කෙටි කාලයක් තුළ අවස්ථා තුනකදී විදුලිය බිඳවැටීම නිසා සමස්ත රටේ ජනතාවට විඳින්නට සිදුවූ අපහසුතාවයන් පිළිබඳව මේ වන විට රට තුළ විශේෂ කතාබහක් ඇති වී තිබේ. මාස 06ක් තුළ අවස්ථා තුනකදී විදුලිය බිඳවැටීම නිසා විදුලිය විසන්ධි වීම පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවාදැයි සැක මතුව තිබේ. මේ නිසා ඒ පිළිබඳව සොයා බැලීමට විදුලිබල පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පොලීසියට පවරා ඇති අතර, මීට අමතරව රස පරීක්ෂණ වාර්තාවක්ද කැඳවා ඇතැයි වාර්තා වේ. ප්‍රධාන විදුලි පද්ධතියේ සිදුවූ දෝෂ නිසා විදුලිබල පද්ධතියට මෙගා වොට් 900 ක් ලබාදෙන නොරොච්චෝලේ බලාගාරයත් අවස්ථා දෙකකදී අක්‍රිය වී තිබෙන අතර, මේ නිසා නොරාච්චෝලේ බලාගාරයේ ප්‍රමිතිය පිළිබඳවත් මේ වන විට විශේෂ කතාබහක් ඇතිවී තිබේ. මේ පිළිබඳව 'අද' විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා මහතා සමග කතාබහක නිරත විය.
විදුලියවත් අඛණ්ඩව දීමට අපොහොසත් අාණ්ඩුවක් බවට විපක්ෂයේ චෝදනාව
පිටතින් බැලුවම මේ චෝදනාව ඇත්තක් කියල පෙනෙන්න පුළුවන්. ඒත් ගැඹුරට ගිහිල්ලා බැලුවම අද පොදු විපක්ෂය ලෙස එකතුවෙලා ඉන්න දූෂිත අකාර්යක්ෂම පිරිස විදුලිබල පද්ධතිය පිළිබඳව පසුගිය කාලයේ ගත්ත අධූරදර්ශී ක්‍රියා නිසා තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. එහෙම නැතිව අපේ රජය පත්වෙලා ගතවූ මාස හයක කාලය තුළ ගත්ත තීන්දු තීරණ නිසා නෙවෙයි මේ ප්රශ්නය මතුවෙලා තියෙන්නේ.
මාස 06ක කාලය තුළදී තුන් වතාවක් විදුලිය විසන්ධි වීම
අවස්ථා තුනට හේතු තුනක් තියෙනවා. පළමු අවස්ථාව ඇති වෙන්නේ වර්තමාන අණ්ඩුව බලයට පත්වෙලා මාසයක් වැනි කාලයක් ඇතුළතයි. ඒ අවස්ථාවේදී සිදුවුණේ පද්ධතියේ ඉල්ලුම අසාමාන්‍ය ලෙස අඩුවීම. ඒ අවස්ථාවේදී පද්ධතියේ අසමතුලිතභාවය නිසා පද්ධතිය බිදවැටුණා. මීට අමතරව දෙවන අවස්ථාව පසුගිය 25 වනදා සිදුවුණා. එහිදී අයහපත් කාලගුණ තත්ත්වය නිසා අකුණු සැර වැදීම නිසා එක් රැහැන් පද්ධතියක් අකර්මණ්‍ය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස සම්පූර්ණ පද්ධතියම බිඳ වැටුණා.
එම බිඳවැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ කටයුතුත් ඇණහිටියා. එයට හේතු වී තිබුණේ නොරොච්චෝලේ බලාගාරයේ පවතින තාක්ෂණික දෝෂ. තුන්වන සිදුවීම පසුගිය 13 වන දින සිදුවුණා. එහිදී සිදුවුණේ බියගම පිහිටි මහවැලි විදුලි බලාගාර සියල්ලගේම විදුලිය රැගෙන එන දැවැන්ත රැහැන් පද්ධතිය සම්බන්ධ වන මධ්‍යස්ථානයේ ට්‍රාන්ස්ෆෝමරයක් නොදන්නා අද්භූත හේතුවක් මත පුපුරා යාම. එයින් ඇතිවූ අස්ථාවරභාවය නිසා නැවත වරක් නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු ඇණ හිටියා.
ට්‍රාන්ස්ෆෝමරය පුපුරා යෑම
අදාළ පුපුරා යෑමට හේතුව පැහැදිලි කිරීමට තවමත් කිසිවෙක් සමත් වෙලා නැහැ. මෙම පිපිරීමට ලක්වූ දැවැන්ත ට්‍රාන්ස්ෆෝමරය වගේ දෙයක් පුපුරා ගිහිල්ලා කියලා මීට පෙර වාර්තා වෙලා නැහැ. මේ තියෙන තත්ත්වය තුළ බරපතළ සැකයක් ඇතිවෙනවා පද්ධතියේ පවතින දුර්වලතාවයක් තෙරුම්ගත් අයෙකු බරපතළ පාඩුවක් කළාද කියලා. ඒත් නිශ්චිතවම ඒ ගැන නිගමනයකට එන්න තවම බැහැ. මේ නිසා පළමු වතාවට පොලීසිය විසින් අදාළ සිදුවීම පිළිබඳව පරික්ෂණ පවත්වනවා. මීට අමතරව රස පරීක්ෂකවරයාත් පරීක්ෂණ පවත්වනු ලැබුවා. ඒ වගේම ඉංජිනේරුවරුන් සිදුකරන තාක්ෂණික පරීක්ෂණවලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවත් පරීක්ෂණ පවත්වනවා. එහිදී සිදුවන්නේ අදාළ සිදුවීම තුළ සාපරාධී ක්‍රියාවක් සිදුවී තිබේද යන්න සොයා බැලීමයි.
පද්ධතියේ දෝෂවලට නොරොච්චෝලේ බලාගාරය අක්‍රීය වීම
මෙයට හේතුව තමයි අපේ විදුලි පද්ධතිය සැලසුම් කිරීමේදී ඇති දුර්වලතා. ඒ වගේම නොරොච්චෝලේ බලාගාරය මිලදී ගැනීමේදී රටට නොගැළපෙන අපේ පද්ධතියට නොගැළපෙන ජනන යන්ත්‍ර මිලදී ගැනීම. එම ජනන යන්ත්‍ර මිලදී ගැනීම හේතුකොට ගෙන බරපතළ ගැටලු කිහිපයක් ඇතිවෙලා තියෙනවා. මොකද මෙම පද්ධතිය ගැළපෙන්නේ චීනයට. චීනයට ගැළපෙන පද්ධතියක් තමයි අපේ රටට ලැබිලා තියෙන්නේ. අපේ රටේ විදුලිබල පද්ධතියට මෙය ගැළපෙන්නේ නැහැ. මේ නිසා මෙම බලාගාරය පටන් ගත්ත දවසේ ඉඳලා විවිධ බිඳවැටීම්වලට ලක්වුණා. අලුතින් ඇති වී තියෙන තත්ත්වය අනුව අපේ පද්ධතියට අකුණු ගැසීමක්, ට්රාන්ස්ෆෝමරයක පුපුරායෑමක් වැනි සිද්ධියක් දරා ගැනීමටවත් නොහැකි තරමට නොරොච්චෝලේ යන්ත්‍ර දුර්වල වී තියෙනවා.
නොරොච්චෝල බලාගාරයේ වටිනාකම
අද වන විට අපිට අවශ්‍ය විදුලිය අතිරේක ක්‍රම වලින් ලබාගැනීමෙන් පසු පද්ධතිය තුළ මෙගා වොට් 350ක පමණ හිඟයක් පවතිනවා. නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වීම නිසා මෙම තත්ත්වය ඇතිවෙලා තියෙනවා. මේ නිසා නොරොච්චෝලේ විදුලි බලාගාරය යථා තත්ත්වයට පත් කරනතුරු සමහරවිට යම් යම් ප්‍ර‘දේශවල විටින් විට විදුලිය කැපීම සිදුවිය හැකියි. එය එක් දිනකට දෙකකට වැනි කෙටි කාලයකට විය හැකියි. අපට නොරොච්චෝලේ නැමති අබාධිත දරුවෙක් ලැබිලා තියෙනවා. ඒත් ඒ දරුවා රැක බලාගෙන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා යම් අතිරේක මුදලක් දරන්න වෙනවා. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් උපදෙස් ලබාදීල තියෙනවා රටේ විදුලිබල පද්ධතිය ගළපමින් නොරොච්චෝලේ බලාගාරය, ප්‍රධාන පද්ධතියේ දෝෂ ඇතිවන විට අක්‍රිය වීම වළක්වා ගන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා.
ඉන්දියාවට විදුලිය ලබාදීමේ සිහිනය
ඉන්දියාවට විදුලිය දෙන්න පුළුවන් කියල කිව්වෙ මහවැලි යෝජනා ක්‍රමය තුළ. මහවැලි යෝජනා ක්‍රමය සාර්ථකයි. මහවැලි යෝජනා ක්‍රමය තුළ අපිට ප්‍රශ්න දෙකකට මුහුණ දෙන්න සිදුවුණා. එකක් තමයි හිතුවට වඩා දේශීය ඉල්ලුම ඉහළ යාම. ඒ වගේම මහවැලි යෝජනා ක්රමයේ සම්පූර්ණ ධාරිතාව යම් තාක්ෂණික දෝෂ නිසා නොලැබී යාම. මේ තත්ත්වය මත ඉන්දියාවට විදුලිය ලබාදීමේ පොරොන්දුව ඉෂ්ට කරන්න බැරිවුණා. ඒත් අපේ රටට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කරගැනීමට හැකියාව තියෙනවා. උදාහරණයක් ලෙස කියනවා නම් සුළං බලය, සුර්ය තාප බලය, එල්. එච්. ජේ ගෑස් සහ ගල් අඟුරු භාවිත කරමින් විදුලිය නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනවා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා උපදෙස් ලබාදීල තියෙනවා මෙම ක්‍රමවලට යාමට අවශ්‍ය කැබිනට් පත්‍රිකා සකස් කරන ලෙසට.
පෞද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීම
පෞද්ගලික අංශයෙන් ලබාගත හැකි සම්පූර්ණ විදුලි ප්‍රමාණය මේ අවස්ථාවේ ලබා ගන්නවා. මොකද අප රටේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා. ඒත් අපි විදුලිය ලබාගැනීම සිදුකරන්නේ පිළිගත් විධිමත් ටෙන්ඩර් ක්‍රමවේද භාවිත කරලා. මේ නිසා පසුගිය ආණ්ඩු කාලයේදී පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදී සිදුවූ වංචා දුෂණ ක්‍රියා සිදුවන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕන අපේ නව සැලසුම්වලට අනුව විකල්ප විදුලි උත්පාදන ක්‍රම සකස් කරගත් වහාම ඩීසල් බලාගාර වලින් විදුලිය නිෂ්පාදනය කිරීම නවතා දමනවා.ඒ වගේම පසුගිය අාණ්ඩුව කාලයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික විදුලි බලාගාරවලින් මේ වන විට කිහිපයක් වසා දමලා තියෙන්නේ. මම විශ්වාස කරනවා තව ටික කාලයක් පෞද්ගලික අංශයෙන් විදුලිය ලබාගන්න වේවි කියලා. ඒත් විකල්ප ක්‍රම මගින් විදුලිය නිපදවීමත් සමග යම් වෙනසක් ඇති වෙනවා.
විදුලිය බිඳවැටීමත් සමග අනෙකුත් සේවා අක්‍රිය වීම
මාර්ග සංඥා පද්ධතිය අක්‍රිය වීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. විදුලිය බිඳවැටුණු අවස්ථාවේදී මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා සිටියා ජාතික විදුලි පද්ධතියෙන් පරිබාහිරව සංඥා පුවරු සඳහා විදුලිය ලබාගන්න කියලා. මේ අනුව ඉදිරියේදී අදාළ කටයුතු සිදුවෙනු ඇති.
සාම්පූර් බලාගාරයේ අනාගතය
අනිවාර්යෙන් සාම්පූර් බලාගාරය හදනවා. ඒත් අපි බලාගාරය සකස් කරන්නේ නියමිත පරිසර වාර්තාවලට අනුව. ඒ වගේම සංශෝධිත ගිවිසුම්වලට අනුව.
පසුගිය දිනවල සිදුවූ විදුලිය අක්‍රීය වීම
මෙම සිදුවීම බරපතළ සාපරාධී සිදුවීමක්. මේ නිසා මෙය පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස පරීක්ෂණවලදී හෙළි වුවහොත් අදාළ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා රටේ නීතියට අනුව කටයුතු කරනවා. මොකද අපරාධ නීතිය යටතේ අදාළ පුද්ගලයාට හෝ කණ්ඩායමට නඩු පවරන්න පුළුවන්.
විදුලිය බිඳවැටීම නිසා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වීම
සභාපතිතුමා අවංකවම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නා. ඔහු අවංක දක්ෂ නිලධාරියෙක්. රටම පිළිගන්න විදුලි ඉංජිනේරුවරයෙක්, විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවස්ථානුකූලව සලකා බලා එම ඉල්ලා අස්වීමේ ලිපිය භාරගත්තේ නැහැ. මෙම සිදුවීම පිළිබඳව සත්‍ය තත්ත්වය නොදැන ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීම සුදුසු නොමැති බවට අමාත්‍යතුමා සඳහන් කරලා තියෙනවා. නමුත් මෙම සිදුවීම හරහා වගකිවයුතු නිලධාරීන් කිහිපදෙනෙකු විසින් වගකීම පැහැර හැර ඇති බවට හෙළිවුණා. එම නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී විනයානුකූල පියවර ගැනීමට නියමිතයි.
විදුලිය බිඳවැටීම
ඒ පිළිබඳව සොයා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත්කරලා තියෙනවා. ඒ වගේම විෂයභාර අමාත්‍යතුමා කමිටු දෙකක් පත්කරලා තියෙනවා. මෙම කමිටු විසින් පසුගිය 13 වැනි දින සිදුවූ සිදුවීම පිළිබඳව මේ මස 21 වන දින ඒකාබද්ධ වාර්තාවක් ලබාදීමට නියමිතයි. අවශ්‍ය වුවහොත් ඒ සඳහා විදේශීය විශේෂඥ සහය ලබාගැනීමටත් අමාත්‍යතුමා තීරණයක් අරගෙන තියෙනවා.