතිවරුන්ට රාජ්‍ය ඇමතිරුන්ට උදෑසන 8.30 ට ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රී දැනුම්දී තිබුණි. එසේ වුවද එදින උදැසන 9.00 වනතුරු රාහු කාලය පැවති බැවින් නිවසින් පිටවීමට මැති අමැතිවරුන් මැළිකමක් දැක්වූයේ තමනට නරකක් වේවි යැයි බියෙනි. කෙසේ හෝ බියෙන් බියෙන් ජනාධිපති කාර්යාලයට සියල්ලෝම පැමිණි අතර ජනාධිපති මෛත්‍රී උදෑසන 9.00 පසුවී කාර්යාලයට පැමිණියේය. කෙසේ හෝ ඇමතිධූර ලබාදුන්නේ රාහු කාලය ගෙවීගිය පසුවය.
ජනාධිපති කාර්යාලයේදී ද ඇමතිකම බාර නොගන්නා බවට රවී බොහෝ දෙනෙකු සමග පවසා තිබුණි. එසේ වුවද එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙක් සහ සරත් අමුණුගම, මහින්ද සමරසිංහ රවීගෙන් කළ ඉල්ලීම අනුව අවසානයේ රවී මුදල් ඇමතිකම භාරගත්තේය.
මගේ ඉතුරු දෙකත් ගලවයිද
ගයන්තට ජනමාධ්‍ය ආමාත්‍ය ධුරය වෙනුවට රාජ්‍ය පරිපාලන අමාත්‍ය ධුරය ලබාදීමට තීරණය කර තිබුණද ගයන්ත එයට අප්‍රසාදය පළකිරීමත් නිසාම ගයන්තට ඉඩම් අමාත්‍ය ධුරය ලබාදීමට තීරණය කර තිබුණි. ගයන්තද අවසානයේ එයට එකඟ විය.
එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන අමාත්‍යවරයා අභාවප්‍රාප්තවීමෙන් පුරප්පාඩු වූ ඉඩම් අමාත්‍ය ධුරයට අමාතවරයෙකු පත්කරනවා වෙනුවට එය ජෝන් අමරතුංග අමාත්‍යවරයාට ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේය.
ඒ අනුව ගයන්තට ලබාදුන්නේ ජෝන් ආමත්‍යවරයා යටතේ තිබූ සංචාරක, ක්‍රිස්ත්‍රියානි කටයුතු සහ ඉඩම් අමාත්‍ය වලින් ඉඩම් අමාත්‍ය ධුරයයි.
තමාගෙන් ඉඩම් අමාත්‍ය ධුරය ඉවත්කර ඇති බව ජෝන් දැනගත්තේ ඉරිදා රාත්‍රියේදීය. නමුත් එය දැනගැනීමෙන් එයට දැඩි අකමැත්තක් දැක්වූ ජෝන් ''මගේ ඉතුරු දෙකත් ගලවයිද දන්නේ නැහැ'' යැයි කියුවේ තරමක අමනාපයෙනි.
කියපු තරම් යකා කළු නැහැ
සඳුදා දින අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්, ආණ්ඩුවේ දැවැන්ත වෙනසක් සිදුවන බව මහින්ද අමරවීර ප්‍රකාශ කළද සැබැවින්ම එහිදී සිදුවූයේ මුදල් ඇමති රවී සහ වරාය ඇමති අර්ජුන ඉවත් කිරීම පමණි. තවද අනිකුත් අමාත්‍යධුර ඔවුන්ව සැනසීමට ලබාදී ඇති බව පැහැදිලිව පෙනී යන්නකි.
කෙසේ වුවද කවුරුත් බලාපොරොත්තු නොවූ පුදුම සහගත සිදුවීම වූයේ මහින්ද සමරසිංහට වරාය හා නාවික අමාත්‍ය ධුරය ලබාදීමයි. එය ඔහු පුදුම කරවන තෑග්ගක් වූ අතර අමාත්‍ය මණ්ඩලයේ සෙසු ඇමතිවරුද ඒ සම්බන්ධයෙන් විශ්මයට පත්වූහ.
බුද්ධික කලින්ම දැනගෙන
කැබිනට් සංශෝධනයෙන් බුද්ධික පතිරණ සහ නලීන් බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ට නියෝජ්‍ය ඇමති ධුර ලැබෙන බවට කට කතා පැතිර ගියද එය එසේ සිදු නොවුණි. ජනාධිපතිවරයාගේ කැඳවීමට ආණ්ඩුවේ සියලුදෙනා ජනාධිපති කාර්යාලයට යාමට වේලාව වෙන්කරගෙන සිටියද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ ඒ අවස්ථාවේ ඔහුගේ පුද්ගලික කටයුත්තක් වෙනුවෙන් වේලාව වෙන්කරගෙන තිබුණි.
තම හිතවතුන් බුද්ධිකගෙන් මේ සම්බන්ධයෙන් විමසූ අතර එවිට බුද්ධික පතිරණ පැවසුවේ ''2015 දීත් ලොකුවට කතාබහක් ගියා මට නියෝජ්‍ය ඇමතිකමක් ලැබෙනවා කියල. කෝ ලැබුණද. මේ සැරෙත් ලොකුවට කතාව ගියත් මම දන්නවා ලැබෙන්නේ නැහැ කියලා'' යැයි බුද්ධික කියන්නට විය.
කෙසේ හෝ තමන්ට ඇමති ධුරයක් නොලැබෙනු ඇතැයි මුල සිටම විශ්වාසයෙන් සිටි එකම පුද්ගලයා බුද්ධික පමණි.
ඇමති සංශෝධනයේදී නියෝජ්‍ය ඇමතිවරුන් කිහිපදෙනෙකුට කැබිනට් ඇමති ධුර ලැබෙන බවටද රාවයක් පැතිර ගිය අතර එයද සිදුනොවුණි. කෙසේ වුවද තමාට නීතිය සම්බන්ධ කැබිනට් ඇමති ධුරයක් අනිවාර්යෙන්ම ලැබෙනු ඇති බවට දැඩි විශ්වාසයෙන් පසුවූ රාජ්‍ය අමාත්‍යවරයෙකු ඇමති සංශෝධනයෙන් වියරු වැටී සිටි බවද වාර්තා විය.
කැමති ඒවා අරගෙන ඉතුරු ටික දෙන්නකො
ඇමති සංශෝධනයෙන් පසු විදේශ ඇමති රවී මුදල් අමාත්‍යාංශයේ ආයතන කිහිපයක් ඉල්ලා සිටි අතර මෙයින් අපහසුතාවට පත්වූයේ මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගලයි.
''ඕන එකක් අරගෙන ඉතුරුවෙන ටික දෙන්ඩකෝ මට. කරන්න පුළුවන් දෙයක් කරලා දාන්ට'' මංගල පැවසුවේ තරමක් නොකැමැත්තකිනි.
අර්ජුනට අඩු සැලකිලි
වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරම් දුන් මහින්ද සමරසිංහ අමාත්‍යාංශයේ වැඩ බාරගැනීමේ උත්සවය අඟහරුවදා පෙරවරුවේ පැවැත්වූ අතර ඒ සඳහා හිටපු වරාය ඇමති අර්ජුනද සහභාගී විය. නමුත් ඔහුට පෙරතරම් පිළිගැනීමක් නොලැබුණ අතර අමාත්‍යවරයාට කිරිබත් කෑල්ලක් හෝ බදන්නට එදා ඔහු පසුපස සිටි අය නොමැතිවීම දේශපාලනයේ ස්වාභාවය පෙන්වා දීමක් විය.
කලබල වෙන්න එපා
මෙවර පාර්ලිමේන්තු සතියක් වූ බැවින් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එය ආරම්භ කිරීමට ප්‍රථම චමින්ද විජේසිරි, තුෂාර අමරසේන, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, අශෝක ප්‍රියන්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඇමති සාගල රත්නායක වෙනවෙනම හමුවූයේ කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය දැක්වීමටයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කිරීමට කටයුතු නොකර විචේනය කරමින් සිට ආණ්ඩුවට එක්වූ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය විචේචනය කළහොත් කිසිම පැකිලීමකින් තොරව වාග් ප්‍රහාර එල්ල කරන බව ප්‍රකාශ කර සිටියහ. මේ කරුණු සාවධානව අසා සිටි අග්‍රාමාත්‍යවරයා එයට විරෝධය නොදැක්වූ අතර ආණ්ඩුව තුළ ඇතිවන ගැටලු හැකි තරම් සුහදශීලීව විසඳ ගන්න වෙනවා. අපි මේ පක්ෂ දෙකම එකතුවෙලා ආණ්ඩුව කරන්නේ. ඒ නිසා ප්‍රශ්න ඇතිකර ගන්න එපා. යැයි අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට උපදෙස් දී තිබේ.
මේ වනවිට මතුව ඇති ගැටලු සියල්ල කඩිනමින් විසඳා දීමටද අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රීවරුන්ට පොරොන්දු විය. මුදල් ඇමතිකමින් රවී කරුණානායක ඉවත් කිරීම තුළ පක්ෂයට හානියක් වූ බවද මෙහිදී මන්ත්‍රීවරුන් පවසා තිබේ.
කැබිනට් සංශෝධනයේ ජනාධිපතිවරයාගේ කණ්ඩායම උස්සා තැබීමටත් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම අපහසුතාවට පත්වන ආකාරයට කටයුතු කර ඇති බැවින් මෙය පක්ෂයට විශාල පහරක් බවද මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නට විය. අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් යම් මතවාදයක් රට තුළ ඇතිකර එය ජයග්‍රහණය කරන්නට හැකිවනු බව කියමින් ඔවුන් ඉදිරියේදී කටයුතු කරනු ඇති බවද මන්ත්‍රීවරු අගමැතිවරයාට කරුණු ඉදිරිපත් කළහ.
කෙසේ වුවද මෙම කරුණු සියල්ල සාවධානව අසා සිටියා මිස ඒවාට පිළිතුරු නොදීමට අගමැතිවරයා වගබලා ගත්තේය.
කැබිනට් සංශෝධනය සිදුවූ දිනදාම පස්වරුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම කැඳවා තිබූ බැවින් එය බොහෝ උණුසුම්වනු ඇති බවට ඇමතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන්ද සිතුවද එවැනි කිසිවක් එහි සිදු නොවීය. ඇමතිකම් හුවමාරුව ගැන කිසිදු අදහසක් කණ්ඩායම් රැස්වීම තුළ කතාබහ නොකෙරුණි.
මේක දේශපාලන තීන්දුවක්
මුදල් ඇමතිකමින් ඉවත් කර රවී කරුණානායනක හට විදේශ අමාත්‍ය ධුරය ලබාදුන් අතර ඇමතිකමේ දිවුරුම් දීමෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශය වෙත යාමට රවි අමතක නොකළේය. එහි යනවිට අමාත්‍යාංශ නිලධාරීන් රවීව සුහදව පිළිගත් අතර නව අමාත්‍ය ධුරයට සෙත්පැතීමටද තිනියාවල පාලිත හිමියෝද මුදල් අමාත්‍යාංශයට වැඩම කර සිටියහ.
රවී කරුණානායක මුදල් අමාත්‍යාංශයට පැමිණෙන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ සුසිල් ජයරත්න ද එහි පැමිණ සිටියහ.
අමාත්‍ය ධුරය වෙනස්වීම දේශපාලන තීන්දුවක් මිස වෙනත් කිසිදු හේතුවක් නොවන බවද මෙහිදී මන්ත්‍රීවරුන් නිලධාරීන්ට පහදා දෙන්නට වූයේ රවීගේ සිත සැනසීමට මෙනි.
ඇමතිකම වෙනස්වීමෙන් පසුව පළමුවරට විදේශ ඇමති රවී කරුණානායක මේ සතියේ පාර්ලිමේන්තුවට පැමිණි පළමු දිනය වූ අඟහරුවාදා සභා ගර්භයට නොපැමිණීමට රවී වගබලා ගත්තේය.
එසේ වුවද පාර්ලිමේන්තු සංකීර්ණයේ රැඳී සිටි රවී අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවති ආර්ථික කමිටුවටද සහභාගී විය.
විදේශ ඇමති රවී පාර්ලිමේන්තුවේ එහා මෙහා යනවිට මෙන්ම කමිටු කාමරවලදීද නිලධාරීන් සහ සේවකයෝ රවී සමග කතා කළ අතර ඔහුද ඔවුන් සමග සුහදව අදහස් දැක්වීය.
මුදල් අමාත්‍යාංශය භාරගත් මංගල සමරවීර, පාර්ලිමේන්තුවේදී පළමුවෙන් කතා කළේ හිටපු මුදල් ඇමති රවිට සිය ස්තුතිය පුදකරමින්ය. එදින පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සියල්ලෝම මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් වචනයක් කතා කිරීමට අමතක නොකළහ.
ඩිලාන්ව තියන්න - කිරිඇල්ල ඉල්ලයි
විදේශ අමාත්‍ය ධුරය භාරගැනීමෙන් පසුව එම කටයුතු පහසුවෙන් කරගෙන යාමට හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා යළි පත්කරන ලෙස ඇමති රවී කරුණානායක ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ජාතික ආණ්ඩු සංකල්පය හොඳින්ම ක්‍රියාත්මක වන්නේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ බව වරෙක ජනාධිපති මෛත්‍රී පවසා තිබුණි. එබැවින්ම විදුලිබල ඇමති රංජිත් සියඹලාපිටිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ සිය නියෝජ්‍ය අමාත්‍යවරයා ඉවත් නොකරන ලෙසයි. අමාත්‍යාංශයේ සැලසුම්කර ඇති වැඩ බොහොමයක් ඇති බැවින් ඒවා ඉටුකිරීමට ඉඩදෙන ලෙසද මෙහිදී අමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
මේ අතර මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන්ගේද තනතුර වෙනස්වන බවට කටකතා පැතිරෙන්නට වූ අතර එහිදී ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල අගමැතිවරයාගෙන් ඉල්ලා තිබුණේ ඔහුව ඉවත් නොකරන ලෙසයි.
''ඩිලාන් එළියෙ මොන කතා කිවුවත් අමාත්‍යාංශයේ වැඩ කිසිම ප්‍රශ්නයක් නැතිව කරගෙන යනවා. ඩිලාන්ව වෙනස් කරන්න එපා කියන එක තමයි මගේ අදහස'' යැයි කිරිඇල්ල අගමැතිවරයාට කියා තිබුණි.
මම මහ ඇමතිවරුන්ට නීති උපදෙස් දෙන්නේ නැහැ
එක්සත් ජාතික පක්ෂයේ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයාගේ විදේශ ගමන් පිළිබඳව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමුකර තිබුණි. ඒ සඳහා ඇමතිවරයා පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ලබාදුන් පිළිතුරට මරික්කාර් මන්ත්‍රීවරයා සෑහීමකට පත් නොවන බව පෙනී ගියේය.
''ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල සිරිස්න මහතා අපි ඉදිරිපත් කරලා ජයග්‍රහණය කරපු නිසා තමයි වර්තමාන මහ ඇමතිතුමාට ඒ තනතුර හම්බ වුණේ. ඔබතුමා ලබාදුන් පිළිතුරේ රටවල් හතරයි නම් කළේ. නමුත් එතුමා මහ ඇමති වුණාට පස්සේ පළාත් සභාව හරහා 18 වතාවක් රට ගිහින් තියෙනවා.
ඕස්ට්‍රේලියාව,චීනය,මැලේසියාව,ජර්මනිය,ඉන්දියාව, තායිලන්තය,දකුණු කොරියාව වගේ රටවල් ඇතුළත්ව. පළාතේ ප්‍රධාන ලේකම් දුන්නු උත්තර අනුව කියනවා කියලා. රටේ මූල්‍ය සම්බන්ධව වගකීම තියෙන පාර්ලිමේන්තුවට පළාත් සභාව හරි උත්තර දෙන්නැත්නම් බස්නාහිර පළාත් සභාව වෙනම රාජ්‍යයක්ද කියලා මම අහන්න කැමතියි.''මරික්කාර් කියාගෙන ගියේය.
මෙහිදී නැගී සිටි ෆයිසර් මුස්තාපා ''මම උත්තර දුන්නේ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් දුන්නු තොරතුරු අනුව පමණයි. ඊට වඩා මට වෙනත් දෙයක් කියන්න බැහැ.'' යැයි කී විට මරික්කාර් “මම හරි වෙනත් මන්ත්‍රී කෙනෙක් හරි පළාත් සභාවක් හෝ පළාත් පාලන ආයතනයක් සම්බන්ධව ප්‍රශ්නයක් ඇහුවාම මෙතුමා හැමදාම දෙන උත්තරය ඕක.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ලේකම් මාරුකරපු වෙලාවේ මෙවැනිම උත්තරයක් දීලා මෙතුමා කිව්වා හොයලා බලලා කියන්නම් කියලා. අද වෙනකම් හොයලා බලලා කිව්වේ නැහැ. පළාත් සභාවේ ප්‍රධාන ලේකම් හරි පළාත් සභාවක අමාත්‍යවරයෙකු හරි බොරු තොරතුරු දෙනව නම්, මෙතුමාට බලය තියෙන්නේ ඡන්ද කල් දැමීමට පමණක්ද? නැත්නම් විමර්ශන කරන්න මෙතුමාට බලයක් නැද්ද? යනුවෙන් තදින් විමසා සිටියේය.
මෙම අවස්ථාවේදී කෝපයෙන් මෙන් පිළිතුරු දුන් ඇමතිවරයා “මන්ත්‍රීතුමාට වෙන ප්‍රශ්නයක් ඇති මහ ඇමතිතුමා එක්ක. මට පාර්ලිමේන්තුවේ වගකීම තියෙන්නේ ලැබෙන වාර්තා අනුව උපදෙස් දෙන්න. මේ සම්බන්ධව උත්තර දෙන්න මට වෙන නෛතික ප්‍රතිපාදන නැහැ. පළාත් සභාවෙන් දෙන වාර්තා අනුව පමණයි මට උත්තර දිය හැක්කේ'' යනුවෙන් පැවසීය.
එහිදී නැගී සිටි මරික්කාර් මන්ත්‍රීවරයා “මට පුද්ගලික ප්‍රශ්නයක් නැහැ.මම මහ ඇමතිවරුන්ට නීති උපදෙස් දෙන්නෙත් නැහැ. මම ඇහුවේ පරීක්ෂණයක් කරන්න බලය තියෙනවාද නැද්ද කියලා.එච්චරයි. පටලව ගන්න ඕන නෑ.
මෙතුමන්ලාට තේරෙයි ඒකාබද්ධ විපක්ෂය කකුලෙන් අදින කොට මහ ඇමතිකම් බේරගන්න ආයේ යූඑන්පී සරණං ගච්ඡාමි වෙන්න වෙනවා.'' යනුවෙන් කියමින් වාඩිවිය. එවිට ෆයිසර් කීපවිටක්ම සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කියා සිටියේ මරික්කාර් සුදුසු ටෙලි නාට්‍යවල රඟපෑමට බවයි. “ඔබතුමා ගිහිල්ලා නාට්ටියක රඟපාන්න'' යනුවෙන් ඔහු පවසා සිටියේය.
සති දෙකක් දෙනවද?
අමාත්‍ය මණ්ඩල සශෝධනයෙන් පසුව පැවති ප්‍රථම පාර්ලිමේන්තු සභාවාරය බැවින් කාගේත් අවධානය යොමුව තිබුණේ විෂයන් වෙනස් වූ ඇමතිවරුන් දෙසටය. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා විසින් මුදල් ඇමතිවරයාගෙන් පිළිතුරු බලාපොරොත්තුවෙන් මීට කලකට පෙර යොමු කර තිබුණු මාතර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩසටහන පිළිබඳ පැනයකට පිළිතුරු ලබාදීමට සිදුවූයේ වත්මන් මුදල් ඇමති මංගල සමරවීරටය.
එම අවස්ථාවේ නැගී සිටි මංගල සමරවීර “මට මුදල් ඇමතිවරයා හැටියට යොමුවන මුල්ම ප්රශ්නය මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකුගෙන්. එය මාතර දිස්ත්‍රික්කය සම්බන්ධ ප්‍රශ්නයක් වීම සම්බන්ධව මම සතුටු වෙනවා. හැබැයි මන්ත්‍රීතුමා එයට උත්තරදීමට මට සති දෙකක් දෙන්න.''යනුවෙන් පවසා වාඩි විය.
මෙහිදී නැගී සිටි ඩලස් අලහප්පෙරුම ''මාතර සහෝදර දේශපාලඥයෙක් ලෙස වගේම පුරවැසියෙකු වශයෙන් එතුමාට සුභපැතීමක් කරන්න මට අවස්ථාව ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.
ජනාධිපතිතුමා කරපු ප්‍රසිද්ධ ප්‍රකාශයේ තිබුණේ රටක් ලෙස ඉදිරියට යෑමට මෙම කැබිනට් සංශෝධනය කළා කියලා. රටක් ලෙස ඉදිරියට යෑමට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර බාධාවක්ද කියන ප්රශ්නය ඒකෙන් ගම්‍ය වෙනවා.'' යැයි පවසා සිනාසෙමින් වාඩිවිය.මංගල නැවතත් ''හැමදාම දෙන්නේ දෙපැත්තේ කැපෙන ප්‍රශංසා'' යනුවෙන් කියා සිනාසෙමින් වාඩි විය.
ඒකාබද්ධයත් ව්‍යවස්ථා සාකච්ඡාවල
ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මේ දින හතරේදීම එකදිගට රැස්වූයේ නව ව්‍යවස්ථාව පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමටය. ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ හමුවක් අවසානයේ එයට සහභාගී වූ මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරුන් සහ ඩග්ලස් දේවානන්ද, ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරුන්ද ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතාබහ කරමින් පාර්ලිමේන්තුවේ හතරවැනි මහලේ සිටියහ.
එහිදී ප්‍රසන්න රණතුංග කතාබහ කරමින් සිටියේ නව ව්‍යවස්ථාවේ කටයුතු කඩිනම් කරගන්නා ආකාරය සහ බලය බෙදීම සම්බන්ධයෙනි. කෙසේ වුවද පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි මුස්ලිම් විද්‍යාලයක පාසල් දරුවන් පිරිසක් ඒ මොහෙතේදීම පියගැටපෙළ නගිමින් එම ස්ථානයට පැමිණි අතර මාධ්‍ය ඉදිරිපිට කෑගහගන්නා විරුද්ධ පිල්වල පිරිස් සමග මෙලෙස එකට ඉන්නා අකාරය දුටු එම සිසුහු පුදුමවී බලා සිටියහ.
මොකද්ද ඒ වීඩියෝ එක?
මේ සතියේ බදාදා දිනය පාර්ලිමේන්තුව කොතරම් කාර්ය බහුල දිනයක් වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ තැන තැන මුළුගැන්වී යමක් පිළිබඳ කතාබහ කරන අයුරු පාර්ලිමේන්තුවේ සිටි කොයි කවුරුත් දුටු දර්ශනයකි.
මැති ඇමතිවරුන් එසේ එක්වී තම ජංගම දුරකථනවලින් යම් වීඩියෝවක් නරඹන අයුරු දැකගත හැකිවූ අතර එහිදී ඇතැමුන් විශ්මය ජනක ලෙස එය නැරඹූ බවක් දක්නට ලැබුණු අතර ඇතැමුන් එය තව තවත් ප්‍රසිද්ධ කරන ලෙස යෝජනා කරන්නටද වූහ.
එසේ වුවද එය නැරඹූ තවත් මැති ඇමතිවරුන් කියන්නට වූයේ මෙය එහි සිටිනන්ට හානියක් වන බැවින් එය පැතිරීම වළක්වමු යනුවෙනි.
කෙසේ වුවද අදාළ වීඩියෝව හිටපු නිෙයා්ජ්‍ය ඇමතිවරයෙකු මෙන්ම මෙරට ප්‍රසිද්ධ පුද්ගලයකුගේ වීම නිසා මේ පිළිබඳ වැඩි කතා බහක් ඇති විය.
සිංහයෙක් වගේ ඇවිත් පූසෙක් වගේ ගියා
අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව අමාත්‍ය මණ්ඩලය කිසිදු ගැටලුවකින් තොරව පැවැත්වුණ අතර රට තුළ සිදුවන ජාතිවාදී ගැටුම් සම්බන්ධයෙන් එහිදී කතාබහට ලක්විය.
මේ පිළිබඳ ඇදහස් දක්වමින් මුලින්ම කතා කළේ ඇමති මනෝ ගනේෂන්ය.
සුළු ජාතින් අපහසුතාවට පත්වෙන ජාතිවාදී සිදුවීම් දැන් රට පුරා වාර්තා වෙනවා. ආණ්ඩුව විදිහට මේ කිසිදෙයකට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි. මම නම් හිතන්නේ ආණ්ඩුව අපහසුතාවට පත්කරන වැඩ මේවා. ක්‍රමන්ත්‍රණකාරී වැඩ.
මගේ අමාත්‍යාංශයටත් දවසත් ඥානසාර හාමුදරුවෝ ආවා. සිංහයෙක් වගේ ඇවිත් මට තර්ජනය කළා. ඒත් උන්වහන්සේ ආපහු ගියේ පූසෙක් වගේ.
මට තර්ජනය කළාට මම බය නැහැ. ඒත් අහිංසක මිනිස්සු පව්. ඒගැන මොනවාහරි කරන්න යැයි මනෝ ගනේෂන් පැහැදිලි කළේය.
මෙම තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය සාකච්ඡා කිරීමෙන් පසුව ජාතිවාදය වැළැක්වීමේ බලය පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරීමටද තීරණය විය.
දියවන්නාරාළ විසිනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd