මේ වන විට සමස්ත ලෝකයම හරිත විප්ලවයක් කරා ගමන් කරමින් සිටියි. එහිදී පරිසර දූෂණය අවම ක්‍රියාකාරකම් පිළිබඳව බොහෝ විට අවධානය යොමුකර ඇත. එහි එක් පියවරක් ලෙස විදුලියෙන් ක්‍රියාත්මක වාහනද මේ වන විට ලෝකයට හඳුන්වා දී ඇත. එහ හඳුන්වාදීමත් සමගින් ඒ සඳහා සේවා සපයන මධ්‍යස්ථානයද බිහි විය.
එහිදී ආරෝපණ මධ්‍යස්ථාන ප්‍රධාන තැනක් ගන්නා අතර, මෙම මධ්‍යස්ථාන නියාමනය විය යුතු බවට රජය තීරණය කර තිබේ. එම නියාමනය කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම හරහා සිදුවන අතර, මේ එම නියාමන කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් මහතා සමග කළ සාකච්ඡාවකි.
Q ශ්‍රී ලංකාව තුළ දැනට ඇති විදුලි වාහන සංඛ්‍යාව කොපමණද? දැනට භාවිත වන ආරෝපණ මධ්‍යස්ථාන කොපමණද?
වර්තමානය වන විට ආසන්න වශයෙන් 5500ක් පමණ විද්‍යුත් වාහන තිබෙනවා. එයින් 4500ක් පමණ ප්‍රමාණයක් විද්‍යුත් කාර් හා ද්විකාර්ය වාහන. යතුරු පැදි 1000ක් පමණ තිබෙනවා. ආරෝපණ මධ්‍යස්ථාන 47ක් පමණ තිබෙනවා. ඊට අමතරව හෝටල් 10ක පමණ මෙම සේවාව ක්‍රියාත්මකයි. ඊටත් අමතරව තවත් ස්ථාන 10ක පමණ ආරෝපණ මධ්‍යස්ථාන තිබෙනවා.
Q මේ සඳහා පවතින නීතිමය තත්ත්වය කුමක්ද?
දැනට අපේ විදුලි බල පනතට අනුව විදුලිය යම්කිසි ස්ථානයකට සැපයීමේ කටයුතු ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට නියාමනය කරන්න පුළුවන්. නමුත් වාහනයකට විදුලි සැපයීම නියාමනය කරන්න පනත හරහා බෑ. ඒ නිසා අපි මේ කතා කරන ක්ෂේත්රය පනත මගින් නියාමනයට ලක්වුණේ නෑ.
නමුත් විද්‍යුත් වාහන වැඩි වීමත්, විදුලි ආරෝපණ මධ්‍යස්ථාන වැඩි වීමත් සමග වෙනමම වෙළෙඳ පොළක් නිර්මාණය වී තිබෙනවා. ඊට අදාළව මිල පාලනය, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, තාක්ෂණික වශයෙන් ප්‍රමිතිය ආරක්ෂා කිරීම වගේ දේවල් අපට බලන්න සිදුවෙනවා. ඒ අනුව වාහන පාරිභෝගිකයන්ගෙන් වගේම විදුලි ආරෝපණ මධ්‍යස්ථාන පවත්වාගෙන යන අයගෙනුත් කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් අදහස් යෝජනා ඉදරිපත් වී තිබෙනවා.
Q විදුලි ආරෝපණ මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා මෙතෙක් ගෙන ඇති පියවර කුමක්ද?
මෙහි පළමු අදියර ලෙස කැබිනට් මණ්ඩලයෙන් මේ පිළිබඳව දැනුවත් කිරීමට හැකියාවක් ලැබුණා. රජය විසින් තීන්දුවක් ගත්තා පනත බලගැන්වීම හරහා මේ සම්බන්ධයෙන් වෙන බලතල කොමිෂන් සභාවට ලැබෙන පරිදි විදුලි සැපයීම යන්න නිර්වචනය කිරීමේදී වාහන වලට විදුලිය සැපයීමත් යන්න ආවරණය වන ආකාරයට පනතේ වගන්තිය සංශෝධනය කිරීමට. ඒ අතරතුර මේ අවුරුද්දේ මුල් කාලයේදී මේ පිළිබඳව නියාමනය කිරීමට කොමිෂන් සභාවට බලතල පවරා දුන්නා.
ආර්ථිකමය වශයෙන් ගත් විට මිල ගණන්, ආරක්ෂාව වශයෙන් ගත් විට පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව, පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මධ්‍යස්ථාවලට අවශ්‍ය පහසුකම්, ඔවුන්ට තිබෙන ගැටලු මොනවාද යන්න වැනි කරුණු පිළිබඳව අප අවධානය යොමුකර තිබෙනවා.
Q මේ ක්ෂේත්රය තුළ හඳුනාගත් ගැටලු මොනවාද?
ආරෝපණ මධස්ථාන ලෙස ගත්තත්, විදුලි පාරිභෝගිකයන් ලෙස ගත්තත් ලැබී ඇති ප්‍රධාන පැමිණිල්ලක් තමයි විදුලිය බිඳ වැටීම කියන කරුණ. මොකද මධ්‍යස්ථාන සංඛ්‍යාව සීමිතයි. එකක් බිඳ වැටුණාම පාරිභෝගිකයන් අපහසුතාවට පත්වෙනවා. මේක විදුලි බල පද්ධතියේ තිබෙන ගැටලු නිසා සිදුවීය හැකියි. අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදී පාරිභෝගිකයන්ට අඛණ්ඩව සේවාව ලබාදීමට අදාළ ප්‍රමිති ගැන අවධානය යොමුවෙලා තිබෙනවා.
මධ්‍යස්ථානවල පවතින ආරෝපණ යන්ත්‍රයේ තිරයේ සටහන් වෙනවා කොපමණ වොට් ප්‍රමාණයක් ලබාදුන්නාද යන්න ආදී කරුණු. නමුත් ඇතැම් පාරිභෝගිකයන්ට ඒ පිළිබඳව විශ්වාසයක් නෑ. ඒ අනුව පාරිභෝගිකයන් පවසන්නේ වොට් ප්‍රමාණය පෙන්වීමට ආරෝපණය කිරීමට පෙරාතුව මනු කියවීමක් අවශ්‍ය බවයි.
තිරයේ සඳහන් කරුණු වෙනස් කළ හැකි නිසා පාරිභෝගිකයන්ට නිදහසේ මේ පිළිබදව බලා ගැනීමට අවශ්‍ය මනුවක් පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.
බිල්පත් නිකුත් කිරීම ගැන අප අවධානය යොමුකර තිබෙනවා. මෙම මධ්‍යස්ථානවල ගාස්තු අයකිරීමේ ක්‍රම දෙකක් තිබෙනවා. එකක් කිලෝවොට් පැය ගණනට අයකිරීම අනෙක් කරුණ වේලාව අනුව අයකිරීම. නමුත් කාලයට අනුව ගාස්තු අයකිරීම පිළිබඳව පාරිභෝගිකයන්ට එතරම් විශ්වාසයක් නෑ. මේ අනුව විශ්වාසනීය මිනුම් ක්‍රමයක් ගැන අවධානය යොමුකළ යුතු වෙනවා.
මධ්‍යස්ථානවල ආරක්ෂාව ගැනත් අවධානය යොමුකළ යුතුයි. සමහර විදුලි වාහන මිලදී ගැනීමේදී හිතනවා අපි වෙළෙඳ පොළින් විදුලි ස්ත්‍රික්කයක් මිලදී ගැනීමේදී මෙන් විදුලි වාහනත් සෘජුව විදුලියට සම්බන්ධ කළ හැකියි කියා. වාහන වල ප්ලග් (පේනුවක්) බොහේ විට වාහනයකින් වාහනයකට වෙනස් වෙනවා.
උදාහරණයක් ලෙස ජපානයේ ලීෆ් මෝටර් රථයට එන්නේ ඇම්පියර් 20 පේනුවක්. නමුත් එයින් ඇම්පියර් 15ක පමණ විදුලිය පරිභෝජනය කරනවා. මේ සඳහා ගැළපෙන කෙවෙනියක් වෙළෙඳ පොළ තුළ රුපියල් 10,000ක් පමණ වෙනවා.
මිල අධික නිසා මෝටර් රථ හිමියන් කරන්නේ තත්ත්වයෙන් බාල කෙවෙනි මිලදී ගැනීමට කටයුතු කිරීමයි. එය අනතුරුදායක තත්ත්වයක්. මොකද පැය 10ක් පමණ එකදිගට ආරෝපණය වන නිසා මේවා රත්වෙලා උණුවෙලා යන්න පුළුවන්. ඒ හේතුවෙන් ගෘහස්ථව ආරෝපණය කිරීම ගැනත් අවධානය යොමු විය යුතුයි.
Q නියාමනය කුමන කාලයකදී ආරම්භ වෙයිද?
දැනට මේ කරුණු පිළිබඳව මහජන උපදේශනයක් සකස් කර තිබෙනවා. මේ හරහා විවිධ පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගෙන අවශ්‍ය කරන රෙගුලාසි, මාර්ගෝපදේශ, ප්‍රමිති හා ගස්තු ක්‍රමවේද සකස්කර ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ නව යාන්ත්‍රණය මේ අවුරුද්ද අග භාගයේදී හෝ ලබන වසරේ මුල භාගයේදී ක්‍රියාත්මක වේවි.
Q ගාස්තු වෙනසක් වෙයිද?
ගාස්තු වෙනසක් සිදුවෙන්නේ නෑ. නමුත් ඒකමතික ගාස්තු ක්‍රමයක් දැනට ක්‍රියාත්මක වෙන්නේ නෑ. අපි උදාහරණයක් ගත්තොත් කොළඹ අවට කිලෝවොට් පැයකට රුපියල් 50ක් පමණත්, දුර බැහැරව රුපියල් 70ක් පමණත් අය කරනවා. නමුත් එය නිවැරදි නෑ. මොකද කොහේ ගියත් විදුලි මිල එකයි. ඒ අනුව ගාස්තු ක්‍රමය නිශ්චිත මට්ටමකට ගෙන ඒම අවශ්‍යයි.
Q නියාමනය මගින් ආරෝපණ මධ්‍යස්ථාන පවත්වාගෙන යන අයට ගැටලුවක් ඇතිවෙයිද?
නෑ. ආරෝපණ මධ්‍යස්ථාන පවත්වාගෙන යන අය මුහුණපාන ගැටලු තිබෙනවා. ඒ අයට ලබාදෙන ගාස්තුව මොකක්ද? පාරිභෝගික කාණ්ඩය මොකක්ද යනාදී වශයෙන්. නව ප්‍රමිති හරහා මේ ප්‍රශ්නවලට මැදිහත්වීමක් හා විසඳුම් ලැබීමක් වෙනවා. කිසිම පාර්ශ්වයකට අවාසියක් වෙන්නෙ නෑ.