Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඩලස් අලහප්පෙරුම එය ස්ථිර කළේය. ඒ අවස්ථාවේදී අගමැති රනිල්ද පාර්ලිමේන්තුවට පැමිණ සිය අසුනේ සිටියේය.
‘මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ අගමැතිවරයා සම්බන්ධව විශ්වාසය භංගත්වයට පත්වීම නිසයි. අගමැති ගැන විශ්වාසයක් නොමැති වීම බරපතළ කරුණක්’ කියමින් දිනේෂ් කතාව කරගෙන ගියේය. ආණ්ඩු පක්ෂයෙන් විවාදය ආරම්භ කරමින් විවාදයට එක්වූයේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලයි. පාසල් අවධියේ සිට මිතුරන් වූ අගමැති රනිල් හා මන්ත්‍රී දිනේෂ් පිළිබඳව සඳහන් කරමින් කිරිඇල්ල විවාදය ආරම්භ කළේය.
‘දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා බොහොම අමාරුවෙන් යාළුවට විරුද්ධව කතා කළා. විවාදය පටන් ගනිද්දිම ඒ අයගේ හුළං බැහැලා’
දිනේෂ් ගුණවර්ධන විවාදය ආරම්භ කළ අතර, අවසන් කථිකයා වූයේ රාජිත සේනාරත්නය. මෙම කාලය තුළදී සභාව තුළ අපහාස, උපහාස, චෝදනා, මඩ ප්‍රහාර එල්ල කරගැනීම් අනන්තවත් සිදු විය. පෞද්ගලික චරිත ඝාතනද එයට එක්විය.
“පර්පචුවෙල් ෙට්රෂරීස් එකෙන් බොන්ඩ් සොරකම් කිරීම සඳහා ලංකා බැංකුව යොදා ගත්තා” යැයි දිනේෂ් ගුණවර්ධන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කතා කරමින් සිටියදී, ආණ්ඩුව දෙසින් කෑගසමින් ඝෝෂාවක් ආරම්භ විය. ‘කෝ අත්සන් කරපු කට්ටිය” යැයි අජිත් මාන්නප්පෙරුම කීවේය. ‘ඔය කෑගහන්නේ පුට්නෝට් කල්ලිය තමයි” දිනේෂ් උස්හඬින් පැවසීය. එවිට නලීන් බණ්ඩාර “2008 සිට බොන්ඩ් ටික අපි ගේනවා. ඊට කලින් ඔබතුමාලගේ මන්ත්‍රීවරු ටික පාර්ලිමේන්තුවට ගෙනැල්ලා පෙන්වන්න” යැයි කීවේය. ‘ඔය විශ්වාසභංගයට නැකැත හදලා දුන්නේ සුමනදාස අබේගුණවර්ධන මහත්තයාද” අජිත් මාන්නප්පෙරුම යළි විමසීය.
අනතුරුව කතා කළේ, මංගල සමරවීරය. %රනිල්ට බෑ^ යනුවෙන් සඳහන් පෝස්ටරයක් සකස් කර රට පුරා ඇලවූ අයුරු මංගල සිය කතාවේදී සිහිපත් කළේය. ‘1999 ජනාධිපතිවරණය තිබුණේ දෙසැම්බර් 18 වැනිදා. ඊට මාස 10කට විතර ඉස්සෙල්ලා අපේ මාධ්‍ය ප්රචාරක කමිටුව මුළු රටේම ගමක් ගමක් ගාණෙ අස්සක් මුල්ලක් නෑර %රනිල්ට බෑ^ කියලා පෝස්ටරක් ගැහුවා. යූ.එන්.පී. අයටත් මතකයි. අපටත් මතකයි. ඒ වෙලාවේ අපි %රනිල්ට බෑ^ කියලා පෝස්ටරයක් ගැහුවේ අපි හොඳටම දැනගෙන හිටියා චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පත්වීමට විශාලම බාධකය තියෙන්නේ රනිල් වික්‍රමසිංහගෙන් කියලා. මොකද කවදාවත් බැරි මිනිහෙකුට කෝටි ගාණක් වියදම් කරලා පෝස්ටර ගහන්න වුවමනා නැහැ. රනිල්ට පුළුවන් නිසා තමයි එදා අපි පෝස්ටර් ගහලා ඒ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේ” යැයි මංගල පැවසීය.
