විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හෙවත් විදෙස් ශ්‍රමිකයන් වසරක් තුළ රටට එවන ලද වැඩිම මුදල් ප්‍රමාණය පසුගිය වසරේ (2016) මෙරටට එවා ඇති බව විදේශ රැකියා අමාත්‍යාංශය පසුගියදා දැනුම් දුන්නේය. එම මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1054ක් බවද එහිදී ප්‍රකාශ විය. විදෙස් ශ්‍රමිකයන් 2015 වසරේ මෙරටට එවන ලද මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 949 කි. ඒ අනුව එය සියයට 11.1 ක වැඩි වීමකි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරට එවන ලද මුදල් ප්‍රමාණයන් පිළිබඳ මහ ඉහළින් කතා කළද විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කරන්නේ ඉතා අල්ප වශයෙනි. මේ නිසාම මේ සම්බන්ධයෙන් රට තුළ කතාබහක් ඇති කිරීමේ අරමුණින්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව උනන්දුවන 'එතෙර අපි' සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සමග කතාබහක නියැලුණෙමු.
Q විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් (ශ්‍රමිකයන්) රටට වැදගත් වන්නේ කෙසේද?
විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන දායකත්වය ගැන කතා කරද්දී අපේ ඍජු විදේශ ආයෝජන වගේ තුන් ගුණයක ආදායමක් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලංකාවේ ආර්ථිකයට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ අපනයන ආදායමට 50%කට ආසන්න ප්‍රමාණයක් විදේශගත ශ්‍රමිකයන්ගෙන් අපට ලැබෙනවා. සංචාරක ඉපැයීම්වලින් අපට ලැබෙන ඩොලර් විදේශ විනිමය වාගේ දෙගුණයකට වැඩි ප්‍රමාණයක් විදේශගත ශ්රමිකයන්ගන් අපේ රෙට් ආර්ථිකයට ලැබෙනවා. අපේ රටේ ඒකපුද්ගල ආදායමට මාසිකව රුපියල් 700කට, 800කට ආසන්න ප්‍රමාණයක් විදේශගත ශ්‍රමිකයන් එකතු කරනවා. මෙවැනි විශේෂ පංගුවක් තමයි අපේ විදේශගත ශ්‍රමිකයන් අපේ ආර්ථිකයට එකතු කරන්නේ. ඒ නිසා මේ දායකත්වය නිසි අගය කිරීමකට ලක් කළ යුතුයි.
Q විදේශගත ශ්‍රමිකයන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් වන විශේෂ කාරක සභාවක් නම්කර තිබෙනවා. එහි තත්ත්වය කෙබඳුද?
කථානායකතුමාගෙන් මේ තේරීම් කාරක සභාව ඉල්ලුවේ මම ඇතුළු මන්ත්‍රීවරුන් 23 දෙනෙක්. විදේශගත ශ්‍රමිකයා රටට අවශ්‍ය වෙන්නේ විදේශ විනිමය ගෙන්වා ගැනීමේදී පමණයි. නමුත් ඔවුන්ට රටින් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. අඩුම තරමේ ඔවුන්ගේ ළමයෙක් පාසලකට දාගන්න බැහැ. මොකද වසර පහක ස්ථිර පදිංචිය පෙන්වන්න බැහැනේ. රට ගියපු පුද්ගලයන්ගේ දරුවෝ ඒ රටේදී සලකන්නෙත් විදේශිකයෝ හැටියට. ලංකාවට ආවාම සලකන්නෙත් විදේශිකයෝ හැටියට. එතන අසාධාරණයක් තිබෙනවා. රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් තිබෙනවා. පෞද්ගලික අංශයේ අයට අර්ථසාධක පාරිතෝෂිත තිබෙනවා. නමුත් විදේශික ශ්‍රමිකයන්ට මුකුත් නැහැ.
අද ඇමතිවරුන්ට තීරු බදු රහිත වාහන හම්බවෙනවා. නමුත් තමන් වෙනත් රටක පාවිච්කරපු වාහනයක් ලංකාවට ගෙනෙද්දි සියට සීයක් බදු ගහනවා. මේවා බරපතළ ප්‍රශ්න. මේ සියලු ප්‍රශ්න රඳා පවතින්නේ එක කරුණක් මත. ඒ තමයි ඡන්ද අයිතිය. ඔවුන්ගේ අයිතිවාසිකම් රටේ දේශපාලනඥයන්ට ලැබෙන්නේ නැත්තේ විදෙස්ගත ශ්‍රමිකයන්ට ජන්ද අයිතිය නැති නිසා. එහෙම වෙද්දි ඔවුන්ට ඒ වැඩ කරන රටේ ඡන්දයත් නැහැ, ලංකාවේ ඡන්දයත් නැහැ. ඡන්දයක් නැති මනුස්සයෙක් ලෝකෙ ජීවත් වෙනවා. ඒ කියන්නේ රාජ්‍ය පාලනයට ඔවුන් දායක වෙලා නැහැ. ඒ නිසාම ඔවුන්ට අයිතිවාසිකම් ඉල්ලන්නත් බැහැ. මේ කාරණය නිසා තමයි විදෙස්ගත සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදිය යුතුයි කියන මතයේ අපි ඉන්නේ.
ඒ අනුව තලතා ඇමතිතුමියගේ ප්‍රධානත්වයෙන් අවස්ථා දෙකකදී අපි රැස්වෙලා තිබෙනවා. මේ වන විට වෙනත් රටවල ඡන්ද අයිතිය ලබා දී තිබෙන්නේ කොහොමද, එයට අනුගමනය කරන ක්‍රමවේද මොනවාද යන්න පිළිබඳ අධ්‍යයනය කරනවා. ඒ වගේම ලංකාවේ මෙම අයිතිය ලබාදීමේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
Q මෙතෙක් කාලයක් මෙරට මැතිවරණ වලදී ඔවුන්ගේ දායකත්වය සිදුවූයේ කෙසේද?
මෙපමණ කාලයක් ඔවුන් රටේ මැතිවරණයක් තියනකොට නරඹන්නන් බවට පත්වෙලා සිටියා. ඡන්ද ප්‍රතිඵල අහන අය බවට පත්වෙලා සිටියා. මුහුණුපොතේ(Facebook), අන්තර්ජාලයෙන් ඒ කටයුතුවලට සම්බන්ධ වුණාට ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාවක් ඔවුන්ට ලැබුණේ නැහැ. දැනටමත් රටවල් 61කට වැඩි ප්‍රමාණයක ඉන්න විදෙස්ගත ශ්‍රමිකයෝ ඡන්දය පාවිච්චි කරනවා.
මේ සම්බන්ධයෙන් මම පෞද්ගලිකවම අත්දැකීමක් ලැබුවා. ඕමානයේ තිබෙනවා ඕමාන් ශ්‍රී ලංකා විද්‍යාලය. ඕමාන් ශ්‍රී ලංකා විද්‍යාලයේ ළමයි 1,100ක් විතර ඉගෙන ගන්නවා. ඒ විද්‍යාලයේ ලන්ඩන් ඒලෙවල් ( London A/Level ) විභාගය දක්වා උගන්වනවා. ඒ විභාගය පාස් වෙච්ච ළමයි ඒ පාසලේ ඉන්නවා. ඒ ළමයින්ට දැන් වැඩිදුර අධ්‍යාපනයට, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඉගෙන ගන්න යන්න සිදුවෙලා තිබෙන්නේ එක්කෝ මැලේසියාවට, බංග්ලාදේශයට නැත්නම් වෙනත් රටවලටයි. හැබැයි, බහුතරයක් ඒ කියන්නේ සියයට සියයක් ළමයි සහ දෙමව්පියන් කැමතියි ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ අවස්ථාව ලබාගන්න. නමුත් ඒ අවස්ථාව ලංකාවේ ශ්‍රමිකයන්ට නැහැ.
මේ ප්රශ්නය ඕමානයේ වෘත්තිකයන්ගේ දරුවන් වැඩි ප්‍රමාණයකට තිබෙනවා. ඒ නිසා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ගෙන් යම් ප්‍රතිශතයකට ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා අවස්ථාවක් ලබාදෙන්න අවශ්‍යයයි. සාධාරණත්වය කියන පදනමෙන් හිතුවොත්, සමානත්වය කියන පදනෙමන් හිතුවොත් ඔවුනුත් ශ්‍රී ලාංකික දරුවෝ. ඔවුනුත් ශ්‍රී ලාංකික පුරවැසියන්.
Q මැදපෙරදිග රැකියා සඳහා විදෙස්ගත වන පුද්ගලයන්ට ගුවන්තොටුපළේදී සිදුවන අපහසුතා පිළිබඳ ඔබ දැනුවත්ද?
විදෙස්ගත වන අයට ගුවන් තොටුපළේදී ඇතිවන හිරිහැරය තවත් ප්‍රශ්නයක්. ඒක බරපතළ තත්ත්වයක්. ගුවන් ටිකට්පත තිබෙනවා නම්, පාස්පෝට් එක තිබෙනවා නම් බෙදීමක් නැතිව හැම කෙනාටම රට යන්න අයිතියක් තිබෙනවා. ඒක මූලික අයිතිවාසිකමක්. හැබැයි ගුවන්තොටුපළට ගියාම මැදපෙරදිගට යනවාද, යුරෝපයට යනවාද කියලා බෙදීමක් ඇති කරනවා. ඒක කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්.
Q කොරියාවේ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට තිබෙන ගැටලු පිළිබඳ දැනුවත් වීමක් තිබෙනවාද?
කොරියාවේ රැකියා සඳහා යන අයට තිබෙන විශේෂ ප්‍රශ්නයක් තිබෙනවා. කොරියාවේ රැකියා සඳහා යන අය අවුරුදු 4ක ගිවිසුමකට අත්සන් කරනවා. ඒ ගිවිසුම අනුව ඔවුන්ට පුළුවන් ඔවුන් කැමති සමාගම් හෝ ආයතන තුනකට මාරු වෙන්න. ඒක ඒ ගිවිසුමේ තිබෙන දෙයක්. හැබැයි, ප්රශ්නය තිබෙන්නේ කොරියාවේ රැකියාවට ගිය කෙනක් නිවාඩුවට ලංකාවට ඇවිල්ලා ආයෙත් යනකොට ගුවන්තොටුපළේ ඉන්න කට්ටියට කිව්වොත් ආයෙත් රැකියාවට යන්නේ වෙනත් සමාගමකට කියලා රුපියල් 10,000ක් දඩ ගහනවා.
රැකියාව මාරු කිරීමේ අයිතිය තිබෙන්නේ ශ්‍රමිකයාටයි. රැකියාව මාරු කරන්නේ කොරියාවේදී. නමුත් ගුවන්තොටුපළේදී ඒ ප්‍රශ්නයට රුපියල් 10,000ක දඩයක් ගෙවන්න ඕන. ඇයි එහෙම කරන්නේ? ප්රශ්නය තිබෙන්නේ ඒක නොකියා ගියොත් අය කරන්නේ නැහැ. හැබැයි, කියල ගියොත් දඩ ගහනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුදුම දඩ ගැහිල්ලක් තියෙන්නේ.
Q වත්මන් රජය හඳුන්වාදුන් රක්ෂණ ආවාරණ ක්‍රමය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
රක්ෂණ ආවරණ ක්‍රමය හොදයි. සහන රක්ෂණ ක්‍රමයක් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. සමහර රටවල නීතිය අනුව හාම්පුතාලා රක්ෂණයක් ලබාදිය යුතු වෙනවා. ඒ රක්ෂණයට අමතරව තවත් රක්ෂණයක් හඳුන්වා දීමට යාමේදී ගැටලුවක් තිබෙනවා. ප්රශ්නය ඒක නෙවෙයි. තමන්ට තිබෙන රක්ෂණ ක්රමයේ ප්රතිලාභ මොනවාද කියල ඔවුන් දන්නෙ නැහැ. තමන්ට පීඩාවක් උනොත්, අනතුරක් උනොත් තමන්ට මේ රක්ෂණ ක්රමයේ ප්‍රතිලාභයක් තිබෙනවාද, තමන්ගේ පවුලේ අයට ප්‍රතිලාභයක් තිබෙනවාද කියලා මොවුන් දන්නෙ නැහැ.
මේ රක්ෂණ ක්‍රමය පිළිබඳ තනාපති කාර්යාල හරහා මීට වඩා දැනුවත් කිරීම් අවශ්‍යයයි. ගුවන්තොටුපළෙන් රට යද්දි කීයක් හරි ගන්නවා කියල විතරයි රට යන අය දන්නේ.
Q ශෘහසේවය වෙනුවෙන් වයස් සීමාවක් නම් කිරීමට ඔබ එකඟද?
ශෘහ සේවයට වයස් සීමාවක් ලකුණු කරනවාට වඩා ශෘහ සේවයට කාන්තාවන් යැවීම නතර කළ යුතුයි. මොකද විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න අතර ශෘහ සේවය කියන්නේ එක ප්‍රශ්නයක් විතරයි. ඒක ප්‍රධාන ප්රශ්නය කියලා මම හිතන්නේ නැහැ. නමුත් සංවේදී ප්‍රශ්නයක්. උදාහරණයක් විදිහට සෞදි අරාබියාව වගේ රටක වෙනත් රැකියා අවස්ථා බොහොමයක් තිබෙනවා. ඒ වගේම ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය වගේ රටවලින් විදෙස් සේවයට යන පුද්ගලයන් සමග සසදන විට අපේ ශෘහ සේවිකාවන්ට කළමනාකරණ රැකියා කරන්න පුඵවන්. ඒ තරම් දැනුමක් තිබෙනවා. ඒත් ඒ බව ඔප්පු කරන්න සහතිකයක් නැහැ.
නමුත් අනෙකුත් රටවල අයට දැනුම නැහැ සහතික තියෙනවා. ඔවුන් සහතිකය පෙන්නලා හොඳ රැකියාවලට යනවා. අපේ අයට සහතික නැති නිසා හැමදාම පිටුපසින් ඉන්නේ. ඒ සඳහා මඟපෙන්වන්න ඕන රජයයි. විශේෂයෙන්ම අපි විදෙස්ගත ශ්‍රමිකයෝ ලෙස යැවිය යුත්තේ පුහුණු ශ්‍රමිකයන්. ඒ වගේම වෘත්තීමය ශ්‍රමිකයන්. එහෙම නැති නුපුහුණු ශ්‍රමිකයන් සිටිනවා නම් ඔවුන් පුහුණු කිරීමත්, වෘත්තීමය සුදුසුකම් ලබාදීමත් රජයේ වගකීමක්. එහෙම උනොත් ශෘහ සේවයට යවන්න අවශ්‍ය නැහැ. වහල් සේවයට මැදපෙරදිග යන්න එපා කියලා තමයි අපි කියන්නේ.