එළඹෙන 21 වැනිදා හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය මණ්ඩලය කැඳවා තවදුරටත් මන්ත්‍රී ධුරයේ රැඳී සිටින්නේද, එසේත් නැතහොත් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින්නේ දැයි තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ආණ්ඩු පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය පිළිබඳව කලකිරීමෙන් මෙම තීරණයට එළැඹි බව පැවසූ වික්‍රමනායක මහතා, මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැන්වූ බවද කියා සිටියේය.
ජනතාවගේ එදිනෙදා ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට පවා ආණ්ඩුව අසමත් වී තිබෙන බවත්, ආණ්ඩුවේ එම වැඩපිළිවෙළ සම්බන්ධව විරෝධය පළකිරීමට ඒකාබද්ධ විපක්ෂය අසමත් වී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Q මේ තරම් බරපතළ තීරණයක් ගන්න බලපෑ කරුණු මොනවාද?
මේ අයට දැනෙන්න ඕන. කාටකාටත් තේරෙන්න ඕන.
Q දැනට ඔබ ඉන්නෙ ඒකාබද්ධ විපක්ෂයේ? ඒ අය ගැනද මේ කියන්නෙ නැත්නම් ආණ්ඩු පක්ෂය ගැනද?
දෙපැත්තටම. මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්නනේ ජනතාව ඡන්දේ දීලා මහන්සිවෙලා අපිව මහජන නියෝජිතයන් විදියට පත්කරලා එවන්නෙ. ඒ මිනිසුන්ගේ ප්‍රශ්නවලට උත්තරයක් නැතිව එක් එක්කෙනාගේ හිතලුවලට වැඩ කරන්න බැහැ. එහෙම එක් එක්කෙනාට ඕන විදියට දේශපාලනය කරන්න බැහැ. මේකෙ චාරයක් තියෙන්න ඕන. විචාරයක් තියෙන්නත් ඕන.
දැන් හාල් මිල 110ට, 120ට යනවා. තව සති දෙකයි පායන්නෙ.
තේ ටික ඉවරයි. මේවට මොනවද විසඳුම්. ස්වභාවධර්මයේ ප්රශ්නය ගැන කතාකරන්න පුළුවන්. අපිට ක්‍රෝටන් කොළ, කොස් කොළ කන්න කියන්නත් පුළුවන්. වගකීමක් නැති ආණ්ඩුවක් මේක. ලෝකයේ අනිත් රටවල් අවුරුදු දෙකකට කලින් නියඟයක් එනවා කියනවානම්, අපේ අය මොකද කළේ? ආයතන කීයක් තියෙනවද? හාල් පිටරටින් ගේනකොට කොමිස් ලැබෙනවා. ඒවා නෙමෙයි විසඳුම්. දීර්ඝකාලීන විසඳුම්වලට යා යුතුයි.
Q මහජනතාව විසින් පත්කළ මන්ත්‍රී ධුරයෙන් යන්න හිතුවේ ඇයි?
මහජනතාව එක්ක, ඒ නිසයි මම කතා කරන්නෙ. 21 වැනිදාට මධ්‍ය සංවිධානයට හොරණ අපේ නිවසට එන්න කියලා තියෙනවා. එතැනදී තීරණයක් ගන්නවා. මගේ මන්ත්‍රී ධුරය ජනතාවට අයිති එකක්. මම කන්න බොන්න දීලා, සල්ලි දීලා නෙවෙයි මන්ත්‍රී ධුරය ලබාගත්තෙ. ඒ නිසා මිනිස්සුන්ට මම කියනවා මගේ අදහස මේකයි, පාදක වුණු කරුණු මේවා, ඔබ මට තීරණයක් දෙන්න කියලා.
Q මහින්ද රාජපක්ෂ මහතා මේ ගැන දැනුවත්ද?
හිටපු ජනාධිපතිතුමාත් දැන් ඉන්න ජනාධිපතිතුමාත් මට කතා කළා. ඒ දෙන්නට මම මේ ගැන කිවුවා. මහින්ද මහත්තයාට කිවුවා ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙළ ගැන මට සතුටු වෙන්න බැහැ කියලා. දැන් ඉන්න ජනාධිපතිතුමාට හාල් ප්රශ්නය ගැන කිවුවා. එතකොට ඔහු කිවුවේ ලබන මාසේ පිටරටින් හාල් ගෙන්වනවා, එතකොට අවුරුදු එකහමාරක් විතර පිටරටින් හාල් ගෙන්වන්න වෙනවා. ණය උගුලක පැටළිලා කියලා. හුඟක් කතන්දර කියනවා. එහෙමනම් තව ණය වෙන එකක් වෙන්නෙ.
ජනාධිපතිතුමා මාසයකට ඉස්සෙල්ලා කිවුවා වනාන්තර ආරක්ෂා කරන්න ගුවන් හමුදාව දානවා කියලා. මේ මොහොතෙත් සිංහරාජය හා නකල්ස් කපනවා. ශ්‍රීපාදයේ හෝටල් හදනවා. දේශපාලඥයන් මේ විදියට කැලෑ කපනවා. මේවා නවත්වන්න වැඩපිළිවෙළක් නැහැ.
Q මධ්‍ය මණ්ඩලය තීරණයක් ගතහොත් ඔබ තවදුරටත් මන්ත්‍රී ධුරයේ සිටිය යුතුයි කියලා?
එසේ වුවහොත් බොහෝවෙලාවට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නවා. මට තේරෙන විදයට උගුරට හොරා බෙහෙත් ගන්නවා වගේ වැඩක් මේක. සමහර වෙලාවට අපිට පේනවා ආණ්ඩු පක්ෂය කරන වැරදිවලට විරුද්ධ පක්ෂය යම් නිහැඬියාවක් තියෙනවද කියලා. ඒකට හොඳම උදාහරණය බැඳුම්කර වංචාව. පළමු එක කළේ 2015 වසරේ මාර්තුවල. එවිට අපිට 126ක් හිටියා. ඇයි අපිට ඒක තියාගන්න වැඩපිළිවෙළක් හදාගන්න බැරිවුණේ. අපි පුනපුනා කිවුවා මොකක්හරි වැඩපිළිවෙළක් කරමු, මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙමු, නැත්නම් මෙතැනින් මේක නවත්වන්න කියලා. ඒ විදියටම නැවතුණේ නැහැ. ඒකෙ දෙවැනි එකත් කළා, තුන්වැනි එකත් කළා.