විමල් වීරවංශ කතා කරන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයෙන් දිගින් දිගටම බාධා එල්ල විය. ‘පසුගිය කාලයේ අගමැතිතුමා මූණවත් නොබලපු මන්ත්‍රීවරුන්ගේ මූණ බලන සති දෙකක් අපි නිර්මාණය කර දුන්නා. මොනර කොළ තොග පිටින් තමුන්නාන්සේලාගේ සාක්කුවලට වැටෙන සති දෙකක් අපි නිර්මාණය කර දුන්නා. ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ඒක දන්නවා” විමල් කීවේය. මේ අවස්ථාවේදී රීති ප්‍රශ්නයක් මතුකළ එස්.එම්. මරික්කාර් “විමල් වීරවංශ කියනවා අපි සල්ලි ගත්තා කියලා. ඒක බොරුවක්. ඒක බොරුවක්. ඒක සුපුරුදු උස්හඬින් පැවසීය. “කථානායකතුමනි ඔය මොනර කොළ තමයි කතා කරන්නේ. සල්ලි නොලැබුණා නම් කෑකෝ ගහන්න දෙයක් නැහැ අහගෙන ඉන්න” විමල් ඊට උත්තර දුන්නේය.
අනුර කුමාර කතා කරන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ හෙක්ටර් අප්පුහාමි මැදිවුණි.
“දැන් ගෝඨාභය කල්ලිය හා බැසිල් කල්ලිය කියලා කඳවුරු දෙකක් තියෙනවා. දැන් බැසිල් කල්ලිය යම් තරමකට නිහඬ වී සිටිනවා” අනුර පැවසීය. මෙහිදී නැගී සිටි හෙක්ටර් අප්පුහාමි “ඔබතුමා නම් කියනවා නම් හොඳයි නැත්නම් වැරදි වැටහීම් ඇතිවෙන්න පුළුවන්” යැයි කීවේය. “මම දැක්කා අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථන නාමාවලියේ හෙක්ටර් අප්පුහාමි කියලා නමක් තිබුණා. මට්ටක්කුලියේ ගුදමක් දුන්නා කියලා හෙක්ටර් අප්පුහාමි නමට තිබුණා. ඇද්ද? තව ඕනද?” අනුර එයට පිළිතුරු දුන්නේය.
අපේම ආණ්ඩුවකට මම එකඟ වෙනවා
පාර්ලිමේන්තුව ආරම්භයට ප්‍රථම ආණ්ඩු පක්ෂයේ අවසන් කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේ කමිටු කාමර 01දී පැවැත්වුණු අතර, එයට එක්සත් ජාතික පෙරමුණේ සියලු දෙනා පැමිණ සිටියහ.
මෙහිදී ඇමති ජෝන් අමරතුංග විශේෂ ඉල්ලීමක් කළේය.
‘මේ වෙලාවේදී අපි හැමෝම ඔබතුමා සමග ඉන්නවා. හැබැයි මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නෙ නැති ආණ්ඩුවේ මන්ත්‍රීවරු හරි ඇමතිවරු හරි ඉන්නවා නම් ඒ අය අයින් කරන්න ඔබතුමා අපට පොරොන්දු වෙන්න ඕන. ආණ්ඩුව මෙච්චර අවුල් වුණේ ගැළපෙන්නේ නැති අය ආණ්ඩුවට දාගත්ත නිසා. මේකෙන් පස්සෙ අපේ ආණ්ඩුවක් හදන්න ඕන.’
ජෝන්ගේ කතාව සියල්ලෝම අනුමත කළ අතර, එය අසා සිටි අගමැති රනිල් පැවසුවේ මේ විවාදේ ප්‍රතිඵලයත් එක්ක ගැළපෙන ආණ්ඩුවක් හදන්න පොරොන්දු වෙන බවයි.
පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේ සිටම සභා ගැබ තුළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ කණ්ඩායම් ලෙස සාකච්ඡා කරන ආකාරයක් දක්නට ලැබුණු අතර, විපක්ෂයේද එවැනි සාකච්ඡා සිදුවිය. රවි කරුණානායක , ලකී ජයවර්ධන, නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි එක් මුල්ලක මහ හඬින් සිනහසෙමින්, කතා කරමින් සිටි අතර සුජීව සේනසිංහ, ආනන්ද අලුත්ගමගේ, බුද්ධික පතිරණ එක් කොනක කතා කරමින් සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් කිසිවෙක් උදෑසන සභා ගැබ තුළ නොසිටීමද විශේෂත්වයක් විය. ඒ ඔවුන් ඒ වන විටද පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වී සාකච්ඡා කරමින් සිටි බැවිනි.
එලෙස සාකච්ඡා කර විශ්වාසභංගයට ඡන්දය දීමෙන් වැළකී සිටීමට ඔවුන් මුලින්ම තීරණය කළ අතර, එසැණින් ඇමති ෆවුසි අගමැති රනිල්ට දුරකථන ඇමතුමක් ලබාගත්තේ ඒ බව දැන්වීමටය.
පාර්ලිමේන්තුවේ අගමැතිවරයාට වෙන්වූ කාමරයේ එවිට රනිල් වික්‍රමසිංහ රැඳී සිටි අතර, අගමැති ආරක්ෂකයෙකු දුරකථනය රනිල්ට ලබා දුන්නේය.
‘අපේ කණ්ඩායම ඡන්දය දීමෙන් වැළකී ඉන්න තීරණය කළා’
ෆවුසි එසේ පැවසූ අතර, ඉන් පසුව රනිල් තම කාමරයේ දොර වසා ගනිමින් ෆවුසි සමග මඳ වේලාවක් කතාකර පිටතට පැමිණ යළි ආරක්ෂක නිලධාරියා අතට දුරකථනය දුන්නේය.
ඒ අවස්ථාවේදී අගමැති රනිල්ගේ කාර්යමණ්ඩලය අවට රැඳී සිටි අතර, ඔවුන්ට ඇසෙන සේ රනිල් පැවසුවේ,‘නිදහස් පක්ෂෙ අය ඡන්දෙට එන්නෙ නැහැලු’ කියාය.
එසේ කියමින් රනිල් සභා ගැබට යාමට පැමිණියේය. එවිට රනිල්ට මුහුණුට මුහුණ මුණගැසුණේ සජිත් ප්‍රේමදාසයි. නිදහස් පක්ෂය ඡන්දෙට නොඑන බව කී කතාව සජිත්ටද ඇසුණ නමුත් එය නෑසුණාක් මෙන් ඔහු ඉදිරියට ගමන් කළේය.
සභා ගැබට පැමිණෙන විට අසලම සිටි නවීන්ට රනිල් මේ බව කී අතර, නවීන් සතුටින් සිනාසුණේය. සුජීව සේනසිංහ අසලටද පැමිණෙමින් මේ බව පැවසූ රනිල් යළි සිය අසුනේ සිට විවාදයට සවන් දුන්නේය.
ෆවුසි ඔව් කියයි - අබේවර්ධන නැහැ කියයි
ඒ සමගම ෆවුසි ඒ පිළිබඳ මාධ්‍යයට පවසා තිබූ අතර, කෙටි පණිඩුව මගින් මේ පිළිබඳ සියල්ලෝම දැනගත්තේය. නමුත් ලක්ෂ්මන් යාපා ඇතුළු කිහිපදෙනකු එයට අකමැති වූ අතර, ඒ සැණින් ලක්ෂ්මන් යාපා පැවසුවේ එලෙස තීරණයක් නොගත් බවයි.
මේ අතර මන්ත්‍රී පිවිසුමෙන් පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටි ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්නට ඒ අසල සිටි ඇමති රුවන් විජේවර්ධන මුණගැසිණි.
‘ආ කොහොමද? ඔක්කොම හරි නේද?’ කියා රුවන්, සෙනෙවිරත්නගෙන් ඇසූ විට සෙනෙවිරත්නගේ පිළිතුර වූයේ,
‘ඔව්.. ඔව් අනිවාර්යයෙන්ම’ යනුවෙනි.
පාර්ලිමේන්තු භෝජනාගාරයේ සිට ජවිපෙ නායක අනුර කුමාර සහ මන්ත්‍රී බිමල් රත්නායක පැමිණෙමින් සිටි අතර, ඔවුන්ට හමුවූ පාර්ලිමේන්තුවේ හිතවතුන් පිරිසක් සමග කතා කිරීමට නැවතිණි.
‘මන්ත්‍රීතුමා ඇත්තටම ඔබතුමාලා මොකද කරන්නේ අද? ඡන්දෙ දෙනවද නැද්ද?’
ඔවුන් එසේ විමසුවේ බිමල්ගෙනි. අනුර දෙසට හැරෙමින් බිමල් එවිට පැවසුවේ,
‘මේ බලන්නකෝ මෙයාලට තාම අපිව විශ්වාස නැහැනේ.. බලන්නකෝ හවස් වෙද්දි’ යැයි බිමල් ඔවුන්ට පවසන විට අනුරද සිනහසුණි.
හෙට ඉඳලා කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න කියලා මම කිව්වා
විශ්වාසභංගය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අවස්ථාවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවැත්වුණේ පාර්ලිමේන්තු කමිටු කාමර 01දීය. මාධ්‍ය හමුව ආරම්භ වීමට ප්‍රථම ඇමති රාජිත සහ ගයන්ත ඒ අසල සුහද කතාබහක නිරතව සිටියේය. නමුත් ඔවුන් දෙදෙනා කතාබහ කරන සියලු දේ කැමරා තුළ පටිගත වන බව ඔවුන්ට අමතක වී තිබිණි.
ලක්ෂ්මන් යාපා සහ ඩිලාන් පෙරේරා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දෙ දෙන බව කියා ඇතැයි රාජිත ගයන්තට පවසමින් සිටි අතර, රාජිත මෙසේ පැවසීය.
‘දැන් අරුන් දෙන්නා කියලා උන් දෙන්නා වෝට් කරනවා කියලා’
‘කවුද?’
‘ඩිලානුයි, ලක්ෂ්මන් යාපායි’
‘ලක්ෂ්මන් යාපාට ඉහළින් කියන එක තමයි ඌ කරන්නේ..’
‘දැං ඩිලාන්ලට එහෙම මුන් බණිනවා ඇති. උඹලා කියපු නිසා අපි මේක ගෙනාවේ. දැන් උඹලා දෙන්නෙ නැද්ද කියලා. උන් කැට තියලනේ කිව්වේ’
‘රතන හාමුදුරුවොත් කතා කරන්න ඕන කිව්වා. ඒ පාර දුන්නා විනාඩි 10ක්’ ගයන්ත එසේ රාජිතට කීවේය.
‘ආ මොනවද කතා කරන්න ඕන’
‘දන්නෙ නැහැ. ඕනෙමයි කිව්වා. ඒ පාර කතාවක් දුන්නා’
‘දෙන්න එපා ඉතින්. මොකටද දෙන්නේ’
‘ප්‍රයිමිනිස්ටර් (අගමැති) කිව්වා දෙන්න කියලා’
‘මේ මේ අපේ ප්රයිමිනිස්ටර්ගේ (අගමැතිගේ) ඔය මඟුලනේ තියෙන්නේ.. මම අද කිව්වා හෙට ඉඳලා කෙළින් ඉන්න කියලා. ඊයේ රෑ හම්බ වුණාම මම කිව්වා කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න කියලා. එක්කෙනෙකුටවත් නැමෙන්න එපා කියලා කිව්වා. ඒ විදියට ආණ්ඩුව ගෙනියන්න කිව්වා. මොනවහරි ප්‍රශ්නයක් ආවොත් මම කතා කරන්නම් කිව්වා. මොකද තීන්දු අරගන්නේ නැතුව සද්ද නැතුව ඉන්නේ’
‘එහෙම වුණොත් එකක්වත් කෙරෙන්නෙ නැහැනේ’
‘චතුරත් හරි නේද?’ ගයන්ත යළි රාජිතගෙන් විමසීය.
‘හරි ඇති’
‘මම ඇහැව්වා’
‘ආ.. ඉතින් මොකද කිව්වේ’
‘මම කිව්වා මේ පිස්සු කෙළින්න එපා.. තාත්තා එක්ක කෙළින් ඉන්න.. නැත්නම් තාත්තා මේ දෙන ෆයිට් එකත් අපරාදෙනේ කියලා’
‘ඊට පස්සේ’
‘හිනා වෙවී හිටියා බලමු බලමු කියලා’
‘අපි පාර්ලිමේන්තුවට ඇවිත් 1994 ඉඳන් මොකද කළේ. මම රන් කළා. යූ.ඇන්.පී. එක එහෙම තමයි නැග්ගේ’
‘ඊට පස්සේ ස්ටේජ් එකට ජනාධිපතිතුමාට විරුද්ධව වගේ අපි පක්ෂෙ අරගෙන ගියානේ. එහෙමනේ වුණේ ඉස්සර ඉඳලම... නැද්ද?’
‘ඒක හරි’
‘එහෙම කරලා පක්ෂෙ වෙනුවෙන් මැරීගෙන වැඩ කළා’
‘94 පැරදුණාට පස්සෙ මගේ ජීප් එක කිලෝමීටර් 61,000ක් කරනකොට ලොක්කගේ එක තිබුණේ 27,000යි’
සිනහසෙමින් රාජිත යළි විස්තර කළේය.
ඔවුන් එසේ කතා කරමින් සිටින විට මාධ්‍ය හමුව ආරම්භ විය. මාධ්‍ය හමුව අමතමින් රාජිත පැවසුවේ ආණ්ඩුවේ සිටිමින් විශ්වාසභංගයට පක්ෂ වන කිසිවෙකුට අමාත්‍ය ධුරවල සිටිය නොහැකි බවයි.
මාධ්‍ය හමුව අවසන් වූ පසුව රාජිත ජනාධිපති මෛත්‍රීට දුරකථන ඇමතුමක් ලබාගත් අතර, එවිට ජනාධිපති මෛත්‍රී සිටියේ ජනාධිපති මන්දිරයේය. විනාඩි කිහිපයක් රාජිත ජනාධිපති මෛත්‍රී සමග කතා කරමින් සිට යළි සභා ගැබට යෑමට පැමිණියේය.
මංගලගේ සාකච්ඡාව
විශ්වාසභංග විවාදය පැවැත්වෙන අතරතුර දහවල් හදිසියේම මංගල සමරවීර, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න, තලතා අතුකෝරල, රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමතිවරුන් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි අතර, වාහන දෙකක නැගී මේ සියල්ලෝම හිතවතෙකුගේ නිවසට පැමිණ රහස් සාකච්ඡාවක් පැවැත්විය.
ඡන්ද විමසීමේදී ඡන්දය ලබාගන්නා ආකාරය සහ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡා කර තිබූ අතර, විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමට තවත් කළයුතු යමක් ඇත්දැයි සොයාබැලීමට ඔවුන් එහිදී කාලය ගතකළහ.
ආණ්ඩු පක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් පිරිසක් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබූ අතර, ඒ බව මුලින්ම සභාවට පැවසුවේ ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත විසිනි.
සුසිල් සිය කතාව ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර ඒකාබද්ධ විපක්ෂයෙන් සහයෝගය ලැබුණි.
සුසිල් කතාව කරගෙන යන විට ඔහුගේ සහායට සුසන්ත පුංචිනිළමේ සහ ඩිලාන් අසල අසුන්වල සිටිමින් සුසිල්ව දිරිමත් කළේය.
සුසිල් අදහස් දක්වන සියලු දේට ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් බාධා කළ අතර, සුසිල්ද ආවේගයෙන් කතා කරන්නට විය.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මුතිවාදී ආණ්ඩුවකට එන්නයි ජනාධිපතිතුමා තීරණය කළේ. එදා තනි පක්ෂයකට ආණ්ඩුවක් හදන්න බැරිවුණා. පුළුවන් නම් එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් හදලා පෙන්වන්න. පුළුවන් නම් හදලා බලමු. 32෴ක් ගත් අය ජනවරම හඳුනන්නෙ නෑ. ජනවරම තියෙන්නේ ජනතාව ගාව. ඒක ඕන වෙලාවට දෙනවා. ඕන වෙලාවට නවත්වා ගන්නවා. පසුගිය මහ මැතිවරණයෙන් ලේකම්වරු දෙන්නා අයින් නොකළා නම් අද එක්සත් ජාතික පක්ෂයේ අය ආණ්ඩුවේ නෙමෙයි ඉන්නේ. ඒක මම නෙමෙයි කියන්නේ ඒ අය පත්කරපු ජනාධිපතිතුමා. අහගන්න ගිහින් ජනාධිපතිතුමාගෙන්’ යැයි සුසිල් ආවේගයෙන් කතාව පවත්වා අවසන් කළ වහාම සභාවෙන් පිට විය.
ඒ සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද සභා ගැබෙන් පිටවූ අතර, මන්ත්‍රීවරුන්ගේ කොරිඩෝවේදී සුසිල් හා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් මුණගැසුණි.
‘සුපිරි කතාවක්නේ කළේ. මරු ආ’ කියමින් ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් සුසිල් සමග සිනහසෙමින් තවත් දේ සාකච්ඡා කළහ.
සියලු දේ මේ ආකාරයට සිදුවෙමින් පවතින අවස්ථාවේ පාර්ලිමේන්තුවේ පළමු මහලේ පුස්තකාලය තුළ තවත් විශේෂ සාකච්ඡාවක් සිදුවෙමින් පැවතිණ.
ඇමති මලික් සමරවීර, මන්ත්‍රී චමල් රාජපක්ෂ, ඇමති අනුර ප්‍රියදර්ශන, මන්ත්‍රී උදය ගම්මන්පිල එම සාකච්ඡාවට එක්වී සිටි අතර, තරමක් රහස් සාකච්ඡාවක් ලෙස එය සිදුවිය.
අනුර ප්‍රියදර්ශන තරමක් උදාසීනව කතා කරමින් සිටි අතර, චමල් සහ උදය පවසන දේ පිළිබඳවද මලික් අවධානය යොමු කරමින් සිටියේය.
තරමක් දිගු වේලාවක් සාකච්ඡාව පැවති අතර, ඉන්පසු පිටතට පැමිණි මේ කණ්ඩායම වෙන වෙනම එතැනින් ඉවත්ව ගියේ සාකච්ඡාවක් සිදුනොවූ පරිද්දෙනි.
විශ්වාසභංග විවාදය පැවැත්වෙමින් තිබුණද, පාර්ලිමේන්තු මූලාසනයට කථානායක සහ කාරකසභා සභාපති හැරෙන්නට නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල නොපැමිණීම පිළිබඳව කාගේත් අවධානයට ලක්ව තිබුණි.
තිලංග නියෝජ්‍ය කථානායක කාර්යාලයේ සිටි අතර, රූපවාහිනියෙන් විවාදය සිදුවන ආකාරය බලා සිටියේය.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද බොහොමයක් වරින් වර නියෝජ්‍ය කථානායක කාර්යාලයට පැමිණ තිලංග හමුවී සාකච්ඡා කළ අතර, සුසිල්, දයාසිරි, ඩිලාන් ඇතුළු පිරිසද වරින් වර එහි පැමිණියහ. කෙසේ හෝ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට තිලංග සැලසුම් සකසමින් සිටියේය. මේ අතර නිදහස් පක්ෂයේ ඇමතිවරුන් පිරිසක් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට තීරණය කළ බව මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කිරීමට තිලංග ඇතුළු පිරිස තීරණය කළේය.
පාර්ලිමේන්තුවේ කාමර අංක 08දී එම මාධ්‍ය හමුව පැවැත්වුණ අතර, ඩබ්ලිව්.ඩී.ජේ සෙෙනවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත, එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සුසන්ත පුංචිනිළමේ, තාරනාත් බස්නායක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී ජයසේන යන පිරිස පක්ෂව ඡන්දය දෙන බව එහිදී ඔවුහු ප්‍රකාශ කළහ.
පසුගිය අඟහරුවාදා මහින්දගේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී පැවැති ඒකාබද්ධ වික්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකදී මහින්දානන්ද විශ්වාසභංගය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට කරුණු පැහැදිලි කළේය.
‘අපි මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ හොඳ වෙලාවට. දැන් රනිල් නන්නත්තාර වෙලා ඉන්නේ. හරියට බැලුවොත් අපි බෝම්බයක් ගැහුවා. දැන් කට්ටිය ඒකට තුවාල වෙලා ඉන්නවා. තවම අපට තුවාල නැහැ. දැන් පේන්න තියෙන තත්ත්වයේ හැටියට අපි ඡන්ද 20ක්, 30ක් විතර ප්‍රමාණයකින් දිනන්න පුළුවන්’ මහින්දානන්ද පැවසීය.
‘ඒ තරම් සුළුවෙන් තකන්න එපා. ආණ්ඩුව මේ ජයග්‍රහණය ආපහු හරවන්න කරන්න පුළුවන් සේරම දේවල් කරයි. අපට ලොකු විශ්වාසයක් තියාගන්න බැහැ. ඒ හින්දයි මම කිව්වේ විශ්වාසභංග යෝජනාව ගේන කොටම එක්සත් ජාතික පක්ෂයෙයි, නිදහස් පක්ෂයෙයි කට්ටියගේ අත්සන් ගමු කියලා’ ප්‍රසන්න පෙන්වා දුන්නේය.
‘ඒක ඇත්ත. අපට ආරංචියි මන්ත්‍රීවරුන්ට විවිධ බලපෑම් එනවා කියලා’ මහින්දද පැවසීය.
‘සල්ලි මිටි ගණන් විසිවෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. මේ පාර රනිල් දිනුවොත් දිනන්නේ මොනර කොළ නිසයි’ විමල් කීවේය.
‘ආණ්ඩුව මේකට ලොකු මුදලක් ආයෝජනය කරනවා කියලයි දැනගන්න තියෙන්නේ. මන්ත්‍රීවරුන්ට ලක්ෂ අටසීය, නවසීය දෙන්න පවා ලැහැස්තිලු’ ප්‍රසන්න පැවසීය.
“සල්ලි විතරක් නෙමෙයි විරුද්ධව ඡන්දය දෙන කෙනෙකුට ඕනෙම තනතුරක් දෙන්නත් සූදානම් වෙලයි ආණ්ඩුව වැඩේට බැහැලා තියෙන්නේ’ විමල් පැවසීය.
විශ්වාසභංග යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීමක් හටගෙන ඇති බව ප්‍රසන්නට දැනගන්නට ලැබී තිබිණි. ඒ අනුව ප්‍රසන්න විජේරාම පෙදෙසට ගියේ මහින්ද මුණගැසීමටය.
ප්‍රසන්න එනු දුටු මහින්ද එක්වරම “ආ මේ එන්නේ අපේ තරගයේ වීරයා’ යැයි කීවේය. “මොකද සර් එහෙම කිව්වේ? ඇත්තටම දැන් මොකක්ද වෙලා තියෙන්නේ?’ ප්‍රසන්න ඇසුවේය.
“නෑ ඉතින් ඔයා කිව්ව එක හරි’ මහින්ද පැවසීය.
“මොකක්ද මං කියපු එක?’ ප්‍රසන්න යළි ඇසුවේය.
‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් ඇතිවෙලා තියෙනවා විශ්වාසභංගයට ඡන්දය දෙන එක ගැන. පක්ෂයේ නියෝජිතයෝ දෙන්නෙක් උදේ මාව හම්බ වෙන්න ඇවිත් කියනවා පක්ෂයේ බෙදීමක් ඇතිවෙලා තියෙනවා කියලා. සමහරු කියනවලු විශ්වාසභංගයට පක්ෂ වෙමු කියලා. තව පිරිසක් කියනවලු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකිමු කියලා. ඒ අය යෝජනා කරනවා විශ්වාසභංග යෝජනාව කල්දාමු කියලා. මම ඒක ප්‍රතික්ෂේප කළා. මම කිව්වා දැන් කොහොමටවත් කල්දාන්න බැහැ. කැමැති අය දෙන්න. අකැමැති අය නිකම් ඉන්න. හැබැයි කවුරු දුන්නත් නැතත් අපි විවාදයට යනවා කියලා’ මහින්ද පැහැදිලි කළේය.
“ඒකනේ මම කිව්වේ කොළේට අත්සන් ගමු කියලා. අපේ සමහරු කිව්වානේ එහෙම ගත්තොත් ඒ අයට ප්‍රශ්නයක් වෙයි කියලා. මම දැනගෙන හිටියා මෛත්‍රී මේ හදන්නේ තුන්වැනි පාරටත් රනිල්ව ආරක්ෂා කරන්නයි කියලා’ ප්‍රසන්න පැවසීය.
“ප්‍රසන්නගේ කතාව හරි. මමත් කිව්වේ අඩුම ගාණේ මේ අය ලවා යෝජනාවටවත් අත්සන් කරවා ගන්න කියලයි. දැන් පේනවානේ වෙලා තියෙන වැඩේ’ මහින්ද පැවසීය.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදයට සහභාගි වීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව බලා ගියහ. මහින්දට පාර්ලිමේන්තුවේදී සුසිල් හමුවිය. “පක්ෂයේ බෙදීමක් ඇතිවෙලා තියෙනවා සර්. හැබැයි මම නම් අනිවාර්යයෙන්ම විශ්වාසභංගය යෝජනාවට සහාය පළ කරලා ඡන්දෙ දෙනවා’ සුසිල් මහින්දට සපථ කළේය.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග ලොබියේ කතා කරමින් සිටි මහින්දානන්දට නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මුණගැසුණේය. “මාර වැඩේනේ අපට වුණේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා අපට කිව්වේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අරගෙන දෙනවා කියලා. දැන් ඒ අයම තීන්දු කරලා තියෙනවා ඡන්දෙ නොදී ඉන්න. මේක ලොකු පටලැවිල්ලක්. අපට කරන්න දෙයක් නැහැ’ වසන්ත පැවසීය.
දිවා ආහාරය ගන්නා අවස්ථාවේදී ප්‍රසන්න වරක් මහින්දගෙන් ඇසුවේ “සර් මෛත්‍රීපාල මහත්තයා අපට තුන්වැනි පාරටත් ආප්ප කවයි වගේ නේද?’ කියාය.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම බදාදා රාත්‍රී 9.30ට පැවැති අතර, ඉන් අගමැතිවරයා ජයග්‍රහණය කර තිබිණි. විශ්වාසභංගයෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ ස්ථානවල එකතු වී කතාබහ කරමින් සිටියහ. ප්‍රසන්න සභාගැබෙන් එළියට ආවේම “මම කිව්වා හරි නේද? මෛත්‍රී අපට තුන්වැනි පාරටත් ආප්ප කැව්වා නේද?’ යැයි අසමිනි.
විවාදය අවසන් වීමෙන් පසුව සභා ගැබෙන් එළියට එමින් සිටි තිලංග සුමතිපාල නියෝජ්‍ය කථානායකවරයාට නොසිතූ අකරතැබ්බකට මුහුණ දෙන්නට සිදු විය. අකරතැබ්බයට මුල්වූයේ නවීන්, තිලංග සමග ආරවුලකට පැටලීම නිසාය. විවාදයෙන් පසු නවීන් එළියට ආවේම තිලංගට දෝෂාරෝපණය කරමිනි.
“ඔයාට මේ පැත්තේ ඉන්න බැරි නම් ගිහින් අනික් පැත්තේ වාඩි වෙන එකනේ ඇත්තේ?’ නවීන් තිලංගට බැණ වැදුණේය.
“ඔයා එහෙම කතා කරන්න එපා. මම අනුගමනය කළේ පක්ෂය ගත්ත තීන්දුව’ තිංලග කීවේය.
තිලංගගේ හඬට කන් නොදුන් නවීන් තවත් දේ කියමින් බැණවදිමින් සිට එක්වරම තිංලග දෙසට හැරුණේය. වහා මැදිහත් වූ පියල් නිශාන්ත නවීන් අල්ලා ගත්තේය.
“ඇමතිතුමා විවාදය තිබ්බේ සභාව ඇතුළේ. එළියට ඇවිත් බොරු චණ්ඩි පාට් දාන්න හදන්න එපා. ඒ චණ්ඩි පාට් අපි එක්ක හරියන්නේ නැහැ’ පියල් නවීන්ට අවවාද කළ අතර, නවීන් කිසිවක් නොකියා යන්න ගියේය. පසුව තිලංග තමන්ට පහරදීමට උත්සාහ ගත් බව කියමින් පොලීසියේ පැමිණිල්ලක්ද කළේය.
මේ අතර, මහින්දට ලොබියේදී සුසිල් සහ සුසන්ත පුංචිනිළමේ මුණගැසුණේය. “දැන් ඉතින් ආණ්ඩුවේ හිටියා ඇති. දැන්වත් ඇවිත් ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙන්න’ මහින්ද සුසිල්ට කීවේය.
“ඒක තමයි සර්. අපි හෙට ජනාධිපතිතුමත් මුණගැහෙනවා. පක්ෂයක් විදියට එකතු වෙලා ගත්තු තීන්දුව එක කට්ටියක් එකතු වෙලා වෙනස් කළේ කොහොමද කියලා අපි එතුමාගෙන් අහනවා’ සුසිල් පිළිතුරු දුන්නේය.
විවාදය නිමවා පාර්ලිමේන්තුවෙන් පිටතට එමින් සිටි පියල් නිශාන්තට ආනන්ද අලුත්ගමගේ මුණගැසුණේය. ආනන්ද පසුගිය දිනවල සිටියේ රනිල් විවේචනය කරමින් විශ්වාසභංග යෝජනාවට සහාය දිය යුතුය යන මතයේය. එහෙත් ඔහු අවසාන මොහොතේ රනිල්ට පක්ෂව ඡන්දය පාව්චිච කළේය. සාක්කුවෙන් පන්දහසේ කොළයක් අතට ගත් පියල් “මන්ත්‍රීතුමා මේවටද ඡන්දෙ දුන්නේ?’ ඇසුවද ආනන්ද කිසිවක් කීවේ නැත.
විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස මහින්දානන්දගේ නිවසෙහි රැස්ව ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ. විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුවද, ආණ්ඩුවට මෙතෙක් කලක් පාර්ලිමේන්තුවේ තිබූ තුනෙන් දෙකක බලය අහිමි වීමේ වාසිය සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් අදහස් දැක්විණි.
විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම රාත්‍රී 9.30ට පැවැත්වුණ අතර, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 76ක් ලැබුණි. විපක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර, නොපැමිණි ගණන 26කි. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම සඳහා සාමාන්‍යයෙන් නොපැමිණෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවර පැමිණ සිටීම විශේෂ වූ අතර, ඔහු විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුනි.
ප්‍රතිඵල නිකුත් වූ වහාම මන්ත්‍රී රවී කරුණානායක අගමැති රනිල් අසලට පැමිණ මුලින්ම සුබපැතීය. දෙවනුව නවීන් දිසානායකද පසුව ලක්ෂ්මන් කිරිඇල්ල, සරත් ෆොන්සේකා ආදීන් රනිල්ට සුබපතන්නට පැමිණියහ. මහින්ද රාජපක්ෂද විරුද්ධ පක්ෂයේ සිට රනිල්ට සුබපතමින් පිටව යන ආකාරය දක්නට ලැබුණි.
සභා ගැබෙන් පිටතට පැමිණි අගමැති රනිල්ට පක්ෂ විපක්ෂ බොහෝදෙනා සුබපැතූ අතර, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිට විශ්වාසභංග යෝජනාවට පක්ෂ වූ මන්ත්‍රීවරුන්ද ඒ අතර සිටීම විශේෂත්වයක් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd